දෙවැනි නිදහස් අරගලය (VI) අල්ලස හා දූෂණය තුරන් කිරීම

වික්ටර් අයිවන්

ලංකාවේ සමස්ත රාජ්‍ය දේහය පුරා ඔඩුදුවා ගිය විනාශකාරී පිළිකාවක් ලෙස සැලකිය හැකි අල්ලස හා දූෂණය ලංකාවේ දුප්පත්කම, නොදියුණුකම හා ණයගැතිභාවය කෙරෙහි බලපා තිබෙන ලොකු සාධකයක් ලෙස සැලකිය හැකිය. රාජ්‍ය බලය දරන්නන් ඒ බලය උපයෝගී කොටගෙන අයථා ලෙස ධනය ඉපැයීම 1977 සිට ලංකාවේ රාජ්‍ය පාලනයට එකතුව වී අද දක්වා පැවත එන නිත්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ඒ නිසාම ලංකාව ඊළඟ ව්‍යවස්ථා සම්පාදනයකදී ලංකාවේ රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබෙන අල්ලස හා දූෂණය අහෝසි කිරීම එම ව්‍යවස්ථා සම්පාදනයේ වැදගත් ප්‍රමුඛ අරමුණක් බවට පත් කරගත යුතුය.

රාජ්‍යයේ පවත්නා දූෂණයේ ප්‍රධානතම මූලය වන්නේ රාජ්‍ය පාලනයේ සුක්කානම හසුරුවන මහජන නියෝජිතයන් වන දේශපාලකයන්ය. නව ව්‍යවස්ථා සම්පාදනයේදී එය ව්‍යවස්ථාදායකයේ මහජන නියෝජිතයන්ට සීමා නොකොට එය මහජනයාට වැඩි බලයක් ලැබෙන ආකාරයට සිදුකිරීම අවශ්‍ය වන්නේද එය නූතන ව්‍යවස්ථා සම්පාදනයේ වැදගත් ලක්ෂණයක් වන නිසා පමණක් නොව, ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් දූෂණයේ ප්‍රධාන මූලය ලෙස ක්‍රියා කරන තත්ත්වයක් තුළ ඔවුන්ට සීමාවූ ව්‍යවස්ථා සම්පාදනයකින් දූෂණය මුළුමනින්ම තුරන් කිරීමට හේතුවන විධිවිධාන ඇති කරන ව්‍යවස්ථා සම්පාදනයක් කිරීමට පුළුවන්කමක් නැති නිසාය. අල්ලස හා දූෂණය තුරන් කිරීමේ සැබෑ අභිලාෂයක් තිබිය හැක්කේ දූෂණයෙන් ජීවත් වන හා එහි ප්‍රධාන ප්‍රභවය ලෙස ක්‍රියාකරන ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන්ට නොව දූෂණයෙන් බැටකන මහජනතාවටය.

සාමාන්‍ය ජනතාවට අල්ලස හා දූෂණය තුරන් කිරීමේ සැබෑ අභිලාෂයක් තිබිය හැකි වුවත්, ව්‍යවස්ථා සම්පාදනයක නිරතවීමට අවශ්‍ය දැනුම හා පළපුරුද්ද සාමාන්‍ය මහජනයාට තිබිය හැක්කේ කෙසේද යන ප්‍රශ්නය කෙනකුට නැගිය හැකිය. එහි යම්කිසි ඇත්තක් තිබුණද මහජන ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනකදී මහජනයාට ඒ සඳහා වන දැනුම ලබාදෙන වැඩසටහන්ද ඇතුළත් කරගනී. එවිට එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මහජනයාට එම විෂයෙහිලා අවශ්‍ය දැනුම හා ශික්ෂණය ලබාදෙන ක්‍රියාදාමයක් බවට පත්වී අවසාන විග්‍රහයේදී මහජනයා හොඳ ව්‍යවස්ථා සම්පාදකයන් බවට පත්කිරීමටද හේතුවනු ඇත.
පහත පළවනුයේ ව්‍යවස්ථා සම්පාදනයකදී දූෂණය තුරන් කිරීමේ අරමුණ ජයගැනීම සඳහා සැලකිල්ලට ගතයුතු මූලික වැදගත් කරුණු කීපයකි.

