සූත්තර දාගෙන යන්න නම් ආණ්ඩුවක් මොකටද? -රවි කරුණානායක (නියෝජ්‍ය නායක-එක්සත් ජාතික පක්ෂය) විදුලි බල සහ ව්‍යාපාර සංවර්ධන ඇමති

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

මේ වන විට මාධ්‍ය වාර්තා පළවෙනවා තෙල් මිලට වගේ විදුලි ගාස්තු අය කිරීමට අදාළවත් සූත්‍රයක් හඳුන්වා දීමට යන බව. එය ඇත්තක්ද?

ඒ වගේ ජනතාවට සූත්තර දාන කට්ටියක් ඉන්නවා. ඒත් අපි පාරිභෝගිකයාට අහිතකර තත්ත්වයක් ඇතිවෙන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ. අපි මිල සූත්‍රයක් ගේන්නේ නෑ. එය අනවශ්‍යයයි. ලංකා විදුලිබල මණ්ඩලය ශක්තිමත් කරලා ඔවැනි දේවල් සිදු නොවන විදිහට කටයුතු කරනවා. දේශපාලන තීන්දුවක් අනුව කොන්ද කෙළින් තියාගෙන තීන්දුවක් ගන්න බැරි තත්ත්වයක් තමයි දැනට වෙලා තිබුණේ. ඕකට තමයි ඔය සුද්දෝ ටික ඇවිල්ලා ඇඟිලි ගහන්න හදන්නේ. ඒක ඇති නොවෙන විදිහට මේ ආයතනය ශක්තිමත් කරන එක තමයි අපි කරගෙන යන්නේ. හැම තැනම සූත්තර දාගෙන යන්න නම් ආණ්ඩුවක් ඕනේ නෑනේ.

ස්වාභාවික ගෑස් ගබඩා කිරීම සඳහා ස්විස් චැලේන්ජ් කියන නැවක් මිලදී ගන්නටත්, කොරියාවෙන් ගෑස් ගෙන්වීමටත් විදුලි බල මණ්ඩලය සූදානම් වන බවත්, ඒ ගනුදෙනුව යට විශාල මුල්‍ය වංචා සිදුවන බවටත් ප්‍රසිද්ධ චෝදනාවක් එල්ල වී තිබෙනවා. මේ ගැන කිසියම් සොයා බැලීමක් කළාද?

හොයලා බලලා තියනවා. තවදුරටත් හොයා බලාගෙන යනවා. මම ඇවිල්ලා තවම දවස් දහයයිනේ. අපි එන්න ඉස්සෙල්ලා තමයි ඕක ඉදිරිපත් කෙරිලා තියෙන්නේ. සමහර දේවල් ගැන නොදැනුවත්ව සමහරු කතා කරනවා. මේ රටේ තියන ලොකුම ප්‍රශ්නය තමයි රට ගිනි තියලා මොකක්ද මේ ගින්න කියලා හොයන එක. හරි ලේසියි එහෙම ගිනි තියන්න. මේකේ අවුරුද්දකට කෝටි පන්දහක අලාභයක් තියනවා. මට මතකයි මුළු මහවැලිය හදන්න එදා කෝටි පන්දහයි ගියේ. ඒ කියන්නේ මේකෙන් හැම අවුරුද්දකම මහවැලියක් හදන්න තරම් මුදලක් නැති කරලා තියෙන්නේ. කවුරුත් මේ සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ. මං දන්නෑ මේ රටේ මොන හෙණයක් ඇතිවෙලා තියනවාද කියලා. අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ ආයතනයට පාඩුවක් නොවෙන විදිහට රටේ හැම කොණකටම විදුලි බලය දෙන්න. එහෙම දෙන්න හදන කොට තමයි ඔය ප්‍රශ්න ඇතිවෙන්නේ. කෝටි පන්දහක අලාභයක් සිදුවුණේ කොහොමද කියන ප්‍රශ්නේ කවුරුවත් අහන්නේ නෑ.

කොහොමද කෝටි පන්දහක අලාභයක් ඇතිවුණේ? ඒකත් මහින්ද රාජපක්ෂ පාලන කාලයේ වුණු දෙයක් ද?

