ලංකාවේ ඊළඟ තෝරා ගැනීම මහජන ව්‍යවස්ථාවක් විය යුතුය.

වික්ටර් අයිවන්

පුනරුද ව්‍යාපාරයේ කැඳවීමක් අනුව ජනවාරි 19 වැනිදා කොළඹ කොබ්බෑකඩුව ආයතනයට රැස්වූ මහජන සංවිධාන 46ක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදාගත යුතු ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට පොදු එකඟතාවක් ඇතිකර ගත්හ. එසේ ඇති කරගත් පොදු එකඟතාව මෙසේ පිදු කළ හැකිය.

මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට ලැබී තිබෙන අයිතිය දැන් පවතින ආණ්ඩුක්‍රමයෙන් හා ඊට පෙර පැවති ආණ්ඩුක්‍රමවලන් මහජනයාට තමන් සතු පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීමට ලැබී තිබුණු එක ක්‍රමය ලෙස සැලකිය හැකිය. එම පටු යල්පැනගිය ක්‍රමය වෙනුවට මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමේ අයිතියට අතිරේක වශයෙන් මහජන වැදගත්කමක් ඇති දේවලදී ආණ්ඩුකරණයට මහජනයාට ක්‍රියාකාරී ලෙස මැදිහත්වීමට අවස්ථා ලබාදෙන සංවිධාන ක්‍රම සහිත නවීන ආණ්ඩුක්‍රමයක් ඇතිකර ගැනීමට හේතුවන මහජන ව්‍යවස්ථා සම්පාදනයකට යා යුතුය. එහි තේරුම ව්‍යවස්ථා සම්පාදනය ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන්ට සීමා නොකොට වැඩි නියෝජනයක් මහජනයාට ලබාදෙන ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් මගින් නව ව්‍යවස්ථාව සම්පාදනය කළ යුතු බවය.

එම අරමුණ ජයගැනීම සඳහා එම සාකච්ඡාවට සහභාගි වූ සියලු සංවිධාන ඇතුළත් වන ලෙස හා ඒ සියලුදෙනාට සම හිමිකමක් ලැබෙන ආකාරයේ මහජන ව්‍යවස්ථා සම්පාදනයක් සඳහා වන ව්‍යාපාරය නමින් සංවිධානයක් ඇතිකර ගැනීමටද තීරණය කරන ලදි. එම සංවිධානයට තව තව මහජන සංවිධාන එකතු කරගනිමින් හා ඒවාද එම සංවිධානයේ සම කොටස්කරුවන් බවට පත්කර ගනිමින් දේශපාලන පක්ෂවලට තිබෙන මහජන බලය ඉක්මවා ගිය මහජන බලයක් ඇති මහජන සංවිධානවල බල මණ්ඩලයක් ඇතිකර ගනිමින් ආණ්ඩුකරණයට මහජනයාට ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට ඉඩ ලැබෙන හා ගැඹුරු විපර්යාසයක් ඇති කිරීමට හේතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට හේතුවන මහජනයාට බර තබන ව්‍යවස්ථා සම්පාදනයක් දිනාගැනීමේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවට තීරණය කරන ලදි.
මෙය ව්‍යවස්ථා සම්පාදන විෂයේදී ලංකාවේ රජ කරන යල් පැනගිය චින්තනයෙන් වෙන්වීමට දරන ඉතා වැදගත් හා පුරෝගාමී උත්සාහයක් ලෙස සැලකිය හැකිය.

