නොගෙනෙන ව්‍යවස්ථාවේ දේශපාලන අපරාධය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ වැඩිම කතාබහක් මතු වී ඇතැයි පෙනෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳවය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගැනීම උදෙසා වන ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පත් කරනු ලැබූ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරිපත් වීමත් සමඟ මෙම සාකච්ඡාව ආරම්භ වූවේය. වාර්තාව ඉදිරිපත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ලෙස රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටය. නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කාර්යයේදී, පාර්ලිමේන්තුව ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස් වන්නේය. එම මණ්ඩලයට වාර්තා පහක් ඉදිරිපත් කරනු ලැබුවද සාකච්ඡාව මතුව ඇත්තේ විශේෂඥ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙනි.

වාර්තාව, කෙටුම්පත් දක්වා යාම

මෙහෙයුම් කමිටුවේ- කළමනාකරණ කමිටුවේ සම සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මා සමඟ කියා සිටියේ මෙය විශේෂඥ කමිටුව නීතිමය ස්වරූපයෙන් සැකසු කෙටුම්පතක් බවය. මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා සහ අනු කෙටුම්පතේ වාර්තා මෙන්ම පක්ෂ නියෝජිතයන් ඉදිරිපත් කළ අදහස්ද පදනම් කරගෙන මෙය සකස් කර ඇති බවද ඔහු කීවේය. එමෙන්ම වැඩිදුර සාකච්ඡාව සඳහා ඉදිරිපත් කළ මෙම වාර්තාව පිළිබඳව පක්ෂ නියෝජිතයන් ව්‍යවස්ථා මණ්ඩලයේදී පළ කළ අදහස් ද පදනම් කරගෙන, නැවතත් මෙහෙයුම් කමිටුව රැස්වීමටද නියමිතව තිබේ. මෙහෙයුම් කමිටුවේ තිරණ මත අවශ්‍ය නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් දක්වා මෙම ගමන ඉදිරියට යාමේ හැකියාවද පවතී.

මෙහෙයුම් කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 20ක් වන අතර එහි බහුතරය නියෝජනය කරන්නේ එජාපෙ සහ ටීඑන්ඒ වන නිසා ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වුවද කෙටුම්පතක් සැකසීමේ සහ එවැන්නක් ඉදිරිපත් කිරීමේ හැකියාව නැතැයි සිතිය නොහැක. එහෙත් වැදගත් වන්නේ එවැන්නක් සකස් කරනු ලැබුවහොත් එය පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කරගත යුතු වීමය. 19 වන සංශෝධනය ගෙන එන අවස්ථාවේ ආණ්ඩුවට එම හැකියාව තිබුණේය. ඒ සඳහා වන ප්‍රධාන හේතුව වූයේ, 2015 යහපාලන ආණ්ඩුව ස්ථාපිත කළ අලුත, ඒකාබද්ධ විපක්ෂය ඊට අවනත කර ගැනීමට සිරිසේන ජනාධිපතිවරයාට තිබූ හැකියාවය. මේ වනවිට එවැනි ශක්තියක් ඇත්තේ නැතුවාක් මෙන්ම ජනාධිපතිවරයාගේ ස්ථාවරය යැයි සිතිය හැක්කේද එජාපෙ ගෙන එන නව ව්‍යවස්ථාව කුමක් වුවත් ඊට එරෙහි වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. ඔහුට එරෙහිව යන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනකු නව ව්‍යවස්ථාවකට පක්ෂව ඡන්දය භාවිත කරනු ඇතැයි උපකල්පනය කළද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් ලබා ගැනීමට එය ප්‍රමාණවත් වන්නේ යැයි කිසිසේත්ම අනුමාන කළ නොහැක.

ජවිපෙ, ටීඑන්ඒ සහ තුනෙන් දෙක

පෙබරවාරි 04 වැනිදාට පෙර නව ව්‍යවස්ථා කෙටුම්පතක් රැගෙන එන බව දෙමළ ජාතික සංධානයේ එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ විට එය කිසිසේත්ම සිදු නොවන්නක් බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ-මෙහෙයුම් කමිටුවේ මන්ත්‍රීවරයකු මා සමඟ පැවසුවේ මෙහෙයුම් කමිටුවේ සිටින එජාපෙ අමාත්‍යවරයකුද මේ හා සමාන අදහසක් තමන් සමඟ ප්‍රකාශ කළ බවය. ඔහු කියා ඇත්තේ දේශපාලන පක්ෂවල ප්‍රධාන ඉලක්ක බවට මැතිවරණ පත්ව ඇති වකවානුවක, නව ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙනඒම, කිසිසේත්ම සිදු නොවන්නක් බවය.
විශේෂඥ කමිටුවේ මෙම වාර්තාවේ අන්තර්ගතය අනුව එය, ඒකාබද්ධ විපක්ෂයේ දැඩි දෝෂදර්ශනයට ලක් වනවා මෙන්ම ඊට සමාන්තර සමාජ කොටස් වලද දැඩි විවේචනයට ලක් වන බව පැහැදිලිව දැන දැනම පළමුව මෙහෙයුම් කමිටුව තුළ ඒකමතිකත්වයක් ඇතිකර ගත්තේ නැතිව, එය පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් වෙත ඉදිරිපත් කර, පොදු ලියවිල්ලක් බවට පත් කිරීමට ගත් තීරණයද නොසලකා හැරිය හැක්කක් නොවන්නේය. අනෙක් පැත්තෙන් මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට මුලික වූ අනෙක් පාර්ශ්වය යැයි සිතිය හැක්කේ දෙමළ ජාතික සංධානයයි.

