කරු එජාපයේ කරුවක් වෙයිද?

ටිරන් කුමාර බංගගමආරච්චි

දේශපාලනය විසින් මෙරට ජනයා නිර්වින්දනය කොට ඇත. කිසිවකුට ජීවිත අරගල පිළිබඳ හාංකවිසියක නිච්චියක් නැත. විසඳාලිය යුතු රටේ ප්‍රශ්න කොතෙක්වේද? ජයගත යුතු සමාජ අවශ්‍යතා කොපමණද? එහෙත් මේවා ගැන ඇත්ත වුවමනාවක් දේශපාලකයන්ට නැතිවා සේ ම රටේ ජනතාවටද ඒ ගැන වගේ වගක් නැත. අද දවසේ පාරට බැසීම පවා මෝස්තරයක් වී ඇත. අරගල විනෝදාංශයක් වී ඇත. දේශපාලකයෝ තරමටම ජනතාවද බොරුකාරයෝ වී සිටිති. කොටින්ම මෙරට දේශපාලකයන්ට ගැළපෙන මසුරන් ජනතාවක් නිර්මාණය වී ඇත. දේශපාලකයා ගාණටම ජනතාව පරිණාමය වී ඇත. නැතහොත් මේ ජනතාවට උචිත විදිහට දේශපාලකයා හැඩගැසී ඇත. කුමක් වුව ගහට පොත්ත සේ සියල්ල පැහැදිලිය.

ජන අරගල වෙනුවෙන් යැයි පෙනී සිටින සංවිධානද ඒ ජනතාවගේම කොටසක් බව අමතක නොකළ යුතුය. සැවොම සැමදේම කරනුයේ යටි අරමුණු පෙරදැරිවය. යහපාලනය ගෙන ඒමේදී එහි නියමුවෝ වූ සංවිධාන අද යහපාලනයත් සමග නන්නත්තාර වී ඇතත්, ඔවුන් බලනුයේ ඊළඟ විකල්පය ලෙස තවකෙක් අටවා ගන්නටය. අනෙක් සංවිධාන වලිකනුයේ ඔවුන්ගේ අපේක්ෂකයන් දිනවන්නටය. මේ දෙපිරිසට නැති මාර අවංක යැයි සමාජයට පෙන්වන සංවිධාන උත්සාහ කරනුයේ අවසානයේ වැඩි වාසි පැත්තට ඔට්ටු අල්ලා තම සංවිධානය, නායකයා පත් කළ බවට හිමිකාරකම ගෙන වැජඹෙන්නටය. මේ සැමට වුවමනා දේශපාලන ප්‍රවාහයත් සමග එකට යෑමටය. මේ සෑම සංවිධානයක්ම දැන් ‘වම’ මෙන්ය. එනම් වමේ යැයි කියාගන්නා අය අද කරනුයේ ප්‍රධාන පක්ෂවල මෙහෙකාරයන් වී වමේ මානයද රැක ගනිමින් බිරීමය. ඒ අය සිටිනුයේ එක්කෝ මහින්ද තුරුලේය. නැතහොත් රනිල් තුරුලේය. එහෙත් වමේය. වාසූ තරමට බාහුද අන්ධය. එහෙත් වාසුට බනින අය බාහුට නොබනිනුයේ දේශපාලනයේදී වාසු තරමට බාහු බාහුබල නැති නිසාය. එනම් ඔහු මන්ත්‍රීවරයකුද නොවන නිසාය. එහෙත් දෙදෙනා දෙපිළ බෙදී කරනුයේ එකම ඇපිල්ලීමය. වාසු මහින්දට වඩා මහින්දවාදියෙක් වන විට බාහු රනිල්ට වඩා රනිල්වාදියකු වී ඇත. ඒත් මොවුහු වම්මු වෙති. මොවුන් පරිදිම ලංකාවේ සියලු වම්මු අවසානයේ ටිකක් මහින්ද පිලේය. අනෙක් අය රනිල් පිලේය. ලංකාවේ සියලු අරගල පවතිනුයේ ජනතාව වෙනුවෙන් නොව ඒ ඒ දේශපාලන වුවමනා වෙනුවෙන්ය. ලාංකේය ජනයා වෙනුවෙන් අරගල වුවමනා නැත. අරගල වුවමනා ජනතාවක් අපට නැත.

