දේශපාලන පාපන්දුවක් වූ වතු කම්කරු වැටුප

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

“ඡන්දය දුන්නොත් අපේ ළමයින්ට හොඳ අනාගතයක් හදනවා කියලා ඡන්දේ කාලෙට දේශපාලනඥයෝ ඇවිත් අපට කියනවා. ඒත් ඒ කතා ඔක්කෝම හැමදාම බොරු වුණා. ඒ අය හැමදාම අපිව රැවැට්ටුවා. ඒ හැම දේශපාලනඥයකුගේ ළමයි හොඳ ඉස්කෝලවල ඉගෙන ගත් අයයි. ඒ ළමයි දැන් ඉන්නේ පිටරටවල. ඒත් අපේ දරුවන්ට ඕනෑකරන පොතක් පෑනක් අරන් දෙන්න බස් වියදම දෙන්නවත් අපට පුළුවන්කමක් නැහැ. දිගම්බරන් වුණත්, වඩිවෙල් සුරේෂ් වුණත්, තොණ්ඩමාන් වුණත්, මනෝ ගනේෂන් වුණත් අපට කමක් නෑ. අපි කියන්නේ අපිට යාන්තමින් හරි ජීවිතය ගැටගහගන්න රු. 1000ක දවසේ වැටුප දෙන්න කියලායි.“ ඒ වතු කම්කරුවන්ගේ වැටුප් වර්ධනය කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක නියුතුවූවන් අතුරින් පී. ක්‍රිෂ්ණ කුමාර් පැවසූ අදහසකි.

වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් දෙවසරකට වරක් අත්සන් කරන සාමූහික ගිවිසුම මෙවර අත්සන් කිරීමට නියමිතව තිබුණේ 2018 ඔක්තෝබර් 15වන දාය. අවසානයේ දෛනික වැටුප රු.700 බවට තීරණය කරමින් ගිවිසුම අත්සන් කළ ද ඒ සම්බන්ධයෙන් වතු කම්කරු ප්‍රජාව, සිවිල් සංවිධාන, ඇතැම් දේශපාලනඥයන් ආදී පාර්ශ්ව ගණනාවකින් මතුවූ විරෝධය හේතුවෙන් එය අවසන් තීරණයකට පැමිණියේ නැත. වතු හාම්පුතුන්ගේ සංගමය සමග ඊට අත්සන් තබා තිබුණේ ද ලංකා කම්කරු කොංග්‍රසය හා ලංකා ජාතික සේවක සංගමය පමණි.

2015 වසරේ ද වතු සමාගම් පාඩු ලබන බව පවසමින් ගිවිසුම අත්සන් තැබීම මාස 18ක් ප්‍රමාද කෙරුණි. එසේ ප්‍රමාද කළ මාස 18 වෙනුවෙන් හිඟ වැටුප් ගෙවීමේ පොරොන්දු ද තිබුණත් එවැනි හිඟ වැටුප් වතුකම්කරුවන්ට හිමි නොවීය. දිගින් දිගටම ප්‍රමාද කර අවසානයේ 2016 වසරේ ඔවුන්ගේ මූලික වැටුප වර්ධනය වූයේ ද රු. 50කින් පමණි. ඒ රු. 450ක් ලෙස තිබූ දෛනික වැටුප රු. 500 දක්වා වර්ධනය කරමිනි.

මේ අතර මෙවර ගිවිසුම අත්සන් කිරීමෙන් පසු දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ වතු කම්කරු දෛනික වැටුප රු. 1000 දක්වා වර්ධනය නොකළහොත් තමන් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීම පිළිබද තීරණයකට එළඹෙන බවය. ඒ සම්බන්ධයෙන් ඔවුහු අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා පවත්වා තිබූ අතර වතු සමාගම් සමග ද සාකච්ඡා පැවැත්වීමට සූදානම්ය. ඒ වන තුරු වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගිවිසුම ගැසට් කිරීම ද තාවකාලිකව කල් දැමීමට තීරණය කර තිබිණ. මේ සම්බන්ධයෙන් පලනි දිගම්බරන් ආමාත්‍යවරයාගෙන් රාවය කළ විමසීමක දී ඔහු සදහන් කළේ වතු හාම්පුතුන්ගේ සංගමය සමග පෙබරවාරි 7වන දින මනෝගනේෂන් අමාත්‍යවරයා ඒ සම්බන්ධව සාකච්ඡා පැවැත්වීමට නියමිත බවය.