(ආ) සියලු ප්‍රධාන නිල දරන්නන් සඳහා පොදු එක දිවුරුමක් වෙනුවට ඔවුන් දරන වගකීම්වල ස්වභාවය අනුව වෙනස්වන දිවුරුම් ක්‍රමයක් ඇති කළ යුතුය. එම දිවුරුම්වල පැවරෙන වගකීම එම වගකීම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලව ක්‍රියාකරන බවට සහතිකවීම හා පැහැර හැරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට එම දිවුරුම්වල සඳහන් විය යුතුය.

ව්‍යවස්ථා උල්ලංඝනය

(අ) රාජ්‍ය නායකයා සඳහාද අගමැති රාජ්‍ය නායකයා නොවේ නම් අගමැති ඇතුළු කැබිනට් ඇමතිවරුන් සඳහාද ඔවුන් වෙත පැවරෙන යුතුකම් හා වගකීම් සංක්ෂිප්ත වශයෙන් විස්තර කරන පැහැදිලි හා විධිමත් අර්ථකථනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය.

(ආ) චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම දඬුවම් ලැබෙන බරපතළ වරදක් බවට පත් කොට ඊට ලැබෙන දඬුවමද ව්‍යවස්ථාවේ සඳහන් කළ යුතුය. ව්‍යවස්ථාව උල්ලංඝනයකදී රාජ්‍ය නායකයාට මුක්තිය බල නොපෑමට අදාළ විධිවිධාන ඇති කළ යුතුය.

(ඇ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ලොකු වියදමකින් තොරව මහජනයාට නඩු පැවරීමේ බලය ලබාදෙන විධිවිධාන ඇති කළ යුතුය.

පොදු දේපළ අවභාවිතය

ගුවන් සංඛ්‍යාතද ඇතුළුව රාජ්‍යයට අයත් පොදු දේපළ විෂයෙහි තාවකාලික ප්‍රධාන භාරකාරයා ලෙස ක්‍රියා කරන්නේ රටේ රාජ්‍ය නායකයාය. රාජ්‍ය දේපළ විකිණීමේ බදුදීමේ හා ප්‍රදානය කිරීමේ බලය තිබෙන්නේද රාජ්‍ය නායකයාටය. එම විෂයෙහිදී ලංකාවේ රාජ්‍ය නායකයන් තමන්ට ලැබී තිබෙන අභිමත බලය වැරදි ලෙස පාවිච්චි කරමින් තමන්ගේ ගජ මිතුරන්ට සමහරවිට නොමිලේද, තවත් සමහරවිට නාමික මිලකටද රාජ්‍ය දේපළ ලබාදෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන අතර, ඒ නිසා පමණක් රාජ්‍යයට සිදුවී තිබෙන අලාභයේ ප්‍රමාණය අතිවිශාලය. මහජනයාට ඒ ගැන යථා අවබෝධයක් ලබාදීම සඳහාත්, එවැනි වැරදි නැවත ඇතිවීම වැළකීම සඳහාත් රාජ්‍ය නායකයන් විසින් මේ දක්වා එම විෂයෙහි කර තිබෙන බරපතළ වැරදි සොයා බලා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට වාර්තා කරන ක්‍රමයක් ඇති කළ යුතුය.

(අ) පොදු දේපළ විෂයෙහි දේපළ විකිණීමට, බදු දීමට හා ප්‍රදානයට රාජ්‍ය නායකයාට ලැබී තිබෙන අභිමත බලය අහෝසි කළ යුතුය. රාජ්‍ය නායකයා එම බලය පාවිච්චි කළ යුතු ආකාරය පැහැදිලි කරන විධිමත් අර්ථකථනයක් ඇති කරගත යුතුය.

