ඔඩු දුවන සුඩාන අර්බුදය

එස්. නන්දලාල්

සුඩානයේ ඛාටුම් අගනුවර පසුගිය සතිය පුරා ද විරෝධතා පැවැත්විණි. එහි දී අහ්මඞ් අල්-ඛෙයිර් නම් 34 හැවිරිදි පාසල් ගුරුවරයකු පොලීසිය විසින් මරා දමනු ලැබීමත් සමග ජනාධිපති ඔමාර් අල්-බෂිර්ට එරෙහි උද්ඝෝෂණ තවත් දැඩි බවට පත් ව තිබේ. විරුද්ධ දේශපාලන පක්ෂයක් වන ඉස්ලාමික ජනප්‍රිය කොංග්‍රස් පක්‍ෂයේ ඉදිරිපෙළ සාමාජිකයකු වන මොහු පොලීසිය විසින් ඝාතනය කරනු ලැබ ඇත්තේ ඊට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටිය දී ය.

රැඳවුම්භාරයට ගත්තවුන් මරා දැමීම සුඩාන පොලිසියේ අලුත්ම මෝස්තරය වී ඇති බව සඳහන් ය. පසුගිය සතියේ ඔවුන් විසින් එබඳුම වෛද්‍ය ශිෂ්‍යයකු ද ඝාතනය කරන ලදි.
වෛද්‍යවරුන්, ඔසදවටුවන්, හෙදියන්, ශිෂ්‍යයන්, නීතිඥයන්, යනා දී සියලු තරාතිරම්වල ජනයා මේ වනවිට සිය සංවිධානවල බැනර යටතේ පාරට බැස සිටිති. පොලීසිය හා හමුදාව එක් ව කරන කඳු`ඵ ගෑස් හා වෙඩි ප්‍රහාරවලට නිරායුධව වීදි බැස සිටින ඔවුන්ගේ ප්‍රතිචාරය වන්නේ ‘නිදහස, සාමය, සාධාරණත්වය’ යනුවෙන් ශබ්ද නගා හඬ ගෑම පමණි.සුඩානයේ නැත්තේ ද ඒවාම ය.

රටේ ආර්ථිකයේ පිරිහීමට වගකිවයුත්තේ 31 වසරක් පුරා අසුන අරා සිටින ජනාධිපති බෂිර් වුව ද ඔහු හෝ ඔහුගේ ආණ්ඩුව හෝ ඒ බව පිළි නොගනියි. ඔවුන් මේ උද්ඝෝෂණ දකින්නේ 2011 දෙසැම්බර් මස ඇරැඹී 2012 වසර පුරා පැවැති අරාබි නැගීසිටීම්වල වෙනස් මුහුණුවරක් ලෙස ය. ඒ නිසා එය මර්දනය කිරීම රජයට පැවරී ඇති මෙහෙවරක් බව ජනාධිපති බෂිර් ජනවාරි 26දා කයිරෝ හි දී පැවසී ය. ඒ ඊජිප්තු ජනාධිපති හමුවීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවක දී ය.

ඊජිප්තුව ද අරාබි නැගීසිටීම්වලට මුහුණ දුන් අතර ජනතාවගේ විරෝධතා ඉදිරියේ 1981 සිට එරට පාලනය කළ දුර්දාන්ත මිනිසා වූ හොස්නි මුබාරක්ට 2012 පෙබරවාරි මාසයේ අසුනින් බැස යන්නට සිදුවිය. එරට වර්තමාන ජනාධිපති අබ්දෙල් ෆාටා එල්-සිසිට බලයට පත්වන්නට හැකි වූයේ ජනතාව තුළින් පැන නැගි විරෝධතා හමුවේ පාලනය වෙනස්වීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීම නිසා බව ඒ අවස්ථාවේ බෂිර්ට මෙන් ම එල්-සිසිට ද අමතක වූවා වන්නට ඇත. එල්-සිසි අයත් වන්නේ විප්ලවයෙන් පසු පාලනය භාරගත් දෙවන පරපුරට ය.

