වෙනස්ව සිතන්නට මහසුපින (Think Different)

පරාක්‍රම කොඩිතුවක්කු

කොසොල් සුපින සමග නෙළුම් පොකුණෙහි ජීවත් වූ දෙපැයක විශ්වීය නාට්‍ය කාලය තුළම මා සිතෙහි නැගුණු අදහස වූයේ මාක්ස් විසින් ඉදිරිපත් කරන ලද ‘කලාව කාලයෙහි බඳුනක්ය’ යන සංකල්පනය කෙතරම් සැබෑවක්ද කියාය. මේ රටේ වැසියා අද පාර්ලිමේන්තුව දිහා බලාගෙන දකින්නේද එදා කොසොල් රජු දුටු දුස්ස්වප්නයන්මය. කොසොල් රජුගේ සිහින ප්‍රොයිඞ්ගේ සිහින විග්‍රහයට හසුවන්නක් නොවේ. සිහින දර්ශන යනු යටි සිතේ ආශා සන්තර්පනයක්ය යනු ප්‍රොයිඞ්ගේ විග්‍රහය විය. සිහිනය ආත්මීය ප්‍රකාශනයක් ලෙස ගැඹුරු අරුතකට ගෙන ගියේ කාල් යුං විසින්ය. කොසොල් සිහින, රජුගේ අන්තර් ඥානය විසින් ප්‍රක්ෂේපණය කරනු ලැබුවා වූ සමාජ, දේශපාලන සමීකරණයකි. මේ සමීකරණයේ අවිඥානික සූත්‍රය මහා සමාජ විපරීතයක සංකේතාත්මක පිළිබිඹුවකි.
දැවැන්ත නාග රාජයෙක් මහ වේගයෙන් දිවයන්නේ පසුපසින් තමා හඹා එන මැඩි රැළකට බියෙන්ය. ගංගා ජලයක ගල් ගඩොල් මතුපිට පාවෙද්දී ලබු කබල් යට ගිලෙයි. එළු රැළ මැදට එන දිවියාව කා දමන්නේ එළුවන්ය. හරකෙක් උපන් කිරි වස්සාගෙන් කිරි උරා බොන්නට දඟලයි…. මේ සියල්ල කියා පාන්නේ යථාර්ථ විකෘතියයි. මෙම සමාජ විකෘතිය, නිදහස ලත් තැන් සිට අද මේ වනතුරුත් ජනතා පරමාධිපත්‍යයේ නාමයෙන් පාර්ලිමේන්තුව අල්ලා ගත් ධන බලලෝභී මුග්ධයන් බහුතර පිරිසකගේ ග්‍රහණයට හසුවීමේ සමාජ දේශපාලන සංස්කෘතික විපරීතයයි.
“….කොසොල් රජුට පෙනුණ හීන උඹට වෙච්ච දේ මිනිහෝ” වේදිකාවේ කියැවෙයි.

කොසොල් සිහින හරහා මේ සමාජ මරණය රංග වේදිකාවට ගෙන එන ආරියරත්න ඇතුගල ඔහුගේ මුල් එපික් තියටර ප්‍රකාශනය වූ ‘මහ සමයම’ මෙන්ම දැවැන්ත රංග පරිමාණයක් තුළ දැවැන්ත පරිකල්පනයක් ගොඩ නගන්නේය. එහිදී ඔහු කරන හටන තාක්ෂණයෙන් කලාවට පනින පිම්මක් ලෙස පෙනී යයි. “… මිනිස් අත්දැකීම් නියෝජනය පිණිස මිනිසා ඇසුරු කරන තාක්ෂණය බැහැර කරමින් යාහැකි ගමනක් නවීන කලා දිශානතියෙහි නැත.” (ආරියරත්න ඇතුගල) මහසුපින එපික් රංගයේදී නාට්‍යකරු එම අත්දැකුම ගොඩනගා ගෙන ඇත්තේ ස්වාභාවික නාට්‍ය රීතියත් – තාක්ෂණ රීතියත් දෙමුහුන්කර ගනිමින්ය.
50ක් තරම් වූ අතිවිශාල රංගධර පිරිසක්ද, කිසිදු සිංහල නාටකයක නැති තරම් සත්ත්ව-මානව වෙස් මුහුණු සංඛ්‍යාවක්ද ඩිජිටල් පසුබිම් තිරයක්ද, ඔපෙරාමය සංගීත් – නර්තනාංගද යොදා ගෙන ඇත්තේ නිර්මාණිකත්වයත් – තාක්ෂණිකත්වයත් සංයෝගයෙන් නාට්‍යාත්මය පණ ගන්වා ගනිමින්ය. ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් නව සියවසේ අගයන් නිමැවීමට සමත් වූයේ නිර්මාණයත් තාක්ෂණයත් අතර කේන්ද්‍රයක් පසක් කර ගත් නිසා බව විචාරකයන් පෙන්වා දී ඇත. ගවේශී පරිකල්පන භාවිතය නම් මෙයයි. (Inventivness- applied imagination)

