විද්්‍යුත් මාධ්‍යයේ හැසිරීම පිළිබඳ කතිකාව කෙසේ ස්ථානගත කළයුතුද?

විජයානන්ද ජයවීර

විද්‍යුත් මාධ්‍ය චර්යාව පිළිබඳ ඇති වී තිබෙන විවේචනය ස්ථානගත කළ යුත්තේ කිනම් ආකාරයක ප්‍රතිඵලයක් ළඟාකර ගැනීම සඳහාද යන කාරණය ඉතා වැදගත්. ඒ නිසා හුදු ව්‍යාපාරික ක්ෂේත්‍රයකට වඩා ජනමාධ්‍ය පද්ධතිය සමාජයීය ආයතනයක් වශයෙන් සලකා බැලීමත් ඒ අනුව එම සමාජයීය ආයතන පද්ධතිය ඵලදායී ලෙස වැඩි දියුණු කළ හැක්කේ කෙසේද යන්න අවධානයට ලක් කිරීමත් මේ ප්‍රශ්නයේදී ඉතා වැදගත් වෙනවා.

ජන සමාජයක් කියලා අපි කියන්නේ එකම භෞමික දේශසීමාවක් තුළ ජීවත්වෙන විශාල පුද්ගල කණ්ඩායමකට. ඒ පුද්ගල කණ්ඩායමට සමාජයක් වශයෙන් ජීවත්වීමට සිද්ධ වෙන්නේ එකම දේශපාලන අධිකාරියක, ආර්ථික රාමුවක හා සංස්කෘතික ආධිපත්‍යයක බලපෑමට ලක් වෙලා. ඒ අනුව ජන සමාජයක් ආර්ථික, දේශපාලනික, සාමාජයීක, කාර්මික, සහ සංස්කෘතික ආදී විවිධාකාර ව්‍යුහ වශයෙන් නිරූපණය වෙනවයි කියලා ව්‍යුහවාදී විදියට හිතන්නත් පුළුවන්. ඒත් සමාජයෙන් වියුක්තව (එසේ වියුක්ත වීමට ප්‍රායෝගික ව හැකි නුවූවත්) තනි තනි පුද්ගලයන් වශයෙන් ළඟාකර ගැනීමට නොහැකි ආකාරයේ ඵල ප්‍රයෝජන, කිසියම් ප්‍රමාණයක ඵලදායක සහයෝගිතාවක් සමාජයක සාමාජිකයන් අතර පවත්වා ගැනීමට හැකිවන තාක් දුරට, ඒ සමාජයේ සාමාජිකයන් බහුතරයකට ලබාගන්න පුළුවන්. මහජන යහපත උදෙසා කටයුතු කිරීම යනුවෙන් අපි මෙය හඳුන්වනවා.

එතකොට මෙතෙන්දි සහයෝගිතාව කියලා අපි සඳහන් කරන්නේ, යම් යම් විෂමතා තිබුණත්, පුද්ගලයන් අතර ඇතිවෙන සමාජ සම්බන්ධතා වල සමස්ත එකතුවෙන් බිහිවෙන දෙයකට. මේ සමාජ සහයෝගිතාව මූලිකව නියාමනය වෙන්නේ සමාජය අනුගමනය කරන දේශපාලනික, නෛතික හා ආර්ථික හා සංස්කෘතික විධි විධාන මගින්. ඒ නිසා අපේ නිරන්තර අරගලය මේ දේශපාලනික, නෛතික, ආර්ථික හා සංස්කෘතික විධිවිධාන වඩ වඩා දියුණු මට්ටමකට ගෙන ඒම මගින් ඒවායේ කාර්යක්ෂමතාව හා ඵල දායකත්වය ඉහළ නංවා ගැනීමයි.

එහෙත් සමාජය යන්නෙන් නිරූපණය වන්නේ හුදෙක් එය තුළ ජීවත් වන අය කෙරෙහි බලපවත්වන දේශපාලනික, නෛතික, සංස්කෘතික හා ආර්ථික විධිවිධාන ජාලය පමණක් ම නොවේ. එකී විධිවිධාන වැඩිදියුණු කිරීමට අවශ්‍ය කතිකාව පවත්වා ගෙන යාමට මෙන් ම සමාජයක සාමාජිකයන්ගේ නිරන්තර දැන ඉගෙන ගැනීමට පාදක වන ජනසන්නිවේදනය ද සමාජය නිරූපණය කිරීමේ ලා ප්‍රමුඛ සාධක වෙනවා. කොටින් ම සමාජය යනුවෙන් හැඳිවෙන්නේ ම එම සමාජයේ සාමාජිකයන් එකිනෙකා අතර සිදුවන සන්නිවේදනය මගින් සමාජය ගැන ඇති කරගන්නා අවබෝධය හෙවත් ප්‍රත්‍යක්ෂණයයි. වර්තමානයේ දී මේ සමාජයීය සන්නිවේදන කටයුත්ත මූලික වශයෙන් ම සිද්ධ වෙන්නේ ජනමාධ්‍ය හරහායි.

