වැඩ බැරි දාසලා සහ ඇමතිට අල්ලස් දීම

ඒ. වික්‍රමසූරිය

මේ මොහොතේ මෙරට ක්‍රිකට් බේරා ගැනීමට පැමිණ ඇති ඉන්ද්‍රජාලිකයා ජයන්ත ධර්මදාසය. තමා සභාපති වී මාස තුනක් යනවිට තමා ක්‍රිකට් දියුණුවෙන් දියුණුවට පත් කරන්නේ යැයි ඔහු මාධ්‍යයට පවසා තිබුණි. ඒ සඳහා අවැසි දැනුම තමාට හැර වෙන කාටවත් නැති බව ඔහුම කියන්නේය.

ජයන්ත ධර්මදාස මහතාගේ කතා ඇසෙන විට ඇනස්ලි, සැමුවෙල්, බර්ටි කැලේය. ඒ අයත් මේ විහිළුවලට ඉළ ඇදෙන තෙක් හිනාවෙනවා සහතිකය. ජයන්ත ධර්මදාසගේ නව ලෝකය ක්‍රිකට් පුටුවය. එය ලැබේ නම් ඔහු ඕනෑම පක්කලි වැඩක් කරන්නේය. ජයන්ත යනු ක්‍රිකට් පුටුවෙහි නොහිටියෙක්ද? අතුරු කමිටු අටවාගෙන සභාපතිකම් දැරූ ඔහු අවංකවම ක්‍රිකට්වලට කළේ කුමක්ද? වැඩ බැරි දාස කෙනකු වන ධර්මදාස ව්‍යාපාරිකයෙක් විදිහට දක්ෂ විය හැක. එහෙත් ක්‍රිකට් ගැන නම් ඔහු මෙලෝ මළදානයක් නොදන්නේය.

මහින්ද රාජපක්ෂ යුගයේදී ක්‍රිකට් පුටුව අලෙවි කළ අතර නිතැතින්ම එය මිලදී ගත්තේ ජයන්ත ධර්මදාසය. ඡන්දයක් හරහා දිනිය නොහැකි ඔහු ඒ වෙනුවට කළේ ක්‍රිකට් පුටුව මිලට ගැනීමය. ඒ කර හෝ ක්‍රිකට්වලට වැඩක් කළා නම් කම් නැත. එහෙත් කළේ කුමක්ද? ජයන්ත ධර්මදාස ක්‍රිකට් සභාපති වී මාස තුනෙන් ක්‍රිකට් ගොඩ ගන්නවා කියනවාට පෙර තමන් මීට පෙර ක්‍රිකට්වලට කළේ කුමක්ද යන්න කියනවා නම් අගනේය. පසුගිය කාලවකවානුව මෙරට ක්‍රිකට් ගමන් කළේ අගාධයටය. එසේ නම් 96න් පසු මෙරට ක්‍රිකට් වළපල්ලට ගියේ නම් ඒ වළ කැපූවන් අතර තිලංග මෙන්ම ජයන්තද සිටි අතර අර්ජුන මෙන්ම නිශාන්තද වූහ. අද මේ සැම පත්තිනි වේෂය ගෙන ඇත.

ගියවර තිලංග සුමතිපාල පාර්ශ්වය නියෝජනය කරමින් අර්ජුනලාට එරෙහිව තරග කළ ජයන්ත දැන් තිලංගලාට එරෙහිව රණතුංගලා සමග කරළියට එයි. ලැජ්ජාවක් නැත්තේ ජයන්තට පමණක් නොව රණතුංගලාටද ලැජ්ජාවක් ඇත්තේම නැත. මේ හැම ක්‍රිකට් පුටුවට කෑදරය. ඒ ඇයිද යන්න අමුතුවෙන් කිවයුතු නැත. ඒ නිසාම ක්‍රිකට් පුටුවට ඕනෑම අයකු සමග එකට හිඳ ගනිති. ගියවර තිලංග දිනුවේ තමන්ගේ ඡන්දවලින් බව අද ජයන්ත ආඩම්බරයෙන් කියන්නේය. එසේ නම් දැන් ජයන්ත අර්ජුන පාර්ශ්වයේ නිසා අර්ජුනටද නැවත ක්‍රිකට් සංගමයට රිංගා ගත හැකිය. එහෙත් මොහාන් පාර්ශ්වය තිලංගගේ පිහිටෙන් කියනුයේ තම පාර්ශ්වය නියතවම දිනන බවය. ඒ අනුව දැන් සිටම දෙපාර්ශ්වයේම පම්පෝරි ඇද බෑම ආරම්භ වී ඇත.