නිර්මාණය හා තාක්ෂණය යන පරිමණ්ඩල දෙක අතරේ අන්තර් කලාපයක් ඇති සැටි මා දුටුවායැයි ස්ටීව් ජොබ්ස් කියයි. මේ අන්තර් කලාපය (Intersection) තුළ පොදු සමාජයට නිරාකූලවත් අවංකවත් මෙන්ම උස් හඬින් කතා කරන නිර්මාණ මහිමයක් උපදවා ගතහැකි සැටි ඔහු පෙන්වා දී ඇත. Sky walkers, starwars වැනි චිත්‍රපට එවැනි චලනයන් ලෙස ඔහු දක්වයි.

මහසමයම රංගාවේෂයෙන් ඇතුගල වේදිකාගත කළේ මහසෝන් බලයත් ගෝඩිම්බර බලයත් අතර සිදුවන විශ්වීය අරගලයයි. එය බුද්ධ බලවේගයත් – දෙව්දත් බලවේගයත් අතර ගැටුම හා ඒ තුළම එහි පැවැත්මය. මේ ද්වන්දාත්මක ගැටුම සත්‍යයෙහි ප්‍රතිපක්ෂ ගැටුම යථාර්ථ සත්තාවය. මේ පැරඩොක්සය මහ සුපින රංගයෙහිද ඇතුළාන්තයයි.

පරයා රජා බවට පත්වෙයි. රජා පරයා බවට පත්වෙයි. අපේ එකෙක් රජවෙලා… ජනයා සිතයි. පරයා අනෙකාගේ නියෝජිතයා වුවද (පර යනු අන්‍ය අර්ථයය) ඔහු රජවූ පසු අනෙකා ඔහුට පෙනෙන්නේ වේසියක්-වේසිගේ පුතෙක් ලෙසටයි. “… මං වර්තමානයයි. නාකි ඈයො දැන් අපට හරිම කරදරයක්. පළමුව ආහාර. දෙවනුව සදාචාරය.” පරයා කියයි. මෙය අපගේ ජනතා නියෝජිතයන්ගේ දේශපාලන භූමිකාවමය. පරයා මහාසනයට පත්වූ විට ඔහු පිස්සකු නරුමයකු බවට පත්වන සැටි මේ ලංකා දූපතේ අපගේ අත්දැකීමමයි. ගැමි මිනිසුන් වැඩ කරන සේනකින් ආ හේනයකුට මහාසනයේ පදවිප්‍රාප්තිය ලබා දෙන්නේ හේන්වල දුප්පත් මිනිසුන්මය. අද ඔහු කොයිබටද? මෙය නම් මහා සිනාවකි. මහා හැඬුමකි. පුළුල් වේදිකා භූමියක වැතිර ඒමේ අත පෙරළෙන ස්ත්‍රී පුරුෂයන් රොත්තක් හඬති. මහ හඬින් සිනාසෙති. ප්‍රේක්ෂාගාරය වඩාත් කම්පනයට පත්වන්නේ ඔවුන්ගේ හැඬුම ගැන නොවේ. සිනාව ගැනය. ඒ මන්ද එම මහ සිනාව ඔවුන් ගැනම වන නිසාය. ඔවුන් ඒ සිනාසෙන්නේ තම තමාටම නිසාය. මහ සුපිනයේදී වේදිකාවේ හැමෝම තනි තනි පුද්ගලයන් නොව හැමෝම හැමෝටම කතා කරති. වෙනස් සිතීම් ගොඩනැගෙන්නේ විශාල දේවලින් නොවේ. සමාජ සම්බන්ධතාවල පුංචි දේවලින්ය.
“මම අත්දැකීම ඉදිරිපත් කරනවා. පහර ගැසීම මගේ ක්‍රමය නෙවෙයි.” (ඇතුගල-මාධ්‍ය සාකච්ඡා) ඔහු නාටකයේ හිමි නමගේ ජවනිකාව ඉදිරිපත් කරන්නේ යථාර්ථ ප්‍රචාරණයක් ලෙස නොව විදාරණයක් ලෙසටය.