මේ නිසා ජනමාධ්‍යයේ චර්යාව සමාජ සහයෝගිතාවේ දිශානතිය හා ප්‍රතිඵල තීරණය කිරීමේලා ඉතා වැදගත් වෙනවා. මේ සඳහා අදාළ එදිනෙදා සිදුවීම් වල වැදගත්කමට සරිලන තොරතුරු ලබා ගැනීමට අපට ඇති අයිතිය ජනමාධ්‍ය තුළින් ඉටුවිය යුතුයි. මෙය ඉටුවන බව වැටහෙන්නේ ජන සමාජයේ සාමාජිකයන් වශයෙන් අප මුහුණ දෙන මූලික ගැටලුව වන නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාව නිසි ලෙස තේරුම් ගෙන ජනමාධ්‍යකරුවන් කටයුතු කරන බව අපට පෙනීගිය විටයි. සමාජයක සාමාජිකයන් වශයෙන් අපට වැදගත් වන කරුණු හා ප්‍රවණතා සම්බන්ධයෙන් සැලකිය යුතු කාලානුරූප දැනුමක් ලබාගැනීමට අවශ්‍ය මාර්ග, කැපකිරීම හා කාලය අපට අවශ්‍ය පමණට නොමැති වීම නිසා ඒ පිළිබඳව පරිචයක් ඇති ජනමාධ්‍යකරුවන්ගේ සේවය අපට අවශ්‍යයි. ඒ නිසා තමන් එකතුකර වාර්තා කරන තොරතුරු විචක්ෂණ ලෙස එහෙත් අතිශයෝක්තියකින් හෝ සැඟවීමකින් තොරව සන්දර්භගත කිරීමෙන් අප ප්‍රබුද්ධවත් කිරීමට ජනමාධ්‍යකරුවා කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එමගින් තත්කාලීන සිදුවීම් හා ප්‍රවණතාවල නියම වැදගත්කම හා ඒවා අපේ ජීවිතවලට බලපාන්නේ කුමන ප්‍රමාණයටද යන්න තේරුම් ගැනීමට ජන සමාජයක සාමාජිකයන් වශයෙන් අපට හැකිවිය යුතුයි.

වර්තමාන සමාජයේ මේ අවශ්‍යතාව එලදායක ලෙස ඉටු කිරීම රඳාපවතින්නේ අපේ සමාජයේ බහුතර සාමාජිකයන්ට තොරතුරු ලැබෙන හා එම තොරතුරු විෂ්ලේෂණය කෙරෙන, ඇගයීමට ලක් කරන ජනමාධ්‍ය පද්ධතිය ගුණාත්මක වශයෙන් මොනවගේද කියන කාරණය මතයි. ඒ නිසා අපට අවශ්‍ය මොන වගේ ආර්ථික ක්‍රමයක්ද, අධිකරණයක් ද, අපේ ආණ්ඩුක්‍රමය මොනවගේ විය යුතුද කියන කාරණා වගේම අපට තිබිය යුතු ජන මාධ්‍ය පද්ධතිය මොනවගේ එකක් වියයුතුද කියන කාරණත් ඵලදායී සමාජ සහයෝගිතාවකට, දියුණු දේශපාලනයක්, ආර්ථිකයක් හා සංස්කෘතියක් සහිත සමාජයක් බිහිකීරීමට අප දරන වෑයමට අතිශයින් වැදගත්.

නූතන ලෝකයේ පැරණිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වශයෙන් සලකන්න පුළුවන් අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල්ම සංශෝධනය 1791 සිදුවූ අවස්ථාවේදී භාෂණයේ නිදහස, පුවත්පත් නිදහස, සාමකාමී ලෙස රැස්වීමට ඇති නිදහස, තමන්ගේ දුක්ගැනවිලි ආණ්ඩුව ලවා විසඳා ගැනීම පිණිස පෙත්සම් ඉදිරිපත් කිරීමට ඇති නිදහස අවම කරන කිසිදු නීතියක් කොංග්‍රස් සභාව විසින් නොපැනවිය යුතුය යනුවෙන් සඳහන් කළේ ඒ සියල්ල අද මෙන් ම තත්කාලීන සමාජ සන්නිවේදනයේ අත්‍යවශ්‍ය අංග වූ නිසයි.

