මම හතරවැනි සිංහයා ජයනාත් බණ්ඩාර

ටිරන් කුමාර බංගගමආරච්චි

මෙරට වේදිකාව තුළ ‘සිංහබාහු’ සහ ‘මනමේ’ යනු පුරාවෘත්තයන් දෙකකි. ඒ නිසාම නළුවකුට සිංහයාවීමට හෝ වැදි රජ්ජුරුවෝ වීමට ලැබීමත් අමුතුම භාග්‍යයකි. මේ දෙකම රඟපෑමට හැකිවීම ගැන එසේ නම් කවර කතාද? ‘සිංහයා’ චරිතයට පණ පෙවූ මාර්ක් ඇන්ටනි, සමන් බොකලවෙල සහ ජය ශ්‍රී චන්ද්‍රජිත්ට පසු සිංහයාට පණ පෙවූයේ ජයනාත් බණ්ඩාරය. ආදී සිංහලයන්ට සාපේක්ෂව ජයනාත්ගේ සිංහ ලීලාව කතා කළයුත්තේ මේ චරිත කිහිපයම අධ්‍යයනය කළ වුන්ය. එහෙත් ආදී චරිතවලින්ම උමතු වූ ඔවුහු අලුත් සිංහයෝ දෙස ඇහැක් ඇර නොබැලූහ. ජයනාත් තුළ සිටි සිංහයා අපට නම් හොඳට දැනුණි. ඔහු අපේ කාලේ අපේ සිංහයාය. ඉහත තුන් කට්ටුවම සිංහයා පමණක් වනවිට ජයනාත් වැදි රජ්ජුරුවෝද විය. හේ විශාල පෞර්ෂ්‍යයකි. ඒත් ඊට මාධ්‍ය හරහා ලැබුණු වටිනාකම අල්පය. එය ජයනාත්ගේ නොව මෙරට විචාර කලාවේ අඩුවකි.

කතා කළද නොකළද ජයනාත් වේදිකාව තුළ තවමත් ප්‍රාතිහාර්යය පාමින් සිටී. මනමේහි වැදි රජ්ජුරුවෝ, දික්තලා කාලගෝල නාට්‍යයේ දික්පිටිය, ගුත්තිල කාව්‍යයෙහි මූසිල, බුද්ධික දමයන්තගේ වෛරෝනිකා ආපසු ඇවිත් නාට්‍යයේද ජයනාත්ගේ රංගන පෞර්ෂය මනාව දැකිය හැකිය. මේ පහුවී හෝ ඔහු සමග කරන කතාබහකි. ජයනාත් බණ්ඩාර දක්ෂයෙක්ද නැද්ද යන්න ඔබටත් වේදිකාව පැත්තේ රස්තියාදු වී බැලිය හැකිය.

පැරණි සිංහයෝ සිංහයා නිසා බැබලෙද්දී අලුත් සිංහයෙක් වෙච්ච ඔබ නොබැබලුණේ ඇයි? ඔබත් ඉතාම හොඳ සිංහයෙක්නේ.

අපේ බොහෝ දෙනා අතීතෙ කාමයත් එක්ක ජීවත් වන මිනිස්සු. මෙන්න මේ අතීත කාමය නිසා තමයි වර්තමාන දක්ෂතා වැළලෙන්නේ. සිංහබාහු නාට්‍යයේ සිංහයා විදිහට මාර්ක් ඇන්ටනි දැකපු කෙනාට සමන් බොකෙලෙවෙල වැඩක් නැහැ. සමන්ව දැකපු කෙනකුට ජය ශ්‍රී චන්ද්‍රජිත් වැඩක් නෑ. මේ තුන්දෙනාම දැකපු අයට පස්සෙ කාලෙදි අපි සිංහයෝ වුණහම දැනෙන්නේ නෑ.
ඇයි මාර්ක් ඇන්ටනි ගැන මතකයක් තියෙන්නෙ සහ ඇයි අපි ගැන මතකයක් නොතියෙන්නෙ. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් පළමුවැනි සිංහයාවීම. අපිත් සිංහයෝ තමයි. ඒත් එක, දෙක, තුන කියලා ඉදිරියෙන් දිනපු සිංහයෝ ඉන්නවනේ. මම හතරවැනි සිංහයනේ. ඒක වෙන්න ඇති නොබැබලුණේ.

