පමා වුණොත් මල පරවෙයි…. අකෘතඥ ලොව හැර ගිය ගාන්ධර්වයා

ඊ.එම්.ඩී.උපාලි සමග සංගීතඥ ආනන්ද ගමගේ

සතුට විලයි – සැපත මලයි
නෙලුවොත් මල අතින් එකයි
පමා වුණොත් මල පරවෙයි //
ඉරට යටින් – හඳට යටින් //
කාලය පියඹනවා //

ප්‍රිය සම්භාෂණයක දී, විනෝද සවාරියක දී, සැඳෑ සාදයක දී නිතර ගැයෙන, ඇසෙන ගීත සමුච්චයට මෙම ගීයත් ඇතුළු වන්නේ නිරායාසයෙන්. උත්කර්ෂවත් බව, අත්තල ගසමින් සාමූහිකව ගැයිය හැකි ගුණය, ඊට අනන්‍ය වූ නිසර්ග සිද්ධ තාල රටාව, අත් පා නගා යෙදෙන නර්තනයකට කෙරෙන බලවත් ඇරයුම ඒ ගීයට උරුම ගුණයක්. දශක පහකටත් වඩා පැරණි මේ ගීය අනන්ත වාරයක් අසා තිබුණත්, එහි ගායකයා එකී ගීයේ ආරට හාත්පසින් වෙනස් ආරක ගී ගැයූ අප හැර ගිය දේවානන්ද වෛද්‍යසේකරයන් බව දැන සිටියත්, ඒ ගීතය ඇතුළත් වන්නේ ජී.ඩී.එල්.පෙරේරාගේ “දහසක් සිතුවිලි” චිත්‍රපටයේ බව ඒ ගීය රසවිඳින අය අතුරෙන් අතලොස්සකගේ දැනුමට සීමා වූවක්. එම ගීය රචනා කළේ නිමල් වික්‍රමසේකර බවත්, එහි සංගීතය නිර්මාණය කළේ 2019 ජනවාරි මස 23 වන දින රාත්‍රියේ නිහඬව අපෙන් සමුගත් ජයතිස්ස අලහකෝන් නම් වූ අපූර්ව ගාන්ධර්වයා බවත් දන්නා පිරිස ඊටත් අඩු ප්‍රමාණයක්.

මේ දූපතේ එහෙම දේවල් වෙන එක ඒ හැටි පුදුම විය යුතු දේකුත් නෙවෙයි. සති අන්ත මහ පත්තර අස්සේ රිංගවා එවන පාට ටැබ්ලොයිඞ් අතිරේකවල පිටු පුරා ඇතිරීමට ඊයේ පෙරේදා උපන් කලාකරුවන්ගේ වතගොත හඹා යන අපේ පුවත්පත් කලාවට මේ වගේ දැවැන්ත ප්‍රතිරූප මගහැරෙන එක සාමාන්‍ය දෙයක්. පුංචි රූප තිරය වර්ණ ගැන්වීමට සුකිරි බටිත්තන් පවුල් පිටින් සංගීත සලාද සඳහා සාලයට කැඳවන, ගණනින් පනහකටත් වැඩි එෆ්.එම්. නාලිකා කන්කරච්චල් හඩු ගීතවලින් පුරවන මාධ්‍යවේදීන් බහුල රටක ජයතිස්ස අලහකෝන් වගේ නමක් මගහැරෙන එක කොහොමටවත් පුදුමයක් නෙවෙයි. ඒකට හේතු දෙකක් තියෙන්නට පුළුවන්.

