පුරවැසි සංවිධාන නායකයෝ ආණ්ඩුවට කඬේ යනවා

සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න

ආචාර්ය, කුමුදු කුසුම් කුමාර
(කොළඹ විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යානාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)

 

2015 ජනවාරි 08 වැනිදා දේශපාලන වෙනස විප්ලවයක් විදිහට සැලකුවොත්, මේ වෙන කොට එය පරාජය කරමින් ප්‍රතිවිප්ලවය ජයගෙන තිබෙන බව පෙනෙනවා. හැට දෙලක්ෂයේ කඳවුර බළමුළු ගැන්වූ පුරවැසි නායකයෝ ‘ජනවාරි 8’ වෙනසින් පසු ඉදිරි දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවී පසෙකට වීමත් මේ තත්ත්වය ඇතිවීමට මූලික හේතුවක් වූ බවට චෝදනා එල්ල වෙනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

ඇත්ත වශයෙන්ම එතනදී සිදුවුණේ සිවිල් සමාජ නායකයෝ ආණ්ඩු වෙනස සිදුකර පැත්තකට වීම නොවෙයි. ඒ අයගෙන් සමහරෙක් ආණ්ඩුවෙන් තනතුරු සහ වරප්‍රසාද ගත්තා. සමහර අය ප්‍රසිද්ධියේ කිව්වා “ජනවාරි 8 ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච අය, ඔවුන්ගේ සංවිධානවල සාමාජිකයන් රාජ්‍යයේ විවිධ ආයතනවල තනතුරු ගැනීම කිසිම ගැටලුවක් නෑ” කියලා. ඒකෙන් අදහස් වෙන්න පුළුවන් අපි තනතුරු ගන්නවා, ඒත් අපක්ෂපාතී ලෙස කටයුතු කරනවා කියලා. ඒත් එහෙම දෙයක් වුණේ නෑ. ඒ විතරක් නොවෙයි මේ අය තනතුරු ගැනීමෙන් එහාට ගිහිල්ලා රජයේ යම් පාර්ශ්වවල දූෂිත ක්‍රියා පවා වසන් කිරීමේ තත්ත්වයක ආරම්භයේ හිටියා. හොඳ උදාහරණයක් තමයි මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියා කළ ආකාරය. ඉන් අනතුරුව අපි දකින්නේ සිවිල් සංවිධාන නායකයන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා පිරිස් යහපාලන රජයේ යම් යම් පාර්ශ්වවලට, යම් යම් මතවාදී ආස්ථානයන්ට පක්ෂපාතීව, ඒවාට බොහොම සමීප වෙලා, ප්‍රශ්න කිරීමකින් තොරව ඒ වෙනුවෙන් පෙනී සිටින ආකාරයයි. සාමාන්‍ය ජනවහරේ කියන විදිහට ඔවුන් ආණ්ඩුවට කඬේ යෑමේ සම්ප්‍රදායට බහිනවා.

ඔබ කියන විදිහට ඔය තත්ත්වෙට වැටුණේ ‘ජනවාරි 8’ ට නායකත්වය දුන් සමහරෙක් නම් ඒ අය හැරුණු කොට ඔබත් ඇතුළු ජනමත නායකයන් තවත් විශාල පිරිසක් ‘ජනවාරි 8’ ට නායකත්වය දුන්නානේ. ඔබලා මොනවද කළේ?

