ඇළහැර සිරිකඳුයායේ අසිරිය මැකූ ‘සේනා’

රසික ගුණවර්ධන

ඉමක් නොපෙනෙන ඒ භූමිය වියැලිය, දුඹුරු පැහැතිය. තැන තැන ගොඩගසා ඇත්තේ දවා අළුකර දැමූ බඩ ඉරිඟු ගස්ය. මෙසේ ලංකාව පුරාම සේනා දළඹු උවදුර නිසා අතහැර දැමූ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 81000 පමණ වේ යැයි දැනට ගණන් බලා ඇත. බඩ ඉරිඟු වලට අමතරව වී, උක්, කෙසෙල්, මුරුංගා ආදී බොහොමයක් ශාක මේ වන විට සේනා ආක්‍රමණයේ ගොදුරු බවට පත්වීමට සිදුව ඇත.
ඇලහැර-බකමූණ ප්‍රදේශයේ සිරිකඳුයාය ලංකාවේ බඩ ඉරිඟු වගා කරන ප්‍රදේශ අතුරින් විශාල ලෙස මහා පරිමාණයෙන් බඩ ඉරිඟු වගා කරන ප්‍රදේශයකි. අප පසුගියදා ඒ ප්‍රදේශයට සංචාරය කළේ සේනා දළඹු ආක්‍රමණයේ හානිය සොයා බැලීමටය.

“සේනා ඇවිල්ල සති දෙකයි. ඒ ටිකට ඔක්කොම කාල දැම්මා” සිරිකඳුයාය බෙදුම්ගල ගොවි සංවිධානයේ ලේකම් අනුර මුලින්ම අපට පැවසුවේ එසේය. “අපට වෙන කරන්ඩ දෙයක් තිබ්බේ නෑ, අපි දළඹුවෝ හිටපු ගස් ඔක්කොම කපලා දැම්මා. අපි හිතුවේ ඒ ගස් ටික තිබුණොත් මුලු යායටම මේක යයි කියලා. හැබැයි ඒ ටික අයින් කළා කියලා වැඩක් වුණේ නෑ.” රෝගය පැතිරගිය මුල් කාලසීමාවේ මෙවැනි රෝගයක් පිළිබඳව නොදන්නා නිසා ඔවුන් සිදුකර ඇත්තේ ඔවුන්ට සිදුකිරීමට හැකි හොඳම විසඳුම ලෙස රෝගය ඇති ගස් වගාවෙන් ඉවත්කර දැමීමය. එහෙත් ආගන්තුක කාල සීමාව පහුවී ඇති මේ අවස්ථාවේදී ද ඔවුන්ට සිදුකිරීමට ඉතිරිව ඇත්තේ රෝගය පැමිණි ආගන්තුක කාලසීමාවේදී මෙන් රෝගය වැලඳුණු ගස් වගා භූමි වලින් ඉවත්කර දැමීමට වීම කණගාටුවට කරුණකි. මෙසේ ගස් වගා භූමි වලින් ඉවත්කර දැමීමට සිදුවීම විශාල පාඩුවකි.

