මාධ්‍ය ව්‍යාධියට සියුම් හා කඩිනම් ප්‍රතිකාර ඕනෑ!

නාලක ගුණවර්ධන

ravaya@nalaka.org

හොඳ අර්බුදයක් කවදාවත් අපතේ යවන්න එපා කියනවා (Never let a good crisis go waste) ඒ කියන්නේ ඕනැම දුෂ්කර අත්දැකීමකින් වැදගත් පාඩම් උගත හැකි බවයි!
2018 දේශපාලන අර්බුදය දිග හැරුණු දින 51 හරියට ප්‍රිස්මයක් වගේ. අපි දන්නවා ප්‍රිස්මයක් කරන්නේ හිරු එළිය සැදී තිබෙන වර්ණ 7 බෙදා වෙන් කර පෙන්වීම.
දේශපාලන අර්බුදයත් අපිට පෙන්වා දුන්නේ අපේ සමාජයේ උඩු දුවපු මහා ප්‍රශ්න කොපමණක් මේ මොහොතේ සංකලනය වී තිබේද කියායි.
ඒ සංකීර්ණ සහ කුරුවල් වී තිබෙන සමාජයේ එක වැදගත් පැතිකඩක් තමයි අයාලේ යන, අතිශය පක්‍ෂග්‍රාහී වන, ආචාරධර්ම කඩන, ඇතැම් විට රටටම ගිනි තියන්නට හදන අපේ මාධ්‍ය!
මාධ්‍යවලට දොස් කියන්න ලෙහෙසියි. එසේම අපේ මාධ්‍යවල පෙන්වා දිය හැකි දොස් බහුලයි – බරපතළයි. මේ දිනවල එය නොයෙක් පසින් ඇසෙනවා. එලෙස දොස් කීමට අතිශය සාධාරණ හේතු ද තිබෙනවා.
එහෙත් අද ඇසෙන චෝදනාවලින් බොහෝ දුරට හුවා දක්වන්නේ මාධ්‍යවල ‘රෝග ලක්ෂණ’ පමණයි. අපි මාධ්‍යවල වැඩ කළත්, මාධ්‍ය ගැන පර්යේෂණ කළත්, මාධ්‍ය ග්‍රාහකයෝ වුණත්, මාධ්‍යවල මේ රෝග ලක්ෂණ තිබෙන බව නම් පිළිගන්නට සිද්ධ වෙනවා.
රෝග ලක්ෂණ ලයිස්තු ගත කිරීමෙන් ඔබ්බට යන රෝග විනිශ්චයක් කළ හැකිද?

එසේ රෝගය හඳුනා ගත් පසු සීරුවෙන් ප්‍රතිකර්ම කරන්නේ කෙසේද?

මාධ්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ජාතික ලේකම් කාර්යාලය හෙවත් NSMR විසින් සංවිධානය කරන ලද දේශපාලන අර්බුද සමයේ මෙරට මාධ්‍යවල භූමිකාව පිළිබඳ විවෘත සංවාදය අරඹමින් මා මෙම මූලික විග්‍රහය ඉදිරිපත් කළා.

මේ සංවාදය පැවැත්වුණේ 2019 ජනවාරි 22දා කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ශ්‍රවණාගාරයෙදී.
එම තීරණාත්මක දින 51 තුළ සියලුම රාජ්‍ය මාධ්‍යත්, බහුතරයක් පෞද්ගලික මාධ්‍යත් එළිපිටම එක් පසෙකට පක්‍ෂග්‍රාහී වූ සැටිත්, එම නිසා මහජනයාට එම සංකීර්ණ නීතිමය සහ දේශපාලන අර්බුදයේ සියලු පැතිකඩ ගැන මැදහත්ව තොරතුරු හා විග්‍රහයන් ලබා දීමට අපේ මහා මාධ්‍ය අසමත් වූ සැටිත් එම වකවානුවේ ලියූ ලිපිවලින් මා විස්තරාත්මකව පෙන්වා දුන්නා.
අපේ මාධ්‍ය ලෙඩ වී ඇති බව නම් පැහැදිලියි. මේ නිසා මගේ කතාවේදී මා රෝගියකුගේ උපමිතිය යොදා ගනිමින් කුමක් කළ හැකිද කළ යුතුද යන්න ගැන මෙනෙහි කළා. බරපතළ ලෙස ලෙඩ වී සිටින රෝගියකුට ප්‍රතිකාර කරන්නට යාමේදී තේරීම් (options) තුනක් මා දකිනවා.

