‘කලිගියුලා’ පරමාර්ථය උත්තර මිනිසා සෙවීමයි – නාට්‍යවේදී ජගත් පතිරණ

එන්. ලංකා මාගම්මන

ඇල්බෙයා කැමුගේ කලිගියුලා වේදිකා නාට්‍යය ජගත් පතිරණගේ නිෂ්පාදනයක් ලෙස පෙබරවාරි මස 10 වැනිදා ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී ප.ව 7.00ට වේදිකාගත වේ.

ඇල්බෙයා කැමුගේ කලිගියුලා ඔබ වේදිකාවට ගෙන එන්න සිතුවේ ඇයි?

කලිගියුලා හරහා ඇල්බෙයා කැමු කතාබහ කරන දාර්ශනික ප්‍රවේශය බොහෝ සෙයින් ප්‍රිය දාර්ශනික ප්‍රවේශයක්. කැමු මෙහිදි දර්ශනය විෂයක් ලෙස පවතිනවාට වඩා දර්ශනය හා දේශපාලනය අතර සිදු කරනු ලබන ගනුදෙනුව කැපී පෙනෙනවා. එසේම කලිගියුලා නාට්‍ය හරහා අප දකිනවා ඇල්බෙයා කැමුගේ අද්භූතරූපි චින්තනය. එය ඔහුගේ දේශපාලනයට සම්බන්ධ කරමින් ගොඩනගන සාකච්ඡාව අතිශයින් සමාජයට වැදගත් වෙනවා. එය පටු දේශපාලනික රාමුවක් ඇතුළේ අපට අර්ථකථනය කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඔහුගේ ඒ දේශපාලන දැක්ම මිනිසාගේ පැවැත්ම ප්‍රශ්න කරන දේශපාලන දැක්මක්. කිසි විටෙකත් පක්ෂ දේශපාලනය හෝ බලය සඳහා කරනු ලබන දේශපාලන දැක්මක් නොවෙයි. දර්ශනිකයෙක් හැටියට ඔහුගේ පළමු විරෝධය එල්ල වන්නේ බලය සඳහා කරනු ලබන දේශපාලනයටයි.
එහෙත් ඔහු කිසිවිටෙක ශූන්‍යත්වයට ගමන් කළේ නැහැ. මිනිසාගේ පැවැත්ම තේරුම් ගන්න කරන අරගලය කැමුගේ දාර්ශනික ප්‍රවේශයෙන් වටහා ගැනීම වැදගත් වෙනවා. මේ කාරණයක් එක්ක මට හිතුනා පසුගිය කාලේ මෙරටේ සිදු වූ මජර දේශපාලනික විගඩම් සියල්ලම කැමු බලාගෙන ඉඳලා කලිගියුලා ලියලා තියනවා කියලා. මේ දේශපාලනය විසින් ගොඩනගලා තියන මජර බව හේතුවෙන් කඩාවැටිලා තියන සංස්කෘතියේ පිරිහීම හා ගරා වැටීම සමාජයක් හැටියට අපව මොන තරම් විනාශ කරලා තියනවද කියන එක මේ නාට්‍ය හරහා පෙන්නුම් කෙරෙනවා. මෙය තේරුම් ගැනීමට නම් ගැඹුරින් අප සිටගෙන සිටින තැන ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ලබන පොඩි උත්තේජනයක් ලෙස මගේ දේශපාලන භාවිතයක් ලෙස කැමුගේ කලිගියුලා වේදිකාගත කරන්න හිතුවේ.

මීට පෙර අවස්ථා දෙකකදී වගේ ලාංකීය වේදිකාවේ කැමුගේ කලිගියුලා වේදිකාගත වෙලා තියනවා නේද? එහි යම් බලපෑමක් ඔබටත් තියනවද?