අපි අද සේනා කියමින් මහ ඝෝෂාවක් කරමු. ඒ ඉතා කෙටි කලකටය. ඉදිරියේදී සේනා ද අපේම එකෙකු සේ සාමාන්‍ය වන්නේය. ඩෙංගු ආ කල කොතෙක් කතා කීවේද? අදටත් ඩෙංගු එහෙම්මය. මියයෑම් පවා වාර්තා කිරීම අද අත්හැර ඇත. දැන් සියල්ල අපේම දෑය. අපේ රටේ මිනිස්සු වෙනස් යැයි දැන්වීමක් කළේ ඒ බව දැනමය. මොකා ආවද ආණ්ඩුව කරනුයේ එය ආණ්ඩුවේ වාසියට හරවා ගැනීමය. හෙට වනවිට සේනා උපයෝගී කරගෙන දඩ ගැසීම ආරම්භ කරනු ඇත. ඩෙංගු පරිදිම සේනා බෝ කරන්නන් හෝ සොය සොයා දඩ ගසනු ඇත. ඒ අනුව සේනා හරහාද ආණ්ඩුව ගොඩ යනු ඇත.

මැකෝගේ කෙඳිරිය

මැකෝ පසුගිය කාලයේ හැසිරුණේ ඡන්ද නොපවත්වන්නේ නම් අපි කුමක් කරන්නද? අපි ඕන වෙලාවක සූදානම් පන්නයේ කතා කියමිනි. එහෙත් දැන් හිටිවනම කියනුයේ නොවැම්බර් 10ට පෙර පළාත් සභා ඡන්දය නොපැවැත් වුවහොත් මැතිවරණ කොමිසමේ සභාපතිකමෙන් අස්වෙන බවය. එපමණක් නොව නොවැම්බර් 9 වැනිදාත්, දෙසැම්බර් 09 වැනිදාත් අතර කාලය තුළ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය යන්නද ඔහුගේ කතාවේ සඳහන් විය. මේ විය හැකිම දේය. එබැවින් ඔහුට ඉල්ලා අස්වෙන්නට සිදුනොවනු ඇත.
ව්‍යාජ ස්වාධීනකම් පැත්තකින් තැබුවහොත් ගෙවුණු අතීතය තුළ මැකෝගේ කැමැත්ත තිබුණේ යහපාලනයටය. මැතිවරණ කොමසාරිස් තනතුරේ සිට මැතිවරණ කොමිසමේ සභාපති දක්වා ඔහු උසස් වන්නේ ඒ කැමැත්ත නිසාමය. එහෙත් පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා ජනපති සිරිසේන ගත් තීන්දුවත් සමග ඇත්ත යහපාලන සගයෝ හඳුනා ගැනීමට හැකිවිය. එහිදී මැකෝට තිබුණේ දෙබිඩි ප්‍රතිපත්තියකි. ඔහු බැලුවේ පෙරලුණු පිට හොඳයි කියන්නටය. එහෙත් කොමිසමේම සගයකු වූ හූල් එයට විරුද්ධ වූ කල මැකෝගේ සායම සේදුණේය. මේ දැන් මැකෝගේ ඝෝෂාව නැවත පරණ තැනට එන්නටය. ඡන්දය නොපැවැත්වුවහොත් ඔහු සභාපතිකමෙන් ඉවත් වී ගෙදර යන්නේ නැත. යනුයේ අනෙක් පුටුවටය. ඉවත් වනුයේ සභාපතිකමෙන් පමණය. යහපාලනයේ කොමිසම් පවා විකාරයක් බව මේ කෙටි කාලය තුළ පෙන්වීය. ඒ අය ඉහළ වැඩ යැයි කී කළ හැම වැඬේම අද වනවිට බාලවී ඇත. ඒ අනුව යහපාලන නළුවෝ සියල්ලම අද වෙනම චරිත මවමින් කරළියේ ස්ථාපිත වන්නට වෙහෙසෙති. මැකෝගේ වැඩවල හැඩයක් තිබූ කාලයක් විය. එහෙත් දැන් එය පට්ට බොරුවක් බව ඔප්පු වී හමාරය. එබැවින් මැකෝ හිටියද ගියාද අමුතු වෙනසක් නැත.

