යහපාලනයේ දූෂණ සෙවීම

වික්ටර් අයිවන්

යහපාලන ආණ්ඩුවේ ආරම්භක කාලයේදී ආණ්ඩුව වෙත පැවරී තිබෙන වැදගත්ම වගකීම කොට සලකන ලද්දේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ සිදුවූ දූෂණ හා භීෂණ ගැන සෙවීමය. ජනාධිපති හා අගමැති අතර පැවති දේශපාලන දීගය අවසන්වීමෙන් පසු ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ දූෂණ ගැන සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කර තිබේ.

මහා පරිමාණයෙන් රාජ්‍ය මට්ටමෙන් කෙරෙන දූෂණය ආරම්භ වූයේ මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී නොව, එජාපය ආණ්ඩුවක් පැවති 1977දීය. ඉන්පසු මහා පරිමාණයේ දූෂණය රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්වූ අතර මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී දූෂණය උපරිම තත්ත්වයකට වර්ධනය වී යැයි කිව හැකිය. මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවැනි අදියරයේදී දූෂණය ප්‍රසිද්ධියේ කෙරෙන දෙයක් බවට පත්වූ අතර යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව නැවත දූෂණය හොර රහසේ කෙරෙන දෙයක් බවට පත්වී යැයි කිව හැකිය. එම විෂයේදී එම පාලනයන් දෙක අතර දැකිය හැකි එකම වෙනස ලෙසද සැලකිය හැකිය.

වස්තු කොල්ලය 1977 සිට අද දක්වා ලංකාවේ රාජ්‍ය පාලනයේ දක්නට තිබෙන නිත්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. 1977 සිට මේ දක්වා ගතවී තිබෙන කාලය අවුරුදු 42ක් තරම් දීර්ඝ වුවද දූෂණය මර්දනය කිරීම සඳහා මහජන වියදමින් පවත්වාගෙන යන අනේක විධ ආයතන තිබියදීත් මෙම දීර්ඝ කාලය තුළ දූෂණයේ ප්‍රධානතම ප්‍රභවය ලෙස සැලකිය හැකි රාජ්‍ය පාලනයට සම්බන්ධ එක දේශපාලකයකුට හෝ දඬුවම් කිරීමට ලංකාව සමත් වී නැත. අල්ලස හා දූෂණය මර්දනය කිරීම සඳහා ලංකාව පවත්වාගෙන යන ආයතනවල අසාර්ථකභාවයේ තරම ඉන් තේරුම් ගත හැකිය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී අමාත්‍යවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, උසස් රාජ්‍ය නිලධාරීන්ට එල්ල වී තිබෙන දූෂණ චෝදනා ගැන සොයන්නට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ කොලින් තෝමේගේ සභාපතිත්වයෙන් 1986 මාර්තුවලදී ජනාධිපති කොමිසමක් පත් කරන ලදි. එම කොමිසමට පැමිණිලි ගලා ආවේය. ඇමතිවරුන් ගණනාවකට එරෙහිවද පැමිණිලි ඉදිරිපත් විය. කොමිසම පත් කොට මාස 18කට පසුව එහි කටයුතු අවසන් කරන්නට පෙර ජනාධිපතිවරයා කිසිදු හේතු දැක්වීමකින් තොරව කොමිසම විසුරුවා හරින ලදි. 1997 සැප්තැම්බර්වලදී එම කොමිසම විසුරුවා හරින අවස්ථාව වන විට කොමිසමට ලැබී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 1973කි. ඉන් විමර්ශන කටයුතු අවසන් කර තිබූ පැමිණිලි සංඛ්‍යාව 634කි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ අල්ලස් හා දූෂණ ගැන සොයා බලන්නට පත්කර තිබෙන ජනාධිපති කොමිසම බලයේ සිටින ආණ්ඩුවක දූෂණ සොයා බලන්නට පත්කර තිබෙන දෙවැනි ජනාධිපති කොමිසම ලෙස සැලකිය හැකිය.