1970 දශකයේදී කලිගියුලා වේදිකා නිෂ්පාදනය මා දැකලා නැහැ. හැබැයි එම පිටපත මා දැකලා තියනවා. මේ නාට්‍ය ගැන මා මුලින්ම කියවන විට පරිවර්තකයන් දෙදෙනකුගේ පිටපත් අධ්‍යනය කරනු ලැබුවා. එස්. කරුගේ හා ජී. ඩබ්ලිව්. නන්දසේනගේ පිටපත්. මේ පිටපත් වලින් එස්. කරු විසින් රචනා කරන ලද කලිගියුලා පිටපත වේදිකාවට ගැලපීමට යාමේදි කැමු ගොඩනගන ගැඹුරු දාර්ශනික සාකච්ඡාව පිටපතින් මගහැරී තිබෙන බවක් දක්නට ලැබුණා. මෙය මා පවසන්නේ එතුමාව අවතක්සේරු කරන්න නොවෙයි. හැබැයි නන්දසේන මහතාගේ පරිවර්තනය කියවන විට මට දැනුනා එය දැවැන්ත පරිවර්තනයක් බව. එම පරිවර්තනය කැමුගේ සාරය උරාගෙන තිබෙන බවත් දැකිය හැකියි. මෙය වේදිකාවට ගෙන ඒම අපහසු කාර්යයක් බව මට වැටහුණා. මෙම දැවැන්ත පරිවර්තනයම රංගනය ඇතුළේ ගලපාලන්න මා උත්සාහ ගත්තා. එසේ නොකරන්නේ නම් එය කැමූ වැනි විශිෂ්ඨයකුට අප කරන අසාධාරණයක්. රොජර් සෙනවිරත්න පස්වැන්නා නමින් කරපු වේදිකා නාට්‍ය මා නරඹලා තියනවා. ලෝක ඉතිහාසයේ සිටින දරුණුම ම්ලේච්ඡතමයන් අතරින් කෙනෙක් තමයි කලිගියුලා කියන්නේ. රොජර්ගේ වේදිකා නාට්‍යයේ ඔහු ප්‍රතිනිර්මාණ කරන්නේ ඒ කලිගියුලා. හැබැයි මා හිතනවා අල්බෙයා කැමුට අවශ්‍ය වුණේ ඒක නොවෙයි. කැමුට ඒක ඕන වුණානම් කැමු කලිගියුලා ලියන්නේ නැහැ. කැමු කියන්නේ ප්‍රචණ්ඩත්වයට සම්පූර්ණයෙන්ම විරුද්ධ මනුස්සයෙක්. ඔහු සියලුම අකාරයේ මානව ප්‍රචණ්ඩත්වයන්ට විරුද්ධ කෙනෙක්. හැබැයි කැමු උත්සාහ කළේ ප්‍රචණ්ඩ මිනිසකු තුළ ඉන්නා ඒ මිනිසාව ප්‍රචණ්ඩත්වයට ඇදලා දාපු සමාජ දේශපාලනික කොන්දේසි මොනවාද කියලා පෙන්වා දෙන්න. ඒ නිසාම මා හිතනවා රොජර්ගේ පස්වැන්නාට වඩා මගේ නිර්මාණය වෙනස් වෙයි. අර්ථකථනය අතින් කොහොමත් වෙනස්. එකම පෙළ මා අර්ථකථනය කරන්නේ තර්කාත්මක හා සංන්දෘෂ්ටිවාදි ප්‍රවේශයකින්.

ඇල්බෙයා කැමු උත්සාහ කරන්නේ මිනිසාගේ ආධ්‍යාත්මයේ තියන සාරය ගෙන හැර දක්වන්න. ඔබගේ නිෂ්පාදනයෙන් ඒ සඳහා සාධාරණයක් ඉටු වුණාද?