ගෝඨාගේ සූදානම

ගෝඨාභය සූදානම් යැයි කීම බොහෝ අය උමතු කොට තිබුණි. මේ වසරේ ඡන්ද කෙසේ හෝ පැවැත්විය යුතුය. ජනාධිපතිවරණය අනිවාර්යය. අනෙක්වා කෙසේ වෙතත් එය නොපැවැත්වීමට කිසිදු පක්ෂයක් ඉඩ නොදෙනු නියතය. එහෙව් තත්ත්වයක ජනපති භීතිකාව ඇරඹී ඇත්තේ ගෝඨා සූදානම් කීමත් සමගය. ලක්ෂ්මන් කිරිඇල්ලට අනුව එජාපයට පහසුවෙන්ම පරාජය කළ හැකි චරිතය ගෝඨාය. එලෙස කියන විටම කිරිඇල්ලගේ ගෝඨා බිය තේරේ. සෙසු යහපාලන සංවිධාන ඕනෑවටත් වඩා ගෝඨාගේ මේ කතාවට බියවී ඇත. වෙල්ගම ලවා නැවත ගෝඨා පතුරු ගැසීම ආරම්භ වී ඇත. මේ ඉක්මන් කුලප්පුව දිනෙන් දින ගෝඨා පොරක් කරන බව සැබෑය. ලංකාදීප පුවත්පතට සම්මුඛ වන ගෝඨාගෙන් ඉදිරි ජනාධිපතිවරණයට ජනපති සිරිසේන එන බව ඇසූ විට ඔහු දෙන පිළිතුර වූයේ, “ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නය. ජනාධිපති නැවත ඡන්දය ඉල්ලන්නේ නෑ කියලා පොරොන්දු වුණා. ඒක එහෙම වෙයි පන්නයේ තැනකින් පිළිතුර නවතිනුයේම සිරිසේන ඕන නෑ කියන එකමය.
කෙසේ වෙතත් මේ සෙල්ලම ලේසි නොවන බව පැහැදිලිය. එනම් පොහොට්ටුව සහ ශ්‍රී ලංකා එක දෙපිළ බෙදී තරග වැදිය හැකිය. එවිට අපිට මරු කියා එජාපය හිතනවා සහතිකය. එවිට ජය අත උඩින් කියා සිතනවා නියතය. එහෙත් එය ලේසි නැත.