එහෙත් ඒ කාලයේ ජනමාධ්‍ය මේතරම් පෘථුල වී තිබුණේ නැහැ. එ බැවින් ජන සන්නිවේදනයේදී ජනමාධ්‍ය ප්‍රමුඛ වී ඇති අද කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයෝ ඊට වඩා සංයුක්ත ව වඩා නිදහස් හා අදීන ජන සන්නිවේදන පද්ධතියක් ඇති කර ගැනීමට අවශ්‍ය විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම සහතික කරදිය යුතුයි. මොකද, එවැනි ඵලදායී අදීන ජනසන්නිවේදන පද්ධතියකින් තොරව මහජන යහපත සහ ආණ්ඩුවක ව්‍යස්ථානුකූල හැසිරීම ප්‍රමුඛ නීතියේ ආධිපත්‍යතහවුරු කිරීම කළ නොහැකියි. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පමණක් නොව ඒ හා අනුෂංගික කරුණු වන ලැබෙන හා බෙදාහැරෙන තොරතුරු වල නිරවද්‍යතාව තහවුරු කරගැනීමේ හැකියාව හුදෙක් එක් එක් පුරවැසියාගේ මූලික අයිතිවාසිකමක් වශයෙන් පමණක් නොව සමස්ත සමාජයේ ම වැදගත් අවශ්‍යතාවක් වශයෙන් ව්‍යවස්ථා සම්පාදනයේ දී සැලකිල්ලට ලක් විය යුතුයි. හුදෙක් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සාක්ෂත් කිරීම පමණක් මදි. මොකද ඵලදායක ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හාවිත කිරීමට නම් නිවැරදි තොරතුරුත් අවශ්‍ය කරනවා. හාෂණයේ නිදහස හා පුවත්පත් නිදහස තහවුරු කිරීමට ඇමෙරිකානු ව්‍යවස්ථාවට කළ ප්‍රථම සංශෝධනයේ අරමුණ වන්නේ ම වඩා දැනුවත් ජනතාවක් බිහිකිරීම බව එම සංශෝධනය හා සම්බන්ධ මාධ්‍ය නිදහස පිළිබඳ නඩුවකදී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙන්නේ ඒ නිසයි.

හුදෙක් විෂය පාදක කරගත් විධිමත් පාසල් අධ්‍යාපනයක් ලබාදීමෙන් පමණක් දැනුවත් ජනතාවක් බිහිකිරීම අසීරුයි. අප වැඩිහිටියන් වූ පසු මුහුණදෙන ගැටලුවලට විසඳුම් සොයන්නේ පාසලේදී ඉගෙන ගත් විෂය මූලික දැනුමට වඩා සමාජ සන්නිවේදනයෙන් උකහාගත් දැනුමෙන්. මේ සමාජ සන්නිවේදනයට බොහෝ විට පාදක වන්නේ ජනමාධ්‍ය ඔස්සේ විකාශනය කෙරෙන කරුණු හා තොරතුරු. ඵලදායක සමාජ සන්නිවේදනයක් ඇතිවීමට ඒ කරුණු හා තොරතුරු නිවැරදි විය යුතුයි. ඒ නිසා ජනමාධ්‍යයේ ගුණාත්මක ස්වභාවය ගැන සැලකිලිමත්වීම ජනමාධ්‍ය පවත්වාගෙන යන අයට විතරක් පැවරෙන කාරියක් නෙවෙයි. අපි හැම දෙනාටම පැවරෙන කාර්යක්. දැන් මෙතෙන්දි සලකා බැලිය යුතු මුල්ම කාරණය ජනමාධ්‍යයට තමන්ගේ එකී සමාජයීය භූමිකාව පිළිබඳව නිවැරදි දැක්මක් ඇතිකර ගැනීමට හැකිවන ආකාරයට ජන සමාජය ක්‍රියා කර තියෙනවද කියන එකයි. ජනමාධ්‍යයේ භූමිකාව පිළිබඳව සමාජය තුළ ඇති අවබෝධයේ ප්‍රමාණයට අනුවයි ඒ කටයුත්ත සිදුවන්නේ.

ජනමාධ්‍ය භූමිකාව පිළිබඳ අර්බුදය මීට පෙරත් විවිධ ආකාරයෙන් වෙනත් රටවලත් සාකච්ඡාවට ලක්වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇතිවුණු මුල්ම විධිමත් සාකච්ඡාව අමෙරිකාවේ හචින්ස් කොමිසම් වාර්තාව කියැවීමෙන් වටහාගන්න පුළුවන්. හචින්ස් කොමිසම පත් කිරීමට හේතුවුණේ දෙවැනි ලෝක මහා යුද්ධ කාලේ ජනමාධ්‍ය හිමිකාරිත්වයේ බලපෑම ගැන අමෙරිකාවේ ඇතිවූ තදබල විවේචන නිසයි. මේ විවේචන විමසා බලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට ටයිම්ස් හා ලයිෆ් සඟරාවල අයිතිකාරයා වුණු හෙන්රි ලුස් මහත්මයා චිකාගෝ සරසවියේ සභාපති ආචාර්ය රොබර්ට් හචින්ස් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කොමිසමක් පත් කළා. දැන් මේක ආණ්ඩුවෙන් පත්කළ කොමිසමක් නෙවෙයි. ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය අයිතිකරුවෙක් මුල්වීමෙන් හා බරපැන දැරීමෙන් පත් කළ විද්වත් කොමිසමක්. මේ කොමිසමේ නිල නාමය වුණේ පුවත්පත් නිදහස පිළිබඳ කොමිසම. ඒත් හචින්ස් කොමිසම කියන එක තමයි වඩා ප්‍රචලිත. අවරුදු හතරක් පුරා සාක්ෂි විමසා 1947 දී හචින්ස් කොමිසමේ වාර්තාවෙන් හුවාදැක් වූ මූලික ප්‍රවාදය මේ ආකාරයට සාරාංශ ගත කරන්න පුළුවන්.