අධිකරණයේ පරිහානිය

ජනාධිපති ජයවර්ධන පත් කළ ජනාධිපති කොමිසමේ ප්‍රධානියා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු වනවිට ජනාධිපති සිරිසේන පත් කර තිබෙන කොමිසමේ ප්‍රධානියා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. නමින් උපාලි අබේරත්නය. එහෙත් ඔහු කීර්තිමත් අධිකරණ ඉතිහාසයකට උරුමකම් කියන පුද්ගලයකු නොව අපකීර්තිමත් අධිකරණ ඉතිහාසයකට උරුමකම් කියන පුද්ගලයෙකි. මා 2002 වසරේදී ‘නොනිමි අරගලය’ නමින් පොතක් ලියා පළකරන ලද අතර 2003 වසරේදී එහි ඉංග්‍රීසි පරිවර්තනයක්ද පළ කරන ලදි. එම පොත කලක් නීතිපති ලෙසත්, තවත් කලක් රටේ අගවිනිසුරු ලෙසත් ක්‍රියාකළ සරත් නන්ද සිල්වා ගැන විශේෂ වශයෙනුත්, ඔහුගේ කාලයේ අධිකරණය ගැන පොදුවේත් ලියන ලද සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටින කාලයේදීම ලියා පළකරන ලද පොතක් ලෙසද සැලකිය හැකිය. දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිකමට පත්කර තිබෙන උපාලි අබේරත්නද එම කෘතියේ එන වැදගත් චරිතයක් ලෙස සැලකිය හැකිය.

මාගේ මතය අනුව අධිකරණය මහා අගාධයකට ඇද දමන ලද්දේ අගවිනිසුරු සරත් සිල්වාගේ පාලන කාලයේදීය. ඊට පෙර යම් යම් වැරදි සිදු වුවද පොදුවේ ගත් කල අධිකරණය මහජනයාගේ ගෞරවයට හේතුවූ ස්වාධීනත්වය ආරක්ෂා කරගත් අධිකරණයක් ලෙස පැවතුණි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉතාමත් බලවත් ජනාධිපතිවරයකු ලෙස සැලකිය හැකි වුවත් ඒ කාලයේදී පවා අධිකරණය විධායකයේ අනිසි බලපෑම්වලට යටවූයේ නැත. එය ජනාධිපතිවරයා කෝපයට පත්කිරීමට හේතුවූ තත්ත්වයක් ලෙසද සැලකිය හැකිය.

අධිකරණය විධායකයේ අතකොලුවක් බවට පත්කිරීමෙන් නොනැවතී සදාචාරාත්මක අර්ථයෙන්ද අධිකරණය අවලස්සන තැනක් බවට පත්කරන ලද්දේ සරත් සිල්වා විසින් ඔහුගේ පාලන කාලයේදීය. සරත් සිල්වා මුල් කාලයේදී ජනාධිපති චන්ද්‍රිකාගේ විශ්වාසවන්තම සගයකු වී යැයි කිව හැකිය. අධිකරණය පවත්වාගෙන යමින් තිබූ ස්වාධීනත්වය ජනාධිපතිනිය තේරුම් ගත්තේ ආණ්ඩු විරෝධී ප්‍රවණතාවක් ලෙසය. ඇයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොතිබුණු අතර ඒ නිසා වෙනත් ජනාධිපතිවරුන්ට මෙන් ව්‍යවස්ථා සංශෝධනවලට මුවාවී හිතුවක්කාරී දේවල් කිරීමේ හැකියාව නොතිබුණි. අධිකරණය අතකොලුවක් කරගනිමින් ඒ දේවල් කරගන්නට ඇයට අවශ්‍ය වූ අතර සරත් සිල්වා නීතියට පටහැනිව අගවිනිසුරු ධුරයට පත් කළේ ඒ අරමුණ සපුරා ගැනීම සඳහාය.

ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීකම් අහිමි කරගැනීමකින් තොරව මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරුකිරීමේ හැකියාවක් නොතිබුණි. තමන්ට තිබෙන පාර්ලිමේන්තු බලය වර්ධනය කරගැනීම සඳහා ඇය විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට එකතු කරගත් අතර ඔවුන්ගේ මන්ත්‍රීකම් ආරක්ෂා කිරීමට හේතුවන ක්‍රමයක් සරත් සිල්වා සිය නඩු තීන්දුවලින් ඇති කර දුන්නේය. ඒ මගින් රටේ අගවිනිසුරුවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙලෙසුවා පමණක් නොව සමස්ත ආණ්ඩුක්‍රමයද අවුල් ජාලාවක් බවට පත් කළේය. මන්ත්‍රීවරුන් මිලියන ගණන්වලට විකිණෙන ක්‍රමයක් ස්ථාපිත වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ජනාධිපතිනිය සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත් කළේද නීතියට පටහැනිව සේ ම අවලස්සන ආකාරයකටය. එම පත්වීම සිදුවන අවස්ථාව වනවිට නීතිපති ධුරයේ සිටි සරත් සිල්වාට එරෙහිව දූෂණ චෝදනා මත මා විසින් හා රසායන ඉංජිනේරුවකු වන ජයසේකර විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි දෙකක් පදනම් කොටගෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සරත් නන්ද සිල්වා පිළිබඳ පරීක්ෂණ දෙකක් ආරම්භ කොට පවත්වාගෙන යමින් තිබුණි. මාගේ පැමිණිල්ල මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක පාදක කොටගත් පැමිණිල්ලක් වූ අතර රසායන ඉංජිනේරු ජයසේකරගේ පැමිණිල්ල දිසා විනිසුරු උපාලි අබේරත්න පාදක කොටගත් පැමිණිල්ලක් විය. අධිකරණ සේවා කොමිසම විසින් පත් කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටු දෙකක් විසින් මේ විනිසුරුවරුන් දෙදෙනාම වරදකරුවන් කර තිබුණි. ඒ නිසා නීතිපති සරත් සිල්වාගේ දූෂිතභාවය සනාථ කිරීම ඉතා පහසු දෙයක් බවට පත්ව තිබුණි. ඒ වනවිට නීතිපති සරත් සිල්වා සිටියේ බෙල්ල හිරවෙන තත්ත්වයකය. ජනාධිපතිනිය ඔහු අගවිනිසුරු ධුරයට පත්කිරීම මගින් බෙල්ල හිරවුණු තත්ත්වයක සිටි සිය මිත්‍රයා එම උගුලෙන් ගලවා ගන්නා අතර ඔහු අගවිනිසුරු ධුරයට පත් කොට ඒ මගින් අධිකරණය අතකොලුවක් බවට පත්කර ගැනීම ඇගේ අභිලාෂය විය.
ජනාධිපතිනිය එම පත්කිරීම සිදුකළ වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ හා නීතිඥ විෂය භාර ප්‍රධාන නිලධාරියා වූ පරම් කුමාරස්වාමි එම පත්කිරීමට සිය විරෝධය පළ කළේය. දූෂණ චෝදනා මත ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් පවත්වාගෙන යන පුද්ගලයකු අගවිනිසුරු ධුරයට පත්කිරීම පිළිගත් නීතියටද, සම්ප්‍රදායන්ටද පටහැනි බව ඔහු කියා සිටියේය. මා ඊට විරෝධය පළ කළේ මාගේ කර්තෘත්වයෙන් පවත්වාගෙන ගිය රාවය පුපත්පතේ මුල් පිටුව කළු කොට නව අගවිනිසුරුවරයා ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දෙන ඡායාරූපය උඩ යට හරවා පළකිරීමෙනි. පුවත්පත් ඉතිහාසයේ එවැනි පළකිරීමක් සිදුවූ පළමු අවස්ථාව එය විය යුතුය.

