රෝසා ලක්ෂ්සම්බර්ග් (1871-1919) ඝාතනයට වසර 100 යි : ‘දිරිය රෝසා’ට උපහාරයක්

ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි

20වෙනි සියවසේ මුල්ම දශක දෙකේ විප්ලවකාරී සමාජවාදීන් අතර කැපීපෙනුණ ස්ත්‍ර්‍රීයක් වුයේ රෝසා ලක්ෂ්සම්බර්ග්ය. ඇයව ඝාතනය කොට මෙම සතියට අවුරුදු සියය සැපිරේ. මේ ඇය වෙනුවෙන් කෙරෙන කෙටි උපහාරයකි.

රෝසා ලක්ෂම්බර්ග් පෝලන්ත යුදෙව් ප්‍රභවයකින් යුතුවූවාය. ඇය 1890 පමණ සිට 1919 ඝාතනය වන තෙක්ම සමාජවාදය වෙනුවෙන් තම ජීවිතය කැප කළ නිර්භය, දිරිය ස්ත්‍රීයක් වූවාය. තම තරුණ වියේ සිටම මාක්ස්වාදයත් සමාජවාදයක් බිහිකිරීමේලා මාක්ස්වාදයට ඇති හැකියාවත් ඇය සමීපව සහ න්‍යායාත්මකව අධ්‍යයනය කළේ මහත් උද්යෝගයකිනි. 21 වැනි ශතවර්ෂයේ ධනවාදයෙන් සහ අධිරාජ්‍යවාදයෙන් බැටකන කම්කරු පංතියට සහ සමාන්‍ය ජනතාවට රෝසා අතිශයින්ම වැදගත් වූවාය. ඇය හැදෑරූ මාක්ස්වාදය දහස් ගණන් කම්කරුවන්ට ඇය ඉගැන්වූයේ කම්කරු පන්තියට පමණක් ධනවාදී ආර්ථිකයේ අත්තිවාරම් පුපුරුවා හැර සමාජවාදී සුසමාදර්ශය (socialist paradigm) ලොවට රැගෙන ඒමේ ශක්තිය ඇත්තේ එය තුළ පමණක් බව දුටු හෙයිනි.
ලෙනින්ද බෝල්ෂේවික් පක්ෂය ගොඩනැගීමේ කාර්යයේ නිරතව සිටිමුත් රෝසා, මාක්ස්-ලෙනින්වාදයේ හරය පිළිගන්නා ගමන් අවධාරණය කළේ පක්ෂයක් ගොඩනැගීමට වඩා දේශපාලනික වශයෙන් පරිණත වූ කම්කරු පන්තියක් බිහිකරගැනීම අරමුණ කරා යා හැකි එකම මාර්ගය බවයි. කම්කරුවාගේ විප්ලවීය හෘදය න්‍යායික පදනමක් සහිත මොළයකින් සන්නද්ධ නොකළහොත් විප්ලවය ජයගැනීම කල්යෑමට ඉඩකඩ ඇති බවත් ජයගනු ලබන විප්ලවය රඳවා ගැනීමට අපහසු වන බවත්ය. එසේ කළහොත් පක්ෂ දේශපාලනය ඒකාධිපතීත්වයකට යාම වුවද වළක්වා ගත හැකි බව ඇය තරයේ අවධාරණය කළ දෙයකි. ඇත්තෙන්ම ඇය නිවැරදි බව දැකීමට ඇයට ජීවත්වීමට නොහැකිවිය. දිනාගත් රුසියානු විප්ලවය රැක පවත්වාගෙන යාමට සාර්වාදය පලවා හැර බලයට පැමිණි පාලකයින්ට නොහැකිවිය. ප්‍රධාන හේතුව වූයේ පාලනය ක්‍රමයෙන් ඒකාධිපතිත්වයකට මාරුවීමය. රෝසා ජීවතුන් අතර සිටියදී අවධාරණය කළ බොහොමයක් අදහස් නිවැරදි බව පසුව බොහෝ දෙනාට අවබෝධ වුවද ඒ වනවිට ප්‍රමාද වැඩිය. ඒකාධිපතිවාදය ජර්මනිය රුසියාව, ඉතාලිය සහ ස්පාඤ්ඤය ආදී රටවලින් අති දරුණු ලෙස මතුවූහ. කම්කරු පන්තිය න්‍යායෙන් සන්නද්ධ කළ යුතුය යන රෝසාගේ මූලික ස්ථාවරයෙහි වැදගත්කම තුළින් ඇගේ දේශපාලන පරිචය සිතාගත හැකිය.