මාධ්‍යවල සැරිසරන තරුණ තරුණින්ට ඊට පෙර පරම්පරාව නිවැරදි යෂ්ටිය ඔවුන් අතට ප්‍රදානය නොකිරීම එක හේතුවක්. මේ ආකාරයෙන් ජාතියට අමතක වුණු එකම කලාකරුවා ජයතිස්ස අලහකෝන් විතරක් නෙවෙයි. පසුගිය දශක දෙකක පමණ කාලයක් දිහා ආපහු හැරිලා බලනකොට ඊට දශක තුන හතරකට කලින් ලාංකීය කලා ක්‍ෂේත්‍රය හෙබවූ ප්‍රබල ක්‍රියාධරයින් අතුරෙන් මාධ්‍ය ලෝකයේ ඒ හැටි තම මුද්‍රාව සලකුණු නොකළ ඇතමකුට අයත් වුණෙත් මෙබඳුම ඉරණමක්. එදා මාධ්‍යවල මුල් පුටු අරා සිටි තීන්දු තීරණ ගන්නා බලවතුන් කැපී පෙනෙන ලෙස ගුරුකුලවලට බෙදී සිටීම නිසා ඇතැම් කලාකරුවන්ට මේ ඉරණම අයත් වුණා වෙන්ටත් පුළුවන්. එදා ඔවුන් තම යුතුකම මාධ්‍ය තුළ ඉටු නොකළ නිසාම අද මාධ්‍ය හසුරුවන පරපුරට ඒ දැනුම සම්ප්‍රේෂණය නොවීම ස්වාභාවිකයි. අනෙක් අතට මහජන බදු මුදලින් නඩත්තු වන ඉතිහාසය, අධ්‍යාපනය, සංස්කෘතිය හා උරුමයට අදාළ රාජ්‍ය අමාත්‍යංශ හා ආයතනවලට මගහැර යා නොහැකි ලොකු වගකීමක් තියෙනවා, ඔවුන්ගේ ආයතනවල දැක්ම හා මෙහෙවර ක්‍රියාවට නැංවීමේදී කලා සංස්කෘතික ඉතිහාසය ඇති සැටියෙන් වාර්තා කිරීමට. එම ආයතනවල තීන්දු තීරණ ගන්නා මැති ඇමතිවරු සහ නිලධාරීන් පවා අනිච්චානුගව විවිධ ගුරුකුලවලින් මෙහෙයවන නිසාදෝ කලා ක්‍ෂේත්‍රයේ ඇතැම් ක්‍රියාධරයින් ඔවුන්ගේ අවධානයට ලක් වන්නේ නැහැ. ඉහත සඳහන් කාරණා දෙක නිසාම ඇතිවන නියත ප්‍රතිඵලය වන්නේ වර්තමාන රසික ප්‍රජාවට දැන ගැනීමට අයිතියක් ඇති බොහෝ නිර්මාණවල ඉතිහාසය සහ ඒවා නිමවා පෝෂණය කළ කලාකරුවන් පිළිබඳ තොරතුරු දැන ගැනීමේ අයිතිය ඔවුන්ට අහිමි වීමයි.

ජීව දත්ත

ජයතිස්ස අලහකෝන් 1932 මැයි මස 06 වන දින අත්තනගල්ල නිට්ටඹුවේ දී උපත ලැබීය. ජයතිස්ස අලහකෝන්ගේ පියා වූ ඒ.ඩී.මාටින් පෙරේරා ද (1894-1979) ටවර් හෝල් නාට්‍ය ශිල්පියෙකු විය. සිය පියාගේ ආභාසයෙන් සංගීතයට යොමු වූ ඔහු එච්.ඩබ්.රූපසිංහ, එම්.රොම්ලස් ද සිල්වා, ටී.වි.එඞ්වින් පෙරේරා, ඩබ්ලිව්.සිල්වෙස්ටර් යන ප්‍රකට සංගීතවේදීන් යටතේ ශාස්ත්‍රීය හා ව්‍යවහාරික සංගීතය හැදෑරූ අතර, එම යුගයේ බොහෝ සංගීත ශිල්පීන් තම සංගීත දිවියේ මුල් අත්පොත් තැබූ බී.වික්ටර් පෙරේරා යටතේ හා අමරදේව ශූරීන්ගේ මග පෙන්වීම යටතේ ජයතිස්ස වයලීනය හැදෑරීය. 1968 දී ලක්නව් භාත්ඛණ්ඬේ විද්‍යා පීඨයේ මධ්‍ය පරීක්‍ෂණය සමත් වූ ජයතිස්ස ඉනික්බිති රජයේ සංගීත ගුරු පත්වීමක් ලැබීය. වයලීන වාදනය සඳහා වූ ඩිප්ලෝමා (විශාරද) විභාගය සමත් වූ ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ශාස්ත්‍රීය වයලීන වාදන ශිල්පයකු ලෙස තම ශිල්ප කලාව රසිකයින්ට දායාද කලා සේම නූර්ති “ ඒ ” ශ්‍රේණියේ ශිල්පියකු ලෙස ගායන හා වාදන ද ඉදිරිපත් කරන ලදී.