සිංහයාට පණ පොවන්න කලින් ජයනාත්ගේ වේදිකා රස්තියාදුව කොහොමද?

මම උපන්නේ කටුබැද්දේ. මුලින්ම ගියේ ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයට. පහේදි මාසයක් විතර නාලන්දෙටත් ගියා. ඒ ශිෂ්‍යත්ව විභාගය පාස්වෙලා. ඒ ඉන්න කොට මට ආනන්දයට යන්න ලැබුණා. කලාව ඇඟට එන්නේ ආනන්ද විද්‍යාලයෙදියි. මම ආනන්දයේදී උඩරට නැටුම් ඉගෙන ගත්තා. මාලනී කුලතුංග කියලා චිත්‍ර ගුරුවරියක් හිටියා. ඇය තමයි අපිව වේදිකාවට යොමු කළේ. අපි ඉස්කෝලේ නාට්‍ය කළා. මගේ යාළුවෙක් හිටියා ජනක් කියලා. ඔහු වේදිකාවේ රැඳෙන්න මට ලොකු උදව්වක් වුණා. අපි නාට්‍ය කරලා යෞවන සම්මාන උළෙලට ඉදිරිපත් කළා. ඒ කාලේ අද වගේ රංග කලාව විෂයයක් විදිහට උගන්වන්නේ නැහැ. නාට්‍ය ගැන ඉගෙන ගන්න තැනක් ඇත්තෙම නැහැ. ඒත් අපිත් දන්න විදිහට කළා. වේදිකාව තුළ සහ ඒ අවටම රස්තියාදු ගැහැව්වා. ඔය අතරේ තමයි තුමිඳුගේ ‘අරුන්දතී’ නාට්‍යයට මට අඬගහන්නේ. මම ඒකේ හොඳම නළුවා වෙනවා. තුමිඳුගේ පළමු නාට්‍යය. වේදිකාවෙන් නොබහින්න ඒකත් තවත් හේතුවක් වුණා.

එතකොට ජයනාත් සිංහයා වුණේ කොහොමද?

තුමිඳුගේ නාට්‍යයෙන් හොඳම නළුවා සම්මානයත් ගත්තට පස්සේ මට පුන්‍යසේන ගුණසිංහ මහත්තයාගේ ‘දික්තලා කාලගෝල’ නාට්‍යයේ රඟපාන්න ලැබෙනවා. හැබැයි ඒ ගුණසිංහ මහත්තයගේ පවුලේ ඥාති කෙනෙක් මගේ මිත්‍රයෙක් වුණ හින්දා. ඔහු මාව ඒකට දානවා. ඒකේ රඟපාන කොට තමයි මට ජූඞ් ශ්‍රී මාල්ව හඳුනා ගන්න ලැබෙන්නේ. ජූඞ් තමයි මාව ලලිතා සරච්චන්ද්‍ර මහත්මියට අඳුන්වලා දෙන්නෙ.
එතකොට ‘සිංහබාහු’ නාට්‍ය වේදිකාගත වෙන එක නවත්වලා තිබුණේ. සරච්චන්ද්‍ර මහත්මියට ඕන වෙනවා මේක අලුත්ම කට්ටිය දාලා අලුත් විදිහටම කරන්න. ඒ නව නිෂ්පාදනය හරහා ‘සිංහයා’ වෙන්නේ මම. ‘සිංහයා’ චරිතය රඟපාන්න ලැබීම නළුවෙක් විදිහට මම ලබපු සුවිශේෂී දෙයක්. ඒක වාසනාවක්. දක්ෂතාව වගේම වාසනා ගුණයක් තියෙන්න ඕන. එහෙම දෙයක් හම්බ වෙන්න. එතැන ඉඳලා අවුරුදු දහසයක්ම එක දිගට මම සිංහයට රඟපෑවා.

දැන් ‘සිංහයා’ චරිතයට සමුදීලා ගොඩක් කල්ද?

