වාලම්පුරියෙන් ඔබ්බට ගොස් මිථ්‍යා විශ්වාස වෙළෙඳපොළ අහිමි කිරීම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

1990 වසරේ දිනක රාත්‍රියේ පිළියන්දල ප්‍රදේශයේ නිවෙස් කීපයකට පැමිණි ආයුධ සන්නද්ධ කණ්ඩායමක් උසස් පෙළ පන්තිවල සිටි සිසුන් කිහිපදෙනකු පැහැරගෙන ගොස් තිබිණි. එම කණ්ඩායම, එකල ජනතා විමුක්ති පෙරමුණට සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට එරෙහිව ක්‍රියාත්මක වූ ‘ප්‍රා’ නමැති සංවිධානයේ සාමාජිකයන් බව පසුව දැනගන්නට ලැබිණි. පැහැර ගනු ලැබූ එම තරුණ සිසුන්ගේ ජීවිත ගලවා ගැනීම උදෙසා ඔවුන්ගේ මාපියෝ ඇතුළු පිරිස ඉමහත් උත්සාහයක් ගනිමින් සිටියහ. නීත්‍යනුකූලව සහ විවිධ දැන හැඳුනුම්කම් ඔස්සේ කළ මහා සටනකට පසුවත්, සිය දරුවා පිළිබඳ තොරතුරු දැනගැනීමට නොහැකි වූ තැන, එක් සිසුවකුගේ මවක් සිය මිතුරියකගේ මාර්ගයෙන් තමන් අදහන බෞද්ධ ධර්මයට පරිබාහිරව ඇති වෙනත් ආගමික දේවස්ථානයක පිහිට පතා ගියාය. එම දේවස්ථානයේ පූජකවරයාගේ මගපෙන්වීම මත සති ගණනාවක් යාඥා සහ පූජෝපහාර කරමින් සිටින අතරතුර දිනක මෙම තරුණයා, නිරුපද්‍රිතව සිය මිතුරකුගේ නිවසට පැමිණියේය. තම දරුවා බේරා දුන්නේ තමන් මෑතක සිට ගිය දේවස්ථානය සහ එය අයත් ආගමේ, සුවිශේෂී බලයකින් බව තරයේ ඇදහූ මව අද වනතුරුම එම ආගම අදහමින් ජීවිතය ගෙනයයි.

මෙය මිථ්‍යා විශ්වාසයන්හි එක්තරා ආකාරයක් බව කෙනකුට සිතිය හැකිය. හේතුඵලවාදය අතහැර නිර්මාණවාදය වැලඳ ගැනීම මිථ්‍යා දෘෂ්ටියක් යැයි තවත් කෙනකුට සිතිය හැක.
තවත් සිදුවීමක් මෙසේය.

1987-89 වකවානුවේම පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සිසු කණ්ඩායමක් ‘මෙරු’ නමැති නාට්‍ය රාජ්‍ය යොවුන් නාට්‍ය උළෙලට ඉදිරිපත් කළෝය. එහි නිර්මාණකරුවා/අධ්‍යක්ෂවරයා වූයේ පසු කලෙක ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මේ වනවිට බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චිය.
මහරගම යොවුන් රඟහලේ එම නාට්‍ය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව, නාට්‍යයට සංගීතය සැපයූ මිතුරාගේ මහරගම ආසන්නයේ පිහිටි නිවසට, නාට්‍යයට සම්බන්ධ සහ සම්බන්ධ නොවූ හිතවතුන් පිරිසක් රැස්වූයේ කුඩා සංග්‍රහයක් භුක්ති විඳීම උදෙසාය. එම මිතුරාගේ පියා උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයකු වූ අතර ජවිපෙ අදහස් දැරූ සිසුන් කීපදෙනෙක් ඔහු හා කතා කරමින් සිටියෝය. ඔහුගේ අදහස වූයේ මෙවැන්නකි.

“කොල්ලො (ජවිපෙ) කියන එක හරි බව මට තේරෙනවා. ප්‍රේමදාස මහත්තයාගේ (ජනාධිපති ආර්. ප්‍රේමදාස) සමහර වැඩ වැරදියි. ඒත් මම හැදුණෙ යූඑන්පිය නිසා. මම අද මේ තත්ත්වයේ ඉන්නෙ ඒ නිසා. ඒක හින්දා මට ඒකට විරුද්ධව යන්න බෑ.”