“එක බීජයකින් පැළ වෙන්නේ එක ගහයි. ඒකටත් නොවිඳිනා දුක් විඳින්න ඕනේ. අඩියක් විතර ගහ උස ගියාට පස්සේ ඒකට පස් ළංකරන්ඩ ඕනේ. එතකොට උදලු තලයක් වැදිලා ගහක් කැපුනහම සෑහෙන දුකයි. එහෙමත් පරිස්සම් කරලා දුක් විඳලා හදපු ගස් ටික උදුරලා දාන්න වුණහම ඒක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.” සිරිකඳුයාය බෙදුම්ගල ගොවි සංවිධානයේ සභාපති දුමිත් කියන්නේ එසේය. අනෙක් පසින් මෙසේ වගා භූමි හිස්කරන්න වීම ඔවුන් මුහුණ දෙන විශාල ගැටලුවකි. ඊටද ශ්‍රමය අවශ්‍යය වේ. ඒ සඳහාද පිරිවැයක් යෙදිය යුතුය. ශ්‍රමය යොදා නොගන්නේ නම් ඊට යන්ත්‍රයක් (හෑම සඳහා ට්‍රැක්ටරයක්) යොදා ගත යුතුය. ඒ සඳහා ද සැලකිය යුතු මුදලක් යෙදවීමට සිදුවේ. සිරිකඳුයායේ පමණක් නොව ගොවිතැන වෘත්තීය කරගත් බොහෝ දෙනා යැපෙන්නේ ගොවිතැනින් ලබා ගන්නා වු අස්වැන්නෙනි. බිරිඳ, දරුවන් ඔවුන්ගේ දිනපතා වියහියදම්, අධ්‍යාපන වියදම් ඇතුලු සෑම වියදමක්ම ගොවිතැන වෘත්තීය කරගත් මිනිසුන් සපුරාගත යුත්තේ හුදෙක් ගොවිතැනින්ම ලබා ගන්නා වූ ආදායමෙනි. එසේ වීමට බලපාන හේතුව නම් ගොවිතැනෙහි නිරත වනවිට ඊට පූර්ණ කාලීනව කැපවිය යුතු බැවිනි. ඒ අතරතුර වෙනත් රැකියාවක් කර ආදායමක් ලැබීම හෝ ආදායමක් ලැබෙන වෙනත් කර්තව්‍යයක නියැලීම දුෂ්කර වන බැවිනි. ඒ නිසා ගොවිතැනින් යැපීම ඉතාම අවදානම්සහගත වන්නේ මෙවැනි අවස්ථා වලය. අප සිරිකඳුයායට යන විට අනුර සහ දුමිත් සිටියේ වගාවට ගැසීමට බෙහෙත් ගැනීමට මුදල් සොයන ගමන්ය.
“අපට මහවැලියෙනුයි, කෘෂිකර්මයෙනුයි ඇවිල්ලා කියනවා එක එක බෙහෙත් ජාති ගහන්න කියලා. එකක් ගහලා හරියන්නේ නැතිකොට කියනවා තව එකක් ගහන්න කියලා. එහෙම බෙහෙත් ගහන්ඩම සෑහෙන වියදමක් යනවා. ඔය කියන බෙහෙත් එකක් අනිවාරෙන් රුපියල් දෙදාහෙන් එහා පැත්තේ. කොහෙ තියන සල්ලිද ඕවට” ගොවි සංවිධානයේ සභාපති දුමිත් කියයි. ඔවුන් කියන කතාව ඇත්තකි. අස්වැන්න නොලැබේ යැයි වැඩි අවධානමක් පවතින අවස්ථාවක ආදායම පිළිබඳව බලාපොරොත්තුවක් තැබිය නොහැකිය. ඒ නිසා ඔවුන්ට සිය මුදල් නිසරු දෙයක් වෙනුවෙන් විය පැහැදම් කිරීමට නොහැකිය. එසේම ඔවුන් කෙතරම් අවිනිශ්චිත වුවද වගාව රැක ගැනීමට කැමතිය. ඔවුන් මුහුණ දී සිටින්නේ උභතෝකෝටික ප්‍රශ්නයකටය. නිළධාරීන් කියන ඕනෑම කෘමි නාශකයක් වගාවට යෙදීමට ගොවීන් සූදානම් වුවද එයින් ඵලදාවක් නැති තැන බැට කන්නට සිදු වන්නේ පෙරලා ගොවියාටමය. ඒ නිසා ගොවියා පරීක්ෂණාගාර මීයකු නොකිරීමට නිළධාරීන්ට වගකීමක් ඇත.
මෙහෙම බෙහෙත් ගහන එක ලේසි වැඩක් නෙමේ. නිකන් බෙහෙත් ගහනවා වගේ නෙවෙයි. මේකෙදි ගොබේ ඇතුලටම බෙහෙත් ගහන්ඩ ඕනේ. නැත්තන් වැඩක් වෙන්නේ නෑ.” එසේ කියන්නේ ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ඉන්දිකය. අක්කර ගණනාවක් පුරා පැතිර ඇති බඩ ඉරිඟු වගාවන් සඳහා එක් එක් පැලයක් සඳහා සුවිශේෂී ලෙස සාත්තු කිරීම පහසු කාර්යක් නොවනවා සේම, එය වියදම් අධික කාර්යයකි. එසේම එහිදී සාමාන්‍යය පරිදි බෙහෙත් යොදනවාට වඩා වැඩි ශ්‍රම පිරිවැයක් අවශ්‍යය වේ. ගොවීන් පවසන පරිදි අක්කරයක දල වශයෙන් පැළ පහළොස් දහසක පමණ ප්‍රමාණයක් ඇත. එසේම එක් ගොවියකු වගා කරන අවම භූමි ප්‍රමාණය අක්කර දෙකක් පමණ වේ. ඒ නිසා එක් එක් පැළයකට සුවිශේෂී ලෙස ප්‍රතිකාර කිරීම ඉතාම අපහසු කාර්යයකි. වියදමද අමතක කර දැමුවද ඊට අවශ්‍යය වන මිනිස් ශ්‍රමය සපයා ගැනීමද ගැටලුවක් බව ගොවීහු පවසති.