(ආ) එම විෂයෙහි කරන ඕනෑම විකිණීමකට, බදු දීමකට හෝ ප්‍රදානයකට පෙර එය මහජනයාට දැනගැනීමට සැලැස්වීම අනිවාර්ය කොන්දේසියක් බවට පත් කළ යුතු අතර ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ අනුමැතිය ලබාගැනීමද අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත් කළ යුතුය. පොදු වැදගත්කමක් ඇති එවැනි නඩුකරවලට මැදිහත්වීමට මහජනයාට තිබෙන අයිතිය ශක්තිමත් කිරීමට හේතුවන විධිවිධාන ඇති කළ යුතුය.

රජය සමග ව්‍යාපාර කිරීම

1977 දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කිරීම සපුරා තහනම් විය. එවැනි වැරදි කරන අයගේ මන්ත්‍රීකම් අහෝසි කරන ලදි. මෙය සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රියාත්මක වන නෛතික සම්ප්‍රදායක් ලෙසද සැලකිය හැකිය. ජයවර්ධන ජනාධිපතිවරයා ඊට අදාළ නීතිය අහෝසි කළේ නැතත්, සම්ප්‍රදාය ක්‍රියාත්මකවීම වළකා මන්ත්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කිරීමේ නිදහස ලබාදෙන ලදි. ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපතිවරුද, එම ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීතියට පටහැනි කැත සම්ප්‍රදායට අලුත් අංග එකතු කරමින් වර්තමානය දක්වා එය පවත්වාගෙන ගියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ආණ්ඩුව සමග ව්‍යාපාර කරන ජාවාරම්කරුවන් බවට පත්ව සිටිති. සමහරෙක් නාමික මිලකට ආණ්ඩුවේ ඉඩම් මිලදී ගෙන වැවිලි ව්‍යාපාර පවත්වාගෙන යන වැවිලිකරුවන් බවට පත්ව සිටිති. සමහරෙක් රජයේ කොන්ත්‍රාත්කරුවන් බවට පත්ව සිටිති. තවත් සමහරෙක් බලපත්‍රලාභී දැව, ගල් වැලි හා මත්පැන් ජාවාරම්කරුවන් බවට පත්ව සිටිති. මේ ක්‍රමය, දේශපාලනය අයථා ලෙස ධනය උපායගත හැකි පහසු මාර්ගයක් බවට පත්කිරීමට හේතුවී තිබේ. එම පැවැත්ම ඔවුන්ට තිබිය යුතු මහජන නියෝජන ලක්ෂණය අහිමි කොට ඔවුන් අයථා මාර්ගවලින් ධනය උපයා ගැනීම වෙනුවෙන් පෙනී සිටින්නන් පිරිසක් බවට පත්කිරීමට හේතුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තිබෙන පිළිගත් නෛතික සම්ප්‍රදායන්ට එරෙහිව යමින් රජය සමග ව්‍යාපාරික ගනුදෙනුවල යෙදුණු මන්ත්‍රීවරුන් ගැන සොයා බලන තැනකට යායුතු වන අතර එම වැරදි කළ අය සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුද යන්න තීන්දු කිරීමේ බලය අධිකරණයට දිය යුතුය.

(අ) මහජන ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්ට ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීම සපුරා තහනම් කොට එවැනි වැරදි කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් අහිමි කරන ක්‍රමය නැවත ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කළ යුතුය.

(ආ) කවර ප්‍රජාතන්ත්‍රවාදී රටකවත් මන්ත්‍රීවරුන්ට බදු විරහිත වාහන බලපත්‍ර ලබාදී ඔවුන් ගමන් ගන්නා වාහනවලට ලොකු ඉන්ධන වියදමක් ලබාදෙන ක්‍රමයක් ඇත්තේ නැත. ඒ ක්‍රමයද තහනම් කෙරෙන විධි විධාන ඇති කළ යුතුය.

(ඇ) විමධ්‍යගත අරමුදලෙන් මන්ත්‍රීවරුන්ට වාර්ෂිකව මුදල් වෙන් කෙරෙන ක්‍රමයද, පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි, ඵලදායී නොවන අයවැය මත අනවශ්‍ය බර පැටවීමක් කරන නාස්තිකාරී ක්‍රමයකි. එම ක්‍රමයද අවලංගු කරන විධි විධාන ඇති කළ යුතුය.