මෙයද එක්තරා ආකාරයක මිථ්‍යා දෘෂ්ටියක් වැලඳ ගැනීමක් සේ කෙනකුට සැලකිය හැකිය.
මෙම මවගේ සහ පියාගේ දෘෂ්ටීන් මිථ්‍යාවන් මත රැඳී ඇතැයි, කෙනකුට තර්ක කර ඔප්පු කර පෙන්විය හැකි වුවද ඔවුන් ඒවා අතහරින්නේ නැත. ඒ, ඔවුන් අපේක්ෂා කළ ජයග්‍රහණ ලබාගත් මාවත්, ඒ ඔස්සේ වැටී ඇතැයි ඔවුන් දැඩිව විශ්වාස කරන නිසාය.

මෑතකදී විශ්වාසයන් පිළිබඳව බොහෝ මාධ්‍යයන්වල කතාබහට ලක්වූයේ ‘වාලම්පුරි’ සිදුවීමත් සමගිනි. එහෙත් ඒවා තුළ තිබුණේද වංචාවක් හෙළිදරව් කිරීමේ අර්ථය මිස මිථ්‍යා විශ්වාස පැතිරවීමේ සහ වැලඳ ගැනීමේ අර්ථය යැයි සිතිය නොහැක. එහෙත් ඒ කතාව වැදගත්ය.

“නමෝ නාරායන” නමැති මධ්‍යස්ථානයක් කෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය “විශ්ව කීර්ති, දේශබන්දු, මහාචාර්ය” කීර්ති බන්දුල දිසානායක නමැත්තකු, වාලම්පුරි වෙළෙඳාම් කරන ව්‍යාපාරයක් කරගෙන ගිය අතර ඔහු කී පරිදි සිතූ සිතූ සම්පත් උදාකර ගැනීමේ විශ්වාසයෙන් එවැන්නක් රුපියල් ලක්ෂ හතර හමාරකට මිලදී ගත් බෙලිඅත්තේ පුද්ගලයකුට, නියමිත පුද සත්කාර කළත්, තමන් අපේක්ෂා කළ දියුණුව ලැබුණේ නැත. පසුව ‘වාලම්පුරිය’ පිළිබඳ සැක සිතී මිරිහාන පොලිසියට කළ පැමිණිල්ලකට පසු, නාරා ආයතනය විද්‍යාත්මක පරීක්ෂණයක් කළ අතර එහිදී අනාවරණය වූයේ එය ව්‍යාජ වාලම්පුරියක් බවය. සුවිශේෂී පිහිටීමක් වන, හක් බෙල්ලාගේ කටුව වමට කැරකී තිබීම, වාලම්පුරියක් ලෙස හැඳින්වෙන අතර සාමාන්‍යයෙන් එම කටුව කැරකී තිබෙන්නේ දකුණටය. කීර්ති බන්දුල දිසානායක නමැත්තා මෙසේ අලෙවි කර තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් හමුවන සුවිශේෂී හක් බෙල්ලකු (වාලම්පුරියක්), නොවන අතර දකුණු ඇමරිකානු මුහුද ආශ්‍රිතව සුලබව දැකිය හැකි බෙල්ලන් විශේෂයක් බව පුවත්පත් හෙළිකර තිබිණි.
වමට කැරකෙන හක් බෙල්ලාගේ කටුව හෙවත් වාලම්පුරියක් ළඟ තබා ගැනීමෙන් වාසනාව උදාවන බවට ඈත අතීතයේ සිට පවතින විශ්වාසය, ප්‍රයෝජනයට ගෙන එය තවදුරටත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පතුරුවා හරිමින් කීර්ති බන්දුල දිසානායක නමැත්තා මෙම වංචනික වෙළෙඳාම කාලයක් තිස්සේ කරගෙන ගොස් තිබිණි.

නීත්‍යනුකූලව මොහුට එල්ල වන චෝදනාව වන්නේ “ව්‍යාජ වාලම්පුරියක්” අලෙවි කිරීමට විය හැකිය. නියම භාණ්ඩ යැයි කියා ඒ හා සමාන බාල භාණ්ඩ අලෙවි කිරීම නීිතියට අනුව බරපතළ වරදකි. එහෙත් මිනිසුන්ගේ විශ්වාසයන් ගසාකෑම මෙන්ම එසේ පහසුවෙන් ගසාකෑමට හැකිවන අයුරින් එවැනි විශ්වාසයන් තබාගැනීමද කීර්ති බන්දුල දිසානායකගෙන් හෝ වාලම්පුරියෙන් ඔබ්බට සාකච්ඡා කළ යුතු විෂයයක් නොවන්නේද?

