අඟුණකොළපැලැස්සේ රැඳවියන්ට පහරදීමේ අභ්‍යන්තර කතාව

කසුන් පුස්සවෙල

“කෙසේ වෙතත් බන්ධනාගාරය සුද්ද කිරීමට ගත් පියවරත් සමඟ බන්ධනාගාර අධිකාරිවරුද මාරුකරන හරිනු ලැබූහ. එහෙත් හිරගෙදරට හොරබඩු ඒම නතර වූයේ නැත. දිගුකාලීන සාකච්ඡා, නිරීක්ෂණ ඈ සියල්ල අවසානයේ දැන් අලුත්ම ක්‍රියාමාර්ගය වී ඇත්තේ බන්ධනාගාර ආරක්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමය. මේ බළකාය යෙදවීමෙන් අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ බන්ධනාගාර වංචාවෙන්, දුෂණයෙන්, තොර තැනක් බවට පත් කිරීමය. “මේ වන විටත් අපි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාවත් කැමැතියි. දැන් වැලිකඩ, මැගසින් හා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවනවා. මේ අය යොදවන්නේ බන්ධනාගාරය ඇතුළට නොවෙයි. පිටතිනුයි. අපි ඇතුළෙ සෝදිසි කිරීම් කරනවා. සිරකරුවන් අතර ජංගම දුරකතන හා අනෙකුත් අනවසර දෑ තිබෙනවද කියලා පරීක්ෂා කරනවා. මේ නව ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ කරන්නේ බන්ධනාගාරයට ඇතුළු වන විට පිටතින් එන සිරකරුවන්, නිලධාරීන් සෝදිසි කිරීමයි. අප හිතනවා මේ ක්‍රමය සාර්ථක වේවි කියලා. ලබන සතිය වන විට මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනවා.”
එල්ලුම්ගහ ගේනවායැයි කියූ විට මානසික ආතතියට ලක්වූයේ මරණීය දණ්ඩනයට නියම වී සිටින රැඳවියෝය. එනමුදු දැන් බන්ධනාගාරවලට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව යොදවන බව දැනගන්නට ලැබුණු විට බන්ධනාගාරයේ තෝරු මෝරුන්, කුඩු මුදලාලිලා ආදි වූ බිස්නස්කාරයෝ සැලෙන්නට පටන් ගෙන ඇත. ඒ මෙතෙක් කාගේ කාගෙත් ඇස් වසා කරගෙන ගිය හොර ජාවාරම්වලට වැට බැඳෙන බැවිනි.” මෙය 2018 ඔක්තෝබර් 28 වැනිදා සිළුමිණ පුවත්පත අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල සිළුමිණට පැවසූ කරුණුද සහිතව බන්ධනාගාර ආරක්ෂාව වෙනුවෙන් යහපාලන රජය විසින් අර්ධ මිලිටරි ඒකකයක් වන පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීම සම්බන්ධයෙන් පළකර තිබූ විශාල විස්තරයෙන් කොටසකි. එම ලිපියෙහි සිරස වී තිබුණේ ‘කුඩුකාර ජාවාරම්කාරයන් සීතල කළ බන්ධනාගාරයේ එස්ටීඑෆ් ආගමනය’ යන්නය. එලෙස වර්ණනා මුඛයෙන් මාධ්‍ය සහ යහපාලනය ආවැඩි එස්ටීඑෆ් ආගමනයෙන් පසුව අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන් එම ආගමනයේ නිල ඇඳුම් බලය පෙන්වමින් රිමාන්ඞ් සැකකරුවන්ට බිම දණ ගස්වා පොලු මුගුරු වලින් පහර දෙන්නේ 2018 නොවැම්බර් 22 වැනිදා උදෑසනය. එහි සීසීටීවී දර්ශන එළියට එන්නේ 2019 ජනවාරි 16 වැනිදා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවෙන් පසුවය.

