කුරුඳුවත්ත දේශපාලන ඉතිහාසය පදනම් කරගත් අර්ධ නවකතාවක් – කේ.සුනිල් ශාන්ත

එන්. ලංකා මාගම්මන

ඓතිහාසික ආඛ්‍යානයක් මත පිහිටමින් සාහිත්‍ය නිර්මාණයක් කිරීම අතිශයින් අවදානමක් සහිත කාර්යයක්. ඔබ මෙම කෘතියේදී ඉතිහාසය කරනු ගෙන හැර දක්වන අතරම කල්පිත කතා වස්තුව මනාව ගළපමින් එම යුගය විචිත්‍රවත් කරමින් සාහිත්‍යමය රසය පළුදු නොකර ගැනීමට වගබලා ගන්නවා. අප එතනින් පටන් ගනිමුද?

‘කුරුඳුවත්ත’ නවකතාවක් ලෙස හඳුන්වා දෙන්න මා කැමති නැහැ. මෙය අර්ධ වශයෙන් ලියවුණු නවකතාවක්. මෙම කතාව ඇතුළේ බොහෝ තැන්වල යම් සිදුවීමක් පටන් ගන්නවා. එහෙත් එහි සම්පූර්ණ අවසානයක් දකින්න ලැබෙන්නේ නැහැ. එය මා සිතාමතා ඉතුරු කරලා තියෙන්නේ පාඨකයාට. අවශ්‍ය ආකාරයට කියවා ගන්නයි. අනික් අතට කියනවා නම් මා සැකිල්ලක් හදලා තියනවා. පාඨකයාට අවශ්‍ය ආකාරයට එය පුරවගන්න පුළුවන්. මෙහිදී මගේ වියමනට මගේ පාඨකයිනුත් දායක වෙනවා. මා හා පාඨකයාගේ එකතුවෙන් සම්පුර්ණ කතාවක් ගොඩනැගෙනු ඇතැයි මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. මෙය එක අතකින් නව අත්හදා බැලීමක් ලෙසද හඳුන්වා දෙන්න පුළුවන්. මෙහි අනිත් අතට ඓතිහාසික කතාවක් කියනකොට අද සමාජයේ තියෙන සමාජ ප්‍රවණතාවන් එදත් ඒ විදිහට තිබුණු බවට ඉඟි පළ කරන්න මම උත්සාහ කරනවා. උදාහරණයක් ලෙස ලංකාවේ අද භික්ෂු සමාජය රාජ්‍ය තන්ත්‍රයට ඍජුවම කරන අත්තනෝමතික බලපෑම එදා සමාජයේත් ඒ ආකාරයටම සිදු වී තිබෙන බව නිවැරදි සාධක ඇතිව පෙන්වා දී තිබෙනවා. ඕලන්ද යුගය පිළිබඳ ලියවුණු ස්පිල්ට්ගේ සුදු වැද්දා, සුදු ගෝනා වැනි පොත්, ඬේවිඞ්ගේ කරුණාරත්න, පරිවර්තනය කරන ලද එදා හෙළදිව රොබට් නොක්ස්ගේ ලන්ඩන් ජීවිතය, වැනි කෘතීන් පිළිබඳ මා සියුම්ව අධ්‍යයනය කරනු ලැබුවා.

මෙය ඕලන්ද යුගය හා බැඳුණු කතාවක්. 1645 සිට 1796 දක්වා තමයි මේ කතාව දිග හැරෙන්නේ. මේ කාලයේදී තමයි ලංකාවේ වැඩවසම් සමාජ ක්‍රමයක් නිර්මාණය වෙන්නේ. ඉඩම් හිමිකරගත් වැඩවසම් පාලකයන් පිරිසක් බිහිවීමේ ලක්ෂණ ඇති වුණේ ඕලන්ද වකවානුවේදියි. රට තුල ජීවත් වු අහිංසක ජනතාව සතු ඉඩම් ඕලන්ද නීතිය අනුව රජයට පවරාගෙන ඒ ඉඩම් ඕලන්දයෙන් පැමිණි පිරිසට හා ලංකාවේ ඕලන්ද ආණ්ඩුවට පාක්ෂිකකම් කරන ලද නිලමෙලා, ආරච්චිලා වැනි ප්‍රභූවරුන්ට ඉඩම් ලබාදී තිබුණා. තැබෑරුම්වල බලයද ඔවුන් තමන් සතු කර ගත්තා.

