යහපාලනයේ සිව්වැනි සංවත්සරය සහ සිහින දැකීම

ජයදේව උයන්ගොඩ

නව වසර සඳහා දෙසැම්බර් 31දා රෑ මා මටම ශපථ කරගත් අලුත් අවුරුදු අධිෂ්ඨානය වූයේ, මාස තුනක් යනතුරු පුවත්පත් වලට දේශපාලන ලිපි ලිවීම නවතා මගේ කාලය සම්පූර්ණයෙන්ම වෙනත් ශාස්ත්‍රීය වැඩ සඳහා යොමු කරන බවයි. ඔක්තෝබර් 26 පටන්ගත් අන්ධකාර සති හත තුළදී මගේ කියවීමේ සහ ශාස්ත්‍රීය ලිවීමේ වැඩ විශාල ලෙස පස්සට ගියේය. දේශපාලන අර්බුදය නිසා ඇති වූ චිත්ත ව්‍යාකූලත්වය එයට හේතුවයි. එම පාඩුව පිළිසකර කර ගැනීම මගේ අරමුණ විය.
එහෙත් මේ සතියේ සිදුවූ සමහර දේශපාලන සිදුවීම් දෙස ඒ තරම් ආශාවකින් තොරව බලා සිටිද්දී,මගේ එම නව අවුරුදු අධිෂ්ඨානය දුර්වල වී බිඳ වැටිණ. මේ ලිපිය මගේ එම ආත්ම දුර්වලතාවයේ ප්‍රතිඵලයයි.

උත්ප්‍රාසය

ජීවිතයේ වඩාත්ම උත්ප්‍රාසජනක අඩවිය වන්නේ දේශපාලනය යැයි වරෙක ලියොන් ට්‍රොට්ස්කි කීවේය. එය කොතරම් ප්‍රස්තාවෝචිත නිරීක්ෂණයක්දැයි මට පෙනුණේ ජනවාරි 08 දා සහ 09දා ජනාධිපති සිරිසේන මහතා 2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සහ ජනාධිපති පදවි ප්‍රාප්තිය පිළිබඳ සිව්වැනි සංවත්සරය ගැන සිතන විටය. මේ දිනවල එතුමාට සහයෝගය දෙමින් එතුමා මුරුංගා අත්තේ තබමින් වර්ණනා කරන්නා වූද, එතුමා විසින් වරප්‍රසාදලාභි තනතුරු වලට පත් කෙරෙන පත්වීම් ලිපි ලබාගන්නා වූද, එතුමා සමඟ මුහුණ පිරෙන සිනා පාමින් පින්තූර වලට පෙනී සිටින්නා වූද, එතුමා වෙතින් පුද්ගලික ප්‍රතිලාභ ලබා ගැනීමට මාන බලමින් සිටින්නා වූද බොහෝ දෙනා, 2015 ජනවාරි 08 දා අවසන් වූ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේදී එතුමාට විරුද්ධ වූ, එතුමාට පුදුමාකාර ලෙස නින්දා අපහාස කළ, එතුමා සමඟ වෛර බැඳගෙන සිටි පිරිස්ය. ජනාධිපතිතුමාද ඇතුළුව මේ බොහෝ දෙනා සමරන්නේ 2015 ජනවාරි 08දා සිදු වූ දේශපාලන වෙනසේ හරය සහ අර්ථය නොවන්නේය. ඔවුන් සියලුදෙනා කරන්නේ එහි දේශපාලන මතකය සහ උරුමය හාස්‍යට ලක් කිරීමයි.

මේ අතර 2015 ජනවාරි දේශපාලන වෙනසට දායක වූ සමාජ බලවේග වලටද එහි සංවත්සරය සැමරිය නොහැකිය.
එමේ වුවත් එම වෙනස ඇති කළ දේශපාලන ව්‍යාපාරයට සුළුවෙන් හෝ සහභාගී වූ කෙනකු හැටියට එම වෙනසෙහි දේශපාලන අර්ථය ගැන යළි මෙනෙහි කරන්නේ නැතිව ජනවාරි මාසය ගත කළ නොහැකිය. මන්ද යත්, 2015 ජනවාරි මාසයේ මුදුන්පත් වූයේ ඒ වන විට ලාංකික සමාජය තුළ ගොඩනැගී තිබුණු පරිවර්තනීය දේශපාලන අපේක්ෂා ගණනාවක්ම වන නිසාය. එම අපේක්ෂා පසුව භංගත්වයට පත්වීම නොතකා තම අපේක්ෂාවල වර්තමාන අදාළත්වය ගැන අපේ රටේ පුරවැසියන් නිරතුරුව මෙනෙහි කළ යුතුය.