“……. පින්වත්නි, එහෙමනම් අපි සුමදුර දේශනය ආරම්භ කරමු. අර දෙපාර දෙපාර පින්වත්නි පින්වත්නි කියලා. එතකොට තමා දේශනය ලස්සනට උපාසක අම්මලාගේ කන් වැකෙන්නේ. හා හයියෙන් සාධුකාර දෙමු බලන්ඩ… තව හයියෙන්.” අද මේ රටේ අප සවන වැකෙන්නේ මේ ටී.වී. බණ කලාවය. අද බුද්ධ බලවේගය යටකරගෙන නැගී සිටින්නේ දේවදත්ත බලවේගයයි. සමාජ අගතියට බලවත්ම හේතුව වී ඇත්තේ අලජ්ජි පාප අවතාර වැනි භික්ෂු පිරිස බව එදා 1920දී ධර්මපාලතුමා නිර්භයව හෙළි කළා. අද ගමේ පන්සල, දහම් පාසල, බෞද්ධ භික්ෂු විශ්වවිද්‍යාලය, බණ කලාව, ධනකාම බලයට හසුවී ඇති සැටි මෙහි හිමිගේ බණ කතාවෙන් රංගගත වෙද්දී ප්‍රේක්ෂකාගාරයෙන් නැගුණේ මහා හාස්‍යෝපහාසයකි. ඒ ප්‍රතිචාරය මානසිකව වේදිකාවට කඩා වැදීමක් මෙන් විය.

“….. පුරාණ කාලෙත් රහමෙර තිබ්බ. සත්තුත් බිව්වා. විශාල රතේ නඩත්තු කරන්න කොහොමද? පයින් වඩින්නත් බැහැ නොවැ. ආරාමේ බූදලේ තමයි බූදලේ…. සාදු… සාදු… පින් පින්.”

ජීවිතය නැතිවී යනවිට මිනිස්සු ජීවිතය සොයති. ජීවිතය දුගඳ ගසන විට මිනිස්සු ගරු ඇති ජීවිත ඉල්ලා සිටිති. නාට්‍යාරම්භයෙහි ඇසෙන්නේ නියං අඳෝනාවය. වැසිපතනයෙන් පසු නිල්දිය නැටුමකි. ඒ නිල්පැහැ නැටුම් ජවනිකාව දිවිය මොනතරම් සුන්දරදෝ රැව් නගන්නකි. වනපෙතින් මතුවන වන සත්තු නිල්දිය පොකුණට කට තියා හොට තියා දිය උරති. දියවී වනපෙත මැදින් හෙමින් නොපෙනී යන ගෝන රුව මගේ හද සලිත කළා. උස් අං සඟලත් නිස්සද්ද ලොකු ඇසුත් සහිත ගෝන රුව ඉතාම අරුම වෙස් භාවිතය ඇතුගලගේ විස්මයාවහ පරිකල්පන ශක්තියට සාක්කි දෙන්නකි. මහ සමයම නාටකයේද වේදිකා භූමිය දිගේ බඩගා එන යක් සේනාවේ වෙස්මූණු රැල්ල එපික් රංග තලයට එක් කළේ 35,000ක තරම් වෝල්ටීයතාවක විදුලියකි.

