රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය නියාමනය කළ යුතුද?

විපුල කරුණාතිලක

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනක මාධ්‍ය ආයතන කිහිපයක් කළු මාධ්‍ය ලෙස හඳුන්වාදී තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතාද එවන් විවේචනයක් කර තිබුණි. මේ හා සමානව කළු හැඳගත් පිරිසක්ද එම මාධ්‍ය ආයතන ඉදිරියට ගොස් එම ආයතනවල ප්‍රකාශන ස්වරූපයට විරෝධතා දක්වා තිබුණි. රනිල්ගේ, බිමල්ගේ ප්‍රකාශ හා කළු හැඳගත් පිරිසගේ විරෝධය නැවත ප්‍රවෘත්ති බවට පාරිභෝගිකකරණය වී තිබුණි. චෝදනාවන්ට ලක්වූ මාධ්‍යවලට දවස් දෙක තුනකට යැපීමට තරම් මාධ්‍ය භාෂාවෙන් කියන ලෙස බඩු ලබාදී තිබුණි.

මේ විරෝධතා ගොනුකළ පාර්ශ්ව 03ම විශ්වාස කරන්නේ ඔවුන් ජනමාධ්‍ය යන්නක් පවතින බව විශ්වාස නොකළත් ජනමාධ්‍ය යන ආකෘතිය (Foam)  විශ්වාස කරන පිරිසක් සමාජයේ සිටින බවය. ජනමාධ්‍ය යන්නෙහි සාම්ප්‍රදායික ආකෘතිය වෙනස්වන්නේ 1990 දශකය තුළය. තවදුරටත් ජනමාධ්‍ය යනු සමාජය ප්‍රබුද්ධත්වයට පත් කරන්නක් නොව පුද්ගල විනෝදය සපයන බහුවිධ මාධ්‍යයක් බවට පත්ව ඇත. ගුවන් විදුලි සම්ප්‍රේෂණ තරංග පෞද්ගලික අංශයට ලබාදීමත් සමග එය ව්‍යාපාරික අරමුණ සමග බැඳී වෙළෙඳපොළ අවශ්‍යතාවට අනුව හැඩගැසීමට පටන් ගත්තේය. විවිධ ව්‍යාපාරික බැඳියාවන් සහිත ව්‍යාපාරිකයන් මේ සම්ප්‍රේෂණ තරංග ලබාගෙන තිබුණි. තවද 1990 දශකය යනු ලංකාවේ දේශපාලනය වෙනුවට වෙළෙඳපොළ ආදේශ වන අවධියයි. පුද්ගලවාදය හා පරිභෝජනය සමාජයේ එකම දහම බවට පත්වන අවධියයි.

1990 දශකයේ මේ සමාජයේ වන වෙනස සමග නිදහසින් පසු දශක 04 තුළම ජනමාධ්‍ය ආයතනවල ආධිපත්‍යය දැරූ බුද්ධිමය තීරුව වෙනුවට වෙනත් පිරිසක් ආදේශවීම ආරම්භ වෙයි. යටත්විජිත අධ්‍යාපනයේ ශික්ෂණය වෙනුවට වෙළෙඳපොළ රිද්මය ආත්මය කොටගත් පිරිසක් නව පෞද්ගලික මාධ්‍ය ආයතනවල මෙහෙයවන්නන් බවට පත්විය. මාධ්‍ය හිමිකරුවන් වූ ව්‍යාපාරිකයන් තෝරා ගත්තේ ට්‍රැෆික් ලයිට් ගණන් ගන්නේ නැති රියදුරන්ය. එහි හොඳම උදාහරණය වන්නේ එවකට සිරස ගුවන් විදුලියේ ප්‍රධාන තනතුර ලැබෙන්නේ එවකට ගුවන් විදුලියේ මාණ්ඩලික නොවන තනතුරක් දැරූ නිමල් ලක්ෂපති ආරච්චිටය. ඔහු ඉදිරියේ සරච්චන්ද්‍රලා, එම්.ජේ. පෙරේරලා අඟුටුමිට්ටන් බවට පත්විය. ලක්ෂපතිආරච්චි ගුවන් විදුලිය වෙළෙඳපොළ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන තත්ත්වයට පත් කළේය. එවකට ගුවන්විදුලියේ තිබුණ ප්‍රමිති පරීක්ෂණ සියල්ල පෞද්ගලික මාධ්‍යයෙන් ඉවත් කළේය. ප්‍රබුද්ධත්වය වෙනුවට වාචාලකම මාධ්‍යය බවට පත් කළේය. ප්‍රේක්ෂකයාට ඍජුවම මාධ්‍ය ආයතන හා සම්බන්ධවීමේ අවස්ථාව ලබා තිබුණි. ඒ නිසා මෙය ප්‍රේක්ෂකයාට නව අත්දැකීමක් විය. ප්‍රේක්ෂකයාට පුද්ගල අවශ්‍යතාව මත ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලබාදී තිබුණි.