ඔව්! අවුරුදු දෙකක් විතර ඇති. ඕනෑම චරිතයක එක දිගට නියැලෙන කොට චරිතය වෙනස් නොවුණට අපි වෙනස් වෙනවා. වයසට යනවා. ජවය නැති වෙනවා. සිංහයා කියන්නේ ජවසම්පන්න චරිතයක්. නර්තනය වගේම ගායනයෙනුත් පොහොසත් චරිතයක්. අවුරුදු දහසයක් එක දිගට එහි නියැලෙන කොට මටම තේරෙනවා මම දැන් නාකි සිංහයෙක් කියලා. ජවය මදි කියලා. ඉතින් මම ඒ චරිතයට සමු දුන්නා. ඒ වගේම සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායම ගැනත් යමක් කියන්න ඕනෑ. ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය එදා මාව සිංහයට තෝර ගත්තා වගේම මම දැන් සිංහයට මදි කියල කෙළින් කියන්න පුළුවන් කෙනෙක්. එතුමිය ඒක කියන්න කලින් මම සිංහයට සමු දුන්නා. ඒ ඉව නළුවෙකුට අනිවාර්යයෙන් තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා.

‘සිංහබාහු’ නාට්‍ය මෙන්ම සිංහයා චරිතයත් සමාජයේ ජනප්‍රියයි. මෙවැනි දන්න ප්‍රසිද්ධ චරිතයක් කරන එක අභියෝගයක් නෙමෙයිද?

ලොකු අභියෝගයක්. සිංහබාහු හී සිංදු ටික නාට්‍ය බලන්න එන ප්‍රේක්ෂකයෝ කටපාඩමින් කියනවා. කොහොමහරි මේක බලන්න එන අය කතාව, ගීත දන්නවා. ඒවා ඒ තරමට සමාජ ගතවෙලා. සමහරු මීට පෙර බලපු අය. ඒ වගේ පසුබිමක වේදිකාවට එන්නෙම හුරු පුරුදු දෙයක් බලන්න වුණහම ඊට උපරිම සාධාරණයක් කිරීම අභියෝගාත්මකයි. ඒත් අපි ඒ අභියෝගය ජය ගත්තා. කොහොම වුණත් එක දිගට අවුරුදු දහසයක්ම සිංහයා චරිතයට පණ පෙව්වට ඒ චරිතය කරන්න කරන්න මම අත්දැකීම් ලැබුවා. මුහුකුරා යන්න යන්න මට සිංහයාව තදින් දැනුණා. අවුරුදු දහසයක්ම සිංහයා කළාට හැමදාම වේදිකාවට ආවේ ගැහෙමින්. ඒ ගැස්ම මට දිගටම තිබුණා. ඒ මොකද මේ පරම්පරා කිහිපයක් රැගෙන එන චරිතයක්. මම ඒක ආරක්ෂා කරගන්න ඕන කියන තැන මම හිටියා. සිංහයා තාත්තා කෙනෙක්. නායකයෙක්. ස්වාමි පුරුෂයෙක්. ඒ වගේම සංවේදී කෙනෙක්. මේ නිකම්ම නිකං සිංහයෙක් නෙමෙයි.

සිංහබාහු නාටකයේ දේශපාලනය වැඩිය සමාජ ගතවුණේ නැහැ නේද?

ඇත්ත. කවුරුහරි කියනවා නම් සිංහබාහු නාටකයේ දේශපාලනයක් නැහැ කියල ඔහු දේශපාලනය නොදන්න කෙනෙක්. සරච්චන්ද්‍ර මහත්තයා මේක හංගලා තමයි දුන්නේ. පවුල් පසුබිම තුළ දෙදරුම පෙනුණට මේක හරහා පුපුරන්නේ සමාජයම. ඒකයි මේකේ විශේෂත්වය.

සිංහයාට අමතරව මනමේහි වැදි රජ්ජුරුවෝ ඒ ගැනත් කතා කරමු.