මීට පෙර තිලංගව දිනවූ ජයන්ත ධර්මදාස ටික කලෙකින් තිලංග සමග වැඩ කළ නොහැකි බව පවසා ඉවත් විය. මීට පෙරද ඔහු එම වැඬේම කිහිප පාරක්ම කර ඇත. මුලදී නිලවරණවලට එන ජයන්ත අවසාන මොහොතේ තරග නොවැදී පලා යයි. ඒ තරමට විකාරසහගත චරිතයක් වූ ජයන්ත මහින්ද රාජපක්ෂට පින්සිදු වන්නට ක්‍රිකට් හී දොන් ජුවාන් රජකු විය. එහෙත් කළ කිසිවක් නැත. මෙවන් රූකඩ චරිත ක්‍රිකට් නිලවරණ කාලයට ග්ලැඩියේටර්ලා මෙන් එන අතර ටික කලෙකින් සොයා ගන්නටද නැත. නිශාන්ත රණතුංග සමග මීට පෙර වැඩ කළ ජයන්ත කාලයක් ඔහුව පතුරු ගැසුවේ ඔහු සමග වැඩ කළ නොහැකි බැවින් තමන් ඉවත් වන බව පවසමිනි. එලෙස ඉවත් වන්නට ඔහු තරම් රුසියකු නැති තරම්ය. එලෙසම කිසිදු හිරිකිතයකින් තොරව මෙලෙස බල්ටි ගහන ජයන්ත දෙවැනි වන්නේ වසන්ත සේනානායකට පමණි.

යම් හෙයකින් මෙවර ජයන්ත සභාපති වුවහොත් එහි වැඩ කරනුයේ නිශාන්ත සහ අර්ජුනය. අර්ජුන ඉන් ප්‍රබලම විය හැක. එවිට මාස තුනකින් විතර ජයන්ත මට ඉන්න බෑ මාව ගණන් ගත්තේ නැහැ කියමින් නවලෝකයට වී හැකි සෑම යටි උගුලක්ම අටවා අස්වීමේ ලියුම දේ. මේ ඔහු වැඩ කරන හැටිය. එය වසර ගණනාවක් තිස්සේ රටට හුරුය. තිලංග – ජයන්ත ක්‍රිකට් හි සදා එදිරිවාදීන්ය. එහෙත් පසුගිය කාලයේ මිත්‍ර විය. එකට තරග කළහ. මේ ආකාරයට අර්ජුනලාද බලය සඳහා ඕනෑම කෙනකු සමග ලගින අතර දැනට තිලංග පමණක් භාර නොගනිති. තිලංග පරදවන්නට නම් ජයන්ත වුව කම් නැත. ජයන්තටත් නමට සභාපති ලෙස වාඩිවී සිටින්නට දෙන්නේ නම් තරග බලන්නට ඔහුගේ අණට ප්‍රවේශපත් ටිකක් ලැබෙන්නේ නම් ඒ ඇතිය. ධනය මිස, සමාජ ප්‍රාග්ධනය අහිමි මේ චරිතවලට ඕනෑ තනතුරුය. එයට ක්‍රිකට් පුටුව යනු විශාල වටිනාකමකි. ක්‍රිකට් තරග නැරඹීම ක්‍රිකට් සභාපතිකමට ඇති එකම සුදුසුකම නම් ජයන්තට වඩා සභාපතිකම පර්සිට භාරදීම මැනවිය. මේ දෙපළ ගත්තද පර්සි ඉදිරියෙන් බව අපගේ හැඟීමය.
ලංකාවේ ක්‍රිකට් විනාශ කළ අය අතර තිලංග සේ ම ජයන්තද ඒ සමාන රණතුංගලාද ඇත. තමා ලෝක කුසලානය දිනාගෙන ඒමට නායකත්වය දුන්නා යැයි ක්‍රිකට් පුටුවට අර්ජුනගේ ඇති ලෝභකම සමාන වන්නේ යුද්ධය අහවර කළැයි කියමින් රට ඉල්ලන මහින්දටය. මේ බහිරවයන් කවුරු ආවද ක්‍රිකට්හී දියුණුවක් නොවන බව පැහැදිලිය. මේ බව දන්න කමට වඩා කෙසේ හෝ සංගා – මහේලගෙන් යුත් අතුරු කමිටුවක් පත්කිරීමේ දොළෙන් පෙළෙන ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු කෙසේ හෝ බලනුයේ ක්‍රිකට් නිලවරණය නොපවත්වා අතුරු කමිටුවක් පත් කරන්නටය. ඒ අතින් එය මීට වඩා හොඳය.

