ගව හිස Bull’s Head

එරික් ඉලයප්ආරච්චි

ලෝකඩ, දැව වැනි මූර්ති නිර්මාණක ප්‍රකට අමුද්‍රව්‍යයක් කලා ශිල්පියා විසින් ඒ තුළ නොපැවතුණු ආකෘතියක් සහ අන්තර්ගතයක් සහිත ඔර්ජිනලයක් නිර්මාණය කරනු ලැබීම සඳහා භාවිත කරනු වෙනුවට හැඩතල, ස්කන්ධ හා භාවිතය වශයෙන් ලොව ඉන් පෙර පැවතුණු පෙරනිමි භාණ්ඩ (ready- made) දෙකක් වූ බයිසිකල හැඩලයක් සහ සීට් එකක් එකලස් කරමින් (assemble) නිර්මිත ‘ගව හිස’ විසිවැනි ශතවර්ෂයේ අතිවිශිෂ්ට මූර්තියකි. කලාත්මක රම්‍යතාව(artistic elegance) පිළිබඳව හයහතරක් නොදැන, පාළු ගෙදර වළං බිඳින්නා සේ අවරසිකත්වයෙන් හා කලාත්මක අන්ධකමකින් යුතුව මේ දෙස බලන්නා එක අතකින් මේ නිර්මාණය නැවත බයිසිකල් වින්කලය කරා රැගෙන යමින් හුදු තාක්ෂණවාදයක් සනාථ කරනු ඇත. අනෙක් අතින් කලාව කියා දෙයක් ලොව නැත, මූර්ති කලාව කියා දෙයක් ලොව නැත යන නාස්තිකවාදී හා කලා නාශනවාදී (vandalism of art) ආස්ථානයක් කරා ගමන් කරමින් මීට සමාන තවත් දේවල් ප්‍රතිනිෂ්පාදනය කරමින් හැඳි ගෑරුප්පු හෝ පෑන් පැන්සල් හෝ නිකර් බ්‍රෙසියර් හෝ එකලස් කරනු ඇත.

නූතනවාදී ලලිත කලා විඥානය හා විචාරය වර්ධනය නොකෙරුණු සහ තවමත් වැඩවසම් හා රදලවාදී මූර්ති කලා සම්ප්‍රදායන් පවත්වාගෙන යනු ලබන රටක් තුළ ඩාඩාවාදය හෝ අධියථාර්ථවාදය ලෙස පවතිනු ඇත්තේ කලාත්මක චින්තනයේ දිළිඳුභාවය, වැන්ඩල්වාදය හෙවත් කලා නාශනය හා වාරණ ප්‍රමෝදය පමණක් නොවේ. අවරසික න්‍යාය උන්මාදයෙන් හා කලාත්මක අන්ධභාවයෙන් යුතුව ඊනියා විකට රූපයන් හා ගබ්සා කළලයන් උත්තරීකරණය හා පරමෝත්කෘෂ්ට කිරීම ද නොඅඩුව පවතිනු ඇත. එය නූතනවාදී කලා විඥානයක් වර්ධනය කෙරුණු සුපිරි රටක පශ්චාත් – නූතන යුගයෙහි වුව සිදු නොවන ආකාරයේ මහා අපරාධයක් හා කලාවට එරෙහිව සිදුවන කුමන්ත්‍රණයක් වේ. දියුණු කලාත්මක විඥානයක් දියුණු කරන ලද රටක් තුළ ඩාඩා හා ප්‍රති-කලාව වුව පවතිනු ඇත්තේ කිසියම් කලාත්මක ආස්ථානයක හා කලාත්මක අනුභූතියක ප්‍රතිඵලයක් ලෙසිනි. එවැනි විඥානයක් නොමැති රටක් තුළ එවැනි කලාත්මක ප්‍රයත්නයන් මගින් ‘කලාත්මකය’ වහා පිටුදැකීමේ ප්‍රතිගාමී වුවමනාව ප්‍රකාශනය කරනු ලබන අතර එවැනි කලා හෝ සාහිත්‍ය නිර්මාණ පවතිනු ඇත්තේ කලාවේ හෝ සාහිත්‍යයේ හෝ ආචරණය (effect) නොමැති පාදඩ කලා ඉසව්වක ය.