ජනවාරි 8 වෙනසින් පසුව මම කලින් කිව්ව පිරිස ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉදිරියට යද්දි අපි දිගින් දිගටම උත්සාහ ගත්තා එයින් වෙනස්ව පුළුල් ජනතා සහභාගිත්වය ඇති පුරවැසි ජනතා ක්‍රියාකාරිත්වයක් රට පුරා ඇති කරන්නට. යහපාලන ආණ්ඩුව ගැන එල්ලවෙමින් තිබුණු විරෝධතා මතු කරමින් අපි යෝජනා කළා මේ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් ඇති කළ යුතුයි කියලා. කනගාටුවට මෙන් අපේ සම්බන්ධකම් තිබුණු සමහර සමාජ නායකයන් එය දැක්කේ අපි ආණ්ඩු විරෝධයක් ගොඩනැඟීමට උත්සාහ දැරීමක් විදිහට. ඉතිං අපේ උත්සාහය එතැනින් ව්‍යර්ථ වුණා. ජනවාරි 8 වෙනසට සම්බන්ධ වෙන කොට මගේ අදහස වුණේ මා කැමැති ආණ්ඩුවක් හදලා, ඒකට ඇතුළුවෙලා, ඒකේ තනතුරු අරගෙන, ඒ වෙනුවෙන් පෙනී සිටිමින්, රාජ්‍ය පාලනයට හවුල්වීම නොවෙයි. දිගින් දිගටම පවතින පුරවැසි ක්‍රියාකාරිත්වයක් ලංකාවේ සමාජයේ මතුවිය යුතුයි කියන අදහසයි මට තිබුණේ. ජනවාරි 8 එය ගොඩනැඟුණත් සමහර සිවිල් සමාජ නායකයන්ගේ ක්‍රියාමාර්ග නිසා එය පවත්වාගෙන යන්නට නොහැකි වුණා. මම මේකට සම්බන්ධ වුණේ වමේ කේන්ද්‍රයෙන් ලැබුණු ආරාධනයක් අනුව පුද්ගලයෙක් වශයෙන් ස්වාධීනව. ඒ හැර වෙනත් කිසිම සංවිධානයකින් නොවෙයි මම සහභාගි වුණේ.

එහෙත් සිවිල් සමාජ සංවිධානවල ක්‍රියාත්මකවීමක් මේ මොහොතේත් දකින්නට ලැබෙනවා. ඊට සෑහෙන ජනතා පිළිගැනීමක් සහ නියෝජනයක් තිබෙන බවකුත් පෙනෙනවා නේද?

ලංකාවේ සිවිල් සමාජ නායකත්වයේ ඉන්න අග නාගරික සහ නාගරික සිවිල් සමාජවලට අයත් ප්‍රධාන පිරිස් නව ලිබරල්වාදය දැඩිව විශ්වාස කරන පිරිසක්. ඒ අය ලංකාවේ ජනතාවගෙන් බහුතරයක් නියෝජනය කරනවා කියන එක අපිට පිළිගන්න අමාරුයි. ඔවුන්ට තිබෙන්නේ ඔවුන්ගේ සංවිධානවල සම්පත් ආශ්‍රයෙන් ගොඩනඟා ගත්ත බලයක්. මේ අය ජනතාවගේ අපේක්ෂා නියෝජනය කරනවා කියලත් අපිට පිළිගන්න අමාරුයි. විශේෂයෙන්ම ආණ්ඩුව ගෙන යන නව ලිබරල්වාදී වැඩපිළිවෙළ ගැන ඔවුන් තුළ කිසිම විවේචනයක් නෑ. ඒ විතරක් නොවෙයි ඒ වෙනුවෙන් පෙනී සිටිමින්, ඒ වෙනුවෙන් වාද ගොඩනඟමින් ජනමාධ්‍යවල තර්ක කරනවා. මට මතකයි ඉන් එක් නායකයෙක් ජනවාරි 8ට පෙර වමේ කේන්ද්‍රයේදී කළ සාකච්ඡාවලදී කියා සිටියා ‘දැන් වමක් නෑ.’ කියලා. ඔවුන් වාමාංශික විරෝධීන්. ඒ අය මේ ආණ්ඩුවේ නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙතට විවිධාකාරයෙන් අනුග්‍රහය දක්වනවා. වෙනත් විදිහකින් කියනවා නම් සිවිල් සමාජයයේ බහුතර පිරිස් අද වෙනකොට මේ රටේ බහුතර ජනතාවගෙන් වියෝවෙච්ච පිරිස් බවට පත්වෙලා තියන බවයි මට නම් පෙනෙන්නේ.

