විප්‍රවාසය මගේ සාහිත්‍ය ගර්භයයි ප්‍රවීණ ලේඛක මංජුල වෙඩිවර්ධන

සංවාදය – අකලංක සපරමාදු

මංජුල වෙඩිවර්ධනගේ පැරිස් වළාකුළු නවකතාව විදර්ශන ප්‍රකාශනයක් ලෙස නිකුත් වී තිබේ. මෙම සාකච්ඡාව පැරිස් වළාකුළු සහ නවකතා ලිවීම නම් ක්‍රියාවලිය විෂය කරගනී.

විප්‍රවාසීව සිටිමින් නිර්මාණකරණයේ යෙදීම මොන වගේ අත්දැකීමක්ද?

මෙහෙමයි, මං මුලසිටම විප්‍රවාසය ලිවීමේ සන්දර්භයට ඈඳාගත්තු ලියන්නෙක්. ඒකට හේතුව මගේ වාම ජීවන භාවිතයම වෙන්න පුළුවන්. නිදසුනක් ලෙස රටේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන ජාතික ප්‍රශ්නය අරභයා මා දරන මතවාදී ආස්ථානය ඇතැම් වාම නායකයන් පවා ‘අතිවාමී මතවාදයක් ලෙස හඳුන්වන අවස්ථා තියෙනවා. දේශපාලනමය වශයෙන් විතරක් නෙමෙයි, ආදරය, ලිංගිකත්වය, ආගම, කොටින්ම සමස්ත ජීවිතය පිළිබඳවම මා දරන ආකල්පවල තියෙන්නෙ සුළුතර නියෝජනයක්. ඒ අර්ථයෙන් ගත්තම මම, මා නියෝජනය කරන සමාජය ඇතුළෙ භෞතිකව සිටියදී පවා විප්‍රවාසියෙක්, අවතැන්වූවෙක්, පිටුවහලෙක්. පත්තරකාරයෙක් විදිහට බත්තලංගුණ්ඩුවට ගියාම ඒ ජීවිතය ඇතුළෙ මේ විප්‍රවාසය වර නඟන්න පුළුවන් අවකාශයක් මං අත්වින්දා. ඒ හේතුව නිසාම තමයි ‘බත්තලංගුණ්ඩුව’ ලියවෙන්නෙ. ඔබ සියුම්ව විමසා බැලුවොත් ඔබට පෙනෙයි, ‘බත්තලංගුණ්ඩුව’ මෙන්ම ඉන් පසු මා ලියූ නවකතා තුනෙත් කේන්ද්‍රීය චරිත අභ්‍යන්තරිකව හෝ බාහිරව විප්‍රවාසී වූවන්. ‘පැරිස් වලාකුළු’වල ඉන්න සාරත්‍ර විප්‍රවාසීව ඉන්නෙ පැරීසියෙ. ‘ඒ අහඹු අතීත හැන්දෑවේ’ ඉන්න මේඝ විප්‍රවාසී වෙන්නෙ සල්ලංගිරියට.