කැමුගේ සමස්ත සාහිත්‍යයම ගොඩ නැගෙන්නේ මිනිසාගේ අධ්‍යාත්මයේ තියන හරය ගෙනහැර දක්වන්න. කැමු පළමු ලෝක යුද්ධයෙන් හා දෙවන ලෝක යුද්ධයෙන් බැට කාපු මිනිහෙක්. යුද්ධයට, ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඔහු සැම විටම වැඩ කරනවා. මජර දේශපාලනය ඔහු තරයේම ප්‍රතික්ෂේප කළා. ඔහු විටකදි පවසනවා, ‘දෙවන ලෝක යුද්ධය දැන් ඉවරයි. අප හිට්ලර්ව පරාජය කළා. එහෙත් ප්‍රශ්නය තියෙන්නේ හිට්ලර් අතින් විනාශ වූ ලෝකයේ කාලකණ්ණි බව අපේ ජීවිතවල තියනවා. දැන් අප කොහොමද මේකෙන් ගැලවෙන්නේ.’ කැමු ඇල්ජිරියාව, ප්‍රංශය මුල් කරගෙන මේ ගැන කතා කළත් ලංකාව ගත්විට අප 30 වසරක යුද්ධයක අත්දැකීම් සහිත ජන සමාජයක්. අනික් පැත්තෙන් 71, 89 යන වර්ෂවල දියත් වූ කැරලි තුළින් ජන සමාජය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. මේ අන්ත දූෂිත ලිබරල් පාරිභෝගික සමාජ ක්‍රමය ඇතුළේ මේ ම්ලේච්ජත්වය හා ප්‍රචණ්ඩත්වය විවිධ විදිහට අර්ථ ගැන්වෙනවා. මිනිසුන්ගේ තියන ආත්මාර්ථකාමි බව, කුහකකම, බලයට තියන ආශාව, මේ හැම ආකාරයෙන්ම එය ප්‍රකාශයට පත් වෙනවා. සමාජයක ගොඩ නැගෙන අගය අද වන විට දරුණු ලෙස අර්බුදයකට ලක් වී තිබෙනවා. වසර 30 යුද්ධය සහ කැරලි දෙක විසින් නිර්මාණය කරන ලද ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵල තවදුරටත් අප භුක්ති විඳිමින් සිටිනවා. එක අතකින් මිනිසුන්ව නිර්දේශපාලනයට යොමු කරමින් තිබෙන අතර අනිත් අතින් කලාකරුවෝ, සිවිල් සංවිධාන තම දේශපාලන න්‍යාය පත්‍රය ලඝු කරගනිමින් සිටිනවා. මේ සියලුම කරුණු නිදහසින් පසු ලාංකීය සංදර්භයේ අන්තර්ගත වී තිබෙන ඛේචවාචකයේ ප්‍රතිඵල. මේවා තේරුම් බේරුම් කර ගැනීමට අපට ඇල්බෙයා කැමු වැනි නාට්‍යකරුවන්ගේ කෘතහස්ත නිර්මාණ වැඩි වැඩියෙන් උපකාරි වෙනවා. ලංකාවේ ස්වතන්ත්‍ර නාට්‍ය කලාව ඇතුළේ මෙැනි තැන් සියුම් ලෙස පරීක්ෂාවට ලක් වෙන්නේ අල්ප වශයෙන්.

දාරියෝ ෆෝ සහ ඇල්බෙයා කැමුගේ දේශපාලන ප්‍රකාශනය එකිනෙකින් වෙන් කොට ඔබ හඳුනා ගන්නේ කෙසේද?

