චම්පික නොදකින ඇපල් වත්තේ කඳුළු දිවිය

රසික ගුණවර්ධන

නෙළුම් කුලුනේ දැල්වෙන නෙක පැහැ විදුලි බුබුලු වල පහසද අහස උසට නැඟි තරු හතේ හෝටල් වලින් නික්මෙන වෛවර්ණ එළිද මාලිගාවත්තට අතෝරක් නැතිව වැටෙයි. එහෙත් ඒ එළියෙන් මේ භූමිය කිසිදිනක ආලෝකමත් වී නැති බව බැලූ බැල්මටම කිව හැකිය. ඒ අඳුරින් මේ භූමියේ මිනිසුන්ද වෙලාගෙන අවසන්ය.

අලුත් කුණු හා පරණ කුණුවලින් පිරුණු කුණු ගොඩ මතින් අපි පරිස්සමින් පා තබමින් ගමන් කරන්නේ ඇපල්වත්ත දෙසටය. ඒ අතර කුණු ගොඩ සෝදිසි කරන ගැහැනුන්ද පිරිමින්ද පමණක් නොව කුඩා දරුවන්ද අපට හමුවෙයි. ජංගි කොටයක් හැඳගත් කුඩා කොලුවකු කුණු ගොඬේ තැනින් තැනට ඇවිදිමින් තමන්ට සෙල්ලම් කිරීමට යමක් සොයයි. පාසල් බෑගය කුණු ගොඬේ පසකින් තැබූ පාසල් නිමවී නිවසට යන දැරියකද එහි නැවතී තමන්ට වුවමනා දෙයක් මෙහි ඇත්දැයි පිරික්සා බලන්නීය. ඒ අතර අයකු පොහොර උරයකට අබිලි යකඩ එකතු කරයි. මේ කුණු පිරුණු භූමිය ඇපල් වත්තේ මිනිසුන්ට වැඩබිමක් වී ඇත්දැයි සිතේ.

කුණු දමා ඇති භූමියෙන් වටවී ඇති ඇපල් වත්තේ නිවාස පිහිටා ඇත්තේ ලැයිම් කාමර සේ එකිනෙකට යාවය. එසේම කුණු නිසා ගලා නොගොස් සිරවී ඇති පල් වූ ජලය ඇතැම් නිවාසවල ගෙබිමෙන් මතුවී එහිම තවත් පල් වේ. ඒ හෙයින් ඇපල් වත්තේ මැස්සන්ගෙන් අඩුවක් නැත. ඇපල් වත්තේ කොල්ලන් කුරුට්ටන් දුව පැන සෙල්ලම් කරන්නේ මේවා අතරය.

අප මුලින්ම ගොඩ වූයේ කාදර් රහුමානිගේ නිවසටය. අප රාවය පුවත්පතෙන් බව හඳුන්වා දුන් මොහොතේම ඇය අප කැඳවාගෙන සිංහලයෙන්ද දෙමළෙන් ද කෑගසමින් ගෙයක්, ගෙයක් පාසා ගොස් අප ඇපල් වත්ත මධ්‍යයට කැඳවාගෙන පැමිණියාය. අවසානයේ එහි අප පිටුපසින් පැමිණ සිටි පිරිස විශාලය.

ඔවුහු සියල්ලන්ම කතා කිරීමට පටන් ගෙන සිටියහ. අතොරක් නැතිව දුක පවසති. බැණ වදිති, සාප කරති. කාගේ මුවින් කුමක් පිටවෙනවා දැයි නිශ්චිතව හඳුනාගත නොහැකි තරමට ඝෝෂාව ඉහළය. ඒ හඬ අඩු නොවන අතර සිදු වන්නේ ඔවුන්ගේ හඬ තවත් වැඩිවීමය.