මට පෙර සිංහයා චරිතය කළ මාර්ක් ඇන්ටනි, සමන් බොකලෙවෙල, ජය ශ්‍රී චන්ද්‍රජිත් යන තුන්දෙනාටම නොලැබුණු මට ලැබුණු සුවිශේෂීම අවස්ථාව තමයි වැදි රජ්ජුරුවන්ගේ චරිතයක් රඟපාන්න ලැබීම. සිංහයාගෙයි, වැදි රජ්ජුරුවන්ගෙයි සමාන ලක්ෂණ තියෙනවා. මේ චරිත දෙකම මනුෂ්‍යයන්ට වඩා විනයගරුකයි. නළුවකුට මේ චරිත දෙක හරහා නළුකමට ඕනෑතරම් අමුද්‍රව්‍ය තියෙනවා. ඒ නිසා මේ චරිත දෙකම ලැබීම භාග්‍යයක්. මට පස්සේ දැන් රජිතත් මේ චරිත දෙකම කරනවා. මේ චරිත දෙකටම මම එක වගේ ආදරෙයි. ඒත් වැදි රජ්ජුරුවන්ට වැඩි කැමැත්තක් තියෙනවා වගේ දැනෙනවා.

ඔබ වයසට යෑමත් සමග දුබලයි ජවය මදි කියලා සිංහයගෙන් ඈත් වෙනවා. හැබැයි තවමත් වැදි රජ්ජුරුවෝ කරනවා. ඇයි ඒ?

මම වැදි චරිතයත් අත ඇරියා. ඒත් සරච්චන්ද්‍ර මහත්මිය කියන්නේ ඒකාධිපති තීරණ ගන්න. දැඩි තීරණ ගන්න චරිතයක්. මම ඒකට කැමතියි. ගරු කරනවා. හා නම් හා. බෑ නම් බෑ. බෑ කියලා හිතාගෙන හා කියන ජාතියේ කෙනෙක් නෙමෙයි. මම වැදි රජ්ජුරුවොත් අත ඇරියහම සරච්චන්ද්‍ර මහත්මිය මට කතා කරලා ඇහැව්වා. ඇයි වැදි රජ්ජුරුවෝ කරන්න බෑ කියන්නේ කියලා. මම කිව්වා දැන් ඇති බැහැ කියලා. එතකොට එතුමිය කිව්වා බෑ මැරෙනකම් ජයනාත්ට පුළුවන්. මම කිව්වහම ඔයා වැදි චරිතය කරන්න එන්න ඕන. ඔයාට තීරණය කරන්න බෑ ඔයා යනවද නැද්ද කියලා. මමයි තීරණය කරන්නේ ඔයා ඉන්නවද නැද්ද කියලා. අන්න ඒ නිසයි තවමත් මම වැද්දා.

ජයනාත් දක්ෂයෙක් වුණත් ඔබව සමාජය දන්නෙ අඩුවෙන් නේද?

ඕක මට ගෙදරිනුත් එන චෝදනාවක්. ඔයා අවුරුදු ගාණක් සිංහයා කරනවා. වැදි රජ්ජුරුවෝ කරනවා. ඒත් කවුද දන්නේ කියලා. මම තමයි සිංහයා. මම තමයි වැදි රජ්ජුරුවෝ කියලා කවුරුත් නොදන්න එක මට ප්‍රශ්නයක් නෑ. ඒක මගේ පුද්ගලික ප්‍රශ්නයක්. ඒත් ගෙවල්වල ඊට වඩා බලාපොරොත්තු වෙනවා. දැන් සිංහයා කළා ඇති. පිටරටකට ගිහින් ජීවත් වෙමු කියලා ගෙදර කියනවා. ඒවා හරිම සාමාන්‍යයයි. ඕන කෙනෙක් කැමතියි නළුවෙක් වුණහම සමාජය දැනගන්නවට. නයෙක් අඩු ගාණේ ‘සූ’ කියලා හරි කියන්න එපැයි. මගෙත් තියෙන යම් යම් බාධක නිසා මට වේදිකාවෙන් එළියට රංගන දායකත්වය දෙන්න ලැබුණේ අඩුවෙන්. ටෙලිනාට්‍ය කිහිපයක රඟපෑවා. චිත්‍රපටයක රඟපාන්න ආසයි. ඒත් මොකක්දෝ හේතුවකට අපිට ඉඩක් නෑ.

ඇයි අපේ වේදිකාව තවම සීමාසහිත?