“වර්තමාන සමාජයේ ස්ථාවරභාවය සහ අභිවර්ධනය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති මාධ්‍ය වැදගත් භූමිකාවක් ඉටුකරයි. ඒ නිසා ජනසමාජයට වගකීම සම්බන්ධයෙන් ජනමාධ්‍යයේ කැපවීම අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. සිය තීරණ ගැනීමේ දී උපරිම මහජන යහපත බිහිකිරීම උදෙසා සමස්ත සමාජයේ ම අවශ්‍යතා සලකා බැලීමේ සදාචාරමය වගකීමක් ජනමාධ්‍යයට ඇත.”
උපරිම මහජන යහපත බිහිකිරීම පිණිස සමස්ත සමාජයේ ම අවශ්‍යතා සලකා බැලීමයි ජනමාධ්‍යයේ කාර්යභාරය. ඒකයි හචින්ස් කොමිසම විසින් ජනමාධ්‍යයේ කාර්යභාරය සම්බන්ධයෙන් කළ මූලික නිර්දේශය. අද දක්වාම මේ ප්‍රවාදය මගින් අවධාරණය කළ කරුණු ජනමාධ්‍යයේ සමාජ භූමිකාව පිළිබඳ දෘෂ්ටිය හැඩගැස්වීමට දායක වී තිබෙනවා.

දැන් ඔය කියන දෙවැනි ලෝක මහා යුද්ධ කාලයේ රූපවාහිනී මාධ්‍ය අදතරම් ප්‍රබල මාධ්‍යයක් නොවෙයි. අද රූපවාහිනිය ගෙයක් ගෙයක් දොරක් දොරක් පාසා තියෙන දෛනික මෙවලමක්. රූපවාහිනී මාධ්‍යයේ ඇති ආකර්ෂණීය ශ්‍රව්‍ය දෘෂ්‍ය ස්වභාවය සහ එසැණබව නිසා එය බාල මහලු බහුතරය ග්‍රහණයට අරගෙන තිබෙනව. දවසෙන් සැලකිය යුතු කාලයක් රූපවාහිනී මාධ්‍ය ඇසුරු කරන නිරන්තරයෙන් එමගින් ප්‍රවෘත්ති හා තොරතුරු ලබා ගන්නා ඔවුන්ගේ ජන සමාජය පිළිබඳ දෘෂ්ටිය බොහෝ කොට ගොඩ නැගෙන්නේ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ලැබෙන අන්තර්ගතයෙන්.

විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය ගත්තොත් එහි අන්තර්ගතයෙන් බොහෝමයක් ප්‍රවෘත්ති හෝ සුවිශේෂයෙන්ම ජර්නලිස්ම් නැත්නම් ජනමාධ්‍යවේදය ම නොවෙයි. රූපවාහිනියේ වෘත්තීය ජනමාධ්‍යවේදය හාවිත වෙන්නේ අන්තර්ගතයෙන් අල්පයකට පමණයි. අනෙක් බොහෝ ඒවා, නාටක, ගීත සංගීත, කතා, අනුශාසනා, මතිමතාන්තර, ප්‍රචාරාත්මක කරුණු වගේ අන්තර්ගතයන්. එසේ වෙතත් රූපවාහිනී මාධ්‍යයේ ප්‍රවෘත්ති හා කාලීන කරුණු පිළිබඳ ජනමාධ්‍යවේදීය නැත්නම් ජර්නලිස්ටික් අන්තර්ගතය අන් සියලු මාධ්‍ය වර්ග ඉක්මවා යන බලපෑමක් ජනසමාජය කෙරෙහි ඇති කරනවා. ඒ ඔස්සේ ලැබෙන තොරතුරු බොහෝ කොට ග්‍රාහකයන්ගේ සමාජ දෘෂ්ටිය හා මතවාද හැඩ ගැස්වීමට මූලික වශයෙන් දායක වෙනවා. එනිසා රූපවාහිනී මාධ්‍යයේ ඇති ජනමාධ්‍යවේදීය අන්තර්ගතයේ සමාජ වටිනාකම අනෙක් අන්තර්ගත වර්ග හා සසඳන විට ඉතා වැඩියි. ඒ වටිනාකමට හේතුව ජර්නලිස්ම් වල නැත්නම් වෘත්තීය ජනමාධ්‍යවේදයේ මූලික අරමුණ වියයුත්තේ නිසි තීරණ ගැනීමට ජනතාවට අවශ්‍ය වන තහවුරු කරන ලද තොරතුරු සැපයීම වෙන නිසයි.