 

පළමුවැන්න: රෝගියාම තමන්ට තේරෙන හැටියට ස්වයං ප්‍රතිකාර කර ගන්නවද?
කලක් තිස්සේ අපේ මාධ්‍ය කියන්නෙත් මේකයි: අපේ ලෙඩට අපිම ප්‍රතිකාර කර ගන්නම් කියා. ඒත් සුවයක් පේන්න නැහැ – ඒ වෙනුවට මාධ්‍ය ලෙඩා දැන් සමාජයම ලෙඩ කරමින් සිටිනවා.
දෙවැන්න: ආණ්ඩුවට මැදිහත් වෙලා බෙහෙත් කරන්න කියනවද?

මෙය ටිකක් භයානක වැඩක්. ආණ්ඩු තනි මතයට දෙන ප්‍රතිකාර සැර වැඩි වෙන්න පුලුවන්. ලෙඩා මැරෙන්න වුණත් අවදානමක් තියෙනවා.
මේ දෙකට අමතරව තුන්වැනි තේරීමක් ද තිබෙනවා: එනම් මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍යවේදීන්, මාධ්‍ය පර්යේෂකයන්, මාධ්‍ය ගුරුවරුන් වැනි සියලු පාර්ශ්වයන් හවුල් කර ගෙන හොඳම ප්‍රතිකාරය දීමට තැත් කිරීම. මෙයයි අප හමුවේ දැන් තිබෙන අභියෝගය.

බරපතළ ව්‍යාධියක් වැලඳී සිටින රෝගියකුට ප්‍රතිකාර කිරීම දුෂ්කර වූත්, කල් ගත වන්නා වූත්, බෙහෙවින් ඉවසිල්ල අවශ්‍ය වන්නා වූත් කාරියක්. දරුණු ලෙඩකින් යමකු පෙළෙන විට ගොඩ වෙද්දු, හොර වෙද්දු වගේම ගුප්ත තොවිල් කාරයෝ පවා පිළියම් දෙන්නට යයි කියමින් පැමිණිය හැකියි. එහෙත් ලෙඩාට සමීප හා ලෙඩාට ළෙන්ගතු උදවිය කුමක් කරන්නේද යන්න සීරුවෙන් තෝරා ගත යුතුයි.
අද ‘මාධ්‍ය ව්‍යාධියට’ සමහරුන් යෝජනා කරන සමහර ‘ප්‍රතිකර්ම’ බොහොම දරුණුයි. මේවා අහන කොට මට සිහිපත් වන්නේ ‘ලෙඩා මැරුණත් බඩ සුද්ධයි’ කියන පිරුළයි.

■ සමහරෙක් කියන්නේ ධනවාදී ආර්ථිකය පවතින තාක් මෙසේ අයාලේ යන මාධ්‍ය පැවතීම සිදු වන බවයි. ඔවුන්ගේ නිර්දේශය: ධනවාදය හමාර කොට සමාජවාදයට යොමු වීම. න්‍යායාත්මකව ආකර්ශනීය වුණාට එය කෙතරම් ප්‍රායෝගික ද යන්න දැඩි ලෙස විවාද කළ යුතුයි.