පැබ්ලෝ පිකාසෝගේ මූර්ති අතරින් වඩාත් පාරදෘශ්‍ය (transparent) හා අවමවාදී (minimalist) මූර්තිය වූ ‘ගව හිස’ කලා කෘතියක් විනා සංකල්පයක් නොවේ. එය කලා කෘතියක් නොව සංකල්පයක් ලෙස දකින්නා අවරසිකයෙකි. කලාත්මක විඥානයක් නැත්තෙකි. එවැන්නකු ඉදිරියේ මෙය නිර්මාණයක් නොව සංකල්පයක් ලෙස වෙස්වලා ගත් අබලි ද්‍රව්‍ය දෙකකි. රෙනේ මැග්‍රිට් දුම් බොන පයිප්පයක් සිතුවම්කොට ‘මෙය පයිප්පයක් නොවේ’ ලියා සිතුවම් කළේ එම අමනවාදය පිටුදකිමිනි. ඒ අර්ථයෙන් මේ බයිසිකල් හැඩලය හා ආසනය යටින් “මෙය බයිසිකල් හැඩලයක් හා සීට් එකක් නොවේ”, “මෙය ගව හිසක් නොවේ”, “මෙය එකලස් කිරීමේ සංකල්පයක් නොවේ” වැනි බෝඞ් ලෑලි එල්ලීමට පුළුවන. මෙය කලා නිර්මාණයක් වන්නේ බයිසිකල් හැඬලයක් හා සීට් එකක් වෙමින්ම ගව හිසක් ද වීම නිසා ය. ඔර්ජිනල් මූර්තියක් නොවී එකලස් කිරීමක් ඔස්සේ හරක් ඔළුවක් වීම නිසා ය. ලට්ට පට්ට එකතුවක් විනා මූර්තියක් නොවීමට ඇති හැකියාව නිර්මාණය මගින් පරාජය කරනු ලබයි. නිර්-කලාත්මකවීමේ හෝ ප්‍රති-කලාත්මකවීමේ හෝ විභවතාව කලා ඉතිහාසයේ ශක්තියෙන් හා කලා භාණ්ඩයේ ඉතිහාසයේ ශක්තියෙන් ජය ගනියි. කලාව වෙනුවෙන් භාණ්ඩය පාවාදීමක් ලෙස මෙන්ම කලාව වෙනුවෙන් භාණ්ඩය අභිනන්දනය කිරීමක් ලෙසද මේ මූර්තිය පිළිබඳ අවලෝකනයක් කළ හැකි වේ. එවැනි අවලෝකනයක් කිසියම් පුද්ගලයකු ආපනශාලාවක වාඩි වී විවේකීව තේ, කෝපි, කපුචිනෝ වැනි පානයක් උරමින් ආපනශාලා නිමේෂයක් (restaurant movement) රසවිඳුමට සමාන කළ හැකි ය. අවකාශය තුළ විහිදුම මත පදනම් වුණු මූර්ති කලාව එනයින් මිනිසාගේ අවකාශගත ජීවිතය සුපුෂ්පිත හා නැණවත් කරන්නේ ය. කිසියම් මූර්ති නිර්මාණයක් විසින් ඒ තුළම අත්විඳිනු ලබන සුරතාන්තය හෝ මාරදුක්ඛය (ecstasy or agony) තමා තුළ අත්විඳින්නට මිනිසාට ඇරයුම් කරන්නේ ය. නොයෙකුත් මානව විරෝධී බලවේග විසින් තමා වෙතින් උදුරා ගෙන තිබෙන අවකාශය නැවත දිනාගන්නට පොළඹවනු ලබන්නේ ය.