සිරිකඳුයායේ බඩ ඉරිඟු වගාවට අමතරව දුම්කොළ වගාවද සිදු කරනු ලබයි. දුම්කොළ වගාකරුවන් පවසන්නේ මෙවැන්නකි. “මුලින් හැමෝම කීවේ සේනා දුම්කොළ වගාවට එන්නේ නෑ කියලා. හැබැයි අපි පෙරේද ගෙනාපු පැළ ටිකේ කොළ තැනින් තැන කාලා තිබ්බා. බලද්දි ඒවගෙත් සේනා ඉන්නවා.” බඩ ඉරිඟු වගාවට සේනා හානි කිරීමෙන් පසු බඩ ඉරිඟු වැවූ බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව ලෙස තිබී ඇත්තේ දුම්කොළ වගාවට යොමු වීමය. එහෙත් දැන් ඒ උත්සාහයද වතුරේ ගොස් ඇත.

උදේට හැමදාම දහ පහළොස් දෙනෙක් පැල ගලවගෙන අපේ ගෙදරට එනවා සේනා ඉන්නවද බලන්ඩ. මිනිස්සු දැන් සේනාට සෑහෙන්ඩ බයවෙලා ඉන්නේ. මොකද සේනා ආවොත් ඉවරෙටම ඉවරයි කියලා මිනිස්සු දන්නවා. ඊයේ පෙරේද මේ පැත්තේ මුරුංගා ගස් වලටත් සේනා ඇවිල්ල හිටියා.” ලේකම් අනුර කියයි. ගොවීන්ද නිළධාරීන්ද සේනා පාලනය කිරීමට කෙතරම් ක්‍රම සෙව්වද දිනෙන් දින සිදු වන්නේ සේනා දළඹු ව්‍යාපෘතිය ඉහළ යාම සහ වසංගතය පැතිරෙන භෝග වර්ග සංඛ්‍යාව ඉහළ යාමයි.