ඔබ මගෙන් අහන්නේ මූල ධාර්මික දේශපාලනික ප්‍රශ්නයක්. දාරියෝෆෝගේ දේශපාලන ප්‍රකාශනය හා ඇල්බෙයා කැමුගේ දේශපාලන ප්‍රකාශනය අහසට පොළොව වගේ වෙනස් වන්නේ ප්‍රධාන සාධකය මතයි. එනම් බලය කියන සංකල්පය මතයි. දාරියෝ මාක්ස්වාදි නාට්‍යකරුවෙක්. ඔහු සැම විටම තම දේශපාලන ප්‍රකාශනය හරහා ඒත්තු ගන්වන්නේ කම්කරුවාට, පීඩිත පන්තියට දේශපාලන බලය ලබා ගත යුතුයි යන්නයි. කැමුත් මාක්ස්වාදියෙක් වෙලා සිටියා. එහෙත් කැමු දේශපාලන මතවාදයක් ඔස්සේ මාක්ස්වාදි දෘෂ්ටියෙන් බැහැර වෙනවා. කැමුගේ දේශපාලන ප්‍රකාශයේ ඉතා පැහැදිලිව දකින්න පුළුවන් වෙන්නේ බලය වෙනුවෙන් කරනු ලබන ඕනෑම අරගලයක් වෙනුවෙන් පෙනී සිටින මිනිසෙක් ඝාතකයෙක් වීමට වඩා සුදුස්සෙක් කියලයි. බලය වෙනුවෙන් මතවාදි අරගල ගොඩ නගන දේශපාලන ව්‍යාපාරයක් අවසානයේදී ප්‍රචණ්ඩත්වයට අනිවාර්්‍යයෙන්ම ගමන් කරන බව ඔහු කියනවා. කැමු මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් කරන්නේ මෙහෙමයි. නීට්ෂේගේ උත්තර මිනිසා පිළිබඳ සංකල්පය ඉවර වෙන්නේ හිට්ලර්ගෙන්. මාක්ස්ගේ මනෝරාජික සමාජවාදි ක්‍රමය අහවර වෙන්නේ ස්ටැලින්ගෙන්.මේ දෙකම නීට්ෂේවත්, මාක්ස්වත් බලාපොරොත්තු වූ දේවල් නොවෙයි. හැබැයි මේ දෙකම ප්‍රායෝගිකව ප්‍රසිද්ධ වුණා. ඒ හිට්ෂේගේ හා මාක්ස්ගේ දර්ශනයන්වල තිබු ‘පැල්මවල්’ ‘ඉරිතැලීම්’ හේතුවෙන්. මේ පැල්මවල්, ඉරි තැලීම් නිසා ඕනෑම මිනිසකුට මේ දේශපාලන දර්ශනය තමන්ට කැමති පරිදි ලඝු කර ගන්න පුළුවන් වුණා. ප්‍රශ්නය වන්නේ බලය පිළිබඳ කාරණය තුළ නීට්ෂේ හා මාක්ස් එයට ලබා දෙන සුජාතභාවයයි. ඇල්බෙයා කැමු පවසන පරිදිම බුරුෂුවා පන්තියේ ඇති බලය කම්කරු පන්තියට ලබා දෙනවා කියන්නෙම කම්කරු පන්තිය මත බලය පිහිටුවලා තවත් පන්තියක් පීඩනයට ලක් කිරීමයි. බලයෙන් බලය නිශේධනය වෙන්නේ නැහැ. බලය වෙනුවට බලයක් ගොඩනන්වා එය නැවත ප්‍රචණ්ඩත්වයට ගෙන යෑමක් මෙම සමස්ත ක්‍රියාදාමය ඇතුලෙම සිද්ධ වෙනවා. මේ අනුව බලන විට දාරියෝෆෝගේ දේශපාලන දර්ශනය තුළින් ඇල්බෙයා කැමුගේ දේශපාපන දර්ශනය වෙනස් වන්නේ මෙන්න මේ බලය පිළිබඳ ගොඩ නගන තර්කයක් සමගයි.

ලාංකීය වේදිකාව පරිඡේද කීපයකට ලක් කරනවා නම් එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන එක් පරිඡේදයකටත් ධර්මසිරි බණ්ඩාරනායක, සයිමන් නවගත්තේගම, කේ. බී. හේරත්, පරාක්‍රම නිරිඇල්ලඳ තවත් පරිඡේදයකටත් ලක් කරන්න හැකියාව තියනවා. ලාංකීය වේදිකාවේ වර්තමාන පරිඡේදය ගැන ඔබේ කියවීම මොන වගේද?