“අපට හැමදාම ගෙයක් දෙනවා, හදල දෙනවා කියල කීවට කවුරුත් තවම අපිට උදව් කළේ නෑ. කට්ටිය හැමදාම වත්තට ආවෙ ඡන්දෙ ගන්ඩ විතරයි. අපිත් හැමදාම එයාල කියන එක විශ්වාස කරල ඡන්දෙ දුන්නා. අන්තිමේ ඒ ගොල්ලන් උඩ ගියා, අපි තවම මෙතන කුණු වෙවී ඉන්නව.” එසේ කියන්නේ කාදර් රාසුමනීය. රාසුමනී වයෝවෘද්ධය. එහෙත් ඇය ධෛර්යවන්තය. ඇගේ දියණියද, දියණියගේ මාස ගණනක් වයසැති දියණියද රැක බලා ගැනීමට ඈ කඩදාසි බෑග් සාදයි.

දුප්පත්කම

“හැම ගෙදරකම පුංචි ළමයි ඉන්නවා. එයාලට කෑම එකක්වත් හදාගන්ඩ බෑ. හැමතැනම මැස්සො. ඒ හින්දා ළමයි හැමදාම ලෙඩින්. මෙහෙ මිනිස්සු හරිම දුප්පත්. මෙයාලට හරියට කෑමක්වත් නැතිකොට කොහොමද එයාල හරියට බෙහෙතක්වත් ගන්නෙ.” ගාමිණී ප්‍රශ්න කරන්නේය.

ගාමිණී කියන්නා සේ ඇපල් වත්තේ ජීවිත දුප්පත්ය. ළිප්ගල් තුනේ ළිපක ඉදෙන බත් මුට්ටියත්, එක් ව්‍යාංජනයක් බොහෝ දෙනකුගේ පාතරාසය වේ. ඊට අමතරව බොහෝ නිවෙස් වල දහවල් කෑම වේලක් නැත. එය අවලංගු කර ඇත. බත් වෙනුවට දහවල් කෑම වේලාවට ඔවුන් ලිග්ගල් තුන මත තබා තම්බන්නේ තේ පෝච්චිය. සාගින්නට හඬන කිරි දරුවන්ගේ කටේ ගසන්නට මවුවරුන්ට ඇත්තේ කිරි වැහැරුණු පියයුරුයි.

බොහෝ නිවෙස් වල ඇත්තේ එක් මේසයක් පමණි. ඒවායේ දරුවන්ගේ අධ්‍යාපන පොත් පත් ද උයන පිහන දෑ ඇතුළු නිවසේ අනෙකුත් දෑ ද තබා ඇත. ඒවාට උඩින් අදින ලද රෙදි වැලවල් වල පවනේ වේලෙන සේදූ ද නොසේදූ ද රෙදිය.

“අද ලොකු ළමයගෙ ඉස්කෝලෙට රුපියල් එක්දහස් පන්සීයක් එවන්ඩ කියල තිබුණා. පොඩි දුවට නවසීයක් එවන්ඩ කියලා තිබුණා. ඊයෙ කීයක්වත් හම්බ වුණේ නැති හින්දා දෙන්නම අද ගෙදර තියා ගත්තා.” ෆාතිමා කියයි.

ෆාතිමාගේ දරුවන්ට සේම ඇපල්වත්තේ අනෙක් දරුවන්ටද මෙම නිවාස ආශ්‍රිත ගැටලු නිසා අධ්‍යාපනය අහිමි වී යයි. ඇපල් වත්ත අලුත් වන්නට නම් ලෝකය දැකිය යුතු බව ඔවුන් හොඳාකාරවම දනී. ඊට කර පෙවීමට ඊට ඇති ඉණිමග අධ්‍යාපනය බවද ඔවුහු හොඳාකාරවම දනිති. එහෙත් සිය දරුවන් එහි ඔසවා තැබීමට ඔවුන්ට වාරු නැත. නිවාස ගැටලුව දිනෙන් දින ඔවුන් පෙළමින් ශක්තිය හීන කර දමයි.

