ලක්ෂ්මී සොයා මුහුදු යන සරස්වතී පතා ගෙදර එන සෝසාමුත්තු

වින්ද්‍යා ගමගේ

එදා මුලිතිව්හි මුල්ලියාවෙලෙයි නගරය දැඩි හිරු රැසින් ඇලලී ගිය මද්දහනකි. දැඩි හිරු රැස් සේම හිත හයිය මිනිසුන් මේ ප්‍රදේශයේ සුළභ දසුනකි. සරුවට ගස් වැවුණු දෙවටක් හරහා වැටුණු වැලි පාරක කෙළවර තිබූ ගේට්ටුවෙන් ඇතුළු වූ අප අවසරයක් නැතිවම නිවසේ ඉස්තෝප්පුවට ගොඩවෙත්ම අමුතු යහනක නිදා සිටි මිනිසකු ඇස ගැටුණි. ළං වී බැලූ විට මෝටර් බයිසිකල් දෙකක් එක්කොට තනා තිබූ සැප පහසු පුටු යහනක අලස සුවය විඳින මිනිසාගේ කඩවසම් මුහුණ හොඳහැටි දැකගත හැකිවිය. මම මේ කාලා පොඞ්ඩක් ඇල වුණා. සිය සිනා කට විවර කරමින් සෝසාමුත්තු අපව ඉතා සුහඳව පිළිගත්තේය.

‘කොහොමද ජීවිතේ?’

අප කා හමුවුවත් නොවරදවා අසන ඒ නරුම ප්‍රශ්නයට අපේක්ෂිත ලෙස හැමදාම ලැබෙන ශෝකාලාපය වෙනුවට,

‘මම හොඳින් ඉන්නවා. මගේ කකුල් දෙකම නැති වුණත් මනස ස්ට්‍රෝං’

මගේ දමිළ මිතුරිය ඒ වාක්‍යය සිංහලට පරිවර්තනය කිරීමටත් පෙරාතුවම ඔහු කී දෙය මට වැටහුණි. ‘මෙහේ ඉන්න අනිත් ධීවරයොත් එක්ක මහ රෑ නැත්නම් පාන්දර මුහුදු යනවා. බෝට්ටුව ඇතුලේ නැගිටලා ඉන්න බැරි නිසා වාඩි වෙලා වැඩ කරනවා. වෙරළෙදි වාඩිවෙලා දැල් අදිනවා. උදේ මුහුදු ගියොත් හවස ගෙදර එනවා. හවස ගියොත් ඊළඟ දවසේ හවස එනවා. මුහුදු ගිහින් එනකල් අපේ ගෙවල්වල අය බයෙන් ඉන්නේ. ඒ මට කකුල් නැති නිසා නෙමෙයි. මුහුදු යන අයගේ ජීවිතේ ඔහොම තමයි.’

‘ඇත්තටම සෝසාමුත්තුගේ දෙපා අහිමි වුණේ කොහොමද?’

මේ රස්සාවේ ඇති දුෂ්කරම කාර්යය වන්නේ මිනිසුන්ගේ දුක්බර අතීතය ඇවිස්සීමට සිදුවීමයි. අපට තවදුරටත් සැක සංකා ඇති කරගැනීමට ඉඩ නොතබාම ඔහු අපේ කතාවට පිළිතුරු තැබුවේය.
‘මම ඉස්සර ත්‍රීවීල් එලෙව්වා. යුද්දේ කාලේ කකුලකට පතොරොමක් වැදුනා. ඒක හොඳ වුණා විතරයි. 2009දී ෂෙල් එකක් වැදිලා කකුල් දෙකම දණහිස උඩින් කපන්න වුණා. වම් අත තුවාල වුණා. ශෙල් එක වැදිලා මූණ ඇරෙන්න මුළු ඇඟම තුවාල වුණා.’

එතරම් දුක් කරදර වලට පත් වුණත් අද ඔහු යම් තරමකින් හෝ ගෙයක් දොරක් අටවාගෙන ජීවිතය ඉදිරියට ගෙන යයි.
‘කකුල් දෙකම නැති වුණත් මට ආත්ම ශක්තියක් තිබුණා මගේ පවුල බලාගන්න ඕනේ කියලා. මම කැමති නැහැ මගේ පවුල හිඟා කාලා හම්බ කරනවාට. ඒ නිසා කොච්චර අමාරුකම් තිබුණත් මම වැඩ කරනවා.’

‘නිවාඩු වෙලාවට මොනවද කරන්නේ?’
‘වැඩක් නැත්නම් සිංදුවක් දාගෙන නටනවා. විනෝදාංශයක් විදියට වගේම සල්ලි හොයන්නත් විදී නාට්‍ය, කුත්තු (දමිළ නාට්‍ය විශේෂයක්) කරනවා. පසුගිය දෙසැම්බර් 31 වැනිදා මුලතිව්වල කලා තරඟයකටත් සහභාගී වුණා.’