දිසා විනිසුරු උපාලි අබේරත්න

නීතිපති තනතුරේ සිටියදී සරත් සිල්වා සමග ගැටුමක් ඇතිකර ගැනීමට මට සිදුවූයේ අධිකරණයේ පැත්ත පළාතකවත් තබාගත යුතු නැති වර්ගයේ වංචාකාර හා ස්ත්‍රී දූෂක විනිසුරුවරයකු පිළිබඳව මා කරන ලද හෙළිදරව්වකදී එම විනිසුරුවරයාගේ නියම ස්වභාවය තේරුම් ගැනීමට අවශ්‍ය පරීක්ෂණ වාර්තාවක් ඔහු ළඟ තිබියදී එය නොසලකා ඔහු එම විනිසුරුවරයාව ආරක්ෂා කරන දැඩි පිළිවෙතක පිහිටා ක්‍රියාකිරීම නිසාය. එම විනිසුරුවරයා අධිකරණ සේවයට එන්නට පෙර සේවය කර තිබුණේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේය. තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරීමේ සිද්ධියක් මත ඔහු විධිමත් පරීක්ෂණයකින් පසුව සේවයෙන් පහකර තිබුණු අතර ඔහු අධිකරණ සේවයට එකතු වී තිබුණේ එම සිද්ධිය වසන් කොටය. නීතිපති සරත් සිල්වා මෙම මහේස්ත්‍රාත්වරයාව ආරක්ෂා කරන දැඩි පිළිවෙතක පිහිටා ක්‍රියා කළේ ඔහු මුදල් වංචාවක් මත සේවයෙන් පහ කළ පුද්ගලයකු බව තේරුම් ගැනීමට අවශ්‍ය තරම් කරුණු ඔහු ඉදිරියේ තිබියදීය. මම ඒ ගැන එවකට අධිකරණ ඇමතිවරයාව සිටි මහාචාර්ය ජී.එල්. පීරිස්ට පැමිණිලි කළෙමි. අධිකරණ ඇමතිවරයා නීතිපතිවරයාගෙන් කරන ලද ලිඛිත කරුණු විමසීමකට පිළිතුරු වශයෙන් අධිකරණ ඇමතිවරයා වෙත එවන රහස්‍ය වාර්තාවක් මගින්ද නීතිපතිවරයා මෙම ස්ත්‍රී දූෂක වංචාකර මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කර තිබුණි.

එම රහස්‍ය වාර්තාව කියවීමෙන් පසු නීතිපති සරත් සිල්වාද දූෂිත පුද්ගලයකු විය යුතු බව මා ඇති කරගත් නිරීක්ෂණය විය. එය සනාථ කිරීම සඳහා මට අතිරේක සාක්ෂි අවශ්‍ය වූ අතර මට උපාලි අබේරත්න විනිසුරුවරයාගේ කතාව හමුවන්නේ ඒ සඳහා කරන ලද සොයා බැලීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.

සරත් සිල්වා අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු වශයෙන් ක්‍රියාකරමින් සිටියදී ඔහු සිය බිරිඳගෙන් දික්කසාද නොවී ඔහු ඇසුරු කළ මිත්‍රයකුගේ විවාහක බිරිඳක් සිය පර අඹුව බවට පත්කරගනිමින් සිය නිවසේ ජීවත් විය. මෙම ආරාවුල ගොඩින් බේරා ගැනීමට එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා උත්සාහ කළත්, එය සාර්ථක නොවීම නිසා ඔහු සරත් සිල්වා හා සිය බිරිඳ සම වගඋත්තරකරුවන් කොට කොළඹ දිසා අධිකරණය ඉදිරියේ නඩු පැවරීය. මෙම නඩුවෙන් රසායන ඉංජිනේරුවා ඉල්ලා සිටි සහනය වූයේ තම බිරිඳ සරත් සිල්වා සමග ගෙවන අනාචාර ජීවිතය සලකා සිය විවාහය විසුරුවා හරින ලෙසත්, සරත් සිල්වාගේ ක්‍රියාකලාපය නිසා සිය පවුලේ ජීවිතය අවුල්වීමෙන් තමන්ට සිදුවී තිබෙන අලාභය වෙනුවෙන් රුපියල් පනස් ලක්ෂයක වන්දියක් නියම කරන ලෙසත්ය.

මෙම නඩුව විභාග කළ දිසා විනිසුරුවරයා වූයේ උපාලි අබේරත්නය. පැමිණිලිකරුට තීන්දු දැනුම්දීමකින් තොරවම විනිසුරුවරයා පැමිණිල්ල ඉවත දැමුවේය. තමන්ගේ පැමිණිල්ල අවසන්වීය යන්න නොදත් රසායන ඉංජිනේරුවරයා තවත් කලකට පසුව එම දෙපළ සම වගඋත්තරකරුවන් කරමින් අලුත් පැමිණිල්ලක් අධිකරණය වෙත යොමු කළේය.

