ආරක්ෂක ලේකම්ට ගල්ගසන්නට පෙර මේ ගැනත් සිතන්න

 

මේ දිනවල දේශපාලන කටගැස්ම බවට පත්ව ඇත්තේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නාලන්දාවේ කළ කතාවය. හේමසිරි ප්‍රනානන්දු මහතා ආරක්ෂක ලේකම් වීම ගැන වගේ වගක් නැතිව සිටි බොහෝ දේශපාලකයෝ මේ කතාවත් සමග වලිග ගිනි තබාගෙන රට පුරා ගිනි තැබීම පටන් ගත්හ. ඒ හේමසිරි ප්‍රනාන්දු මහතා කළ කතාවේ කොණක් අල්ලාගෙනය. ඔහු කළ සමස්ත කතාවම ‘රාවය’ පාඨකයන්ට වැදගත් නොවන බැවින් එහි පාසල් සමය සහ පෞද්ගලික කතා හලා ඇති අපි මේ දිනවල කතාබහ උණුසුම් වූ ආරක්ෂක ලේකම්ගේ කතාවේ වැදගත් කරුණු රාවය පාඨකයන්ට කියවීමට සැලැස්වීමට සිතුයේ අන් දෙයක් නිසා නොව රාවයද නිරන්තරයෙන්ම වත්මන් ආරක්ෂක ලේකම්ගේ මතය මුල සිටම ප්‍රකාශ කළ බැවිනි. එනම් රණවිරු ලේබලයට මුවාවී අපරාධ සිදුවිය නොහැකිය යන්නය. ඕනෑම අපරාධයක් කර රණවිරුවන් නාමයෙන් ගැලවිය හැකි නම් නීතියක් කුමකටද? ආරක්ෂක ලේකම්වරයා නාවික හමුදාවේ සෙබළු එකළොස් දෙනකු ගැන කී කතාව ජාතිවාදී දේශපාලන වේදිකා ගිනි අවුලුවා ඇත. මේ අමන දේශපාලන භාවිතාව තුළ තම දේශපාලන වාසියට කරන කතාවලට ආරක්ෂක ලේකම් කළ කතාවේ හරය යටකර දැමීමට ඉඩ නොතැබිය යුතුය. ජනපති වුව වටහාගතයුත්තේ මේ දේශපාලන ගිනි පන්දම්වලින් එන එළිය නොව තම ආරක්ෂක ලේකම් කළ කතාවේ හරයය. එය ජනපතිගේ ගමනටද ආශිර්වාදයකි. වැරදි නම් කවුරු වුව වැරදිය. එයට රණවිරුවාද දෙවියාද කියා වෙනසක් නැත. අප සිටගත යුත්තේ එතැනය. ආරක්ෂක ලේකම්ගේ කතාව තුළ ඇත්තේ එයය. මේ ඒ කතාවේ අත්‍යවශ්‍ය ටිකය.

“සුමිත් එදිරිසිංහ මහත්තයා මා ගැන හඳුන්වාදීමේ වැඩසටහනේදී වැරැද්දක් කළා. එයා කිව්වා මම රණවිරුවෙක් කියලා. මං රණවිරුවෙක් නෙමෙයි. මේ රටේ රණවිරුවෝ ඉන්නේ 39,000යි. ඒ 39,000න් 34,000ක් ඉන්නේ යුද හමුදාවේ, 4400ක් ඉන්නේ නාවික හමුදාවේ, 868ක් ඉන්නේ ගුවන් හමුදාවේ. රණවිරුවෙක් වෙන්න නම් තමාගේ නමට රණවිරු පදක්කමක් ගැසට් කළ යුතුමයි. එහෙම නැතුව දැන් අර මාස 03කට ඉස්සෙල්ලා හමුදාවට බැඳෙන තරුණ කොල්ලො ගමට ගිහින් බස්එකෙන් බහින්නේ මමත් රණවිරුවෙක් කියාගෙන. ඒක හරියන්නේ නැහැ. රණවිරුවෝ 39,000යි ඉන්නේ. මම තමයි ඉස්සෙල්ලම ජනාධිපතිතුමාට කිව්වේ අතිගරු ජනාධිපතිතුමනි, මේ ප්‍රකාශය කරන්න එපා. ඒක හරිම නොමගයවනසුලු ප්‍රකාශයක්. මේ ඉන්න රණවිරුවෝ හැමදෙනාටම ගැසට් කරලා තියෙන්න ඕනේ රණවිරු පදක්කමක්.