අතීත කතාව

යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවත් බලයට ආවේම රාජපක්ෂ දශකයේ සිදු කෙරුණු ඝාතන, පැහැරගෙන යෑම් සහ අපරාධ පිළිබඳව යුක්තිය ඉටු කරන බවට මැතිවරණ වේදිකා මත දස අතේ දිවුරමින් ය. එහිදී ලසන්ත, ප්‍රගීත් සහ තාජුඩීන් ඝාතනයන්ට අමතරව ප්‍රධානවම කියූ කාරණාවක් වූයේ 2012 නොවැම්බර් මාසයේ 9 වැනිදා සිදුවූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනය පිළිබඳවය. ඒ අනුව 2015 ජනවාරි 22 වැනිදා එවක විෂය භාර අමාත්‍යව සිටි විජයදාස රාජපක්ෂ හිටපු මහාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර එහි අවසන් වාර්තාව එම වසරේ ජුනි 9 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙන ලදි. ඉතිහාසයේ පටන් සුපුරුදු පරිදි යහපාලන ආණ්ඩුවද එය මේ වනතෙක් මහජනතාව වෙත මුදා නොහළ නමුත් එම කමිටුවේදී හෙළි වූ සාක්ෂි මත බොහෝ කරුණු අනාවරණය විය. 2012 අගෝස්තු මාසයේදී එවක ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, චන්ද්‍රා වාකිෂ්ට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලියු කොඩිප්පිලි ඇතුළු ඉහළ නිලධාරීන් විසින් ගෙන තිබූ තීරණයකට අනුව වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීමට නොවැම්බර් මාසයේ 9 වැනිදා එස්ටීඑෆ් සෙබලුන් 798 දෙනෙකු බන්ධනාගාරය වෙත නිසි අවසරයක් හෝ නොගෙන බන්ධනාගාර ආඥා පනතේ සඳහන් කිසිදු විධි විධානයක් හෝ නොතකා ඇතුළු වී තිබිණි. එසේ ඇතුළු වී සිරකරුවන්ට මාංචු දමා බිම දණ ගස්වමින්, පහර දෙමින් සෝදිසියක් කර තිබිණු අතර සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන් ඊට විරෝධය පළ කිරීමත් සමඟ වැසුණු බන්ධනාගාර කුටි තුළට කඳුළු ගෑස් එල්ල කර තිබුණේ මෙරටත් ලෝකය තුළත් ඇති සියලුම මානව අයිතිවාසිකම් කඩවන අයුරිනි. ඉන් පසුව කුපිත වූ සිරකරුවන් සිය වේදනාව පිට කරද්දි තවදුරටත් පහර දී තිබූ එවක ආරක්ෂක අංශ සිද්ධිය සමත වූ පසුව තෝරාගත් සිරකරුවන් පිරිසක් එදින රාත්‍රියේ සිට ඝාතනය කර තිබුණේ නම් ලැයිස්තු ගතකරමින්ය. එම නඩු විභාගය බී/6540/02/12 යටතේ තවමත් කල් මරමින් අලුත්කඬේ උසාවියේ ඇසෙමින් තිබෙන අතර CHR /4304/16 යටතේ මානව හිමිකම් කොමිසමේද තවත් පැමිණිල්ලක් විභාගවෙමින් තිබේ. සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන එක් අයකු මේ වනවිට ඇප මත සිටින අතර එක් අයකු තවමත් රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටී. රාජපක්ෂ පාලනය තුළ කිසිදු විටෙකත් නොකෙරුණු එම අපරාධ පරීක්ෂණය යහපාලනය පත්ව වසර 3ක් ගතවන තෙක් කිසිදු ප්‍රගතියක් නොපෙන් වූ අතර පසුගිය වසරේ පෙබරවාරියේ ආරම්භ කෙරුණු නඩු විභාගයට මේ වනවිට වසරකට ආසන්න වෙමින් ඇතත් ඊට අණ දුන්නෙක් පිළිබඳව තවමත් කිසිදු වගවීමක් වාර්තා කිරීමට හෝ ඝාතනය වූවන්ට යුක්තිය ඉටු කිරීමේ පොරොන්දුව කල් මරමින් සිටී. බලය ලබා ගැනීම වෙනුවෙන් රාජපක්ෂ පාලනයේ අපරාධ සහ ඊට හේතු වූ මිලිටරිමය යාන්ත්‍රණයේ භයානකත්වය පුන පුනා පෙන් වූ යහපාලනයද වැලිකඩ බන්ධනාගාර ඝාතනයෙන් වසර 6කට පසුව එම අඩි පාරේම යමින් මෙරට සියලුම බන්ධනාගාර වෙත ආරක්ෂාව ලබාදීම සඳහා ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී එස්ටීඑෆ් හෙවත් පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යෙදවීමට පියවර ගන්නා ලදි. 2012දී වැලිකඩ බන්ධනාගාර සෝදිසිය සඳහා එවක නිල අපරාධ පොලිස් ප්‍රකාශකයා වූ කුප්‍රකට අනුර සේනනායක මාධ්‍ය හරහා ප්‍රකාශ කළ ආකාරයේම ප්‍රකාශයන් මාධ්‍ය වෙත ලබා දෙමින් යහපාලන රජයේ විෂය බාර අමාත්‍යවරිය වූ තලතා අතුකෝරල ප්‍රකාශ කර තිබුණේ බන්ධනාගාර තුළ විවිධ විෂමාචාරයන් සිදුවීම වැළැක්වීම සඳහා මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දෙන බවය.