සනීපාරක්ෂාව සහ පීඩාව

සෑම අයකුගේම අපේක්ෂාව අප ඔවුන්ගේ නිවෙස් වෙතට ගෙන ගොස් ඔවුන් විඳින දුක අපට පෙන්වීමය. අප පැමිණෙන තෙක් ඔවුහු දොරකඩට වී බලා සිටිති. එක් කාන්තාවක් අප වෙතට පැමිණ හැඬූ කඳුළින් දමිළ භාෂාවෙන් අපට යමක් පැවසුවාය. අපට එය නොවැටහුණාද ඇය පසුපසින් වැටුණෙමු. ඇයගේ නිවසට යාමට ඇති මාර්ගය ඉතා පටු බිත්ති දෙකක් අතරින් වැටී ඇත. ඒ මැදින් කැඩුණු කොන්ක්‍රිට් ලෑලි වලින් ආවරණය කර ඇති කාණුවක් ගලා යයි. ඒ පිළිබඳව අවධානයෙන් නොගියොත් ඊට වැටෙනු නිසැකය. ඇගේ නිවසේ ඉදිරි කොටසේ වෙළෙඳ සැලකි. එය වෙළෙඳ සැලක් කීවාට ඇත්තේ සිගරැට් කිහිපයකුත්, එක්සයිස් පොත් කිහිපයකුත්, බයිට් වර්ග කිහිපයකුත් පමණි. ඊට පිටුපසින් ඇති කොටසේ ඔවුහු නිදා ගනිති. ඒ දෙපස වෙන් කොට ඇත්තේ විනිවිද පෙනෙන සාරියකිනි. ඇය නිවසේ ඇති එකම ඇඳේ වාඩිවී එහි ඇති පුටු දෙකම අපට පිළිගන්වා අපට ඇයගේ කතාව කියන්නට පටන් ගත්තාය. ඒ අතර එය එහි සිටි අයකු අපට ඇයගේ කතාව පරිවර්තනය කරන්නට විය. ටික වේලාවකින් ඇය නැගී සිට ඇය වාඩිවී සිටි තැනට පිටුපසින් බිත්තියේ එල්ලා තිබූ ඇගේ ස්වාමියායැයි කිව හැකි අයකුගේ රාමු කළ පින්තූරයක් ගෙන එය පපුවට තබාගෙන වැලපෙන්නට වූවාය. වැලපෙන අතර ඈ පැවසූ කතාව අපට ගමේ සාමාජිකයන් පරිවර්තනය කර දුන්නේ මෙසේය. දවසක් හොඳටම වැස්ස. මේ මුළු පැත්තම වතුරෙන් යට වුණා. ගේ ඇතුළටත් වතුර දැම්මා. ඒ වෙලේ වතුර බහින්නෙ නැතුව ඉස්සරහ කාණුව බ්ලොක් වෙලා තිබ්බෙ. අපේ මහත්තය වැස්සෙම ගිහිල්ල කොන්ක්‍රීට් කැට අයින් කළා. කාණුවට බැහැල ඒක සුද්ධ කළා. ඊට පස්සෙ එදා රෑ මහත්තයට අමාරු වුණා. අපි ඔක්කොම එයාව ඉස්පිරිතාලෙට ගෙනිච්චා. එහෙදි එයා නැති වුණා. දොස්තර මහත්තුරු කීවෙ විෂබීජයක් ගිහිල්ල කියල.” ඒ සිදුවීම සිදුවී තවම ගතවී ඇත්තේ මාස ගණනාවක් පමණි. එහි උණුසුම තවම ඇපල් වත්තෙන් පහව ගොස් නැත. ඇය තවත් දරිද්‍ර වූවාය. ඇයගේ නම ධනලක්ෂ්මිය. ධන ලක්ෂ්මිගේ දියණියට කුඩා දරුවකු සිටී. හේ වයස අවුරුදු හතරක් පහක් පමණය. ඔහු කාණුව වසා ඇති කොන්ක්‍රීට් ලෑලි මත සිට සෙල්ලම් කරයි. එනම් සිය සීයාගේ මරණය මත සිටය. ධන ලක්ෂ්මිගේ මුණුපුරා පමණක් නොව ඇපල් වත්තේ බොහෝ කුඩා දරුවන්නේ කෙලින්නේ තමගේ මරණය මත සිට යන්න සැබෑවකි.

