පෘථිවියම එකම යායක් කළ විශ්වීය සත්සර රාවය

සම්පත් බණ්ඩාර

මානව ශිෂ්ටාචාරයේ මුල් බිම් සහ ලෝක උරුමයන් අතරින් මතුව එන ඔහුගේ විශ්වීය සංගීත සම්ප්‍රදානය දේශසීමා, භාෂා, ජාති, ආගම් භේද අතික්‍රමණය කරමින් විසිඑක්වැනි සියවසේ නවතම තාක්ෂණික ප්‍රයෝගයන් හා මුසුව කෝටි සංඛ්‍යාත රසකාමි හදවත් ප්‍රමුදිත කරමින් අනවරතව ගලා එයි.

ඊජිප්තුවේ මහා පිරමීඩ අතරද, ලෙබනනයේ ‘බිබ්ලෝස්’ පුරාණ නගර මධ්‍යයේ සිටද, ගීසාහි ‘ෆිනික්ස්’ පිළිරුව අබියස සිටද, ග්‍රීසියේ ඇතැන්ස් නුවර ‘ඇක්‍රොපොලිස්’ සිටද, පන්සිය වසරක් චීන අධිරාජ්‍යයන්ගේ වාසභවන වූ තහනම් නගරයේ (Forbidden City) සිටද, රුසියාවේ මොස්කව් නුවර ‘මොක්ස්වා’ නදිය අසබඩ පිහිටි ‘ක්‍රෙම්ලීන්’ මන්දිර භූමියේ සිට පමණක් නොව ආදර සැමරුම් කැටිවුණ ‘ටජ් මහල්’ මන්දිර භූමියේ සිටද ඔහු සිය සාමාජිකයන් හැට එක් දෙනකුගෙන් සමන්විත වාදක මඬුල්ල සමග සිය සත්සර රාවය විශ්වය පුරා මුදා හැරියේය.

ජගත් සංගීත ඥානයේ නව අරුත් සොයන්නන්ට “Yanni” (යානි) යනු විශ්ව කෝෂයක් නම්, ඔහු සංගීතය නම් විශ්ව භාෂාවේ නවතම අන්වර්ථ නාමයක් බඳුය. ‘යානි’ යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වර සප්තකයේ විශ්ව සංකේතයකි.

‘යානි’ ලෝ පතළ සංගීතඥයෙකි, පියානෝ වාදකයෙකි, ඕගන් වාදකයෙකි, සංගීත නිෂ්පාදකයෙකි. ඔහු Classical (සම්භාව්‍ය).  Soft Rock  (සරල රොක්) මෙන්ම ජගත් සංගීතයේ විවිධ ඉසව් ස්පර්ශ කරමින් නිර්මාණකරණයේ යෙදී සිටී. යානි නම් සංගීත නිර්මාපකයාගේ විශේෂත්වය නම් කිසිදිනෙක ක්‍රමානුකූල සංගීත අධ්‍යාපනයක් නොලද තැනැත්තකු වීමයි. ස්වර ප්‍රස්තාර ඇසුරු නොකළ ඔහු කුඩා කල සිටම සිය ස්වර නිර්මාණ සඳහා තමාටම ආවේණික අක්ෂර විශේෂයක් භාවිත කළේය. සංගීතය පිළිබඳ කිසිදු උපාධියක් හෝ ආචාර්ය උපාධියක් නොලද ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ‘මිනෙසෝටා’ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ උපාධිධරයෙකි.

යානි නිර්වචනය කරනු ලබන්නේ ‘සත්‍ය විශ්වීය කලාකරුවා’  (True Global Artist)  ලෙසය. ඔහු මහද්වීප පහම නියෝජනය කරමින් රටවල් 30කට අධික සංඛ්‍යාවක සිය සජීවී ප්‍රසංග පවත්වා ඇත. ඔහු සංගීත ඇල්බම (ප්ලැටිනම් සහ ගෝල්ඞ්) හතළිහකට අධික සංඛ්‍යාවක් එළිදක්වා ඇති අතර, ලොව පුරා ඒවායේ අලෙවිය දෙකෝටි පනස් ලක්ෂය ඉක්මවයි.

