ජනාධිපතිවරණයට පෙර පළාත් සභා නෑ

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

ජනාධිපතිවරයා කොතරම් උත්සාහ කළද ඔහු හා එජාපෙ අණ්ඩුව අතර ඇති අඛණ්ඩ ගැටුම නිසා, ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්ද නොපැවැත්වෙන වාතාවරණයක් උද්ගතව තිබේ.
පැරණි සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්ද පැවැත්වීම සඳහා ජනාධිපති ඉදිරිපත් කර තිබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට, පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබුණද නව මිශ්‍ර ඡන්ද ක්‍රමය සඳහා පනතක් සම්මත වී ඇති නිසා පාර්ලිමේන්තුවට සංශෝධනයක් ඉදිරිපත් කළ යුතුය. එජාපය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ප්‍රකාශ කළේ එම සංශෝධනය තුනෙන් දෙකේ බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බවය. ඒ සඳහා සියලු ප්‍රධාන පක්ෂවල සහයෝගය ලබා ගැනීමට සිදු වන අතර එහිදී සංශෝධනය කුමක්ද යන්න සහ තුනෙන් දෙකේ ඡන්දය ලබා ගැනීම, යන කරුණු වලදී ඒවා සිදු නොවන ආකාරයේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම එජාපයේ සැලසුම බවද දැනගන්නට තිබේ.
පළමුව ජනාධිපතිවරයෙක් අවශ්‍ය බව එජාපයේ ස්ථාවරය වී ඇති අතර ශ්‍රීලනිපයෙන් එජාපෙ ආණ්ඩුවට එක් වූ හයදෙනාද පළාත් සභා ඡන්ද පළමුව පැවැත්වීම කෙරෙහි කැමැත්තක් නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පැවසීය.
මුජිබර් රහුමාන් එජාප මන්ත්‍රීවරයා සඳහන් කළේ එජාප ආණ්ඩුවට ජනතා ප්‍රසාදයක් නැතැයි ඒකාබද්ධ විපක්ෂය හා ජනපති විශ්වාස කරන්නේ නම් පළමුව ආණ්ඩුව වෙනස් කළ හැකි ඡන්දයක් සේ සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීම වඩාත් උචිත වන බවයි. මේ වන විට එජාප පසුපෙළ මන්ත්‍රීවරුද පළාත් සභා ඡන්ද නොව ජනාධිපතිවරණයක් පළමුව අවශ්‍ය බව ප්‍රකාශ කරමින් සිටිති.
ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව ආරක්ෂා කරන කිසිදු පක්ෂයකට හෝ මහජන නියෝජිතයකුට පළාත් සභා ඡණ්ද කුමන ක්‍රමයකට හෝ පැවැත්වීම සම්බන්ධයෙන් විරුද්ධ විය නොහැකි බව පැවසූ, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, නව පනතේ, බලාත්මක දිනය ඉදිරි දිනයක් ලෙස සංශෝධනය කිරීමෙන් ඉතා පහසුවෙන් පැරණි ක්‍රමයට ඡන්ද පැවැත්විය හැකි බවද කීය. එමෙන්ම එජාපය හෝ ශ්‍රීලනිපය හෝ ඒකාබද්ධ විපක්ෂය හෝ ඕනෑම පක්ෂකට සිය බල ව්‍යාපෘතිය සඳහා පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය වන බවත්, ප්‍රසිද්ධියේ කියන කිසිවක් ඔවුන් සැබෑවට නොකරන බවත් ඔහු පැවසීය. ■