“ජනමාධ්‍යවේදය හෙවත් ජර්නලිස්ම් කියන්නේ ම කරුණුමය සත්‍ය හෙවත් ෆැක්ට්ස් තහවුරු කිරීම පිළිබඳ ශික්ෂණයකි.” යනුවෙන් කියන්නේ ඒ නිසයි. වාර්තාකරුවන් හා සංස්කාරකවරුන්ගේ සංස්කරණ ක්‍රියාවලියක් මගින් ඉටුවෙන එම කරුණු තහවුරු කිරීමෙන් හුදෙක් කරුණු පමණක් නොව කරුණු පිළිබඳ ඇත්තද තහවුරු විය යුතුයි. එසේ තහවුරු කරගත් ඇත්ත කරුණුවලින් තොරව ජනසමාජයේ දැනුවත් බව වර්ධනය කළ නොහැකියි. (ජනසමාජයේ දැනුවත් බව වර්ධනය කිරීමට වඩා මොට කිරීම දේශපාලනික තීරණයක් වීමත් එයට අනුකූලව සිය චර්යාව පවත්වා ගැනීමට ජනමාධ්‍යයට බලකිරීමත් බොහෝ විට සිදුවිය හැකි දෙයක්. එය අයිතිකරුවන් ලවා ඉටුකරවා ගැනීම හෝ ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතන වලට එල්ලවන තර්ජන, අල්ලස් ආදිය හරහා හෝ ඉටුකර ගන්නා හැටිත් අපි අත්දැක තිබෙනවා.)
දැන් ජනමාධ්‍යයේ සමාජමය කාර්යභාරය ඔය අන්දමින් සිදුවිය යුතුය කියලා අපි එකඟ වෙනවා නම් අයිතිය පෞද්ගලික ද නැද්ද යන කාරණය නො තකා අවම වශයෙන් ජනමාධ්‍යවේදීය නැත්නම් ජර්නලිස්ටික අන්තර්ගතය ඉදිරිපත් කරන විට තොරතුරු වල නිවැරදි බව සාක්ෂාත් කිරීමට තමන් කැප වී ඇති බව එම ජනමාධ්‍ය නාලිකාවේ චර්යාව මගින් ප්‍රකාශයට පත් විය යුතු නේද?

විශේෂයෙන්ම බලපත්‍රයක් මගින් ලබාගත් පොදු දේපළක් වන සංඛ්‍යාත භාවිත කරමින් පුවත් බෙදා හැරීමට කටයුතු කරන විද්‍යුත් මාධ්‍ය වල චර්යාව, අයිතිය රජයේ හෝ පෞද්ගලික හෝ වේවා, මහජන යහපත මුල්කර ගත් ස්වාධීන වෘත්තීයමය නියාමනයකින් තොරව හුදෙක් අයිතිකරුවන්ගේ දේශපාලනික අභිමතය පරිදි සිදුවන විට මතභේදාත්මක කරුණු විකාශනය කිරීමේදී එකී චර්යාව අපක්ෂපාතීව ඉටුවෙන බව සහතික කරගන්නේ කෙසේද?

ඇතැම් පොදු දේපළ ඒවායේ සුවිශේෂ ස්වභාවය, විශේෂයෙන් ඒවා අනිසි ලෙස භාවිත කිරීමෙන් ඇති කළ හැකි වියවුල නිසා පොදු යහපත මුල් කොට පමණක් යොදා ගත යුතු යි. රූපවාහිනී හා ගුවන් විදුලි විකාශන තරංග ද එවැනි පොදු දේපළක්. මේ කාරණය 1997 අතුකෝරල සහ වෙනත් අය එදිරිව නීතිපති නමැති ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් තහවුරු කර තිබෙනවා. එවැනි පොදු දේපළ ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික අංශයට හෝ වෙනත් ආකාරයක අයිතියකට බලපත්‍රයක් මත පැවරීමේ දී පොදු යහපතට හානිවන පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් ඒවා යොදා ගැනීම වැළැක්වීමේ විධිවිධාන යෙදිය යුතු යි. ඒ අනුව විකාශන තරංග සංඛ්‍යාත භාවිත කිරීමේ විකාශන බලපත්‍ර පෞද්ගලික අංශයට ලබාදිය යුත්තේ සාධාරණත්වය (Fairnes) හා අපක්ෂපාතීත්වය (Impartiality) පවත්වා ගැනීමේ කොන්දේසියට යටත්වයි.