වේදිකා සංගීත භාවිතය

ජයතිස්ස අලහකෝන්ගේ ජීවන තොරතුරු විමසීමේදී ඔහු වේදිකා නාට්‍ය 50 කට අධික ප්‍රමාණයකට සිය ගායන වාදන හැකියාවෙන් සහාය වූ බව පෙනී යයි. 1952 සිට 1962 දක්වා පමණ වූ දශකය පුරා ඔහු ටවර් හෝල් යුගයේ නූර්ති නාට්‍ය රැසකට සංගීතයෙන් සහාය වූ අතර, එකී නූර්ති අතර, වෙස්සන්තර, සිරිසඝබෝ, සකුන්තලා, ස්වීනීත භාර්යා, විධුර, ධර්මාශෝක, පද්මාවතී, ශ්‍රී වික්‍රම රාජසිංහ ඇතුළත් වේ.
මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ, එලොව ගිහින් මෙලොව ආවා, කදා වළලු, ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරි, මූදු පුත්තු, දේවතා එළි, ලියතඹරා සහ තාත්තා, ආනන්ද සමරකෝන්ගේ කලුඑතනා ගීත නාටකය, ජී.ඩී.එල්.පෙරේරාගේ සක්කරවට්ටම්, සාමා ඇතුලු තවත් නාට්‍ය හතරක, හෙන්රි ජයසේනගේ තවත් උදෑසනක්, දයානන්ද ගුණවර්ධනගේ ජසයා සහ ලෙන්චිනා, ආචාර්ය එම්.එච්.ගුණතිලකගේ සක්කාය දිට්ඨි ආදී වූ එවකට වේදිකාව ජයගත් පළමු පෙළේ නාට්‍යකරුවන්ගේ නාට්‍ය සඳහා ද, ඊට අමතරව ධර්මදාස කුරුප්පුගේ සේනක නාඩගම ඇතුළු තවත් නූර්ති දෙකක, එස්.කරුණාරත්නගේ එරබදු මල් ඇතුළු නාට්‍ය තුනක, සුගතපාල සෙනරත් යාපා ගේ නාට්‍ය දෙකක, මුදලිනායක සෝමරත්නගේ නාට්‍ය දෙකක, හෙක්ටර් කුමාරසිරිගේ නාට්‍ය දෙකක, සුමන ආලෝක බණ්ඩාර, පතිරාජ එල්.එස්.දයානන්ද, වේහැල්ලේ පියතිලක, මහානාම ද සිල්වා, චන්දි ගුණතිලක, සුමන ලත්තුවාහන්දි යන නාට්‍යකරුවන්ගේ ඇතැම් වේදිකා නාට්‍යවල ද, සුනෙත් ගෝකුල සහ නන්දා මාලනී නිර්මාණය කළ රන් පිහාටු මුද්‍රා නාට්‍යයේ ද, මිරැන්ඩා හේමලතා ගේ ස්වර්ණ තිලකා මුද්‍රා නාට්‍යයේ ද, සංගීත වෘන්දයට ජයතිස්සයන් වාදකයෙකු ලෙස සහභාගි වී ඇත.

චිත්‍රපට සංගීතය

චිත්‍රපට සංගීතයෙහි ලා ජයතිස්ස ගේ දායකත්වය කැපී පෙනෙනුයේ චිත්‍රපට සංඛ්‍යාව නිසා නොව චිත්‍රපට අතළොස්සකට වුව ඔහු සැපයූ සංගීතය හරහා මතකයේ ඉතිරිකොට ගිය ගීත කිහිපය නිසා ය. “කලා පෙළ” නම් වූ හැට දශකයේ ජය කෙහෙළි නැංවූ කලා සංවිධානය පිහිටුවීමට මුල් වූ ජී.ඩී.එල්.පෙරේරාගේ වේදිකා නාට්‍යයන්හි සංගීත නිර්මාණය කිරීමට ඔහු භාර කළේ ජයතිස්ස අලහකෝන්ට ය. ජී.ඩී.එල්. සිනමාවට පා තැබූ පළමු චිත්‍රපටය වන ‘සාමා’ නිර්මාණය කිරීමේදී ද, එම නමින් වූ වේදිකා නාට්‍යයට සංගීතය සැපයූ තම විශ්වාසවන්ත ගමන් සගයාට එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය ද භාර දීමට ජී.ඩී.එල් පැකිළුණේ නැත. මේ මොහොතේ ඔබ You Tube  ඔස්සේ  Wananthare Gal Arane   යැයි සෙවූ කල ඔබට සාමා චිත්‍රපටයේ එකී ගීතය ඇතුළත් රූප රාමු හා සමීප විය හැකි වනු ඇත.

