හරීන් ඕස්ට්‍රේලියා යයි ක්‍රිකට් ගොඩ

ඒ. වික්‍රමසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බේරාගැනීමේ අභීත තීරණ ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඕස්ටේ්‍රලියාව බලා ගියේය. පළමු ටෙස්ට් තරගය පරාජයවීමත් සමග තවදුරටත් ලංකාවට වී කල් මැරීම ඇමති කෙනකුට තරම් නොවන බැවින්ද, ඕස්ටේ්‍රලියා සංචාරය අහවර කොට මෙරටට පැමිණෙන තෙක් බලා සිටීමද ක්‍රිකට් ඉවරයටම ඉවර වෙතැයි යන බිය නිසාද ඇමති හරීන් ඕස්ටේ්‍රලියාව බලා ගියේය. දියුණු තාක්ෂණය සපිරි ලෝකයේ ඩිජිටල් තාක්ෂණයේ ඇමැත්තාද වූ හරීන්ට ඕස්ටේ්‍රලියාවේ නොගොස් මෙරට සිට ගතයුතු පියවර දැනුම්දීමට නොහැකිද? එහෙත් ඒ වගේද ඕස්ටේ්‍රලියාවටම ගොස් උපදෙස් දීම යන්න හරින්ගේ කල්පනාවය. ඒ අනුව ඉතිරි තරගය ශ්‍රී ලංකාව හරීන් වෙනුවෙන්ම ජයගන්නවා නියතය. පරාජයන් හමුවේ හිරිකිතයක් නැතිව කතා කළ හැකි චන්දිමාල් අද මුදලට හෙට ණයට මෙන් හැමදාම කියනුයේ නියම සූදානම ඊළඟ තරගයට බවය. චන්දිමාල් මෙරටටම ගැළපෙන නායකයෙකි.

චන්දික හතුරුසිංහ යනු පසුගිය කාලයේ ලොව සිටි හොඳම පුහුණුකරුවාය. ඔහු ගෙන්වීම සඳහා ගැසූ කයිවාරු තොගය මීතොටමුල්ල කුණු කන්ද තරම් උසය. දයාසිරි ජයසේකර හතුරුසිංහ ගැන කළ වැනුම් සැළලිහිණියේවත් නොවීය. එහෙත් හතුරුසිංහ යනු නිකමෙක් බව ඔප්පු වී හමාරය. පුම්බා පිම්බී තැබුවෙක් බව පැහැදිලිය. දීමනාද ඇතුළුව මාසිකව ලක්ෂ 75ක මුදලකට හතුරුසිංහ ගෙනාවේ මේ ආකාරයට පරදින්නට නම් ඒ තැනට පර්සි වුව දැමිය හැකි නොවේද? තිලංග සුමතිපාලට සහ දයාසිරි ජයසේකරට වුවමනා වූයේ මෙරට ක්‍රිකට් නගා සිටුවන්නට නොව අර්ජුන රණතුංගට ටොකු අනින්නටය. හතුරුසිංහට තැනක් නොදුන්නේ අර්ජුන බැවින්, අප එය නිවැරදි කරන්නට වගබලා ගත්තා යන්න මේ දෙපළ පුන පුනා නොකියා කී දෑය. එය නම් නිවැරදි විය. එහෙත් ක්‍රිකට් නිවැරදි වීද? අර්ජුනගේ විශ්වාසය හරිය. ලෝක ශූරයන් වූ කණ්ඩායමක් සිටි රටකට හතුරුසිංහ සුදුසු නැත. හතුරුසිංහ සුදුසු බංග්ලාදේශය වැනි රටකටය. දැන් නම් ඊටද සුදුසු නොවේ. නැවත ඔහුව කිසිදු රටක් නොගන්නවා සහතිකය. හතුරුසිංහ ගෙන එන්නට පෙර ක්‍රිකට් තරගයක් පරදින වාරයක් පාසා පුහුණුකරු නොසෑහෙන්න බැණුම් ඇසූහ. එහෙත් හතුරුසිංහ දිගටම පැරදුණද චන්දිමාල් තියරිය අනුව ඊළඟ තරගය ජය ගනු ඇතැයි සිතමින් තබා ගන්නේය. මේ කාගේ නම් ක්‍රමවේදද?