පෝලන්ත, ජර්මන් සහ රුසියානු සමාජවාදී ව්‍යපාරයන්හි ප්‍රබල ක්‍රියාකාරිනියක් වූ ඇය මෙම රටවල් තුනෙහිම සමාජවාදී ව්‍යපාරවලට දිරියක් දුන් ප්‍රබල දේශපාලන ස්ත්‍රියකි. ජර්මන් කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භකයා මෙන්ම ස්පාටසිස්ට් වාමාංශ ලීගයේ නිර්මාතෘවරිය වූයේද ඇයයි. රෝසා 20වෙනි ශතවර්ෂයේ පතාක දේශපාලන පිරිමින් වූ ලෙනින්, කව්ට්ස්කි, ට්‍රොට්ස්කි සහ ග්‍රාම්ෂී සමඟ උරෙනුර ගැටෙමින් විප්ලවකාරී දේශපාලනය කළ ස්ත්‍රීයකි. ලෙනින්ගේ සමහර ආස්ථානයන් පවා විචාරය කිරීමට ඇය පසුබට වූයේ නැත.

එසේම 20වෙනි ශතවර්ෂයේ මුල් අර්ධයේ සමාජවාදී ක්‍රියාකාරීනියන් වූ නීෂ්ඩා කෘෆ්ස්කායා (ලෙනින්ගේ බිරිඳ) කොන්ස්ටන්ස් මාකිවික්ස් (අයර්ලන්තය), නවන්යෙරුවා (නයිජිරියානු), නතාලියා ෂෙඩෝවා (ට්‍රොට්ස්කිගේ බිරිඳ) රෝසාගේම යෙහෙළියක් වූ ක්ලාරා ෂෙට්කින් ආදීන් අතර වඩාත් කැපී පෙනුණ සමාජවාදී ස්ත්‍රිය වුයේ රෝසාය. එපමණක් නොව ජර්මන් විප්ලවයට දායක වූ ඇගේ සමකාලීන ක්‍රියාකාරිණියන් වූ මාරිත් රීඩල්, හිල්ඬේ ක්‍රෙමර්, කෝකා ලන්ඩාවු සහ ක්ලෙයා යුං අතරින්ද වඩාත් කැපීපෙනුනේ රෝසාය.