පාඩුව

සේනා වසංගතය නිසා බඩ ඉරිඟු ගොවීන්ට සිදු වූ පාඩුව ඉතා විශාලය. එය දළ වශයෙන් ගණන් බැලීමට හැකියාවක් ඇත. ඒ එක් කන්නයක් සඳහා ගොවියා දරන වියදම මතය. මේ කන්නයේදී බොහෝ බඩ ඉරිඟු ගොවීන්ට අස්වැන්නෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි වූ නිසා ඔවුන්ට සිදු වූ අලාභය ලෙස ගණනය කළ හැක්කේ කන්නය සඳහා ඔවුන් සිදු කළ වියදමයි. බඩ ඉරිඟු ගොවීන් එක් කන්නයකට අක්කරයක් සඳහා සිදු කරන වියදම පහත පරිදිය. අක්කරයක් වගා කිරීමට දළ වශයෙන් බඩ ඉරිඟු බීජ කිලෝ පහක් අවශ්‍ය වේ. ඒ සඳහා යන වියදම රුපියල් හයදහස් තුන්සීයක් (6300) පමණ වේ. එසේම භූමිය සැකසීම සඳහා අක්කරයකට රුපියල් හත්දහසක් (7000) පමණ මුදලක් අවශ්‍ය වේ. එසේම අක්කරයක වගාවකට පොහොර මුර දෙකක් අවශ්‍ය වන අතර ඒ සඳහා පොහොර මිටි අටක් ආසන්න වශයෙන් අවශ්‍ය වෙයි. වැයකිරීමට සිදුවන මුදල ආසන්න වශයෙන් 15000 පමණ වේ. එසේම කෘමි නාශක සඳහා අවශ්‍ය වන මුදල රුපියල් 1500 පමණ වේ. එසේම වගාව ආශ්‍රිත මිනිස් ශ්‍රමය අක්කරයක් සඳහා රුපියල් හත්දහස් දෙසිය අසූවක් (7280) පමණ වේ. ඒ අනුව වගා කිරීමේ කටයුතු සඳහා පමණක් අක්කරයකට වැයවන මුදල රුපියල් තිස් හත්දහස් පන්සිය අසූවකි. (මෙම මිළ ගණන් අවම මිළ ගණන් වන අතර ඇතැම් විට ද්‍රව්‍ය මිළ ඉහළ යාම් මත මෙම මුළු වියදම රුපියල් හතලිස් පන්දහස (45000) දක්වා ඉහළ යාමට හැකියාවක් ඇත.)

ඉහත ගණනය කිරීම් අක්කරයක් සඳහා වන අතර සාමාන්‍යයෙන් එක් ගොවියකු වගා කරන අවම භූමි ප්‍රමාණය අක්කර දෙකක් පමණ වේ. ඒ අනුව එක් ගොවියකු එක් කන්නයක් සඳහා මේ වන විට විඳ ඇති පාඩුව ආසන්න වශයෙන් රුපියල් අසූ දහසක් පමණ වේ. සේනා දළඹු හානිය නිසා වෙනත් රෝග වලදී මෙන් බඩ ඉරිඟු ශාක සත්ත්ව ආහාර සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා ලබා දිය නොහැකි නිසා ද මෙම ශාක කොටස් ප්‍රවාහනය කිරීම තහනම් නිසාද ගොවියාට කිසිදු සහනයක් හිමි වන්නේ නැත.

“මෙහෙ බඩ ඉරිඟු ලොරි නුවර එළියට යන්ඩ දුන්නේ නෑ, එහාට සේනා යයි කියලා. ඒ හින්දත් ගොවීන්ට ලොකු පාඩුවක් වුණා.” කෙසේ වෙතත් මේ වනවිට ඒ සියලු ආරක්ෂක ක්‍රම අභිබවමින් නුවරඑළියටද සේනා උවදුර පැතිර ගොස් ඇත.