ඇපල් වත්තේ නිවෙස් වල වැසිකිළි ඇත්තේ නැත. එක් නිවසක හෝ දෙකක වැසිකිළි ඇතත් ඒවා භාවිත කළ නොහැකි තරමට අබලන්ය. කුණු පිරුණු භූමිය නිසා ඒවා සිරවී ඇත. ඒ නිසා ඇති වැසිකිළිද භාවිත කළ නොහැකිය. මේ නිසා ඇපල් වත්තේ සියලුම දෙනා යන්නේ පොදු වැසිකිළියක් වෙතය. නැතිනම් අසල ඇති රාජ්‍ය ආයතනයක වැසිකිළියකටය. එහි ගියද ඔවුන්ට සිදුවන්නේ නිලධාරීන්ගෙන් කුණු බැණුම් අසන්නටය. පොදු වැසිකිළියකට ගියද ඒවා බොහෝ අපිරිසිදුය. ගර්භනී කාන්තාවන්ට, ලෙඩුන්ට සහ මහල්ලන්ට එය අතිමහත් පීඩාවකි. එසේම උදෑසන පාසල් යන දරුවන්ට වැසිකිළි යාමට පෝලිම් වල බලා සිටින්නට සිදුවී ඇත.

මේ නිසාම ගමේ ඇතැම් පිරිමින් මූත්‍රා කිරීමට තෝරා ගන්නේ බිත්ති මුල්ලක්ය. ඒ හෙයින් ඇපල් වත්තේ තැනින් තැන මූත්‍රා ගඳ දැනේ. එහෙත් කාන්තාවන්ට එසේ නොහැකිය. ඔවුන් මූත්‍රා බර ඉවසා සිටිය යුතුය. නැතිනම් දුර පිහිටි වැසිකිළියකට යා යුතුය. එයින් බොහෝ කාන්තාවන් තෝරා ගන්නේ පළමුවැනි අවස්ථාව බව අපට කීවේ ඇපල් වත්තේ කාන්තාවන්මය. ශරීර කෘත්‍ය සිදු නොකර එය ඉවසා සිටීමෙන් ශරීරයට කරන බලපෑම පිළිබඳව අප නොදන්නා මුත් එය ශරීරයට සුවදායක නොවන බව ඉඳුරාම කිව හැකිය.

“එක පාරක් වැස්සොත් ඉවරයි. පොඩි වැස්සකට පවා වතුර දාල ගෙවල් හැම එකක්ම යට වෙනවා.” කුමාර පවසයි. කුමාර පවසන කාරණාවේ සත්‍යතාව වැටහෙන්නේ සෑම නිවසකම පාහේ බිත්ති වල අඩියක් පමණ උසට වතුර ගැලීමෙන් සටහන් වූ මඩ පැල්ලම් ඇති හෙයිනි. ඇතැම් තැනක ඒවා විදුලි උපකරණ වලට හානි කරය. ඇතැම් තැනක කැබිනෙට්ටුවක් පොඟවා දමාය.

“තනිකර එන්නෙ කුණු වතුර. නිකන් වතුරනන් කමක් නෑ. කුණු වතුර පිරුණහම මේවගෙ අඩියක් ගහන්ඩ බෑ. ගඳයි. බයයි. මොනව තියෙයිද දන්නෙ නෑ. කළුපාට වතුර. ගේල් දෙකකම කට්ටිය වතුර දාන හින්ද ඒවගෙන් ගිහිල්ල. අපට යන්ඩ තැනක් නැති හින්දයි අපි මේ ඉන්නෙ. නැත්තන් මෙතන ඉන්නෙ නෑ.” කුමාර කියාගෙන යයි.