■ තවත් සමහරුන් කියන්නේ පෞද්ගලික මාධ්‍ය කිසිවක් නැති, රාජ්‍ය මාධ්‍ය පමණක් පැවති යුගයට ආපසු යා යුතුය කියායි. එයින් වක්‍රව කියන්නේ රටේ බහුතරයක් මාධ්‍ය හසුරුවන පෞද්ගලික සමාගම් ජනසතු කරන්නට කියාද?

විiුත් මාධ්‍ය තනිකර රාජ්‍ය ඒකාධිකාරයක් ලෙස පැවති, 1992ට පෙර කාලයේ හැදුණු වැඩුණු මට ඒ නීරස, ඒකාකාරී හා අධිපතිවාදී මාධ්‍ය යුගයට ආයෙත් යන්න කිසිම උවමනාවක් නැහැ. ඒ කාලය අනවශ්‍ය ලෙස රොමෑන්ටික් කරන්න එපා! (ආණ්ඩුව කිසිම මාධ්‍යයක් හිමි කර ගෙන නොසිටිය යුතු බව මගේ ස්ථාවරයයි.)
අපට අවශ්‍ය වන්නේ බිහිසුණු හෝ අභව්‍ය විසඳුම් නොවෙයි. මාධ්‍යවලට සමීප, මාධ්‍ය ගැන ළෙන්ගතුකමක් ඇති කෙනකු සැටියට මේ කිසිවකට මා එකඟ වන්නේ නෑ. එසේම කෙළවරක් නැතුව මාධ්‍යවලට දොස් තැබීමෙන් ප්‍රයෝජනයක් වෙතැයි මා සිතන්නේ ද නෑ.

මා යළි යළිත් පෙන්වා දී ඇති පරිදි ප්‍රශ්නය හුදෙක් මාධ්‍ය හිමිකරුවන්ට සහ ප්‍රාග්ධනයට පමණක් සීමා වෙන්නේ නැහැ.
පරිණත ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති බොහෝ රටවලත් ‘මාධ්‍ය මුදලාලිලා’ සිටිනවා. හැබැයි ඒ රටවල මාධ්‍යවේදීන් හිමිකරුවන් සමග ප්‍රතිපත්තිගරුකව ගනුදෙනු කරනවා. කර්තෘ මණ්ඩල නිදහසට හිමිකරුවන් මෙන්ම මාධ්‍යවේදීන් ද ඉහළින් ගරු කරනවා. මේ සහසම්බන්ධතාව මනාව සිදු වන බවට වග කියන, නීතියෙන් සම්පාදිත මාධ්‍ය නියාමන රාමුවකුත් තිබෙනවා.
මේ බව සිහියේ තබා ගනිමින් මා කීවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණය කරන විට අපේ මතවාදී න්‍යායපත්‍ර නොව මාධ්‍ය කර්මාන්තයට සහ සමාජයට වඩාත්ම හිතකර වූත්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි වූත් විසඳුම් සොයා ගෙන යා යුතු බවයි.

රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති හා විiුත් මාධ්‍ය සංසදයේ උපදේශක රවි ජයවර්ධන සංවාදයට එක්වෙමින් කීවේ මෑතක් වන තුරු මාධ්‍ය ගැන සමාජ විවේචන එතරම් පුළුල්ව නොතිබුණත් එය දැඩි සංවාදයට ලක් වීමට දේශපාලන අර්බුදයත් හේතු වී ඇති බවයි.

“අපේ මාධ්‍යවල ස්වයං විවේචන ඉතා අඩුයි. සමාජය අනෙක් සියලු තන්ත්‍රයන් විවේචනය කරන මාධ්‍ය තමන්ගේ ප්‍රජාතන්ත්‍රීය කාර්යභාරය ගැන සොයා බලන්නේ නැති තරම්. දැන් මහජනයා සමාජ මාධ්‍ය හරහා අපේ මාධ්‍ය කලාව හා සංස්කෘතිය ගැන හොඳ විවේචනයන් කරනවා. මාධ්‍ය කර්මාන්තය මේ විවේචනවලට සංවේදී විය යුතුයි.”
ඔහු තව දුරටත් කීවේ: “පුවත්පත්වලට නැති විශේෂ වගකීමක් රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍යවලට තිබෙනවා. පොදු දේපලක් වන විiුත් සංඛ්‍යාත භාවිත කිරීම නිසා පොදු උන්නතිය වෙනුවෙන් පෙනී සිටීමෙන් වගකීමෙන් අපට මිදෙන්න බෑ. අපට අත තියන්න එපා වැනි කතා කියන්නත් බෑ.”

