ජනපතිගේ කනෙන් රිංගා පොලිස්පතිගේ හුරතලුන්ටත් ජනාධිපති සම්මාන

නිමල් අබේසිංහ

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙතින් යහපත් කාර්යයක් සිදුවී තිබේ. ඒ මත්ද්‍රව්‍ය වැටලීම්වලට සහභාගි වී සක්‍රීය දායකත්වය සපයමින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් සහ ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කළ පොලිසියේ නිලධාරීන්ට ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීමය. කනගාටුවට කාරණය වන්නේ මෙහිදීත් පොලිස්පතිවරයා විසින් ඒ කිරිකළයටත් ගොම එකතු කරමින් නිකම්ම නිකම් කාකි කෝට් බෑවලටත් සම්මාන ලබාදීමට කටයුතු කර සම්මාන ප්‍රදානය හෑල්ලුවට ලක්කිරීමය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය වැටලීම් කළ නිලධාරීන්ව ඇගයිය යුතුය යන අදහස විවිධ අවස්ථාවලදී ඉදිරිපත් කර තිබූ අතර උසස් පොලිස් නිලධාරීන්ගේ හමුවීම්වලදීද මේ බැව් නිතර නිතර පවසා තිබේ. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර හා පොලිසියේ තවත් උසස් නිලධාරීන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ මෙවැනි සාකච්ඡාවකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් පවසා ඇත්තේ සම්මාන ප්‍රදානය යහපත් කාර්යයක් බවත්, එහෙත් ඒ සඳහා නිර්ණායකයන් තිබිය යුතු බවත්ය. ඔහුගේ එම අදහස ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයාද අනුමත කර ඇත.

පූජිත්ගේ මෝඩ චූන්

මෙහිදී පොලිස්පති පූජිත් ජයසුන්දර මෙම උත්සවය ඉහළින් පැවැත්විය යුතු බවත්, සම්මානලාභීන් සියලුදෙනාම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට කැඳවා සම්මාන දිය යුතු බවත් ඒ සඳහා ඔවුන්ගේ පවුල්වල උදවියද කැඳවිය යුතු බවත් ප්‍රකාශ කර ඇත්තේය.

මෙහිදී එක්තරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සඳහන් කර ඇත්තේ සම්මානලාභී ඇතැම් නිලධාරීන් විවෘත වේදිකාවට රැගෙන ආ හැකිමුත් ඇතැම් නිලධාරීන් එසේ කැඳවිය නොහැකි බවය. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ ඒ නිලධාරීන් රහසිගත මෙහෙයුම්වලට යෙදවෙන බැවින් එම අවස්ථාවේදී ඔවුන් ප්‍රසිද්ධ සමාජයට නිරාවරණය වීමය. එවිට ඔවුන්ට නිසියාකාරව සිය රාජකාරිය කිරීමේ බාධා පැමිණෙනවා සේ ම ඔවුන්ව ග්‍රහණයට ගැනීමට හෝ නැතිනම් ජීවිත තර්ජනවලට ලක්වීමේ ප්‍රවණතාවක් ඇතිවෙන බැවිනි. එසේම එවැනි නිලධාරීන්ගේ පවුල්වල උදවිය රැගෙන ඒම තුළ ඔවුන්ගේ පවුල්වලට පවා නොකියන රහස් එළිවීමට ඉඩ ප්‍රස්ථා ඇතිවනවා පමණක් නොව, පවුල්වල උදවිය පවා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තර්ජනයන්ට ලක්වීමේ ඉඩකඩක්ද පවතින බවය. මේ තත්ත්වය ජනාධිපති ලේකම්වරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයාද වටහා ගැනීම නිසා පොලිස්පතිවරයාගේ එම අදූරදර්ශී උත්සාහය ව්‍යර්ථ වී ඇත.