ඔහු විටෙක ආවේගශීලී වෙයි. අප එහි යන අතරතුර ඔහු සිටියේ වතුර බැස යාමට පොළොව හාරා බටයක් දමමිනි. බටයක් දැමූ පමණින් වතුර බැස නොයන නිසා ඔහු කුණු කාණුවකට බැස එය සුද්ධ පවිත්‍ර කරයි. ඔහුට මියගිය සිය අසල්වැසියාගේ සිද්ධිය කම්පනයක් ඇතිකර නැතුවා සේය. ‘දැන් මැරුණොත් මම විතරයි. එහෙම නැත්තන් මමයි, ළමයයි, පවුලයි ඔක්කොම මැරෙනවා.” කුමාර කියයි.
අප සමග කතාබහ කරන අතරතුර ඔහු කඩිමුඩියේ වැඩෙහි නිරතවෙයි. ඒ අහස කළුකර කුමාරට අනතුරු හඟවා ඇති හෙයිනි.

වගකීම

“මෙතන අපේ මිනිස්සුන්ගෙත් ප්‍රශ්න තියනවා. එයාල තමන්ගෙ ගෙවල් වල කුණුත් දාන්නෙ මෙතනටමයි. දැන් ගම හැමතැනම කුණු ගොඩවල්. තමන්ම හැම තැනම කුණු දාල ඊට පස්සෙ වතුර බහින්නෙ නෑ කියල කෑගහනවා. කොච්චර කීවත් මේ මිනිස්සු අහන්නෙ නෑ. මේ පැත්තට පී.එච්.අයි කෙනෙක්වත් එන්නෙ නෑ. බැරිම තැන මම පී.එච්.අයි. මහත්තයකුට ගිහිල්ල කීව. ඒත් ගණන් ගන්නෙ නෑ. ඊට පස්සෙ මම මාලිගාවත්තෙ ඕඅයිසී මහත්තයට ගිහිල්ල කීව ඒත් වැඩක් වුණේ නෑ. දැන් මම පොලීසියට යද්දි එයා හැංගෙනවා. පොලීසිය ඉන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳල දෙන්ඩ නේද? ඇයි අපි මිනිස්සු නෙවේද?” බදාරිසා කියන්නේ ඇය වෙලාගත් ආවේගයෙනි.

පිරිසුව තබා ගැනීම සිය වෘත්තිය වූ පී.එච්.අයි නිලධාරීන් එසේ නොකරනවා නම් එසේ කරන්නට මැලි වනවා නම් එය රාජකාරී පැහැර හැරීමකි. මාලිගාවත්තේ ඇපල් වත්තට යන ඕනෑම කෙනකුට ඒ බව හොඳාකාරව දැකගත හැකිය. එසේම රාජ්‍ය නිලධාරියකුගේ රාජකාරිය පැහැර හැරීම නිසා මහජනතාවට පීඩාවක් සිදුවනවා නම් ඒ පිළිබඳව සොයා බලා ඊට නිසි පියවර ගැනීම පොලීසියේ වගකීමකි. එසේ නොකොට පොලීසිය දොරමුල්ලේ සැඟවෙනවා නම් කවදා මිනිසුන්ට සාධාරණයක් ඉටුවේද?

“අපට රෑට හරියට නිදාගන්ඩ නෑ. හැම තැනම මදුරුවො ඉන්නවා. මදුරුවො එළවන එක තමයි අපි රෑ තිස්සෙ කරන්නෙ. ළමයකුට පාඩමක් කරගන්ඩ නෑ. ළමයෙක් නිදි කරවගන්ඩ නෑ. දවල්ට මැස්සො රෑට මදුරුවො.” නෝමන් එසේ කියයි.

රටේ ඩෙංගු උවදුර වැළැක්වීමට මහා පරිමාණ යෝජනා ක්‍රියාත්මක වේ. එහෙත් ඒ යෝජනා කළ වුන්ද, ක්‍රියාත්මක කළ වුන්ටද මාලිගාවත්තේ ඇපල් වත්ත මුණ නොගැසීම අරුමයකි. මේ නැවත නැවත ප්‍රකාශ වන්නේ පාලකයන්ගේ අදූරදර්ශී, පක්ෂපාතී සහ පටු දේශපාලනයයි. නගර සභාව විසින් මදුරුවන් බෝවන ලෙස භූමියක් පවත්වාගෙන යන්නේ නම්, එය පිරිසිදු නොකරන්නේ නම් නීතිය ක්‍රියාත්මක විය යුත්තේ නගර සභාවට එරෙහිවය.