අඟුණකොළපැලැස්ස සිදුවීම

ඒ අනුව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා එස්ටීඑෆ් ආරක්ෂාව යෙදවීමට ඔක්තෝබර් මාසයේ මැද දී පළමුව පියවර ගෙන තිබිණි. එම තීරණයත් සමඟම එස්ටීඑෆ් නිලධාරීන් විසින් රිමාන්ඞ් සැකකරුවන්ද, සිරකරුවන්ද නිරන්තරයෙන් නිරුවත් කර සෝදිසි කිරීම් හා පහරදීම් සිදු කර ඇති බවට මාධ්‍ය මගින් ප්‍රකාශ විය. එමෙන්ම එම මානුෂික නොවූ ක්‍රියාවලිය තුළදී රිමාන්ඞ් රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන්වද අමානුෂික ලෙස පරීක්ෂා කිරීමට ලක්කර තිබූ අතර අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ වෙනත් බන්ධනාගාරයන්හි නොමැති ආකාරයේ නීතියක් පනවමින් ඥාතීන්ට බත් පාර්සලයක් හැරෙන්නට වෙනත් යමක් ගෙන ඒමට නොහැකි බවටද ප්‍රකාශ කර ක්‍රියාත්මක කර තිබිණි. එමෙන්ම රැඳවියන්ට අවශ්‍ය අනෙකුත් සනීපාරක්ෂක ද්‍රව්‍ය, සබන්, දත් බෙහෙත් බුරුසු ආදියද සිල්ලර මිලට වඩා වැඩි මුදලට බන්ධනාගාරය තුළ ඇති වෙළෙඳසැලෙන් මිලදී ගැනීම කළ යුතු බවට නියෝගයක්ද තිබූ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවත්, එම බන්ධනාගාරයේ සිටින රැඳවියනුත් හෙළිදරව් කර තිබිණි. එහි වඩා බරපතළ සිදුවීමක් ලෙස වාර්තා වී තිබුණේ රැඳවියකු බැලීමට පැමිණි ඥාතී කාන්තාවකද නිරුවත් කර පරීක්ෂා කිරීමට යෑමේ සිදුවීමක් පිළිබඳවය. මෙවැනි වටපිටාවක පසුගිය වසරේ ඔක්තෝබර් 21 වැනිදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි කුලුනක් මතට නැග විරෝධතාවක නියැලුණහ. බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීමට හා බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර ඇතුළු භාණ්ඩ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කිරීමට එරෙහිව විරෝධය දක්වමින් මෙලෙස රැඳවියෝ විරෝධතාවයේ නිරත වූහ.

රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ ඇති සිවුමහල් නැරඹුම් කුලුන මත නැඟ විරෝධතාවයේ නිරත වෙමින් “එස්ටීඑෆ් අපිට එපා”, “බන්ධනාගාර පාලනයට එස්ටීඑෆ් එපා“, “තිස්ස උසාවියෙන් ගෙනා කළුවර කොට ටිකට එස්ටීඑෆ් මොකද කරේ” වැනි පාඨ සඳහන් පුවරු කිහිපයක්ද කුලුන මත ප්‍රදර්ශනය කර තිබිණි. මෙම සිදුවීමත් සමගම බන්ධනාගාරය තුළ ආරක්ෂාව තර කිරීමට බව කියමින් ආයුධ සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සියයකට අධික සංඛ්‍යාවක් යොදවනු ලැබිණි. එම විරෝධතාව අතරතුර බන්ධනාගාර රැඳවියන්ගේ සුවදුක් විමසීමට පැමිණෙන ඥාතීන් අනවශ්‍ය ලෙස විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කිරීම පිළිබඳවත්, පිටතින් බත් පාර්සලයක් පමණක් රැගෙන යෑමට අවසර ලබාදී තිබීම හේතුවෙන් බන්ධනාගාරය තුළ අධික මිල ගණන් යටතේ අලෙවි කෙරෙන භාණ්ඩ මිලදී ගෙන රැඳවියන්ට ලබා දීමට සිදුවීම ඉතා අසාධාරණ බව රැඳවියන්ගේ ඥාතීහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළ අතර රැඳවියන්ගේ සුවදුක් විමසීමට පැමිණෙන කාන්තාවන්ට හිරිහැර සිදු නොවන පරිදි පරීක්ෂාවට ලක් නොකරන ලෙස එම ඥාතීහු එහිදී ඉල්ලා සිටියහ.