එකී දර්ශනය ගැන සිහි කිරීමට ප්‍රථම මේ මොහොතේ ඔබට පෙන්වන මේ සමීප රූපය දැකීමෙන් ඔබ වඩා සංවේදී වනු ඇතැයි සිතමු. මීට දෙසතියකට පමණ පෙර අප හැර ගිය ජයතිස්ස අලහකෝන්ගේ නිසල දේහය අසල කඳුළු සැලූ අය අතරින් මෙම ලේඛකයන්ගේ ඇස ගැටුණු එක් සමීප දසුනක් වූයේ ජේ්‍යෂ්ඨ රංගන ශිල්පිනියක වන ලියෝනි කොතලාවල තම සමකාලීන කලා මිතුරාගේ දේහය අසලට ළංව ඇගේ සොව නිහඬ ඉකියකින් පළ කරමින් කුළුණකට වාරු වී සිටි ආකාරයයි. දැන් ඔබට You Tube  හරහා ලියෝනි දැකීමට අවසර දෙමු. ස්වකීය දිවි මගේ 70 දශකය ගෙවන ලියෝනි, එදා භද්‍ර යෞවන යුවතියක ලෙස දෙනවක හාමිනේ ද සමග තිරික්කලයක නැගී ගොනුගේ ගමන් ළයට අනුව ගැස්සෙමින් ඇදී යන දුක්බර ස්වරයෙන් මල්ලිකා පෙරේරා ගැයූ “වනන්තරේ ගල් අරණේ විමානෙට – නිරන්තරේ යන ගමනේ නිමා කොට” යන ගීතය මතුරමින් සුසුම් හෙළන රූප රාමුව ඔබ නෙත ගැටෙනු ඇත. ගාමිණී ෆොන්සේකා යැයි ඈතට දකිද්දී හැඟී යන ෂෙල්ටන් සිල්වා ද එකී රූප රාමුවේ ඔබ නෙත ගැටෙනු ඇත. අකාලයේ අප හැර ගිය විශිෂ්ඨ ගීත රචක ස්වර්ණ ශ්‍රී බණ්ඩාර පබැඳු අපූරු පදවැල සිය කෝමල ස්වරයෙන් ගයන්නට මල්ලිකා පෙරේරාට මග හසර පෑදුවේ ඊට උචිත තනුව හා සංගීතය නිමවූ අප වීරයා වේ.

ජී.ඩී.එල් තමාගේම ඊළඟ සිනමා කෘතිය වූ “දහසක් සිතුවිලි” සංගීත අධ්‍යක්‍ෂණය ද භාර දෙන්නේ ජයතිස්ස මිතුරාටම ය. එකී චිත්‍රපටයේ සමාජ ශාලා දර්ශනයක් සඳහා යොදා ගත යුතු වේග රිද්ම ගීයක් සඳහා ජී.ඩී.එල්. නිර්දේශ කරන්නේ එවකට ජනප්‍රිය බයිලා ගායකයකුගේ නමකි. එහෙත් ජයතිස්ස අලහකෝන් ඒ වෙනුවට නිර්දේශ කරන්නේ දේවානන්ද වෛද්‍යසේකරගේ නමයි.
චිත්‍රපටියේ අවස්ථාවට උචිත සංගීත සත්කාරය ද පිරිනමමින් ද, සුලභ ජනප්‍රිය බයිලා රිද්මයට හා වාදන ශෛලියට එහා ගිය කිසියම් සම්භාව්‍ය ආත්මයක් එකී ගී පබැඳුමට ප්‍රදානය කරමින් ද (පබැඳුමේ අන්තර්ගතය එවැනි ජීවන ගැඹුරක් ස්පර්ශ කරන්නකි.) දේවානන්ද වෛද්‍යසේකර නම් වූ විශේෂිත ගායන ආරක් උරුම වූ ගායකයාගේ කීර්ති කදම්භයට තවත් ආලෝක ධාරාවක් මුසු කරමින් ද, තමාගේ සංගීත ප්‍රයාණය ද රැක ගැනීමට හේ සමත් වෙයි. දහසක් සිතුවිලි චිත්‍රපටයේ සතුට විලයි සැපත මලයි ගීතය හරහා ජයතිස්ස චිත්‍රපට සංගීත අභියෝගය ජය ගන්නේ එලෙසිනි.

