රනිලුත් කඩුව ගනී. – යළිත් ජාතික ආණ්ඩුවක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

තවත් අමාත්‍ය ධුර ලබාදී 113ක බහුතරය නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා අය-වැයට පෙර යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට, එජාපය තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

මේ වනවිට ජාතික ආණ්ඩුවක් නොමැති නිසා කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30කට සීමාවී ඇති අතර ඒවායේ විෂයයන්ද තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයාය. කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාවද ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ලැබීමත්, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සහ පාලිත රංගේ බණ්ඩාරට මෙන්ම ශ්‍රීලනිපයෙන් එක්වූ කණ්ඩායමට අමාත්‍ය ධුර ලබානොදීමත් යන කරුණුද එජාපයේ නව තීරණයට හේතුවී ඇත.

එජනිස ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ පසු මුස්ලිම් කොංග්‍රසයේ නමින් වෙනම සිටින එකම මන්ත්‍රීවරයා සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එජාපය මීට පෙරද උත්සාහ කළ අතර නව යෝජනාවේදී මුස්ලිම් කොංග්‍රසය හැරුණු විට දෙමළ ජාතික සන්ධානය එක්කර ගැනීම සහ ශ්‍රීලනිපයේ තවත් පිරිසක් එක් කර ගැනීම කෙරෙහිද එජාපයේ විශේෂ අවධානය යොමුවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සමීප ආරංචි මාර්ගයකින් රාවයට වාර්තා වේ.

පසුගිය සමයේ එජාපයෙන්, ඒකාබද්ධ විපක්ෂයට එක්වූ සහ ඒකාබද්ධ විපක්ෂයෙන් එජාපෙ ආණ්ඩුවට එක්වූ කණ්ඩායම් සලකා බැලූවිට, මේ වනවිට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 107ක් වන අතර මුස්ලිම් කොංග්‍රසය නමින් වෙනම සිටින මන්ත්‍රීවරයාද සමගින් එම සංඛ්‍යාව 108කි. ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේ දැනට ඉතිරිව සිටින මන්ත්‍රීවරුන් 14 දෙනාම නව ජාතික ආණ්ඩුවට එක්වුවහොත් ආණ්ඩුවේ සංඛ්‍යාව 122 දක්වා ඉහළ යනු ඇත. එම 14 දෙනා එක් නොවුණහොත් ජාතික ආණ්ඩුවක 113 සඳහා ඒකාබද්ධ විපක්ෂය පාර්ශ්වයෙන් 05 දෙනකු එකතු කරගැනීමට එජාපයට සිදුවේ. ■