හැබැයි ගුවන් හමුදාපතිතුමාත් දන්නවා, අද්මිරාල් ජස්ටින් ජයසූරියත් දන්නවා 1985 මේ කාලකණ්ණි යුද්ධය පටන් අරගෙන අවුරුදු 02කට පස්සේ මම හිටියේ ත්‍රිකුණාමලයේ ඉඳල කිලෝමීටර් 30ක් උතුරෙන් මහා කැලේ මැද්දේ තිබ්බ බොහොම තනිවෙච්ච නාවික හමුදා කඳවුරක කඳවුර භාර නිලධාරියා විදිහට. එතුමා දන්නවා ඉස්සර මේ කඳවුරට පිරිස් යවනකොට අපි කියන්නේ ඒගොල්ලෝ යන්නේ one way ticket  අරගෙන ආපහු එන්නේ නෑ කියලා. ඒ තරම් භයානකයි. ඉතින් ඒත් මම රණවිරුවෙක් නෙමෙයි. ඒත් මට තිබෙනවා පූර්ණ භූමි පදක්කමක්. මට රණවිරු පදක්කම් නැහැ RSC, RWP  මේ එකක්වත් නැහැ. හැබැයි එකක් කියන්නම් ජස්ටින් ජයසූරිය අද්මිරාල්තුමා දන්නවා මම මාස 06ක පටන්, ත්‍රිකුණාමලයේ ඉඳලා දෙකේ කෝච්චියේ, හරියටම 1985 මැයි 31 ත්‍රිකුණාමලයෙන් දෙකේ කෝච්චිය අරන් මම කොළඹ ආවා. එදා රෑ 10.30ට මගේ කඳවුරට ගහල බිමට සමතලා කළා. මාව නිවාඩු යවන්න ගිය නාවික හමුදා නිලධාරියත් ජීවිතක්ෂයට පත්වුණා. එදා මම හිටිය නම් එක්කෝ මට මරණෙන් පස්සේ හම්බවෙන වීරෝධාර පදක්කම හම්බවෙනවා. එහෙම නැත්නම් මැරෙන්න හැමෝටම බෑ. මම කියන්නේ මැරෙන එක තමයි අමාරු ජීවත්වෙනවට වඩා.
මම කුච්චවේලී ඉන්නකොට ජස්ටින් ජයසූරිය අද්මිරාල්තුමා තමයි ත්‍රිකුණාමලය භාරව සිටිය නාවික නිලධාරිතුමා. අපි කියන්නේ NOICT Naval Officer in Charge Trincomalee  කියලා. ඊට පස්සේ තමයි Commander Eastern Naval Area උනේ. එතුමා දන්නවා ඒ තිබුණු තත්ත්වය. ඉතින් මේ ඒක හින්දමට ඕක මතක් කරන්න ඕනේ වුණේ මොකද? මේ රටේ බොහෝ දෙනා මේ රණවිරුවෝ කියන එක වැරදි විදිහට අර්ථකථනය කරනවා. රණවිරුවා හමුදාවෙන් ගිහිල්ල මිනියක් මරපු දවසට එයාට රණවිරුවා කියන්න බැහැ. එයාට කියන්නේ මීනිමරුවා කියලා. එයාව ලංකාවේ වලංගු නීතිය අනුව අධිකරණයට ගෙනල්ලා උපරිම දඬුවම් දිය යුතුයි.

අපි ඒ වගේ ක්‍රියාමාර්ග දැන් අරගනිමින් යනවා. විශේෂයෙන්ම තව සුමාන දෙකක් ඇතුළත ලංකාවේ සිදුවෙච්ච ඉතාම බිහිසුණු ම්ලේච්ඡ මිනීමැරුමකට සම්බන්ධ වෙච්ච හමුදා පුද්ගලයන් 11කට අපි නඩු පවරනවා. අන්න එදාට ඩයස්පෝරා එකට කියන්න බෑ ලංකාවේ හමුදාව එහෙම නැත්තන් රජය ඒ මානව හිමිකම් කඩකළ අමානුෂික විදිහට කටයුතු කළ හමුදාවේ අයට අපි දඬුවම් දෙන්නේ නැහැ කියලා. අපි එදාට අභියෝග කරනවා ඩයස්පෝරා එකට. උඹලට තියනව නම්, තවත් මේ වගේ ඔප්පු කරන්න පුළුවන් සාධක තියන, මේ වගේ මිනීමැරුම් කරුණාකරලා අපිට දෙන්න. අපි ඒවත් ඒ විදිහට විභාග කරලා ඒවටත් දඬුවම් දෙනවා.