ඕලන්ද යුගයේදී භාවිත කරනු ලැබූ බවට වෙනත් ලේඛන හා පොත පත තුළ නිවැරදි ලෙස සඳහන් වූ භාෂාව ඉතා පරිස්සමින් මෙම කෘතියට භාවිත කරනු ලැබුවා. ඒ නිසාම පාඨකයා වෙත විචිත්‍රවත් ආකාරයට මගේ ලේඛනය ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණා.

ඔබ ‘කුරුඳුවත්ත’ රචනයේදී ගුරු කොට ගත්තේ චෙකොෆ්ගේ ලේඛන විලාසය යැයි මා යෝජනා කළොත්?

ඒ යෝජනාවට 100% මා එකඟ වෙනවා. ඇත්තටම කුරුදුවත්ත රචනයේදී චෙකොෆ්ගේ අභාසය මට ලැබුණා. චෙකොෆ්ගේ කතාවල පටන් ගන්නා තැනක් නැහැ. ඉවර කරන තැනක් නැහැ. ඔහුගේ කෙටි කතාවල අන්තර්ගතය හරහා කියවන පාඨකයාට ලබාදෙන පණිවිඩය ප්‍රබලයි. මා වසර හයකට වැඩි කාලයක් සෝවියට් දේශයේ ජීවත් වුණා. ඒ කාලය තුළ ලෝකයේ සම්භාවනාවට පත් විශිෂ්ට රුසියානු ලේඛකයන්ගේ කෘති රාශියක් මට කියවන්න ලැබුණා. ‘පෙරලු නැවුම් පස’ මගින් ලැබුණු උත්තේජනය කියා නිමකරන්න බැහැ. සෝවියට් සමාජය බිහි කරමින්, එය රැක ගන්න කරන අරගලය එම කෘතියේ මුඛ්‍ය තේමාව වුණා. මගේ ‘කුරුඳුවත්ත’ කෘතිය හරහා සියාතුලා, ඩැනියෙල්ලා, ජෝසොෆ්ලා අලුත් සමාජයක් ගොඩනගා ගන්න ඓතිහාසිකව ඉල්ලන දෙය වෙනුවෙන් කරන කාර්යය පෙන්නුම් කරනවා. රුසියාව තුළ මා ජීවත් වූ කාලය තුළ ගොගොල්ගේ කෘති කියවන්නත් වැඩි නැඹුරුවක් ඇතිවුණා. ඔහුගේ කතා හරහා ගොඩ නඟන ‘ශුඪ’ භාවය මගේ ‘කුරුඳුවත්ත’ කෘතිය හරහාද දකින්න ලැබෙනවා. උදාහරණයක් ලෙස දස්කොන් ප්‍රමිලා ආදර අන්දරයනේ අප කවුරුත් කතාබහ කරන්නේ. ‘කුරුඳුවත්ත’ කෘතිය හරහා මා කියන්න උත්සාහ කරන්නේ ප්‍රේම සම්බන්ධයක් නොව වෙනත් කිට්ටු සම්බන්ධයක් ඔවුන් අතර තිබුණු බවයි. එතනදි මගේ පොත කියවන පාඨකයා හා මා අතර ගැටීමක් ඇති වෙනවා. මට කෘතිය සම්පාදනයේදීම ඒ වැනි ගැටීමක් සමඟ පාඨකයා සමඟ සංවාදයක් ගොඩනගා ගන්න අවශ්‍ය වුණා. සමහර තැන් මගේ කෘතියේ අඩුවෙන් තියනවා. එය පාඨකයා විසින් පුරවාගෙන සම්පූර්ණ කරයුතු වෙනවා.

මේ වැඩවසම් ආර්ථිකයේ මූල බීජය ‘කුරුඳු’ එම වගාව ලාංකීය පොළොව අරක් ගැනීම පිළිබඳ ඔබේ සාමාජීය දේශපාලනික කියවීම මොකක්ද?