කාර්ය මණ්ඩල ක්‍රමය හා වාහන පරිහරණය

ජනාධිපති ජයවර්ධන පාලන කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 25කටත් වඩා අඩු විය. වාහන සංචිතයේ තරමද ඉතාමත් කුඩා විය. ඔහුට උපදේශකයෝද නොසිටියහ. මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවක සංඛ්‍යාව දහස් ගණනකි. අගමැති ලේකම් කාර්යාලයේ සේවක සංඛ්‍යාවද දහස් ගණනකි. මෙම කාර්යාල දෙකේ තිබෙන වාහන සංචිත දෙකේ තිබෙන වාහන සංඛ්‍යාවද දහස් ගණනකි. ජනාධිපතිවරයකුට සිටින උපදේශක සංඛ්‍යාව සිය ගණනක් තරම් විශාලය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරුන් එම උපදේශකයන්ගෙන් උපදෙස් ගැනීමක් සිදු නොකරන අතර ඔවුහු වැඩට වාර්තා කිරීමක්ද නැතිව වැටුප් හෝ දීමනා ලබා ගනිති. ඔවුන්ට වාහන පහසුකම් හා ඉන්ධන ද ලබා දේ.

(අ) විධායක ජනාධිපති ක්‍රමයක් පවත්වාගෙන යන්නේ නම් රාජ්‍ය නායකයා වශයෙන් ජනාධිපතිටද, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට අගමැති හා කැබිනට් මණ්ඩලය මුල්කර ගත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් පවත්වාගෙන යන්නේ නම් රාජ්‍ය නායකයා වශයෙන් අගමැතිටද තිබිය යුතු කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය හා වාහන සංචිතයේ ප්‍රමාණය ගැන විධිමත් තක්සේරුවකට හා අර්ථකථනයකට යමින් රාජ්‍ය නායකයාගේ කාර්ය මණ්ඩලය හා වාහන සංචිතය ඊට අනුකූල කළ යුතුය.

(ආ) රාජ්‍ය නායකයාගේ හා ඇමති මණ්ඩල සාමාජිකයන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල ක්‍රමය අහෝසි කළ යුතුය. එය එම නිල දරන්නන්ගේ පවුලේ සාමාජිකයන්ට වැටුප් හා වරප්‍රසාද ලබාදීම සඳහා පවත්වාගෙන යන රජයට විශාල වැය බරක් දරන්නට සිදුවී තිබෙන අශෝභන හා දූෂිත ක්‍රමයක් ලෙස සැලකිය හැකිය.

(ඇ) විශ්‍රාම යන රාජ්‍ය නායකයන්ට හා ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ට හා බිරියන්ට රජයේ වියදමෙන් නිල නිවාස හා කාර්ය මණ්ඩල ලබාදෙන ක්‍රමයද අහෝසි කළ යුතුය. එම ක්‍රමය නිසා සිදුවී තිබෙන්නේ හොඳ නිවාස තිබෙන අය ඒවා ලොකු මුදලකට බදු දී නිල නිවසක් හා කාර්ය මණ්ඩලයක් සඳහා තිබෙන අයිතිය අවභාවිත කිරීමය. දුප්පත් කෙනකු රාජ්‍ය නායක ධුරයට පත්වී විශ්‍රාම යන විට ඔහුට සහ ඇයට සුදුසු නිවසක් නැති අවස්ථාවලදී පමණක් රජයේ නිල නිවසක් පමණක් ලබාදෙන ක්‍රමයක් ඇති කළ යුතුය.

(ඈ) උසස්ම නිල තනතුරු දරන දේශපාලකයන්ට ලැබිය යුතු ආරක්ෂාවේ ස්වභාවය හා එහි තරම පිළිබඳවද ඒ මගින් කෙරෙන විශාල ධන නාස්තිය අවම කරගැනීමට හේතුවන විධිමත් ප්‍රතිපත්තියක් ඇති කරගත යුතුය.