වෙළෙඳපොළ මත පදනම් වූ පෞද්ගලික මාධ්‍ය ආයතන හිමිකාරිත්වය ඍජුවම දේශපාලනය හා සම්බන්ධවන්නේ මාධ්‍ය ආයතනවලින් බැහැරව මොවුන්ය වෙනත් ව්‍යාපාරික බැඳියාවන් රාශියක් ඇති නිසාය. බොහෝ ආයතන ව්‍යාපාර ලබාගෙන ඇත්තේද මේ මාධ්‍ය කේවල් කිරීම හරහාය. කිලී මහරාජා, දිලිත් ජයවීර, රෙනෝ සිල්වා, ටිරාන් අලස්, නිමල් වෙල්ගම හා රංජිත් විජේවර්ධන මේ අතර ප්‍රධානය. මහරාජා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක කිලී මහරාජා රනිල් වික්‍රමසිංහ සමග දැඩි මිත්‍රත්වයකින් පසුවිය. 1995 සිට 2005 දක්වා රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රධානම ප්‍රචාරක දැවැන්තයා වූයේ කිලී මහරාජා මහතාය. කිලී මහරාජා කොතරම් දැවැන්ත වූයේදයත් ඔහු එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරු පවා තම රුචිකත්වය මත පත්කරවන තත්ත්වයට පත්ව තිබුණි. එය අර්බුදයට ගියේ කිලී මහරාජා අනියමින් එක්සත් ජාතික පක්ෂය පාලනය කිරීමට පටන් ගත් නිසාය. පසුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත අර්බුදයක් ඇති කළේය. එම අර්බුදය අදටද විසඳා ගැනීමට නොහැකි වී ඇත. අනෙකුත් මාධ්‍ය ආයතන හිමිකරුවන් කටයුතු කරන්නේද කිලී මහරාජාට නොදෙවැනි ලෙසය. මේ අයටද ජනමාධ්‍ය සම්බන්ධ ප්‍රබුද්ධ අදහසක් නැත. මේ ලියුම්කරු දන්නා පරිදි පසුගිය රාජපක්ෂ යුගයේ අනියමින් ධනය හම්බ කළ මාධ්‍ය හිමිකරුවෝ රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමත් සමග සුපුරුදු ලෙසම තමන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට අවශ්‍ය අනුග්‍රහය ඉල්ලා සිටියෝය. ලබාදෙන අනුග්‍රහයේ යම් යම් කප්පාදුවීම් සිදුවීම හා ව්‍යාපාර ප්‍රසාරණයට බාධා ඇතිවීම ආණ්ඩුවට එරෙහිවීමට හේතුවිය. එහිදී ඔවුන්ට ආණ්ඩුව සමග කේවල් කිරීමට ආණ්ඩුවට එරෙහි බලවේගවලට යම් යම් ඉඩ ලබාදීම කරනු ලබයි. ආණ්ඩුව යම් මොහොතක සම්පූර්ණයෙන් මේ අයගේ ව්‍යාපාරික අවශ්‍යතාවට ඉඩ ලබා දුනහොත් වහාම ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට කටයුතු කරනු ඇත. මෙයට හොඳම උදාහරණය සපයන්නේ සිරස ආයතනයයි. එය සම්පූර්ණයෙන් කටයුතු කරන්නේ ජනාධිපතිගේ බලය ආරක්ෂා කර ඒ හරහා තම ව්‍යාපාරික බැඳියාව රැකගැනීමටයි. ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහතා සමග එකඟතාවකට ආ පසු මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ප්‍රවෘත්ති පළකරන්නේ නැත.