“සතුට විලයි සැපත මලයි” මුද්‍රිත මාධ්‍යයක පළවී තිබූවක් නම් මේ වනතුරු එය අප මතකයේ රඳවා තබාවිද? එයට පිළිතුර නැත යන්න නම් ජයතිස්ස අලහකෝන් සතුව තිබූ නිර්මාණ කුසලතාවන් අරඹයා කතා කළ යුතු ලියා තැබිය යුතු බොහෝ කරුණු කාරණා ඉතිරි වී ඇත.

සරල ගී

ජයතිස්ස අලහකෝන් සරල ගී විශාල ප්‍රමාණයක් සඳහා තම නිර්මාණ දායකත්වය දක්වා නොමැති වුව ද, ඔහු සම්මාදම් වූ අතළොස්සෙන් ශ්‍රාවක මනසේ නොනැසෙන මතකයක් ඉතිරි කළ ගී දෙකක් ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ “කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි” හා රත්න හෙක්ටර් දිසානායක ලියූ “කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන” මතකයට නැගේ. විශාරද නන්දා මාලනියගේ ගී කෙත හැඩතල “කප් සුවහස් කල් ” සහ “කුරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි ” යන ගීත යුගලය අපගේ මතකය තුළ අදටත් හෙටටත් රඳවන්නේ ජයතිස්ස අලහකෝන් සූරීන් ස්වර රචනා කලාවේදී දක්වා ඇති තක්සේරු කළ නොහැකි කුසලතාව නිසාය. එකී පදමාලා ද්වයම අපූරු පරිකල්පන ශක්තියකින් සේම සුගම බස්වහරකින් රචනා කොට තිබුණේ එහි අන්තර්ගත තේමාවන් සාහිත්‍යයක් ලෙස කියවීමේ දී පවා අපූරු වින්දනයක් සන්නිවේදනය කෙරෙන ආකාරයෙනි. එහෙත් නන්දා මාලනී ගේ උදාත්ත ගායන ස්වරයත්, සංගීතඥයා සැපයූ ඔහුටම අනන්‍ය සුවිශිෂ්ට තනු හා සංගීත සම්පාදනයත් හේතුවෙන් දශක හතරකට අධික කාලයක් සහ එළඹෙන අනාදිමත් කාලයක් පුරා උක්ත ගී පද රචකයින්ට අති මහත් සාධාරණයක් ඉටු කරමින් එකී ගී යුග්මය ගුවන් තලයේ සැරි සරන බවට කිසිදු සැකයක් නැත.

ඇගයීමකට පාත්‍ර නොවූ විශිෂ්ටයා

හින්දි හෝ ද්‍රවිඩ ආදී අප නොදන්න බසකින් රචිත ගීතයක් අප මුමුණන්නේ ඇයි? නොදන්නා වචන වරද්ද වරද්දා ගයන්නේ ඇයි? එය එසේ වනුයේ ගී තනුව තුළ තිබෙන්නා වූ මිහිර නිසාමය.
ගී තනුවක් යනු ආරෝහණ සහ අවරෝහණාකාරයෙන් දෝලනය වන්නා වූ ස්වර සංගති (combination of notes)

සමූහයක එකතුවකි. පද රචනය ඉස්මතුවන ආකාරයෙන් ආරෝහණාකාර විය යුතු අවරෝහණාකාර විය යුතු ස්වර සංගති ගැලපීම එකී ගී තනුව වෙත අපව ඇද බැඳ තබා ගැනීමට සමත් වේ. එය එසේ නම් අප රට ප්‍රචලිත, ජනප්‍රිය වූ සියලු ගී පදමාලා අප මතකයෙන් කිසිදා ඈත් නොවන සේ සදා මතකයේ රඳවා ඇත්තේ සංගීතඥයින් විසිනි. එය කෙසේවත් ලඝු කොට සැලකිය යුතු කරුණක් නොවේ.
අපගේ ගීතාවලිය තුළ ඒ අයුරින් ජනප්‍රිය වූ බොහෝ ගීත රැසක් නිර්මාණය කළා වූ සංගීතඥයින් අතර ජයතිස්ස අලහකෝන් නමැති සංගීතඥයා යනු අපගේ සංගීත ක්‍ෂේත්‍රය වර්ණවත් කළ වටිනා සම්පතකි. තමා වාසය කළ රටේ ජනතාවට සදා මතකයේ රැඳෙන ගී තනු නිර්මාණය කිරීමේ හැකියාව යනු පෙර අත්භවයක වාසනා ගුණයක් යැයි සිතෙන තරම්ය.

