මහ බැංකුවේ දෙදෙනාත් කොටු කරන්න හදයි

ආර්. අබේනායක

මහ බැංකු බැඳුම්කර සිද්ධියේදී එවකට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් ලෙස කටයුතු කළ වර්තමානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සහ දැනට විශ්‍රාමික ආනන්ද සිල්වා, රාජකාරී පැහැර හැර, නොසැලකිල්ලෙන් කටයුතු කළ බවට, ජනපති කොමිසමේ නිර්දේශ වල සඳහන් වන බැවින් සහ නීතිපතිට කළ තවත් නිර්දේශයක දැක්වෙන පරිදි ඔවුන්ට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා බ්‍රහස්පතින්දා (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මහ බැංකු බැඳුම්කර වංචා නඩුව කැඳවූ අවස්ථාවේ නීතිඥ සජිත ජයවර්ධන පවසා ඇත්තේ මෙවැනි නිර්දේශ තිබියදීත් මෙම නිලධාරීන් දෙදෙනාගෙන් කට උත්තරයක් හෝ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කර නොමැති බවය. මේ නිසා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවෙල් ටේ‍රෂරීස් අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන තුන්දෙනා මෙන්ම මෙම දෙදෙනාද සැකකරුවන් කරමින් නඩු පවරන ලෙසට රහස් පොලිසියට නියෝග කරන්නැයිද නීතිඥවරයා ඉල්ලා සිටියේය.

මෙය විමර්ශනවලට අදාළ කරුණක් වන නිසා සී. අයි. ඩී. නිලධාරීන් සිටින අවස්ථාවක ඉල්ලීම කරන ලෙස අධිකරණය මෙහිදී දන්වා තිබේ. ■