අයාලේ යන ජනමාධ්‍ය නිසි මගට ගැනීමට නිර්දේශ 101ක්

නාලක ගුණවර්ධන

ravaya@nalaka.org

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සෘජුවම අදාළ වන වැදගත් සිදුවීම් දෙකක් 2019 ජනවාරි මාසයේ මුල් දින කිහිපය තුළ අප නිරීක්ෂණය කළා.
එයින් පළමුවැන්න අභීත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුලු ඝාතනයට හෝ අතුරුදන් කිරීමට ලක්වූ සියලුම ලාංකික මාධ්‍යවේදීන් සිහිපත් කරමින් ඔවුන්ට යුක්තිය ඉටු කිරීමට නැවත වතාවක් රජයට බල කර සිටීම. ජනවාරි 8 වනදා මෙය සිදු වූයේ ලසන්තගේ ඝාතනයට දස වසක් ගෙවී ගිය දවසෙයි.

ජනවාරි 10 වනදා කොළඹ හා තදාසන්න ස්ථාන කිහිපයක, අමුතු ආකාරයේ සාමකාමී විරෝධතාවක් සිදු කෙරුණා. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් දැඩි ලෙස පක්ෂග්‍රාහී මාධ්‍යකරණයේ නිරත වන රාජ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතනවලට විරෝධය පළ කිරීම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත් වුණා.

සිවිල් සමාජ සංවිධාන කිහිපයක් සහ පුරවැසියන් රැසක් ඒකාබද්ධව පැවැත්වූ මෙම විරෝධතාවයේ කොටසක් ලෙස මාධ්‍ය ආයතන ගණනාවක් ඉදිරියට ගොස් තමන්ගේ විරෝධ පාඨ රැගත් බැනර් ප්‍රදර්ශනය කිරීමත්, මාධ්‍ය හිමිකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට ආමන්ත්‍රණය කරන විවෘත සංදේශයක් බාර දීමත් සිදු වුණා.

මෙය කිසිදු දේශපාලන පක්ෂයක සම්බන්ධයකින් තොරව සිදු කළ ස්වාධීන පුරවැසි පෙළගැසීමක් බව සංවිධායකයන් අවධාරණය කළා.

වාර්තා වූ අන්දමට මාධ්‍ය ආයතන දෙකක් හැරෙන්නට අන් සියලු (රාජ්‍ය හා පෞද්ගලික) මාධ්‍ය ආයතන මේ විරෝධතා දැක්වූවන් සාදරයෙන් පිළිගෙන, ඔවුන්ගේ සංදේශය බාර ගෙන තිබුණා.
එම සංදේශයේ පූර්විකාවේ මෙසේද සඳහන් වනවා: “මෙම සාහසික මාධ්‍යකරණය අද ඊයෙක වූවක් නොවේ. එහෙත් විශේෂයෙන් පසුගිය ඔක්තෝබර් 26න් පසු ඔබගේ මාධ්‍යකරණයේ භූමිකාව විසින් පෙන්වා දෙන්නේ ජනමාධ්‍යවලට කොතරම් අවිචාරී විය හැකිද යන්නයි. එහිදී නිශ්චිත දේශපාලන කණ්ඩායමක ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී ක්‍රියාවන් නියෝජනය කරමින් හා එය සාධාරණීකරණය කරමින් සිදු කළ ක්‍රියාවන් විසින් උල්ලංඝනය කළේ, මාධ්‍ය විසින් ප්‍රජාතන්ත්‍රවාදී හා අවම සදාචාර සම්පන්න භාවිතයක යෙදෙනු ඇතැයි යන ජනතාවගේ අපේක්ෂාවය. විශේෂයෙන් විiුත් මාධ්‍යකරණයේ යෙදෙන ඔබ විසින් භුක්ති විඳින්නේ හා ලාභ උපයන්නේ, මහජනතාවගේ දේපලක් වන සංඛ්‍යාතවලින් බව අප සිහිපත් කරනු කැමැතිය. ඒ නිසාම මහජනතාවට ඔබගේ භාවිතයන් ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත.”
සම්පූර්ණ සංදේශය මෙතනින් කියවන්න http://www.meepura.com/?p=70882

මේ අදහස් කලෙක සිට මෙම තීරු ලිපියෙන් මා මතු කරන අදහස්වලට බෙහෙවින් සමානයි. එහෙත් උද්ඝෝෂණවලට සහභාගි වූ ඇතැම් දෙනා භාවිත කළ ‘කළු මාධ්‍ය’ ‘ජඩ මාධ්‍ය’ වැනි ආවේගශීලී යෙදුම් නම් මා යොදා ගන්නේ නැහැ.
එහෙත් එසේ කීම විරෝධතා දැක්වූවන්ගේ භාෂණ නිදහසයි. (භාෂණ සහ ප්‍රකාශන නිදහස මාධ්‍යවලට සුවිශේෂී වූවක් නොව රටේ හැම පුරවැසියකුටම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කොට ඇති මූලික මානව අයිතිවාසිකමක්.)

මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයක් ජනමාධ්‍ය සමාජයීය වග වීමක් (social accountability) නොමැතිව හිතුමතයට ක්‍රියා කරන බව නම් පැහැදිලියි. ආචාර ධර්ම කඩ කරන, ජනයා මුලා කරන, ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් රට ගිනි තබන ජනමාධ්‍ය රටේ ප්‍රධාන ධාරාවේ ප්‍රමුඛයන් වී සිටිනවා.

එහෙත් මේ විසමතා සියල්ලට එකම හේතුව හිමිකාරිත්වය හා හිමිකරුවන්ගේ න්‍යාය පත්‍රයම නොවෙයි. හිමිකරුවන්ට දොස් කීම ලෙහෙසියි. එය ජනප්‍රිය ප්‍රවණතාවක්. හිමිකරුවන් ද මාධ්‍ය අගතියට වගකිව යුතු බව සැබෑ වුවත්, මාධ්‍ය වෘත්තිකයන් නොවී මාධ්‍ය බාස්ලා මට්ටමින් ක්‍රියා කරන මාධ්‍යවේදීන් ගැනත් මීට වඩා විවේචන එල්ල විය යුතුයි!

හිමිකරුවන් යම් කර්තෘ මණ්ඩල නිදහසක් දුන් විට පවා එය සාක්ෂාත් කර ගන්නට නොදන්නා මාධ්‍ය තීරකයන් සිටිනවා. ජාතිවාදී, ජාතිකවාදී හෝ ආගම්වාදී කතුවරුන් සිටීම මෙන්ම අතිශයින් ග්‍රාමය චින්තනයෙන් යුත් මාධ්‍ය ජ්‍යෙෂ්ඨයන් මහා මාධ්‍යවල තීරකයන් වීමත් බරපතළ ව්‍යාධියක්. ඔවුන් සිය පෞද්ගලික මතවාදී හීලෑකම් ප්‍රවර්ධනයට තමන් පාලනයේ තිබෙන මාධ්‍ය අපහරණය කිරීම අප අත් විඳින මාධ්‍ය ඛේදවාචකයේ තවත් ප්‍රබල සාධකයක්.

මාධ්‍ය කර්මාන්තයේ සහ වෘත්තියේ ගැටලු රාශියක් තිබෙනවා. මේවා කාලාන්තරයක් තිස්සේ ටිකෙන් ටික උඩු දුවන ලද නිසා දැන් බරපතළ ව්‍යාධියක් තත්ත්වයට වර්ධනය වෙලා. පැලැස්තර මට්ටමින් විසඳුම් දීමට හැකියාවක් තව දුරටත් නැහැ. ක්‍රමීය වශයෙන් සලකා බලා මාධ්‍ය ප්‍රතිසංස්කරණය කිරීම හදිසි අවශ්‍යතාවක්.

මාධ්‍ය කර්මාන්තයට රාජ්‍යය ඕනෑවට වඩා මැදිහත්වීම අහිතකර යයි මා විශ්වාස කරනවා. පරිනත ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල ආණ්ඩුව හෝ රාජ්‍යය පුවත්පත් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. රේඩියෝ හා ටෙලිවිෂන් ආයතන පවත්වා ගෙන යන්නේ ද නැහැ. (රාජ්‍ය පාලකයන්ගෙන් ස්වාධීන වූ රාමුවක් තුළ විද්යුත් මාධ්‍ය මහජන සේවා මාධ්‍ය ලෙස පවත්වා ගෙන යාම නම් සමහර රටවල කැරෙනවා.)
පරිණත ප්‍රජාතන්ත්‍රීය රටක රාජ්‍යය කළ යුත්තේ, මාධ්‍ය නිදහස තහවුරු කිරීම සහ මහජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරැකීම යන එක හා සමාන වැදගත්කමකින් යුතු අරමුණු දෙක මනා සේ තුලනය වන පරිදි නීතිමය හා නියාමන රාමුවක් පවත්වා ගැනීම පමණයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සහ වෘත්තිය සම්බන්ධයෙන් මේ දක්වා ඉදිරිපත් කර ඇති වඩාත්ම විස්තරාත්මක විශ්ලේෂණය සහ නිර්දේශ මාලාව එළි දුටුවේ 2016 මැයි මාසයේ. මේ අවස්ථාවේ එය යළි සිහිපත් කිරීම වැදගත්.