සම්මානලාභීන් 291යි

සම්මාන ලැබීමට සුදුස්සන් තේරීමේ වගකීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් ප්‍රමුඛ කමිටුවකට පැවරී තිබී ඇත. කමිටු තීරණය වී ඇත්තේ 2015 ජනවාරි 01දා සිට 2019 ජනවාරි 14 දක්වා කාලපරාසය තුළ සිදුවූ මත්ද්‍රව්‍ය වැටලීම් මේ සඳහා තෝරාගත යුතු බවයි. එසේ වුවත් ඊට පෙරාතුවත් සිදුවූ සුවිශේෂී වැටලීම් සලකා බැලිය යුතු බවටද තීරණයකට එළැඹ තිබේ. දැනගන්නට තිබෙන අන්දමට එම කමිටුව විසින් සකසා ගත් නිර්ණායකයන් මෙසේය.

කොකේන් කිලෝග්‍රෑම් 1 හෝ ඊට වැඩි, හෙරොයින් කිලෝග්‍රෑම් 2 හෝ ඊට වැඩි, කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 හෝ ඊට වැඩි, ගංජා කිලෝ ග්‍රෑම් 50ට හෝ ඊට වැඩි, මත්පෙති වර්ග කිලෝ ග්‍රෑම් 5ක් හෝ පෙති වශයෙන් ලක්ෂයකට වැඩි, හෂීස් කිලෝග්‍රෑම් 10ට වැඩි හා අබින් කිලෝගෑම් 10ට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වැටලීම්ය. මෙකී නිර්ණායකයන්ට අනුව එම කමිටුව සම්මානලාභීන් 291ක් නිර්දේශ කර යවා තිබේ. මින් 188 දෙනකුට ප්‍රසිද්ධ වේදිකාවේදී සම්මාන පිදීමටත්, අනෙක් 103 දෙනාට ප්‍රසිද්ධ නොකර සම්මාන පිරිනැමිය යුතු බවටද කමිටුව විසින් නිර්දේශ කර යවා ඇත. නම් ලැයිස්තුව පොලිස්පති පූජිත් ජයසුන්දරට හා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ද යවා ඇති බව දැනගන්නට ඇත.

පූජිත්ගේ කමිටුවක්

විවිධ හේතු දක්වමින් මෙම නිර්දේශ ප්‍රතික්ෂේප කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මේ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ හා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් නව කමිටුවක් පත්කර ඇති අතර ඔවුන් විසින් ප්‍රථමයෙන් සිදුකරනුයේ නිර්ණායක වෙනස් කිරීමය. ඔවුන්ගේ නිර්ණායක වී ඇත්තේ කොකේන් ග්‍රෑම් 250, හෙරොයින් ග්‍රෑම් 250, කේරළයෙන් කිලෝග්‍රෑම් 10, ගංජා කිලෝ ග්‍රෑම් 250, මත්පෙති 25,000 වශයෙන් කලින් නිර්ණායකයන්ට වඩා බොහෝ සෙයින් සංඛ්‍යාවෙන් පහළ දමා ඇති බව ඇති බවද පෙනෙයි.