එහිදී මෙම විනිසුරුවරයා පැමිණිල්ලෙන් කරන විමසීමකින් තොරවම සරත් සිල්වා වගඋත්තරකාර තත්ත්වයෙන් ඉවත් කරන නියෝගයක් පනවා ඉංජිනේරු ජයසේකරගේ බිරිඳට එරෙහිව පමණක් සිතාසි නිකුත් කළේය. සරත් සිල්වා නඩුවෙන් ඉවත් කිරීම සඳහා දෙන ලද නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ නොතැබීම සඳහා නියෝගයේ පිටපතක් දින 14ක් තුළ ලබාගත නොහැකි තත්ත්වයක්ද ඇති කළේය.

දෙවැනි නඩු තීන්දුවේදී නඩුව සමතයකට පත්කර ගැනීමේ හැකියාව ගැන පැමිණිල්ලෙන් කරුණු විමසීමක් කළේය. ඒ වනවිට පැමිණිල්ලෙන් නඩු ගාස්තු අයකර ගැනීම සඳහා නියෝගයක් ඉල්ලා විශේෂ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර තිබුණි. විනිසුරුවරයා අභියාචනාධිකරණයේ සභාපති සරත් සිල්වා සමග අනාචාර ජීවිතයක් ගතකරමින් සිටි එම කාන්තාවට එරෙහිව මසකට රුපියල් 10,000ක නඩත්තු ගාස්තුවක්ද රුපියල් 50,000ක නඩු ගාස්තුවක්ද ගෙවන ලෙස පැමිණිලිකරුට නියම කළේය. අනාචාර ජීවිතයක් ගත කරන කාන්තාවකට නඩත්තු ගාස්තුවක් නියම කිරීම නඩත්තු විධාන සංග්‍රහයට පටහැනිය. එය දික්කසාද නඩු ඉතිහාසයට මෙම විනිසුරුවරයා එකතු කළ නව වාර්තාවක් ලෙස සැලකිය හැකිය.

පැමිණිල්ලේ නීතිඥයා නඩු ගාස්තු හා නඩත්තු ගාස්තු සඳහා දෙන ලද නියෝගයට එරෙහිව අභියාචනයක් ගොනු කළේය. ඒ සඳහා නඩුව අඬ ගැසුණු දිනයේදී විනිසුරුවරයා ප්‍රතිශෝධනය සලකා බැලීම පසෙකලා ඇයට දික්කසාදවීමට අවසරදෙමින් ඇගේ නඩු ගාස්තුව වශයෙන් රුපියල් දස ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස පැමිණිල්ලට නියම කළේය. ඒ වනවිට දිසා විනිසුරුවරයාගේ නීතියට පටහැනි නියෝග දෙකට එරහිව පැමිණිලිකරු අභියාචනාධිකරණය වෙත පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම් දෙක ඉවත් නොකර ගන්නේ නම් නියම කර තිබෙන දස ලක්ෂයේ වන්දිය අයකර ගැනීම සඳහා ජයසේකරගේ දේපළ අත්පත් කරගැනීම සඳහා නියෝගයක්ද ලබා ගැනීම සඳහා ක්‍රියාකරන බවට විත්තියේ නීතිඥයන් ජයසේකරට දැනුම් දීම නිසා තමන්ගේ නිවස පවරා ගැනීමෙන් තමන්ට මුහුණ දෙන්නට සිදුවන ලැජ්ජාව සලකා ඔහු එම පෙත්සම් දෙක ඉවත් කර ගත්තේය.

