හරීන් ආයේ පීනමුද?

ඒ. වික්‍රමසූරිය

ජල ක්‍රීඩා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් මේ මස 14 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ ඉදිරි නිලවරණය සඳහා අවැසි ක්‍රියාමාර්ග ගැනීමටය. දැනට අතුරු කමිටුවක් හරහා පාලනය වන පිහිනුම් සංගමය ජාත්‍යන්තර තහනමටද ලක්වී ඇත. තහනම පිටුපස ඇත්තේ හිටපු සභාපති බව ප්‍රතිපාර්ශ්ව දැඩිව නගන චෝදනාවය.

ජාත්‍යන්තර ජල ක්‍රීඩා සම්මේලනයේ දැනුවත්භාවයකින් තොරව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට අතුරු කමිටුවක් පත් කළ බව චෝදනා ලබන පාර්ශ්වය දෙන පිළිතුරය. කවුරු හරි වැරදිද යන්න සලකා බැලීම පසෙකට කෙරුවද අවසානයේ සිදුවූයේ ජනවාරි 22 සිට 30 දක්වා ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වීමට තිබූ දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවීමට ශ්‍රී ලංකාවට තිබූ දොරගුළු වැසීයෑමය.
සියයකට අධික පිරිසක් මෙයට සහභාගිවීමට නියමිත විය. පරිපාලනයේ කඹ ඇදීම් නිසා ක්‍රීඩාව ආපස්සට යන්නේ නම් එහි වගකීම ගතයුත්තේ කවුද? අතුරු කමිටුවක් පත් කිරීම ඇමති සතු කාර්යයක් වුවත් එය කළයුතු නිවැරදි ක්‍රමවේදයක් පවතී. මෙහිදී ෆයිසර් මුස්තාපා වරද්දා ගෙන ඇත. මෙහි ෆයිසර් මුස්තාපාට වඩා විනාශකාරයා දයාසිරි ජයසේකරය. ඔහු අතුරු කමිටුවක් දැමිය යුතු අවස්ථාව පැහැර හැර පුහුණුකරුවන්ට පාලනය භාරදී කරබාගෙන සිටියේය. ඒ අතපසුව අද ප්‍රශ්න පත්තරයක් නිර්මාණය කර ඇත. එදා ජල ක්‍රීඩා සංගමයේ කෝටියකට අධික මුදලක ගිණුම් නොපෙන්වා පැදුරටත් නොකියා ගිය හිටපු ජල ක්‍රීඩා සභාපතිවරයකු වූ ගමගේ අද නැවත බලයට ඒමට අවැසි පසුබිම හෙළි පෙහෙළි කරමින් සිටී. මේ සැම වන්නේ ක්‍රීඩා ඇමති ප්‍රමුඛ බලධාරීන් නීතිය හරියට ක්‍රියාත්මක නොකළ නිසාය.
හිතුණ සැණින් අතුරු කමිටු පත්කර කරබාගෙන සිටියාට පළක් නොවේ. ඒ පිළිබඳ මව් සංගම් නිසි දැනුවත් කිරීමක් කර තිබිය යුතුය. ඒ කිසිවක් නොකරන ක්‍රීඩා බලධාරීන්ට මව් සංගම් සිහිවන්නේ ජාත්‍යන්තර තරගයක් ආ කලය. ඒ වනවිට පෙරහැර ගොස්ය. දැන් සිදුව ඇත්තේ එයය.

මේ පිළිබඳ අප දිගින් දිගටම ලියූමුත් ඒ සැබෑ බව පිළිගනිමින් ඇමතිවරු කරබාගෙන සිටියහ. වත්මන් ඇමති ක්‍රිකට්වලට සේ ම සෙසු ක්‍රීඩාවලටද උපරිම දායකත්වය සැපයිය යුතුය. තමා කුඩා කල පිහිනුම් ක්‍රීඩාව කළා යැයි මහා ආඩම්බරයෙන් කීවට වැඩක් නැත. අද පිහිනුම් ක්‍රීඩාව විනාශ වී ඇත්නම්. දැන් ඇමතිවරයාට කළ හැකි වැඩ බොහෝය.