එහෙත් සුඩාන ජනතාවගේ පැත්තෙන් එය එසේ නොවේ. කොයි වෙලේ ගියත් ඒටීඑම් යන්ත්‍රවල මුදල් නැත. ආහාර ද්‍රව්‍ය හිඟ ය. තිබුණත් මිල ඉතා අධික ය. පැය අටක් වෙහෙසී එන කම්කරුවා පාන් පෝලිමේ පැය හතරක් සිටිය යුතු ය. ඉස්සර සුඩානයට තමන්ගේ ම කියා ෆොසිල ඉන්ධන තිබිණි. දැන් සුඩානය සතුව ඒවා නොමැති අතර ලෝකයේ ෆොසිල ඉන්ධන මිල ඉහළ ම රට එය බව පිළි ගැනේ.
අල්-බෂිර් යටතේ සුඩානයේ වාර්තාව යහපත් එකක් නොවේ. ඔහු යටතේ සුඩානයේ කිසිදා සාමයක් නම් නොවී ය. 1993 ක්ලින්ටන් පාලන සමයේ එරට ත්‍රස්ත රාජ්‍ය ලේඛනයට ඇතුළත් කොට සම්බාධක පැනැවිණි. එය අල්-ඛයිඩා, හමාස් සහ හිස්බුල්ලා යන අවිගත් ජනඝාතක කණ්ඩායම් සමග සමීප සබඳතා පවත්වමින් ඒවායේ නායකයන්ට රැකවරණය සලසා දුන් රාජ්‍යයක් ලෙස එරට නම් දරා සිටියි. ඔසාමා බින් ලාඩන් 1992 සිට 1996 දක්වා සුඩානයේ රහසේ දිවි ගෙවූ බව පසුව අනාවරණය විය. ඒ බෂිර්ගේ කාරුණික අනුග්‍රහය යටතේ බවට චෝදනා කැරිණි. එහෙත් සුඩාන රජය ත්‍රස්තයන්ට රැකවරණය සැපයී ය යන චෝදනාව ප්‍රතික්‍ෂේප කරයි. ‘බින් ලාඩන් මෙහි සිටි බව ඇත්තයි. ඒ කාලයේ ඔහු ත්‍රස්ත ව්‍යාපාරයකට සම්බන්ධ වී සිටියේ නෑ. ඔහුගේ ඉදිකිරීම් සමාගමක් මෙහි තිබුණා. ඔහු එහි කටයුතුවල නිරත වී සිටියා’යි සුඩාන විදේශාමාත්‍ය එල්-ඩර්බිරි පැවසූ බව වීඕඒ වෙබ් අඩවියේ පළ වී තිබිණි.

සුඩානය මේ වනවිට අමෙරිකාවේ ත්‍රස්ත රාජ්‍ය ලැයිස්තුවෙන් සිය නම ඉවත් කරවා ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටියි.

එහිදී අමෙරිකාව පෙන්වා දී ඇති තවත් කාරණයක් නම් සුඩානය, දකුණු සුඩානය නම් ස්වෛරී රාජ්‍යයට එදිරිවාදුකම් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි. ඊට පිළිතුරු වශයෙන් එල්-ඩර්බිරි පවසා ඇත්තේ සිය රට දකුණු සුඩානය සමග එදිරිවාදුකම් අත්හිටුවීමේ ගිවිසුමක් අත්සන් තබා මාස දෙකක් පමණ ගත වී ඇති බවයි.

ඔමාර් අල්-බෂිර් කලක් ඉරානය සමග ද සබඳකම් පැවැත්වී ය. 1993 දී ඇරැඹි ඒ සබඳතා අනුව ඉරාන සන්නද්ධ කණ්ඩායම්වලට සුඩානය රක්‍ෂාවරණස්ථානයක් වී තිබිණි. අමෙරිකාවේ දැඩි බලපෑම් නිසා 2015 වසරේ ඒ සබඳකම් නවත්වා දමන්නට සුඩානයට සිදුවිය. හේතුවක් ලෙස පෙන්වා දෙන ලද්දේ යේමන යුද්ධයට ඉරානය පහසුකම් සලසන නිසා ඊට එරෙහි ව තමන් ඉරානයට විරුද්ධ බවයි.
සුඩානයේ මානව හිමිකම් වාර්තාව කිසිදිනෙක යහපත් තත්ත්වයේ පැවතියේ නැත. බෂිර්ගේ පාලනය එබඳු සිද්ධින්ගෙන් පිරී පවතී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ හ්‍යුමන් රයිට්ස් වොච් ඒ පිළිබඳ ව සපයා ඇති වාර්තාවලින් ඒ බව පැහැදිලි වෙයි. අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ද ඒ පිළිබඳ වාර්තාවක් (Fact Sheet) 2005 සැප්තැම්බරයේ පැවැති එක්සත් ජාතීන්ගේ 60 වන සමු`ඵවට ඉදිරිපත් කළේ ය. විශේෂයෙන් ම ධාර්පූර්හි අරාබි නොවන ජනයා සංහාරය කිරීමට රජයේ හමුදා පියවර ගැනීම නිසා උද්ගත වූයේ බරපතළ තත්ත්වයකි.