එක්වරම කතාව නැවැත්වූ ඔහු නිවස තුළට ගොස් ලී කැබිනට්ටුවක ලාච්චුවක් හැර ඉන් වෛවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී සිටි පින්තූර රාශියක් ඉවතට ගනු ලැබුවා. ඔහු දක්ෂතා ගොඩක්.
‘පසුගිය කාලේ හොඳ වැඩක් වුණා. දවසක් මම පාටියකට ගියා. එවෙලේ අපි නැටුම් තෙල් වලින් හොඳින් සප්පායම් වෙලා හිටියේ. එතන හිටි දෙපා අහිමි කෙනෙක් හිටිගමන් අනෙක් අයත් එක්ක නටන්න ගත්තා. එයා නැටුවේ තමන්ගේ කකුල් කොට, පටි වලින් ගැටගහගෙන. ඒක දැකලා ගොඩක් දෙනෙක් සමච්චලයට හිනා වුණා. ඒක බලන් ඉන්න බැරුව මම එතනින් ගිහින් මගේ කකුල් කොට වලින් හිටගෙන, මගේ විදියට නැටුවා. මගේ නැටුම එතන හිටි කෙනෙකේ රෙකෝඞ් කරලා මුහුණු පොතට දාලා තිබුණා. ඒක දැක්ක යාපනේ විශ්වවිiාලයේ ශිෂ්‍යයෙක් මං ගැන ‘මුන්නෙයි’ කියලා ෆිල්ම් එකක් කළා. මේ චිත්‍රපටය මුහුණු පොතේ සෑහෙන්න ශෙයා වුණා.ඒක දැකලා ඉන්දියාවේ කට්ටියක් මාව හොයාගෙන ආවා. ඊට පස්සේ ‘එල්ලෙයි’ කියලා ඉන්දියන් දෙමළ චිත්‍රපටයක මම රඟපෑවා. දැනට ෆිල්ම් තුනක් රඟපාලා තියනවා. මේ අවුරුද්දේ තවත් එකක් පටන් ගන්න තියනවා. උත්සාහයක් තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ.’

සුභසාධන රාජ්‍යය

උතුරේ බොහෝ දෙනකුගේ කතාව මෙබඳුය. යුද්ධයෙන් දශකයකට පසුවත් රජයෙන් යමක් ලැබෙන තුරු ඔවුන්ට කල් මැරිය නොහැක. එනිසා කොපමණ නොහැකියාවක් තිබුණත්, තමාගේ ගැලවීම තමා විසින්ම සොයාගත යුතු තත්ත්වයක ඔවුන් පසුවේ. පාසල් යන වයසේ දරුවන් දෙදෙනකු සිටින දෙපා අහිමි සෝසාමුත්තුට මසකට රජයෙන් ලැබෙන රුපියල් 3000 කොහොමත් ප්‍රමාණවත් නොවේ.
‘මම දැන් ඉන්න තත්ත්වය අනුව මෝටර් බෝට්ටුවක් නැත්නම් දැළක් තිබුණා නම් දෙවියනේ කියලා හොඳින් ජීවත් වෙන්න තිබුණා. බෝට්ටුවක් නැතත් ඒකට හයිකරන්න ඇන්ජිමක් ලැබුණොත් ඒකෙන් ගොඩක් ප්‍රශ්න විසඳගන්න පුළුවන්.’

සෝසාමුත්තුගේ කතාව තවදුරටත් ලිහා බැලුවොත් ඔහු මේ කියන්නේ සුබසාධන රාජ්‍යයේ අසාර්ථකත්වය ගැන නොවේද? මිනිසුන්ගේ කොඳු කඩා, අතට යමක් දෙන්නට හුරු කළ ඒ තුච්ච සුභසාධන රාජ්‍ය සංකල්පය නිසාම බිහිවූ පොරොන්දු දේශපාලනයෙන් කතිරගොඩ වැඩිකර ගැනීමට උත්සාහ කරන මජර දේශපාලනඥයින් නිසා අද මේ රට කොතරම් නම් අගාධයකට වැටී ඇත්ද?

ධ්‍රැවීකරණය

දකුණු ඉන්දියාවෙන් පැමිණ සෝසාමුත්තුව චිත්‍රපට නළුවකු කරන තුරු දකුණේ අප මේ ගැන හාංකවිසියක් නොදැන සිටියේ ඇයි? සෝසාමුත්තු කියන ලෙස සමාජ මාධ්‍ය හරහා ශෙයා වුණු විඩීයොවක් ඉන්දියාවේ අධ්‍යක්ෂකවරයකු දකින තුරු දකුණේ ශ්‍රී ලාංකිකයන් නොදුටුවේ ඇයි? ප්‍රශ්නයට පිළිතුර බොහොම සරල වන්නටත් පුළුවන්. ඔබේ මුහුණු පොතේ මිතුරු ලයිස්තුවේ උතුරේ කිසිවකු මිතුරන් ලෙස නැති තාක් උතුරේ මිනිසුන්ගේ නෑදෑයන් හා හිතමිතුරන් ලංකාවට වඩා ඉන්දියාවේ සිටින තාක් එය සිදුවීමට ඉතා ඉහළ සම්භාවිතාවක් ඇත.
‘1980 ගණන් වල ටීවි එකේ ගිය දෙමළ නාට්‍ය වලට වඩා අපි සිංහල නාට්‍ය බැලුවා.’

ඒ මගේ මිතුරියගේ මව වන සෙල්වි මට එසේ පැවසුවේ දෙමළ බස නොදත් නිසා ඔවුන් නිතරම ඉන්දියන් චැනල්වල විකාශය වන රියැලිටි වැඩසටහන් හා දමිළ නාට්‍ය මට තෙරුම් ගැනීමට නොහැකි වීමෙන් උපන් අනුකම්පාවෙනි. උතුරේ බොහෝ දමිළ නිවෙස්වල මෙන්ම දකුණේ සිංහල අපගේ තත්ත්වයත් ඊට වෙනස් නොවේ. මේ නිසාම සෝසාමුත්තුලාගේ කතා අපේ හිත්තුලම සඟවා ගන්නවා හැර විකල්ප බොහෝ දුරස් වී ඇත.