තරග පැරදුණත් හතුරු ගොඩ

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සීතල නවසීලන්ත තරගාවලිය නිමා කළේ ගිනියම් වෙමිනි. පැවැති ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලි ත්‍රිත්වයම අපේ ක්‍රීඩකයෝ පරාජය වූහ. දැන් මේ පරාජයත් සමග අප ක්‍රීඩකයෝ ඕස්ටේ්‍රලියා තරග සංචාරයට සූදානම් වෙති.

පරාජය වූ මේ තරග සංචාරය ගැනත් එළැඹෙන ඕස්ටේ්‍රලියා තරග සංචාරය ගැනත් කිසිවෙක් කිසිදු කතාවක් නැත. හරියට වෙන්නට තිබූ දේ සිදුවූ ගාණ ය. මේ අප පරාජය වූ එක ම තරග සංචාරය හෝ කිසිදු වාර්තාවක් ලබා නොදුන් එකම තරග සංචාරය ද නොවන්නේ ය. සිදුවීම් සිදුවෙන්නේ පෙර ආකාරයෙන් ම ය. ඇමතිවරු මාරු වූවාට මේ ජරා ක්‍රමවේදයේ වෙනසක් සිදු නොවන ගාණ ය.
මේ දිනවල කතාවෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් සකසන ලද පසුගිය වසරේ ක්‍රීඩක දත්ත ඇගයීම් වාර්තාවක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 60, 000ක් අයකර ගත් කතාවක් ගැන ය.

“මේක අනවශ්‍ය ගෙවීමක්. අපි බලාපොරොත්තු වූ සේවය පුහුණුකරුගෙන් මෙතෙක් ලැබී නැහැ. එහෙම තිබෙද්දීත් ඔහු විසින් ම සැකසූ වාර්තාවකට මේ තරම් මුදලක් ගෙවීම අපරාධයක්.” මේ ආරංචිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කළ විමසීමකදී නම සඳහන් කිරීමට අකමැති නිලධාරියෙක් ප්‍රකාශ කළේ ය. ඔහු තවදුරටත් සඳහන් කළේ එකී මුදල පුහුණුකරු වෙත ගෙව්වා ද නැද්ද යන්න තමන් නොදන්නා බවයි.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් හි කාරණා කටයුතු සිදුවන ආකාරය ගැන ඇත්තේ ද කුකුසකි. පෙර කී නිලධාරියා ම පවසන පරිදි නවසීලන්ත සංචාරය අතරමගදී නිශ්චිත හේතුවක් නොමැතිව සංචාරයට නිලධාරීන් කිහිප දෙනෙක් එකතු කර ඇත. ඒ සියල්ලට ම ගෙවීම් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ය. මේ සියල්ල සිදුව ඇත්තේ ද කිසිදු ප්‍රමිතියකින් තොරව ය. එවන් දේවල් ඒ ආකාරයෙන් සිදුවෙනවා නම් මේ දේවල් ද අත යටින් සිදුවිය හැකි බවකි ඔහු පැවැසුවේ.

ඇගැයීම් වාර්තාව සැකසූ හතුරුසිංහගේ පසුගිය කාලයේ පැටිකිරිය අමුතුවෙන් මතක් කළ යුතු නැත. ඔහු බොහෝ දේවල් ක්‍රීඩකයන් මත ම තබා තමන් නිදහස්වීමට උත්සාහ කිරීමය සිදු කළේ. කිසිදු අවස්ථාවක ඊට ඔහු ද වගකිව යුතු බැව් පැවැසූ බවක් මතක නැත. පුදුමය නම් එවන් පුද්ගලයෙක් ම ය මේ වාර්තාවත් සකසන්නේ.

ක්‍රීඩා පිටියේ දවසින් දවස අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා හීනවීම සම්බන්ධයෙන් වාර්තාවක් අමුතුවෙන් සැකසිය යුතු ද? එය සිදුකළ යුත්තේ ඊට වගකිව යුත්තා ම ද? වාර්තාවක් ලබා දුන්නා යැයි සිතමු. ඊට පසුව සිදුවෙන්නේ කුමක් ද? ඒවා නිවැරදි කිරීමට මේ පුහුණුකරුට දීම ම නොවේ ද සිදුවෙන්නේ?

වාර්තාවක් ලබාදීමත් ඊට ප්‍රතිකර්ම කිරීමත් පුහුණුකරුගේ වගකීමකි. ඒ මෙතෙක් ඔහුගේ පුහුණුකාරීත්වයේ ප්‍රගතියක් අපේ ක්‍රීඩකයන් වෙතින් නොදකින නිසා ය. ඔහු ඔහුගේ සේවය නිසි ලෙසින් ලබා දෙන්නේ නම් හෝ දුන්නේ නම් තමන්ගේ සේවය සම්බන්ධයෙන් විශ්වසනීයත්වයක් ඇතිකර ගැනීම ඔහුගේ වගකීමකි. ඊට වාර්තාවක් මගින් හෝ වාචිකව ලබාදීමේ වගකීම ඔහු ට ඕනෑ ආකාරයකට කළ හැකි ය.
එහෙත් ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් වෙන ම ම මුදල් අයකර ගැනීමක් ඔහුට කළ හැකි ද? ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් එවන් මුදලක් ගෙවිය හැකි ද? අප එසේ විමසනුයේ ඔහු ඔහුගේ සේවය වෙනුවෙන් වැටුපක් ලබාගන්නා බැවිනි. එකී වැටුප අනෙකුත් රටවල් හා ගත් කළ සාධනීය එකකි. ඔවු විසින් ලබාගන්නා එකී වැටුපට ලබාදෙන සේවයට මේ ඇගයීම් වාර්තා ඇතුළත් නොවන්නේ ද? එය වෙනමම කාර්යයක් වන්නේ කෙසේ ද?

හතුරුසිංහට ඒ වෙනුවෙන් යම් ගෙවීමක් සිදු කළ යුතු ම නම් එය ගෙවිය යුතුය කියන මතයේ ද අප සිටිමු. ඒ ඔහු හා ගිවිස ගැනීමක් ඒ ආකාරයෙන් සිදුව ඇති නම් ය. දැන් ප්‍රශ්නය වන්නේ එවැන්නකට ගිවිස ගැනීමක් සිදුවූවා නම් ඔහුගේ සේවයේ අඩුවක් වී නම් ඊට ගන්නා වූ තීරණය කුමක් ද යන්න ය.

කෙසේ වෙතත් අපි තවදුරටත් හතුරුසිංහ කෙරෙහි විශ්වාස තබා සිටිමු. ලෙඩා මළත් බඩ සුද්ද වීම ගැන පුරාජේරු කතා කියන වෙදුන්ගේ ගාණට හතුරුසිංහ පත්විය යුතු නැත. හතුරුසිංහ කළ යුතුව තිබුණේ එවන් වාර්තාවක් සැකසුවේ නම් එය මුදලට ලබාදීම නොවේ. එවන් වාර්තාවක් ලබාදීම තම යුතුකමක් සේ සලකා එය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදීම ය. ඒ මගින් ක්‍රීඩකයන් සේ ම පාලකයන් ද හරිමගට ගැනීමට කතිකාවතක් ක්ෂේත්‍රයේ ඇති කිරීම ය.

මේ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීමට බලා සිටින රොෂාන් මහානාම, කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුරලිදරන් වැන්නෝ ඊට සම්බන්ධ කරගත හැකි බැව් ඔහුගේ ටිකිරි මොළයට පසක් විය යුතුව තිබුණි. එසේ වූවා නම් කෙතරම් අගනේ ද?