පරීක්ෂණය යටපත් කිරීම

නැවත ප්‍රකෘති මානසික තත්ත්වයකට පැමිණීමෙන් පසුව ජයසේකර මෙම දිසා විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළේය. එම කොමිසම සමන්විත වූයේ අගවිනිසුරු ජී.පී.එස්. සිල්වා හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් වන තිස්ස බණ්ඩාරනායක හා මාර්ක් ප්‍රනාන්දුගෙනි. අගවිනිසුරුවරයා ජයසේකර පුද්ගලිකව හඳුනන කෙනකු වූ නිසා ජයසේකරගේ පැමිණිල්ල විභාග කොට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම තිස්ස බණ්ඩාරනායක හා මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරුන් දෙදෙනා වෙත පවරන ලදි. මෙම විනිසුරුවරුන් දෙදෙනා උපාලි අබේරත්න වෙත ජයසේකරගේ පැමිණිල්ලේ පිටපතක් යවා ඒ ගැන ඔහුගේ ලිඛිත නිරීක්ෂණ ගෙන්වා ගනිමින් පසුව ඔහු කොමිසමට කැඳවා දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසු තදබල චෝදනා පත්‍රයක් සකස් කොට සේවයෙන් පහ කිරීමට හෝ අන් දඬුවමක් නොපැමිණවීමට හේතු ඇතොත්, එක් මාසයක කාලයක් තුළ ලිඛිතව ඉදිරිපත් කරන ලෙසට දැනුම් දුන්නේය. උපාලි අබේරත්න විනිසුරුවරයා වෙත මෙම චෝදනා පත්‍රය යවා තිබුණේ 1996 පෙබරවාරි 12 වැනිදාය. ඔහු ඊට ලිඛිතව පිළිතුරක් දිය යුතු අවසාන දිනය ලෙස සැලකිය හැක්කේ 1996 මාර්තු 12 වැනිදාය. සරත් සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වී ජනාධිපතිනියගේ බලවත් ආධාරකරුවකු වශයෙන් නීතිපති ධුරයට පත්වන්නේ 1996 මාර්තු 12වැනිදාය. මේ අතරතුර කාලයේදී තිස්ස බණ්ඩාරනායක විනිසුරුවරයා විශ්‍රාම ගියේය. ඉන්පසු මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා අධිකරණ සේවා කොමිසමෙන් ඉවත් කරවා එම කොමිසම නීතිපතිවරයාට අනියම් ලෙස පාලනය කළ හැකි තත්ත්වයකට පත්කර ගත්තේය. ඒ සමග උපාලි අබේරත්න විනිසුරුවරයා චෝදනා පත්‍රයට පිළිතුරුදීමෙන් වැළකී සිටියා පමණක් නොව, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමද යටපත් කෙරුණු දෙයක් බවට පත්විය.

ඉන්පසුව මා මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එරෙහිව කරන කෑගැසීමට දිසා විනිසුරු උපාලි අබේරත්න හා නීතිපති සරත් සිල්වාට එරෙහිව කරන කෑගැසීමක් බවට පත්කර ගැනීමට මට සිදුවිය. මාගේ එම කෑගැසිල්ල නොකඩවා කෙරෙන කෑගැසිල්ලක් බවට පත්වීම නිසා එවකට නීතිඥ සංගමයේ සභාපතිව සිටි රොමේෂ් ද සිල්වාට මා එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු දැයි නිර්දේශ කිරීම පිණිස නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සාකච්ඡාවක් කැඳවීමට සිදුවිය. එම දැනුම්දීම කිරීම සඳහා යවන ලද ලිපිය සමග මා එම තිදෙනා ගැන විටින් විට ලියන ලද ලිපිවල ඡායා පිටපත් එකතුවක්ද යවා තිබුණි. හිටපු සභාපතිවරුන්ගේ සාකච්ඡාව පවත්වන ලද්දේ ඒ කාලයේ නීතිඥයන් අතර සිටි ප්‍රමුඛයා ලෙස සැලකිය හැකි එච්.එල්. ද සිල්වාගේ නිවසේදීය. එහි ගනු ලැබූ තීරණයන් මෙසේය. ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන්ට මා විසින් එල්ල කර තිබෙන චෝදනා ගැන අධිකරණ සේවා කොමිසම විභාගයක් පැවැත්විය යුතුය. විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව එල්ල කරන චෝදනා සනාථ නොවුවහොත් රාවය කතුවරයාට එරෙහිව නීති මගින් ක්‍රියා කළ යුතුය. එම චෝදනා සනාථ වුවහොත් නීතිපතිවරයාට එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

