පළාත් සභා ඡන්දයට මෛත්‍රී- රනිල් හැපෙති

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ /ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

පැරණි සමානුපතික ක්‍රමයටම පළාත් සභා ඡන්ද පැවැත්වීම සඳහා ජනපති සූදානම් වීමත් සමඟ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ආණ්ඩුව අතර යළි ගැටුමක් උද්ගතව ඇතැයි රාවයට වාර්තා වේ.

විශේෂයෙන් එජාපය පළමුව ජනාධිපතිවරණයක් අපේක්ෂා කරන අතර පැරණි සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්ද පවත්වන්නේ නම් 25%ක කාන්තා නියෝජනයක් ඇතුළත් සංශෝධනයක් එක් කළ යුතු යැයි ප්‍රකාශ කරන බව දැනගන්නට තිබේ. එහෙත් නව මිශ්‍ර ක්‍රමයට පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු බවට දැඩි ස්ථාවරයක සිටි ශ්‍රීලනිපය එය වෙනස් කර ගැනීමට සූදානම් තත්ත්වයක් තුළ තවත් සංශෝධන එක්කර ඡන්ද කල් දැමීම නොකළ යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ විමසීමේදී අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ, ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂවලින් එවන ලද ලිපි හා අදාළ පනත් මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බවය.

මේ අතර සාධාරණ මැතිවරණයක් සඳහා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නමින් ඒකකයක්, පොදු ජන පෙරමුණ විසින් විවෘත කර තිබෙන අතර එම පෙරමුණ නියෝජනය කරන එස්. එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පළාත් සභා ඡන්ද අයිතිය වෙනුවෙන් ජනවාරි අගදී ආණ්ඩුවට එරෙහිව නඩු පවරන බවය.

පළාත් සභා නවයේම ඡන්ද එකවර පැවැත්වීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගතහොත් තවම නිල කාලය අවසන් නැති බස්නාහිර, දකුණ හා ඌව පළාත් සභා විසුරුවා හැර හෝ ඊට සහය දැක්වීමට මහ ඇමතිවරු සූදානම් බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය පැවසීය.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ පළාත් සභා ඡන්ද පැවැත්වීම සැබෑ වුවමනාවක් ඇත්නම් එහි පියවරයන් සඳහා වහාම කාල රාමු නියම කළ යුතු බවය.
කාන්තා නියෝජනය නාම යෝජනා වලදී 25%ක් ලෙස යෙදීම පහසු වුවද පත්වන නියෝජිතයන්ගෙන් 25%ක් කාන්තාවන් විය යුතුය යන සංශෝධනය එක් කරන්නේ නම් එය තරමක් කල් ගතවන ක්‍රියාවලියක් වනු ඇතැයි ද ඔහු කීය.

එහෙත් ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග පැවසුවේ නව සංශෝධන නොමැතිව පැරණි සමානුපාතික ක්‍රමයට ඡන්ද පැවැත්වීම සඳහා, නව මිශ්‍ර ක්‍රමයේ පනත අහෝසි කෙරෙන යෝජනාවක් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවය. ■