ව්‍යවස්ථා සම්පාදනය හා භාවිතය

ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි හා ව්‍යවස්ථා භාවිත විෂයෙහි ලංකාවට ඇත්තේ කනගාටු විය යුතු ඉතිහාසයක් මිස සතුටුවිය හැකි ඉතිහාසයක් නොවේ. නිදහස ලැබී වසර 71ක් තරම් කාලය තුළ හදාගෙන තිබෙන ව්‍යවස්ථා ගණන තුනක් වනවිට මේ වනවිට ලංකාව තිබෙන්නේ හතරවැනි ව්‍යවස්ථාවක්ද හදා ගැනීමෙන් තොරව ඉදිරියට යා නොහැකි අවුල්සහගත හිරවූ තත්ත්වයකය. ව්‍යවස්ථාවන් හදාගත් ව්‍යවස්ථා සම්පාදනවලදී, ව්‍යවස්ථා සම්පාදකයන් සැලකිල්ලට ගත යුතු ප්‍රතිපත්ති හා සම්ප්‍රදායයන් සැලකිල්ලට ගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත. ඒ හැම ව්‍යවස්ථාවක්ම සැලකිය හැක්කේ පොදු එකඟතාවකින් වෙනුවට සටකපට කමින් හෝ ව්‍යවස්ථාව හැදූ ආණ්ඩු පක්ෂයට තිබෙන වැඩි බලයෙන් සම්මත කරගනු ලැබූ ව්‍යවස්ථා ලෙසය. ඒ කිසිදු ව්‍යවස්ථාවක් ව්‍යවස්ථා සම්පාදනයෙන් පසු මහජනතාව වෙත ඉදිරිපත් කොට මහජන අනුමැතිය ලබාගත් ව්‍යවස්ථා ලෙසද සැලකිය නොහැකිය.
ව්‍යවස්ථාව කෙළෙසීම පිළිබඳ විෂයේදී ලංකාව සිටින්නේ අසමසම තත්ත්වයකය. ව්‍යවස්ථාව සංශෝධනය සඳහා තිබෙන ප්‍රතිපාදන වැඩි වශයෙන් පාවිච්චි කර තිබෙන්නේ ව්‍යවස්ථාවේ තිබෙන අඩුපාඩුකම් සම්පූර්ණ කරගැනීම සඳහා නොව, පටු අරමුණු සපුරා ගැනීම සඳහා හෝ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සඳහාය. විධායකය විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අවස්ථා තිබෙනවා සේ ම ව්‍යවස්ථාදායකය හා අධිකරණය විසින්ද ව්‍යවස්ථාව උල්ලංඝනය කළ අවස්ථා තිබෙන්නේය. ව්‍යවස්ථා උල්ලංඝනය බරපතළ වරදක් ලෙස සැලකෙන දේශපාලන සංස්කෘතියක් රටේ නොපවතී.
ප්‍රභූ සුළු පිරිසක් විසින් හෝ ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන් විසින් කරන ව්‍යවස්ථා සම්පාදනය ලංකාව තවමත් දන්නා එකම ව්‍යවස්ථා සම්පාදන මාදලිය වශයෙන් සැලකිය හැකිය. ලංකාවේ සම්පාදනය වූ ව්‍යවස්ථා තුනම එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට සම්පාදනය වූයේ එම මාදිලියට අනුකූලවය. අගමැති රනිල් වික්‍රමසිංහ කරළියට ගෙන ඒමට උත්සාහ කරමින් තිබෙන ව්‍යවස්ථාව සම්පාදනය කෙරෙමින් පවතින්නේද එම මාදිලියට අනුකූලය.

සහභාගිත්ව ව්‍යවස්ථා සම්පාදනය

මීට පෙර කතා කළ පැරණි මාදිලිය වර්තමානයට ගැළපෙන්නේ නැත. නූතන ව්‍යවස්ථා සම්පාදන න්‍යායවාදීන් එය සලකන්නේ යල්පැනගිය මාදිලියක් වශයෙනි. පෙර කාලයේ ව්‍යවස්ථා සම්පාදනවලදී මහජනයාට ඍජු කාර්යභාරයක් නොතිබුණි. වැදගත් කොට සලකන ලද්දේද සම්පාදනය කළ ව්‍යවස්ථාවේ අන්තර්ගතය මිස ව්‍යවස්ථාව සම්පාදනය කරගත් ආකාරය නොවේ. වර්තමාන ව්‍යවස්ථා න්‍යායවාදීන් එය සලකන්නේ හොඳටම යල්පැනගිය මාදිලියක් වශයෙනි. වර්තමානයේ ව්‍යවස්ථා සම්පාදනයකට මහජන සහභාගිත්වය නැතුවම බැරි කොන්දේසියක් ලෙස සැලකේ. එසේම වර්තමාන ව්‍යවස්ථා සම්පාදනයේදී ව්‍යවස්ථාවේ අන්තර්ගතයට ලැබෙන වැදගත්කමට සමාන වැදගත්කමක් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රමයටද ලබාදී තිබෙන්නේය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු තවදුරටත් හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ස්ථාපනය කරන දෙයක් ලෙස සැලකෙන්නේ නැත. ව්‍යවස්ථාව සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් තුළ සකසා ගත යුතු දෙයක් ලෙසය.