විදේශිකයෝ ආවේ නැත්නම්, විදේශීය ආක්‍රමණයක් නොතිබුණා නම් අපේ රට හරි දියුණුයි කියන අපේ රටේ අය තුළ ඇති මතය පට්ටපල් බොරුවක් ලෙසයි මා දකින්නේ. එය පුදුමසහගත මිථ්‍යා මතයක්. මේ විදේශිකයෝ ලංකාවට අවේ නැත්නම් අද අප ඉන්න මේ තත්ත්වයත් පැහැදිලිවම අපට ලැබෙන්නේ නැහැ. අඩුව ගානේ මෙතුවක් කාලයකට ගිය අවුරුද්දේ තමයි අප දුම්රිය පාරක්වත් අලුතින් හදන්න පටන් ගත්තේ. 1948 නිදහස ලැබුණු දා සිට අද වෙනකොට වසර කොපමණ ගෙවිලා තියනවාද? අපේ රටේ බලයට පත් ආණ්ඩු මේ රටේ සංවර්ධනය වෙනුවෙන් කරලා තියන දේවල් ප්‍රමාණවත්ද? සුද්දා ලංකාවට අවේ නැත්නම් මේ අද අප ඉන්නා වූ යම් හෝ සංවර්ධනය පවා අපට ලැබෙන්නේ නැති බවයි මගේ අදහස. අනික විදේශිකයෝ තමයි ප්‍රථමයෙන් නැව් හැදුවේ. ඕලන්ද හා පෘතුගීසීන් ලෝකයට භාණ්ඩ ප්‍රවාහනයට හා මගී ප්‍රවාහනයට නැව් නිර්මාණය කළා. වාහනයක් හදන්නේ 1865දිනේ. එහෙත් ඊට පෙර ඔවුන් නැව් නිර්මාණය කළා. අපට මේ වෙනකොට සුරුක්කුවක්වත් තිබුණේ නැහැ. පෘතුගිසීන් ආවට පස්සෙයි අපි සුරුක්කුව හදා ගත්තේ. වැඩවසම් සමාජය ධනපති සමාජයක් දක්වා වර්ධනය වීමේ මූල බීජය හට ගන්නේ ඕලන්ද හා පෘතුගීසීන්ගේ පූර්ණ දායකත්වය ඇතිව සිදු කරනු ලැබූ ‘කුරුඳු’ වගාව හරහා වීම ඓතිහාසික කාරණයක් වෙනවා. කුරුණෑගල කහටගහ වත්ත මිනිරන් පතල හරහා නව ධනේශ්වරය ගොඩනැගෙන ආකාරය ගැන මෙම කෘතිය හරහා මා යම් යම් ඉඟි ලබා දී තිබෙනවා.

ලංකාවේ එදා පටන් වෙළඳ නගරයක් වීම හරහාම විදේශිකයන්ගේ පාරාදිසයක් වූ බවට ඔබ සතු සාධක මොනවාද?

ඉතිහාසය බලන විට ලංකාවට අරාබි ජාතිකයන්ගේ පැමිණීම පෘතුගීසීන්ගේ පැමිණීමටත් ප්‍රථම සිදු වී තිබෙනවා. පාහියන් භික්ෂුව සමඟ චීන සංචාරකයන් ලංකාවට ඉතා ඈත ඉතිහාසයේ ඇවිත් තිබෙනවා. ඉතිහාසය දෙස බලන විට අරාබි ජාතිකයන්ද ලංකාවට ඇවිත් තියෙන්නේ ‘කුරුඳු’ ගෙනියන්නයි.

ලංකාවේ භූමිය තුළ ස්වාභාවිකව ‘කුරුඳු’ ශාකය ඉතිහාසයේ සිට හැදිලා තියෙනවා. ලංකාවේ කුරුඳු වගාව භෝග වගාවක් ලෙස සංස්ථාපනය කරන්නේ 1765 දී එවකට සිටි ඕලන්ද ආණ්ඩුකාරවරයා යටතේදීයි. ඔහු ලංකාවේ හා විදේශීය ආයෝජකයන්ට ලංකාවේ භූමියේ පොල් වගාව, කෝපි වගාව හා කුරුඳු වගාව සඳහා ඉඩම් විශාල වශයෙන් ලබා දෙනවා. මේ අනුව ඉඩම් හිමි වැවිලිකරුවන් පිරිසක් නව ධනේශ්වර අර්ථ ක්‍රමයක් යටතේ ස්ථාපනය කිරීම සිදු වෙනවා. සොයිසලා, ප්‍රනාන්දුලා වගේ අය මේ පන්තිය නියෝ ජනය කරනු ලබනවා. මේ අයට මත්පැන් රේන්ද පවා තමන් සතු කරගන්නට හැකියාව ලැබෙනවා.

