සීතලෙන් උපන් ශෝකය

අතුල සමරකෝන්

ගින්නෙන් උපන් සීතල බලාගෙන ඉන්න පුළුවන්, ඒ වගේම නැරැඹිය යුතුම චිත්‍රපටයක්. ශ්‍රී ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසයේ බරපතළ පරිච්ඡේදයක් සේම තීරණාත්මක මැදිහත්වීමක් කළ චරිතයක් පිළිබඳ නිර්මාණය වුණු චිත්‍රපටයක්. චරිතාපදානමය චිත්‍රපටයක දී නිශ්චිත කාලපරිච්ඡේදයක ජීවත්වූ පුද්ගලයකුගේ ජීවිත අන්දරය කියැවෙනවා. මෙවැනි චිත්‍රපටයක සිදුවීම් ගොඩනගන්නේ සත්‍ය සිදුවීම් ඇසුරින්. එම සිදුවීම්වලට මුහුණ මුහුණ දීම තුළින් පුද්ගලයාගේ චරිත ලක්ෂණ හෙළිවෙන්නට පටන් ගන්නවා. අනුරුද්ධ ජයසිංහගේ චිත්‍රපට නාමාවලියේ බරපතළම කෘතිය වන මෙම චිත්‍රපටයට, ධනුෂ්ක ගුණතිලක, නාරද තොටවත්ත, උදේනි සුබෝධි කුමාර, දිනිඳු ජාගොඩ ඉතා හොඳ දායකත්වයක් ලබා දෙනවා. මෙම චිත්‍රපටයට ලැබී තිබෙන දෘශ්‍යමය සත්කාරය නිසා ගින්නෙන් උපන් සීතල ඇඟ කිළිපොලා යන සීතලක් දනවන්නේ විශාල දුකක් ඇති කරමින්.

මුලින්ම දුක හිතෙන්නෙ අදූරදර්ශී තීරණ නිසා නැතිවුණු තරුණ ජීවිත ගැන හිතනකොට. ඒ සඳහා ඕන තරම් සාධක චිත්‍රපටය පුරාම තියෙනවා. දරුවන් පස්දෙනා සමග සිටින විජේවීර අත්අඩංගුවට පත්වන දර්ශනය දැක්කම ඇතිවන දුක තීව්‍ර වෙන්නේ, ඔහුගේ දේශපාලන තීන්දු නිසා විනාශ වුණු තවත් එවැනිම පවුල් හා දරුවන් ගැන මතක් වෙනකොට. ඒ තරමටම එම දර්ශනය ප්‍රබලයි.
සෝමවංශ අමරසිංහ පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ නායකයෙක්. ඔහුගේ ප්‍රධානම රාජකාරිය තමයි සිය නායකයාගේ ආරක්ෂාව සඳහා ගෙවල් හොයන එක. සෝමවංශට එහෙම සිද්ධ වෙන්නේ විජේවීර සැඟවෙන්න තීරණය කළාට පස්සේ, විශාල දරු පවුලක් නඩත්තු කරන නිසා. සෝමවංශට එම වගකීම දරන්න වෙනවා. ඒ නිසා ගෙවල් හොය හොයා යන සෝමවංශ ගැනත් ඇතිවෙන්නේ දුකක්. මේ විප්ලවීය නායකයා රහස් ජීවිතයට පිවිසෙන කොට ඔහුට සිටින්නේ දරුවෝ දෙන්නයි. පස්සේ දරුවෝ පස්දෙනෙක් බවට පත් වෙනවා. ඒ අහිංසකයන්ගේ ජීවිත ගැන ඔහුට හිතන්න වෙනවා. ඒක තාත්ත කෙනෙක් හැටියට කළ යුතුම වැඩක්. ඒ දරුවන්ගේ අනාගතය ගැන ඔහු දුරදිග හිතුවානම්, ඒවා ඒ විදියට වෙන්න පුළුවන්ද කියලා හිතෙනවා. එහෙම කෙනෙක් රටේ තරුණ පරපුරේ අනාගතය ගැන හිතුවේ කොහොමද කියලා මතක් වෙනකොට ඇතිවෙන්නේ දුකක්.