මා වේදිකා නාට්‍ය වලට පිවිසෙන්නෙත් 1990 වර්ෂයේදී. මා එවක දැකපු වේදිකා නාට්‍ය වල වීරයන් වුණේ සුගතපාල ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක වගේ අය. ඒ නාට්‍ය වල අප දැක්කා ඉතාම දැඩි සමාජ දේශපාලන සාකච්ඡාවක් සිදු වෙන බව. ඔවුන් තරුණයන්ට නාට්‍ය පිළිබඳ උපදෙස් ලබා දුන්න ආකාරයත් හරිම වෙනස්. යෞවන සම්මාන නාට්‍ය උළෙලකදී විනිශ්චය ලබා දෙන්න පැමිණෙන සුගතපාල ද සිල්වා තරුණයන් ලෙස බලන්නේ පුදුම විදිහේ ආදරයකින්. ඒ වගේම ඒ තරුණයන්ව තමාගේ දර්ශනය හරහා ඉතා දැඩි ලෙස හික්මවපු ආකාරය හරි වැදගත් වෙනවා. පීටර් වයිස්ගේ මරාසාද් වැනි නාට්‍ය පරිවර්තනය කරන්න තරම් ඒ නාට්‍යකරුවාට තිබුණු ගැඹුරු කියවීම ඉතා ඉහළයි. මීට අමතරව හෙන්රි ජයසේන වැනි නාට්‍යකරුවන් දැනුම ලබාදෙන විශ්වවිiාලයක් වගෙයි. ඔවුන් නාට්‍ය කළේ පවතින දේශපාලන බිමත් සමග අරගල කරමින්. වඩා ලස්සන නිමාවක් ඇති ගැඹුරු දේශපාලන ප්‍රකාශනයක් සහිත නාට්‍ය පිළිබඳ ඔවුන්ගෙන් තමයි අප උත්තේජනය ලබන්නේ. ඒ අනුවයි ඒ කාල වකවානුවේ සමාජ සංවාද බිහි වන්නේ. එහෙත් අද වන විට අපට දැකගත හැකි වන්නේ පැරණි නාට්‍යකරුවන්ගේ වියෝවත් සමග පෙර පරිදි ප්‍රබල ධාරාවන් ඔස්සේ වේදිකා නාට්‍ය බිහි නොවීමේ ඛේදවාචකයයි. වර්තමානය වන විට පැරණි ශිල්පීන් හදපු නාට්‍ය සම්ප්‍රදාය ඛාදනයකට ලක් වීමට ප්‍රධානතව හේතුව ලෙස මා දකින්නේ අධ්‍යාපනික ප්‍රශ්නය හා සමාජ ආර්ථික ප්‍රශ්නයයි.

සියලුම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ ගොඩනැගෙන්නේම පාරිභෝගික සමාජයක් ඉලක්ක කර ගනිමින්. තවදුරටත් සම්භාව්‍ය සාහිත්‍ය, දර්ශනය, නාට්‍ය කලාව වැනි විෂයන් ඉගෙන ගන්න මේ සමාජය උනන්දු වෙන්නේ නැහැ. සමාජයේ තියන සියලුම දේවල් පාරිභෝජනවාදි සංස්කෘතියට සේවය කරන්නයි ගලපන්නේ. අධ්‍යාපනය ගොඩ නැගෙන්නේත් පාරිභෝජනවාදයට සේවය කරන්නයි. කලාව ගොඩ නැගෙන්නේ විනෝදාස්වාදි මාධ්‍යක් ලෙසයි. නාට්‍ය කලාවත් ඒකට හරියන විදිහටම ගොඩනැගෙනවා.

අපට කලාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් ලාලසාවක් තිබුණා. එහෙත් වර්තමාන පරිච්ඡේදයේ බොහෝ දෙනකුට මේ ලාලසාව ඇත්තේ නැහැ. හොඳ නාට්‍යක් බලන්න, හොඳ නාට්‍යක් කරන්න උනන්දුවක් වර්තමාන වේදිකා නාට්‍යකරුවන්ගෙන් කිපදෙනකුට විතරයි තියෙන්නේ. මෙය ලාංකීය වේදිකා නාට්‍ය කලාවට සුබ පෙරනිමිත්තක් නම් නොවෙයි.