අනුරුද්ධ රත්වත්තේගේ කාලේ ඉඳන් වෙලා තියෙන්නේ. මේවා නැති කරන්න කවුරුත් කතා කරන්නේ නෑ. ඒවා නැති කරන්න ගියාම වෙනම ප්‍රශ්නයක් ඇතිවෙනවා. මිල සූත්තර කිසිවක් අවශ්‍ය නෑ. අංක ගණිතය අනුව මේවා පාඩු නොවෙන විදිහට කටයුතු කළා නම් ඔය තරම් ප්‍රශ්නයක් නෑ. මම මුදල් ඇමති කාලේ තමයි පළමුවැනි වතාවට මේකේ ලාභයක් ඇතිවුණේ. ඒ වෙලාවේ අපි කරපු දේවල්වලට එහෙම වුණත් පස්සේ මේක වෙනින් ආකාරයකට ගෙනිච්චා. 2015, 16, 17 එක මෙගවොට් එකක්වත් තාප බලාගාරවල උත්පාදනය කරලා නෑ. හැබැයි සෝලා කරන එක කරලා තියනවා. ඒ පොඩි ප්‍රමාණය විතරයි.

දේශපාලනය පැත්තට අවධානය යොමු කළොත් මුදල් අමාත්‍යාංශයම ඉල්ලමින් ඔබතුමත් ආණ්ඩුව ඇතුළේ ලොකු අරගලයක් කරන බව කියන්නේ ඇත්තද?

දොස්තර කෙනෙකු කෝකියෙක් වෙන්න බෑනේ. ගණකාධිකාරිවරයකුට ගිහිල්ලා මෝස්තර නිරූපණය කරන්නෙක් වෙන්ඩත් බෑනේ. මුදල් ඇමැති තනතුර ලැබුණට පසුව මට ආසියාවේ හොඳම මුදල් ඇමැති වෙන්ඩ පුළුවන් වුණා. මට හිමි දේ, මට දෙනවා කිව්ව දේ නොදුන්න එක තමයි මම කිව්වේ. අගමැතිතුමා, සියලුම පක්ෂ නායකයෝ, සියලුම දෙනා ඒ මුදල් ඇමතිකම මට දෙනවා කියලා තමයි පොරොන්දු වුණේ. ඔක්තෝබර් 26 වෙනිදාට කලින් කිව්වෙත් දෙන්න තියනවා, ඒත් ජනාධිපති දෙන්නේ නෑ කියලා. ඒක බොරුවක්නේ. අපේ පක්ෂයේම දෙන්නෙක් තුන්දෙනෙක් තමයි විරුද්ධ වුණේ.

අමාත්‍යාංශ බෙදීම, ඇමති ධුර ලබාදීම, විද්‍යාත්මක ක්‍රමයකට කිරීමක් ගැන පහුගිය කාලේ කතා කෙරුණා. අලුත් ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ ඒ කියන විද්‍යාත්මක ක්‍රමයටද? නැත්නම් වෙනත් විශේෂ ක්‍රමයකටද?

අදාළ සියලු විෂය පුළුවන් තරම් එකට එකතු කිරීමක් තමයි මම හිතන විදිහට ඔය විද්‍යාත්මක ක්‍රමය කියලා හඳුන්වන්නේ. එවැනි දේවල් තමයි කොයි කැබිනට් එකේ වුණත් එකතු කරලා තියලා තියෙන්නේ. යම් යම් තැන්වල කැබිනට් එකේ සංඛ්‍යාව වැඩි කරන්න අවශ්‍ය වුණාම එකක තියන එක දෙක තුනකට කැඩෙනවා. එතකොට විද්‍යාත්මක භාවය නැතිවෙනවා. නිදහසේ ඉඳලා ඔය කියන විද්‍යාත්මක ක්‍රමයකට සිදුවුණා නම් මම හිතන්නේ රටට හොඳයි. ඒත් දේශපාලන තත්ත්වය අනුවත්, මනුෂ්‍ය ඉල්ලීම් අනුවත් ඒවා වෙනස් වෙනවානේ. ඒ විදිහට එදා ඉඳන් මේ කැබිනට් එක වෙනස් වෙලා තියනවා දරා ගන්න බැරි මට්ටම් දක්වා. ඒක නිසා තමයි ඔය විද්‍යාත්මක පදනම කුඩු පට්ටම් වෙලා තියෙන්නේ.