ජනවාරි 8 වෙනසේ ජනතා අභිලාෂය කේන්ද්‍රීය දේශපාලන ප්‍රතිසංස්කරණ අරමුණු කරගත්තක් මිස නව ලිබරල්වාදය ප්‍රතික්ෂේප කිරීම අරමුණු කරගත්තක් නොවෙයි නේද?

මම හිතන්නේ යහපාලන රජය බලයට පත් කිරීමෙන් ජනතාව බලාපොරොත්තු වුණේ නෑ රජය මේ වන විට දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් සිටින නව ලිබරල්වාදී ආර්ථික පිළිවෙත ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ ඡන්දය දුන්නා කියලා. සමහරු කියන්න උත්සාහ කරනවා ඔවුන්ට මෙහෙම කරන්න ජනවරමක් ලැබුණා කියලා. ඒක වැරදියි. ජනාධිපතිවරණයේදී පමණක් නොවෙයි ඉන් පසු මහ මැතිවරණයේදිත් ඔවුන්ට ලැබුණේ රාජපක්ෂ පලවා හැරීමේ විරෝධතා ඡන්ද. අගෝස්තු මැතිවරණයේදීත් ජනතාව බියෙන් හිටියේ මහින්ද රාජපක්ෂ නැවතත් බලයට එයි කියලා. එක්සත් ජාතික පක්ෂයට කවදාවත් ඡන්දය නොදෙන පිරිස්, වාමාංශිකයෝ අගෝස්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නේ ඔවුන්ට නව ලිබරල්වාදය ක්‍රියාත්මක කිරීමේ ඊනියා ජනවරමක් ලෙසින් නොවෙයි. මහින්ද රාජපක්ෂ නැවත බලයට එන එක වළක්වන්නයි. එබඳු ඡන්දයක් නව ලිබරල්වාදී ක්‍රමය ක්‍රියාත්මක කරන්න ලැබුණ ජනවරමක් කියා කවුරුන් හෝ කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම දේශපාලන මිථ්‍යාවක් ගොඩනැඟීමක්.

මේවා ගැන පුළුල් කථිකාවක් සහ එකඟතාවක් පූර්ව මැතිවරණ කාලයේදී ඇති නොවෙන්නේ ඇයි?

ජනවාරි 8 වෙනස දීර්ඝ කාලයක් තිස්සේ, විශේෂයෙන්ම රාජපක්ෂ පාලනය යටතේ දිග්ගැසුණු යම් දේශපාලන ක්‍රියාදාමයකට සමාජය දැක්වූ ප්‍රතිචාරයක්. රාජපක්ෂ පාලනයේ ස්වරූපය නිසා සමාජයේ විවිධ තලවලින් ඊට එරෙහි ප්‍රතිරෝධයක් දීර්ඝ කාලයක් තිස්සේ අඩු වැඩි වශයෙන් මතුවෙමින් තිබුණා. යුද ජයග්‍රහණයෙන් පසු රාජපක්ෂ පාලනය තහවුරු වීම තුළ ඒ විරෝධය තවත් වැඩි වුණා. අපි මරදානේ සාමයික කේන්ද්‍රයේ සාකච්ඡා කරමින් මතු කළ ප්‍රශ්නයක් වුණේ නාගරික දිළින්දන් ඔවුන්ගේ නිවාසවලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමේ ප්‍රශ්නයයි. ඒක ඇරඹුණේ ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරිය පාලනය කිරීමට පටන් ගත් පසුවයි. ඊට එරෙහිව ඒ ජනතාවගේ විරෝධය පෑම තුළ යම්කිසි බලවේගයක් ගොඩනැඟෙමින් තිබුණා. ඒ වගේ තවත් බොහෝ දේවල් තිබුණා රාජපක්ෂ විරෝධයට මුල් වෙච්ච. ඒ නිසාම තවත් කාරණා ප්‍රමාණයක් ප්‍රමාණවත් අවධානයකට ලක්වුණේ නෑ. පොදු අපේක්ෂකයාගේ ඉදිරිපත්වීමේ සිට පැවැති සීමිත කාලය පිළිබඳ ප්‍රශ්නයත් බලපෑවා පුළුල් කථිකාවක් මත වන එකඟතාවක් ඇති නොවීමට.

