ගෝඨාභය නඩුව; ඉඩම් ගොඩ කිරීමේ 18කට විදේශ ගතවීම තහනම්

ආර්. අබේනායක

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව, පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නිලධාරීන් 18 දෙනකුට, අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කර තිබේ.

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් තුන් කෝටි තිස්නව ලක්ෂයක රජයේ මුදල් අවභාවිත කරන ලදැයි එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනාට එරෙහි නඩුව 2019 ජනවාරි 22 සිට දිනපතා විභාග කිරීමටද විශේෂ මහාධිකරණය බ්‍රහස්පතින්දා (17) තීරණය කළේය.

පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එදින අධිකරණයෙන් ඉල්ලා සිටියේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නිලධාරීන් 18 දෙනාගෙන් කිහිපදෙනකු විදේශ ගතවීමට සූදානම් වන බවට වාර්තා වන බවත්, එක් අයකු හෝ එසේ විදේශ ගතවුවහොත් නඩුවට අගතියක් විය හැකි බවත්ය. ■