මට කියන්න ඕනි මේකයි. අපි භෞතිකව රට ඇතුළෙ ඉන්න කොට පවා පිටුවහල්ලු. නමුත් මේ බාහිර විප්‍රවාසය තුළ අද්දැකීම් විෂයයෙහි අතිශය පළල් පරාසයක් කරා විහිදෙනවා. දේශපාලනික මෙන්ම ආර්ථික හේතු සහ අරමුණු පදනම් කරගනිමින් මෙහෙට සංක්‍රමණය වුණු ප්‍රජාවක් එක්කයි මම දෛනිකව ගැටෙන්නෙ. නිදසුනක් ලෙස මං අවසාන වශයෙන් වැඩ කරමින් හිටපු ආයතනයේ මගේ මිත්‍රයන් සහ සහෘද වෘත්තිකයන් අතර ස්පාඤ්ඤ, පෘතුගීසි, ඉතාලි, ස්වීඩන්, ආජන්ටිනා, බ්‍රසීල්, කොලොම්බියා, චිලී, මෙක්සිකෝ, ඉතියෝපියා, සෙනගාල්, ගිනියා, ඇල්ජීරියා, තුර්කි, ආමේනියා, චීන, තායිලන්ත, කිර්ගීසියා, චෙක්, ග්‍රීසිය ආදී විවිධ භූමි කලාපවලින් පැමිණි සිටි අය තමයි සිටියේ. එක විට එක දවසක් ඇතුළත පවා ජීවිතය හරිම වෙනස්. මේ චලනයන් ඇතුළෙ ගතවෙන ජීවිතය හරිම වෙනස්. ලියන දේ පවා වෙනස් මානයන් වෙත නිරුත්සාහයෙන්ම ඇදී යන එක තමයි සිද්ධ වෙන්නෙ. මේ මොහොතෙ විප්‍රවාසයේ අත්දැකීම කියන්නෙ, පුද්ගලිකව විඳින දේට අමතරව එසේ පුද්ගලිකව විඳවන්නන්ගෙ සංස්කෘතික කලාපයක්. ලියන්න අතේ තියෙන දේවල්වලින් ලියන්න තෝරගන්නෙ මොකද්ද කියන කාරණාව තරම් දුරදිග යන කතාවක්. ඇතැම් ලියවිලි සියල්ල ඕවර්ටේක් කරලා පළවුණත් අතේ තියෙන ලියවිලි ඉවර නොකර ඊළඟ එකට යන්න කොහොමද කියන අභියෝගය මම පුද්ගලිකවම අද්දකිනවා.

ඔබ ලංකාව තුළ සිටියදී රචනා කළ කෘතීන්ට සාපේක්ෂව ලංකාවෙන් බැහැරව සිටිමින් කළ නිර්මාණවල ආකෘතිකමය වශයෙනුත් දෘෂ්ටිමය වශයෙනුත් විශාල වෙනස්කමක් දක්නට ලැබෙනවා.

කෘතියක ආකෘතිය විතරක් නෙමෙයි සමස්ත ව්‍යුහයම පළල් කෙරෙන, අදාළ සාහිත්‍යයික ප්‍රවර්ගය ඉහළ ඔසවා තැබෙන විශාල නිර්මාණාත්මක ශ්‍රමයක්, මම අවශ්‍යයෙන්ම ඒ ඒ කෘතිය වෙනුවෙන් වැය කරනවා. ලියන්න මේ තරම් මහන්සි වෙන්නෙ ඇයි කියලා මටම හිතෙන තරම්, මම මා තුළම හෙම්බත්වෙන තරම් මම වැඩකට ශ්‍රමය දානවා. ඒ මගේ විදිහ. බරපතළ ලිවීම කියන්නෙ පරම වේදනාවක් කියලා මං නිතර කියන්නෙ ඒකයි. නමුත් ඒ විදිහ වෙනස් කරගන්න නම් කිසිම අදහසක් නැහැ. මේ ශ්‍රමය හින්දමද කොහෙද මගේ නවකතා ඉල්ලා සිටින්නෙ තරමක පුහුණු කියවන්නෙක්. මගේ ලිවීමේ ‘රහ’ මුළුමනින්ම අත්පත් කරගන්න පුළුවන් වෙන්නෙ එහෙම කියවන්නන්ට තමයි. මගේ රචනාවල ව්‍යුහ රචනය හෝ තේමාත්මක මානයන් මා තුළට එන්නෙ මා අත්විඳින සමස්ත ජීවිතය ඇතුළෙ. ඔබ කියන මේ ආකෘතිකමය සහ දෘෂ්ටිමය සැකැස්මේ පදනම, මං හිතන්නෙ, ඒ ගත කරන ජීවිතයට සමාන්තරයි. නිරන්තර කියවන්නෙක් වන මම අත්දකින වැදගත්ම සංසිද්ධියක් තමයි, ඒ ඒ කෘති ගැන අදාළ සමාජ සන්දර්භෙන්ම ආව සහෘදයො එක්ක කතා කරන්න ලැබීම. ඒක ඒ ඒ කෘති ගැන අපි ලංකාවෙ ඉඳන් කතා කරනවා වගේ නෙමෙයි. මම කුන්දේරා ගැන කතා කරනවා චෙක් මිත්‍රයෙක් එක්ක. ආයිත්මාතෆ් ගැන කතා කරනවා කිර්ගීස් කෙනෙක් එක්ක. කසන්සාකිස් ගැන ග්‍රීකයෙක් එක්කත්, මොරවියා ගැන ඉතාලි මිත්‍රයෙක් එක්කත් කතා කරන එක වෙනස් අත්දැකීමක්. අපි මාකේස් ගැන හෝ අයියන්ඬේ ගැන හෝ පොත්වලින් කියවා හිතන විදිහට වඩා මොන තරම් වෙනස්ද කොලොම්බියානු තරුණයෙක් සහ චිලී තරුණයෙක් ඔවුන් ගැන හිතන විදිහ. ඔවුන්ට මේ ලියන්නො දැනෙන විදිහ. නිදසුනක් විදිහට කුන්දේරා ගත්තොත් ඔහු ගැන චෙක් ජනරජයෙන් ආව කෙනෙක් එක්ක කතා කරන එක වෙනස් අත්දැකීමක්. කුන්දේරා ගැන වන අපේ සිතීමේ සිතිජය පළල් වෙන්නෙ එහෙම.

සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ නූතන තත්වයන් ගැන ඔබේ තක්සේරුව කොහොමද?

මේ ප්‍රශ්නෙ කොටස් දෙකකට වෙන් කර ගන්න වෙනවා. ඔබ මේ අහන්නෙ සමකාලීන සාහිත්‍ය ගැන වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් සාහිත්‍ය නූතනවාදය වෙන්නත් පුළුවන්. මම ලංකාවෙ ඉන්නකොට සිංහලෙන් පළවන ඔරිජිනල්ස් කියවපු ප්‍රමාණයටම මට දැන් කියවන්න ලැබෙන්නෙ නැහැ. පොතක් තෝර ගන්නත් ඒක ගෙන්න ගන්නත් දරන්න වෙන මහන්සිය ඒ පොත කියවපු හැටියෙ වේදනාවක් බවට පත්වෙන අවස්ථා වැඩියි. ඒ සියලු තත්වයන් යටතේ වුණත් යටපත් හැඟීමක් ඉතිරිවෙන කියවීම තියෙනවා. මෑත කාලීනව ‘මට කියවන්න ලැබුණු’ කෘතීන්වලින් ‘තාරා මගේ දෙව්දුව’, ‘මිථ්‍යාදෘෂ්ටිකයා’, ‘අහම්බකාරක’, ‘අසන්ධිමිත්තා’, ‘පරදේසි’, ‘ලලනායනය’, ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’, ‘ලොවීනා’, ‘වුල්ෆන්ඩාල් ස්ටී්‍රට්’, ‘බැමිණිතිකාලය’ මෙන්ම මං අවසාන වශයෙන් සිංහලෙන් කියවපු ‘බුදුන්ගේ රස්තියාදුව’ වෙනස් වෙනස් කියවීමේ මානයන් සහ කියවීමේ අත්දැකීම් මට අත්පත් කරදුන්නු සිංහලෙන් කෙරුණු නිර්මාණ. ඒ ඒ කෘතිවල සාධනීය නිෂේධනීය බව ගැන කතා කිරීම වෙනම සංවාදයක්, නමුත් මේ කියවීම ඇතුළෙ ඔබ විමසන මේ ‘නූතන තත්වයන්’ ගැන තක්සේරුවට අදාළ පොදු උත්තරයක් තියෙනවා කියලා මම හිතනවා.

විශේෂයෙන් සිංහලෙන් ලියවෙන කෙටිකතාව ගැන, එකී කෙටිකතාවේ සිතිජය පළල් කරන්න ශ්‍රම දායකත්වය වපුරන කෙනෙක් විදිහට මට විශේෂ උනන්දුවක් තියෙනවා. කෙටිකතාව පිළිබඳ යහපත් තක්සේරුවක් තියාගන්න පුළුවන්. වික්‍රමසිංහ සහ ජීබීගෙන් පසුව තිලකසේන, මදුරසිංහ ගුණතිලක, ටෙනිසන්, සයිමන්, කම්මැල්ලවීර, සෝමරත්න බාලසූරිය, එරික්, කේකේ, කීර්ති, අමරකීර්ති, නිශ්ශංක, පියල්, ප්‍රභාත්, හෙට්ටිගේ විතරක් නෙමෙයි, තිලිණා වීරසිංහ, තරංගා රණසිංහ, කාංචනා අමිලානි දක්වා වූ නිර්මාණකාරිනියන්ද, මේ නිශ්චිත සාහිත්‍ය මොහොත දක්වා එම ප්‍රවර්ගය පෝෂණය කරන්න අඩුවැඩි වශයෙන් දායක වෙලා තියෙනවා.

