අධිකරණ අර්බුදයක්; දීපාලි ඉවත් වෙයි!

කෝසල කුරුවිට බණ්ඩාර

අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර, යළිත් දින 14ක් සඳහා අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපතිනිය ලෙස, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීමත්. ඊට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොගැනීමත් හේතුවෙන් නෛතික අකර්මණ්‍යතාවක ලක්ෂණ මතුව ඇතැයි, නීති විශාදරයෝ කිහිපදෙනෙක් රාවයට පැවසූහ.

දීපාලි විජේසුන්දර මහත්මියගේ නම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයකට එක් වරක්ද අභියාචනාධිකරණයේ සභාපති ධුරයට දෙවරක්ද ජනාධිපතිවරයා නිර්දේශ කර එවා ඇතත්, ව්‍යවස්ථාදායක සභාව, එම අවස්ථා තුනේදීම එය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අතරතුර අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති ලෙස දින 14ක් සඳහා ජනපති ඇයව පත් කළ අතර පසුගිය සතියේ බ්‍රහස්පතින්දා (24) වනවිට එම කාලය අවසන් විය. පසුව අභියාචනාධිකරණය සභාපතිවරයකු නොමැතිව දින කීපයක් ක්‍රියාත්මක වූ අතර දීපාලි විජේසුන්දර මහත්මිය සභාපති විනිසුරු ධුරයේ වැඩ බැලීමට මේ සතියේදී යළි පත් කළේ ඉන් අනතුරුවය.
ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව අතර මෙවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් විසඳාගත හැකි ආකාරයක් 19 වන සංශෝධනයේ හෝ ඇතුළත් කර නොමැති අතර නීති විශාරදයකු පැවසුවේ 1978 ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති සංශෝධන 19ම, නිශ්චිත කරුණකට එම අවස්ථාවේ දුන් පැලැස්තර විසඳුම් පමණක් වීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බවය.

රාවයට අදහස් දැක්වූ තවත් ජනාධිපති නීතිඥවරයකු ප්‍රකාශ කළේ මෙවැනි වැඩබලන පත්වීම් කරන්නේ නම් ජනාධිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාගත යුතු බවය. එහෙත් යම් තනතුරක පුරප්පාඩුවක් තිබියදී එසේ දිගටම වැඩ බැලීම සඳහා අයකු පත් කළ නොහැකි බවද ඔහු පැවසීය. මෙය හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන නිසා යම් අයකුට අධිකරණයට යාමේ හැකියාවක්ද පවතින බව ඔහු සඳහන් කළේය.

දීපාලි විජේසුන්දර මහත්මිය අදාළ තනතුරට නුසුදුසු බව ව්‍යවස්ථාදායක සභාව පවසන්නේ නම් ඊට නිශ්චිත හේතු දැක්විය යුතු බවත්, ඇය ඊට සුදුසු නොවන්නේ නම් දැනට විනිසුරු ධුරයක් දරන්නේ කෙසේද යන්න කෙනකුට ප්‍රශ්න කළ හැකි බවත් නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා ප්‍රකාශ කළේය. ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය නිසා නීතිඥ සංගමය කම්පනයට පත්වී ඇති බවද ඔහු පැවසීය.
ආචාර්ය විජයදාස රාජපක්ෂ ජනපති යැවූ ලිපියක් කතානායක වෙත යොමු කරමින් පවසන්නේ, ව්‍යවස්ථාදායක සභාව දීපාලි විජේසුන්දර මහත්මියව ප්‍රතික්ෂේප කර ඇත්තේ සරත් ෆොන්සේකා මහතාට කොළඹ මහාධිකරණයේ අධි චෝදනාවක් මත පවරා තිබූ සුදු කොඩි නඩුවේදී ඔහුව වැරදිකරු කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් බවය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණයෙහි වැඩ බලන සභාපති දීපාලි විජේසුන්දර, බ්‍රහස්පතින්දා (31) ඉවත් වූවාය. ■