එසේම බඩ ඉරිඟු වගාකරුවන් බහුල වශයෙන්ම ලබා දෙන්නේ කිරි කරල්ය. කිරි කරල් යනු තැම්බීමට යොදා ගන්නා වූ ලපටි කරල්ය. එහෙත් උද්ගත වී ඇති සේනා උවදුර මත බඩ ඉරිඟු තම්බා විකුණන කර්මාන්තයටද විශාල වශයෙන් තර්ජනයක් එල්ල වී ඇත. පෙර බඩ ඉරිඟු තැම්බු පාර අයිනේ කඩ වල අද ඇත්තේ නිවී ගිය අළු පමණක් ඇති ළිප්ය. කලාතුරකින් තැනක ඇති බඩ ඉරිඟු තම්බා විකුණන වෙළඳ සැල්වල පාරිභෝගිකයන් නැත. කවුඩුල්ලේදී අපට හමු වූ දිසානායකද බොහෝ කාලයක් තිස්සේ පටන් මහා පරිමාණයෙන් බඩ ඉරිඟු වගාකර ඒවා මාර්ගය අසල තම්බා විකිණීම රැකියාව කරගත් ව්‍යවසායකයෙකි. ඔහු කෙතරම් විශාල ලෙස එම ව්‍යාපාරයේ නියැලී සිටියාද යත් ඔහුට ඒ සඳහා සේවකයන් කිහිපදෙනකුද සිටි ඇත. එහෙත් අප එහි යන විට ඔහු සූදානම් වන්නේ බඩ ඉරිඟු වගාව සම්පූර්ණයෙන්ම අත හැර දැමීමටය. “සේනා එනවා කියන හින්ද මම මේක නතර කරන්න හදන්නේ” දිසානායක අපට කීවේ එසේය. “අවධානමක් දරාගෙන ව්‍යාපාරයක් කරන්ඩ බෑ. අනික සේනා මේ පැත්තට තවම ඇවිල්ල නෑ. උන් එන්නේ බඩ ඉරිඟු වලට නම් මේ වගාවට ඇවිල්ල මුළු ගමටම බෝ වුණොත් ගමම ඉවරයි.” දිසානායක එසේ කියයි. දැන් දිසානායක සූදානම් වන්නේ වෙනත් බෝගයක් සඳහා යොමු විමටය.

එසේම පසුගිය සතියේ මහ ඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන මණ්ඩලයෙන් කළ විමසීමකදී එහි පරීක්ෂණ නිළධාරියකු පැවසූවේ සේනා දළඹුවා පැමිණි සියලුම වගා භූමි හානි වී ඇතැයි සැලකිය නොහැකි බවයි. එහෙත් එසේ වුවත් සේනා දළඹුවා සිටින සියලුම වගාවන් නැවත ප්‍රයෝජනයට ගත නොහැකි බව නිරීක්ෂණයේදී දුටු කාරණය විය. එසේම කරල් නොමැති කුඩා පැළ වලට මේ පණුවා පැමිණි කළ ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට ගොවීන් ක්‍රියා කරන අතර ඒ නිසාද ගොවීන්ට විශාල පාඩුවක් විඳීමට සිදුවේ. මුදල්, කාලය, ග්‍රමය ආදී සෑම දෙයකින්ම සේනා ගොවියාව තලා දමයි.

බීජ සහ සේනා

මේ වන විට පැතිරී යන ඇතැම් කතා වලට අනුව මෙරටට ඉන්දියාවේ සිට ගෙන ආ බඩ ඉරිඟු වර්ග දෙකක් සමඟ මෙම සේනා දළඹුවාගේ බිත්තර එවා ඇති බවත්, එසේ බිත්තර මිශ්‍ර කර එවා ඇත්තේ බීජ සඳහා වෙළෙඳ පොළේ පවතින තරඟකාරී ස්වභාවය වර්ධනය කර ගැනීම උදෙසා එක්තරා බඩ ඉරිඟු බීජ ගෙන්වන සමාගමක් විසින් බවත් තොරතුරු පැතිරෙමින් ඇත.

අප සිරිකඳුයාය ගොවි සංවිධානයේ ලේකම් අනුරගෙන් විමසූවේ ඔවුන්ට මෙවර ලැබුණු බීජ වල කුමන ආකාරයක හෝ වෙනස්කමක් පැවතියාද යන්නයි. “නෑ එහෙම දෙයක් නෑ. මේ පාර බීජත් වෙනද වගේමයි තිබ්බේ. අපටත් මේක හිතාගන්ඩ බෑ. හිටෙව්ව ගමන්ම තමයි මේක ආවේ.” ඔහුට අනුව ඔවුන්ට මෙවරද හිමිවී ඇත්තේ මීට පෙර ඔවුන්ට වගා කිරීමට ලැබුණා වූ බීජ වර්ගයම වන අතර එහි ඔවුන්ට හඳුනාගත හැකි ආකාරයේ ගැටලුවක් තිබි නැත. කෙසේ වෙතත් මතුපිටින් බලා බීජ පිළිබඳව සහතිකයක් දීමට ගොවීන්ට හැකියාවක් නැත. ඒ පිළිබඳව අදාළ වගකිව යුතු ආයතන විසින් පර්යේෂණ සිදු කළ යුතුය. එසේ පරීක්ෂණ සිදු කර පැතිරෙන කතා වල ඇත්ත නැත්ත සොයා බැලිය යුතුය. එහෙත් එවැනි කටයුත්තක් තවම සිදුවී නොමැත.