(ඉ) ලංකාව නිල වැදගත්කමක් ඇති ලොකු තනතුරු දරන්නන්ට දෙන මිල අධික අධිසුඛෝපභෝගී වාහන සඳහා කරන වියදම අතිවිශාලය. එය දේශපාලන අර්ථයෙන් ශීලාචාර කවර රටකවත් දක්නට නැති ඔවුන්ගේ පුහු උජාරුව වෙනුවෙන් කරන නාස්තිකාර වියදමක් ලෙස සැලකිය හැකිය. සුප්‍රා ගණයේ නිලධාරීන්ට ලබාදෙන වාහනයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 200කට වැඩිය. ඉන්ධන ලීටරයකට වැය කරන කිලෝමීටර් ගණන 07කටත් අඩුවිය හැකිය. පළමු පෙළේ දේශපාලන නායකයන් පාවිච්චි කරන වාහනයක මිල රුපියල් ලක්ෂ 1000කටත් වැඩි බව කියනු ලැබේ. අධිසුඛෝපභෝගී මිල අධික වාහනවලින් ගමන් කිරීමට දක්වන කෑදරකම සුවිශේෂ ආකාරයක උමතුවක් බවට පත්වී තිබෙන්නේ යැයි කිව හැකිය. රටට ලොකු වැය බරක් දැරීමට හේතුවී තිබෙන මෙම අවලස්සන ක්‍රමය අවසන් කිරීමට හේතුවන ඒ සඳහා වන නව ප්‍රතිපත්තියක් ඇති කරගත යුතුය.

අල්ලස හා දූෂණය මර්දනය කිරීම

(අ) වැරදි කරන ජනාධිපතිවරයකු නිලයෙන් පහකිරීම සඳහා යොදාගත හැකි ක්‍රමයක් වශයෙන් දෝෂාභියෝග ක්‍රමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දී ඇත. එය තර්කානුකූල අවසානයකට ළඟාවිය නොහැකි වැල්වටාරම් ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන්නෙහි නම් එහි දක්වා ඇති ක්‍රමය ප්‍රායෝගික කිරීමට හේතුවන ආකාරයට සංශෝධනය කළ යුතුය.

(ආ) ජනප්‍රිය ප්‍රාරම්භක ක්‍රමය යොදා ගනිමින් බරපතළ වැරදි කරන උසස් තනතුරක් දරන පුද්ගලයකුට එරෙහිව මහජනයාට ව්‍යවස්ථාදායකය වෙත දෝෂාභියෝගයක් හෝ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පුළුවන්කම ලබාදෙන ක්‍රමයක් සඳහා විධිවිධාන ඇති කළ යුතුය.

(ඇ) උසස් තනතුරක් දරන පුද්ගලයකුගේ දූෂිතභාවය සනාථ කිරීමට අවශ්‍ය තරම් සාක්ෂි තිබෙන අවස්ථාවකදී එම පුද්ගලයාට එරෙහිව දෝෂාභියෝගයක් හෝ විශ්වාසභංගයක් තනි පුද්ගලයකුට වුවද ආරම්භ කිරීමට හැකිවන ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා විධිවිධාන ඇති කළ යුතුය.

