ඡන්ද අහිමි කර ප්‍රජාතන්ත්‍රවාදය රැකීම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

පළාත් සභා ඡන්ද පැවැත්විය යුතු බවට යළිත් බරපතළ කතාබහක් මතුව තිබෙනවා පමණක් නොව, ශ්‍රීලනිපය ඒ පිළිබඳ සිය ස්ථාවරය වෙනස් කර ගැනීමද ඊට සුවිශාල උත්තේජනයක් සපයා ඇතැයි සිතිය හැක. ශ්‍රීලනිපය මීට පෙර දැරූ ස්ථාවරය වූයේ පළාත් සභා ඡන්දද පුංචි ඡන්දයේදී අනුගමනය කළා සේ සමානුපාතික සහ කොට්ඨාස ක්‍රම එක්වූ මිශ්‍ර ක්‍රමයකට පැවැත්විය යුතු බවය. ඔවුන් බරපතළ ලෙස පෙනී සිටි එම ස්ථාවරයට හේතුවූයේද පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් මිශ්‍ර ක්‍රමයකට පළාත් සභා ඡන්ද පැවැත්වීමේ නව පනතක් සම්මත කරගෙන තිබීම වුවත් ශ්‍රීලනිපය වෙනම ඡන්දයකට ඉදිරිපත්වීමෙන් යළිත් වරක් ලැබීමට නියමිතව තිබූ අන්ත පරාජය අනුමාන කර, ඡන්ද කල්දමා ගැනීමේ අරමුණද ඊට හේතුවූවා විය හැකිය.

නව පනත

කෙසේ වුවත් එවැනි නව පනතක් සම්මත කරගනිමින් පළාත් සභා ඡන්ද පැවැත්වීම පිළිබඳ පාර්ලිමේන්තුව නව නීතියක් ගෙන ආවද, එම පනත බලාත්මකවීමට අවශ්‍යයෙන්ම තිබිය යුතු, පළාත් සභා සීමානිර්ණය කොමිෂන් සභා වාර්තාව, එම පාර්ලිමේන්තුව විසින්ම පරාජයට පත් කරනු ලැබීය. පසුව කතානායකවරයා, සීමා නිර්ණය සමාලෝචනය උදෙසා කමිටුවක් පත් කළද එමගින් කිසිදු සමාලෝචනයක් සිදු නොවුණා පමණක් නොව, කමිටුව මාස දෙකක නිල කාලයද නිකරුණේ ගෙවා දැමීය.

පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කරගැනීමේදී ආණ්ඩුව ක්‍රියා කළේද ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට වන අතර, පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනයක් ලෙස පනත් කෙටුම්පතට විශාල කොටසක් අලුතින් ඇතුළත් කළේය. සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම ඇතුළු 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම උදෙසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජනමතවිචාරණයකින් ජනතා අනුමැතිය ලබාගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කිරීමත් සමග, 20 වන සංශෝධනය අත්හළ ආණ්ඩුවට, ඒ වෙනුවට පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත සම්මත කිරීමට තිබූ හදිසිය විසින්, එසේ කාරක සභා අවස්ථාවේ විශාල කොටසක් අලුතින් එක් කරනු ලැබීම, නීතියේ ආධිපත්‍යයටද කළ බලපෑමක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රීලනිපයේ චරිතය එජාපයට

කෙසේ වෙතත් සීමා නිර්ණය කමිටු වාර්තාව පරාජය කරන අවධියේ එජාපය වෙනස් මතයක් සමාජගත කිරීමට උත්සාහ දරමින් සිටියේය. සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රීලනිපයේ, මිශ්‍ර ක්‍රමයේ ස්ථාවරයට වෙනස්ව ඔවුන් කියමින් සිටියේ, පැරණි සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්ද පැවැත්වීම මේ අවස්ථාවේ වඩාත් උචිත තීරණය බවය. ඒ වනවිට 25%ක කාන්තා නියෝජනයක්ද එක්කර ගනිමින් මිශ්‍ර ක්‍රමයට ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඡන්දය (පුංචි ඡන්දය) පවත්වා තිබූ අතර එහි ප්‍රතිඵල නිකුත්වීමත් සමග එය අවුල් ජාලයක් බවට පත්වී තිබුණි. විශේෂඥයන් සකස් කර දුන් ක්‍රමය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගන්නට පාර්ලිමේන්තුවේ ඇතැම් පක්ෂ මෙන්ම ඇතැම් දේශපාලකයන් ක්‍රියා කිරීම ඊට හේතුව ලෙස සැලකිය හැකිය.