මහජන සහභාගිත්වයෙන් තනන ව්‍යවස්ථාවකදී එම සමාජය නියෝජනය කරන සියලු ජන කණ්ඩායම් එනම් වර්ගය, කුලය, ආගම, භාෂාව, ලිංගය හෝ ජීවන මාර්ග මුල් කරගත් සියලු කණ්ඩායම් එම වැඩසටහනට සම්බන්ධ කරගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකේ. මහජන සහභාගිත්ව ව්‍යවස්ථා සම්පාදන න්‍යායවාදීන් කල්පනා කරන්නේ කවර හේතුවක් නිසා හෝ එවැනි කිසියම් කණ්ඩායමක් බැහැර කිරීමක් සිදුවුවහොත් ඒ මගින් එම කණ්ඩායමට සිදුවන හානිය පසුව නිවැරදි කිරීම අමාරු දෙයක් ලෙසය.

සහභාගිත්ව ව්‍යවස්ථා සම්පාදන න්‍යාය පිළිබඳව ප්‍රමුඛ විශේෂඥවරියක් වන මහාචාර්ය විවියන් හාර්ට් 1789 ඇමරිකන් ව්‍යවස්ථා සම්පාදනය ආශ්‍රයෙන් පෙන්වා දී තිබෙන වැදගත් කරුණක් මෙසේය. එම ව්‍යවස්ථා සම්පාදනයේදී ව්‍යවස්ථා සම්පාදකයන් අප්‍රිකානු ඇමරිකානුන් හා ආදිවාසීන් පමණක් නොව ඇමරිකානු කාන්තාවන්ගේ පවා අපේක්ෂා සැලකිල්ලට ගත්තේ නැත. පසුකලක ඒ සියලුදෙනා නිසි පිළිගැනීමක් ඉල්ලා සිටි විට ඇමරිකානු ආණ්ඩුක්‍රමයට ඔවුන්ට දිය හැකි ඉක්මන් විසඳුමක් නොතිබුණි. මක්නිසාදයත් එහි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉතාමත් දුෂ්කර ඉතා දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාවක් වන නිසාය. ඒ නිසා එම ප්‍රශ්න අදත් මුළුමනින් නොවිසඳුණු ප්‍රශ්න ලෙස ශේෂ වී පවතී.

සහභාගි ව්‍යවස්ථා සම්පාදන මාදිලිය වර්තමාන ලෝකයේ ක්‍රියාත්මක වැඩියෙන්ම පිළිගත් ව්‍යවස්ථා මාදිලිය ලෙස සැලකිය හැකි අතර එය ව්‍යවස්ථා සම්පාදන විෂයෙහි සිදුවෙමින් පවතින අවසන් නොකළ අත්හදා බැලීමේ ක්‍රියාදාමයක් ලෙසද සැලකිය හැකිය. නිකරගුවා, උගන්ඩාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, උතුරු අයර්ලන්තය, කෙන්යාව හා රුවන්ඩාව යන රටවල් මහජන සහභාගිත්ව ව්‍යවස්ථා සම්පාදන මාදිලිය. අත්හදා බලන ලද රටවල් ලෙස සැලකිය හැකිය. එම ව්‍යවස්ථා සම්පාදන මාදිලිය ජාත්‍යන්තර නීතිය අනුව පිළිගත් ව්‍යවස්ථා මාදිලියකි. රටක සිදුවන ආණ්ඩුක්‍රම සම්පාදනයකට ක්‍රියාකාරී ලෙස සහභාගිවීමට මහජනයාට තිබෙන අයිතිය ජාත්‍යන්තර නීතිය අනුව පිළිගත් අයිතියක් බවට පත්වී තිබෙන බවද කිව යුතුය. එය මහජනයාට ලැබී තිබෙන අහිමි කළ නොහැකි හිමිකමකි.