රෝසා ඝාතනය

රුසියානු විප්ලවය සිදුවුයේ ඔක්. 17 දිනය. ජර්මනියේ  Schgeidemann  දක්‍ෂිණාංශික රජයේ නියෝගයක් මත එම රජයට පක්ෂපාතී වූ Freikorps නමින් හැඳින්වූ ව්‍යපාරය විසින් තුවක්කු කඳවල්වලින් අමානුෂික ලෙස හිසට පහරදී සිහිසුන් කොට එවිට 47 වියේ සිටි රෝසාගේ හිස වම් කණ හරහා වෙඩිල්ලකින් පසාරු කොට ඇයව ඝාතනය කොට පසුව මිනිය බර්ලීනයේ  Landwehr  ඇළට විසිකරනු ලැබුවේ එයට වසරක් සහ මාස කිහිපයකට පසුය. එනම් 1919 ජනවාරි 15වෙනි දිනය. මේ සතියට හරියටම වසර 100 කට පෙරය. 15වෙනි දින ලෝ පුරා ඇයව සැමරීය.
දක්‍ෂිණාංශික දඩයක්කාරයින් අමානුෂික ලෙස ඝාතනය කළේ රෝසා ලක්ෂ්සම්බර්ග් නමැති ස්ත්‍රීය නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තම ජීවිතයම කැප කළ සටන්කාමිනියකි. වෙනත් බොහෝ ස්ත්‍රීන් මෙන් දරුවන් වදා, කවාපොවා, හදාවඩා, ස්ත්‍රීයකගේ සාම්ප්‍රදායික භූමිකාව ඇයද කළේ නම් ඇයව ඝාතනය කිරීමට නිමිත්තක් හතුරන්ට නොමැති වනු ඇත. එහෙත් ම්ලේච්ඡයින් විසින් තිරිසන් ලෙස රෝසාව ඝාතනය කළේ ඇය ජනතාව වෙනුවෙන් ලියු නිසාය: හඬ නැඟූ නිසාය: වැඩකළ නිසාය: කම්කරු පන්තිය ධනේශ්වරයට එරෙහිව පෙළ ගැස්වූ නිසාය: පීඩිත බහුතරය වෙනුවෙන් සමාජවාදි දේශපාලනයක නිරත වූ නිසාය: ඇය ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂාව නිතරම පැතූ නිසාය. ඒ සඳහා නොබියව පෙනී සිටීම නිසාය.
රෝසා දේශපාලන ක්‍රියාකාරිණියක් පමණක් නොවීය. ඇය සමාජවාදය සහ මාක්ස්වාදය පිළිබඳ හසල බුද්ධියක් ඇත්තියකද වූවාය. දෙවෙනි වූයේ නම් ඒ කෘප්ස්කායාට පමණියැයි ද කියැවිණි. එසේ වුවද මගේ තක්සේරුවට අනුව කෘප්ස්කායාට නොතිබූ විප්ලවකාරි ජවයක් සහ න්‍යයාත්මක පරිචයක් රෝසාට තිබිණ. හේතුව රුසියාවේ පසුබිමට වඩා දේශපාලනික වශයෙන් චංචල සහ ප්‍රචණ්ඩ ජර්මනියක රෝසාට තම දේශපාලනය කිරීමට සිදුවීමත් එම තත්ත්වයන්ට ඇය නිර්භයව මුහුණදීමත්ය. අභියෝග ඇය ඉදිරියේ හැකිළුනා මිස අභියෝග ඉදිරියේ ඇය සැලුනේ නැත. ඒවාට පිළිතුරු ඇය ක්‍රියාවෙන් මෙන්ම පෑනින්ද මුදාහැරියහ.
ඇයගේ ‘සමාජ ප්‍රතිසංශෝධනයද නැතිනම් විප්ලවයද?’ (1899) කෘතිය සංශෝධනවාදය පිළිබඳ ප්‍රබල විචාරයක් විය. ඇයගේ ‘මහා වැඩවර්ජන, පක්ෂය සහ කම්කරු සමිති’ (1906) කෘතියෙන් ඇය ලෙනින් තුළ ප්‍රජාතන්ත්‍රික මධ්‍යගතවාදයක් ඇතැයි විචාරය කළේ පක්ෂය ගොඩනැඟීමට වඩා ජනතාව ඒකරාශි කිරීම වැදගත් බව අවධාරණය කරමිනි. මාක්ස්ගේ ප්‍රාග්ධනයට (1868) දිගුවක් ලෙස පළකල ඇයගේ ප්‍රධාන කෘතිය ලෙස සැලකෙන ‘ප්‍රාග්ධන සමුච්චනය’ (1913) කෘතියෙන් ඇය පෙන්වා දුන්නේ කාර්මික රටවල නිපදවෙන අතිරික්තය ධනවාදී නොවන රටවල් වලට ආනයනය කිරීමෙන් ධනවාදය එම ප්‍රශ්නය විසඳා ගන්නා බව සහ ගෝලීයකරණ ක්‍රියාදාමයේ මුල එය වන බවයි. මෙය මාක්ස්ව වැරදියට කියවීමක් ලෙස සමහරු දැක්වුවත් එය ඇය පළිගත්තේ නැත. ඇය ‘විචාර විරෝධය’ කෘතිය ලීවේ සිය ප්‍රාග්ධනය සමුච්චනය පොතට එල්ල වූ ප්‍රහාරයන්ට පිළිතුරු වශයෙනි.

ඇයගේ නම සමඟ වඩාත් සම්බන්ධව ජනප්‍රිය වුයේ “සමාජවාදයද? ම්ලේච්ඡත්වයද?’යන තේමාවයි. එහි හරය වූයේ “ධනපති පංතිය මංසන්ධියකට වැටී ඇත. එක්කෝ සමාජවාදයට හැරිය යුතුය. නැතිනම් ම්ලේච්ඡත්වයට පසුබෑ යුතුය’. දෙකෙන් එකක් තීරණය කළ යුතුය යන්නය. එංගල්ස් සහ කාල් කව්ට්ස්කි පවා මීට පෙර කර තිබූ මෙම අවධාරණය සහ රෝසා කළ ප්‍රතිඅවධාරණය, එනම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැණවත් සවිඥාණික තේරීමක අවශ්‍යතාව ශ්‍රී ලාංකිකයින් වන අපටද අද මහා වැදගත් කමකින් දැනෙමින් පවතී. එදා රෝසාගේ ජර්මනිය මෙදා ශ්‍රී ලංකාවේ තවම ඉදිවී නැතිවවුද ඒ කරා එනම් ඒ ම්ලේච්ඡත්වය කරා ශීඝ්‍රයෙන් පසුබාන ලකුණු 2018 ඔක්තෝබර් 26න් පසු ඇතිවූ සිද්ධි දාමය දෙස බලන කල පැහැදිළිවේ.