මේ හේතුව නිසා 2008 ජූලි මස එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණයේ ඔමාර් අල්-බෂිර්ට එරෙහිව අධිචෝදනා ගොනු කරන ලදි. මනුෂ්‍යත්වයට එරෙහි පංචම චෝදනා ඔහුට එල්ල කෙරේ. මිනීමැරීම, සමූලෝත්පාඨනය (extermination), බලාත්කාරයෙන් අන් තැනකට යැවීම, වද දීම සහ ලිංගික දූෂණය යනු ඒ පහයි. වාර්ගික සමූලඝාතනය (genocide) යන චෝදනාව ඒ අවස්ථාවේ ඉදිරිපත් නොකෙරිණි. එහෙත් ධාර්පුර් හි අරාබි නොවන ජන වර්ග තුනක් මිහිතලයෙන් අතුගා දැමීමේ අරමුණ ඇතිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයේ යෙදුණු බවට පසුව චෝදනා කැරිණි.

ඔහු අධිකරණය හමුවට පැමිණීමෙන් වැළකී සිටියේ ය. ඒ අනුව 2009 මාර්තු සහ නැවත 2010 ජූලි මස වරෙන්තු නිකුත් කළත් ඔහු සුපුරුදු පරිදි අධිකරණයට නොපැමිණේ. අන්තර්ජාතික යුද අපරාධ අධිකරණය පිහිටුවීමේ රෝම සම්මුතියට සුඩානය අත්සන් තබා නොමැති නිසා ඔහුට චෝදනා කරන්නට එම අධිකරණයට බලයක් නැතැයි බෂිර්ගේ හිතවත්තු ප්‍රකාශ කරති.
මු`ඵ අරාබි ලෝකයම සහ සමස්ත අප්‍රිකාව ද බෂිර්ගේ පැත්තේ ය. ඔහුගේ හිතවත්තු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අභිචෝදක ලුයිස් මොරෙනෝ ඔකැම්පෝ ට නොයෙක් අන්දමින් පරිභව කරති. එකල ලිබියාවේ ජනාධිපති මෙන් ම අෆ්‍රිකානු සංගමයේ සභාපති වූ මුවම්මර් අල්-ගඩාෆි එසේ පරිභව කළ අය අතර ප්‍රමුඛයා ය.

අල්-බෂිර් විසින් රටේ ධනය කොල්ලකෑමෙන් උපයන ලද මුදල් විදෙස් බැංකුවල සඟවා තිබෙන්නේ ය යන චෝදනාව ඉදිරිපත් කෙරේ. ඔකැම්පෝ පෙන්වා දෙන්නේ ඒ බව එම රටවල් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ නම් අල්-බෂිර්ට ජනතාවගේ ඇති ලැදියාව නැතිවනු ඇති බවයි. එහෙත් කිසිම රටක් එසේ කරන්නේ නැත. ඊට පිළිතුරු වශයෙන් අල්-බෂිර් කියන්නේ මේ සියල්ල නීතියට නොගැළපෙන ඔකැම්පෝ නම් මිනිහාගේ ප්‍රබන්ධ බවයි. සිය රටේ බැංකුවල තමාගේ මුදල් නොමැති බව බි්‍රතාන්‍ය මුදල් ඇමති කියන්නේ නම් ඔකැම්පෝ එසේ කියන්නේ කෙසේ ද?
චුදිත නොව චෝදක ප්‍රශ්න කෙරෙන ලෝකයකි මේ.

සුඩාන ජනතාව භේදයකින් තොරව දැන් වීදි බැස සිටියාට ඉහත සඳහන් යුද අපරාධ චෝදනා ඉදිරිපත් වූ දවස්වල එරට ජනතාව පාරට බැස උද්ඝෝෂණය කළේ අල්-බෂිර් වෙනුවෙනි. ඔහු රැකගන්නට ය. එහෙත් දැන් තත්ත්වය වෙනස්වෙලා ය. දැන් එරට වැසියන් සිය දහස් ගණනින් වීදි බැස උද්ඝෝෂණය කරමින් සිටින්නේ ඔහු කෲර පාලකයකු බව කියමින් ඔහු ඉවත් කිරීමේ අභිලාෂයෙනි. මේ වනවිට මේ විරෝධතාවලට අවුරුද්දක පමණ කාලයක් ගත වී ඇතත් සිවිල් වැසියන් ඝාතනය වනවා විනා වෙනසක් සිදුවන්නේ නැත.