ඇය ඇපල් වත්තේ ගැටලුවට මුහුණ දී සිටින නිවෙස් වෙනුවෙන් සාධාරණයක් ලබාගැනීම උදෙසා ඉදිරියෙන්ම සිට කටයුතු කරන කාන්තාවකි. ඇය මේ පිළිබඳව විවිධ පුද්ගලයන්ට දන්වා සාධාරණයක් කරන ලෙස ඉල්ලා ලිපි සිය ගණනක් යවා ඇත. එසේ යැවූ ලිපි වලින් පිරුණු ෆයිල් කවරයක් ඇය සතුය.
“අපට සල්ලි ඕනෙත් නෑ. ආධාර ඕනෙත් නෑ. ඉන්ඩ හරියට තැනක් දුන්න නම් ඇති. මෙහෙම හිටියොත් මේ මිනිස්සු තව වැඩි කාලයක් ඉන්න එකක් නෑ. ලෙඩ වෙලාම මැරිල යයි.” බදාරීසා කියයි.
අසාධාරණය
ඇපල් වත්තට එපිටින් ඇත්තේ මාලිගාවත්තේ තැනූ නව මහල් නිවාස සංකීර්ණයයි. එය සාදා ඇත්තේ ඇපල් වත්තේ ජනතාව වෙනුවෙනි. ඇපල් වත්තේ වර්තමානයේ කුණු දමා ඇති ප්‍රදේශයේ මීට පෙර තිබී ඇත්තේ නිවාස දෙසිය ගණනකි. ඒ නිවාස මේ වන විට එම භූමියෙන් ඉවත් කර ඔවුන්ට මාලිගාවත්තේ මහල් නිවාස සංකීර්ණයේ නිවාස ලබා දී ඇත. පවුල් දෙසිය ගණනකට නිවාස ලබාදෙන විට පවුල් දාහතක් අතහැර දැමුවේ කුමන පදනමකින් දැයි පැහැදිලි නැත. එසේම එහි නිවාස හාරසිය ගණනක් ඇති අතර ඇපල් වත්තේ ජනතාවට අමතරව එහි වෙනත් ප්‍රදේශ වල ජනතාවටද නිවාස ලබා දී ඇති බව ඇපල් වත්තේ නිවාස නොලැබූවෝ පවසති.
කෙසේ වෙතත් එකම ගමේ පිරිසකට නිවාස ලබාදෙන විට, ඒ ගමේම තවත් පිරිසකට නිවාස ලබා නොදීම කිසිදු සාධාරණ කාරණයක් නොවන බව ඕනෑම අයෙකුට වැටහෙන සරල කාරණයකි.
එසේම ඇපල් වත්තේ නිවාස නොලැබුණු පිරිස නිවාස ලැබූවන් සමග අමනාපයක් නැත. “අපට ගෙවල් හම්බ වුණු අය එක්ක වෛරයක් නෑ. එයාටත් ගෙවල් ලැබෙන්ඩ ඕනෙ. ඒත් අපට තියන ප්‍රශ්නෙ තමයි ඇයි අපට විතරක් ගෙවල් දුන්නෙ නැත්තෙ. ඒක සාධාරණ නෑ නේද? ” සුසන්ත පවසයි.
දේශපාලනය
ඇපල් වත්තේ මිනිසුන් කියන්නේ තමන්ට නිවාස ලබා නොදී පිට ගම්වල පුද්ගලයන්ට නිවාස ලබාදීම පිටුපස ඇත්තේ ඡන්දය ලබා ගැනීමේ වුවමනාව බවයි. “ඇපල් වත්තෙ මිනිස්සුන්ට ගෙවල් දෙන්ඩ කියල අධිකරණ තීන්දුවක් පවා දීල තියනවා. මුජුබර් රහුමාන් ඒක හොඳට දන්නවා. එයා ඒ නඩුවටත් ගියා. හැබැයි එයා මුකුත් කළේ නෑ. කරපු එකම දේ තමන්ගේ මිනිස්සු ටික ගෙනල්ල මේ ගෙවල් ටික දුන්නා. ඒක තමා මෙතන තියන ගෙවල් ටික ඉතුරු වුණේ. උසාවි තීන්දුවට හරියට වැඬේ කළා නම් මේ ඔක්කොටම ගෙවල් දෙන්ඩ තිබුණා. ඒ ගොල්ලො කළේ ඔක්කොම තමන්ගෙ වාසියට. දැන් ඉන්න යූඩී ඇමති මැද කොළඹ ගැන දන්නේ නෑ. හැබැයි අපි අවුරුදු ගාණක් මෙතන තමයි ජීවත් වෙන්නේ. මුජුබර් රහුමාන් කොළඹ මනුස්සයෙක් නෙවේ, එයා බේරුවල. ඉතින් කොහොමද එයා අපේ ප්‍රශ්න විසඳන්නෙ. අලියගෙන් බල්ලෙක් ඉල්ලුවත් දිනන හින්ද මැද කොළඹින් හැමෝම ඉල්ලනවා. හැබැයි අපට වැඩක් කරන්ඩ කවුරුත් නෑ.” අබ්දුල් කියයි.