වැඩි පහසුකම් නැති පරිසරයක, පැදුරු උඩ වාඩිවෙලා, තේ බොමින් කරන දේශපාලන තීන්දු තීරණ ගැනීම හරිම අපූරුවට ගොඩනගලා තියෙනවා. එහෙම වුණාම දැනෙන්නේ නිර්ධන පන්තික වැඩක් කියලා විතරක් නෙමේ, ඒ තීන්දු තීරණවල තිබුණු ස්වභාවය කොහොමද කියන එකත්, ඒ කාලේ ගැන මතක තියෙන අපිට හොඳට දැනෙනවා. ලයනල් බෝපගේ සහ ඔහු සමග නික්ම යන අනෙක් සගයා හැරුණුකොට, කිසි කෙනෙක් ගැඹුරු දේශපාලන සංවාදයක යෙදෙන්නේ නෑ. කිර්ති විජේබාහුගේ තීරණ හා ක්‍රියාකාරීත්වය පිළිබඳ මතක තියෙන අපිට, ඒ වගේ තීරණ මේ වගේ දේශපාලන මණ්ඩලයක නේද ගන්ඩ ඇත්තෙ කියලා හොඳටම විශ්වාස ඇතිවෙන විදිහට චිත්‍රපටිය පණ පිහිටවලා පෙන්නනවා. බෝපගේලා වගේ අය ඉතාම සරලව පක්ෂය හැර ගියාට පස්සේ දේශපාලන සභිකයෙකු කලාතුරකින් හෝ යම් බරපතළ ප්‍රශ්නයක් ඇසුවොත් ලොකු අයියා ලෙනින්ගෙන් තියරියක් ඇදල අරිනවා. මල්ලිලා ටික ඔක්කොම සැලෙන්ඩර් වෙනවා.තර්කය සංවාදයට මිසක් යථාර්ථයට වලංගු නෑ කියලා හොඳට පේනවා. 88, 89 අවසාන අදියරයේ දී අරගලය පැවති විදිය ගැන සිහිවන විට මේ වගේ දේශපාලන මණ්ඩලයකින් ගත් තීන්දු තීරණවලින් තරුණ ජීවිත 60,000 ක් විනාස වෙලා අරගලය අවසන් වෙච්ච එක ගැන පුදුම හිතෙනවා. සන්නද්ධ අංශ නායක කීර්ති විජයබාහුගේ අදහස්, හැඳුනුම්පත් එකතු කරන්නට ගත්ත තීරණය, පක්ෂය හැර ගිය සාමාජිකයන්ට සලකන්ඩ ගත්ත තීරණය, ගැන දුක හිතෙන්නේ වසර තිහකට පස්සේ ආපහු හැරිලා බලනකොට විතරක් නෙමෙයි, චිත්‍රපටිය ඇතුළෙත් විජේවීර මෙම තීරණ ගැන දන්නේ නෑ වගේ ඉන්නකොට.

චරිතාපදානමය චිත්‍රපටි වලදී ප්‍රධාන චරිතයට අමතරව අප්‍රධාන චරිතයක් හෝ දෙකක් ගැඹුරට මතුකර ගැනීමට අධ්‍යක්ෂවරු පෙළඹෙනවා. එහෙත් එහෙම ගොඩනැගෙන චරිත මේ චිත්‍රපටිය ඇතුලේ දකින්න නෑ. චිත්‍රාංගනීගේ චරිතය විතරයි තරමක් හෝ ගැඹුරට මතුවෙන්නේ. චිත්‍රාංගනීගේ චරිතයේ මතුවීම නිසා මේ විප්ලවීය නායකයාගේ ආකල්පවල වෙනස් පැත්තක් පේන්න ගන්නවා. තරුණියක් විදිහටත්, ගැහැනියක් විදිහටත් ඇයට අත්වන ඉරණම චිත්‍රපටයෙන් හොඳට මතුවෙනවා. එහෙම පෙනෙන එක තැනක් තමයි 83 ජූලි කලබල විජේවීර රූපවාහිනියෙන් නරඹන දර්ශනය. අතින් කටින් දරුවො එල්ලගෙන ඉන්න චිත්‍රාංගනීට විජේවීරට තේ එක පිළිගන්වන්න සිද්ධ වෙනවා. අනෙක් හොඳම දර්ශනය තමයි, විජේවීර අත්අඩංගුවට පත්වෙන තැන. චිත්‍රාංගනී, විජේවීරට සමුදෙන්නේ වැඳ නමස්කාර කරලා. තමන්ගේ පවුල ඇතුලෙ පරිවර්තනයක් නොකරන විප්ලවීය නායකයෙකු, රටක් පරිවර්තනය කරන්නේ කොහොමද කියලා හිතෙනකොටත් දුකක් ඇතිවෙනවා.
විජේවීර චිත්‍රාංගණීව මුලින්ම දකින අවස්ථාව ඡේදනය වෙන්නේ විමුක්ති ගී සංදර්ශනයකට. මෙම දර්ශන දෙක යා කරන්නේ, සංගීත සංදර්ශනයට පැමිණෙන අත් ටැක්ටරයක පහන් ආලෝකයකින් ඇරඹෙන රූපයකින්. බැලූබැල්මටම මෙම සංස්කරණය ආකර්ෂණීය වුණාට, දෙදෙනාගේ හමුවීමෙන් චිත්‍රාංගනීගේ ජීවිතයට ආලෝකයක් වැටෙන්නේ නැති බව පෙනෙන විට, රවීන්ද්‍ර ගුරුගේගේ එම සංස්කරණය චිත්‍රපටයට රිද්මයක් පමණක් එකතු කරන නිෂ්ප්‍රයෝජන සංස්කරණයක් බවට පත් වෙනවා.