තිලංගගේ රූකඩයම වූ දයාසිරි ජයසේකර තිලංග සමග එක වාහනයේ ඉඳිමින් ක්‍රිකට් ගැන පොර ටෝක් ඇද බායි. කිවයුත්තේ තිලංග වැහී ක්‍රිකට් ගැන කතා කිරීම දයාසිරි දැන්වත් නවත්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්කම රැක ගැනීම වැදගත් බවය.

හරින් ප්‍රනාන්දුටද අල්ලස් දෙන්නට ගිය කතාවක් කරළියට ආවේය. ක්‍රිකට් ආයතනයේ පුද්ගලයකු ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් දමා ගැනීමට ඇමතිට අල්ලස් දෙන්නට ගිය බව හරින් බීබීසී සිංහල මාධ්‍යයට කීවේය. මෙය එක්තරා විදිහට අරුමයක් නොවේ. හරින්ගේ වටිනාකම මිලියනයකි. ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තේරීමේ අවසාන බලය ඇත්තේ හරින්ටය. එනම් ක්‍රීඩා ඇමති සර්ව බලධාරියා වන නිසාය. එසේ නම් කිසිදු විලි ලැජ්ජාවකින් තොරව ඇමති සමග ඩීල් දාන්නට එන්නේ නම් අංක එකට කල්පනා කළ යුත්තේ හරින්ට දුන් මුදල හරින් ප්‍රතික්ෂේප කළද මීට පෙර සිටි ඇමතිවරු ගත්තාද යන්නය. හරින්ට පෙර ඇමතිලා ගත් නිසා හරින්වද එතැනට සරල කළාද යන්න කවුරු නොදනිත්ද?