ඒ අතර ශ්‍රී ලංකාවේ ‘ඒ’ කණ්ඩායම ජයගනිමින් සිටී. එහෙත් ලැජ්ජාව නම් මේ ‘ඒ’ කණ්ඩායමක්ද යන්නය. ශ්‍රී ලංකා ජාතික පිලේ වසර ගණනාවක් නායකත්වය දැරූ දැනට ශ්‍රී ලංකා පිලේ සිටින වයස්ගතම ක්‍රීඩකයා වන උපුල් තරංග ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ සුපිරි වැඞ්ඩාය. උපුල් තරංග හැරමිටියෙන් හෝ පැමිණ ක්‍රිකට් ගසනු ඇත. එහෙත් ඔහුව තෝරන අයට ලැජ්ජාවක් නැද්ද? ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නවකයන්ගෙන් සැදුම්ලත් අලුත් බලාපොරොත්තු දල්වා ගන්නට පසුබිම හදන්නට මේ ක්‍රිකට් පාලකයන්ට බැරිද? ජාතික කණ්ඩායමෙන් කැපුණු අය දමාගෙන ‘ඒ’ කණ්ඩායම් සැදීමෙන් අනාගත ක්‍රිකට් සංවර්ධනය උදාකර ගන්නේ කෙසේද? මේවා නොදකින හරීන්ට ඕස්ටේ්‍රලියාවේ ගිය පසු අදහස් පහළවේද? මේ ක්‍රීඩා ඇමතිවරුන්ගේ රට යෑමේ මේනියාවය. හරීන්ටද ඒ ලෙඬේ අගේට ඇඟට ඇතුළු කළේය. දැන් ඔහු ඕස්ටේ්‍රලියාවේ ගොස් ක්‍රිකට් පරිපාලනය කරනවා විය යුතුය. මේ බහුබූතය. ශ්‍රී ලංකා පිල පරදිනුයේ හොඳ පුහුණුවක්, දක්ෂයන්ට නිසි තැන දීමක් මෙන්ම කිසිදු කණ්ඩායම් හැඟීමක් නැති නිසාය. අද ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුද ක්‍රිකට්වල තීන්දු තීරණ ගන්නා තැනට තල්ලු වී ඇත.

ක්‍රිකට් ලෝක කුසලානය පේන මානයේ අප දක්වන උදාසීනත්වය අද ඊයේ ඇති වූවක් නොව දීර්ඝකාලීනව ගොඩ නැගුණු කඩා වැටීමකි. මේ තත්ත්වය නිවැරදි කරන්නට නම් මුලින්ම ක්‍රිකට් පරිපාලනය නිවැරදි විය යුතුය. තිලංග පිල සේ ම ජයන්ත පිලටද මේ ක්‍රිකට් සංවර්ධනය කළ නොහැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ මේ දෙපිළ තරගයටය. එහි වැඩි ගෞරව තිලංග පාර්ශ්වයට හිමිවන්නේ වැඩි කාලයක් බලය රඳවාගෙන සිටියේ ඔවුන් නිසාය.

හරින් ආ දවසේ සිට උනන්දුව ක්‍රිකට් ගැනය. ඒ ද වැඩි හොඳකට නොවන බව පැහැදිලිය. ඔහු ක්‍රීඩා ඇමති නොව ක්‍රිකට් ඇමති වී ඇත. අමාත්‍යාංශ දෙක තුනකම ඇමති වන හරීන් එක තරගයක් පැරදුණු වහාම ඕස්ටේ්‍රලියාව බලා යයි. මේ රටේ වගකිවයුතු ඇමතිවරුය. කෙසේ වෙතත් දැනට කිවයුත්තේ නම් මේ රටේ ක්‍රීඩාව හැදීම ඇමතිවරුට අදාළ නැති බවය. ඔවුන් ක්‍රීඩා ඇමතිකමට එනුයේ පිට්ටනි හදා මල්ල පුරවා ගන්නට සහ රට සවාරි යන්නටය. පසුගිය කාලයේ ඇමතිවරු කළෙත් ඒ දේමය. හරින් පටන් ගෙන ඇත්තේද ඒ වැඬේමය. ඔහොම යං.