ඔහුගේ ප්‍රථම සජීවී සංගීත සංධ්වනිය විකාශය හා පටිගත කිරීම සිදු කෙරුණේ 1993 සැප්තැම්බර් මස 23 වැනිදාය. ඉරාන ජාතික සංගීත අධ්‍යක්ෂ ෂහ්රාඞ් රොහානිගේද සහයෙන් වාදකයන් හැටඑක් දෙනකුගෙන් සමන්විතව මේ ප්‍රසංගය ඉදිරිපත් කරන ලද්දේ ග්‍රීසියේ ඇතන්ස් නුවර ලෝ ප්‍රකට ඇක්‍රොපොලිස් පුරාවිද්‍යා ස්මාරකය අසල පිහිටි වසර දෙදහසක් පමණ පැරණි ‘හෙරොඩස් ඇටිකස්’ නාට්‍යාගාරයේ සිටය. සජීවී සංගීත ප්‍රසංග ඉතිහාසයේ එක්තරා කඩඉමක් බවට පත්වූ මෙම ප්‍රසංගය ලොව පුරා රටවල් 65ක බිලියන භාගයක (කෝටි 50ක) ජනතාවක් නැරඹූහ.  Acropolis යනුවෙන් නම් කළ මෙම ඇල්බමය පිටපත් මිලියන හතක අලෙවියක් වාර්තා කළ අතර, එම අලෙවි වාර්තාව දෙවැනි වන්නේ මයිකල් ජැක්සන්ගේ ‘ත්‍රිලර්’ ඇල්බමයට පමණි. නව සහශ්‍රකයේ ආරම්භයත් සමගම නිකුත් වූ ඔහුගේ ශබ්දාගාරයක් තුළ පටිගත කළ ප්‍රථම ඇල්බමය  ‘It I Could Tell You පළමු සතිය තුළ පමණක් පිටපත් 55,000ක අලෙවි වාර්තාවක් තැබීය. 2003 වසරේ ලොව සියලු සංස්කෘතීන් හා ජාතීන්ගේ සම්මිශ්‍රණයක් ලෙස ඉදිරිපත් කළ අපූරු සංගීතමය ව්‍යායාමය  Ethnicity නමින් නිකුත් විය.

යානි ඊජිප්තුවේ මහා පිරමීඩ හා ගීෂාහි ඉපැරණි ෆිනික්ස් පිළිරූ භූමියේදී 2015 වසරේ ඔක්තෝබරයේ පැවැත්වූ ප්‍රසංගය සඳහා ඊජිප්තු රජය තුන් දහසක ආරක්ෂක බලසේනාවක් යෙදවීය. එම වසරේම නාසා ආයතනය මගින් ඉදිකරන ලද ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ පහළොස්වැනි සංවත්සරය සඳහා ඔහු ‘බිලියන හතකගේ සිහිනය’   (Seven Billion Dreams) නම් අපූරු ගීතය නිර්මාණය කළේය. ඔහුගේ සංගීත නිර්මාණ ලොව ප්‍රධානතම ක්‍රීඩා උළෙල ගණනක තේමා සංගීතය බවට පත්විය. ‘ප්‍රංශ සවාරිය’, ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලිය, ඇමරිකානු විවෘත ගොල්ෆ් තරගාවලිය, ලෝක හිම මත ලිස්සා යෑමේ තරගාවලිය සහ ඔලිම්පික් තරගාවලිය ඒ අතර වෙයි.