88, 89 යුගයේදී ජනතා විමුක්ති පෙරමුණ මුදාහල භීෂණය චිත්‍රපටයෙන් ඉදිරිපත් වෙන්නේ සීරුමාරුවට. ඇඳිරි නීතියට පිටින් වෙළෙඳසලක් පවත්වාගෙන ගිය මුදලාලි කෙනෙකුට වෙඩි තබන දර්ශනයකට ඒක සීමා වෙනවා. නන්දන මාරසිංහ චිත්‍රපටයෙ මුලදිම වගේ මැකිලා යනවා. කාගෙදෝ අතේ පණිවිඩයක් එවන ගාමිණී ෆොන්සේකා ගැනත්, පොඩි සඳහනක් තියෙනවා. ඒත් 80 දශකයේ තීරණාත්මක දේශපාලන භූමිකාවක් කළ, ජනතා විමුක්ති පෙරමුණ සමඟ මතවාදීව ගැටුණු, හදිසියේ ස්වර්ගස්ථ වුණු විජය කුමාරණතුංග ගැන සඳහනක්වත් නැතිවෙනකොට සිනමා ලෝලියෙක් වන මට නම් ඇති ඇතිවුණේ දුකක්.
අපි වෙනුවෙන් අපි කියමින් උතුරේ දෙමළාට බැට දුන්නු රණවිරුවෝ 89 දී අපිටම කෙළපු හැටි පේන එක මේ චිත්‍රපටය තියන තවත් වැදගත් කතාවක්. අසූ නමයේදී ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන්ව ස්වර්ගස්ථ කළ මිලිටරිය 2005 දී රණවිරුවෝ බවට පත්කරගෙන, පෙරහැරේ ඉදිරියෙන්ම ගිය ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය ගැන මතක් වෙනකොට තමයි හුඟාක් දුක හිතෙන්නෙ.
ධනුෂ්ක ගුණතිලක කැමරාවෙන් අලංකාර රූප පද්ධතියක් සකස් කරන්නේ 80 දශකය සිහිගන්වන වර්ණ තානයක් රඳවා ගනිමින්. ඒ සඳහා කලා අධ්‍යක්ෂවරයාගේ දායකත්වය මැනවින් ලැබී තිබෙන බව පේනවා. චිත්‍රපටයේ වැඩි දර්ශන ප්‍රමාණයක් රූපයට හසුකරගන්නේ, ජනෙල් කවුළු රූපරාමුවේ පෙරබිමේ තබාගනිමින්. ඇතැම්විට චරිත ජනෙල් කවුළු අතර සිරවෙන බවක් ද පෙනෙනවා. මෙම රූප සැකැස්ම චිත්‍රපටයට අලංකාරයක් ගෙන ආව ද ඒ තුළින් අර්ථයක් මතුවෙන බවක් නම් පෙනෙන්නේ නෑ. සිය කැමරා භාවිතය ගැන අදහස් දක්වන ධනුෂ්ක කියන්නේ ඔහු හැමවිටම උත්සාහ කළේ පක්ෂය තුළ කණ්ඩායම් හැඟීම හා සාමූහික බව තිබුණ නිසා තමන් කාගෙවත් සමීප රූපවලට නොගිය බවයි. හැබැයි දේශපාලන මණ්ඩලයේ දේවල් කතාවෙන ආකාරයෙන් පෙනෙන්න තියෙන්නේ, සාමූහිකත්වයට වඩා, ලොකු අයියා කියනවා මල්ලිලා අහගෙන ඉන්න ස්වරූපයක්. එතකොට සාමූහිකත්වය නැති වෙනවා. එහෙම තත්ත්වයකදී සමීප රූපවලට නොයා ඉන්න ගත්ත තීරණය අපරාදේ කියලා හිතෙනවා. දක්ෂ සිනමා ඡායාරූපකරණ ශිල්පියකු වන ධනුෂ්ක ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයට පිවිසෙන්නෙ ම විජේවීර ගැනත්, එම ව්‍යාපාරය ගැනත්, අනුරාගයෙන්. ඒ බව ධනුෂ්ක කියන්නේ මෙහෙම. “මම ඇත්තටම ආදරෙයි රෝහණ විජේවීර කියන චරිතයට” ඒකට කමක් නෑ. හැබැයි සිනමා ඡායාරූපකරණයේ දී දක්ෂතාවටයි අනුරාගයටයි අමතරව තමන් රූපගත කරන විෂය පිළිබඳ විචාරාත්මක අවබෝධයක් අවශ්‍යම බව හොදටම පෙනෙන්නේ ධනුෂ්ක සෝමවංශ අමරසිංහ ව රූප රාමුවට හසුකර ගන්නා දර්ශන වලදී. නළු නිළියන් රූප රාමුවේ ස්ථානගත කරන ආකාරයෙන් චිත්‍රපටයක අර්ථ සම්පාදනය කරන්න පුළුවන් කියලා චිත්‍රපටයේ mise en scene  ගැන කතා කරනකොට අපි අහලා දැකලා තියෙනවා. ප්‍රධාන නායකයන් සියල්ල අසූ නමයේදී මියයද්දී, සෝමවංශ අමරසිංහ පමණක් සිය ජීවිතය බේරා ගත්තේ කොහොමද කියන එක ඉතා පැහැදිලි කාරණයක්. චිත්‍රපටය තුළ ප්‍රේමදාස ගැන සඳහන් කරන අවස්ථා තුනෙන් දෙකක දීම රූප රාමු සකස් කිරීමේදී සෝමවංශ ව රූපරාමුවෙ වැහිලා යනවා. එහෙම වෙන්නේ විෂය පිළිබඳ අනුරාගය නිසා. අනුරාගයට එහා ගිය, රූපගත කරන දෙය පිළිබඳ විචාරාත්මක අවබෝධයක් ද තිබුණ නම් එසේ නොවී, වෙනත් මානයක් මතුකර ගන්න ඉඩ තිබුණා.