පරිවර්තනීය අපේක්ෂා

‘පරිවර්තනීය දේශපාලන අපේක්ෂා’ යන සංකල්පයේ අර්ථය කුමක්ද? එහි අර්ථය නම් සාධනීය සමාජ-දේශපාලන පරිවර්තනයක් ඇති කිරීම ඉලක්ක කරගෙන සමාජගත පුරවැසියන් අතර වරින්වර පැනනගින දේශපාලන ආශාවන්, බලාපොරොත්තු, සිහින, සහ ඉලක්කයි. ඒවා බොහෝවිට ප්‍රජාතන්ත්‍රීයකරණය, මානව අයිතිවාසිකම් රැකීම, දේශපාලන හා ආණ්ඩුකරණයේ දූෂණ පිටු දැකීම සහ අධිකාරවාද හරණයි, සමාජ සාමය සහ පුරවැසි නිදහස යන මේවායින් සමන්විත වේ. කාලයක් තිස්සේ දේශපාලන ප්‍රචණ්ඩත්වය, අධිකාරවාදය, රාජ්‍ය මර්දනය, යනාදියෙන් පීඩාවිඳි සමාජයක් ඒවා අවසානයට පත් කිරීමට පමණක් නොව, අලුත් දේශපාලන ජීවිතයක් ආරම්භ කිරීම සඳහාද ඇති අධිෂ්ඨානය ප්‍රකාශ කරන්නේද මෙම පරිවර්තනීය අපේක්ෂා මාධ්‍යය කරගෙනය. එම අපේක්ෂාවල ඇති පරිවර්තනීයත්වය ගැබ් වී තිබෙන්නේ නව දේශපාලන ජීවිතයක් ආරම්භ කිරීමේ ආශාව සහ අධිශ්ඨානය යන කරුණෙහිය.

දැන් අපට අමතක වී තිබෙන නමුත් 2014 ඔක්තෝබර් මාසයේ සිට ‘යහපාලනය’ යන සංකල්පය තම ප්‍රධාන දේශපාලන සටන් පාඨය කරගැනීම මගින් මෛත්‍රීපාල සිරිසේන මහතා කළේ, අප සමාජයේ ඒ වන විට ගොඩනැගී තිබුණු එම පරිවර්තනීය දේශපාලන අපේක්ෂා සහ සිහින නිර්මාණාත්මක ලෙස වාචික සූත්‍රගත කිරීමකට ලක් කිරීමයි. අද එතුමාට ළංව සිටින අයගේ බලවත් උපහාසයන්ට ඒ කාලයේ ලක් වූ ‘යහපාලනය’ සටන් පාඨය, ආණ්ඩු තන්ත්‍රයේ පරිවර්තනයක් ඇති කිරීමට තුඩු දීම, ලංකාවේ දේශපාලනයේ 2014-2015 යන වසර වන විට කුදුගැන්වී තිබුණු ‘දේශපාලන විමුක්තිය’ පිළිබඳ සමාජ අපේක්ෂාව ඉටු කිරීමේ පළමු පියවර ආරම්භ කිරීමේ අවකාශය විවිර කිරීමක් විය. එහෙත් යහපාලන සංධානයේ නායකයින්, එම පළමු පියවරවත් ඉදිරියට තැබීමට අසමත් වීම, එම පරිවර්තන අපේක්ෂාවේ කොටස්කරුවන් වූ අප අද තෙරුම් ගන්නේ සහ පැහැදිලි කරන්නේ කෙසේද?