විද්‍යුත් මාධ්‍ය හිමියාගේ ප්‍රකාශන අයිතියට වඩා මහජන විශ්වසන නියාමන මොඩලයේ දී වැදගත් වන්නේ තොරතුරු ලබා ගැනීමට ග්‍රාහකයන්ට ඇති අයිතියයි. ඒ නිසා විවාදාත්මක කරුණක දී ඒකපාර්ශ්වික නො වී වැදගත් දෘෂ්ටිකෝණ සියල්ල දැන ගැනීමට ග්‍රාහකයාට ඇති අයිතිය ඉටු කිරීම හැම බලපත්‍රලාභි විද්‍යුත් මාධ්‍යකම වගකීම වෙනවා. ඒ අනුව මහජන විශ්වසන මොඩලය ග්‍රාහක කේන්ද්‍රීය නියාමන මොඩලයක්. මෙහි දී විකාශන බලපත්‍රයක් යනු මූලික වශයෙන් එම කරුණු ඉටුවීම සහතික කිරීම පිණිස පුරවැසියන් සහ බලපත්‍රලාභීන් අතර ඇතිවන ගිවිසුමක්. ස්වාධීන නියාමන යාන්ත්‍රණයේ වගකීම එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමයි. එනිසා විද්‍යුත් මාධ්‍ය නියාමනය පොදු යහපත මුල් කර සම්මත කර ගත් නීතියක් මගින් ස්ථාපිත ස්වාධීන ආයතනයක් මගින් කළ යුතු යි.

මහජන විශ්වසන මොඩලයට අනුව ප්‍රවෘත්ති ප්‍රචාරයේ දී හා මතභේදාත්මක කරුණු පිළිබඳ වැඩසටහන් වල දී බලපත්‍ර හිමියාගේ අභිමතය ප්‍රකාශ කිරීම හෝ බලපත්‍ර හිමියා කැමති මතවාදයට මුල්තැන දීම වැළැක්විය යුතු අකටයුත්තක් ලෙස සැලකෙනවා. ඒ සම්බන්ධයෙන් ඇති යුරෝපීය නීති අතරින් හොඳ උදාහරණයක් ලෙස සැලකිය හැක්කේ බි්‍රතාන්‍ය නියාමන නීතියේ (Communication Act) 320 වැනි ඡේදයේ සඳහන් අපක්ෂපාතීත්වය පිළිබඳ විශේෂ අවශ්‍යතාව  Special Impartiality Requirement  නමැති විධිවිධානයයි.

අපක්ෂපාතීත්වය පිළිබඳ මේ අවශ්‍යතාව බි්‍රතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන නීතියේ නො තිබෙන්නට 2017 පැවැතුණු මැතිවරණයේ දී ලේබර් පක්ෂයට එතරම් ආසන ගණනක් දිනා ගැනීමට ඉඩ නො ලැබෙනු ඇතයි කාඩිෆ් විශ්ව විද්‍යාලයේ සන්නිවේදන මහාචාර්ය ජස්ටින් ලූවිස් පෙන්වා දී තිබෙනවා. මාධ්‍ය හිමියන් අතර අධිරාජ්‍යයෙක් ලෙස සැලකෙන රූපට් මර්ඩොක්ට අයත් පුවත්පත් ඇතුළු වැඩියෙන් විකිණෙන ප්‍රධාන පුවත්පත් බොහෝමයක් එකී මැතිවරණයේ දී පක්ෂපාතීත්වය දැක්වූවේ කොන්සර්වේටිව් පක්ෂයටයි. එහෙත් සිය පුවත්පත් යොදා ගත් අන්දමින් මර්ඩොක්ට ඔහු සතු විද්‍යුත් මාධ්‍ය ද කොන්සර්වෙටිව් පක්ෂයට වාසිවෙන ලෙස යොදාගත නොහැකි වූයේ නියාමන නීතියට අනුව මැතිවරණවල දී විද්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතීත්වය රැකීමට ඔහු බැඳී සිටි බැවිනි. ඒ නිසා මැතිවරණයේ දී මහජන මතය තමන්ට අභිමත අන්දමින් මෙහෙයවීමට ඔහුට නො හැකි වුණා.

බි්‍රතාන්‍ය නියාමන නීතියට අනුව විද්‍යුත් මාධ්‍ය බලපත්‍රලාභීන් අපක්ෂපාතීත්වය උල්ලංඝනය නො කළ යුතු අවස්ථා වෙසෙසින් දක්වා තියෙනවා. ඒ අනුව දේශපාලනික සහ වෘත්තීය අරගල සම්බන්ධ මතභේදාත්මක කරුණු වලදී (matters of political or industrial controversy) සහ තත් කාලීන පොදු ප්‍රතිපත්ති පිළිබඳ ව කරුණු වලදී  (matters relating to current public policy) පැත්තක් නො ගෙන අපක්ෂපාතී ව කටයුතු කිරීමට බලපත්‍රලාභියා නීතියෙන් බැඳී සිටිනවා. මතභේදාත්මක කරුණු වල දී තමන්ගේ අභිමතය අසන්නන් හෝ නරඹන්නන් වෙත බලෙන් පටවනවාට වඩා සියලු වැදගත් දෘෂ්ටිකෝණ සාධාරණ ලෙස අසන්නන් හෝ නරඹන්නන් වෙත ඉදිරිපත් කිරීමට බලපත්‍රලාභි විද්‍යුත් මාධ්‍ය නීතියෙන් බැඳී සිටිනවා.