ජාත්‍යන්තර නීතිය

මාර්ෂල් එදිරිව කැනඩාව (CCPR/C/43/D/205/1986-1991  දෙසැම්බර් 3) ලෙස වාර්තා වන කැනඩාවේ මික් මැක් ගෝත්‍රික සමාජ කණ්ඩායමක් නියෝජනය කරන පුද්ගලයකු කැනඩා රජයට එරෙහිව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් විභාගයට ගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් 1991 දෙන ලද තීන්දුව ව්‍යවස්ථා සම්පාදනයකට සහභාගිවීමට තිබෙන අයිතියට අදාළ ජාත්‍යන්තර නීතිය කෙරෙහි බලපෑ පළමු තීන්දුව ලෙස සැලකිය හැකිය. එම තීන්දුවෙන් මික්මැක් ගෝත්‍රිකයන් මුළුමනින් ජයගත්තේ නැතත් කැනඩාවේ සිදුකෙරුණු ව්‍යවස්ථා සම්පාදනයට එම ගෝත්‍රික සමාජ කණ්ඩායමට සහභාගිවීමට තිබෙන අයිතිය කමිටුව පිළිගත්තේය.

ඉන්පසු 1993 ජූලි 25 වැනි දින දෙවන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු පාඨමය බලඅධිකාරිය විසින් දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 25 වැනි ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණයක් ඉදිරිපත් කළේය. එම අර්ථ නිරූපණයෙන් 25 වැනි වගන්තිය පිළිබඳව පොදු අදහස් පළකිරීමෙන් පසුව ව්‍යවස්ථා සම්පාදනයන්ට සහභාගිවීමට මහජනයාට තිබෙන අයිතිය විග්‍රහ කර ඇත්තේ මෙසේය. “පුරවැසියෝ සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයැයි අදහස් කරන අවස්ථාවලදී පොදු කටයුතු මෙහෙයවීමේ කාර්යයට ඍජු ලෙස සහභාගි වෙති. මහාචාර්ය විවියන් හාර්ට් කියන්නේ එය එක්සත් ජාතීන්ගේ දේශපාලන හිමිකම් දර්ශනය තුළ අපූරු ලෙස සැඟවී පවැති අදහසක් බවය. එසේම හොඳින් පරිහරණය නොකළ වැඩි දියුණු කරගත යුතු අදහසක් බවය.

කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ ස්වයං පාලන ප්‍රශ්නයට අදාළව උපදෙස් ලබාදෙමින් කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 1998දී ලබාදී තිබෙන තීන්දුවද සහභාගිත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ අදහස නීතිමය වශයෙන් බලගැන්වීමට හේතුවූ වැදගත් අධිකරණ තීන්දුවක් ලෙස සැලකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය කැනේඩියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම අතර තිබෙන ප්‍රධාන මූලධර්මය ලෙස එම තීන්දුවෙන් අර්ථ දක්වා තිබෙන අතර ‘සහභාගිත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය’ නීත්‍යනුකූල ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක වැදගත්ම නිර්ණායකය ලෙස එහි හඳුන්වා තිබේ.
ඒ සියලු වැදගත් නඩු තීන්දු හා අර්ථනිරූපණ මගින් ව්‍යවස්ථා සම්පාදනයකදී ඒ රටේ මහජනයාට ක්‍රියාකාරී ලෙස දායකවීමට තිබෙන නෛතික අයිතිය තහවුරු කොට එය ප්‍රායෝගිකව භාවිතයට යොදාගත හැකි ව්‍යවස්ථා සම්පාදන මාදිලියක් බව තහවුරු කර තිබෙන්නේ යැයි කිව හැකිය.