රනිල් හැලීම

දැන් දැන් රනිල්වාදීන් පවා ටික ටික රනිල් හලා කරු සරණ යන බව පෙනේ. මේ බව එජාප මාධ්‍ය භාවිතාවන් තුළින් පැහැදිලිය. රනිල්ට වඩා කරු මාධ්‍යවලට කිට්ටුය. ඔහු මාධයවලට ඇම දැමීමේ සූරයෙකි. ඔක්තෝබර් 26 විගඩම ජයගත්තේ ඔහු ගෙන ගිය කතානායක භූමිකාව නිසා බැවින් තමා ඕනෑම මොහොතක රටේ නායකයාවීමට වුව සුදුසු බව ඔහු සමග ඔහු වටා සිටින අයද එකතුව ඔහුව අන්දවා ඇත. දැන් එජාප අපේක්ෂකයා කරු යැයි කියන තැනට සමහර කුක්කෝ ඉක්මන් වී සිටිති. නවීන් දිසානායක මේ නායකත්වය ගැන මහ ඉහළින් කතා කරමින් සිටී. කරු නැත්නම් ඔහු ඉන්නා බවද ඔහුම කියමින් යයි. මේ මාමා, බෑණා දෙපළම එජාපයෙන් බල්ටි ගැසූ බල්ටිකාරයෝය. දැන් අමුතු සුදනෝ වී සිටිති. එජාපය නන්නත්තාරම වුණේ කරු කළ පාවාදීම නිසාය. නවීන් බෑණාද ඊට හවුල් විය. දැන් මාමා සහ බෑණා අමුතු පොටකට අර අඳී. සජිත් ප්‍රේමදාස කුඩා නිවසකට කොටුවූ ළිං මැඬියෙකි. ඔහුගෙන් නායකත්වය පැතීමද එක අතකට අපරාධයකි. රුපියල් දහයක් වියදම් කර දාහක රඟන සජිත් නිවාස හදනුයේ ඔහුගේ අතින් කරන ලෙසටය. මහරාජාගේ ස්ලෝන් බටයක් වන සජිත් තනිකරම හිස්ය. ඔහු හිතනුයේ කුකුල් කූඩු හැදීම නායකකමට එකම සුදුසුකම කියාය. මෙවන් නිකමුන් පිරි එජාපයේ වැඞ්ඩෝ වන්නට දඟලනුයේ චම්පික රණවකය. ඔහු එජාප බෞද්ධයාය. බදුල්ලේ ළමා උද්‍යානයක් විවෘත කරන චම්පික ළමයි වඩා ගන්නටත් උත්සාහ කරනු දැකිය හැකිවිය. සැබැවින්ම මේ සැම උමතු වී ඇත. එජාපයේ සැවොම නායකයෝය. එයද දැන් ප්‍රශ්නයක් වී ඇත. මේ අනුව බලන කල මේ සැමට වඩා නම් රනිල් හොඳය. ඉදිරියේදී මෛත්‍රී ඉදිරිපත් වී, ගෝඨා අනෙක් අතින් ඉදිරිපත් වී, එජාපයෙන් රනිල් හෝ කවුරු හෝ ඉදිරිපත් වුණැයි සිතමු. එසේ නම් මෙහි සිටින අප්සට් චරිතය ගෝඨා විතරද? එසේ නම් සිරිසේන රනිල් හොඳද? ඒ තැන්වලට බැසිල්, කරු, සිරිසේන හා කරු වෙනුවට සජිත් හෝ ආදේශ කර බලන්න. මේ බඩු තුන මරුද? ඉදිරියේදී ලංකාවේ ජනතාවට සුපර්ස්ටාර්ස් තේරීම ලේසි පහසු නොවන ඉලක්කයක් වනවා ඇත. ඒ සඳහා කාගේ සහතිකවත් වුවමනා කෙරේද? කාට කා වෙනුවෙන් ඇප විය හැකිද? සියල්ලෝම හොරු බැවින් ජනතාව කොයි හොරා පිළිගත්තද වැඩක් නොවනු ඇත. ඒ තුළ මේ බිල්ල පමණක් මාර භයානකැයි කීම ව්‍යාජ රංගනයකි. හැට දෙලක්ෂයද පනස් අට ලක්ෂයද යන දෙපිරිසම දැන් ඇති පදම් ඇන්දී ඇත. ඒ නිසා මෙවර වඩා හොඳම හොරාට ඇන්දෙනවා ඇරෙන්නට අඩු හොරා සෙවීමම විකාරය.

රට යෑම

ජනපති මාස හතළිස් හතරට තිස්හතර වතාවක්ම රටවල්වල රවුම් ගසා ඇති බව සමාජ ජාලා මාධ්‍යවල එහා මෙහා වන වීඩියෝවකි. ජනපතිගේ රට යෑමේ උමතුව මේ රටම දන්නා විහිළුවක් වී ඇත. යහපාලනය ඇති තරම් රටට විහිළු සැපයූහ. ඒ නිසා ඒ අය විහිළුකාරයෝම වූහ. මෙම වීඩියෝව බලන කල පුංචි අඩුවක් පවතී. එනම් පසුගිය ඔක්තෝබර් 26 වැනිදාට පෙර කාලය බලන කල යහපාලනය ආ මුල සිටම ජනපති එනවිට අගමැති රට ගියේය. එයද රටේ ජනතාවට මාරම විහිළුවක් විය. ජනපති රට යන්නේද එන දිනයට අගමැති යන බව රටම දන්නේය. ඒ නිසා ඒ ලැයිස්තුවත් ගතහොත් අගමැතිද ඒ කිට්ටුවම ඉන්නා බව ස්ථිරය. මේ සැවොම එකට නිරුවතින් නැටුවෝය. එබැවින් එලෙස නටමින් එකකුට ‘හූ’ කීමේ තේරුමක් නැත. යහපාලනය ලේ ඥාති විවාහයක් බැවින් එයින් ඉපදුණේම මන්ද බුද්ධික, මන්ද මානසික ළමයි බව කිව යුතුමය. ජනතාවට හදා වඩා ගන්නට වූයේ ඒ ළමයින්මය. ඒ නිසා දේශපාලන ගබ්සාව නම් ඉදිරියේදී නියතවම සිදුවනු ඇත.