පදක්කම් ගැළවිය යුතු මිනිහෙක්

මෙම නිර්ණායකයන් අනුව ඔවුන් විසින් ජනාධිපති වීරතා සම්මානය, ජනාධිපති දක්ෂතා සම්මානය හා ජනාධිපති ප්‍රශංසා සම්මානය යනුවෙන් සම්මාන ත්‍රිත්වයක් හඳුන්වා දී තිබේ. මින් ඉහළතම සම්මානය වනුයේ ජනාධිපති වීරතා සම්මානයය. එසේ තෝරා යැවූ වීරතා සම්මාන නාමලේඛනයේ මුලින්ම තිබී ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නමය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ්, නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, නියෝජ්‍ය පොලිස්පති එල්.එච්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා යන දක්ෂ නිලධාරීන් තිදෙනාගේ නම් එම නාමලේඛනයේ තිබී නැත. එසේ වුවත් පොලිසියේ නිලධාරීන් මේ වනවිටත් උපහාසයෙන් පවසන පරිදි ගංජා සුරුට්ටුවක්වත් සැකකරුවකු සමග අත්අඩංගුවට නොගත් අයගේ නම්ද මේ නාමලේඛනයේ ඇති බව කියැවේ. ඊට අමතරව පොලිස්පති පූජිත් ජයසුන්දරගේ හුරතලුන්ද ඔවුන්ගේ හිතවතුන්, හිතවතියන්ද සම්මානලාභීන් අතර සිටින බව තවත් අතුරු කතාවකි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, කමිටුව මගින් සැකසූ නාමලේඛනයට සම්මාන නිර්දේශිතයන් 291ක් වුවත් පොලිස්පතිවරයා විසින් පත් කළ කමිටුව ඊට දෙතුන් ගුණයක් ඉහළ ගොස් තිබීමද විශේෂිතය. කෙසේ හෝ වේවා මේ වනවිට නිකුත් කර ඇති නාමලේඛනයේ සම්මානලාභීන්ගේ සංඛ්‍යාව 1145කි.
ඉහත නම් සඳහන් කළ පොලිස් නිලධාරීන් තිදෙනාගේ නම් සම්මානලාභීන්ගේ ලේඛනයේ නොමැති බව ආරක්ෂක ලේකම්වරයා පවා දැනගෙන ඇත්තේ උත්සවයේ පෙරහුරුව සඳහා නිලධාරීන් කැඳවූ විටය. කෙසේ හෝ වේවා නාමලේඛනය මෛත්‍රීපාල ජනාධිපතිවරයා අතට පත්වූ විට එහි මුලින්ම පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නම දුටු සැණින් “පදක්කම් ගලවන්න ඕනෙ මිනිහට පදක්කම් මොකටදැයි පවසා” නම් කපා හැරිය බවටද කතාවක් තිබේ. කතාව එසේම නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේද මොළේ පෑදීම ගැන ප්‍රශංසා කළ යුතුය.

සම්මාන ප්‍රදාන උත්සවය සංවිධානය කිරීමද පොලිස්පතිවරයා විසින් පවරා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ටය. ඒ අනුව ඔහු විසින් තෝරාගත් ‘ඉවෙන්ට් මැනේජර්’ වරයා උත්සවය සඳහා ඇස්තමේන්තු කළ මුදල රුපියල් ලක්ෂ 130ක් බවද කියැවේ. අවසානයේ අමාත්‍යාංශ නිලධාරීන්ගේ මැදිහත්වීම හේතුවෙන් එය රුපියල් ලක්ෂ 60 දක්වා අඩුකරගෙන ඇති බවත් දැනගන්නට ඇත.

සුදුස්සන් එළියේ

පොලිස්පතිගේ හුරතලුන්, අතවැසියන් මෙන්ම එහෙයියන්ට ලොකු හැන්දෙන් බෙදා තිබුණත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 260ක් අත්අඩංගුවට ගත් පිරිස සම්මානලාභීන් තෝරා ගැනීමේදී හලා දමා ඇති බවටත් තොරතුරු ඇත. මින් පෙනීයන්නේ මත්ද්‍රව්‍ය වැටලූ නිලධාරීන්ට ජනාධිපති සම්මාන දීමත් ඈලියාවට ගිය බව නොවේද?

අලුත්ම ආරංචිය වන්නේ පෑලියගොඩ මූලස්ථානයේ දිසා දූෂණ මර්දන ඒකකයේ අසංග නම් පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ බිරිඳ හෙරොයින් කිලෝ 2 1/2ක් සමග 2019 ජනවාරි 30 දින පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන්ට කොටුවීමය. මෙහිලා හාස්‍යජනකම කාරණය නම් මේ ඒකකය ජනාධිපති සම්මානලාභීන් මෙන්ම සම්මානලාභීන් තේරීම් කමිටුවේද සාමාජිකයන් වූ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.යූ.පී. ජයසිංහ යටතේ පාලනයවීමය.