එහෙත් එය සරල පහසු මාදිලියක් ලෙස නොසැලකිය යුතුය. විවියන් හාර්ට් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තාක්ෂණික සුදුසුකම් ඇති ප්‍රභූ සුළු පිරිසක් කෙටුම්පත් කරන නෛතික හා විශේෂඥ ලේඛනයක් වන විට එය සකස් කිරීම පහසු බවය. ඒ සඳහා ගතවන කාලයද කෙටිය. එහෙත් දේශපාලන සමාජයේ සියලුම කණ්ඩායම් අතර ඇතිකර ගන්නා සංවාදයන් ඔස්සේ ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම සරල නැත. සංකීර්ණය. ගතවන කාලයද දීර්ඝය. එහෙත් තිබෙන ගැටුම් නිරාකරණය කරගත හැකි, සියලු මතභේද අවසන් කරගැනීමට බැරි වුවද සියලු දෙනාට සාමකාමීව එකට ජීවත්වීමට පුළුවන්කම ලැබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනගා ගැනීමට තිබෙන හොඳම මාර්ගය ‘සහභාගිත්ව ව්‍යවස්ථා සම්පාදන මාර්ගය ලෙස සැලකිය හැකිය.

ලංකාව තෝරා ගත යුතු මාවත

දේශය, සමාජය හා රාජ්‍ය තිබෙන්නේ සාමාන්‍ය සරල අවුලක නොව, අසාමාන්‍ය තරමේ සංකීර්ණ අවුලකය. ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය නිදහස හිමිකර ගැනීමේ සම්පූර්ණ කරගත යුතු වැදගත් කොන්දේසි සම්පූර්ණ කරගැනීමට අසමත්වීම හා ඒ ආශ්‍රයෙන් ඇතිවූ ගැටලු කළමනාකරණය කරගැනීමට අසමත්වීම නිසාත්, නිදහසේ සිට ඇතිවී වර්ධනයවෙමින් මේ වනවිට උපරිම තත්ත්වයකට වර්ධනය වූ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. 1948දී හිමි කරගත් නිදහස, දිනාගැනීම සඳහා සමාජය දරන ලද බලවත් හා සංවිධානාත්මක සමාජ උත්සාහයක ඵලයක් ලෙස සැලකිය නොහැකිය. සටකපටකමෙන් ලබාගත් නිදහස ජාතිය ඒකාග්‍ර කිරීමට හේතුවන තරම් බලවත් සමාජ සංසිද්ධියක් නොවීය. නිදහස ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සමාජයක් බිහි කිරීමට හෝ පරිණත දේශපාලන නායකයන් ඇති කිරීමට හෝ හේතු නොවීය. සමාජයේ පැවති වර්ග, කුල, ආගම් හා භාෂා භේදවලට තිබෙන පිළිගැනීම නැති කොට පොදු ජාතික දෘෂ්ටියකින් ජාතිය එක්සත් කිරීමට හෝ සමගි කිරීමට හේතු නොවීය.

නිදහසින් පසුව හෝ බිහිවන කිසිදු නායකයෙක් තිබුණු භේද උග්‍ර කිරීමට මිස වර්ග භේදයට, කුල භේදයට හා ආගම් භේදයට තිබෙන පිළිගැනීම නැති කොට ජාතිය ගොඩනැගීමට බලවත් උත්සාහයක යෙදී නැත. ලංකාව නිදහසේ සිටම අර්බුදයෙන් අර්බුදයට යන රටක් බවට පත්ව තිබුණේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දීර්ඝකාලීන ප්‍රචණ්ඩ ගැටුම් හා මහා පරිමාණයෙන් ලේ වැගිරෙන රටක් බවට පත්විය. ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් හා ලේ වැගිරීම් අවසන් වූ පසුත් සිදුවී තිබෙන බරපතළ වැරදි තේරුම් ගෙන ඒ වැරදි නිවැරදි කරගැනීම සඳහා වන බලවත් උත්සාහයක නිරතවීමට අසමත් විය.