මැදිහත් වීම

මෙම උපද්‍රවයට රජයේ සහ අදාළ වගකිව යුතු ආයතන වල මැදිහත් වීම පවතින්නේ ඉතාම අල්ප මට්ටමකය. එකී ආයතන බොහොමයක් ක්ෂේත්‍ර වලට ගොස් නිරීක්ෂණ සහ දත්ත රැස් කිරීම් වල නිරත වන්නේ ජනවාරි මාසයේ තුන්වන සතියේදී පමණය!. ඔවුන් ඒ තරමට ප්‍රමාදය. මාධ්‍ය හරහා හෝ මේ උවදුර මෙතරම් කතාබහට ලක් නොවුනා නම් එකී ආයතන මේ තරම් දුරකට හෝ අවධානයක් යොමු නොකිරීමට ඉඩ තිබුණි.

එසේම ආසන්න රට වලට මෙම උවදුර උග්‍ර ලෙස පැතිරී තිබී ඇති අතර එම උවදුර ලංකාවට පැමිණියහොත් ඊට මුහුණ දීමට සූදානම් වන්නේ කෙසේද යනුවෙන් පූර්ව සූදානමකට පැමිණීමට හැකියාවක් තිබුණි. එහෙත් ඊට උවමනාව සහ උනන්දුව අවශ්‍යය. ඒ නිසා ඒ උවමනාව සහ උනන්දුව නොතිබූ නිසා ඊට සමස්ත රටේම ගොවි ජනතාව වන්දි ගෙවමින් සිටී. අවම තරමින් මෙම උවදුර පිළිබඳව කුඩා සැලකිල්ලක් වත් දැක්වූවා නම් ඔවුන්ට මෙම වසංගතය මේ තරමට ව්‍යාප්ත වීම වලක්වා ගැනීමට හෝ හැකියාවක් තිබුණි.

එසේම මෙම උවදුරට මුහුණ දී තිබෙන ගොවීන්ට නිළධාරීන් විසින් දැනුම් දී තිබෙන්නේ බඩ ඉරිඟු වගාව වෙනුවට තල වගාවේ නියැලෙන ලෙසයි. එහෙත් ගොවීහු ඊට සූදානම් නැති බව ඔවුන් අප හා පැවසූහ. ගොවින් පවසන්නේ තමන්ට නුහුරු වගාවකට මෙවැනි අවස්ථාවක පිවිසිය නොහැකි බවත්, එයද අසාර්ථක වුවහොත් ඊට යොදවන මුදල ද විනාශ වන බවත්ය. එවිට ගොවීන්ට සිදුවන්නේ කබලෙන් ළිපට වැටීමටය.

දැනට පොළොන්නරුව – ඇළහැර ආදී ප්‍රදේශ වල වැඩි වශයෙන් සේනා උවදුර පවතින්නේ බඩ ඉරිඟු ආශ්‍රිතවය. තවමත් ඒ ප්‍රදේශ වල විශාල වශයෙන් සිදු කරන වී වගාවට එතරම් මෙම උවදුර පැමිණ නැත. එහෙත් මේ වන තෙක් අවධානම සලකා සේනා දළඹුවන් පැමිණ නැති වී වගා කරන ප්‍රදේශ වලට කිසිදු පූර්ව ආරක්ෂක ක්‍රමවේද භාවිත නොවන බව අපට නිරීක්ෂණය කිරීමට හැකි විය.
ඊට මැදිහත් වී තාක්ෂණික සහය සහ උපදෙස් ලබා දිය යුතු කෘෂිකර්ම අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් වන කිසිදු කර්තව්‍යයක් අප සංචාරය කළ පොළොන්නරුව, ඇළහැර, කවුඩුල්ල ආදී ප්‍රදේශ වල සිදු කර තිබුණේ නැත. එය වී වගාව අවධානමේ හෙලීමකි. ලංකාවේ වැඩිම වී නිෂ්පාදනයක් සිදු වන්නේ මේ ප්‍රදේශ ආශ්‍රිතවය. ඒ නිසා තවම සේනා උවදුර එතරම් පැතිරී නැති මේ ප්‍රදේශ වල ඉදිරියේදී සේනා උවදුර පැතිරියහොත් එය වී නිෂ්පාදනයට විශාල බාධාවක් වනු ඇත.