ගොන්සාල්වේස් පියතුමා හා ලෝරන්ස් පයිල් ආණ්ඩුකාරවරයාගේ සැගවුණු දේශපාලනික හා ආගමික න්‍යාය පත්‍රයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රොතෙස්තන්ත්‍ර ආගම කන්ද උඩරට ආක්‍රමණය කරනවා නේද?

ඕලන්දකාරයින් යටත් විජිත වෙනුවෙන් ඉතා සූක්ෂ්ම ලෙස දේශපාලනික හා ආගමික න්‍යාය පත්‍රයක් ගෙන ගියා. ඔවුන් හරිම උපක්‍රමශීලි ලෙසයි මෙය භාවිතා කරනු ලැබුවේ. ඔවුන් මීට අමතරව අලුත් ආර්ථික රටාවක් යටත් විජිත තුළ ව්‍යාප්ත කරනු ලැබුවා. ඕලන්ද යුගයේදී ප්‍රථම වතාවට වෛi විiාව හදාරන්න ලංකාවේ සිසුන් 6 දෙනෙක් බෙංගාලයට යවනු ලැබනවා. ඉන් අනතුරුව පරිපාලන කටයුතු ඉගෙන ගන්නත් ලාංකික සිසුන් බෙංගාලයට යවනු ලබනවා. ගොන්සාල්වේස් පියතුමා හරහා කන්ද උඩරට ප්‍රොතෙස්තන්ත්‍ර ආගම් ව්‍යාප්ත කරමින් පල්ලි හා පල්ලි ආශ්‍රිත පාසල් පද්ධතියක් නිර්මාණය කරනු ලබනවා. එසේම උඩරට රාජ්‍යයේ රජතුමා සමඟ ඉතා සමීපව කටයුතු කරමින් ප්‍රොතෙස්තන්ත්‍ර ආගම හරහා ජනතාව දිනා ගැනීමේ කටයුතු සිදු කරනු ලබනවා. එක විටක ජනතාව හා රජු අතර වෛරය වැපිර වීමේ කාර්යයක්ද ගොන්සාල්වේස් පියතුමා ඉටු කැරනු ලබනවා. ලෝරන්ස් පයිල් ආණ්ඩුකාරවරයා ඉතා කූට ලෙස රජු හා ජනතාව අතර අසමගිය වැපිරවීමේ කාර්යය සිදු කරනු ලබනවා. උඩරට පැවති ආර්ථිකය අඩපන කරන්න යුද්ධය මගින් හා විවිධ ගිවිසුම් මගින් ලෝරන්ස් පයිල්ට හැකියාව ඇති වුණා. ඔහු ඉතා ඥානාන්විතව බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟද සමීප ඇසුරක් පැවැත්වුවා. ඕලන්ද ආණ්ඩුකාරවරයා කන්ද උඩරටට යවන පුත්තලම ලේවායේ පැවති ලුණු ලබාදීම තහනම් කළා. ලුණු හිඟය මත උඩරට ජනයා අතර නොසන්සුන් බවත් ඇති වුණා. මෙයින් ඇතිවූ යුද්ධය හේතු කරගෙන සිංහල රජතුමා ජයගත්තද ඕලන්ද බලකොටුවට ඔවුන් පහර නොදුන් නිසා යළි ඕලන්ද ආණ්ඩුකාරවරයා උඩරග තම අණසක පවත්වා ගැනීමට කටයුතු කරනවා. මේ අනුව බලන විට ඕලන්ද ආණ්ඩුකාරවරයා එක පැත්තකින් ආර්ථික හේතුන් මත ඉතා ක්‍රමවත්ව ලාංකික ජනයා තලාපෙළා දමන්නත්, අසමගි කරන්නත් කටයුතු කරනු ලැබූ බව ඉතිහාසය තුළ සඳහන් වෙනවා.

අසාර්ථක රාජ්‍ය කුමන්ත්‍රණ අද විතරක් නොව ඉතිහාසයේද සඳහන්. ‘කුරුඳුවත්ත’ කෘතියේ එන සූරියගොඩ නාහිමි, අලුතලාවේ අධිකාරම්, ලෙව්කේ බණ්ඩාර, ගොඩ නගන අසාර්ථක රාජ්‍ය කුමන්ත්‍රණය ගැනත් සඳහන් කළ හැකිද?