දූෂණය

මේ ගැන බොහෝ සාකච්ඡා සහ විවරණ පසුගිය කාලයේ සිදු වී තිබේ. එම සාකච්ඡාවට කරන එකතුවක් ලෙස එක පැහැදිලි කිරීමක් පමණක් කෙටියෙන් විස්තර කිරීම මගේ අදහසයි. එය නම්, ආර්ථික හා දේශපාලන දූෂණය විසින්, 2015 ජනවාරි අප රටේ ආරම්භ වූ පරිවර්තනීය ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ගිල ගන්නා ලද බවයි. මා සිතන හැටියට නූතන ලංකවේ ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුකරණය සහ ආර්ථික ක්‍රියාවලියත්, ආර්ථික හා දේශපාලනික දූෂණයත් අතර ඇති සම්බන්ධය කඩන්නේ නැතිව, අප සමාජයේ පරිවර්තනීය අභිලාෂ ඉටු කර ගැනීම සිහිනයක්ම ලෙස පවතිනු ඇත. 2015 ජනවාරි මාසයෙන් මාස තුනක් වැනි කෙටි කාලයක් ඇතුළතදී යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවා වූ එජාපයේ නායකයින් මහ බැංකුවේ මහා පරිමාණ වංචාව ඉතා සංවිධානාත්මකව සහ සූක්ෂ්ම ලෙස කළ බව, ඒ පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තා වලින්ද, ජනාධිපති කොමිසමේ වාර්තා වලින්ද අත්දුටුවෙමි. එහෙත් එම වාර්තා වලින් යෝජනා වූ නමුත් කවුරුවත් තවමත් මතු නොකරනා ප්‍රශ්නයක් තිබේ. එය නම්, එම කොල්ලය ඇත්තටම කෙරුණේ මක් නිසාද? කුමන කරුණක් සඳහාද? යන්නයි.

නිසි පිළිතුරක් නැති මෙම ප්‍රශ්නයට අපට සිතාගත හැක්කේ අනුමාන පිළිතුරු පමණි. කෙනෙකුට යෝජනා කළහැකි එක් ප්‍රබල අනුමාන පිළිතුරක් නම් ජනාධිපති සිරිසේන මහතා ජයගත්තා මුත්, අප අපේක්ෂා කළ දේශපාලන පරිවර්තනයේ පළමු පියවර සලකුණු කළා වූත්, 2014 අගදී ඇරඹි සහ 2015 ජනවාරි මාසයේ අවසන් වූ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයට, යහපාලන සන්ධානය වියදම් කළ විශාල මුදලේ මූලාශ්‍රය කුමක්, කවුරුන් වන්නට ඇද්ද? යන ප්‍රශ්නයට දෙන පිළිතුරම වීමයි. දීර්ඝ කාලයක් විරුද්ධ පක්ෂයේ සිට පරාජය වූ මැතිවරණ ගණනාවකටත් 2005 වසරේ සිට මුදල් වියදම් කර බංකොලොත්ව සිටි එජාපයට, මූල්‍ය සම්පත් අතින් ඉතා පෙහොසත්ව සිටි රාජපක්ෂ කණ්ඩායමට එකට එක තැබිය හැකි මැතිවරණ ව්‍යාපාරයක් ගෙන යාමට මුදල් ලැබුණේ කෙසේද? එය තමන් බලයට පැමිණි විට ආපසු ගෙවීමේ පොරොන්දුව මත, ව්‍යාපාරිකයන් එක්කෙනකුගෙන් හෝ කිහිපදෙනකුගෙන් ලබාගත් මහා ණයක් වන්නට බැරිද? මහබැංකු බොන්ඞ් වංචාව යනු එම ණය පොළි සහිතව, ඉක්මනින් එකවර පොලීත් සහිතව ගෙවීමේ මාධ්‍යය වන්නට බැරිද? මෙවැනි ප්‍රශ්න අසමින් යනවිට, කෙනකු ඉතා අප්‍රසන්න උපකල්පනයක් කරා ළඟා විය හැකිය. ජනාධිපති සිරිසේන මහතාද යහපාලන ආණ්ඩුවේ සියලු දෙනා සමඟ 2015 ජනවාරි මාසයේදී බලයට පැමිණියේ, අර්ජුන ඇලෝසියස්ගේ මූල්‍ය ආයෝජනයක ප්‍රතිලාභකරුවන් හැටියට නොවන්නේද?