ගිවිසුමට එකඟව අත්සන් කළ එක් පාර්ශ්වයක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) උප සභාපති කනපති කනකරාජාගෙන් රාවය කළ විමසීමක දී ඔහු දැක්වූයේ මෙවන් අදහසකි. “අපි මේ ගැන වතු සමාගම් සමග මාස හයක පමණ කාලයක සිට සාකච්ඡා කරමින් සිටියා. ඒ අනුව ඔවුන්ට ලබා දිය හැකි උපරිම වැටුප ලෙස දැනට තිබෙන රු.500 මූලික වැටුප රු700 දක්වා වැඩි කිරීමට එකඟ වුණා. ගිවිසුම අත්සන් කරන්න කලින් වතු කම්කරුවන් දිගින් දිගටම කීවේ ඒ අයට ලැබෙන්නේ රු. 500යි කියලයි. ඒ ඔවුන්ගේ මූලික වැටුපයි. පැමිණීමේ දීමනා, නිෂ්පාදන දීමනා විවිධ හේතු නිසා නොලැබෙන බවත් ඔවුන් කීවා. දැන් මූලික වැටුප රු. 500 ඉඳලා රු.700 දක්වා වැඩි කළාට පස්සේ ඒ අය කියනවා ඒ අයට කලින් රු. 730ක් ලැබුණා, ඒ නිසා වැටුප ඇත්තටම වැඩිවෙලා තියෙන්නේ රු. 20කින් විතරයි කියලා. දැන් කවුද බොරු කියලා තියෙන්නේ.” කනකරාජා පවසන්නේ වතුකම්කරුවන් සමග ද සාකච්ඡා කරමින් මෙම තීරණයට අවසානයේ එළඹුණු බවය. එහෙත් දේශපාලනඥයන් හෝ මේ සම්බන්ධව සාකච්ඡා කර වතු කම්කරුවන්ට මීට වඩා වැඩි වැටුපක් ලබා දීමට කටයුතු කළහොත් ඊට තමන්ගේ විරෝධතාවක් ද නොමැති බව ඔහු පවසයි.

“දෛනික මූලික වැටුප රු.1000 කරන්න කියන ඉල්ලීම මුලින් ඉදිරිපත් කළෙත් අපිමයි. මොකද අපි වැඩිපුර ඉල්ලුවොත් තමයි ඒ ආසන්නයටවත් යන්න පුළුවන් වෙන්නේ. එහෙම දිගින් දිගටම මේ ගැන එකඟවෙමින් නොවෙමින් සාකච්ඡා පවත්වා අවසානයේ රු.750 (මූලික වැටුප රු.700 සහ ස්ථිර දීමනාව රු.50) කියන එකඟතාවට ආවා. මේ ගැන දැන් වැඩිපුර කතා කරන්නේ වතු කම්කරුවන් නෙමෙයි. ඇත්තටම ඒ අයට මේ කම්කරුවන් ගැන කැක්කුමක් තිබෙනවා නම් අපිට ඒ ගැන සතුටුයි. ඒත් ඒවා පිටුපස තියෙන්නේ වෙනත් අරමුණුයි. මේකෙන් දේශපාලන වාසි ලබාගන්න තවත් පිරිසක් උත්සාහ කරනවා. මේ වෙලාවේ කඳුරට දේශපාලනඥයෙක් වැටුප් ගැන ප්‍රකාශයක් කළත් ඒක ඔවුන්ට දේශපාලන වාසියක් බවට පත්කර ගන්න පුළුවන්. දැන් උද්ඝෝෂණ සඳහා පාරට එන්නේ කම්කරුවන් නෙමෙයි. වතු කීපයක පාක්ෂිකයින් පාරට ඇවිත් රටම පාරට ආවා මෙන් පෙන්වන්න උත්සාහ කරනවා.” කනපති කනකරාජා පවසයි. තමන් වතු කම්කරුවන්ගේ උපවාස, උද්ඝෝෂණ අවතක්සේරු නොකරන නමුත් ඒවා තුළ යථාර්ථය පැවතිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

