පොහොට්ටුව සමග බිම් මට්ටමේ එකඟතාවක් නැහැ – දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක
සහ පාර්ලිමේන්තු මන්ත්‍රී

සංවාදය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු
සේයා රූ : රසික ගුණවර්ධන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන ඔබ ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණු රජයට එකතුවෙන්න යනවයි කියන එක ඇත්තක්ද?

නැහැ. අපි පක්ෂයක් විදියට යහපාලන ආණ්ඩුවට එකතුවෙලා ආණ්ඩු කළා. පක්ෂයක් විදියට අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ අපි එකතු වෙනවා නම් පක්ෂයක් විදියට එකතු වෙන්න ඕනේ. වෙන් වෙනවා නම් පක්ෂයක් විදියට වෙන් වෙන්න ඕනේ කියලයි. අපි කිසිදු ආණ්ඩුවක් එක්ක එකතු වෙන්න කියන යෝජනාව කරලා නැහැ.

එතකොට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් සමග එක්සත් ජාතික පෙරමුණු රජයට ශ්‍රීලනිප කණ්ඩායමක් ලෙස එකතුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා කියන එකත් බොරුවක්ද?

එහෙම කිසිම සාකච්ඡාවක් සිදුකර නැහැ මම දන්න තරමින්. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් සමග ශ්‍රීලනිපයේ සංවිධායකයෝ කණ්ඩායමක් සාකච්ඡා කර තිබෙනවා. ඒක මාධ්‍යයෙන් පවා ප්‍රචාරය වුණා. එය හොර රහසේ වුණු දෙයක් නොවේ. ඒ කණ්ඩායම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් සමග එළියට බැහැලා පසුගිය කාලයේ පොහොට්ටුව කණ්ඩායමත් සමග යම් යම් ආරාවුල් ඇතිකර ගන්නා ලද අයයි. එකපාරටම පොහොට්ටුව සමග අත්වැල් බැඳ ගැනීමත් එක්ක ශ්‍රීලනිපයේ කියන කණ්ඩායම විශාල අපහසුතාවකට ලක්වුණා. කොහොමද මේ එකඟතාව ඇතිවුණේ? උඩින් එකඟතාව ඇතිවුණාට බිම් මට්ටමින් එකඟතාවක් තවමත් ඇතිවෙලා නැහැ. ඒ පිළිබඳ ඒ අයට කතා කරන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි හිටපු සභාපතිවරයා සහ වර්තමාන අනුශාසක වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් සමග ඒ කණ්ඩායම සාකච්ඡා කළේ. ඒකෙන් කියන්න බැහැ, චන්ද්‍රිකා මහත්මිය හෝ ශ්‍රීලනිපයේ සංවිධායක කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණත් එක්ක කටයුතු කරන්න සූදානම් වෙනවා කියන කාරණාව.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිපයේ වෙනම කණ්ඩායමක්, මෙහෙයවන බව ඔබ දැනුවත්ද?

චන්ද්‍රිකා මහත්මිය ශ්‍රීලනිපයේ වෙන කණ්ඩායමක් මෙහෙයවීමක් සිදුකරන්නේ නැහැ. අපේ පක්ෂය මෙහෙයවන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පමණයි. වෙන කවුරුවත් මෙහෙයවන්නේ නැහැ.

ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානය වශයෙන් කණ්ඩායමක් සාදාගෙන සමහර අය වැඩ කරගෙන යනවා. ඒ ගැන ඔබ දකින්නේ කෙසේද? එම ක්‍රියාවලිය සඳහා ඔබටත් ආරාධනා කර තියෙනවාද?