එම ගණයට වැටෙන පැමිණිලි භාරගෙන විමර්ශනය කිරීමේ බලය විගණකාධිපතිවරයාට ලබාදිය හැකිය. ඒ සඳහා වන විශේෂ ඒකකයක් ආරම්භ කොට පවත්වාගෙන යෑමේ බලය විගණකාධිපතිවරයාට ලබාදිය හැකිය. එම ඒකකය මහජනයාගේ සේ ම ව්‍යවස්ථාදායකයේද පරීක්ෂාවට ලක්වන ඒකකයක් විය යුතුය. එම ඒකකය කරනු ලබන විධිමත් පරීක්ෂණයකින් චෝදනා සනාථ වන අවස්ථාවලදී චෝදනාලාභියා දෝෂාභියෝගයකින් පහ කළ යුතු පුද්ගලයකු වේ නම් ඔහුට එරෙහිව ව්‍යවස්ථාදායකට දෝෂාභියෝගයක්ද, චෝදනාලාභියා විශ්වාසභංග යෝජනාවකින් පහකළ යුතු පුද්ගලයකු වේ නම් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ව්‍යවස්ථාදායකය වෙතද ඉදිරිපත් කිරීමේ අයිතිය විගණකාධිපතිවරයාට ලබාදෙන විධි විධාන ඇති කළ හැකිය. විගණකාධිපතිවරයාගේ නිර්දේශ ඇතුළත් පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලබා දුන් විට එම වාර්තාව න්‍යාය පත්‍රයට ඇතුළත් කොට විවාදයට ලක් කොට ඡන්ද විමසීමකට ලක්කිරීමට නියම කරන විධි විධාන ඇති කළ හැකිය. මේ සඳහා ව්‍යවස්ථාදායකයේ සිදුවන විවාදය ආරම්භයේදී චූදිතයාටද පිළිතුරුදීමට අවස්ථාවක් ලැබෙන පරිදි පරීක්ෂණය සිදුකරන ලද ආකාරය හා එහිදී සොයා ගත් කරුණු පිළිබඳව විස්තර ඇතුළත් විග්‍රාහාත්මක දේශනයක් කිරීමේ අයිතියද විගණකාධිපතිවරයාට ලබාදිය හැකිය. නීතියට අනුකූල විධිමත් පරීක්ෂණයකින් වරදකරු කරනු ලැබූ පුද්ගලයා දෝෂාභියෝගයකින් හෝ විශ්වාසභංග යෝජනාවකින් තනතුරෙන් පහකිරීමට අවශ්‍ය නොවන පුද්ගලයකු නම් විගණකාධිපතිවරයාගේ පරීක්ෂණ වාර්තාව එම වරදකරු කරන පුද්ගලයා සේවය කරන රාජ්‍ය ආයතනය භාර අමාත්‍යාංශ ප්‍රධානියාට යැවීමෙන් පසු එම පුද්ගලයා සේවයෙන් පහකිරීමේ බලය අමාත්‍යාංශ ප්‍රධානියාට ලබාදෙන විධි විධාන ඇති කළ යුතුය.

(ඈ) 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත ප්‍රධාන කොට අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති රාජ්‍ය නිලධාරීන් හඳුනා ගැනීමේ බලය මහජනයාට දෙමින් අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති පුද්ගලයන්ට එරෙහිව මහජන සහාය ඇතිව නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා සකස් කර තිබෙන ඉතා බලවත් නීතියක් ලෙස සැලකිය හැකිය. මේ නීතිය අනුව වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින ඕනෑම පුද්ගලයකුගේ වත්කම් බැරකම් ප්‍රකාශවල සහතික පිටපත් ලබාගැනීමේ අයිතිය මහජනයාට හිමිය. සහතික පිටපත් සඳහා නියම කර තිබෙන ගාස්තුව ගෙවා කිසියම් පුද්ගලයකුගේ සහතික පිටපත් ඉල්ලා සිටින කෙනකුට අදාළ බලධාරියා කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව එම සහතික පිටපත් ලබාදිය යුතුය. එක්දහස් නවසිය ගණන් මැද දක්වාම මහජනයාට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට තිබෙන අයිතිය වළකා තිබුණි. මහජනයාට වසා තිබුණු එම දොරටුව විවෘත කරගත් පළමු පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ මාය. ඒ නිසා මේ විෂය ගැන කතා කිරීමේ න්‍යායික දැනුමක් සේ ම ප්‍රායෝගික අවබෝධයක්ද මට තිබෙන්නේ යැයි කිව හැකිය.

මෙම නීතියේ තිබෙන දුර්වලතා ඉවත් කොට එම නීතිය බලවත් හා යාවත්කාලීන කිරීමෙන් පමණක් රාජ්‍ය නිලධාරීන්ට අදාළ අල්ලස් හා දූෂණ විෂයෙහි ලොකු විප්ලවයක් ඇති කළ හැකිය. ඒ මගින් නිල බලයක් ඇතිව අයථා ලෙස ධනය උපයන්නන් තුළ ඒ මගින් ලොකු බයක් ඇති කළ හැකි අතර එම වැරදි කරන පුද්ගලයන් කවදා හෝ නීතියේ රැහැනට කොටුකර ගැනීමට පුළුවන් තත්ත්වයක් ඇති කළ හැකිය. ඉතා වැදගත් කොට සැලකිය හැකි මෙම නීතියද මේ වනවිට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසම විසින් දෙන ලද තීන්දු දෙකක් මගින් බෙලහීන කර ඇති බවද කිව යුතුය. මෙම බලවත් නීතිය පණගැන්වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේවාය.