ඉතින් ඒක නිසා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලත් සමහර වෙලාවට මේ රණවිරුවෝ කියන වචනේ වැරදියට පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරන්න එපා. මේකට එංගලන්තේ කියන්නේ War Hero කියල ඇමරිකාවේ කියන්නේ War Veterans  කියලා. ශ්‍රී ලංකාවේ තමයි 500,000ක් යුද්දෙට සහභාගි වුණ රණවිරුවෝ කියන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එතකොට මේක කියන කොට මගෙන් ජනාධිපතිතුමා ඇහැව්වා, “දැන් ලංකාවේ මෙච්චර ගාණක් යුද්දෙට සහභාගි වුණා, ඒගොල්ලෝ කවුද?” කියලා. මම කිව්වා “ජනාධිපතිතුමනි, ඒ අය යුද්දෙට සහභාගි වෙච්ච හමුදා භටයන්, නාවික හමුදා භටයින් සහ ගුවන් හමුදා භටයන්. මේක අපි තේරුම් ගත යුතුයි.”

දැන් අපි විශේෂ වැඩපිළිවෙළවල් කරගෙන යනවා. විශේෂයෙන්ම යුද්ධයෙන් මියගිය හා පූර්ණ ආබාධයට ලක්වූ ඒ සියලුදෙනාටම දැනටත් වඩා අපි අවධානය යොමු කරමින් ඒ අයට පහසුකම් සැලසීමට. හමුදාපතිවරුන් තුන්දෙනා එක්ක මම මේ පිළිබඳ සාකච්ඡා කරලා අමාත්‍යාංශ මට්ටමෙන් කරන්න ඕනේ කටයුතු සියල්ලම කරනවා.

එතකොට තව දෙයක් කියන්න ඕනේ තමුන්නාන්සේලා සියලුදෙනා දන්නවා දශක තුනක් අපි මහා ම්ලේච්ඡ යුද්දෙක පැටලිලා හිටියා, එල්ටීටීඊ සංවිධානයත් සමග ඉතා ම්ලේච්ඡ යුද්ධයක්. දහස් ගාණක් දෙපැත්තේම මැරුණා. ජීවිතක්ෂයට පත්වෙච්ච ගණන අප්‍රමාණයි. හැබැයි මේ එල්ටීටීඊ යුද්ධය මොකක්ද කියල හිතෙයි අපිට බොහොම ඉක්මනට මුහුණ දෙන්න තියන අනෙක් යුද්ධය ගැන හිතන කොට.
මෙතන ඉන්නවා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා. ඒ පිළිබඳව මේ වෙනකොටත් අපි ජනාධිපති කාර්ය සාධක බලකාය දාලා බලනවා. ඒක තමයි අන්තරාදායක මත්ද්‍රව්‍ය නැති කිරීමේ යුද්ධය. මේක අපි හිතන තරම් ලේසි නෑ. මේක නැති කරන්න අපි අවතීර්ණ වෙනකොට අපට හිතෙයි එල්ටීටීඊ යුද්ධය ඉතාම සරල යුද්ධයක් කියල. මෙය එතරම් භයානකයි. අපි ඊට අවශ්‍ය කටයුතු දැන් කරගෙන යනවා.
ඒ එක්කම තවත් එකක් කියන්න ඕනේ. අනවසර ගිනි අවි ගැන. මම දැන් සුමාන දෙකකට කලින් තමයි දැනගත්තේ මි.මී. 9 පිස්තෝල සහ රිවෝල්වර 4,700ක් ලයිසන් කරලා තියනවා කියලා. හැබැයි ලයිසන් කරපු කිසිම පදනමක් නැහැ. කා ළඟද තියෙන්නේ කියලාත් නැහැ. ඒවා පිළිබඳ දත්ත සටහන් කොහේවත් නැහැ. ඒවා දුන්න ෆයිල් එකකුත් නැහැ. ඉතාම භයානක තත්ත්වයක්. සමහරුන්ට තියනවා පිස්තෝල 14ක් නැත්නම් 15ක් එක්කෙනෙක්ගේ නමට. ඒ පිළිබඳ බොහොම අන්තරාදායක පියවරකට මම අවතීර්ණ වෙලා තියනවා. මම මේ සියලුම ගිනි අවි පුද්ගලිකවම ආරක්ෂක අමාත්‍යාංශයට ගෙනල්ලා පෙන්නලා නුදුරු දිනක ඉඳන් අවසර පතක් ගන්න ඕනේ.