දූෂණ විරෝධි ව්‍යාපාරයක් අලුතෙන් ආරම්භ කිරීමට ජනාධිපති සිරිසේන මහතාගේ සහල් ව්‍යාපාරික බාල සහෝදරයා ද නායකත්වය දීමට ඉදිරිපත් වී සිටින මේ මොහොතේ, අලුතින් පත්වන ජනාධිපති කොමිසමක අවධානය යොමු කළ යුතු තේමාවක් මේ වෙතින් යෝජනා වේ. එනම් 2015 සිට මේ දක්වා පැවැත් වූ සහ මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ තුනකට වියදම් කිරීමට දේශපාලන පක්ෂ සහ ව්‍යාපාරිකයන්ද, විදේශ තානාපති කාර්යාලද අතර ඇති මූල්‍ය සම්බන්ධතා මොනවාද? ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණ වලදී ‘කළු සල්ලි’ යැයි හැඳින්වෙන අයථා ලෙස ව්‍යාපාරිකයින්ද, දේශපාලනඥයින්ද උපයන අප්‍රකාශිත ධනය ඉටු කරන කාර්යභාරය කුමක්ද? එසේ වියදම් කරන ව්‍යාපාරිකයන්ට, ආණ්ඩු බලය ලබා ගන්නා දේශපාලනඥයින් කෘත ගුණ දක්වන්නේ කෙසේද?

එක් අතකින් බලන විට, මේ ප්‍රශ්න වනාහි පිළිතුරු නැති ප්‍රශ්නම නොවේ. ජනාධිපතිතුමාද, අගමැතිතුමාද, අලුත් විපක්ෂ නායකතුමාද, සිටින හා හිටපු ඇමතිවරුන්ද මැතිවරණ අපෙක්ෂකයෝ මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු දනිති. බොහෝ මාධ්‍යවේදීන් සහ ව්‍යාපාරිකයෝ ද ඒවාට පිළිතුරු දනිති. නොදන්නෝ සාමාන්‍ය පුරවැසියන් වන අපය. අපට ඇත්තේ සැක කිරීම් හා අනුමාන කිරීම්ය. ඒවා ‘නිහඬ දැනුම’ (Tacit Knwledge) යැයි සමාජ න්‍යායේ හැඳින්වෙන අප්‍රකාශිත සමාජ දැනුමෙහි කොටසකි. ඉඳහිට හමුවන ව්‍යාපාරිකයකු හෝ මාධ්‍යවේදියකු මත්පැන් බීමෙන් පසු පමණක් තමන් දන්නා තොරතුරු අපටද කියති. ‘ඔක්කොම හොරු’ යැයි කීම අප දක්වන සාමාන්‍ය ප්‍රතිචාරයයි.

මේ පසුබිම තුළ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශාල ප්‍රශ්නයක් මෙම වසරේදී මෙරට පුරවැසියන් ඉදිරියට එනු ඇත. එය නම් දූෂණ විරෝධී වෙස් මුහුණ සහිතව ඉදිරියට එන දූෂිත බලවේගවල අලුත් සම්ප්‍රාප්තියට මුහුණ දෙන්නේ කෙසේද? යන්නයි. දුප්පත් ගොවීන්ගේ සහල්, දේශීය වෙළඳ පොළට මෙන්ම බියර් නිෂ්පාදන සමාගම් වලට විකුණා ප්‍රකෝටිපතියකු වී ඇති, සහල් වෙළඳපොලේ ඒකාධිපතිත්වය හිමි මහා ව්‍යාපාරිකයකුද අලුත් දූෂණ විරෝධී පෙරමුණක් දියත් කර ඇති අවස්ථාවක, පරිවර්තනීය දේශපාලනයක් පිළිබඳ 2015 මතු වූ අපේක්ෂා සියල්ල දැන් නැවතත් පත්වෙමින් තිබෙන්නේ මහා සරදමකට නොවේද?

මට නම් පෙනෙන්නේ, ‘දේශපාලන විමුක්තිය’ පිළිබඳ අපගේ අපේක්ෂා මෙන්ම සාකච්ඡාවද අලුත් කළ යුතු බවයි. මැතිවරණ වසරක් වන 2019 වසරේදී දේශපාලන පරිවර්තනයක් අපේක්ෂා කරන පුරවැසියන්ගේ ඉලක්කය විය යුත්තේ ‘ප්‍රජාතන්ත්‍රවාදයට ආර්ථික හා දේශපාලන දූෂණයෙන් විමුක්තිය ලබා ගැනීම.’ යන අලුත් සිහිනයයි. දේශපාලන දුක් දොම්නස් බහුල ලෝකයක සිත සතුටින් සිටීමට නම් අප කළ යුත්තේ අපේ සාධනීය දේශපාලන සිහින අලුත් කර ගැනීමයි. හොඳ සිහින දැකීම නරක දෙයක් නොවේ.