නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා සහ විසකුරු ජාතිවාදය

ටෙරන්ස් පුරසිංහ

දූෂිතයින් හා ඝාතකයින් ස්වකීය නිරුවත වසා ගැනීම සඳහා දේශප්‍රේමී සළුපට දවටා ගැනීම ඉතිහාසයේ විවිධ යුග වලදී සිදුවී තිබේ. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි රමණීය නිදසුන වන්නේ ජර්මනියේ නාසිවාදී ව්‍යාපාරයේ පීතෘ ඇඩොල්ෆ් හිට්ලර්ය. හිට්ලර්ගේ දේශානුරාගයේ හෙවත් ජර්මන් ජාතිවාදයේ ඇති බියකරු ආදීනව සමස්ත ලෝකයටම බලපෑවේය. සොරල් Sorrel නමැති දේශපාලන චින්තකයා පෙන්වන පරිදි ‘ජාතිවාදය නොවන වර්ගවාදය යනු මිථ්‍යාවකි. ඉතිහාසයේ එක් එක් යුගවල මිනිසුන් විසින් මිනිසුන් මෙහෙයවනු ලැබීම සඳහා මිථ්‍යාවන් යොදාගනී. ජාතිවාදය හෙවත් වර්ගවාදය එබඳු මිථ්‍යාවකි.’
ශ්‍රී ලාංකේය දේශපාලන ක්‍රමයෙහි වත්මන් දේශපාලන ක්‍රියාදාමය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඳුනා ගැනීමට ලැබෙන්නේ අති බියකරු තත්ත්වයකි. එම බියකරු තත්ත්වය උද්ගත වී ඇත්තේ සිංහල – බෞද්ධ ජාතිවාදය මුල්කරගෙනය. විශේෂයෙන්ම ජාතිවාදයට ආගම්වාදය මුසුවූ විට තත්ත්වය අතිශයින්ම බියකරු වේ. බුද්ධ දර්ශනය මූලධර්මවාදී දර්ශනයක් නොවන අතර එය ලිබරල් සම්භවයක් දරයි. එහෙත් සිංහල ජාතිවාදීන් විසින් බුදු දහම සිංහල ආගමක් බවට පත් කර ගනිමින් බෞද්ධ දර්ශනයේ හරය මුළුමනින්ම සුන් කර තිබේ. සිංහල ජාතිවාදයේ හා බුදු දහමේ සුසංයෝගය තුළින් සිංහල- බෞද්ධ ජාතිවාදය ඉස්මතු වී ඇති ආකාරය දැකගත හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, ජාතික ප්‍රශ්නය විසඳීම, තිරසාර සංවර්ධනය ඇති කිරීම යනාදී අරමුණු මුල්කරගෙන මෙරටෙහි පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම පිළිබඳ කථිකාව ගොඩනැඟුණේ දශක කිහිපයක පටන්ය. ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ඇති වූයේ අද ඊයේ නොවේ. පසුගිය ජනාධිපතිවණයේදී හා මහ මැතිවරණයේදී මෛත්‍රී – රනිල් ප්‍රමුඛ යහපාලන දේශපාලන ව්‍යාපාරය විසින් දෙනු ලැබූ ප්‍රධාන පොරොන්දුවක් වූයේද මෙයයි. කෙසේ වෙතත් 2015 සිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ප්‍රයත්නය ඉදිරියට ගමන් කළ අතර මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් ඉදිරිපත් වී තිබේ.

ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී විශේෂයෙන්ම ජාතික එකඟතාවක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යය. 1972 හෝ 1978 දී සම්පාදනය වූ ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවන් දෙකටම එබඳු ජාතික එකඟතාවක් ඇති වූයේ නැත. මෙහිදි ජාතික එකඟතාව යනුවෙන් අදහස් කරන්නේ මෙරටෙහි සිංහල, දෙමළ, මුස්ලිම්, යන වාර්ගික කණ්ඩායම් අතර මෙන්ම සියලු ආගමික කොටස් අතර ඇතිවන පොදු එකඟතාවයි. මේ වන තෙක් ලංකාවේ ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එබඳු තත්ත්වයක් හඳුනාගත නොහැකි විය. විශේෂයෙන්ම දෙමළ දේශපාලන නායකයින්ගේ එකඟත්වය 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් ඇති නොවීම හේතුකොට ගෙන සමාජයේ ජාතික සංහිඳියාව ප්‍රබල ලෙස බිඳ වැටුණේය. එහෙත් වත්මන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙහි වෙනස වන්නේ දෙමළ දේශපාලන නායකත්වය ව්‍යවස්ථා සම්පාදනය සඳහා සහය පළ කිරීමයි. එම තත්ත්වය සිංහල හා දෙමළ අන්තවාදී බලවේගවලට ඉවසුම් නොදෙන්නකි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සහ ව්‍යවස්ථා යොජනාවලියට එරෙහිව සිංහල-බෞද්ධ අන්තවාදී බලවේගවල සම්ප්‍රදායික විරෝධය පළ වී තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියට එරෙහිව එම බලවේග විසින් සුපුරුදු තැටිය වාදනය කිරීම ආරම්භ කර ඇත. එනම් ‘රට බෙදීම’ හෙවත් ‘රට කැඩීම’ පිළිබඳ මිථ්‍යාව සමාජ ගත කිරීමය. 1957 බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ඉදිරිපත් වූ කාලයේ පටන් රාජ්‍ය ප්‍රතිසංවිධාන ක්‍රියාවලියට එරෙහිව සිංහල අන්තවාදී බලවේග අඛණ්ඩවම සමාජගත කළ මිථ්‍යාව වූයේ මෙයයි. වර්තමානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිවී තිබෙන අශුද්ධ සන්ධානය මුල් කරගෙන රාජපක්ෂවාදී බලවේග විසින් රට බෙදීම පිළිබඳ මිථ්‍යාව සමාජගත කිරීමට උත්සුක වී ඇත. මෙහිදී ඊනියා බෞද්ධ භික්ෂූන්ගේ මැදිහත් වීම වඩාත් කැපී පෙනෙයි. 1957 දී බණ්ඩාරනායක මුහුණ දුන්නේත් 1966දී ඩඞ්ලි සේනානායක මුහුණ දුන්නේත් 1987 දී ජේ. ආර්. ජයවර්ධන පමණි. සිංහල අන්තවාදී බලවේගවල විරෝධය නොතකා ඔහු පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය. ඒ හැර අන් කිසිදු නායකයකුට රාජ්‍ය ප්‍රතිසංවිධානය පිළිබඳ ක්‍රියාමාර්ග යථාර්ථයක් බවට පත් කර ගැනීමට අවස්ථාව ලැබුණේ නැත.