ඒ රාජ්‍ය කුමන්ත්‍රණය අසාර්ථක වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ එය රටේ ජනතාව වෙනුවෙන් කරන රාජ්‍ය කුමන්ත්‍රණයක් නොව බලය හුවමාරු කර ගැනීම උදෙසා කීපදෙනෙක් විසින් සිදු කරනු ලබන ක්‍රියාවලියක් නිසායි. ලංකාවේ රාජ්‍ය කුමන්ත්‍රණ ඔය වගේ බල හුවමාරුව සඳහා සිදු කරන්න යෑමෙන් අසාර්ථක වූ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මේ වර්තමානය තුළත් අප අත්දකින්නේ ඒ වගේ දේවල් තමයි. රජ මාලිගයේ බලය වෙනුවෙන් විවිධ රදල කණ්ඩායම් හරහා සිදු කරනු ලබන කුමන්ත්‍රණ හේතුවෙන් රටේ පොදු ජනතාව සෙතක් වෙන්නේ නැතිනම් එවැනි කුමන්ත්‍රණ අසාර්ථක වෙන එක වලක්වන්න බැහැ. ඒ කුමන්ත්‍රණයේ කොටසක් ලෙස සූරියගොඩ හාමුදුරුවෝ දස්කොන් ලියනවා වගේ පෙම් හසුන් කිහිපයක් ප්‍රමිලා දේවියට ලියනවා. එය රජතුමාට ලැබෙන්න සලස්වනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දස්කොන්ව රජතුමා මරා දමනවා. ඉන් අනතුරුව පෙම් හසුන් ලියන ලද සූරියගොඩ හාමුදුරුවෝද මරා දමනවා. දස්කොන් දක්ෂ සෙනවියෙක් වගේම අලුතින් හිතන්න පුළුවන් කෙනෙක්. ඔහුට ලෝකය ගැන හොඳ වැටහීමක් ඒ වන විටත් තිබුණා. ඒ වගේම ගොන්සාල්වේස් පියතුමාගේ දියුණු ආගම් දෘෂ්ටිය. මේ දෙකම එකතුවෙලා තව කාලයක් රට ඉදිරියට ගෙන ගියානම් 1818 දී අපට උරුම වෙන්නේ වෙනස්ම චිත්‍රයක් කියලයි මගේ අදහස වෙන්නේ. ලැබුණු සමාජයට වඩා යහපත් සමාජයක් අපට උරුම වෙන්න තිබූ ඉඩ වැඩි බවයි මගේ අදහස. මේ අදහස් සමඟ බොහෝ දෙනා එකඟ වෙන එකක් නැහැ. හැබැයි මා ගොන්සාල්වේස් පියතුමාගේ හා දස්කොන්ගේ කාර්යයභාරය ඇගයීමට ලක් කරන්නෙක්. දස්කොන්ගේ ක්‍රියා පටිපාටිය දිහා බැලූ විට පෙනී යන දෙයක් වෙන්නේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන යම් ප්‍රමාණයකට සැලකිල්ලක් දක්වන ලද පුද්ගලයකු ලෙසටයි. ගොන්සාල්වේස් පියතුමාගේ පල්ලි ආශ්‍රීත පාසැල් පද්ධතිය හරහා ක්‍රමවත් දැනුමක්, ආගමික මතවාදයක් ජනතාවට ලබා දීමය උත්සුක වී තිබෙනවා.
අනිත් අතට දස්කොන් සක්මන් මලුවේදී ප්‍රමිලා දේවීය හමු වී ආදරය ගැන කතා කළා කියන එක මම පිළිගන්නේ නැහැ. ඔවුන් කතා කරන්නේ වෙනත් භාෂාවකින්. ලෝකය පිළිබඳ හා වෙනත් තොරතුරු තමයි ඔවුන් කතා කරන්න ඇත්තේ. වෙනත් භාෂාවකිත් කතා කරන නිසාම රජ ගෙදර අයට මේ ගැන සැකයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රමිලා ඉන්දියාවේ මදුරා පුරවරයෙන් ගෙන්වනු ලැබූ දේවියක්. ප්‍රමිලා දේවිය රූමත් බවත් විතරක් නොව අධ්‍යාපනය අතින්ද ඉදිරියෙන් සිටිය කෙනෙක්. එය ඉතිහාසයේ මනාව සඳහන් වෙනවා. මෙය මා දකින්නේ සමාජයේ දියුණුව වෙනුවෙන් ගොඩනැගුණු සබඳතාවයක් ලෙසයි. වැරදි වැටහීම් නිසා අකාලයේ විනාශ වූ හොඳ මානුෂීය බැඳීමක් ලෙස දස්කොන් ප්‍රමිලා සබඳතාව මා දකිනවා. මේ ගැන වැඩි දෙනෙක් එකඟවෙන්නේ නැති වෙන්න පුළුවන්.