සත්‍ය හෝ යථාර්ථය නොදැන මිථ්‍යාවන්ගේ ගිලී සිටීම මෙන්ම ඒවා දැන දැනම එවැන්නක ගැලී සිටීම අතරද වෙනසක් ඇත්තේය. වෙනස කුමක් වුවත් ඒවාට දේශපාලන අර්ථයක් නැතැයි සිතිය හැකිද?
ඇතැම් දේ පිළිබඳ භක්තිය සහ විශ්වාසය වසර දහස් ගණනක් පැරණි වන අතර ඇතැම් විශ්වාසයක් අලුතින් නිර්මාණය කර තිබේ. ජ්‍යෙතිෂය, වසර දහස් ගණනක් පැරණි වන්නා සේ ම එය හැදෑරිය හැකි ශාස්ත්‍රයක්ද වන්නේය. එහෙත් ග්‍රහ බලපෑම අයහපත් යැයි කියා ඊට පිළියම් ලෙස කරන්නට යැයි නියම කරන බොහෝ දේ තුළ කිසිදු ශාස්ත්‍රීය පදනමක් ඇතැයි සිතිය නොහැක. මාතර ප්‍රදේශයේ මන්ත්‍රීවරයකු විභාගයේදී ලිවීමට යැයි කියා සිසුන්ට බෙදා දෙනවා යැයි කියන ‘ජීවම් කළ පෑන’ නිර්මාණය කරගත් මිථ්‍යාවක් ලෙස සැලකිය හැකිය.

ආගම්, නක්ෂත්‍රය (ජෙතිෂ්‍යය) මෙන්ම යන්ත්‍ර – මන්ත්‍ර – ගුරුකම්, මැණික් පැළඳීම, හූනන් හැඬලීම, කාක්කන්ගේ කෑගැසීම, අඟහරුවාදා, සිකුරාදා අවමංගල උත්සව නොපැවැත්වීම, ඇතැම් ගස් නිවෙස් ඉදිරිපිට නොවැවීම, මෙරට ක්‍රියාත්මක ෆෙන්ෂුයි (Fengshui), ලාෆින් (Laughing Buddha), බුද්ධා ආදී බොහෝ දේ තුළ ඇත්තේද මිනිසාගේ භක්තිය සහ විශ්වාසය ලෙස සැලකිය හැකිය. වැදගත් වන්නේ මේවා තුළ ඇති බොහෝ දේ, කෙළින් ඉරක් ගසා ප්‍රතික්ෂේප කිරීමේදී භාවිත කරන්නාවූ මිනුම ලෙස යොදා ගත්තේ විද්‍යාව වීමය. විද්‍යාවට ඔප්පු කළ නොහැකි දේ මිථ්‍යාවන් සේ සැලකීමය. එය අවශ්‍ය නම් විද්‍යාව, ආගමක් සේ සැලකීමක් ලෙසද කෙනකුට අර්ථගන්වා ගත හැකිය.

මිනිසුන් තමන් ජීවත් වන යුගයේ යථාර්ථයන් තේරුම් ගැනීමද වැදගත් වන්නේය. අවබෝධය, අවබෝධ කරගැනීම, එහි හරය ලෙස සැලකිය හැකිය.
යහපත් ජීවිතයක් උදෙසා නිරන්තර සටනක නිරත වී සිටින මිනිසාට එම ජීවිතය උරුම කරදිය හැකි ‘විද්‍යාවන්’ අවශ්‍ය වන්නේය. සමාජය සංකීර්ණ වනවිට ආර්ථික, දේශපාලන යනාදී සමාජීය විද්‍යාවන්ද භෞතික, ජීව යනාදී ස්වභාවික විද්‍යාවන්ද බිහිවූයේ ඒ උදෙසාය. මේ සියල්ල සඳහා මිනිසා දේශපාලන නායකත්වයක් බිහිකර ගත්තද මිනිසාගේ ප්‍රශ්න විසඳීමට එම දේශපාලන නායකයන්ගේ දර්ශනයන් ප්‍රමාණවත් වී ඇතැයි සිතිය නොහැක. මේ නිසා ලෙඩ රෝග සුවකර ගැනීමටද, විභාග සමත්වීමටද, රැකියා සොයා ගැනීමද, ජීවත්වීම උදෙසා ආර්ථික ශක්තිය ගොඩනගා ගැනීමටද, පවුල් සතුටින් එක්කර තබා ගැනීමටද, විරුද්ධවාදීන් පරාජය කිරීමටද මිනිසා වෙනත් මාවත් සොයා යන්නේය. ඒ මාවත්වල ඇති පහසුම පිළියමක් සේ පෙනෙන්නේ විශ්වාසය මත රැඳී සිටීම වන අතර ඒ පදනමක් නොමැති විශ්වාසයන් වර්ධනය කිරීම මෙන්ම නව විශ්වාසයන් ගොඩ නැගීමට, පවතින දුර්වල ආර්ථික – දේශපාලන දර්ශනයද ඉඩ ලබාදෙමින් සිටින්නේය. ජනමාධ්‍ය හරහාද නිරන්තරයෙන් ඒවා දක්නට, අසන්නට ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස මිස ඕපපාතික වූවක් ලෙස යැයි සැලකිය නොහැක.