දෘෂ්‍ය බද්ධ වූ පදමාලාව ශ්‍රව්‍ය බද්ධ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි අවබෝධයක් අප රට විචාරකයින් තුළ නැති තරම් යැයි සඳහන් කිරීම නිවැරදි යැයි සිතමු. සම්මාන උළෙලකදී හොඳම ගීතය තෝරා සම්මාන පිදීමේදී ගී තනුව හා සංගීත සංයෝජනය පිළිබඳව නම් විනිශ්චය මණ්ඩලවල ඇතැම් සාමාජික මහත්ම මහත්මීන්හට වගේ වගක් නැත.

“පරසතු මල්” චිත්‍රපටය සරසවි සම්මාන උළෙලක දී හොඳම ගීතය ලෙස සම්මානයෙන් පිදූ අවස්ථාවේදී හොඳම පදමාලාව සහ හොඳම ගායනය යන අංග දෙක පමණක් සම්මානයෙන් පිදුම් ලැබුවේ “පරසතු මල්” සැරසූ “පරවුණු මල්වල සුවඳ අතීතේ” නමැති ගීතයයි. එම ගීතයේ තනුව හා සංගීත සංයෝජනය කළ සංගීතඥ ලයනල් අල්ගම සූරීන් එහිදී සපුරාම අමතක කොට තිබුණි. එම හේතුව නිසාම එම ගීතය ගැයූ ජනප්‍රිය ගායිකා සුජාතා අත්තනායක මහත්මිය තමාට හිමි සම්මානය ප්‍රතික්‍ෂේප කළ බව වරක් පැවසූ අයුරු මතකය.

රජයේ රැකියාවක් ලෙස සංගීත ගුරුවර භූමිකාවට කැප වී සිට, එයින් ඉසිඹුලත් පසුව ද විවිධ ආකාරයෙන් තම සංගීත ඥානය සිසු සිසුවියන් අතර, බෙදා දීමට නොමසුරුව කැපවුණු ඔහුගේ ඇදුරිඳු චරිතය ද කිසිදු විටක ඇගයීමට ලක් නොවී ය.

වෘත්තීයවේදී කැපවීම

ජයතිස්ස ගැන කතා බහ කරන බොහෝ සමකාලීනයන් පැවසූ වැදගත් කරුණු කිහිපයක් සඳහන් කරමින් මෙම ලිපිය සමාප්ත කරමු.

1. තම අදහස් ඍජුව ප්‍රකාශ කිරීම.
2. තමා මැදිහත් වන නිර්මාණයන් කෙරෙහි උපරිම ලෙස කැපවීම.
3. ඊට සරිලන ආර්ථික ප්‍රතිලාභ හඹා නොයෑම.

වර්තමාන වාණිජ ලෝකයෙහි විරල වූ මෙවන් ගතිගුණ හෙබි ජයතිස්ස පිළිබඳ ඔවුන් පැවසූ එකී චරිත ලක්‍ෂණවලට වාර්තාගත සාක්‍ෂියක් ලෙස, ඔහු විවිධ ශෛලීන්ට අයත්, විවිධ යුගවල කලාකරුවන් නිමැවූ වේදිකා නිර්මාණ පනහකට අධික ප්‍රමාණයකට තම කලාත්මක හා බුද්ධිමය ශ්‍රම දායකත්වය ලබා දීම සැලකිය හැකිය.තමා සංගීත නිර්මාණය කරන කෘතියට අදාළව ස්වර ප්‍රස්ථාර සටහන් කිරීමේ දී තම අත් අකුරෙන්ම ලියනු ලබන ඉතා පැහැදිලි ස්වර රචනාව ඔහුටම අනන්‍ය වූ ලක්‍ෂණයකි. වර්ෂ 2017 දී ඔහු තම අසූපස් වන විය පසු කරද්දී කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති වෙසක් බැතී ගී ප්‍රසංගයක් සඳහා ඔහු තනු නිර්මාණය කළ “සතර දිගින් ආ පරෙවියනේ” යන ගීතය සඳහා සැකසූ ස්වර ප්‍රස්ථාර සටහන, එවැනි වියක පසුවන වයෝවෘද්ධයකුගේ ක්‍රියාවක් යැයි සිතිය නොහැකි තරම් පැහැදිලි නිවැරදි සටහනක් විය. ඇතැම් විට එම ස්වර රචනාව ඔහු තම දිවියේ කළ අවසාන සංගීත නිර්මාණය යැයි අපි සිතමු.