චිත්‍රපටයේ නළු නිළියෝ තමන්ගේ කාර්යයන් හරියටම ඉටු කරනවා. ඒ සඳහා අංග රචනා ශිල්පී නාරද තොටගමුවගෙන් ලැබිලා තියෙන සහය විශිෂ්ටයි. චිත්‍රපටය තුළ අපි දකින මුහුණු, එම යුගය තහවුරු කරනවා. කමල් අද්දරආරච්චි ඔහුගේ චරිතය ගොඩනගන්නේ, නැවත නැවතත් ඔහු සිනමාරූපී නළුවකු බව පෙන්වා දෙමින්.දක්ෂ අධ්‍යක්ෂවරයකු වන අනුරුද්ධ ජයසිංහගේ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය නියත වශයෙන්ම අයත්වන්නේ චරිතාපදානමය වෘතාන්ත සිනමා ප්‍රවර්ගයට මිස වාර්තා වර්ගයට නොවේ. එහෙත් චිත්‍රපටයේ අඩුවෙන්ම දක්නට ඇත්තේ චරිතාපදානමය වෘතාන්ත සිනමාත්මක ලක්ෂණයි.

විජේවීර නම් ආදරණීය තාත්තා ගැන හොඳටම දැනෙන්නේ චිත්‍රපටය අවසාන දර්ශනයට කලින් දර්ශනයේදී. ඊට පෙර ඒ වගේ දේවල් පෙන්නලා තිබුණට දැනෙන්නේ නෑ. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සමග දේශපාලන සංවාදයක යෙදෙන විජේවීර කියන්නේ රට කියලා නෙමෙයි මව්බිම කියලා. වර්තමාන ලංකාව නැවත ගොඩ එන්නට අමාරු තරමේ ජාතිවාදී වළකට දාන්න විජේවීරගේ දායකත්වය සුළුපටු නැහැ. ඔහුගේ ජාතිකවාදී අදහස් හොඳින් පෙනෙන දර්ශන තව ඕන තරම් චිත්‍රපටයේ තියනවා. මතවාදී වශයෙන් ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය සේවය කරන්නේ මේ මොහොතේ ජාතිකවාදී නඩයට. විජේවීර ගැනත් 80 දශකයේ එම ව්‍යාපාරය ගැනත් අධ්‍යක්ෂවරයකුට තමන්ට රිසි පරිදි චිත්‍රපටයක් කරන්නට නිදහසක් ලබා දෙන්නට තරම් ජනතා විමුක්ති පෙරමුණ වර්ධනය වෙලා කියල හිතන්න තරම් සාධක තවම නෑ. ඒ නිසා චිත්‍රපටයට පක්ෂයේ මැදිහත්වීම හොඳට පේනවා. ප්‍රශ්නය ඒක නෙවෙයි. සුබවාදී අනාගතයක් ගොඩනඟන්නට වසර තිහක් අතීතය දෙස විචාරාත්මකව බලන්නට අවශ්‍ය වන, ඇස හා ඥානය, අලුත් ගමනක් යනවාය කියන ජනතා විමුක්ති පෙරමුණ තවමත් උකහා ගෙන නැති බව මෙම චිත්‍රපටයෙන් පෙනෙනකොට ඇත්තටම දුක හිතෙනවා අප්පා.