එවැනි අවුල් ජාලයක් පළාත් සභා නව මිශ්‍ර ඡන්ද ක්‍රමය හරහාද ඉස්මතු වනු ඇතැයි බොහෝ දෙනා සැක කළා පමණක් නොව, එම සැකය නව ඡන්ද ක්‍රමය හමස් පෙට්ටියට දැමීමේ උත්සාහයට ඉතා හොඳ ආයුධයක්ද වූයේය. වැදගත් වන්නේ පළාත් පාලන ඡන්දයේදී මතුවූ මූලික දෝෂ නිවැරදි කිරීම, කඩිනමින් කළ නොහැකි කාර්යයක් නොවන බව පෙනී ගොස් තිබියදීත් එය නොසලකා හැරීමය. පළාත් පාලන ඡන්දයේදී මතුවූ දෝෂ සහ සීමා නිර්ණය, අවතාර ලෙස පෙන්වා පළාත් සභා ඡන්ද කල්දැමීම සිදුකළේ නම්, එය වෙනස් කළ හැකි තීරණයක් වූයේ එජාපයද ඉල්ලා සිටි පරිදි නව පනත නොසලකා හැර පැරණි සමානුපාතික ක්‍රමයටම ඡන්දය පැවැත්වීමේ මාවත තෝරා ගැනීමය.

අවසානයේ ශ්‍රීලනිපය මිශ්‍ර ක්‍රමයේ දැඩි ස්ථාවරය වෙනස් කරමින් පැරණි සමානුපාතික ක්‍රමයට කැමැත්ත පළකර ඇති අතර එහි දේශපාලන අරමුණ කුමක් වුවත් එය ඡන්ද පැවැත්වීම ප්‍රායෝගිකව ඉටුකරවා ගැනීමේ ක්‍රියාදාමයට පිවිසීමක් ලෙස සැලකිය හැකිය. ශ්‍රීලනිපය මෙම වටපිටාවේ සිය ස්ථාවරය වෙනස් කර ගන්නේ කුමන ඡන්ද ක්‍රමයක් යටතේ හෝ එජාපය පරාජය කිරීමේ මාවතක් ඔවුන් හමුවේ විවර වී ඇතැයි අනුමාන කිරීම බව අපැහැදිලි නැත. තනිවම ඡන්දයට ඉදිරිපත් වී, මැතිවරණ දේශපාලනයේ කාණුවට තල්ලුවීමේ අවදානම තවදුරටත් භාරගැනීම වෙනුවට වඩාත් උචිත වන්නේ ඡන්ද කල් දැමීමේ හේතු සෙවීම බව තීරණය කර තිබූ ශ්‍රීලනිපය, දැන් සමානුපාතික පැරණි මාවත තෝරාගෙන ඇත්තේ පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) සමග වන ශක්තිමත් පෙරමුණක් හරහා එජාපය පරාජය කිරීමේ දේශපාලන අරමුණින් වීමේ ඉඩකඩ වැඩිය.

එජාපයේ බය

එහෙත් දැන් මතුව තිබෙන වෙනස් දේශපාලන තත්ත්වය හමුවේ එජාපයට කුමන හෝ ඡන්දයකට ක්ෂණිකව ඉදිරිපත්වීමේ ආත්ම ශක්තියක් ඇතැයි සිතිය නොහැක. විශේෂයෙන් පළාත් සභාවල සියලු බලය ජනාධිපතිවරයා සතුව තිබෙන පසුබිමක මෛත්‍රී, මහින්ද කඳවුරු එක් හවුලකට එනවා යැයි උපකල්පනය කළහොත් එය කුමන ඡන්ද ක්‍රමයකින් හෝ පරාජය කිරීම පහසු කාර්යයක් නොවන බව ඔවුන්ගේ මැනීම වීමේ ඉඩකඩද වැඩිය. ඒ අනුව විශ්වාස කළ හැක්කේ පැරණි සමානුපාතික ක්‍රමයට හෝ, පළාත් සභා ඡන්ද වහා නොපැවැත්වීමේ ප්‍රතිපත්තියකට මාරුවනවා හැර එජාපයට වෙනත් මාවතක් විවර වී නොමැති බවය. පළාත් නවයේම ඡන්ද එකවර පැවැත්වීම හෝ 25%ක කාන්තා නියෝජනය ආලින්දයට කැඳවීම සැබෑ වුවමනාවක් යැයි විශ්වාස කළ නොහැකිය.