යානිගේ සංගීත ඔකේස්ට්‍රාව සඳහා ලොව විවිධ රටවල විවිධ ජාතීන්ට අයත් අතිදක්ෂ වාදකයන් සහභාගි කරවා ගැනීම ඔහුගේ විශ්වීය බව තවත් අර්ථවත් කරන්නකි. මේ සඳහා එක්වූ ශ්‍රී ලාංකිකයා හුසේන් ජිෆ්රි (Hussain Jiffry) ය. දැන් ඇමරිකාවේ ජීවත් වන ජිෆ්රි විටින් විට යානිගේ සංගීත සංධ්වනි සඳහා බේස් ගිටාරය වාදනය කරයි. 2014 වසරේ පනස් හයවැනි ග්‍රෑම් සම්මාන උළෙලේදී හොඳම පොප් වාද්‍ය ඇල්බමයට හිමි සම්මානය ද ලැබූ ඔහු ගායිකා විස්ට්නි හූස්ටන්, ජෑස් වාදක සෙර්ජියෝ මෙන්දිස් වැනි ලෝ ප්‍රකට තරු හා එක්ව පසුබිම් සංගීතයට එක්වී තිබේ. මේ සියලු මුසුවීම් යානිගෙ  One World – One People (එකම ලොවක් – එකම ජනතාවක්) යන තේමා පාඨයේ අදහස මූර්තිමත් කරයි.

යානිගේ සංගීතමය ආරෝපණය සහ ආභාෂය ආසියානු, ලතින් ඇමරිකානු, මැදපෙරදිග ජන නාද රටා හා සංගීත සම්ප්‍රදායන් මෙන්ම ‘ශාස්ත්‍රීය’, ‘රොක් ඇන්ඞ් රෝල්’, ඉලෙක්ට්‍රොනික යන සංගීත ප්‍රභේදයන්ගේද සියුම් මුසුවකි. අටවැනි වියේ සිටම ජොහාන් සෙබස්තියන් බාක්ගේ සංගීතය ශ්‍රවණය කළ ඔහු බීතෝවන්, ෆෙඞ්රික් චොපින් සහ මොසාට්ගේ සංගීතයෙන් නිර්මාණ ආවේගය ලැබීය.
බොහෝ සංගීත විචාරකයන් යානිගේ සංගීතය අර්ථ දක්වන්නේ ‘නව යුගයේ සංගීත සම්ප්‍රදානයේ ආධ්‍යාත්මික අර්ථ දැක්වීමක්’ ලෙසය. ඬේවිඞ් සීගල් නම් ඇමරිකානු සංගීතඥයා පවසන්නේ යානි යනු තමා විසින්ම නිර්මාණය කරගත් ස්ව සංගීත සම්ප්‍රදානයක ‘ජීවමාන රූපකය’   (A living metaphor) බවය. කෙසේ වුවද සිය මනෝ විද්‍යාව පිළිබඳ අධ්‍යාපනය තම නිර්මාණය සඳහා සියුම් ලෙස පාදක වී ඇති බව යානි බොහෝ වරක් ප්‍රකාශ කර ඇත. විශ්ව සංගීතය වෙනුවෙන් කළ අනුපමේය සේවය උදෙසා 2004 වසරේ තමා අධ්‍යාපනය ලැබූ මිනෙසෝටා විශ්වවිද්‍යාලයෙන්ම ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමිණි.
යානි ග්‍රීක ජාතිකයෙකි. හැට හතර හැවිරිදි වියේ පසුවන ඔහු තවමත් තරුණ ජවයෙන් හා උද්යෝගයෙන් යුතුව නිර්මාණකරණයේ නිරතව සිටී.
1954 වසරේ නොවැම්බර් 14 ග්‍රීසියේ ‘කලමටා’හිදී උපත ලැබූ ඔහු බැංකුකරුවකුගේ පුත්‍රයෙකි. ඔහුගේ නියම නම යිආනිස් හිසොමාලිස්ය. ඔහු පියානෝව වාදනය කිරීම ආරම්භ කළේ යන්තම් හය හැවිරිදි වියට එළැඹෙද්දීය. යානි ග්‍රීක් ජාතික වාර්තාවක් තැබූ දක්ෂ පිහිනුම් ශූරයකු බව බොහෝ දෙනකු නොදන්නා කරුණක් විය හැකිය. 1972 වසරේදී ඔහු මේ වාර්තාව තැබීය. 1973 වසරේ මිනෙසෝටා විශ්වවිද්‍යාලයට ඇතුළු වී මනෝවිද්‍යාව පිළිබඳ උපාධිය සඳහා අධ්‍යාපනය ලැබුවේය.