මේ මූර්තිය ඉදිරියේ නරඹන්නා ගව හිස මෙන්ම බයිසිකල් හැඬලය හා සීට් එක ද දැකීම පිකාසෝගේ කලාත්මක වුවමනාව විය. එය සමගාමීව සිදුවන ප්‍රතිචාර දෙකකි. පිකාසෝ සමග දස වසක් පමණ ජීවත් වුණු ෆ්‍රන්සුවා මිලෝ සහ කලා විචාරකයකු වූ කාල්ටන් ලේක් විසින් ලියන ලද “පිකාසෝ සමග දිවිය” කෘතියේ මේ නිර්මාණයේ පසුතලය ගැන ෆ්‍රන්සුවා මිලෝගේ දෘෂ්ටියෙන් මෙසේ කියවෙයි. “මට පිකාසෝ මුලින් මුණ ගැසෙන විට ඔහු බයිසිකලයක සීට් එකකින් හා හැඬලයකින් ගව හිස මූර්තියක් නිමවා තිබිණ. මේ මූර්තිය ආපසු පෙර තත්ත්වයට පෙරළීමට (reversible) හැකි බව කියන්නට ඔහු පුරුදුව සිටියේ ය. “මං පාරේදී බයිසිකල් සීට් එකක් හා හැඬලයක් දැක්කා. මට සිතුණා එහි ගවයෙක් ඉන්නා බව” යැයි ඔහු මට විස්තර කළේ ය. “මම එය එකලස් කළ පසු එය දුටු අය කිව්වා “එහි ගවයෙක් ඉන්නවා.” කියලා. බයිසිකල් පදින්නෙක් පැමිණෙන තුරු ඔවුන් එසේ කිව්වා. බයිසිකල්කාරයා ඇවිත් කිව්වා “එහි බයිසිකල් සීට් එකක් තියෙනවා.” ඉතින් ඔහු එයින් නැවත සීට් එකයි, හැඬල් එකයි හැදුවා. මේ විදිහට මනසේ සහ ශරීරයේ වුවමනා අනුව සදාකාලිකව එහාටයි, මෙහාටයි දෙපැත්තට යන්න එන්න, පැද්දෙන්න පුළුවන්.”

සිය චිත්‍ර කලාව සමග මූර්ති කලාව තුලනය කරමින් පිකාසෝ පැවසුවේ තමාට වුවමනා ඇස කෙනිත්තීමට වඩා සිත කෙනිත්තීමට බව යි. ඔහු එලෙස සිත අමතන්නේ සිය චිත්‍රය හෝ මූර්තිය හෝ සංකල්පයක් ලෙස තබමින් නොව කලා කෘතියක් ලෙස විදහා පාමිණි. මේ මූර්තිය නිදසුනට ගතහොත් පෙන්වා දිය හැක්කේ මූර්තිධර භාවයෙන් හෙවත් ප්ලාස්ටීයතාවෙන් අනූන රූපකයක් (plastic metaphor) ලෙස මෙය ගොඩනැගී ඇති බව යි. බයිසිකලය සමග බැදුණු සමාජයීය ජීවිතය, හරකා සමග බැඳුණු සමාජීය ජීවිතය, බයිසිකලයේ හා හරකාගේ චලනය හා වේගය, ස්පාඤ්ඤය තුළ ගවයා වන්දනීය හා පූජා භාණ්ඩයක් ලෙස ගව පොරය ඔස්සේ චාරිත්‍රමය මහෝත්සවයක් දක්වා පරිවර්තනය වන අතරේ භෞම ගවේෂණ ක්‍රීඩාවක් ලෙස බයිසිකල් රේස් හා පාපැදි සවාරි ජනකාන්ත ක්‍රීඩාවක් වීම යන කාරණා දෘශ්‍ය කලාව තුළ එකී ප්‍රබල රූපකාර්ථවත්භාවය ගොඩනගයි. තවද පිකාසෝ විසින් ගවයා හා ගව හිස නාසි – ෆැසිස්ට් මුර්ගත්වයේ සංකේතයක් ලෙස නැවත නැවත භාවිත කළ අතර මේ මූර්තිය සැකසීමත්, ප්‍රංශය හිට්ලර්ගේ පාලනයට යටත්වීමත් යන දෙකම 1942 වසරේ දී සිදුවීම මගින් පෙන්නුම් කරන්නේ මෙය ෆැසිස්ට්වාදය පිළිබඳ තත්කාලීන රූපකයක් ද වන බව ය. ස්පාඤ්ඤ සිවිල් යුද්ධය තුළ ෆ්‍රැන්කෝගේ ජාතිකවාදී හමුදාවන්ට එරෙහිව පැබ්ලෝ පිකාසෝ මෙන්ම ෆෙඞ්රිකෝ ගාර්සියා ලෝර්කා, ජෝර්ජ් ඕවල්, අනේද්‍රේ මල්රූ, අර්නස්ට් හෙමින්වේ, පැබ්ලෝ නෙරුඩා වැනි තවත් යුරෝපීය හා ඇමරිකානු කලාකරුවන් ජනරජවාදී පාර්ශ්වයට ලබා දුන් දේශපාලනික හා කලාත්මක සහයෝගය ද මෙහි සැමරේ.