පසුගිය සති අන්තයේ සිරස නාලිකාවකට මහ රෑ පැමිණ සිටි පිහිනුම් නිලධාරි පාර්ශ්වයන් අද පිහිනුම් ක්‍රීඩාව පත්ව ඇති අගාධය පෙන්වමින් කිඹුල් කඳුළු හෙළීය. ඒ අතර ප්‍රමුඛයා ජුලියන් බෝලිංය. වත්මන් අතුරු කමිටුවේ ජූලියන්ගේ නියෝජිතයා වූ පියල් නමැත්තකුද ජූලියන්ට හුරේ දමන්නට පැමිණ සිටි අතර සෙසු සාමාජිකයන් ක්‍රීඩා නිලධාරියකු වූ කුලරත්න සහ ක්‍රීඩිකාවකගේ මවකි. මේ මව් පාර්ශ්වය නොවන්නට එතන කතාබහක් නැති තරම්ය.

ව්‍යාජ කිඹුල් කඳුළු හෙළුෑ ජූලියන් පිහිනුම්වල සිටින ලොකුම මුදලාලිය. ඔහුට ඇති ක්ලබ් ගණන ඉහළය. තමාගේ නම දමමින් ඒවාට වෙනත් පුහුණුකරුවන් දමා විශාල ලෙස මුදල් ඉපැයීම ජූලියන් කාලයක පටන් කරන ව්‍යාපාරය. තමා සාග් ශූරයා වූ පිනට ජූලියන් තවමත් යහමින් හම්බ කරමින් සිටී. ඒ ගැන කිසිදු අවුලක් අපට නැත. එහෙත් එහෙව් මුදලාලිලා පිහිනුම් ගැන කිඹුල් කඳුළු හෙළීම අවැඩකි. ජුලියන් ළඟ පිහිනුම් පුහුණු වන ළමුන් දහසකට වැඩි බව සැබෑය. දශක කිහිපයක සිට මේ ව්‍යාපාරය කරන මොහු ජාත්‍යන්තරයට යා හැකි මට්ටමේ ක්‍රීඩකයන් කීදෙනෙක් බිහිකර ඇත්ද? අදටත් ඔහු ළඟ එවැනි සම්පත් ඇත්ද? පිහිනුම් විනාශ කළ ප්‍රධාන පුද්ගලයන් අතර ජූලියන් ප්‍රමුඛයෙකි. ඒ පුහුණුකරුවකු ලෙස ඉහළින්ම වැජඹෙන්නේ ඔහු බැවිනි. ඔහුට ජාත්‍යන්තරය ජයගත හැකි ලොකු ක්‍රීඩක ලැයිස්තුවක් සිටින්නේ නම් කයිවාරු කීවට කම් නැත. පිහිනුම් පුහුණුකාර ධුරයක් යනු අද විශාල වශයෙන් ආදායම් උපයන රැකියාවකි. ප්‍රධාන පිහිනුම් පුහුණුකරුවන් අධ්‍යයනය කළහොත් එය මනාව වටහාගත හැකිය. සෙසු ක්‍රීඩාවලට වඩා මෙහි විශේෂත්වය නම් තරග නොදින්නද පිහිනන්නට පුහුණුවීම වුවද සෑහේ යැයි මාපියන් සතුටු වන බැවින් ළමුන්ව පිහිනුම්වලට යොමු කරති. අවසානයේ සිද්ධවන්නේ පිහිනන්නට පුහුණු කිරීමම පමණි. තරග දිනන්නට නම් මීට වඩා ලොකු සැලසුම් වුවමනාය.