පුද්ගලයන්ගේ ඉල්ලීම්, බලපෑම් ආදී පෞද්ගලික කාරණා පදනම් කරගෙන කැබිනට් මණ්ඩලය තීරණය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකව ඔබ දරන අදහස මොකක්ද? ඔබ ඊට එකඟද?

මෙතන යම් සීමිත ප්‍රමාණයකට ඇමතිකම් දෙන්න ඕනෙනේ. සන්ධාන ගතකිරීම් තුළ අද පක්ෂ ගණනාවක් එකතු වී සිටිනවා. ඒ අයට කොටසක් ලබාදෙන්න ඕනේ. හිටපු කට්ටියටත් ලබාදෙන්න ඕනේ. ඔය ප්‍රශ්නේ තියනවා. ඒ නිසා ඉල්ලන දේවල් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වුණේ නැති වුණත් යම් දේවල් ලබාදිය යුතු වෙනවා. ඒත් ඒක රටට අහිතකර නොවෙන විදිහට, ජනතාවට අහිතකර නොවෙන විදිහට සිදු විය යුතුයි.

රටකට ඇමති මණ්ඩලයක් අවශ්‍ය වෙන්නේ රටේ ප්‍රශ්න විසඳාගන්න සහ ඒවා කළමනාකරණය කර ගැනීමට මිස දේශපාලකයන්ට තනතුරු වරප්‍රසාද ලබාදීමට හෝ සන්ධාන හදන්න එක්වුණ අය සතුටු කරන්න නොවෙයි නේද?

එහෙම නම් ඉතිං ඇමතිවරු දොළහක් හිටියත් ඇතිනේ ලංකාවට. ඇමරිකාවේ පහළොවක් තිබ්බාම, ජපානයේ දාහතරක් තිබ්බාම ඇයි ලංකාවේ තිස්පහක් ඕනේ වෙන්නේ? ඒක ලංකාවේ දේශපාලන වාතාවරණය අනුව සිදුවන දෙයක්. ඇමරිකාවේ ජපානයේ දේශපාලන ගමන නෙවෙයි මෙහෙ තියෙන්නේ. ඒ නිසා ඔය ප්‍රශ්නයට මට කෙළින් උත්තරයක් දෙන්න අමාරුයි. මේක තමයි ලංකාවේ දේශපාලන සංස්කෘතිය. මෙහෙ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියලා බලයට ආව විධායක ජනාධිපතිවරු කී දෙනෙක් දෙවැනි වතාවටත් ඒ පුටුවටම තරග කරලා ඒකෙම ඉඳගෙන තියෙනවාද? කවුද ඒකට අනුමැතිය දෙන්නේ. ඒ අය නොවෙයි ජනතාවමනේ අනුමත කරන්නේ. කරන ක්‍රමේ ජනතාව අනුමත කරනවා නම් ඉතිං ඒක ජනතා අනුමැතියෙන් ක්‍රියාත්මක කරන ක්‍රමයක් බවට පත්වෙනවා.

2015 ජනවාරි 08 දේශපාලන වෙනසේදී ජනතාව බලාපොරොත්තු වුණේ ශීලාචාර නව දේශපාලන සංස්කෘතියක්. ඒ වෙනසින් බලයට පත්වෙච්ච ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂයේ නියෝජ්‍ය නායකයා විදිහට ඔබට පුළුවන්ද කාලයක් තිස්සේ පැවතගෙන ආව නිසා අපිත් ඒ විදිහටම කරගෙන යනවා කියන කතාව කියන්න?

අපේ තියෙන්නේ ශීලාචාර දේශපාලන ගමනක්. ඒත් ශීලාචාරකම තුළින් ගෙනියන කොට අශීලාචාර දේවලුත් වෙලා තියනවා. ඒක දේශපාලනයේ විතරක් නොවෙයි මාධ්‍යයෙනුත් වෙලා තියනවා. වල් බූරු නිදහසක් අරගෙන මාධ්‍ය කටයුතු කරගෙන යනවා. අපි වගේ අයගෙත් චරිත ඝාතනය කරලා තියනවා. ඒ පැත්ත නොබලා කතා කරන එක සුදුසු නෑ. යහපාලනය දෙන කොට වගකීම සහ ඒකෙන් රැකවරණයක් ලැබීම දෙකම එකට තියෙන්න ඕනේ. අපි යහපාලනය කරලා අනෙක් අය දේශපාලනය කරනවා නම් යහපාලනය කරන අයට මොකක්ද තියන තැන. ඔක්තෝබර් 26 වෙනිදා ගිය ගමන යහපාලනයට ගිය ගමනක් නෙවෙයිනේ.