ඒ කණ්ඩායම මාවත් ඇවිල්ලා හමුවුණා. ඒ කණ්ඩායම කියන්නේ පොහොට්ටුව සමග හදිසියේ එකතුවීම ගැන. යම්කිසි අවබෝධයක් පහළ මට්ටමට ඇති කරන්නේ නැතුව එකතුවීම ගැටලුසහගත බවයි. ඒ වගේම ඉහළ මට්ටමින් එකතු වුණත් පහළ මට්ටමට ඒ එකමුතුව තවමත් ඇතිවෙලා නැති බවත්, ඒ නිසා ශ්‍රීලනිප කණ්ඩායමට විශාල හානියක් ඇතිවෙනවා කියා ඔවුන් කියා තිබුණා. ඒ කණ්ඩායම කියන්නේ මේ ගැටලුව නිරාකරණය කරන්න ඕනේ කියලා. උදාහරණයක් විදියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමාත් සමග තරග කළ, එතුමා විසින් පරාජය කරන ලද ඒ වගේම ජනාධිපතිවරණයකදී රටේ අතිබහුතර ජනතාවක් ප්‍රතික්ෂේප කරන ලද, නමුත් අපේ පක්ෂ ඉතිහාසයේ අපිත් එක්ක විශාල සම්බන්ධතාවක් ඇති කරගෙන තිබුණු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කළා. ජනාධිපතිවරයා ඔහු අගමැතිවරයා ලෙසට පත් කළේ අරගල, උපවාස හෝ පෙළපාළි ගිහිල්ලා නොවේ. එවකට පැවති ආණ්ඩුවත් සමග ඇතිවූ ගැටලුවක් නිසා මහින්ද මහතාට ආරාධනා කරලා තමයි අගමැතිකම ලබා දුන්නේ.

දැන් අපි පොදුජන පෙරමුණත් සමග එකට එකතු වෙලා ඉන්නවා. තිබුණු ලොකුම තනතුරත් මහින්ද රාජපක්ෂ මහතාට ලබා දුන්නා. හැබැයි අද වනතුරු පොහොට්ටුවට බලය තිබෙන ප්‍රාදේශීය සභාවක ලයිට් එකක්වත් දමා ගන්න ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ අය තවමත් අපිව සලකන්නේ සතුරු කණ්ඩායමක් විදියටයි. මෙන්න මේ එකඟතාව නැතිවීම තමයි ගැටලුව. ඒ එකඟතාව තිබෙන්නේ නම් අපේ පාක්ෂිකයකුට හෝ සංවිධායකයකුට කිසිම සැකයක් හෝ බයක් ඇතිකර ගන්න වුවමනාවක් නැහැ.

ඒ වගේම ඒ අය එකට එකතුවෙලා ඡන්දය ඉල්ලීම ගැන සාකච්ඡා කළත් ඒ අය එම සාකච්ඡාවලදී ඉල්ලා සිටින්නේ පොහොට්ටුවමයි. මෙන්න මෙවැනි ගැටලු විසඳෙනවා නම් ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ට හෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග අත්වැල් බැඳගෙන ඉන්න අයට හෝ කිසිදු ගැටලුවක් නැහැ.

ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ එකතු වී සන්ධානයක් හදනවද? එවැන්නක් පිහිටුවනු ලැබුවහොත් ඉදිරි ඡන්දයකදී තරග කිරීමට සිදුවන්නේ සන්ධානයක් වශයෙන් නේද?

ඔව්. සන්ධානයක් හදන්න සාකච්ඡා කරගෙන යනවා. තවම අවසාන තීන්දුවක් අරගෙන නැහැ.

ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තරග කරන ශ්‍රීලනිපයේ අපේක්ෂකයා කවුරුද?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා.

ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන අයත් ජනාධිපති අපේක්ෂකවරුන් ලෙස තරග කිරීමට සූදානම් බව පවසා තිබෙනවා. එවිට පොහොට්ටුවෙන් වෙනත් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත්වීමක් සිදුවෙනවා. එවැනි තත්ත්වයක් තුළ පොදුජන පෙරමුණ නිසා ශ්‍රීලනිපය පිහිටුවනු ලබන සන්ධානය කුළ ගැටුම්කාරී තත්ත්වයක් උදාවෙනවා නේද? දෙපක්ෂය අතර ජනාධිපති අපේක්ෂකත්වය ගැන පොදු එකඟතාවක් නැද්ද?