ඊට මෙරට පුහුණුකරුවන්ට වඩා ජාත්‍යන්තර දැනුම සපිරි පුහුණුකරුවන් අවැසිය. ඒ වැඩමුළු හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරුවන්ද යාවත්කාලීන විය යුතුය. ඒවා මිල අධික වැඩය. නියම පරිපාලන ලක්ෂණය කරන්නාගොඩ සමයේදී විජිත ප්‍රනාන්දු මහතාගේ සබඳතා මත ලොව සිටින දක්ෂතම පුහුණුකරුවකු ගෙන්වා මෙරට වැඩමුළු පැවැත්වීය. එහි උපරිම පළ නෙළුෑ අය අදටත් සිටිති. එහෙත් එය ඉන් එහාට ගෙන යන ක්‍රමවේදයක් ඉන්පසු නොවීය. ඒ වෙනුවට සිද්ධ වූයේ එන පරිපාලනයන්ට කිට්ටු වී ජූලියන්ලා තම ව්‍යාපෘති කරගැනීමය. වරද ඇත්තේ එහිය. අදද ජූලියන් කෑගසනුයේ ඊළඟට මිගාර ගුණතිලක ප්‍රමුඛ තම හිතවත් නඩයක් බලයෙහි පිහිටුවන්නටය. අනෙක් පසින් නේතෲ නානායක්කාර නැවත බලයට ඒමට මාන බලන බව පැවසේ. මිගාර ආ කල ජූලියන්ට හොඳය. නේතෘ ආ කල මනෝජ්ට හොඳය. මේ ආකාරයට පුහුණුකරුවෝ සංගම් නිලධාරීන්ට බෙදා ගෙන කලින් කලට හපකරමින් සිටී. මාධ්‍යවලට පැමිණ බොරුවට ශෝක වෙති.

ඉතා ඉහළ මට්ටමේ තිබූ ක්‍රීඩාව මෙතරම් පහළ වැටීම ගැන ඇත්තේ දුකක් බව ජූලියන් කියන විට ඔහුට ඒත්තු ගැන්විය යුතු දේ නම් පිහිනුම් ඉහළ මට්ටමක තිබුණේ ජූලියන්, නේතෘ, මනෝජ්ලා බලයට එන්නට පෙර බවය. එකල ඉතාම හොඳ අවංක පිහිනුම් ගැන මනාව දන්නා පරිපාලනයෙහි දක්ෂයෝ සිටියහ. ඒ සියල්ල පන්නා බලය ඇල්ලූ නේතෘලාගෙන් ජූලියන්ලාගෙන් ඉන්පසු සිද්ධ වූයේ පිහිනුම් විනාශවීමය. සාග්වල පදක්කම් දිනන තරම් පරිපාලනය ලේසි නැත. ජූලියන්ලාට වැරදුණේ එයය.

තම දරුවන්ට අසාධාරණයක් වන විට මාපියන් ඉදිරියට ආ යුතුය. එහෙත් අවසානයේ වන්නේ මාපියන්ද පරිපාලනය කරන්නට පටන් ගැනීමය. පරිපාලනය මුලින්ම කළයුත්තේ මාපියන් පැත්තකට කිරීමය. අද ජූලියන්ලා සමග තම දියණිය දිල්රුක්ෂි පෙරේරා ගැන කතා කරන විනෝදනී පෙරේරා හෙට ජූලියන්ලා බලයට ආ කල සිටිනුයේ මුදුනේය. එවිට තම දරුවන්ට අසාධාරණ නොවෙතැයි සහතිකවන්නේ කෙසේද?

හෙට නැවත පිහිනුම් පරිපාලනය නේතෘලා අතට යා හැකිය. නැතහොත් මිගාරලා අත විය හැකිය. එහෙත් මේ දෙපිරිසම ඇති තරම් මේ ක්‍රීඩාව විනාශ කළ වුන්ය. නේතෘ රැකියාවක් නැතිකමට පිහිනුම් තනතුරු රැකියාවක් කරගත්තෙකි. මේ සිද්ධවන්නේ හෝද හෝදා මඬේ දැමීමකි.

ක්‍රීඩාව ගැන එළිවෙනකම් කතා කළද විසඳුම් වතුරේමය. පිහිනුම් ක්‍රීඩාවෙන් ආදායම් ලබන වුන් පිහිනුම් ක්‍රීඩාවක් ලෙස නගා සිටුවයිද? එසේ කරන්නට මොවුන්ට අවැසි දැනුම ඇත්ද? ඇත්ත නම් මේ අය පරිපාලනය කළහැකි අය නොවීමය. මේ සැමට වුවමනා පරිපාලනයට පැමිණ රට සවාරි යෑමය. පරිපාලනයට පැමිණ සැමට දියුණු විය හැකි නම් මේ ක්‍රීඩාවල නියැලෙන ක්‍රීඩක ක්‍රීිඩිකාවන්ට අනාගතයක් නැත්තේ නිලධාරීන් පෝෂණය වන්නේ ක්‍රීඩකයා සතු සම්පත් සූරාකමින් බැවිනි. වත්මන් ඇමතිවරයා මේ ගැනත් සිතා බැලිය යුතුය.