‘ජනතාවට වග කියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා’ නම් මේ වාර්තාව ‘ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය හා වෘත්තිය නඟා සිටුවීමට සැලැස්මක්’ ලෙස නම් කෙරුණා. එය සම්පාදනය කළේ ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන ලේකම් කාර්යාලයයි (NSMR, www.nsmrlk.org)

මෙරට මාධ්‍ය වෘත්තිකයන්, කළමනාකරුවන්, පර්යේෂකයන්, සමාජ ක්‍රියාකාරිකයන් හා මාධ්‍ය ග්‍රාහකයන් සිය ගණනකගේ දායකත්වයෙන් සම්පාදිත මේ වාර්තාවේ ඉංග්‍රීසි මුල් පිටපතේ සංස්කාරක හැටියට මා ක්‍රියා කළා. මේ ක්‍රියාවලියට බුද්ධිමය නායකත්වය දුන්නේ මාධ්‍යවේදීන් හා සරසවි ඇදුරන් 20කින් සමන්විත කණ්ඩායම් සතරක්.

මේ වාර්තාව 2016 මැයි 3 වනදා යෙදුණු ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනයේදී මෙරට ආණ්ඩු පක්ෂයේ හා ප්‍රතිපක්ෂයේ දේශපාලන නායකයන්ටත්, මාධ්‍ය හා සමාජ නායකයන්ටත් පිළිගන්වනු ලැබුවා.
මෙම වාර්තාවේ විශ්ලේෂණය පෙන්වා දෙන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් ප්‍රතිසංස්කරණ ඇති විය යුත්තේ මාධ්‍ය වෘත්තිය හා කර්මාන්තය තුළින්ම බවයි. තවත් ප්‍රතිසංස්කරණවලට නීති හා රාජ්‍ය ප්‍රතිපත්තිවල වෙනස්කම් කිරීම හා රාජ්‍ය මාධ්‍ය ආයතන නැවත ව්‍යුහගත කිරීම අයත් වනවා.

වාර්තාවේ මුලදීම මෙසේ කියනවා: “රටක මාධ්‍ය නිදහස තහවුරු වූ පමණටම මාධ්‍යවල වෘත්තීයභාවය හා සමාජයීය වගවීම වර්ධනය නොවේ. එය මාධ්‍ය කර්මාන්තය හා වෘත්තිය තුළින්ම මතු විය යුත්තකි. මාධ්‍ය නිදහස තකා දිගටම අරගල කරන අතර තම ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය වඩාත් දියුණු කිරීමට අවස්ථාවක් (දැන්) උදා වී තිබේ.”
වාර්තාව කටුක යථාර්ථය මෙසේ හසු කර ගන්නවා: “වසර විසිපහකට වඩා කාලයක් පුරා පැවති යුද්ධයේ ද ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ලංකාවේ මාධ්‍ය ගැඹුරින් බෙදී ඇත. බහුතරයක් මාධ්‍ය ජනවාර්ගික, ආගමික හා දේශපාලන රේඛාවන් ඔස්සේ දැඩි ලෙස ධ්‍රැවීකරණය වී තිබේ.”

“ඒ අතර රටේ මාධ්‍ය කර්මාන්තය හා මාධ්‍ය වෘත්තිය තුළ ද අභ්‍යන්තර අර්බුද මතු වී ඇත. අධිබලවත් රාජ්‍යය කරන නොයෙකුත් නිල හා නොනිල බලපෑම්, වෙළෙඳපොළ බලවේග, වේගවත් තාක්ෂණික ප්‍රගමනය හා මාධ්‍ය ගැන මහජන විශ්වාසය බිඳ වැටීම ආදී සාධක කිහිපයක්ම එයට හේතු වී තිබේ.”