පිළියම්

දැනට විවිධ පාර්ශ්වයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙම වසංගත රෝගයට විවිධ පිළියම් සොයමින් පවතී. රෝගය පැතිරෙන අවස්ථාවේ පිළියම් සොයන අතර තුර රෝගය පැතිර යාම අවම කර ගත යුතු නිසා ඊට තාවකාලික විසඳුම් සොය ගැනීම වැදගත්ය. ඊට බොහෝ දෙනකු සිදු කරන්නේ දළඹුවාගේ හානිය ඇති වගාභූමි විනාශ කර දැමීමයි.

එයට අමතරව මෙම සේනා දළඹු විශේෂය කිසිදු රසායනික ප්‍රතිකාරයක් මඟින් විනාශ කර දැමිය නොහැකි බව ගොවීහු පැවසූහ. “දුම්කොළ වලට දාන ලැනේට් ගැහුවත් මුං මැරෙන්නෙ නෑ.” සිරිකඳුයාය පන්සල අසල කඩ පිලේ වාඩි වී හවස්වරුවේ සල්ලාපයේ යෙදෙමින් සිටි පුංචි බණ්ඩා අපට පැවසුවේය. ඔහුට අනුව ලැනේට් යනු ඉතාම සැර කෘමි නාශක විශේෂයකි. එයිනුත් සේනා මැඩිය නොහැකි නම්, කිසිදු කෘමි නාශකයකින් සේනා මැඩිය නොහැකි බව ඔහුගේ මතයයි.

මීට අමතරව දැනට අත්හදා බලන යම්තාක් දුරට සාර්ථක ක්‍රමවේදයක් ලෙස අළු යෙදීම දැක්විය හැකිය. එහිදී පින්න වැටී ඇති අවස්ථාවක ගොබය තුළට අළු දැමීම සිදු කරයි. ”අළු දාන එක හොඳ වුණාට ගහකට දෙකකටනන් අළු දැම්මැහැකි. හැබැයි අක්කර ගාණක යායකට දාන්නේ කොහේ තියන අළුද?” පන්සල අසල කඩ මණ්ඩියේදී කුමාරි ප්‍රශ්න කරයි.

එසේම මේ සඳහා කෘමි නාශක යෙදීමද එතරම් පහසු කාරණයක් නොවේ. එකක් ස්ථිර ලෙස ඵලදායක වන කෘමි නාශකයක් තවම සොයාගෙන නොමැති නිසාය. අනෙක සේනා දළඹුවන් සිටින්නේ ගොබය තුළ නිසා කෘමි නාශක ඉසීමේදී එය ගොබය තුළටම ඉසිය යුතුය. ඒ සඳහා අනෙක් කෘමිනාශක ඉසිනවාට වඩා වැඩි ශ්‍රම පිරිවයක් යෙදිය යුතු බව ගොවීන්ගේ අදහසයි.

එසේම කෘමි නාශක සහ වල් නාශක වලින් බැහැර ක්‍රමයක් ද මීට යොදාගත හැකි බවට ගොවීහු කියති. එනම් එහිදී සිදු වන්නේ දළඹුවාට සළඹයා වීමට ඇති අවස්ථාව වලක්වා ලීමයි. විදේශ රට වල පසේ ජල සංයුතිය රැක ගැනීමට යොදා ගන්නා බිමට ඉටිකොළ එලීමේ ක්‍රමය මෙහිදී භාවිතයට ගැනීමේ හැකියාවක් ඇත. එහිදී දළඹුවාට සළඹ අවස්ථාවට පත් වීමට ඇති අවකාශය අහුරා දමයි. එනම් දළඹුවාට සළඹ අවස්ථාවට පත් වීමට පස තුළට යාමට අවශ්‍ය වේ. බිමට ඉටිකොළ යෙදීම නිසා එම සත්ත්වයාට එම අවස්ථාව අහිමිවී යයි.