මුදල් දී කණ්ඩායමට එන්නට වලිකන ක්‍රීඩකයාද ඇමති හෙළි කළ යුතුය. මන්ද එය භයානක තත්ත්වයක් බැවිනි. ඒ ක්‍රීඩකයා වුව ඇමතිට මිලියනයක් දේ නම් ඊට පෙර තේරීම්වලට තව කොතෙක් වියදම් කර ඇත්ද? අල්ලස් දෙන එක වගේම ගන්න එකත් වැරදිය. එහෙත් ඒවා අල්ලස් නොවී මීට පෙර සාමාන්‍ය ගනුදෙනු වී නම් තත්ත්වය කුමක්ද? තිලංග දිනූ විට තිලංග බදාගෙන සිප වැලඳ ගත් දයාසිරි අදටත් තිලංග බේරන්නට කතා කරමින් සිටී. අපට සැල ආකාරයට දයාසිරි ක්‍රිකට් බලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම් පත් කළේය. ඒ ක්‍රිකට් නිලවරණයක් සඳහා පසුබිම සකස් කරන්නටය. ඒ කාලය තුළ මේ ලේකම්වරයා ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලැබුවේද යන්න හරින් හෙළි කළ යුතුය. ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා තාවකාලිකව බලධාරියා කළ විට එය වැටුප් ලබන වෘත්තියක් වන්නේද? ඔහු ඒ සඳහා වැටුප් ගත්තාද? ඒ කොපමණ මුදලක්ද? කොපමණ කාලයකටද යන්න ඇමතිවරයා හෙළි කළ යුතුය. දැන් ලේකම්වරයාද ඒ පාරේම යන්නේද නැතහොත් මේ දෙදෙනාම නිවැරදිකරුවන්ද යන්න හෙළි කළයුත්තේ ක්‍රිකට් ආයතනය ඇතුළින්ම දයාසිරි යටතේ සිටි ලේකම්ට ලක්ෂ 10 ගාණේ දුන්නා යැයි කසුකුසු පවතින නිසාය. මුදල් නොගෙන ලේකම් වැඩ කළේ නම් මේ හෙළිදරව් හරහා ඔහුද නිවැරදි වේ. ක්‍රීඩා ඇමතිවරයා එය හෙළිකරන්නේ නම් මැනවිය. එමෙන්ම පසුගිය කාලයේ ක්‍රීඩා ඇමතිට ඔහු වෙනුවට නියෝජිතයකු ක්‍රිකට් ආයතනයට දැමිය හැක. එය විශාල වැටුප ලබන තනතුරක්ය. මෙය ක්‍රිකට් ආයතනය එන ඇමති අල්ලා ගන්නට දැමූ ඇමකි. ඇමතිවරු කළේද තම ඥාති හෝ හිතවතෙක් ඒ තැනට දැමීමය. මේ අනුව බලන කල හරින්ට ලැබී ඇත්තේ අල්ලසක් නොව, ක්‍රීඩා ඇමති කෙනකුට නියතවම ලැබෙන වරප්‍රසාදයක් විය හැකිය. ක්‍රිකට් ආයතනයේ සාමාන්‍ය කෙනකු (ගිණුම් අංශයේ) ක්‍රීඩා ඇමතිවරයා සමග ක්‍රීඩකයන් කණ්ඩායමට දමන්නට ඩීල් දමයි නම් මෙරට ක්‍රිකට් දූෂිත යැයි කියන්නට තව සාධක කුමකටද?
දේශපාලනයේ අංක එකේ ඩීල්කරුවකු වන තිලංග ඇමතිවරු ඩීල් කිරීමේ හපනෙකි. ඔහු ක්‍රිකට් ආයතනය තුළත් ඒ දේ ව්‍යාප්ත කර ඇත. දැන් මේ අල්ලස් හෝ දීමනා ගැන සොයා බැලුවහොත් හිටපු ක්‍රීඩා ඇමතිවරු ලේකම්වරු මෙන්ම බුරුත්තක් හසුවනු ඇත. ක්‍රීඩා ඇමතිකමට එන අය ක්‍රීඩා ඇමතිකම අතහරින්නට මැලි ඇයිද යන්න අමුතුවෙන් කිවයුතු නැත. ක්‍රිකට් පුටුව වෙනුවෙන්ම දේශපාලනය කළ තිලංග සේ ම අර්ජුනද ක්‍රිකට්වලට මෙතරම් කෑදර ඇයිද යන්නත් අමුතුවෙන් කිවයුතු නැත. ක්‍රීඩකයන්ගේ නෝනලාත් කරළියට පැමිණ එකිනෙකාට මඩ ගසා ගන්නේ මේ ක්‍රිකට් කොයිතරම් රහද බව නොදන්නා නිසාද? කණ්ඩායමේ නායකයාටද ඇති බලය විශාලය. ඒ බලය කට්ටිය කෙසේ ප්‍රයෝජනයට ගන්නවාද යන්න දැන් සිතාගත හැකිය.