(ඉ) වත්කම් බැරකම් ප්‍රකාශ කරන්නා පිරවිය යුතු පෝරමය විධිමත් කොට වර්තමානයට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතුය. දැන් තිබෙන නීතිය අනුව මේ විෂයෙහි වරදක් කර තිබෙන පුද්ගලයකුට දිය හැකි උපරිම දඬුවම රුපියල් 1000ක් හෝ එක් වසරක සිරදඬුවමකි. අවම දඩය රුපියල් ලක්ෂ 5ක් කොට එය අයථා ලෙස උපයන ධනයේ ප්‍රමාණයට ගැළපෙන ලෙස ඉහළ දැමිය යුතුය. සිරදඬුවමද අවම සිරදඬුවම අවුරුදු 3ක් බවට පත් කළ යුතුය. වරද කරන පුද්ගලයකුට දඩ ගසනවාට අතිරේකව සිරදඬුවමක් පැනවීමද අනිවාර්ය කළ යුතුය. පිරවිය යුතු පෝරමය විද්‍යුත් පෝරමයක් බවට පත් කොට වත්කම් බැරකම් ප්‍රකාශ සඳහාම පවත්වාගෙන යන වෙබ් අඩවියක් මගින් වත්කම් බැරකම් ප්‍රකාශ නොමිලේ පරීක්ෂා කිරීමේ බලය මහජනයාට ලබාදිය යුතුය.

එම නීති ප්‍රතිසංස්කරණයෙන් පමණක් අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති සියලු රාජ්‍ය නිලධාරීන් කොටුකර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත්තේය. ඒ සමග එම වැරදි පුරුද්දෙන් අත්මිදීමේ අවශ්‍යතාවද රාජ්‍ය නිලධාරීන් බැරෑරුම් ලෙස තේරුම් ගනු ඇත. ඒ මගින් පමණක් එම විෂයෙහි ලොකු පෙරළියක් ඇති කිරීමට හේතුවනු ඇත.

(ඊ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමද හොංකොංවල තිබෙන දූෂණයට එරෙහි ස්වාධීන කොමිෂන් සභාව (Independent Commission Against Corruption) ආදර්ශයට ගෙන නැවත සකස් කළ යුතු අතර ඊට ගැළපෙන ලෙස 1994 අංක 19 දරන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතද වෙනස් කළ යුතුය. ඒ මගින් එම කොමිසමේ ව්‍යුහයද, ඊට කොමසාරිස්වරුන් පත් කෙරෙන විධියද, පත්වන කොමසාරිස්වරුන්ගේ ස්වරූපයද, පරීක්ෂකයන් බඳවා ගන්නා ආකාරයද, පරීක්ෂණ පැවැත්වෙන විධියද මුළුමනින් වෙනස් වනු ඇත. හොංකොං රට කලක් අල්ලස් හා දූෂණයෙන් කුණුවූ තත්ත්වයක තිබූ රටකි. අද එය සැලකෙන්නේ දූෂණයෙන් තොර රටක් ලෙසය.

වර්තමානයේ හොංකොං රට හිමිකරගෙන තිබෙන දියුණුව කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකය ලෙස සැලකෙන්නේ එම කොමිසමේ ඵලදායී දූෂණ පාලන ක්‍රමවේදයයි. ලංකාවටද එම රටින් ඉගෙන ගතහැකි අතර ලංකාවේ දූෂණය පාලනය සඳහා ආයතන ක්‍රමයක් ඇතිකර ගැනීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් ලබාදීමට එම කොමිසම කැමැත්තක් දක්වන බවද කිව යුතුයි.