ෆෙඩරල් (ත්‍ැාැර්ක) ව්‍යවස්ථාවකින් රට බෙදී යනු ඇතැයි ඉදිරිපත් කරන මතය මිථ්‍යාවක් වන බව ෆෙඞ්රල් ක්‍රමය පිළිබඳ අබමල් රේණුවක තරම් හෝ දැනුමක් ඇති අය දන්නා සත්‍යයකි. ෆෙඩරල් ක්‍රමය මෙවත් සන්ධීය ක්‍රමය මගින් සිදු වන්නේ රටවල් කැඩී බිදී යාම නොව රටවල් එක්සත් වීමයි. එනම් ප්‍රාදේශීය ඒකකයන් එසේත් නැතහොත් ප්‍රාදේශීය රාජ්‍යන් එකිනෙක බද්ධ වී එක්සත් රාජ්‍යක් බවට පත් වීමයි. ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව, පකිස්තානය, දකුණු අප්‍රිකාව, ස්විස්ටර්ලන්තය, ඕස්ටේ්‍රලියාව වැනි නිදසුන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට පුළුවන්ය. සන්ධීය ආණ්ඩුක්‍රම මගින් සිදුවී ඇත්තේ රටවල් කැඩීයාම නොව වඩාත් ඒක්‍රාග වීමය. අධි සන්ධීය ක්‍රමයක් පවතින අසල්වැසි ඉන්දියාවේ අතිශය සංකීර්ණ බහුවිධ සමාජයේ ඒකාග්‍රතාව ඇති වී තිබෙන්නේ සන්ධීය ක්‍රමයෙනි. එනම් ජාතීන් අනුව, ආගම් අනුව කොටස් වලට බෙදී වෙන් වීමට විෂය බද්ධව පැවති සමාජයන් ඒකාග්‍ර කිරීමට සන්ධීය ක්‍රමය මහෝපකාරී වී තිබේ. සන්ධීය ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වූ රටක් බෙදී යාමට ලක්වීම පිළිබඳ ප්‍රකට නිදසුන් ඇත්තේ එකක් පමණි. එනම් 1971 දී පකිස්ථානයේ නැගෙනහිර ප්‍රාන්තය ස්වාධීන රජයක් බවට පත් වීමය. එය වත්මන් බංගලිදේශය යි. එම වෙන්වී යෑම සිදු වූයේ 1971ට පෙර පකිස්තානයේ පැවති භූ දේශපාලනයේ විකෘතිභාවය හේතුකොට ගෙනය. මේ හැර ලෝකයේ අන් කිසිදු රටක් සන්ධීය ආණ්ඩුක්‍රමය හේතුකොට ගෙන භෞමික විභේදනයක් සිදු වීම පිළිබඳ නිදසුන් හමු වන්නේ නැත. එහෙත් ෆෙඩරල් හෙවත් සන්ධීය නමැති යෙදුම සිංහල අන්තවාදී බලවේග වලට නයාට අදුකොළ මෙන් අහිතකර වූවකි. මෙය දේශපාලන ප්‍රයෝගයක් වශයෙන් එම අන්තවාදීන් විසින් උපයෝගි කරගෙන යනු ලැබේ.
පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරන අවස්ථාවේදීද සිංහල අන්තවාදීන් ප්‍රකාශ කළේ ලංකාව කෑලි වලට කැඩී යන බවයි. එක් පළාතකින් තවත් පළාතකට ගමන් කිරීමේදී වීසා බලපත්‍රයක් අවශ්‍ය වන බව ඔවුහු ප්‍රකාශ කළහ. එසේ වුවද පළාත් සභා ක්‍රමය මගින් එහි අපේක්ෂිත අරමුණු පවා ඉටු වූයේ නැත. ආචාර්ය කේ. එච්. ජයසිංහ ප්‍රකාශ කළේ ලන්ඩන් කෝරළ සභාව (ලන්ඩන් නගර සභාව)සතු බලය තරම් හෝ බලයක් පළාත් සභා වලට නොමැති බවයි. එහෙත් සිංහල අන්තවාදය විසින් පළාත් සභා ක්‍රමය හඳුන්වනු ලැබුවේ රට බෙදන විදේශ කුමන්ත්‍රණයක් යනුවෙනි. එනම් ඉන්දියානු කුමන්ත්‍රණයක් යනුවෙනි. වර්තමානයේදී යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සිංහල අන්තවාදී බලවේග චෝදනා කරන්නේ එය බටහිර කුමන්ත්‍රණයක් වන බවයි. ජාතිවාදී බලවේගවල ඡන්ම ගතිගුණයක් වන්නේ නිරන්තරයෙන්ම සතුරෙක් මවා ගැනීමයි. අද එම සතුරා වන්නේ බටහිර රටවල්ය. විශේෂයෙන්ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සිංහල අන්තවාදයේ සතුරාය.

ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන බලවේග 1950 දශකයේ පටන් ෆෙඩරල් දේශපාලනය අනුගමනය කළ අතර 1970 දශකය අගභාගයේ පටන් එම බලවේග විසින් දෙමළ ඊලාම් රාජ්‍යය දිනාගැනීමේ දේශපාලනය ක්‍රියාත්මක කරන ලදී. එම දේශපාලන ගමන් මාර්ගයේ කූඨප්‍රාප්තිය වූයේ තිස් අවුරුදු සිවිල් යුද්ධයයි. එම සිවිල් යුද්ධයෙන් දෙමළ සමාජය මෙන්ම සිංහල සමාජයද බැට කෑවේය. විශේෂයෙන් දෙමළ සමාජය පරාජිත තත්ත්වයකට ඇද වැටුණේය. කෙසේ වෙතත් වර්තමානයේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ඇසුරින් ජාතික ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීම කෙරෙහි දෙමළ දේශපාලන බලවේග නැඹුරු වී තිබේ. මේ අනුව ඒකීය ආණ්ඩු ක්‍රමයක් තුළ ප්‍රාදේශීය වශයෙන් බලය බෙදා ගැනීමේ විසදුමකට දෙමළ දේශපාලන නායකත්වය එකඟ වීම සැලකිය යුතු කරුණකි. 1950 ගණන් වලට පෙර දෙමළ නායකයින් ඉල්ලා සිටියේ ඒකීය ක්‍රමය තුළ 50: 50 නියෝජනය හෙවත් සමබර නියෝජනයකි. එනම් සිංහල හා සුළු ජාතීන් අතර ව්‍යවස්ථාදායකයේ සමබර නියෝජනයකි. එම ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ පසු දෙමළ නායකයෝ ෆෙඩරල් ඉල්ලීම් කරා ගමන් කළහ. වර්තමානයේ දෙමළ නායකයින්ගේ ඉල්ලීම වන්නේ ඒකීය රාමුව තුළ ප්‍රාදේශීය වශයෙන් බලය බෙදා ගැනීමයි. මේ වන විට ක්‍රියාත්මක වන පළාත් සභා ක්‍රමය මගින් සිදු කර ඇත්තේද එයයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවලියෙහි අන්තර්ගත වී ඇත්තේ ප්‍රාදේශීය වශයෙන් (පළාත් මට්ටමින්) දේශපාලන බලය බෙදා හැරීමේ ආකෘතියකි. සිංහල අන්තවාදය විසින් සිංහල සමාජය තුළ තහවුරු කිරීමට උත්සාහ දරන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් රට බෙදීමට පියවර ගෙන ඇත්තේ බලය බෙදීමේ ක්‍රියාදාමය ඇසුරු කරගෙන වන බවයි. ඉතාමත් ග්‍රාම්‍ය ලෙස මහින්ද රාජපක්ෂ මෙය ප්‍රකාශ කරන අතර රාජපක්ෂගේ අන්තේවාසිකයෙක් එම මතය ආටෝප සාටෝප සහිතව ප්‍රකාශ කිරීමක යෙදෙයි. මේ සඳහා මෛත්‍රීපාල සිරිසේනගේ පිටුබලය ලැබීමද කැපී පෙනෙන්නක් වේ.

මෛත්‍රී- මහින්ද ප්‍රමුඛ දේශපාලන ව්‍යාපාරය අනාගත මැතිවරණ වලදී ප්‍රධාන වශයෙන්ම භාවිත කිරීමට යත්න දරන්නේ සිංහල – බෞද්ධ අන්තවාදයයි. මේ සඳහා අනේකවිද මිථ්‍යාවන් මවා පෑම එම බලවේගය විසින් සිදු කරනු ලැබේ. විශේෂයෙන්ම සිංහල ග්‍රාමීය සමාජ බලවේගයන් ග්‍රහණය කර ගැනීම සඳහා දෙමළ- මුස්ලිම් විරෝධය පැතිරවීම සිංහල ජාතිවාදී න්‍යාය පත්‍රයෙහි ප්‍රධාන අංගයක් බවට පත්ව තිබේ. එහෙයින් ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වල ප්‍රධාන කාර්ය බවට පත් වී ඇත්තේ ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව පෙළ ගැසීමයි. අනෙක් අතින් අඥාදායකත්වයට එරෙහිව පෙළ ගැසීමයි. ජාතිවාදය හා ආඥාදායකත්වය අතර පවතින්නේ ප්‍රබල සම්බන්ධයකි. එපමණක්ද නොව ජාතිවාදය මගින් පන්ති අරගලයද යටපත් වී යයි. වර්තමානයේදී වාමාංශික වෘත්තීය සමිති ව්‍යාපෘතිය ඛේදජනක ලෙස ජාතිවාදය කරා නැඹුරුව තිබේ. එය සංකේතවත් වන්නේ වාමාංශික වෘත්තීය සමිති නායකයින් මහින්ද රාජපක්ෂ වටා පෙළ ගැසීමෙනි.

මේ වන විට උද්ගත වී ඇති බියකරු ජාතිවාදී දේශපාලන සන්දර්භය තුළ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට එල්ල වී ඇත්තේ බලවත් තර්ජනයකි. එහෙයින් ජාතිවාදයට එරෙහි සියලු බලවේග එක් පෙරමුණක් වශයෙන් සංවිධානය වෙමින් ජාතිවාදයට එරෙහිව සටන් කිරීමේ අවශ්‍යතාවක් ප්‍රබල ලෙස ඉස්මතු වී තිබේ.