වාර්තාව ඉදිරියට ගොස් නව කෙටුම්පතක් සකසා ගත හැකි යැයි උපකල්පනය කළද එවැන්නකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් ලබා ගත නොහැකි බව දැන දැනම දෙමළ ජාතික සන්ධානයද වාර්තාව ඉදිරිපත් කිරීමට මූලික වීම, සලකා බැලිය යුතුව තිබෙන ඊළඟ ප්‍රධාන කාරණය වන්නේය.

එජාපයේ අරමුණ

එජාපෙ ආණ්ඩුව මෙවැනි තීරණයකට පැමිණියේ එක් අතකින් දෙමළ ජාතික සන්ධානයේ බරපතළ ඉල්ලීම මත බව විශ්වාස කළ හැකිය. ඔවුන්ගේ ඉල්ලීමක් වුවද, එසේ නොවන්නේ වුවද මෙය උතුර- නැගෙනහිර දෙමළ ජනතාවගේ ආශ්වාදය පිණිස වනු ඇතැයි එජාපෙ දේශපාලන මැනීම වීමේ ඉඩකඩ වැඩිය. දෙමළ ජාතික සන්ධානය ඊටත් වඩා එම මිනුම තුළ සිටිනවා යැයි අනුමාන කළ හැකිය. ඒ අනුව මෙය දෙමළ සන්ධානයේ ඉල්ලීමක් ඉටු කිරිමේ සම්භාවිතාව වැඩිය. ‘යහපාලනය නොව දේශපාලනය කරනවා’ යැයි කියන එජාපය, මෙවැන්නක් සඳහා දකුණේ මතුවන විරෝධය තක්සේරු නොකළා යැයි ද සිතිය නොහැක. එහෙත් ආණ්ඩුව තවදුරටත් ස්ථාවරව ඉදිරියට ගෙන යාමට, පාර්ලිමේන්තු තුළ එජාපයට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද අත්‍යවශ්‍ය වන්නේය. ඒ අනුව පළමුව එතැයි ඔවුන් සිතන ජනාධිපතිවරණයේදී උතුර- නැගෙනහිර ඡන්ද පහසුවෙන් ලබා ගැනීමේ මාවත විවර කර ගැනීම ඔවුන්ගේ අරමුණ විය හැකිය. තාවකාලිකව දකුණේ ඡන්ද පරදුවට තැබුවද නව ව්‍යවස්ථාවක් නොගෙනෙන බව අවධාරණය වන තර්ක ගොඩනගන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින්නේ සහ එජාපෙ ආණ්ඩුවට සහය දක්වන වෙනත් පක්ෂ හා කණ්ඩායම් හරහාද, එවැන්නක් සිදු නොවන බවට සහතික දෙමින් සිටින්නේ අලාභය, හැරෙන තැපෑලෙන්ම පියවා ගැනීමේ අරමුණින් යැයි අනුමාන කළ හැකිය.

මීට අමතරව ජිනීවා මානව හිමිකම් කොමිසම, යුරෝපා සංගමය ඇතුළු අන්තර්ජාතික සංවිධාන මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල්, ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් ලබාදීම කෙරෙහි දැකි විමසිල්ලෙන් සිටින බව අපැහැදිලි නැත. එජාප ආණ්ඩුවකට එම ජාත්‍යන්තර සහයෝගය උදෙසාද නව ව්‍යවස්ථාවක් ගෙනඒමේ පියවරයන් ඉදිරියට යා යුතුව තිබේ. මේ නිසා එම අන්තර්ජාතික තත්ත්වයකට මුහුණ දීම උදෙසාද විශේෂඥ කිමිටුවේ මෙම වාර්තාව ඉදිරිපත් කළා යැයි සිතීම අසාධාරණයක් නොවන්නේය.

සත්‍ය වශයෙන්ම සිදුව ඇත්තේ එවැනි දේශපාලන රැවටිල්ලක් නම් ජාත්‍යන්තරය කෙසේ වෙතත් එය ජනතාවට කරන ලද බරපතළ වංචාවක් වනවා පමණක් නොව අප්‍රසන්නම දේශපාලන ක්‍රියාවලියන්ද වන්නේය.