අපක්ෂපාතීත්වය පිළිබඳ අවශ්‍යතාවෙන් මූලික වශයෙන් ම ඉටු කරන්නේ අන් මත වාරණය කොට තම අභිමතයට අනුකූල වන ලෙස මහජන මතය මෙහෙයවීමට බලපත්‍ර හිමිකරුට ඇති හැකියාව අවම කිරීමයි. මේ අනුව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුවා වී අන් මතධාරීන්ට අවස්ථාවක් නො දී සිටීමට බලපත්‍ර හිමියාට ඉඩ නො ලැබේ. මන්ද අපක්ෂපාතීත්වය රැකීම ඉටු කළ හැක්කේ මතභේදාත්මක කරුණු ඇතුළත් වැඩසටහන් වල දී අනෙකුත් වැදගත් මතවාදවලට ද ඉඩ සැලසීමෙනුයි. විකල්ප මතවාද නියෝජනය කිරීමට කිසිවකුත් නොමැති විට එම මතවාද සාධාරණව හා අභියෝගාත්මකව ඉදිරිපත් කිරීමේ වගකීම වැඩසටහන මෙහෙයවන අයට පැවරෙනවා.

බි්‍රතාන්‍ය නියාමන නීතියට අනුව ප්‍රවෘත්ති ප්‍රකාශයට ද අපක්ෂපාතීත්වය පිළිබඳ විධිවිධානය සෘජු ලෙස අදාළ වෙනවා. අයර්ලන්ත විද්‍යුත් මාධ්‍ය නියාමනය නීතියට අනුව ප්‍රවෘත්ති ප්‍රකාශයක හෝ වර්තමාන සිදුවීම් පිළිබඳ සාකච්ඡා කෙරෙන වැඩසටහක බලපත්‍ර හිමිකරුගේ මතය ප්‍රකාශ කිරීම නියාමන නීතිය උල්ලංඝනය කිරීමක්.

එක් එක් විද්‍යුත් මාධ්‍යයට තම අභිමත මතය ප්‍රකාශ කිරීමට, ප්‍රමුඛත්වය දීමට ඉඩ දිය යුතු ය. ඒ අනුව මහජන මතයේ ස්වරූපය දැන ගැනීමට අවශ්‍ය අයගේ වගකීම නම් නාලිකා කිහිපයක් ම නැරඹීම යැයි කෙනකුට තර්ක කළ හැකිය. එවැනි තර්ක විශ්ලේෂණයේ දී කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍යවේදය පිළිබඳ මහාචාර්ය රිචර්ඞ් සැම්බෘක් පෙන්වා දෙන පරිදි සමානුකූලතා (Homophily) බලපෑම නිසා ඇතිවිය හැකි අනර්ථකාරී බව තේරුම් ගැනීම අපේ සාකච්ඡාවට ඉතා වැදගත් ය. මෙහි දී සමානුකූලතාව යන්නේන් අදහස් වන්නේ තිබිය හැකි වැදගත් විකල්ප අදහස් නො තකා තමන් දන්නා හෝ තමන්ට එකඟ විය හැකි අදහස් වලට පමණක් ලැදිවීමට මිනිසුන් දක්වන නැඹුරුතාවයි. මෙය eco chamber effect  යනුවෙන් ද හඳුන්වනවා. තොරතුරු ගහණය අතිශයින් ඉහළ යන තොරතුරු තාක්ෂණික යුගයක මෙය සැලකිය යුතු අවදානමක්. මන්ද ඒ නිසා අන් මත නො තකන බුද්ධි ශෝධනයකට (Brain wash) ආන්තිකවාදවලට නැඹුරු වීමට තිබෙන ඉඩ කඩ වැඩි නිසයි. මේ නිසා තර්ක බුද්ධිය විසින් යුක්ති යුක්ත කළ හැකි සමාජ කතිකාවක් ගොඩ නගනු වෙනුවට අපේකම, ජන වර්ගය, කුලය, ආගම, හුදු විශ්වාසය හා මනෝභාවය ආදී කරුණු මත විවිධ කල්ලි වලට ජනසමාජය බෙදී යාමට අර කී සමානුකූලතාව හේතුවක් වෙනවා. ඒ නිසා ඒකපාර්ශ්වික, සීමිත මතවාද පතුරවන විද්‍යුත් මාධ්‍ය නාලිකා වෙනුවට වෙනත් කවරදාකටත් වඩා අද අපට අවශ්‍ය වන්නේ මහජන යහපත මුල් කරගෙන අපක්ෂපාතී ලෙස බහුවිධ අදහස් හා මතවාද නිරූපණය කරන විද්‍යුත් මාධ්‍යයයි.