‘ජනවාරි 8’ වෙනසින් පසුව රටේ ඇතිවුණ සුබවාදී දේශපාලන ප්‍රවණතාවක් තමයි දූෂණ චෝදනාලාභී ඇමතිවරුන්ට ඉල්ලා අස්වෙන්නට සිදුවීම. බරපතළ කාරණා සම්බන්ධයෙන් චෝදනා ලැබීම නිසා එහෙම ඉල්ලා අස්වූ ඇමතිවරුන් සියල්ලටම දෙවන වටයකදී නැවත වාරයක් ඇමති තනතුරු ලැබෙනවා. මේක කොයිතරම් දුරට යහපාලනයට එකඟ ද?

ඉල්ලා අස්වෙන වෙලාවෙදි ප්‍රශ්නයක් තිබුණ නිසා ඉල්ලා අස්වුණා. ඊට පස්සේ ප්‍රශ්නයක් නැතිව හොඳින් සිටි නිසා නැවත පත් කරලා තියනවා. ඊට වැඩිය ප්‍රශ්න ඇති අය තවම ඉල්ලා අස්වෙලා නෑ. ඒ අය තාම ඉන්නවා. මම ඉල්ලා අස්වුණේ මොකුත් ප්‍රශ්නයක් නිසා නෙවෙයිනේ. ඒ වෙලාවේ තිබුණු තත්ත්වය අනුව මම හිතුවා මට එහෙම දේශපාලනයේ රැඳී සිටින්න ඕනේ නෑ කියලා. ඒ නිසා මම ඉල්ලා අස්වුණා. අනෙක් අයට නැති වුණාට මට ඒ ආත්ම ශක්තිය තියනවා. මට නැවත ඇමතිකමක් හම්බ වුණේ ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නැති නිසා. ප්‍රශ්න ඇති අය කීයක් ඇමති මණ්ඩලේ ඉන්නවාද?

එහෙම අය ඉන්නවා නම් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂයේ නියෝජ්‍ය නායකයා විදිහට ඔබටත් පුළුවන් විය යුතුයිනේ ඒ වැරැද්ද නිවැරදි කරන්න මැදිහත් වෙන්න?

නියෝජ්‍ය නායකයා කිව්වට මම මේ නිකන් පොඩි නට් එකක්නේ. ඒත් අපි මේවා ගැන ඇතුලේ කතා කරනවා. කතා කරලා වෙනස්කම් ඇති කරලා තියන පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය. අනෙක් පක්ෂ ඕවා ගැන කතා කිරීමවත් කිසිසේත්ම කරන්නේ නෑ. ඔබතුමාලා අපිව ප්‍රශ්න කරන්නේ අපි යහපාලනය අනුගමනය කරන පක්ෂයක් වශයෙන්. එසේ අනුගමනය නොකරන පක්ෂවල අයගෙන් ඔබතුමාලා ඒ ගැන අහන්නෙත් නෑ. යහපාලනය ඇතිවුණාට පස්සේ තමයි මාධ්‍යයේ ලියන ශෛලිය පවා තියුණු විදිහට වෙනස් වෙන්නේ. ඊට කලින් බොහෙම සැර අඩුවෙන් තමයි මාධ්‍යයත් කටයුතු කළේ. ඒ වෙනසිනුත් පේනවා යම් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයකට රට ඇවිල්ලා තියනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට ඔබ නැවත නැවතත් ප්‍රකාශ කරමින් සිටිනවා. මේ වෙන කොට ඒ සඳහා වන 20 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙනවා. එය සම්මත කරගැනීම සඳහා ඔබ යම් මැදිහත්වීමක් කරනවාද?

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මගේ විතරක් නොවෙයි අපේ පක්ෂයේත් සම්පූර්ණ සහයෝගය තියනවා. ඒ ගැන කිසිම පරස්පරයක් නෑ. 20 වැනි සංශෝධනය ආවොත් අපි ඒකටත් සහයෝගය දෙනවා.

ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන්ට දඬුවම් කිරීම සඳහා ආණ්ඩුවට කිසිම වුවමනාවක් නැති බවක් පෙනී යනවා. ඇයි ඒ?

ඔබතුමාට පේන දේ මට පෙනෙන්නේ නෑ. ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය වැරදි දෙයක් කියන එක උසාවිය කිව්වානේ. දැන් ආණ්ඩුව යථා තත්ත්වයට පත්වුණා. දැන් ඕවා පස්සේ දුවනවාට වැඩිය අපිට වුවමනා ජනතාවට සේවය කරන එක. අපි ඒක කරගෙන යනවා.

එක්සත් ජාතික පක්ෂය මුල්වෙලා අලුත් සන්ධානයක් හදලා ඉදිරි මැතිවරණවලට එන බව කියවෙනවා. මොකක්ද මේකේ අරමුණ? 2020 ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය තහවුරු කරගැනීමද?

සන්ධානගත වීම කියන්නේ අද ලෝකයේ තියන ස්වරූපයක්. එදා එක්සත් ජාතික පෙරමුණ අද දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කරලා තියනවා. ඒකේ ප්‍රමුඛම සාධකය එක්සත් ජාතික පක්ෂය. අපේ තියන දෝෂ යටපත් කරලා ජනතා ඉල්ලීම අනුව හැමදෙනා සමඟම අත්වැල් බැඳගෙන යාමක් තමයි තියෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණය සම්න්ධයෙන් අපේ තියන සැලසුම ප්‍රසිද්ධියේ කිය කියා යන දෙයක් නොවෙයි. අපි ජයග්‍රාහී අපේක්ෂකයෙක් හඳුනාගෙන තියනවා. ඒ කවුද කියා දැන්ම හෙළිදරව් කරන්න ඕනේ නෑ ඡන්දය එනකොට දැනගන්න පුළුවන්.

ආණ්ඩුව ජනතාව රවටනවා වගේම මාධ්‍යවේදීන් රැවටීමත් දිගටම කරගෙන යන බව පේනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ නැවතත් නැවතී තිබෙන නමුත් අද දක්වාම ජනවාරි 8 වාර්ෂිකව සිදුවෙන ලසන්ත සැමරුමට බොරැල්ල කනත්තට එන යන මැති ඇමතිවරු පිරිස අතර සිටින ඔබ ඒ සම්බන්ධයෙන් විමසා බැලුවාද?

අපි ආණ්ඩුව ගත්ත නිසා තමයි ලසන්ත ඝාතන පරීක්ෂණ ඔච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. නැවතීමක් වෙලා නෑ. නැවතිලා තියනවා නම් අපි තල්ලු කරගෙන එළියට ගේනවා. අත්අඩංගුවට ගන්න තියන කට්ටිය නවත්තලා තියෙන්නේ අධිකරණයෙන්. අපිට පුළුවන්ද අධිකරණය අබිබවා යන්න.

අධිකරණයෙන් හිරවෙලා තියෙන්නේ ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු වන හිටපු පොලිස්පතිවරයකු අත්අඩංගුට ගැනීමනේ. අනෙක් පැත්තෙන් ඝාතනය සිදුකළ ටි්‍රපොලි කඳවුරේ ප්‍රහාරකයන් සහ ඔවුන්ට ඒ සඳහා අණදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් බාධාවක් නෑනේ. ඒක නොවෙන්නේ දේශපාලන බලපෑම් නිසා. ඒ ගැනයි මම අහන්නේ?

අපි දන්න විදිහට ඝාතනයට අණ දුන්නේ කවුද කියන ඒවා ඒ පොත්වල තියනවා. ඒවා එළියට දෙන එකට අධිකරණයෙන් තහංචියක් තියන නිසා තමයි එතනින් එහාට නොයා මේක හිරවෙලා තියෙන්නේ. ඒවා හෙළිදරව් වුණොත් අත්අඩංගුවට ගන්න පහසුයි. ඒ ඩයිරි එහෙම එළියට දුන්නා නම් පස්සේ දවසේ අත්අඩංගුවට ගන්න පුළුවන්. ඔබතුමා බොහොම විවෘතව කියනවා නම් ඒවා එළියට දාන එක අධිකරණයෙන් නවත්තලා නෑ කියලා එන සුමානේ පත්තරේ ඒක දාන්න. එතකොට මම ඒක අහන්නම්.