මේ වන විට වසර 4කට ආසන්න කාලයක් ආණ්ඩු බලයේ සිටි යහපාලන ආණ්ඩුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අවංක වුවමනාවක් තිබුණේ යැයි සිතිය නොහැක. එවැන්නක් හැඳින්විය හැක්කේ වගකීම් විරහිත රාජ්‍ය පාලනයක් මෙන්ම දැන දැනම රටේ අනාගතය ආගාධයේ පතුළට තල්ලු කිරීමේ ක්‍රියාවලියක් ලෙසය. එහි තාර්කික ප්‍රතිඵලය වූයේ සිරිසේන ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝබර් 26 වනදා ගත් තීරණයත් සමග මතු වූ දේශපාලන අර්බුදයෙන් පසු එජාපය, කළ යුතුව තිබූ අත්‍යවශ්‍ය කිසිවක් නොකළ ආණ්ඩුවක් බවට පත්ව සිටීමය. ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උරුම කර නොදුන්නා සේම ජාතික ගැටලුවට නිසි විසඳුමක් දීම උදෙසා වන අනගි අවස්ථාවද මග හැරියේය. දේශපාලන පක්ෂයක් ලෙස එජාපය අද මුහුණ දී ඇති අර්බුදයෙන් පෙනෙන්නේද නව ව්‍යවස්ථාවක් සම්මත කර නොගැනීමේ වගකීම, වෙන කවරකුටත් වඩා වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා භාරගත යුතු බවය.

දේශපාලන අපරාධයක්

දැන් යළිත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සාකච්ඡාවට මාවත විවර කරනු ලැබ ඇත්තේද එජාප ආණ්ඩුව විසින්මය. එහෙත් එය අවංක සාකච්ඡාවකට විවර කළ නියම මාවතක් නොවන්නා සේම සිදු නොවන ක්‍රියාවලියක පුස් වෙඩිල්ලක්ද වන්නේය. මෙය බලය උදෙසා වන දේශපාලන උපක්‍රමයක් ලෙස සැලකුවහොත් එවැනි අප්‍රසන්න- ලාභ දේශපාලනයකින් බරපතළ ප්‍රශ්නයක් වසා තැබීමට දරණ උත්සාහය පවා, සැළකිය හැක්කේ උතුර- නැගෙනහිර දෙමළ ජනතාවට පමණක් නොව, රටටම කරන බරපතළ අපරාධයක් ලෙසය. තම පක්ෂය, නව ව්‍යවස්ථාවක් සඳහා ප්‍රබල උත්සාහයක් ගත්තද සිරිසේන ජනාධිපතිවරයා සහ රාජපක්ෂ විපක්ෂ නායකවරයා ඊට එරෙහි වීම නිසා මෙරට දෙමළ ජනතාවට විසඳුමක් දීමේ අනගි අවස්ථාව අහිමි වූ බව, ජනතාවට කීම, මැතිවරණයකදී එජාපයේ අපේක්ෂා කළ හැක්කකි.
වැදගත් වන්නේ යුද්ධයෙන් පසු රට සහ ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීමේ කාර්යයේදී අවශ්‍යයෙන් කළ යුතුව තිබූ කාරණා, රාජපක්ෂ ජනාධිපතිවරයා සැලකිල්ලට නොගත්තා සේම වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයාද සැලකිල්ලට නොගැනීමය. ඒ අනුව එජාපයට ඊළඟ මහ මැතිවරණයේදී සහ ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියට යාමට සිදුවනු ඇත්තේ ප්‍රමුඛ ප්‍රශ්නවලදී අඩියක් හෝ ඉදිරියට තල්ලු කළ පක්ෂයක් ලෙස නොව අතට දුන් දේ කටට දමා ගත නොහැකිව අසමත් වූ පාලකයන් පිරිසක් ලෙසය. යහපාලනය ඉතිහාසගත වෙතැයි සිතිය හැක්කේද ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උරුම කර දීමත්, ජාතික ප්‍රශ්නය විසඳීමත් න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කාරනා වී තිබියදී සහ ඊට අනගි අවස්ථාව්ක උදා වී තිබියදී, ඒ කිසිවක් නොකළ ආණ්ඩුවක් වූවා පමණක් නොව රට තවත් අර්බුදයට තල්ලු කළ ආණ්ඩුවක් ලෙසය.
රටට පෙන්වමින් සිටින්නේ නොගෙනෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක විශේෂඥ වාර්තාවක් නම් එය පෙන්වා උතුර- නැගෙනහිර දෙමළ ජනතාව ඇතුළු රටේ ජනතාව රැවටීම සැලකිය හැක්කේද දේශපාලන අපරාධයක් ලෙසය. එසේ වුවහොත් යහපාලකයන්, දේශපාලන අපරාධකරුවන් බවට පත්වීමද වැළැක්විය නොහැකිය.