මෙරට මාධ්‍ය සමාගම් බොහොමයක් ඩිජිටල් අභියෝගවලට සරිලන පරිදි නවීකරණය වීම පමා වූ බැවින් වෙළෙඳපොළ පැවත්ම පිළිබඳ ලොකු පීඩනයන්ට ලක් වී සිටින බව වාර්තාව පෙන්වා දෙනවා.
“ඩිජිටල් මෙවලම් සම්බන්ධ කර ගැනීමෙහි හා වෙබ් වේදිකාවන් සකසා ගැනීමෙහිලා ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන කටයුතු කරන්නේ සෙමින්ය. එහි ප්‍රතිඵලයක් ලෙස මාධ්‍ය ග්‍රාහකයන්ගේ වේගයෙන් වෙනස් වන මාධ්‍ය පාරිභෝජන රටාවලට අනුරූපව සිය අන්තර්ගතය සකස් කර ගැනීමට බොහෝ මාධ්‍ය ආයතන අසමත් වී ඇත.
“කලක සිට පැවතෙන ව්‍යාපාර මාදිලි තව දුරටත් ප්‍රමාණවත් ආදායමක් උපයන්නේ නැති නිසා ඇතැම් මාධ්‍ය විසින් ඕපාදූප හා උද්වේගකාරී පුවත් වාර්තාකරණය පටන් ගෙන තිබේ. පොදු උන්නතියට කිසිසේත් අදාළ නොවන පුවත් අනිසි ලෙස හුවා දක්වමින් ද, මහජනයාට වැදගත් ප්‍රශ්න උඩින් පල්ලෙන් ආවරණය කරමින් ද සමහර මාධ්‍ය ගෙන යන ක්‍රියා කලාපය සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රය ගැන සමාජ පිළිගැනීම තවත් අඩු කරවයි.”

විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය කර්මාන්තයේ කෝටි ගණනක් මුදල් ගලා ගියත්, කර්මාන්තය තුළ පවතින (එහෙත් පිටස්තර බොහෝ දෙනා නොදන්නා) දුක්බර යථාර්ථයන් ගැනත් වාර්තාව අවධානය යොමු කරනවා.

“බොහෝ මාධ්‍ය ආයතන පුවත්පත් කලාවේදීන්ට ගෙවනු ලබන්නේ ඉතා අඩු වැටුප් ය. සමහර ආයතනවල වෘත්තීය සමිතිවලට සම්බන්ධ වීම වැනි මූලික මානව අයිතීන් පවා මාධ්‍ය සේවකයන්ට නොලැබේ. මාධ්‍ය තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට අවශ්‍ය ව්‍යාපාරික හෝ දේශපාලන බලවේගයන්ට මාධ්‍යවේදීන් මෙහෙයවීමට හෝ ඔවුන් මත තම බලය පැතිරවීමට හැකියාව ලැබී තිබේ.”
එහෙත් කළු වලාවේ රිදී රේඛා දකින්නත් වාර්තාව සමත් වුණා. “දුෂ්කරතා හා විසමතා මැද වුවද, පොදු ජනතාවගේ අභිලාෂයන් හා පොදු උන්නතිය වෙනුවෙන් වෘත්තීය මට්ටමෙන් අන්තර්ගතයන් නිර්මාණය කරන කතුවරු හා මාධ්‍යවේදීහු යම් පිරිසක් තවමත් සිටිති. එහෙත් මාධ්‍ය ආචාර ධර්ම අනුව ක්‍රියා කරන මේ පිරිසගේ යහපත් වැඩ, දේශපාලනිකව පක්ෂපාතී හෝ වාර්ගික වශයෙන් භේදවාදී වූ අන්තර්ගතයන් නිර්මාණය කරන සෙසු මාධ්‍යවල කෙරුවාව විසින් යටපත් කර තිබේ.”
බහුතරයක් මහා මාධ්‍ය අයාලේ යාම දැක නූතන පරපුරේ මාධ්‍ය ග්‍රාහකයෝ ක්‍රමයෙන් ඒවායෙන් ඈත් වන බවද වාර්තාව පෙන්වා දුන්නා. “මාධ්‍ය ග්‍රාහකයන්ගෙන් පිරිසක් මේ විසමතා ගැන වික්ෂිප්තව සිටියදී තරුණ ලාංකිකයෝ වැඩි වැඩියෙන් මුළුමනින්ම වෙබ් පාදක මාධ්‍ය හා සමාජ මාධ්‍ය වේදිකා වෙත සංක්‍රමණය වෙමින් සිටිති. මේ දෙවැනි පිරිස ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගැන කලකිරී ඒවා අතහැර යන්නෝය.”
මහජනයා අතරට වඩාත්ම සමීප වන, වැඩිම ග්‍රාහක පිරිසක් සිටින ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍යවලට කිසිදු ප්‍රමිතියක්, විනයක් ලබා දෙන නියාමන ක්‍රමවේදයක් නැහැ. මුද්‍රිත මාධ්‍ය සඳහා පවතින දියාරු උත්සාහයන්ද අසාර්ථකයි.

“ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂම 2003දී පිහිටුවනු ලැබුවේ මුද්‍රිත මාධ්‍යවල වගවීම හා වගකිව යුතු බව ආරක්ෂා කිරීමටය. මාධ්‍ය ස්වයං-නියාමනය (media self-regulation) පිණිසය. එහෙත් තම තීරණ ක්‍රියාත්මක කිරීමේ බලයක් එයට නැත. ඇතැම් පුවත්පත් ඒවා නොතකා හරිති.”

“මේ අතර පසුගිය දශක දෙක තුළ නාලිකා ගණන වැඩි වී ගිය රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය ක්ෂේත්‍රවල කිසිදු ආකාරයක මහජනයාට වගවීම් යාන්ත්‍රණයක් නැත. ඇත්තෙන්ම දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ බලයට පත් වූ සියලුම ආණ්ඩු විසින් විද්‍යුත් මාධ්‍ය විකාශ බලපත්‍ර හා සංඛ්‍යාත පරාස ලබා දුන්නේ තමන්ගේ දේශපාලන ආධාරකරුවන්ට හා ව්‍යාපාරික ගජමිතුරන්ට පමණකි. මෙමගින් මහජන දේපලක් වන විද්්‍යුත් චුම්බක පරාසය අපහරණය වී, නීතිමය හා තාක්ෂණික සංකීර්ණතා රාශියක් නිර්මාණය වී තිබේ. මෙම ගැටලු නිරාකරණය කළ හැක්කේ ස්වාධීන විද්‍යුත් මාධ්‍ය අධිකාරියකට පමණි. ඩිජිටල් විකාශනය වෙත සුමුදු ලෙස සංක්‍රමණය වීමටත් එවැන්නක් අවශ්‍යයි.”

මාධ්‍යවල සදොස් බවට මාධ්‍ය ඇදුරන් හා පුහුණුකරුවන් ද යම් තරමකට වගකිව යුතුයි (මේ පිරිසේ මාත් සිටින නිසා මෙය ස්වයං විවේචනයක් ද වනවා). වාර්තාව මේ ගැන මෙසේ කීවා: “මාධ්‍ය අධ්‍යාපන පාඨමාලා විවරණය කිරීම හා වර්තමාන කර්මාන්ත අවශ්‍යතා හා මාධ්‍ය පරිහරණ රටාවලට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීම කළ යුතුය. සමාජයේ දැනට අඩු මට්ටමක පවතින මාධ්‍ය සාක්ෂරතාව ද දියුණු කළ කළ යුතුය.”

ශ්‍රී ලංකාවේ මාධ්‍ය පරිසරය පිළිබඳ විශ්ලේෂණයෙන් මතු වූ 101 නිර්දේශ මගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිදහස්, ස්වාධීන හා බහුත්වවාදී මාධ්‍ය සංවර්ධනය කිරීම පිණිස කළ යුතු දේ රජයට හා මාධ්‍ය පාර්ශ්වකරුවන්ට මේ වාර්තාව හරහා සාවධානව පෙන්වා දී තිබෙනවා.

විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරියක් පිහිටු වීම, රජයේ පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම, රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තුන ස්වාධීන මහජන සේවා ආයතන බවට පත් කිරීම, ලේක්හවුස් ආයතනයට රාජ්‍ය බලපෑමෙන් ස්වාධීනව කර්තෘ නිදහස භුක්ති විඳීම සඳහා ක්‍රියාදාමයක් සකස් කිරීම, මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු විවෘත, පාරදෘශ්‍ය හා නියමිත කාලයකට වරක් මහජනයාට හෙළිදරව් කිරීම අනිවාර්ය කිරීම, මාධ්‍ය සාක්ෂරතාව හා සයිබර් සාක්ෂරතාව දියුණු කිරීම ඇතුළු වැදගත් යෝජනා ඒ අතර තිබෙනවා.
සම්පූර්ණ වාර්තාව කියවන්න: http://www.nsmrlk.org/pdf/SMR-S.pdf