මහසුපින නිපදවීමේදී නාට්‍යකරු සිද්ධ කර ඇත්තේ ජාතක කතාවේ සිහින පෙළ එලෙසම දිගහැරීම නොවේ. ඒවා ප්‍රතිනිර්මාණයද නොවේ. උසස් නිර්මාණකරුවාගේ ප්‍රයත්නය සාම්ප්‍රදායික ඥානය වර්තමානය හා ප්‍රතිශ්‍රැති කිරීමයි. බර ඇදුමේ සමත් වෘෂභ රාජයකු සිටියදී ජන පිරිසක් ගැලෙහි බඳින්නේ ළදරු වසු පැටවෙකි. මේ හාස්‍ය තුළින් පරිකල්පිතව ඇත්තේ මිනිසුන් දදුන් බොළඳුන් නායකත්වයෙහි පිහිටුවන සැටියකි. මහ නායකයන් වැජඹෙමින් සුළු ජනයාගේ කරපිට සියලු බර පටවන සැටියකි. කහට කෝප්පයටත් කෙසෙල් ගෙඩියටත් බදු ගෙවමින් බර අදින ජනයාගේ ජීවිතය ශ්‍රම වේදනාවක් වන සැටියකි. “වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ” පැරණි ස්වර අලුත් හඬකින් ඇසී යයි. නව නිර්මාණකරුට අවශ්‍ය ඥානය කොයිවගේ එකක්ද? පාරම්පරික ඥානය නිර්මාණාත්මක ඥානය හා දෙමුහුන් කිරීමට “සම්බන්ධීකාරක ඥානයක්” අවශ්‍යය. මහ සුපින ජීවය ලබන්නේ ඒ සමීකරණ තුළය.

විශ්වයේ සත්‍යයේ මහ අරුතක් – සෞන්දර්යයත් එහි ඇති අභිරහසයැයිද එය තම ගණිතයෙන් දැකිය නොහැකි යැයිද අයින්ස්ටයින් කියයි. එබැවින් නිර්මාණකාරයාගේ දෙපා අද්භූත රීතියට එසැවෙයි. යථාර්ථයේ මුළු මුහුණ වඩා හොඳින් පෙනෙන්නේ අධි යථාර්ථයෙහිදී නිසාය. මහ සුපින මුල් භාගය විකාශනය වන්නේ නාට්‍ය ධර්මයෙනි. එහෙත් අවසන් භාගයේදී නාට්‍යකරු සමාජ කේන්ද්‍රය මැද්දට එන්නේ ලෝක ධර්මතාවෙනි. මුල් භාගයේදී වේදිකාවේ හඬ ශබ්ද ඇත. ප්‍රේක්ෂකාගාරය නිහඬය. දෙවැනි භාගයේදී වේදිකාව කෑගසයි. ප්‍රේක්ෂකාගාරය කෑගසයි. පොළොවේ සාරය වෑස්සෙන කලා කෘතියට දුහුවිල්ල බොරද පතිත වෙයි. එය ජය ගැන්මට විශාල පෙරණයක් වුවමනා වෙයි. මහ සුපිනයෙහි අවසන් ජවනිකා අතර උසාවිය, ලණු ඇඹරීම, කාක ගීය – බදු ගීය කැසිනෝ මැසිම පරිකල්පනය සිඳී ගිය සමාජ පින්තූර බවට පත්වූ සැටියකි. සජීවීකරණය නොවූ දිග්ගැස්සුණු සිද්ධි නිරූපණ කිහිපයක් විය. ඩිජිටල් පසුබිම් තිරයෙන් එපික් රංගයට විශිෂ්ට බලපෑමක් සිදුවූයේ අවස්ථා ස්වල්පයකදී පමණි. අවසන් අවස්ථාවලදී වේදිකාවෙන් ප්‍රබල සමාජ හඬ ශබ්ද දෝංකාර දෙනු ඇසී ගියේය.

– අද කොහිද කම්කරු බලයක්
– කොහිද ඇත්තේ කතිකාවක්
– මළ රජුන්ගේ ධාතුවන්දනා
කම්කරුන්ගේ කඳුළු ඩහදිය
සසල බොර දිය කඳ
පවසයි ප්‍රභූ සැප කඳ
නිසල නිල් දිය කඳ
පවසයි දනන් දුක් කඳ
-අදමිටු රජුන් කල
අදමිටු දනන් කල
යහපත අයහපත වේ
අයහපත යහපත වේ

නාටකයෙහි එන ගැටිස්සියන්ගේ නැටුම් ජවනිකාව නාට්‍ය ධර්මීය හා ලෝකධර්මීය ශිල්පීයත්වයන් සමහම් වීමෙන් ඉහළ පරිකල්පන මහිමයත් උද්දීප්ත වුණේය. නැටුමක ප්‍රීති සිත විනාශ කරමින් කාමාවේෂයකට පත්වන සැටියෙන් ධනේශ්වරය තුළ සමාජයත් උරුම කොට ගත් සංස්කෘතික ලකුණ (Culture Code)  බිඳ වැටෙන සැටි දෘශ්‍යමාන කෙරුණේය. එය සුලභ රස නිශ්පත්තිය නොවේ.
විශිෂ්ට නිර්මාණකරුවා රසයන් සොයමින් අනුකරණයට නොයයි. ඔහු රසභාවයන් අලුතින් නිපදවයි.