මේ සියලු වටපිටාවන් තුළ ජයන්ත ධර්මදාස ක්‍රිකට් ගැලවුම්කරුවා වන්නට හැකි හැම බරක්ම දරන්නේ ඇයිද යන්න පොඩි ළමයකුටවත් නොවැටහේද? ජයන්ත ගෙනා ඔහු පන්නයේම රූකඩයක් වන කේ. මතිවානන් තිලංග පාර්ශ්වය අතහැර මෙවර නැවත ජයන්තට හේත්තු වී ඇත. සැබෑවටම මේවා දකින විට දෙකොණෙන්ම හිනා මතුවේ. ක්‍රිකට් විනාශ කළවුන් ක්‍රිකට් කොල්ලකෑවුන් දැන් ශාන්තුවරයන් ලෙස නැවත කරළියට එයි. ඒ අතින් හරින්ට හැකිනම් සැබැවින්ම අතුරු කමිටුවකට යන්න එය හොඳය. සංගා-මහේල යනු රට දකින තරම් මාර චරිත නොව එහෙත් ඒ අයටත් දී බැලිය හැකිය. මේ ක්ෂේත්‍රය ගැන අවබෝධය නිසාම මේ චරිත ගැන පොත් ලිවිය හැකි තරම් කරුණු ඇත. එහෙත් කිවයුත්තේ කොතෙක් ලීවද මේ අයත් දේශපාලන වාසියෙන් කාලයෙන් කාලයට වැජඹෙන බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන ඇමතිවරයෙක් ක්‍රීඩාව භාර ගත්තේ නම් තිලංග මෙවරද තරග වදී. එහෙත් එය නොවූ නිසාත්, මහින්ද අගමැති කිරීමේ හොර ඩීල්කරුවකු වී කුජීත වී සිටින නිසාත් තිලංග තරග නොකොට ඔහුගේ රූකඩ ටික ඉදිරිපත් කොට ඇත. අද ඔහු ක්‍රිකට් ගැන කතා නොකරන අතර ඔහුට කියන්න ඕනෑ ටික දයාසිරි ලවා කියවමින් සිටී. දයාසිරි තිලංගට හසුවූ හසුවිල්ලේ තරම අනුව රටේ ජනාධිපති වුවත් තිලංගගෙන් බේරිය හැකිවේ යැයි අපි නොදනිමු. මොනවද කෑව නම් විඳවපන් කියා පැරැන්නෝ කීවේ නිකමටද? ක්‍රිකට්හී කැත දේශපාලනය ඉතා විශාලය. එය තරම් දූෂිත වෙන තැනක් නොතිබිය හැකිය. එයට රටේ ඉහළම පුද්ගලයාගේ සිට ඇමතිවරු දක්වාත් ව්‍යාපාරිකයන්ගේ සිට ක්‍රිකට් ආයතන සේවකයා දක්වාත් ක්‍රීඩකයාගේ සිට ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු දක්වාත් ලංසු තියති. මේ තත්ත්වය අනුව හරින්ට ආවේ අල්ලසක් නොව ඇමති වරප්‍රසාදයක් විය යුතුය. අර්ජුන මහේන්ද්‍රන්ගේ සල්ලි ඡන්දෙට ගත්ත දේශපාලකයන් පවා නැති වන්නා සේ ක්‍රිකට් මුදල් ක්‍රීඩා ඇමති ගැනීම පාපයක්ද? එය ඒ තරමට දොළ පිදේනි වී ඇත.

මේ විනාශ සියල්ල කළ වුන්ම නැවත බලය ඉල්ලනුයේ ක්ෂණික සංවර්ධනයන් කරන්නටය. කළ නොකළ දේ කරන බව කියන මේ අයද දේශපාලකයන්ට හපන්ය. ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම දැනට ඇති හොඳම දේය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ළඟ වැඳ වැටී හෝ ක්‍රීඩා ඇමති අතුරු කමිටුවක් පත්කිරීම හොඳය. ක්‍රිකට් නිලවරණයක් හරහා මෙරට ක්‍රිකට් විනාශය නතර වේ යැයි සිතිය නොහැකිය. විනාශය දිගටම ගෙන ගිය උන්ම කැරකි කැරකි බලයට ඒමෙන් හිස ගිනිගෙන ඇත්තේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේය. ක්‍රිකට් පැරදුණු විට ක්‍රීඩකයන්ට හූ කියන ප්‍රේක්ෂකාගාරය මුලින් කල්පනා කළයුත්තේ මේවා කාබාසිනියා කරන පරිපාලකයන්ට කුමක් කළ යුතුද යන්නය. එය කුමක් වූ ප්‍රේක්ෂකයන්ට කළ හැකි දෙයක් නැති නිසා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ක්‍රීඩා ඇමති මෙහි මුලසුන ගත යුතුය. එහෙත් පසුගිය කාලය පුරාම වුණේ මේ ක්‍රිකට් කාබාසිනියන්ට ක්‍රිකට් හප කරන්නටදී හිටපු ඇමතිවරුද ඒ හපයම ඉල්ලා හැපීමය. ඒ නිසා හපවූයේ මෙරට ක්‍රිකට්මය.