පුළුල් කථිකාවකට ලක්වුණු සහ එකඟතාවන් ඇති කරගත් ජනතා අභිලාෂ පවා අන්තිමේ ඉටු නොවුණේ ඇයි?

එහිත් යම් සත්‍යයක් තියනවා. ජනවාරි 8 ව්‍යාපාරයේ ප්‍රධානතම සටන් පාඨය වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. හැබැයි ජනවාරි 8 ව්‍යාපාරය ජයග්‍රහණය කරන්නටත් පළමුව අපි දකිනවා මේ තුළ ගොනුවෙච්ච බලවේගවල ස්වරූපය අනුව ඒ ජනතා අභිලාෂයන් පැත්තකට තල්ලුවීම ආරම්භ වෙනවා. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මුලින්ම ජනතා සංවිධාන හතළිස් ගණනක් සමග යම්කිසි ගිවිසුමක් අත්සන් කරනවා. ඊට පසුව ඔහුම ඊට වෙනස්ව චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් ජාතික හෙළ උරුමය සමඟ වෙනම ගිවිසුමක් අත්සන් කරනවා. එතනම ආරම්භ වුණා මේ රජය තුළට ගොණුවෙච්ච බලවේග අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ පරස්පරයක්. සිවිල් සංවිධාන එක පැත්තක. ජාතික හෙළ උරුමය වගේ පක්ෂ එක පැත්තක. අපිට පේනවා දේශපාලන ගතිකය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනත් අගමැති අපේක්ෂක රනිල් වික්‍රමසිංහත් ජනවාරි 8 දේශපාලන ව්‍යාපාරය තුළ ජනතාවට බොරු පොරොන්දු දෙනවා. ඔවුන් විශ්වාස කරනවා ඒ විදිහට ජනතාව අපේක්ෂා කරන දේ කිව්වාම ඔවුන්ට රාජ්‍ය බලය ගන්න පුළුවන් කියලා. මම හිතනවා ඔවුන් දෙදෙනා තුළම තියනවා තම තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර. ඔවුන් දෙදෙනා එකතු වෙන්නේ නිරවුල් අවබෝධයකින් සාමූහික ගමනක් යාමේ වැඩපිළිවෙළක් හදාගෙන නොවෙයි කියලා දැන් අපිට පැහැදිලිව පේනවා. එකතු වෙන්නේ ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වල අවශ්‍යතාව වෙනුවෙන්. සිරිසේන බලයට පත්වෙලා කියන්න පටන් ගන්නවා දේශපාලනයේදී ප්‍රායෝගික තත්ත්වයන් බලන්න ඕනේ කියලා. ඔහු එයින් කියන්නේ මැතිවරණයට පෙර අපි මොනවා කිව්වත් බලයට ආවම වැඩ කරන්න වෙන්නේ මේ විදිහට තමයි කියලයි. මොකද දේශපාලන බලවේග හසුරුවා ගන්න.