දැන් එහි අවසාන ප්‍රතිඵලය වී තිබෙන්නේ දේශයද එහි සමාජය හා රාජ්‍යයද අන්ත බංකොළොත්, අසාර්ථක හා පරිපූර්ණ කාලකණ්ණි තත්ත්වයකට පත්වීමය.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිගින් දිගට කෙළෙසීම නිසා දැන් එය තිබෙන්නේ තවදුරටත් ප්‍රයෝජනයට ගත නොහැකි බෙලහීන තත්ත්වයකය. උත්තරීතර තත්ත්වයකලා සැලකිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තමන් කර තිබෙන විනාශය ගැන රටේ දේශපාලන නායකයන් තුළ ඒ ගැන ඇති කරගත් කනගාටුවක් පෙනෙන්නට නැතත්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව නම් ඒ හැමදෙනාම පිළිගනිති. එහෙත් රටේ දේශපාලන නායකයන් එය සිය දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ දෙයක් බවට පත්කරගෙන නැත. ඒ සියලුදෙනාම සිහින දකින්නේ ඉදිරි මැතිවරණ ගැනය.

නැව තිබෙන්නේ ඈත මුහුදේය. මුහුද රළුය. නැවේ මාලිමා යන්ත්‍රය නැවත පිළිසකර කරගත නොහැකි ලෙස ක්‍රියාවිරහිත තත්ත්වයකට පත්ව තිබෙන බව නැව පදවන නියමුවන් දන්නාමුත් ඔවුන් සියලුදෙනාගේ කල්පනාව වී තිබෙන්නේ මාලිමා යන්ත්‍රය නැතිව වුවත් යන ගමන ගොස් අවසන් කිරීමෙන් පසුව මාලිමා යන්ත්‍රය පිළිබඳ ප්‍රශ්නය විසඳා ගත යුතු බවය. මාලිමා යන්ත්‍රයේ මගපෙන්වීම නැතිව යන ගමනේ අවදානම සැලකිල්ලට ගෙන මාලිමා යන්ත්‍රයක් ගෙන්වා ගන්නා තෙක් නැවේ ගමන නතර කරගෙන සිටීම වඩා සුදුසු බව එම නියමුවන්ට තේරෙන්නේ නැත.

මහජන වගකීම

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගැන්මට ඇතිවී තිබෙන අවශ්‍යතාව රටේ මහජනයාට අවශ්‍ය නම් තමන්ගේ දේශය ඇද වැටී තිබෙන කාලකණ්ණි තත්ත්වයෙන් මුදා ගැනීමට ලැබී තිබෙන ස්වර්ණමය අවස්ථාවක් බවට පත්කරගත හැකිය. ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන පරණ මාදිලියට ව්‍යවස්ථාදායකයට සීමාවූ වැඩසටහනක් බවට පත්වන්නට ඉඩ නොදී මහජන ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනක් බවට හරවා ගැනීමෙන් තමන්ගේ දේශය, එහි සමාජය හා රාජ්‍යය පරිපූර්ණ විපර්යාසයකට ලක් කිරීමට හේතුවන මහජනයා විසින් කරන සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී හා නිර්මාණශීලී විප්ලවයක් බවට පත්කර ගත හැකිය.

රටේ මහජන සංවිධානවලට එකට එකතු වී දේශපාලන පක්ෂවලට තිබෙන මහජන බලය ඉක්මවා ගිය මහජන බලයක් ඇති මහජන සංවිධානවල බලමණ්ඩලයක් ඇති කරගත හැකි නම් ව්‍යවස්ථාදායකයද එම වැඩසටහනේ පංගුකාරයකු බවට පත්කර ගනිමින් එයට මහජන ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මහජන පාර්ශ්වයට මගපෙන්වන ප්‍රධාන යාන්ත්‍රණය බවට පත්විය හැකි නම් ඒ ආකාරයෙන් කෙරෙන ව්‍යවස්ථා සම්පාදනයක් ලංකාවේ සමස්ත චිත්‍රයෙහි විප්ලවකාරී විපර්යාසයක් ඇති කිරීමට හේතුවනු ඇත.