මේ මූර්තිය අබලි ද්‍රව්‍යයේ සිට ගව හිසක් දක්වා එසවීමේ සන්තතිය ‘උත්කෘෂ්ටවීමක්’ (sublime) වන අතර එහි ප්‍රතිලාභය ‘උත්කෘෂ්ට වස්තුවක්’ (sublime object) බිහිවීම ය. එය කලාවේ පොදු නියාමය හා විද්‍යාව වන අතර ඉන් තොර කලා වස්තු බිහිවීමක් ලලිත කලාවේ හෝ සාහිත්‍ය කලාවේ හෝ නැත. මෙහි හැඬලය හා ආසනය යන අනුභූතික හා උපයෝගිතා වස්තු දෙක ගව හිසක් ලෙස රූපකාර්ථවත් වේ. ප්‍රමෝදාත්මක සුන්දරත්වය (pleasurable beauty) ඉක්මවා යන මේ නිර්මාණය තමාගේ ආකෘතික හා රූපකමය පරිසමාප්තිය ඔස්සේ පරම උත්කෘෂ්ටභාවය ළඟාකර ගන්නා අතර එය තාර්කික (rational object) වස්තුවක් ද වේ. එනයින් කලා කෘතියක පැවතිය යුතු සෞන්දර්ය සම්බන්ධයෙන් මේ මූර්තිය විසින් එල්ල කරනු ලබන අභියෝගය තේරුම් ගැනීමේදී එම්මෑනුවෙල් කාන්ට්ගේ සෞන්දර්යවේදයේ එන සෞන්දර්ය (beauty) සහ උත්කෘෂ්ඨත්වය (sublime) අතර වෙනස වැදගත් වේ. සෞන්දර්ය විසින් අනුභූතික තලයක සතුට හා වින්දනය ඇති කරනු ලබන අතර උත්කෘෂ්ඨත්වය විසින් බුද්ධිමය තලයක අපරිමිතත්වයට ආමන්ත්‍රණය කරනු ලබයි. බයිසිකල් කෑලිවල බයිසිකලයට වැඩිමනත් දෙයක් දැකීමත්, ගව හිස තුළ ඊට වැඩිමනත් දෙයක් දැකීමත් මෙහි දී සිදු වේ. සමහරවිට මේ ගව හිස තුළ දකින්නේ ගව හිස ලෙස හැඟවුම් කරන වස්තුවට අඩු දෙයක් ද විය හැකි ය. ඒ අනුව අපට නිෂේධාත්මක සෞන්දර්යක් අත්විඳින්නට ද ඉඩ ලැබේ (negative kind of pleasure). එනමුත් මෙවැනි කලා විචාරයක් නිසා අවර ගණයේ බොල් නිර්මාණයන් හේතුයුක්ත කිරීම වැළැක්වීමට නම් සමාජය සතු විදග්ධ කලා විඥානයක් වුවමනා වේ. එවැනි විඥානයක් සහිත සමාජයීයභාවයක් අත්පත් කර නොගත් සංස්කෘතියක් සහිත සමාජයක් තුළ එවැනි සංස්කෘතික අපරාධ කොතෙකුත් සිදු වේ. අද මෙරට කලා විචාරයේ දී බොහෝ විට සිදු වන්නේ මෙයයි.