සමාජයේ ආකල්ප දියුණු වන තැනට පොහොසත් නාට්‍ය සංස්කෘතියක් අපිට නෑ. නාට්‍ය ඉතිහාසයක් අපිට නෑ. මාධ්‍ය නාට්‍යවලට දෙන ඉඩ ඉතාම අඩුයි. මේ නිසා අපේ නාට්‍ය ප්‍රේක්ෂකාගාරය සීමාසහිතයි. පාසල්වලට නිර්දේශිත නාට්‍ය නිසා ළමා ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. ඒත් ඉන් එහාට සීමාසහිතයි. හැබැයි ඒ සීමාව නම් දැනුවත් ප්‍රේක්ෂකාගාරයක්. ඒකම ලොකු දෙයක්.

කිසිම රජයකටත් නාට්‍ය කලාව නගා සිටුවන්නට වුවමනාවක් නෑ. ඔබ රංගන ශිල්පියෙක් විදිහට කරන යෝජනා මොනවද? මේකේ දියුණුවට.

මට ආණ්ඩුවට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි කොහොම හරි නාට්‍ය කරන්නම්. ගෙවල් උගස් කරලා හරි බිරිඳගේ කණකර තියලා හරි අපි නාට්‍ය කරන්නම්. ආණ්ඩුවට පුළුවන් නම් මේ පළාත් නවයට හොඳ රඟහලවල් නවයක් හදන්න. ඔය පර්මිට් දෙන සල්ලිවලින් ඒවා කරන්න බැරිද? පොලිසි තියනව නම් හිරගෙවල් තියෙනව නම් ඉස්පිරිතාල තියෙනව නම් ඇයි රඟවල් හදන්න බැරි. ඇමතිවරු යනවා. එනවා. ආණ්ඩුත් එහෙමයි. ඒත් නාට්‍ය කරන අපි මැරෙනකම් නාට්‍ය කරනවා. නාට්‍යකරුවෝ විදිහට මේ ක්ෂේත්‍රය කඩා වැටෙන්න අපිත් දායක වුණා. ඒකත් ඇත්ත. අපි අපිත් මේක නගා සිටුවන්න මොනාද කළේ කියන ප්‍රශ්නය තියෙනවා.

රඟහලක් කියන්නේ ජාතියක් යන්න ඕන තැනක්. ගෙදර බත් කකා නාට්‍ය බලනවා වගේ නෙමෙයි. පැයක් දෙකක් බත් නොකා ඒ වෙනුවෙන්ම විනය ගතවෙලා මිලක් ඇතිව නාට්‍ය බලන එක. ඒක වෙනම පන්තියක්. ජීවිතය හොයන, ජීවිතය විඳින පන්තියක්. දෙන ඕන දෙයක් නොකන තෝරා බේරාගෙන කන පන්තියක්. ඒ පන්තියයි සමාජය වුවමනාව. ඒක හදන්න පුළුවන් වේදිකාවටයි.
ඔබ නළුවෙක් විදිහට තෘප්තිමත්ද?

ඔව්! ගොඩක් තෘප්තිමත්. ඒකේ ප්‍රතිඵල ගෙදරින් දැනෙනව නම්, මිත්‍රයන්ගෙන් දැනෙනව නම්, ගමෙන් දැනෙනව නම් අවසානයේ ප්‍රේක්ෂකයන්ගෙන් දැනෙනව නම් රටක් විදිහට නොලැබුණාට කමක් නෑ. මම රටක් කිව්වේ අධිකාරියට. අපි අපේ කැප කිරීම කරනවා. මම ලෝකේ රටවල් ගණනාවකටම ගියා නළුවකු නිසා. සමාජය දැනගත්තා, ඉගෙන ගත්තා ඒ ඇති. ඒ තෘප්තිය මැරෙනකම්ම ඇති.
ඒත් සමහර අධ්‍යක්ෂවරු, නළුවෝ තමන්ගේ කඩා වැටීමට සමාජයට දොස් පවරනවා.

ඒක සමාජයට දීලා වැඩක් නෑ. තම තමන් පුද්ගලිකව භාරගන්න ඕනෑ. කලාකරුවෝ විතරක් නෙමෙයි වයසට යන්නේ ලෙඩ වෙන්නේ. ඒවට විකල්ප තමන්ටම තියෙන්න ඕන. තමන් කලාකරුවෙක්. ඒ නිසා සමාජය ඔහුව බලාගන්න කියනවනම් ඒක විකාරයක්. මම කලාකරුවෙක් වුණේ, නළුවෙක් වුණේ සමාජයෙන් අහලද? මේක වෘත්තියක්. වෘත්තියක් කරන්නේ ඒකෙන් යැපෙන්න. එහෙම බැරිනම් වෙන වෙන අයට නොබැණ වෙන වෘත්තියක් කරන්න ඕන. මම ඉන්නේ එතැන. අපිව කවුරුත් බලාගන්න ඕන නෑ. අපිව බලාගන්න අපි දැනගන්න ඕනෑ.