අවසානයේ අධිකරණ සේවා කොමිසම අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත් කැරිණි. ලෙනින් රත්නායක පරීක්ෂණ කමිටුව රක්ෂණ සංස්ථා සේවයෙන් පහකළ පුද්ගලයකු බව සඟවා අධිකරණ සේවයට එකතුවීම, තමන් ඉදිරියේ ඇසෙන නඩු දෙකක ස්ත්‍රීන් දෙදෙනකු දූෂණය කිරීම ඇතුළු චෝදනා හතරටම ලෙනින් රත්නායක වැරදිකරු කරන ලදි. ඔහු අධිකරණ සේවයෙන් පහකොට ස්ත්‍රී දූෂණ දෙකට අදාළව හා මුදල් වංචාවක් මත රක්ෂණ සංස්ථා සේවයෙන් පහකිරීමේ සිද්ධිය වසන් කොට අධිකරණ සේවයට එකතුවීම මගින් කරන ලද වංචාවට අදාළව නඩු පවරන ලෙස නිර්දේශ කළේය. එම පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ හෙක්ටර් යාපා, අසෝකා ද සිල්වා හා ටී.බී. වීරසූරිය යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙනි. උපාලි අබේරත්න ගැන සොයා බැලීමට පත් කරන ලද පරීක්ෂණ කමිටුවද ඔහුට එල්ල වී තිබෙන චෝදනාවලට වැරදිකරු කළේය. ඔහුද අධිකරණ සේවයෙන් ඉවත් කරන ලෙස නිර්දේශ කළේය.

අධිකරණ සේවා කොමිසම 1999.07.31 වැනි දින සිට උපාලි අබේරත්න විනිසුරුවරයා අනිවාර්ය පදනම මත සේවයෙන් විශ්‍රාම ගන්වන ලදි. අගවිනිසුරු සරත් නන්ද සිල්වා තමන්ගේ නඩුව බලාගත් උපාලි අබේරත්න දිසා විනිසුරුවරයාව ආරක්ෂා කරන දැඩි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළ බව පැහැදිලිව දැකිය හැකිය. අධිකරණ සේවා කොමිසම ඔහු සේවයෙන් විශ්‍රාම යවන ප්‍රතිපත්තියෙන් බැහැර වී දඬුවම ලිහිල් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. 1999.02.19 වැනි දින සිට බලපාන පරදි විශේෂ ශ්‍රේණියට උසස් කිරීම අවුරුදු දෙකක කාලයකට අත්හිටුවා මොනරාගල අධිකරණයට දඬුවම් මාරුවක් ලබා දුන්නේය.
ඉන්පසු අවුරුදු දෙකේ දඬුවම් කාලය අවසන් වන්නට පෙර මහාධිකරණයට උසස් කළේය. සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම යන්නට පෙර අභියාචනාධිකරණයට පත්වීමක් ලබා ගත්තේය. ඉන්පසු අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමක් ලබාගැනීමටද සමත් විය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාම යෑමෙන් පසු දූෂණ සොයා බැලීමකට පත්කරන ජනාධිපති කොමිසමක සභාපතිකමට පත්වීමටද වාසනාවන්ත වී තිබෙන්නේ යැයි කිව හැකිය.

සරත් නන්ද සිල්වාට අදාළ නඩුවේදී මෙම විනිසුරුවරයා ක්‍රියාකර තිබෙන ආකාරය නීතියට පටහැනි අන්ත දූෂිත වනවා පමණක් නොව ඉතාමත් සාහසික වී යැයිද කිව හැකිය. මෙම නඩුවේදී සරත් සිල්වාගේ මෙහෙයවීම මත උපාලි අබේරත්න විනිසුරුවරයා ක්‍රියාකර තිබෙන බවද දැකිය හැකිය. අධිකරණ කටයුත්තක් තුළ මෙවැනි බිහිසුණු වංචාවක් හා දූෂණයක් කළ පුද්ගලයකු දූෂණ විමර්ශන කොමිසමක සභාපතිවරයකු බවට පත්කිරීම යහපත් දෙයක් ලෙස සැලකිය නොහැකිය.