1976 වසරේ මනෝවිද්‍යාව පිළිබඳ බී.ඒ. උපාධිය ලැබූ ඔහු මුලින්ම 1977 වසරේ මිනෙපොලිස්හි ‘චැමිලියන්’ වාදක කණ්ඩායම හා සම්බන්ධ විය. එතැනින් ආරම්භ වන ඔහුගේ සංගීත චාරිකාව විසල් ග්‍රන්ථයකින් සාකච්ඡා කළ යුතු තරම් දිගු හා සංකීර්ණ එකකි. මේ සංගීත වන්දනාවේ බොහෝ කරුණු කාරණා 2003 වසරේ එළිදුටු ඔහුගේ ස්වයං චරිතාපදාන කෘතියට (Yanni in Words) ඇතුළත්ව තිබේ.
යානි 2014 වසරේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා ලංකාවටද පැමිණියේය. එහිදී සීගිරි පර්වත ශීර්ෂයේ තැනිතලා භූමියේ හෙලිකොප්ටර් ආධාරයෙන් ශබ්ද උපකරණ හා විකාශන උපකරණ රැගෙන ගොස් ලොව පුරා සජීවීව විකාශනය කරන දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා එදවස සිටි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය. අපේ සාම්ප්‍රදායික, දුර නොදකින සංස්කෘතික බලධාරීන් එම ඉල්ලීම අවඥාවෙන් ඉවත දැමූහ. අනතුරුව සීගිරිය පර්වත පාමුල එම කාර්යය සඳහා සුදුසු භූමියක් යෝජනා කරන්නැයි යානී ඉල්ලීමක් කළේය. එයද ඉවත දැමිණි. ඒ වනවිටත් ඔහු ‘ඇතැන්ස්’හි ඇක්‍රොපොලිස්’, ඉන්දියාවේ අග්‍රාහි ‘ටජ් මහල්’ චීනයේ ෆොබ්ඩන්ට් සිටි, රුසියාවේ මොස්කව්හි ක්‍රෙම්ලීන්, ලෙබනනයේ ඓතිහාසික බිම්ලෝස් වැනි යුනෙස්කෝ ආයතනය මගින් ලෝක උරුමයන් ලෙස නම් කළ පුරා විද්‍යා ස්මාරක පසුබිම් කර ගනිමින් සාර්ථක ප්‍රසංග ඉදිරිපත් කර තිබුණේය. සීගිරියේ සිට ඩ්‍රෝන ආධාරයෙන්, විකාසනය කරන අතිමනස්කාන්ත ප්‍රසංගයක් ලොව පුරා අඩ බිලියනයක පමණ පිරිසක් නරඹනු ඇත. ඒ පාදක කර ගනිමින් ඩොලර් මිලියන ගණනක ප්‍රචාරක ව්‍යාපෘතියක්ද දියත් වන්නට තිබිණි. සීගිරිය පාදක කරගනිමින් නිෂ්පාදනය කෙරෙන සංගීත ඇල්බමය මිලියන ගණනක අලෙවි වාර්තා තබන්නට තිබිණි. එමගින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රසිද්ධිය හා සංචාරක ආකර්ෂණය ඩොලර් බිලියන ගණනකටවත් මිල කළ නොහැකි වන්නට ඉඩ තිබිණි. එහෙත් ගෝත්‍රික මනසින් මේ දෙස බැලූ අපේ සංස්කෘතික බලධාරීන්ට මේ කිසිවක් දර්ශනය වුණේ නැත.

ඉහළ මිල ගණන්වලට අලෙවි වූ ප්‍රවේශපත් සඳහා වෙන්වූ සංගීත ප්‍රසංගයක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පවත්වා අපේ රට දෙස අනුකම්පා සහගත බැල්මක් හෙළුෑ යානි යන්නට ගියේය.