මෙහිදී සැලකිය යුතු අනෙක් කරුණ වන්නේ මේ ආයතනවල සේවය කරන මාධ්‍ය ශ්‍රමිකයන් සේවය කරන්නේ හාම්පුතාගේ අවශ්‍යතාවට මිස තමන්ගේ ස්වාධීන ජනමාධ්‍ය භාවිතයන් වෙනුවෙන් නොවේය. ඊයේ මාරාන්තික ලෙස රනිල් වික්‍රමසිංහට විරුද්ධ වූ කෙනෙකුට අද රනිල් වික්‍රමසිංහ ආසියාවේ ලොකුම බුද්ධිමතා ලෙස හඳුන්වාදීමට හැකිය. මේ ආයතනවල සිටින අයට වෘත්තීය සමිති සෑදීම තහනම්ය. ඇත්ත වශයෙන්ම ගතහොත් මේ ආයතනවල සිටින්නේ වහලුන් පිරිසකි.

රනිල් වික්‍රමසිංහ හෝ බිමල් රත්නායක මහතාට අවශ්‍ය නම් මේ ආයතන ලබාදෙන සේවාව ප්‍රබුද්ධ මට්ටමට ගෙන ආ හැකිය. දැනට වෙළෙඳපොළ ලාභය හා හිමිකරුගේ බැඳියාව මත පාලනය වන ආයතන නියාමනය කිරීමට මණ්ඩලයක් පත් කළ හැකිය. එහි සංයුතිය ලෙස ආණ්ඩු පක්ෂය විපක්ෂය හා උගතුන්ගෙන් යුත් මණ්ඩලයක් පත් කළ හැකිය. එම මණ්ඩලයට යටත්ව සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලට කටයුතු කළ හැකිය. ඊට අමතරව රජයේ මාධ්‍ය ආයතනවලට බීබීසී ආයතනය පවත්වන සම්ප්‍රදාය අනුගමනය කළ හැකිය. බි්‍රතාන්‍යයේ අනෙකුත් මාධ්‍ය කොපමණ තිබුණත් දැනටත් ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ බීබීසීයයි. ලංකාවේ රාජ්‍ය මාධ්‍ය යනු ආණ්ඩුවේ මාධ්‍ය ඇමතිගේ හෙංචයියන්ට තනතුරු දෙන ආයතනයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ 03 තමන්ට දේශපාලන බලය තිබූ අවස්ථාවල රාජ්‍ය මාධ්‍ය සඳහා තම ගෝල බාලයන් යොදා ඇත. ප්‍රධාන පක්ෂ දෙකට තම හිතවතුන්ට ගුවන්විදුලි සම්ප්‍රේෂණ තරංග ලබා දුන්නා සේ ම ජනතා විමුක්ති පෙරමුණ හිතවත් අයටද ඒ හැන්දෙන්ම බෙදා තිබුණි. ඒ අනුව බලන විට අද පෞද්ගලික මාධ්‍යයට කෑගසන අයගේත් භාවිතය කියන තරම් ශිෂ්ට නැත. රටේ නව මාධ්‍ය භාවිතයක් ඇති කළ යුතුව ඇත. ඒ සඳහා රාජ්‍ය මාධ්‍ය නායකත්වය දිය යුතුය.