රෝසා ගැන චරිතාපදානද කිහිපයක් මෑතදී ලියැවුනේ (උදා: Ettinger, Nottle, Frolich) ඇය එදා දේශපාලනයේ කැපීපෙනෙන චරිතයක් වීමත් ඇයගේ දේශපාලනයට 21වෙනි සියවසේ වුවද කාලීන වැදගත්කමක් ඇති නිසාත්ය. රෝසාගේ ජීවිතය සහ විප්ලවකාරී දේශපාලනය පිළිබඳව ප්‍රවෘත්තිදායී  (informa tive) අගනා ප්‍රාස්තාරික චරිතාපදානයක්  (graphic biography) කේට් ඉවෙන්ස් විසින්  Red Rosa  නමින් මෑතදී පළකොට ඇත. එසේම ඇය විසින් ප්‍රංශ, රුසියානු සහ පෝලන්ත බසින් ලියූ ආදර සහ දේශපාලන හසුන් සිය ගණනක එකතුවක්  Letters of Rosa Luxemberg   හිසින් 2011 දී මුද්‍රණය වී ඇත. එපමණක් නොව ඇය පිළිබඳ චිත්‍රපටි පවා ‘රෝසා ලක්ෂ්සම්බර්ග් කවයන්’ විසින් නිපදවා ඇත. (උදා: Magerithe von Trotta  ගේ  Rosa Luxemberg  සිනමා පටය). අද ජාත්‍යන්තර වාමාංශික දේශපාලන කතිකාවේ වැඩියෙන්ම කතාකරන සහ ලියැවෙන ප්‍රධාන විප්ලවකාරී චරිත කිහිපදෙනා අතරින් කැපීපෙනෙන චරිතයක්ද වනුයේ රෝසාය. ඇ ගැන මෑතදී ලියැවුණු ලිපි සහ පොත් සිය ගණනකින් ප්‍රධාන වනුයේ Paul Frolich 2010; Jon Nixon 2010; Peter Hudis Rosa Luxemberg Reader  ආදියයි. රෝසා අපට දායාද කළේ කුමක්දැයි දැනගැනීමට කියවිය යුතු හොඳම කෘතිය Norman Geras  ගේ  The Legacy of Rosa Luxemberg (1976)’

මේ සියල්ල සඳහන් කළේ රෝසාගේ පෞද්ගලික ප්‍රතිරූපය ඔසවා තැබීමටත් ඇය තවමත් දේශපාලන ලෝකයේ සජීවීව වැජfඔන බව ලියා තැබීමටත් එසේම සමාජවාදය සඳහා දේශපාලනයක යෙදෙන ස්ත්‍රීන්ට ඇය උත්තේජනයක් වේයැයි යන බලාපොරොත්තුවෙනුත්ය.

සැබෑ වාමාංශික දේශපාලනය කරන සෑම ස්ත්‍රීයකටම පමණක් නොව ‘දේශපාලනික පුරුෂයිනට’ වුවද රෝසා ආදර්ශ ‘මොඩලයකි’. එමනිසා පළමුවෙනි ජාත්‍යන්තරයේ මාක්ස්ගේ සිතුම සහ දෙවැනි ජාත්‍යන්තරයේ රෝසාගේ පැතුම යථාර්ථයට ගෙන ඒම අප කාගේත් මුඛ්‍ය අරමුණ කරගැනීමෙන් රෝසා ලක්ෂ්සම්බර්ග් නමැති ‘දිරිය දේශපාලන ස්ත්‍රීයට’ අපගේ ප්‍රණාමය පුදකළ හැකිය. රෝසාට පණ දිය හැක්කේ එයින් පමණි. මෙම අසම්පූර්ණ උපහාරය ඒ වීරෝධාර විප්ලවකාරී ගැහැනිය වූ රෝසා වෙනුවෙනි. රෝසා නිතරම කියූ සහ තෙමේම අනුගමනය කළ ඇගේම ආප්තයකින් මෙම උපහාර සටහන අවසන් කරමි. “කැපකිරීම යනු සමාජවාදී ක්‍රියාදාමයේම කොටසකි. තමා වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් කැපකිරීමට හිත හදාගන්න.’‘ (රෝසා ලක්ෂ්සම්බර්ග්)