රවි ජයවර්ධන ඉතා වැදගත් නිරීක්ෂණයක් කළා: “අද අපේ මාධ්‍ය ග්‍රාහකයන් ලෙහෙසියෙන් රවටන්නට බැහැ. මිලියන් ගණනක් ජනයා ස්මාට්ෆෝන් හරහා ඉන්ටර්නෙට් ගත වීමෙන් ලක් සමාජයේ තොරතුරු ගලා යාම පිළිබඳ ලොකු වෙනසක් සිදුව තිබෙනවා. දේශපාලන අර්බුදයේ දින 51 තුළ මහා මාධ්‍ය සියල්ලම පාහේ එක තැන සිටියත්, ඔවුන් පෙනී සිටි දේශපාලන අරමුණ සාර්ථක වුණේ නැහැ. 2015 ජනාධිපතිවරණයට පෙර මහා මාධ්‍ය සියල්ලම පාහේ එවක පැවති රජයට පක්ෂපාතව මාධ්‍ය හැසිර වුවද, ජය ගත්තේ මාධ්‍ය චියර් කළ අපේක්ෂකයා නොව විපක්ෂයේ පොදු අපේක්ෂකයායි!”
දෙස් විදෙස් මාධ්‍ය ආයතන ගණනාවක දශක හතරකට වඩා අත්දැකීම් ඇති, Daily News පත්‍රයේ හිටපු කතුවර අර්ජුන රණවන කීවේ තමා මෙරට වැඩ කළ හැම නිවුස්රූම් එකකදීම හිමිකරුවාගේ සහ කළමනාකාරිත්වයෙන් එන විවිධ බලපෑම්වලට ඔරොත්තු දීමේ ප්‍රතිරෝධය ගොඩ නගා ගත් බවයි.

“හිමිකරුවන් සමග ගරු ගාම්භීරව ගනුදෙනු කරන කලාවක් තිබෙනවා. මේ රටේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය දෙකේම අමාරුවෙන් නමුත් එය කළ හැකි ක්‍රම තිබෙනවා.”
යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය විචාරක විජයානන්ද ජයවීර යෝජනා කළේ අධ්‍යාපනය හා සෞඛ්‍යය යන ජාතික ප්‍රමුඛතාවල මට්ටමට ජනමාධ්‍ය ද ඔසවා තැබිය යුතු බවයි.
“විධිමත් අධ්‍යාපනයෙන් නික්ම යන පුරවැසියන්ට ජීවිත කාලයක් පුරා රට ලෝකය ගැන දැනුම හා අවබෝධය ලබා දීම මාධ්‍යවල වගකීම හා කාර්යභාරයයි. මේ නිසා මහජන සේවා මාධ්‍ය ව්‍යුහයක් ගොඩනගා ගෙන, එයට මුදල් යම් ප්‍රමාණයක් වාර්ෂිකව රජය විසින් වෙන් කිරීම සාධාරණයි. එසේම එවැනි මාධ්‍ය නඩත්තුව සඳහා ජපානය, බි්‍රතාන්‍යය හා වෙනත් රටවල හැම ගෘහස්ථයක්ම ගෙවිය යුතු බලපත්‍ර ගාස්තුවක් ද තිබෙනවා.” ඔහු ප්‍රකාශ කළා.