දෘෂ්ටිමය වශයෙන් නූතන සිංහල නවකතාව තාම ඉදිරිගාමී තැනක සිටිනවා යැයි ඔබ විශ්වාස කරනවාද?

නෑ. එහෙම නොහිතන්න හේතු ගනණාවක් තියෙනවා. ඒ සියල්ල පිළිබඳව සංනිදර්ශනාත්මකව කතා කිරීම මෙබඳු සාකච්ඡාවකදි දුෂ්කර වැඩක්. නමුත් සරලව සහ සංක්ෂිප්තව එහි කේන්ද්‍රීය තත්වය ගැන කතා කළොත්, මේ සියලු සාහිත්‍ය ප්‍රවණතාවන්හි සහ ප්‍රවර්ගයන්ගේ දෘෂ්ටිමය සිතිජය සලකුණු කෙරෙන ‘අවිඥානය’ අධිනිශ්චය කෙරිලා තියෙන්නෙ, අධිපති යාන්ත්‍රණය අතිශය ඉසියුම් ලෙස හා දේශපාලනික ලෙස සංස්ථාපිත කරලා තියෙන හික්මවීම් ඇතුළෙ. ඒක තමයි සමස්තයක් විදිහට ගත්තම මගේ කියවීම. ඉදිරිගාමී මිනිසුන් බිහි නොකරන මෙම අධිපතිවාදී දෘෂ්ටිවාදය තුළ පැන නඟින සංස්කෘතික දේශපාලනය විසින් හික්මවනු ලබන්නේ දෘෂ්ටිමය වශයෙන් ව්‍යාකූල වුණු සංස්කෘතික මිනිසුන්. ඒ හින්දම අඩු වැඩි වශයෙන් මේ සියලු දෙනාගෙම සංස්කෘතික දේශපාලන භාවිතය ඔවුන්ගෙම නිර්මාණ එක්ක ගැටෙන්න පටන් ගන්නවා. ඒ අනුව නිර්මාණකරුවන් පොදුවෙ අතිශය නිර්ලෝභී සංස්කෘතික දානපතියන් ලෙස පේන්න ගන්නවා.

ටොරොන්ටෝවල යෝක් සරසවියෙ උගන්නවා ඉලන් කපූර් කියලා මහාචාර්යවරයෙක්, ඔහු දෙදහස් දොළහෙ පළ කළා මිනිස්සුන්ගෙ ‘දයානුග්‍රහය’ එහෙම නැත්තං ‘පුන්‍යවන්තභාවය’ පිළිබඳ දෘෂ්ටිවාදය කදිමට විග්‍රහ කෙරෙන පොතක්. ‘කීර්තිමතුන්ගේ මානවහිතවාදය’ (Celebrity Humanitarianism).

මං මේ කියන්න උත්සාහ කරන දේ ඒ කෘතිය ඇතුළෙ මනාව විශ්ලේෂණය කරලා තියෙනවා. මං කියන මේ ‘දෘෂ්ටිමය හික්මීම’ නවකතාකරුවන්ගේ අතිශය දැනුවත් ප්‍රවේශයක්. ඉදිරිගාමී නවකතාවක් බිහිනොවන සමාජ යාන්ත්‍රණය එහෙම නැත්නම් සන්දර්භය මෙන්න මේකයි. මේක අතිශය දුරදිග ගෙනගිය හැකි සංවාද කලාපයක්.

ඔබේ නිර්මාණ තුළ අපට හඳුනගන්න ලැබෙන විශේෂ දෙයක් තමයි සිංහල භාෂාවට නව වචන ගොඩනැංවීම. නිර්මාණකරුවකු භාෂාව ප්‍රතිකථනය කිරීම ගැන ඔබගේ කියවීම?