මේ වනවිට ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ හා ඒවාහි නායකයන් සිටින්නේ මහජන විශ්වාසය පමණක් නොව, සිහිබුද්ධියද අහිමි කරගත් පූර්ණ අර්බුදයකය. ප්‍රසිද්ධියේ කියන්නේ නැතත්, රට ඇද වැටී තිබෙන කාලකණ්ණි තත්ත්වයට තමන්ද වගකිවයුතු බව ඒ සියලුදෙනා දන්නෙහිය. රාජ්‍යයේ දූෂණයේ ප්‍රධානතම ප්‍රභවය වන්නේද තමන් වන බවද ඒ සියලුදෙනාම දන්නෙහිය. රටේ දේවල් සිදුවෙමින් පවතින්නේ තමන්ට පාලනය කළ නොහැකි තත්ත්වයක බවද ඒ සියලුදෙනා දන්නෙහිය.

ව්‍යවස්ථාදායකයද බැහැර නොකරන වැඩි බලයක් මහජනයාට ලැබෙන ව්‍යවස්ථා සම්පාදනයකට අකමැත්තෙන් හෝ අනුගත වනවා හැර ඊට විරුද්ධවීමේ ඇත්ත හැකියාවක් ව්‍යවස්ථාදායකයට හෝ දේශපාලන පක්ෂවලට නැත. නියම පරමාධිපත්‍ය බලය ඇත්තේ තමන්ට නොව මහජනයාට බව ඒ සියලුදෙනාම දන්නෙහිය. ව්‍යවස්ථාවක් යන්නෙන් අදහස් වන්නේ පාලක පක්ෂය හා පාලිත පක්ෂය අතර ඇතිකර ගන්නා ගිවිසුමකටය. ලංකාවේ දේශපාලන සන්දර්භය අනුව විධායකයේ ප්‍රධානියා හා ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් සැලකිය හැක්කේ පාලක පක්ෂය ලෙසය. ඒ නිසා මහජනයා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගන්නා ව්‍යවස්ථා සම්පාදනයකට විරුද්ධවීමේ හැකියාවක් ඔවුන්ට තිබිය නොහැකිය.

මහජන සංවිධාන දිස්ත්‍රික්ක මට්ටමෙන් පළාත් මට්ටමෙන් හා ජාතික මට්ටමෙන් එකට එකතු වී මහජන සංවිධානවල බලමණ්ඩලයක් තනා ගනිමින් ඉතිහාසය විසින් ලංකාවේ මහජනයාට හිමිකර දී තිබෙන මෙම ස්වර්ණමය අවකාශය ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට සමත් වේ නම් එවැනි ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනට ඇති කළ හැකි විපර්යාසය අතිවිශාලය. ජාතිය ගොඩනැගිය හැකිය. සියලුදෙනාගේ ගෞරවයට හේතුවන නවීන රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කළ හැකිය. දූෂණයට, අගතියට හා අකාර්යක්ෂමතාවට ඉඩක් නැති මහජනයාගේ පරමාධිපත්‍යය බලය අභ්‍යාස කිරීමට තිබෙන අයිතිය මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන පටු රාමුවකට සීමා නොකොට රාජ්‍ය පාලනයට මැදිහත්වීමට ඉඩ ප්‍රස්ථා ලබාදෙන ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමට හේතුවන නූතන ගණයෙහිලා සැලකිය හැකි ව්‍යවස්ථාවක් ඇතිකර ගත හැකිය.

රටේ දැන උගත් මහජනයා සේ ම මහජන සංවිධානද ඒ ගැන බැරෑරුම් ලෙස කල්පනා කරන තැනකට යා යුතු නැද්ද?