වහා ජනාධිපතිවරණයක් කැඳවන ලෙස ඉල්ලීම එජාපයේ ප්‍රධාන ඡන්ද සටන් පාඨය වී ඇති අතර එවැන්නක් ඕනෑම අවස්ථාවක කැඳවීමේ නීත්‍යනුකූල හැකියාවද ජනවාරි 9න් පසු ජනාධිපතිවරයාට ඇත්තේය. එහෙත් එහිදී සිරිසේන ජනාධිපතිවරයා, ජනපති අපේක්ෂකයකු වීමේ කොන්දේසිය ඉටුවිය යුතු අතර ශ්‍රීලනිපය සහ පොදු ජන පෙරමුණ සන්ධානගත වුවහොත් එම සන්ධානයේ අපේක්ෂකයා, මෛත්‍රීපාල සිරිසේන වීමේ සම්භාවිතාවද ඉතා අවමය. මේ වනවිට ශ්‍රීලනිපය සහ පොජපෙ අතර ඒ පිළිබඳ විවාදාත්මක තත්ත්වයක් උද්ගතව ඇතිවාක් මෙන්ම තමන් ජනාධිපතිවරණයට සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ මෙන්ම චමල් රාජපක්ෂද ප්‍රකාශ කිරීම තුළ එය සැඟවිය නොහැකි අභ්‍යන්තර මත ගැටුමක් බවට පත්ව ඇතැයි අනුමාන කළ හැකිය. එජාපයද පළමුව ජනාධිපතිවරණයක් ඉල්ලා සිටින්නේ තමන්ට, ජයගත හැකි නිශ්චිත අශ්වයකු සිටින නිසා හෝ ජයග්‍රහණය කිරීමේ නිශ්චිත විශ්වාසයක් පවතින නිසා යැයි සිතිය නොහැකි අතර, දේශපාලන වශයෙන් සිරිසේන ජනාධිපතිවරයා සහ රාජපක්ෂ විපක්ෂ නායකවරයා අර්බුදයට යැවීමේ උපක්‍රමයක් ලෙස බව අපැහැදිලි නැත. පළාත් සභා ඡන්දවල ඡන්දය භාවිත කිරීමේදී ජනතාව හැසිරෙන ආකාරයට වඩා ජනාධිපතිවරණයකදී ඡන්දය භාවිත කිරීමේදී ජනතාව හැසිරෙන ආකාරයේ වෙනසක් ඇතත්, නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පවත්වනු ඇතැයි එජාපයද විශ්වාස කරන්නේ යැයි සිතිය නොහැකිය.

ඡන්ද කොමිසම හා අධිකරණය

ඡන්දය ජනතාවගේ අනුලංඝනීය අයිතියක් වනවා සේ ම රටක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ප්‍රධාන මිනුමක්ද වන්නේය. පළාත් පාලන ඡන්දය (පුංචි ඡන්දය) පැවැත්වීම, වසරක පමණ කාලයක් කල් දැමූ ආණ්ඩුව, පළාත් සභා ඡන්දවලදීද අවතීර්ණ වී සිටින්නේ එම ක්‍රියාදාමයටමය. සබරගමුව, උතුරු – මැද, නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන් වී වසරකට වැඩි කාලයක් ගතවී ඇති අතර මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල නිල කාලය අවසන් වී මාස තුනකට ආසන්න කාලයක් ගතවී තිබේ. දකුණ සහ බස්නාහිර පළාත් සභාවල නිල කාලය 2019 අප්‍රේල් මාසයේදී අවසන් වන්නේය. ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වන්නේ 2019 සැප්තැම්බර් මාසයේය. ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා, නොතැබිය යුතු කාලයක් නිලධාරී පාලනය යටතේ තැබුවා සේ ම, දැනටමත් පළාත් සභා 6ක්ද නිලධාරී පාලනය යටතේ තබා තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එක්තරා අවස්ථාවක ප්‍රකාශ කර තිබුණේ නිලධාරී පාලනය යනු ඒකාධිපති පාලනයේ බාල නිවුන් සොහොයුරා බවය. සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර, මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල්, එය ව්‍යවස්ථාවට පටහැනි, නීති විරෝධී ක්‍රියාවන් බව පවසා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කළේය.