අනෙක් පැත්තෙන් ඇත්තේ මිනිසාගේ අසරණභාවය අවම කර ගැනීමේ සහ ධනය – බලය උපරිම කරගැනීමේ අරමුණය. එක් අතකින් ඉතාම අසරණ තත්ත්වයකට ඇද වැටුණු පසු ඒ පුද්ගලයා ආරක්ෂා කරගැනීමට හෝ විසඳුම් ලබාදීමට කිසිදු විධිමත් ක්‍රමවේදයක් සැකසීම මෙරට දේශපාලන ක්‍රමය සමත් වී නොමැත. එහිදී මිථ්‍යාවන් පසුපස ගොස් ඒවා අදහමින් හෝ සිය ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට හැකියැයි විශ්වාස කිරීමට බොහෝ දෙනෙක් පුරුදුව සිටිති.

අනෙක් අතින් ධනවත්තු සහ බලවත්තු සිය ධනය හා බලය රැකගැනීම සහ වර්ධනය කරගැනීම උදෙසා මිථ්‍යාවන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා සිටිති. ‘මෑණිවරුන්’ හමුවීමේ සිට ‘තිරුපති’ (Tirupati) වන්දනාව දක්වා වැටී ඇතැයි සිතිය හැක්කේද ඒ මාවතය.

මේ නිසාම අර්බුදයට විසඳුම් නොමැති මේ යුගය, මිථ්‍යාවන්ට තෝතැන්නක් ලෙස සැලකිය හැකිය. ඒවා තව තවත් වර්ධනය වෙමින් පවතිනවා මිස අවම වන්නේ යැයි සිතිය නොහැක.
වැදගත්වන්නේ රට ගොඩනැගිය හැකි නව දේශපාලන මාවතක් විවර කර ගැනීමය. ඒ උදෙසා යථාර්ථයේ අවබෝධය අත්‍යවශ්‍ය වන්නේය.

ඒ වනතුරු පෞද්ගලිකව කළ හැකිව තිබෙන්නේ එක් එක් පුද්ගලයා ලෙස, පවත්නා යුගයේ යථාර්ථයන් සමග අවබෝධයේ මාවත් විවර කර ගැනීමය. ආගම් ප්‍රතික්ෂේප කර විද්‍යාව වැලඳ ගැනීමෙන් පමණක් එය කළ හැකි යැයි විශ්වාස කළ නොහැකිය. සියලු විෂයයන්හි පවතින දර්ශනයන් තේරුම් ගැනීම පළමුව වැදගත් වන්නේය. ඒ අනුව ජීවත්වීමට, තමන්ටම දර්ශනයක් ගොඩනගා ගැනීමට හැකිවන්නා සේ ම රට ගොඩනගන නව දේශපාලක දර්ශනයක් පිළිබඳවද මාවතක් විවර කරගත හැකි වන්නේය.

මෙම විවිධ මිථ්‍යා විශ්වාසයන් ඔස්සේ ජීවිතයට විසඳුම් සෙවීමේ පාරිභෝගිකයා සේ ම එම විසඳුම් විවිධ වර්ණයන්ගෙන් අලෙවි කිරීමේ වෙළෙන්දන්ද මේ සමාජයෙන් තුරන් කළ හැකිවෙතැයි සිතිය නොහැක. එහෙත් ප්‍රශ්නවලට විසඳුම් ඇති, සමාජයේ සමස්තයම ගොඩනගන නව දේශපාලන දර්ශනයකින්, මෙම මිථ්‍යා විශ්වාස වෙළෙඳපොළ අහිමිවී යෑම වැළැක්විය නොහැක. ඒ උදෙසා සංවාදය, වාලම්පුරියෙන් ඔබ්බට ගෙන යන ගැඹුරු සිතීමක් විය යුතු යැයි මම සිතමි.