ඔක්තෝබර් 26න් පසුව

මෙම විරෝධතාව දින දෙකකට ආසන්න කාලයක් තුළ එකඟතාවට පැමිණ විසඳුණු නමුත් ඉන් සියල්ල අවසන් වූ වටපිටාවක් නිර්මාණය නොවී තිබේ. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සහ රැඳවියන් ප්‍රකාශ කරන ආකාරයට අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා වෙත සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කර තිබූ රැඳවියන්ට බන්ධනාගාර අධිකාරිවරයා ප්‍රකාශ කර තිබී ඇත්තේ සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීමට විරෝධය පළ කරන්නේ නම් බන්ධනාගාර වෙළෙඳ සැල ඉවත් කිරීම සඳහා කටයුතු කිරීමටත්, එම දේපළ විනාශ වන අයුරින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ව්‍යංගයෙන් රැඳවියන්ට දන්වා ඇති බවත්ය. එහෙත් ඊට එකඟ නොවූ රැඳවියන් බන්ධනාගාර අධිකාරිවරයාට සිය විරෝධය පළ කර ඇත්තේ තමන්ට රාජ්‍ය දේපළ හානි කළ නොහැකි බවත් තමන්ගේ ඥාතීන් අපහසුතාවට පත් නොකරන ලෙසත්ය. මෙම සිදුවීම් සියල්ල අවසානයේ මෙම ගැටුම සමථයකට පත්ව තිබේ. ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදු කිරීමෙන් පසුව දින 51ක් පැවති ආණ්ඩුව තුළ නැවතත් මෙම නිලධාරීන් හා රැඳවියන් අතර ගැටුම උත්සන්න වී ඇත්තේ බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව කටයුතු කළ රැඳවියන්ගෙන් පළිගැනීමේ ක්‍රියාවන්ට යොමුවීමත් සමගය. ඒ අනුව රිමාන්ඞ් රැඳවියන් තෝරාගෙන ඔවුන් දණ ගස්වමින්ද, බඩ ගාවමින්ද සිර මැදිරි තුළින් පිටතට ගෙන බන්ධනාගාර අධිකාරීවරයා සහ බන්ධනාගාර නිලධාරීන් පොලු මුගුරු වලින් පහරදීම සිදු කරන්නේ ඉකුත් නොවැම්බර් 22 වැනිදාය. යහපාලනය තුළ නීතියේ ආධිපත්‍යය ඇති කිරීමට ආ ආණ්ඩුවද බන්ධනාගාර නීති කඩ කරමින් රාජපක්ෂ පන්නයේම අනීතික ක්‍රියාවලියක් බන්ධනාගාර අරබයා ඇති කළ අතර ඉන්පසුව කුමන්ත්‍රණයක් හරහා බලයට පත් වූ අස්ථාවර හා නීතිවිරෝධී ආණ්ඩුවක් තුළ මෙම පහරදීම සිදුවිය. එම අනීතික ක්‍රියාවලියට විරුද්ධ වූ බන්ධනාගාර නිලධාරීන් එම සිදුවීමේ සීසීටීවී දර්ශන බන්ධනාගාරයෙන් පිටතට ලබා දීමට කටයුතු කරන්නේ එම නීති විරෝධී ආණ්ඩුවේ කාලය අවසන් වූ පසුවය. එම සිදුවීමට මාස දෙකකට ආසන්න වන්නේද නමුත් එය මාධ්‍යයට අලුත් පුවතක් වන්නේද ඉකුත් 16 වැනිදා එය මාධ්‍ය වෙත මුදා හැරීමෙන් අනතුරුවය. එහි පූර්ණ ගෞරවය නීතිය රකින හා සත්‍ය හෙළි කිරීම වෙනුවෙන් කැපවුණු බන්ධනාගාර නිලධාරීන්ටත්, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවත් යා යුතුය. එහෙත් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූයේ එම දර්ශන ලබා දුන් නිලධාරීන්ටද මේ වනවිට මරණ තර්ජන එල්ල වී ඇති බවය. මෙම මාධ්‍ය හමුවෙන් අනතුරුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය වන තලතා අතුකෝරල විසින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනියගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් මෙම සිදුවීම සොයා බැලීම සඳහා පත්කර තිබේ. එම පරීක්ෂණයේ වාර්තාව ලබන 22 වැනිදා ලබාදීමට කටයුතු කරන ලෙසද නියෝග කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ. යුක්තිය පමා කිරීමේ කමිටු පිළිබඳ ගඳ ගහන ඉතිහාසයකට උරුම මෙරටේ යහපාලනයද පත් කළ නවමු කමිටු කප්පරක් දෙසද බලා සිටිමු. සිරකරුවෝ මනුෂ්‍යයෝය සේ ම මෙලෙස අයුක්තිය ඉවසන්නෝද මනුෂ්‍යයෝය. ඔවුන්ගේ ඉවසීමේ සීමාවන් හා විනිර්මුක්තියේ සීමාවන් දැන් තවදුරටත් නොඉවසීමේ සීමාව පසුකර ගොස් බොහෝ කල්ය.