ටෙලිවිෂන් විකාශවල සමස්ත ගුවන් කාලය සලකා බලන විට ප්‍රවෘත්තිමය අන්තර්ගතය (journalistic content) සාපේක්ෂව අඩු වුවත්, ටෙලිවිෂන් මාධ්‍යය ප්‍රබල නිසා ජනමතයට එයින් ඇති කරන බලපෑම ඉතා ඉහළ බව ජයවීර පෙන්වා දුන්නා. ටෙලිවිෂන් ප්‍රවෘත්ති විකාශයන්ට අමතරව දේශපාලන සංවාද සහ පුවත්පත් සිරස්තල කියවීම වැනි වැඩසටහන් හරහා මේ බලපෑම් සිදුවිය හැකියි.
“පොදු දේපලක් වන තරංග යොදා ගන්නා විiුත් මාධ්‍යවලට නිවැරදිව හා සමබරව මහජනයාට තොරතුරු ලබාදීමේ විශේෂ වගකීමක් තිබෙනවා. මෙය ලොව පුරා පිළි ගන්නා මූලධර්මයක්. මෙය හරිහැටි ඉටුවේද යන්න විමර්ශනයට සහ තහවුරු කිරීමට ස්වාධීන නියාමන යාන්ත්‍රනද බොහෝ රටවල ක්‍රියාත්මක වනවා. අපේ රටේ එබන්දක් බිහි කර ගැනීමට සාකච්ඡා කළත්, විද්වත් වාර්තා සම්පාදනය වුණත්, තවමත් එබන්දක් නීතිගත කර ගැනීමට නොහැකිව තිබෙනවා,” ඔහු තව දුරටත් ප්‍රකාශ කළා.

ජයවර්ධන සහ ජයවීර යන දෙපළම අවධාරණය කළේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ යටතේ මුල් පියවරක් ලෙස රාජ්‍ය මාධ්‍ය ස්වාධීන අධිකාරියකින් පාලනය කිරීමට යොමු කළ හැකි නම් ඉතා හොඳ බවයි.
“පෞද්ගලික මාධ්‍යවලට ප්‍රතිචාර දක්වන්නට ආණ්ඩුවටත් මාධ්‍ය තිබිය යුතුයැයි කියන තර්කය තවදුරටත් වලංගු නෑ. අද සමාජය ඊට වඩා වෙනස්,” යයි ජයවර්ධන තර්ක කළා.
මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවය නොමැති වීම, මෙම වෘත්තියට පිවිසීමට අවම මූලික සුදුසුකම් නිර්ණය කර නොතිබීම, රාජ්‍ය මාධ්‍ය ආයතනවල දේශපාලනීකරණය වූ වෘත්තීය සමිති පරිපාලකයන්ට දැඩි බලපෑම් කරමින් කර්තෘ මණ්ඩල නිදහසට බාධා කිරීම මෙන්ම පෞද්ගලික මාධ්‍ය ආයතන වල කිසිදු වෘත්තීය සමිති අයිතිවාසිකමක් නොතිබීම වැනි තවත් ගැටලු ගණනාවක් සංවාදයට ලක් වුණා.
අවසාන වශයෙන් මා කීවේ අප බනින්නේ මාධ්‍ය විනාශ කර දමන්න නොව මාධ්‍ය හදා ගන්න බවයි. “මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ බැනලා හරි, විවේචන එල්ල කරලා හරි, අපි බැනුම් අහල හරි, අපේ මාධ්‍ය යළිත් නිසි මගට ගන්නට තවමත් ප්‍රමාද නෑ කියලයි.”

‘මාධ්‍ය රෝගියා’ බොහොම හිතුවක්කාරයි. පණ්ඩිතයි! ඒත් ස්වයං ප්‍රතිකාර කර ගන්නට බැරිබව දැන් නම් පැහැදිලියි. අපි ලෙඩාව නොමරා, ලෙඬේ හොඳ කරන්න උත්සාහ කරමින් සිටිමු.