පොජපෙ සභාපති ජී.එල්. පීරිස් මහාචාර්යවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ පළාත් සභා ඡන්ද ඉල්ලා තම පක්ෂය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන බවය. එහෙත් ජී.එල්. පීරිස් අධිකරණයට යාමට පෙර ස්වාධීන මැතිවරණ කොමිසම ලෙස හෝ එහි සාමාජිකයන් ලෙස, කවුරුන් හෝ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගන්නා විට ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ යුතුව තිබිණි. එහෙත් එවැන්නක් සිදු නොවුණා පමණක් නොව, ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ සැලකිය යුතු මැදිහත්වීමක්ද සිදු කළේ නැත. මැතිවරණ කොමිසම මෙම අප්‍රසන්න ක්‍රියාදාමයේදී සැලකිය යුතු නිෂ්ක්‍රීය ප්‍රතිපත්තියක් අනුගමනය කළා සේ ම ‘ප්‍රජාතන්ත්‍රවාදය’ උදෙසා තීරණාත්මකව සටන් කරන්නේ යැයි පෙනුණු වෙනත් පක්ෂ හෝ සංවිධාන හෝ පුද්ගලයන්ද එම නිහඬතාව තීරණාත්මකව බිඳ හෙළන මාවතකට අවතීර්ණ වූයේද නැත.

ඡන්ද නැති ප්‍රජාතන්ත්‍රවාදය

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඉහළම කාර්යභාරය ඉටු කරනු ලබන්නේ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම්ය. ඒවා නියමිත කාලයට පැවැත්වීම ජනතා පරමාධිපත්‍යයට නිසි ගෞරවය ලබා දෙන්නක් වන්නා සේ ම ජනතා පරමාධිපත්‍යයය අභියෝගයට ලක්වන්නේ යැයි පෙනී යන්නේ නම් නියමිත කාලයට පෙර හෝ නීතියට අනුකූලව ඡන්ද විමසීම් කැඳවීම අවශ්‍යයෙන්ම කළ යුත්තේය. එසේ නොවන්නේ නම් එය සැලකිය හැක්කේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය එළිපිට කෙළෙසීමක් ලෙසය.

එහෙත් අඛණ්ඩව සිදුවෙමින් පවතින්නේ සිරිසේන ජනාධිපතිවරයා සහ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තම අනාගත දේශපාලන සුබ සිද්ධිය උදෙසා මාරුවෙන් මාරුවට, රටක ජනතාවගේ පරමාධිපත්‍යය අංගවිකල කරමින් සිටීම බව අපැහැදිලි නැත. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අත්‍යවශ්‍ය කාරණාවක් වන්නා වූ ජනතාවගේ ඡන්ද අයිතිය නොසලකා හැරීම, ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසීමක් නොවන්නේ යැයි සිතෙන තරමට අනෙකුත් පක්ෂ, සමාජ සංවිධාන සහ පුද්ගලයන්ද එය නොසලකා හරින්නේ නම් එහි ප්‍රතිඵලය විනාශකාරීවීම නොවැළැක්විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය යනු තම බලය උදුරා ගන්නා අවස්ථාවේදී පමණක්, නැතහොත් තමන් කැමති පාලකයන්ගේ බලය ගිලිහෙන අවස්ථාවේදී පමණක්, සටන් කොට දිනාගත යුත්තක් යැයි සලකන්නේ නම් එය අප්‍රසන්න මාවතක් වනවා පමණක් නොව, ඉතිරිව ඇතැයි සිතිය හැකි ජනතා විශ්වාසයද බිමට සමතලා කිරීමක්ද වන්නේය.