මං ප්‍රංශයේ ඉන්න නිසා මං අත්දකිනවා සමාජයක් විදිහට භාෂාවට දක්වන ලැදියාව. ප්‍රංශ භාෂාව ගැන අධ්‍යයනය කරගෙන යනකොට තේරෙන දෙයක් තමයි සිංහල කියන්නෙ අතිශයින් රමණීය භාෂාවක් කියන එක. ඒ ගැන මට කප්පරක් උදාහරණ දෙන්න පුළුවන්. චිරන්තන සිංහල සාහිත්‍ය හා ඒ ආශ්‍රිත භාෂා අධ්‍යයනය කියන්නෙ මා තුළ පවතින නොසංසිඳෙන ආධ්‍යාත්මික කලාපයක්. එතැන් සිට බත්තලංගුණ්ඩුවේ දෙමළ කේන්ද්‍රීය සිංහල බසද, තුලාවෙල්ලියේ වන්නි සිංහල බස මෙන්ම, අතිශයින් නාගරික සංකර බස දක්වා වූ බොහෝ උප භාෂා කලාපයන් මගේ අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළයි. එවන් නිරන්තර හැදෑරීමක ඉන්න මට කිසියම් නිශ්චිත කෘතියක් කියන්නෙ අඛණ්ඩ දිග්ගැහැණු රිසර්ච් එකක්. තේමාත්මක මානය පහදා ගැනීමට, ව්‍යුහ සංරචනයට මෙන්ම භාෂා අවලෝකනය වෙනුවෙනුත් මගේ ලිවීම විශාල ශ්‍රමයක් ඉල්ලා සිටිනවා. ඒ හින්දා කෘතිය ඉල්ලා සිටින භාෂාව අත්පත් කරගන්න මම විශාල පරිශ්‍රමයක් දරනවා. මං මගේ ආඛ්‍යානය ගොඩනංවන්නෙ ඒ ඒ සන්දර්භය මත පදනම්ව. ඊට සිංහලකරණය වූ ඉංග්‍රීසි මෙන්ම ප්‍රංශ වචන මිශ්‍ර කරන පුරාතන සිංහල බසේ ධ්වනිය නඟන වැකියක් ලියන්න මං පසුබට වෙන්නෙ නැත්තෙ ඒකයි.

කෙසේ නමුත් අපි විග්‍රහ කර ගත යුතු ප්‍රධානම කාරණාවක් තමයි සාහිත්‍ය කියන්නෙ භාෂාව නෙමෙයි කියන එක. භාෂාවේ අරමුණු සහ සාහිත්‍යයේ අරමුණු වෙනස්. පරිකල්පනය කියන්නෙ සාක්ෂරතාව නෙමෙයි.

ඔබේ අලුත්ම නවකතාව වන ‘පැරිස් වලාකුළු’ තුළ වන බොහෝ චරිත විසින් අප දන්නා හඳුනන බොහෝ චරිත සිහිගන්වනවා. එය පාඨකයාට අපූරු කියවීමේ අද්දැකීමක්.

සමාජ ජාලා විසින් අධිනිශ්චය කෙරුණු නව මාධ්‍ය ලෝකය ඇතුළෙ ඉතිහාසය විදිහට ගොඩ නැංවෙන්නෙ කුප්‍රකට හෝ සුප්‍රකට කීර්තිමතුන්ගෙ හිතලු. ඉතිහාසය පිළිබඳ ඉතිහාසය පුරා සිද්ධ වෙච්ච දේ නව මාධ්‍ය ඇතුළෙත් එහෙම්ම සිද්ධ වෙනවා. ඒවා ඇතුළෙ වෘත්තීමය වශයෙන් සංසරණය වෙන චරිත වහරන දේවල් තමයි ‘ඉතිහාසය’ විදිහට අර්ථකථනය වෙන්නෙ. නමුත් ඇත්ත ඉතිහාස සංසිද්ධීන් ඇතුළෙ ඇත්ත දේශපාලන අර්ථයකින් සංසරණය වුණු චරිත නිශ්ශබ්දව ඉඳීම සහ ඔවුන් මෙම සමාජ ජාල අතර රස්තියාදු නොගැසීම නිසාම සියලු සංසිද්ධීන්ට යටපත් වෙන්න දෙන්න පුළුවන්ද?