(Great art strectches the taste, it dosent follow tastes- Steeve Jobos)

ධනේශ්වරයෙහි හා කලාවේ හැසිරීම හා බලපෑම ගැන ආරියරත්න ඇතුගල මේ නාට්‍ය පිටපතේදී කරන ඇතැම් ප්‍රකාශ සත්‍ය නොවේ. ධනේශ්වර බලයට කලාව ඇතුළු සියල්ල යටත්ය වැනි මනෝගතයක් මේ රටේ ආයතනික විප්ලවවාදී බුද්ධිමතුන් තුළද පවතින බව කිව යුතුය.

“….. කලා ශිෂ්ටාචාරය දේශපාලනීකරණය වී ඇත. නූතන කලාව 19 සියවසේ බිහිවූ අදහස් හා ආයතනවල එක්තරා පද්ධතියකි. මෙම කලා ශිල්ප සමාජයීය ආර්ථික, දේශපාලන තත්ත්වය සහ ඒවාට අනුබල දෙන ආයතන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බැවින් පෘථිවිය වටා ව්‍යාප්ත වී ඇත්තේ නවීන බටහිර ක්‍රමයකි. ධනේශ්වර සමාජයේ ප්‍රකාශනය අර්ථ නිරූපණය අහෝසි කිරීම අසීරුය. කලා භාණ්ඩයන් ලෙස ඉදිරිපත් කරන බොහෝ පාඨවලින් ධනේශ්වර බලය තහවුරු වේ. විකල්ප කලාවන් දක්නට හැකි වුවද බොහෝ විට එම විකල්ප කලාව ගතානුගතික සමාජ දේශපාලන බලවේගවල ආරක්ෂාවට පැවැත්මට සේවය කරයි. බටහිර නූතනවාදී දෘෂ්ටිකෝණයෙන් අවශ්‍ය කලාව ප්‍රතික්ෂේප කිරීම හෝ දේශපාලනයට යටත් කිරීම හෝ එමගින් සිදුවී ඇත.”
(ඇතුගල – මගේ දැක්ම ලිපිය)

විකල්ප කලාවන්ද දුර්වල වී ධනේශ්වරයට දණ ගසතැයිද, අද ලොව බලවත්ව ඇත්තේ බටහිර ධනේශ්වර ඥාන පද්ධතියැයිද, පැවසීම දුර්වල ප්‍රකාශයන් මිස යථාර්ථය නොවන්නේය. 20 වැනි සියවසේදී බටහිර ලොව සිද්ධ වූයේ මානව ඉතිහාසය තුළ පෙර නොවූ මහා බුද්ධි විප්ලවයකි. එය 19යේ කලාව චින්තනය විද්‍යාව නොවේ. එය බටහිර දෘෂ්ටිවාද පුපුරුවා දැමීමකි. ධනේශ්වර ප්‍රභූ චින්තන පද්ධතිවල යල්පැනගිය ලේ ගල් වූ දැනුම් පෙට්ටිවලට පිටතින් නව විද්‍යා කලා දේශපාලන හා සංස්කෘතික විකල්ප ඥාන ධාරා තවදුරටත් ධනේශ්වර චින්තනයට කල්දී නොමැත. සෞන්දර්ය අවසානයේදී ලෝකය ගලවා ගන්නේයැයි ඩොස්ටවුස්කි ප්‍රකාශ කළේ මේ දාර්ශනික පරිණාමය පසක් කොටගෙනය. සොල්සිනෙත්සිං පෙන්වා දුන්නේ ඉතිහාසය තුළ කවරදාකවත් කලාව ධනේශ්වරයට පරාජය වී නොමැති බවය. සුගතපාල ද සිල්වා, පරාක්‍රම නිරිඇල්ල, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන කුඩා වේදිකාවේ, පදික වේදිකාවේ සමාජ නාටකවල ශක්තිවේගය බහු ජනතාවගේ ජීවන තලයට මුදාහැරියේ වීර සිතකින්. නිර්මාණ ශක්තියෙන් ආඪ්‍ය නව නිර්මාණකරුවකු වූ ආරියරත්න ඇතුගල ධනේශ්වරය ලොව වෙලා ගත් නොබිඳෙන නිර්මිතයක් නොව එය ඉතා ප්‍රබල මෙන්ම ඉතා දුර්වල යථාර්ථයක් බව තේරුම් නොගැනීම අභාග්‍යයකි. එහෙත් ඔහුගේ මහ සුපින ඔහුගේ සමාජ පරිකල්පනයෙහි ජයග්‍රහණයකි.