හැබැයි මේ ගිනිඅවි අතේ තියාගන්න පුද්ගලයන් පිළිබඳ බුද්ධි අංශවලින් තොරතුරු ලබා ගන්නවා. මෙතෙක් බුද්ධි අංශවලින් අරගෙන තියන තොරතුරු අනුව නිල වශයෙන් බලපත්‍ර දුන්න 4,700කින් 1,000ක් විතර තමයි තමන්ගේ ආයුදේ තමන්ගේ අතේ තියෙන්නේ. අනෙක් අය ළඟ තියෙන්නේ අර බලපත්‍ර කොළ කෑල්ල විතරයි. ඒ ගිනි අවි තියෙන්නේ කොහෙද කියල අපි දන්නේ නැහැ. එක බුද්ධි අංශ වාර්තාවක් අපිට කිව්වා, “මේවා සංසරණය වෙනවා හැමතැනම. මේවා පාතාලය අතේ තියෙන්නේ මේ බලපත්‍රය තියන මනුස්සයට හැමදාම රුපියල් 50,000ක් ඒ පාවිච්චි කරන මිනිස්සු ගෙනත් දෙනවා.” කියල. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේ පිළිබඳව අපි තවදුරටත් කටයුතු කරගෙන යනවා. ඉතාමත් භයානකයි. ඒක නිසා අපි ඒකට අවතීර්ණ වෙලා තියෙනවා. ත්‍රිවිධ හමුදාවල සහයෝගයෙන්. අනවසර ගිනි අවි හොයන්න පුළුවන්.

මට ජනාධිපතිතුමා එව්වා ඉතාම තරුණ මන්ත්‍රීවරු 10 දෙනෙක්. දකුණේ, අම්පාරේ, මොනරාගල වගේ පළාත්වලින්. ඒ අය මට ඇවිල්ල කිව්වා ආරක්ෂක ලේකම්තුමා අපේ හැම ගමකම 20-50ක් විතර අපේ තරුණයෝ කුඩු බොනවා කියලා. මට ඇඟ හීතල වෙලා ගියා. 20-50ක් අතර හැම ගමකම කුඩු බොනවා නම් මේ යුද්ධය පටන් ගන්න තිබ්බේ අවුරුදු 20කට එහා දැන් නෙමෙයි. හැබැයි සෑහෙන ප්‍රමාණයකින් අපි මත්ද්‍රව්‍ය අල්ලලා ඉතාම හොඳ කටයුත්තක් කරගෙන යනවා. හැබැයි ඊට අවශ්‍ය නොයෙකුත් කටයුතු කරන්න ඒකට අවශ්‍ය උපකරණ ගන්න ඕනේ. රුපියල් බිලියන 1ක් යනවා පළවැනි ලොට් එක ගන්න. ජනාධිපතිතුමා කිව්වා මම දෙන්නම් ජනාධිපති අරමුදලෙන් කියලා. දැන් ඒ පිළිබඳව ඊශ්‍රායලයෙන් ඒ උපකරණ ගෙන්වීමේ කටයුතු කරනවා. මේක හරි අභියෝගයක්.
මම මේ කතාවට ආවේ, මේ දැවැන්ත අභියෝගවලට මුහුණ දෙන ඒ පන්නරය මම ලබන්නේ නාලන්දාවෙන්. ඔන්න ඔය ටික කියන්නයි මං ආවේ. අපි අඩිය ගන්නේ නෑ පස්සට මොන තත්ත්වයක් යටතේවත්.