ඔබ කැමති නළුවෝ ගොඩක් ඇති. එක්කෙනෙක් දෙන්නෙක් කියන්න කිව්වොත්?

ජයලත් මනෝරත්න සහ සුමින්ද සිරිසේන. ඒ දෙන්නා ඇතුළේ මම ලෝකවල් දෙකක් දකිනවා. මගේ ලෝකයට ඒක ලොකු හයියක්.

නළුවෙක් විදිහට ඔබගේ වෘත්තිය පැත්තෙන් සමාජයට පණිවුඩයක් කියන්න කිව්වොත් ජයනාත් මොනවද කියන්නෙ?

අපිට බාර් එකේ කාලය ගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් බීච් එකේ, පාර්ක් එකේ. රට වටේ ඕන තැනක. ඕන විදිහට. ඒ රස්තියාදුව ජීවිතයට ඕන. අන්න ඒ ගොඩට වේදිකාවත් දා ගන්නව නම් වේදිකාව තුළත් රස්තියාදු වෙන්න පුළුවන් නම් ඒක මරු. රඟහලත් අලුත් ප්‍රේක්ෂකයන්ගේ රස්තියාදුවේ තැනක් වෙනව නම් මම කැමතියි. මම කියන්නේ රඟහල තුළත් කරක් ගහමු.

වේදිකාව සහ වේදිකා නළුවා ගැන ජයනාත්ගේ අත්දැකීම මොකක්ද?

ප්‍රාතිහාර්යයක්. වේදිකාව කියන්නෙත් වේදිකා නළුවා කියන්නෙත් ප්‍රාතිහාර්යයක්. වේදිකාව තුළ බොරු කරන්න බෑ. වැරදි කරන්න බෑ. සජීවී අත්දැකීමක් බෙදා ගන්න කොට ඒක අජීවී වෙන්න බෑ. ඒ නිසා මේක තමයි කලාව ඇතුළේ ලොකුම අභියෝගය. පැයකට දෙකකට ලබන පුහුණුව පැය කීයක්ද? වේදිකාව කියන්නේ ප්‍රාතිහාර්යයක්. නළු නිළියොත් එහෙමයි. ඒක අත්විඳින්න ඕනෑ. මේ ප්‍රාතිහාර්යය ගැන අති දක්ෂයෝ දැනටත් ඉන්නවා. ඒක ගිහිල්ලම බලන්න ඕන.

ඔබගේ නළු ජීවිතේ දීර්ඝකාලීනව රැඳීමේ රහස මොකක්ද?

අනුගතවීම. මම එහෙම කිව්වහම මම ගොට්ටෙක් කියලා හිතන්න එපා. අපි තැනක ඉන්නව නම් අපි එතනට අනුගත වෙන්න ඕන. එහෙම බැරිනම් අපි අපේ තැනක් හදා ගන්න ඕන.
මගේ නළු ජීවිතය තුළ මට සිංහයා සහ වැදි රජ්ජුරුවෝ වෙන්න ලැබීම ගැන මට ආඩම්බරයි. ඒක ලෝකේ වටිනාම ලොතරැයිය ඇදුණට වඩා මම ආඩම්බරයි. ඇත්ත ඒකයි. අවුරුදු දාසයක් සිංහයා වෙන්නත් තවමත් වැදි රජ්ජුරුවෝ වෙන්නෙත් මට ඒ තැනට අනුගත වෙන්න පුළුවන් නිසා. ඒ තැන මගේ කර ගන්න පුළුවන් නිසයි. මහාසාර නාට්‍යයේ සරච්චන්ද්‍ර මහත්තයා මෙහෙම ලියලා තියෙනවා.
“කොයිතරම් දක්ෂ වුණත් වැඩක් නෑ. අපට පක්ෂ ජාති නැත්නම්” කියලා.