එජාපෙ පිල් තුනක් කරු පෙරට

කෝසල කුරුවිට බණ්ඩාර

එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් තුනක් මත තුනක් දරණ බව දැනගන්නට ඇත.
එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව එක් පාර්ශ්වයක් යෝජනා කරමින් සිටින අතර තවත් පාර්ශ්වයක් යෝජනා කරමින් සිටින්නේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවය. මෙම නම් අතරට අලුතින්ම එක් වී ඇති යෝජිත අපේක්ෂකයා වන්නේ කතානායක කරු ජයසූරියයි.
දැනගන්නට ලැබෙන පරිදි එජාපෙ ආණ්ඩුවට සහය දක්වන සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිපදෙනකු කරු ජයසූරිය මහතාට පසුගිය සතියේදී අදාළ යෝජනාව නිල නොවන මට්ටමින් ඉදිරිපත් කර ඇත. පක්ෂය කඩාගෙන එවැනි තීන්දුවක් ගැනීමට තමන් සූදානම් නොමැති බවත්, පළමුව පක්ෂය තීරණයක් ගත යුතු බවත් එහිදී කරු ජයසූරිය මහතා පවසා ඇතත් ජනාධිපති අපේක්ෂකයා වීමට තමන් අකමැති බව ඔහු ප්‍රකාශ කර නැති බවද සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් රාවයට කීය. එජාපය ප්‍රමුඛ කඳවුර ගොඩ නගන නව පුළුල් සන්ධානය හරහා නව ලාංඡනයකින් කරු ජයසූරිය මහතාව ඉදිරිපත් කිරීම වඩාත් වාසිදායක වනු ඇතැයි එජාපෙ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේය.
එජාපයට ජනාධිපති අපේක්ෂකයන්ගේ හිඟයක් නොමැති බවත්, රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, තමන් මෙන්ම සජිත් ප්‍රේමදාසද ඒ සඳහා සිටින බව එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක අමාත්‍යවරයා පසුගිය දා සඳහන් කර තිබිණි.
ජනාවාරි 28 වැනිදා ආණමඩුවේ පැවති ‘ජන අරගලයට යුක්තිය’ උපහාර උළෙලකදී කතානායකවරයාට ප්‍රධානතම උපහාර සම්මානය පිරිනැමුණු අතර එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ දේශපාලනයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදය සහ දියුණු සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙරට පැමිණෙන සිවිල් සමාජ සංවිධාන, රටට එම ගෞරවනීය තත්ත්වය ආරක්ෂා කරන ප්‍රධානතම බලවේගයක් බවයි. ■