නිදසුනක් විදිහට තමිලිනී කියන දේශපාලන නායිකාව අරගමු. ඇය සිංහල සමාජය වීරවරියක් විදිහට බාර ගන්නෙ ඇය විසින් ලිව්වා යැයි කියන චරිතාපදානය සමාජගත වුණාට පස්සෙ. ඇය අත්අඩංගුවට පත් වූ, වසර ගණනාවක් සති පතා උසාවි ගෙන ආ, පුනුරුත්ථාපනය කර සාරි ඇන්දූ, අවසානයේ පිළිකාවට ගොදුරුව හතළිස් විය ඉස්මත්තේදීම නික්ම ගිය පසු පවා සතුටට පත්වෙච්ච සමාජයක්, ඇගේ කෘතිය කියවීමෙන් පසු සංතෘප්තියට පත්වෙන්නේ ඇයි? ඒ කෘතිය ආමන්ත්‍රණය කරන්නේ දකුණේ පොදු සිංහල බෞද්ධ මනසටයි. අධිපති දෘෂ්ටිවාදය ඇතුළෙම හික්මෙමින්, රැඩිකල් චරිත රඟපාන්න කැමති අයට පවා දෙමළ අරගලය දෙස විවේචනාත්මකව බලන්න පුළුවන් දොර ජනෙල් ඒ චරිතාපදාන කෘතිය ඇතුළෙ තියෙනවා. මං අහන්නෙ මේකයි, දොර ජනෙල් අස්සෙන් බලනවට වඩා හොඳ නැද්ද ගේ ඇතුළටම ගිහිල්ලා බලන එක.

සම්මාන උත්වස නිසා දැන් ලංකාවෙ බහුල ලෙස නවකතා, කෙටිකතා සහ කාව්‍ය කෘති වගේම යොවුන් නවකතාත් පළවෙනවා. මේ තත්වය ගැන ඔබේ අදහස?

සැහැල්ලු සාහිත්‍ය උඩ දාන, ඒවට උඩගෙඩි දෙන සාහිත්‍ය-කලා-සංස්කෘතික යාන්ත්‍රණය සේවය කරන්නෙ මේ ධනේශ්වර යාන්ත්‍රණයටමයි. දැන් කවිය ඉල්ලා සිටින්නෙත් මේ ඉරණමේ ගොදුරක් වීමයි. නවකතාව ඉල්ලා සිටින්නෙත් මේ ටෙලියට සහ ගීතයට අත්පත්වෙලා තියෙන ඉරණමට ගොදුරු වීමක්. බරපතළ ලිවීම වෙනුවට සරල සැහැල්ලු ලිවීම සිද්ධ කෙරෙන පසුබිමක කියවීමත් ඊට සමාන්තර කරන්න තමයි මේ ධනේශ්වර ක්‍රමයේ උවමනාව.

නිදසුනක් විදිහට සුදර්ශන සමරවීරගෙ ‘සුනෙත්කාන්තගේ ශෝකාන්තය’ වගේ කෘතියක් ඉල්ලා සිටින කියවන්නා තාම ලංකාවෙ නැහැ. අනිල් හේරත්ගෙ ‘සැනෙලි වියුම්’ හෝ සරද සමරසිංහගෙ ‘කැත ගැහැනියකගේ සිහිනය’ බඳු ‘ඉතා කෙටිකතා’වලින් පෙන්නුම් කරන මයික්‍රෝ ෆීලිං එක අල්ල ගන්න පුළුවන් තරම් සමාජය සියුම් නැහැ.

කවිය ගත්තොත් අතිශයින් සියුම් ම විදිහට රිද්දුම්සහගත විදිහට ලියන කෙනා තමයි කාංචනා අමිලානි. ඇගේ ‘බූමරංගය මගේ ඇස් දෙක’ තමයි මෑත කාලීනව මං කියවපු බරපතළම කෘතිය. නමුත් ඇයව කිවිඳියක විදිහට ඇද දැමෙන්නෙ පාරභෞතික අවකාශයකට. ඒ ඇද දැමීම තමයි මේ සාහිත්‍යයේ පවතින පාර භෞතික මොහොත. සාහිත්‍ය කියන දේ සාහිත්‍ය විචාරකයාට හෝ සාහිත්‍ය විනිශ්චයකරුවාට වඩා විශාලයි. ඒක ඒ ඒ අදාළ අය දන්නවා. නමුත් සමාජයක් විදිහට අපි ඒක නොදන්න එක තමයි සිංහල සාහිත්‍යය මේ මොහොතේ භුක්ති විඳින ඛේදවාචකය.