පහතරට සිංහලයන් හා උඩරට සිංහලයන් අතර ඉතිහාසයේ පටන් නොහොඳ නෝල්කාඩුවක් තිබුණු බවත් ඒ නිසාම එහි ලාභය විදේශිකයන් සතු වූ බවත් ඔබ පිළිගන්න කැමතිද?

එය ඒ ආකාරයටහ පිළිගන්න මා කැමති නැහැ. උඩරට පහතරට භේදය වෙනස් කෝණයකින් දකින්නයි මගේ අදහස. සරල හේතු සාධකවලට එහා ගිය වෙනයම් දේශපාලනික කතාවක් ඔය තුළ තියනවා. පහතරට සිංහලයන්ට ඕලන්දක්කාරයින් සැලකූ විදිහට නොවෙයි උඩරට සිංහල ජනතාවට ඔවුන් සලකන්නේ. පහතරට සිංහලයන් සමඟ ඕලන්දකාරයින් පැවැත්ම තහවුරු කරගන්න ගමන් උඩරට සිංහලයන් සමූල ඝාතනය කරන්න තරම් ඕලන්දකරයින් දැඩි වුණා. මේ සෑම දෙයක්ම මේ ආකාරයට සිදු වන්නේ දේශපාලනික හේතු නිසා. තමන් සමඟ එකට වැඩ කරන්න කැමති, වුවමනාව තියන අය සමඟ ප්‍රජාතන්ත්‍රවාදය බෙදා ගන්නත් එාසේ නොවන කොටස් වෙත යුධ නීතිය ප්‍රකාශ කරන්නත් ඕලන්ද ආණ්ඩුව තීරණය කිරීම දේශපාලනික උපක්‍රමයක් ලෙසයි මා නම් දකින්නේ. දැන් බලන්න වීර පුරන්අප්පු පහතරට සිංහලයෙක්. ඔහු කන්ද උඩරටට පලා ගිහින් තමයි තමන්ට අවශ්‍ය සේනාව උඩරටින් සොයා ගන්නේ. පහතරට සේනාවක් ඔහු සමඟ එකතු වෙන්න සිටියේ නැහැ. ඇයි පහතරට ජනතාව විදේශිකයන්ට එරෙහිව සටනට නොගියේ? මේ ගැන අප විමර්ශනාත්මකව සිතා බැලිය යුතුයි.

ඔබ සෑම විටම ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නේ විදේශිකයා ලංකාව තළ සිටි කාලය තුළ යම් කාර්යභාරයක් ඔවුන් සිදු කළ බව නේද? විදේශීකයන් පැමිණීම හේතුවෙන් අද ලංකාවේ පවතින යම්තාක් හෝ සංවර්ධනයට උපකාරී වී තිබෙන බව නේද?

විදේශියකයන්ගෙන් අප බලාපොරෙත්තු වන ප්‍රජාතන්ත්‍රවාදය 100% ලැබුණා කියලා මා කියන්න යන්නේ නැහැ. එහෙත් දියුණු ලෝකයේ ලක්ෂණ අප සතු වුණේ මේ විදේශීයන් ලංකාවට පැමිණීමත් සමඟයි. ඔවුන් නොවන්න අප තවමත් ම්ලේච්ඡ විදියට ජීවත් වන ජනතාවක්. ලෝකය ඇතුලෙයි ලංකාව තියෙනනේ. බොහෝ දෙනකුට තවමත් නොතේරෙන කාරණය ඕකයි. ලෝකය යන ගමනට ලංකාවත් දායක වෙන්න ඕනේ. එහෙම නැතිව අපට හුදකලාව ඉන්න බැහැ. සමහර දේශපාලනඥයින් 1948 සිට අද දක්වා නොකියන ඇත්ත කතාව තමයි ඔය. තවමත් ගෝත්‍රික ලෙස මිලේච්ඡ විදිහට හිතන දේශපාලනඥයින් මෙන්ම ඔවුන්ට ආවඩන පිරිස් රට තුළ ඉන්න පුළුවන්. හැබැයි දියුණු ලෝකය තුළ ඔවුන්ගේ පැවැත්ම අවිනිශ්චිතයි.