ජනාධිපතිවරයා විශ්වසනීය පුද්ගලයකු නොවෙතත් ව්‍යවස්ථාදායකයේ සංයුතිය සැලකිල්ලට ගැනීමේදී ප්‍රායෝගික තත්ත්වයන් මුළුමනින්ම නොසලකා හරින්න බැහැ කීමේ යම් සත්‍යයකුත් තියනවා නේද?
එහි කිසියම් සත්‍යතාවක් තියෙන්න පුළුවන්. ඒත් ජනතාව ඔවුන්ගෙන් අපේක්ෂා කළේ රාජ්‍ය බලය රැක ගැනීම වෙනුවෙන් යම් යම් දේවල් කරමින් බලයේ ඉන්න එක නොවෙයි. ජනතාව අපේක්ෂා කළේ බොහොම රැඩිකල් වැඩපිළිවෙළක්. ජනාධිපති සිරිසේන ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ අවංක දේශපාලන වැඩපිළිවෙළක් ඔහුට තිබුණේ නැති බව අපිට පේනවා. හරිනම් බලයට පත්වීමෙන් අනතුරුව ඔහු කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නව මැතිවරණයකට යාම. එහෙම වුණා නම් ව්‍යවස්ථාදායකයේ සංයුතිය වඩා වාසිදායක තත්ත්වයකට වෙනස් වෙන්න තිබුණා. ඔහු එහෙම කළේ නෑ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගෙන එය රැකගැනීමට වෙහෙසීම නොව තමන් වටා එකතු වෙච්ච මේ රටේ ප්‍රගතිශීලි ස්වාධීන වාමාංශික ජන කොටස් සමග එක්ව හොඳ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීමයි ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ. ඒත් බලයට පත්වූ දා ඉඳලම ඔහුගේ උත්සාහය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟීමේ වැඩපිළිවෙළකට යන්න. එයත් ජනතා අවශ්‍යතාවක් නොවෙයි. ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවක්.

කවර තත්ත්වයන් යටතේ වුවත් ජනවාරි 8 වෙනසින් පසුව රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ යම් පුළුල්වීමක් සිදුවුණා කියන කාරණය ප්‍රතික්ෂේප කළ නොහැකියි නේද?

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිව්වට රජය බලයට පත්වූ දා ඉඳලම, අගමැති දිවුරුම් දීපු දා ඉඳලම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් උල්ලංඝනය වෙනවා. අග්‍රවිනිශ්චයකාරවරයා එළියට දැම්මේ කොහොමද? මොහාන් පීරිස් මොන වැරදි කරලා තිබුණත් ඔහුව එළියට යැව්වේ නීතියේ පාලනය අනුව නොවෙයි. ජනවාරි 8 ප්‍රජාතන්ත්‍රවාදය දිනාගත් මොහොතේ සිටම අපිට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙනවා. මීට වඩා වැදගත් කාරණයක් තියනවා. සිරිසේන මහතාගේ ක්‍රියාකාරිත්වය යටතේ ජනවාරි 8 පරාජය කළ දේශපාලන ප්‍රභූ කොටස් නැවත බොහොම ඉක්මනින් රාජ්‍යතන්ත්‍රයට ඇතුළු වෙලා ඇමතිකම් තනතුරු අරගෙන ඔවුන් තමන්ගේ බලය තහවුරු කරගන්නවා. ඒක සිරිසේන මහතාගේ දේශපාලන ව්‍යාපාරය පැත්තෙන් වෙච්ච දෙයක් පමණක් නොවෙයි. ඇත්ත වශයෙන්ම ජනවාරි 8 සිදුවෙන්නේ ජනතාව මොවුන්ට දේශපාලන බලය ලබා දුන් මොහොතේම ලංකාවේ දේශපාලන ප්‍රභූ පැලැන්තිය, පන්තියක් වශයෙන් පක්ෂ භේදයකින් තොරව දේශපාලන බලය ඔවුන් අතට අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය දියත් කිරීමයි. එහි සංකේතයක් පමණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජිත කොටස් පැමිණ නැවත ඇමතිකම් ගැනීම. ඒත් මෙය සිදුවන්නේ ඊට වඩා දැවැන්ත ලෙසයි. මුල්‍ය ප්‍රාග්ධනයෙන්. අපිට දකින්න ලැබෙනවා එක් එක්කෙනා කොහොමද ජනාධිපති හම්බවෙන්න යන්නේ. ඒ අර අපි පරාජය කළා කියන පන්තිය පිටුපස සිටි දේශපාලන ප්‍රභූ පැලැන්තිය හා ඔවුන් හා අත්වැල් බැඳගත්ත මූල්‍ය ප්‍රාග්ධනය හිමි කොටස්. ධනපති කොටස්. ඔවුන් සියල්ලම මේකට ඇතුල් වෙනවා. එතකොට තමයි අපිට පැහැදිලි වෙන්නේ අපි ලබපු ජයග්‍රහණයක් නෑ කියලා.