“… දූෂිත සමාජයක නිර්මාණකරුවාට දූෂණයවීමෙන් නිදහස්ව සිටිය නොහැකිය. හොඳ බීජ එවැනි පස තුළ වර්ධනය නොවේ.” ඇතුගල මෙසේ සිතුවත් එවැනි වීරසිංහ ඇති මිනිසුන් එවැනි ඵල දරන බීජයන් ලක්ෂ සංඛ්‍යාතයක් මෙම පොළොවේ වැඩෙමින් ඇති බව නවීන පරිණාමවාදී දර්ශනයන්ගෙන් සංදේශගත කොට ඇත. එය වටහාගත හැක්කේ පරිණාමික අනාගතවාදියකුට පමණි. මානව පරිණාමය සිද්ධ වූයේ ඩාවින්ගේ ආත්මාර්ථ ජානයෙන් නොව මනසේ පරාර්ථ ජානය නිසායැයි හෙළිවී ඇත්තේය. අධිපති ධනේශ්වර චින්තනය අහෝසි නොවනමුත් පරාජිතව ඇති බව 21 සියවසේ කතාවය.
“…….. මම නාටකයක් නිපදවන්නේ මහා රංගශාලා ප්‍රකාශනයක් විදිහටයි. නාට්‍ය අරගෙන රට වටේ යන නාට්‍යකාරයකු වීමට බැහැ. ඇත්ත කියනවා නම් මහසුපිනට අනාගතයක් නැහැ. ඛේදවාචකය එයයි.” ඇතුගලගේ මේ ප්‍රකාශය අවංකකථනයකි. නෙළුම් පොකුණ හැර ඔපෙරාමය අත්දැකීමකට සාමාන්‍ය ජනතාවට හිමිකමක් නැත. රටේ නූතන ඉතිහාසයම විනාශ කරමින් සැත්තෑ අවුරුද්දක් මේ රට අල්ලාගෙන සිටින නිවට දූෂිත බහුතරයක් පාලකයන් සොරාගත් ධනස්කන්ධවලින් තව ඔපෙරා රඟහල් 15ක්, විශ්වවිද්‍යාල 15ක්, අධිවේග මාර්ග 15ක්, තාක්ෂණ පුරවර 15ක් ඉදි කරන්නට තිබුණා නොවේද? මහ සුපිනද දර්ශන පහකින් හයකින් නෙළුම් පොකුණෙහිම හුදෙකලා වනු ඇත. පුහුණු කටයුතු සඳහා ශාලාව වෙන්කර ගන්නට ඔහුට වත්කම තිබී ඇත්තේ දවස් දෙකකට පමණි. මේ යථාර්ථය මැද අපේ පාලකයන් අපූරුවට තුරුම්පු ගසමින් සූදු ගේම කෙළින සැටි අද අප දකින කොසොල් සිහිනයයි.

විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් ව්‍යාපෘතියක් ලෙස නිපදවා ඇති කොසොල් සුපින නාටකයේ සැඟවුණු විශිෂ්ටත්වය නම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 දෙනකු පරිණත රංගධරයන්ගේ තලයට පත්කර ගන්නට සමත්වීමය. ඔවුන් අනාගතයේදී නොයෙක් වේදිකා භූමිවලට පා තබනු ඇත. එය මහා කුසල කර්මයකි.

මහ සුපින නාට්‍යකාර ආරියරත්න ඇතුගලගේ මේ ඇවිස්සිල්ල අප දෑස අබියස ඇති මල බැඳුණු කැඩපත් තලයේ අද දවසේ සම්පූර්ණ පින්තූරයක් මවාපෑමයි. අද ජගත් මහා නිර්මාණවල වෙළෙඳ පාඨය මෙයයි. වෙනස්ව සිතන්න. .ඔයසබනට “Thinkg Diffenent” මහ සුපින බලා ගෙදර ගිය මිනිසුන් කවුරු කවුරුන් හෝ වෙනස්ව සිතනු ඇත.