වන්දි

ප්‍රමුඛ වශයෙන් බඩඉරිඟු වගාව මූලික කරගෙන ව්‍යාප්ත වූ මෙම දළඹු වසංගතය මේ වන විට බෝග විශාල ගණනකට වැලඳී ඇත. එහෙත් මේ වන තෙක් කිසිදු ගොවියකුට කිසිදු වන්දි මුදලක් ලැබී නැත. එසේම හානි වූ ප්‍රමාණය සලකා බලන විට වන්දි ලබා දීමද එතරම් පහසු කාරණයක් නොවන බව පැහදිලිය. ඒ සඳහා ඉතා විශාල මුදලක් වැය කිරීමට සිදු වනු ඇත. කෙසේ වෙතත් මේ අවස්ථාවෙන් ඔලුව උස්සා ගැනීමට ගොවීන්ට යම් කිසි වන්දියක් ලැබිය යුතුව ඇත. එය රටේ පාලකයෝ තමාගේ සති කිහිපයක වියදම් කපා හැරීමට සූදානම් නම් එය ඉතාම පහසු කාර්යක් වනු ඇත. එසේම බලධාරීන් ඉතාම ඉක්මනින් මේ උවදුර රටෙන් අතුගා දැමිය යුතුව ඇත. එසේ නොමැතිනම් ගොවියා වැටී ඇති වළට රටටම පැනීමට සිදු වනු ඇත.

සේනා දළඹුවා

දැනට ලෝකයේ පාලනය කිරීමට අපහසුම දළඹුවා ලෙස සැලකෙන්නේ Fall Army Worm හෙවත් සේනා දළඹුවාය. මෙම සත්වයාගේ නිජ භූමිය ඇමරිකාව ලෙස සැලකෙන අතර විශාල වශයෙන් බෝග හානිකිරීම් වාර්තා වන්නේ අප්‍රිකානු රට වලින්ය. ඒ 2016 වර්ශයේදී පමණ වන අතර ඉන් පසුව පසුගිය වසරේදී ඉන්දියාවෙන් මෙම දළඹු හානිය වාර්තා වී ඇත. මෙම සත්වයාගේ ජීව කාලය දින දාහතරක් පමණ වන අතර බිත්තර දැමීම සිදු කරන්නේ අවසාන අවධිය වන සළඹ අවදියේය. එහිදී බිත්තර 1000 ක පමණ ප්‍රමාණයක් හෙළන අතර බිත්තර වලින් පැවවුන් පිටතට පැමිණ වර්ධනය වීම සිදු වන්නේ දින 3 සිට 6 දක්වා වූ කාලයේදීය. මොවුන් මේ අවධියේදී ශාකයේ රැඳී සිටින්නේ ස්ලින්කනයක් සේය. වඩා ක්‍රියාකාරී වන්නේ රාත්‍රී කාලයේදීය. දින 4 සිට 6 දක්වා වූ කාලය තුළ ශාකයට වැඩිම හානියක් සිදු කරන අතර එම කාලයේ කුඩා පැළයකට මේ සත්වයා පැමිණිය හොත් කරල් හා පත්‍ර හට නොගන්නා ලෙස ශාකයට හානි කරයි. ඉන් පසු මෙම සත්වයා ශාකයෙන් බිමට වැටෙන අතර බිමට වැටී පස තුළට සෙන්ටි මීටර 2ත් 8 ත් අතර ප්‍රමාණයක් ගමන් කර සළඹ අවස්ථාවට පත් වේ. ඉන් පසු ශාකයේ පත්‍ර මත බිත්තර දැමීම සිදු කරයි.