ඔය ප්‍රශ්නය තමයි අපිටත් තියෙන්නේ. අපි එකඟතාවක් ඇතිකර ගත්තා නම් ඒ එකඟතාවයේ තේරුමක් තියෙන්නෙ ඕනේ. එකඟතාවයෙන්, පැහැදිලිව අවබෝධ විය යුතු දෙයක් වන්නේ, ශ්‍රීලනිපය සහ පොහොට්ටුව එකතු වුණා නම්, සන්ධානගතවීමක් වුණා නම්, ජනාධිපතිවරණයකදී අපේක්ෂකයන් දෙදෙනකුට ඉල්ලීමට පුළුවන්කමක් නැහැ කියන එක. අපේ අරගලය තිබෙන්නේ එතැනයි. එස්.බී. දිසානායක මන්ත්‍රීතුමා කියනවා, ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන පස්සේ කතා කරමු, දැන් කතා කළහොත් පක්ෂ දෙක අතර අර්බුද ඇතිවෙනවා කියලා. ඒ විදියට නම් ප්‍රධාන පක්ෂ දෙකක් එකතු වෙනවා කියන එක, ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ. අපිට තියෙන ලොකුම මැතිවරණය කුමක්ද? ජනාධිපතිවරණයයි. ඒක තමයි එන්න තියෙන්නේ ළඟදීම. ඒ පිළිබඳව එකඟතාවක් නැතුව නම් අපි එකතු වෙලා තියෙන්නෙ ඒක ඇතුළේ අර්බුදයක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව දකිනවා මේ එකමුතුවත් එක්ක අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්න පුළුවන්කමක් නැහැ. පැහැදිලිවම ශ්‍රීලනිපය සහ පොහොට්ටුව එකට එකතුවෙලා එකඟතාවක් ඇතිවුණේ හොඳ ගමනක් යන්න නම් එක අපේක්ෂකයෙක් ඉන්න ඕනේ.

මම දන්න නීතියට අනුව බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිකම තියෙන කෙනෙක්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් ද්විත්ව පුරවැසිකම තියෙන කෙනෙක්. ඒ අය හෝ වෙනත් කවුරුහරි කෙනෙක් ද්විත්ව පුරවැසිකම තියෙන කෙනකුට ජනාධිපතිවරණයේදී ඡන්දය ඉල්ලන්න නීතියට අනුව පුළුවන්කමක් නැහැ. ඒ අය නිකම් ලියුමක් දුන්න පමණින් පුරවැසිභාවය අයින් වෙන්නේ නැහැ කියලා ගීතා කුමාරසිංහ නඩුවෙන් ඔප්පු වෙනවා. ඒ නිසා ද්විත්ව පුරවැසිකමක් තියෙන අයට ඡන්දය ඉල්ලන්න බැහැ කියන එකයි මගේ පදනම.

ගෝඨාභය රාජපක්ෂ හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන අය හැරෙන්නට ජනාධිපති අපේක්ෂක ධුරය සඳහා තරග කිරීමට වෙනත් පොදු අපේක්ෂකයකු සිටිනවාද?

දැනට පේන කෙනෙක් නැහැ. කවුරුත්වම නැතිනම් සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉල්ලන්නේ නැතිනම් ඒ වගේම ද්විත්ව පුරවැසිභාවය තිබෙන අයට ඉල්ලන්න බැරිනම් චමල් රාජපක්ෂ මහතා ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වශයෙන් ඉතාමත් කැපවීම් කළ නිමල් සිරිපාල මහතා ඉන්නවා. අනෙක් පැත්තෙන් දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්නවා. ඒ වගේම අදටත් පොහොට්ටුව තුළ ඉඳගෙන අරගල කරන කුමාර වෙල්ගම මහතා ඉන්නවා. ශ්‍රීලනිපයට දක්ෂයන් කීදෙනෙක් ඉන්නවාද? ශ්‍රීලනිපයට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් දාගන්න බැරි පක්ෂයක් නොවේ.

යහපාලන ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බිඳ දැමූ බවට එජාපය, සිවිල් සංවිධාන වගේම 2015දී යහපාලන රජයක් බිහිකිරීමට කටයුතු කළ අනෙකුත් බලවේග, චෝදනා කර තිබෙනවා. එම බලවේගයේ හිටපු ශ්‍රීලනිපයේ නායකයකු වශයෙන් ඒ සඳහා ඔබ ලබාදෙන උත්තරය කුමක්ද?

ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. අපිත් දැක්කේ රටේ යහපාලන ආණ්ඩුව වෙනස් කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. හැබැයි, ඒක වෙනස් කරන්න හේතුව රටට කිව්වා. ඒ නිසා, අපි දැක්කේ වෙනස් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිතුමාටයි. ඒ නිසා යහපාලන ආණ්ඩුව වෙනස් කළේ ජනාධිපතිතුමා කියලා කාටහරි කිව හැකියි. ඒ වගේම ජනාධිපතිතුමා විසින් තමන් එහෙම වෙනස් කළේ ඇයි කියා රටට කියලා තිබෙනවා. ඒ නිසා යම්කිසි ඵලයකට කලින්, හේතුවක් තියෙන්නෙ ඕනේ. ඒ අනුව බැලුවාම දෙපැත්තේම අඩුපාඩුකම් තිබෙනවා. හැබැයි කවුරුහරි බලය තිබිච්ච කෙනා විදියට ජනාධිපතිතුමාට චෝදනා කරනවා නම් ඒක අපිට නැහැ කියන්න පුළුවන්කමක් නැහැ. එතුමට තමයි බලය තිබුණේ රනිල්ව පැත්තකින් තියලා මහින්ද රාජපක්ෂ මහතා ගේන්න. ඒ නිසා ඒ බව දකින කට්ටියට ඒ වගේම යූඑන්පී පාක්ෂිකයන්ට කියන්න පුළුවන් අපිට ගහලා ඉවර වෙලා මහින්ද මහත්මයාව ගෙනාවා කියලා. ජනාධිපතිතුමා ඒකට හේතු කාරණා ඉදිරිපත් කළ පසු රටම දැක්කා දෙපැත්තේම ප්‍රශ්න තිබිලා තියෙනවා කියලා.
මම නම් දකින්නේ අපි මේ යහපාලන ආණ්ඩුව හැදීමේ මූලික අරමුණ මොකක්ද කියන එක ප්‍රධාන පක්ෂ දෙකම මැතිවරණය ජයග්‍රහණය කළාට පසුව අමතක කරලා දැම්මා. රනිල්ට ආණ්ඩුව හැදුව පසුව ඒ බව අමතක වුණා. යහපාලන ආණ්ඩුව හදන්න මිනිස්සු අපිට බල කළේ ඇයි කියන එක මිනිසුන්ට අපි දෙන ලද පොරොන්දු අපි දෙගොල්ලන්ටම අමතක වුණා. දෙගොල්ලොම මොකද කළේ? ඊළඟ පාර ආණ්ඩු බලය ලබා ගැනීම වෙනුවෙන් අරගල කරන්න පටන් ගත්තා.

ශ්‍රීලනිපය නැවත ජනාධිපති කෙනෙක් හදාගන්නේ කොහොමද?

ශ්‍රීලනිපය තනි ආණ්ඩුවක් හදන්නේ කොහොමද කියලා කල්පනා කළා. යූඇන්පී අය රනිල් මහත්මයා කොහොමහරි ජනාධිපති කරන්න, යූඇන්පිය කොහොමද තනි ආණ්ඩුවක් හදන්නේ කියලා කල්පනා කළා. අපි දෙගොල්ලෝම පක්ෂ විදියට පුද්ගලික දේශපාලන ගමන් යන්න ගිය නිසා තමයි යහපාලන ආණ්ඩුව වෙනස් වෙන්න, කැඩෙන්න ප්‍රධාන හේතු බවට පත්වුණේ. රටේ ජනතාවට අපි දෙගොල්ලන්ම වගකියන්න ඕනේ.

ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා රට හදයි කියන මහා බලාපොරොත්තු අපි ජනතාවට ලබාදී තිබුණා. ඒ බලාපොරොත්තු ජනතාව විසින් පිළිගත්තා. අද අපි දෙපක්ෂයම ජනතාව ඉස්සරහ උත්තර නැති පිරිසක් බවට පත්වෙලා. ජනතාව ඉදිරියේ වරදකරුවන් බවට පත්වෙලා. ඒකේ ලොකු වරදකරුවකු වෙලා ඉන්නවා මමත්. මොකද මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එළියට ඇවිල්ලා මේ අලුත් ගමන පිළිබඳව රටේ විශ්වාසයක් ඇති කළ පුද්ගලයෙක් ලෙස පුද්ගලිකවම දුකක් කනගාටුවක් මට තියෙනවා මේ රට ගැන.