එසේ නොමැතිව තම තොරතුරු ප්‍රභවය තමන්ට කැමැති මතය සැපයෙන ප්‍රභවයට සීමා කර ගැනීමට ග්‍රාහකයන් පෙළඹීමෙන් සිදු වන්නේ අනෙකුත් මතවල සබුද්ධිමත් බව තක්සේරු කිරීමට නො හැකිව ජන සමාජය අනවශ්‍ය ලෙස කොටස් වලට ධ්‍රැවීකරණය වීමයි. මෙය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගත ස්වරූපය හැඩ ගැසෙන ආකාරය සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක විය හැකිය. එබැවින් විද්්‍යුත් මාධ්‍යයේ අපක්ෂපාතීත්වය පිළිබඳ අවශ්‍යතාව කිසිසේත් ම නො තකා හැරිය හැකි දෙයක් නොවෙයි.

වර්තමාන ලාංකේය සන්දර්භය තුළ අන් සියල්ලටම වඩා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සමස්තයක් වශයෙන් යහපත් බලපෑමක් ඇති කළ හැකි නියාමන ක්‍රමය වන්නේ දැනට ඇති පක්ෂපාතී රාජ්‍ය මාධ්‍ය වෙනුවට කල් නොයවා අපක්ෂපාතී ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍ය පද්ධතියක් හඳුන්වා දීමයි. බි්‍රතාන්‍යයේ පමණක් නොව ස්කැන්ඩිනේවියානු රටවල ද, ජපානය, කැනඩාව, ඔස්ටේ‍රලියාව, ස්විට්සර්ලන්තය ජර්මනිය, ප්‍රංශය ඇතුළු බොහෝ යුරෝපීය රටවලද පෞද්ගලික අංශයේ විද්‍යුත් මාධ්‍ය වලට තරගකාරී වෘත්තීය මට්ටමකින් සිය මාධ්‍ය සේවා පවත්වාගෙන යාමට සිදු වී තිබෙන්නේ ඉහළ ගුණාත්මක භාවයකින් යුතු මහජන සේවා විද්‍යුත් මාධ්‍ය පවත්වාගෙන යාම ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදයේම අත්‍යවශ්‍ය අංගලක්ෂණයක් බවට පත්ව තිබෙන නිසයි.

හොඳ මට්ටමේ මහජන සේවා විද්‍යුත් මාධ්‍යයක කාර්ය පිඬුකොට ගත්තොත් සමාජය ප්‍රබුද්ධ කිරීම කියලා කියන්න පුළුවන්. ඒ අනුව දේශපාලනික වශයෙන්, ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්, අධ්‍යාපනික වශයෙන්, සංස්කෘතික වශයෙන් රසවින්දනාත්මක වශයෙන් සමාජය ප්‍රබුද්ධ කිරීම මහජන සේවා විද්‍යුත් මාධ්‍යයේ කාර්යයි. ඵලදායී මහජනසේවා විද්‍යුත් මාධ්‍යයක් පවත්වාගෙන යාමට අවම වශයෙන් මූලික කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතුයි. පළමුවෙන් ම ආණ්ඩුවෙන් සහ ව්‍යාපාරික බලපෑම් වලින් ස්වාධීන වූ ජනමාධ්‍යයේ වෘත්තීය පරිචය හා කර්තෘ නිදහස සහතික කරන සහ තම කාර්ය භාරය සම්බන්ධයෙන් ජනසමාජයට සෘජුව වගවන ස්වාධීන ආයතනික ව්‍යුහයක් එයට තිබිය යුතුයි. දෙවනුව ගුණාත්මක මට්ටමින් ඉහළ වැඩසටහන් සම්පාදනය කොට ඉදිරිපත් කිරීමට අවශ්‍ය මූල්‍ය සම්පත් සහ වෘත්තීය පරිචය අතින් ඉහළ කාර්ය මණ්ඩලයක් එයට ලබාදිය යුතුයි. ඒ අනුව නූතන ව්‍යවස්ථා සම්පාදකයෝ ස්වාධීන මහජන සේවා විද්‍යුත් මාධ්‍යයක අවශ්‍යතාව දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකා ඒ සඳහා ව්‍යවස්ථාවෙන්ම විධිවිධාන සැලසිය යුතුයි. අපේ අධ්‍යාපන ක්‍රමයට, සෞඛ්‍යයට හා සනීපාරක්ෂාවට දී ඇති වැදගත්කමට නොඅඩු වැදගත්කමක් මහජන සේවා විද්‍යුත් මාධ්‍ය ප්‍රමුඛ ජනමාධ්‍ය පද්ධතියට ආරෝපණය කිරීම දියුණු ජන සමාජයක් ගොඩනැගීමේ පූර්ව කොන්දේසියක් වී තිබෙනවා.

මේ නිසා අපේ කතිකාව හුදෙක් පෞද්ගලික විද්්‍යුත් මාධ්‍ය පිළිබඳ විවේචනයකට පමණක් සීමා නොකොට රාජ්‍ය මාධ්‍ය ස්වාධීන මහජන සේවා ජනමාධ්‍ය බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව කරා අනලස්ව යොමුවිය යුතුයි.