“පොරොන්දු එකක්වත් ඉටවුණේ නෑ. හැමදාම වුණේ මිනිස්සු රැවටුණු එක. ඇයි මේ ගෙවල් දාහතේ මිනිස්සුන්ට ගෙවල් දෙන්ඩ බැරි. ඔක්කොම පගාවට, දූෂණයට, අල්ලසට සිද්ධ වෙන්නෙ. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ආව පාලකයො ජිප් වල යනවා, හොඳ බෙන්ස් කාර් වල යනවා. ඇයි තමුන්ව පත් කරපු ජනතාව දිහා බලල ඒ මිනිස්සුන්ට පිහිටවෙන්නෙ නැත්තෙ. අනිත් හැම දේටම කෑ ගහන පාලකයන්ට ඇයි ඇපල් වත්තෙ මිනිස්සු දිහාවට ඇස් දෙක ඇරෙන්නෙ නැත්තෙ. ” සුසන්ත ප්‍රශ්න කරයි.

”අපි මුජුබර් රහුමාන් හම්බවෙන්ඩ ගියා, නවුපර් හම්බවෙන්ඩ ගියා. හැබැයි කවුරුවත් හම්බ වෙන්ඩ ලැබුණෙ නෑ. එයාලට වැඩ තියනවලු. එතකොට මිනිස්සුන්ට වැඩ කරන එක එයාලගෙ වැඩක් නෙවේද?” බදාරිසා අසයි.

ගම එක් පිරිසකට පමණක් නිවාස සාදා දී තවත් පිරිසක් කොන් කර තැබීම කෙසේවත් සාධාරනීකරණය කළ නොහැකිය. ඔවුන්ටද යහපත් ජීවිතවල් ලැබිය යුතුය. නිවසක් යනු මිනිසුන්ගේ අයිතිවාසිකමකි. ඒ අයිතිවාසිකම ඇපල් වත්තේ ජනතාවටද හිමිවිය යුතුය. මක් නිසාද යත් ඔවුන්ද ජනතාව නිසාය.

අමාත්‍ය චම්පික රණවක කොළඹ නගරය සංවර්ධනයේ මුදුනට ඔසවා තබන්නට වෙර දරනුයේ මේ මිනිසුන් අමතක කොටද? ඇපල් වත්තේ ජනතාවට හිසට සෙවණක් දීම නාගරික සංවර්ධනය භාර ඇමතිගේ කාර්යභාරයක් නොවේද? ඔවුන්ටද ඒ අයිතිය ලදහොත් නෙළුම් කුලුනේ ආලෝකයෙන් ඇපල් වත්තද ඒකාලෝක වනු ඇත.