රු.750ක දෛනික වැටුපක් වතු කම්කරුවකුගේ පවුලක පැවැත්මට ප්‍රමාණවත් යැයි සිතනවාද යන පැනයට ඔහුගේ පිළිතුර වූයේ තමන් එය ප්‍රමාණවත් යැයි නොසිතන බවත් ඊට වැඩි වැටුපක් සඳහා වතු සමාගම් එකඟ නොවූ බවත්ය. මුලින්ම වතු සමාගම් එකඟ වූයේ රු. 600ක වැටුපක් ලබාදීමට වුවත් මාස හයක් පුරා සාකච්ඡා කරමින් උපරිමය ලබා ගැනීමට කටයුතු කළ බවය. “මේ ගැන සාකච්ඡා සියල්ල අවසානයේ රු.750ක් ලෙස ගිවිසුම අත්සන් කිරීමට තීරණය කර තිබෙන බව දැන දැනත් එය අත්සන් කිරීමට පෙර මේ ගැන මනෝ ගනේෂන් අමාත්‍යවරයාවත්, දිගම්බරන් අමාත්‍යවරයාවත් කතා කළේ නෑ. ඒ මෙහි දේශපාලන වාසිය ලබා ගැනීමටයි. අත්සන් කළ පසු හදිසියේ මෙන් දැන් ද්‍රෝහිකම් කළා කියලා කියනවා. ඒ අයට උනන්දුවක් තිබුණා නම් මෙය අත්සන් කරන්න කලින් එය නතර කරලා සාකච්ඡාවලට යන්න තිබුණා. ඒත් එහෙම කළේ නෑ.”

කෙසේ නමුත් රු.700ක දෛනික මූලික වැටුපකට එකඟවූවන්ගේ අදහස වන්නේ මෙතෙක් ලැබුණු වැටුප රු. 500 යැයි කෑමොර දුන්නා නම් දැන් රු.700ක් දීම යම් මට්ටමකට සාධාරණ බවය. එමෙන්ම පැමිණීමේ දීමනා, නිෂ්පාදන දීමනා තමන්ට නොලැබෙන බැවින් වතු කම්කරුවන් ඉල්ලා සිටියේ ඒවා වෙනුවට තමන්ට ස්ථිර වැටුපක් බවය. ඊට විරෝධය දක්වන්නන් පවසන්නේ පැමිණීමේ දීමනාව, නිෂ්පාදන දීමනාව ආදී සියල්ල සමග මීට පෙර වතු කම්කරුවෙකු රු.730ක දෛනික වැටුපක් ලබා තිබූ නමුත් මෙවර සිදු කර ඇත්තේ පැමිණීමේ දීමනාව හා නිෂ්පාදන දීමනාවද කපාහරිමින් දෛනික වැටුප රු.750ක් කර ඇති බවය, ඒ අනුව වැටුප වැඩිවී තිබෙන්නේ රු.20කින් පමණක් බවය. මේ සියලු තර්ක විතර්ක මධ්‍යයේ පීඩනයට පත්ව සිටින්නේ තවමත් සොච්චම් වැටුපකට හිමිකම් ලබමින් දුක් විඳිමින් ජීවිතය ගැටගසා ගැනීමට වෙර දරන වතු කම්කරුවෝය. ජීවන වියදම් ඉහළ ගියද, අනෙකුත් සේවයන්හි යෙදෙන්නන්ගේ වැටුප් කෙලෙස වර්ධනය වුව ද පහසුකම් කෙසේ සැලසුණ ද වතු කම්කරු ජනයාගේ ජීවන තත්ත්වය තවමත් පවතින්නේ ඉතා පහළ අඩියකය. ඔවුන්ගේ අනෙකුත් සුබසාධන කටයුතු ද පවතින්නේ කිසිසේත් යහපත් මට්ටමක නොවේ. එහෙත් වතුකරයෙන්ම බිහිවූ දේශපාලනඥයන් ද සිටිය ද වතු කම්කරු ජනයා මුහුණදෙමින් සිටින ඛේදවාචකයට නිසි විසඳුම් උදාවන බවත් තවම පෙනෙන්නට නැත.

වතු කර්මාන්තය මෙරට රජය යටතට පත්වන්නේ 1972 දීය. එතැන් සිට වසර විස්සක පමණ කාලයක් ශ්‍රී ලංකා වැවිලි සංස්ථාවත්, ජනතා වතු සංවර්ධන මණ්ඩලයත් යටතේ වතු කර්මාන්තය පැවතියෙන් කම්කරු වැටුප්, සුබසාධන ආදී ක්‍රියාවලිය රජයේ මැදිහත්වීමෙන් සිදුව තිබුණි. එහෙත් 1992 සිට අද දක්වා නැවතත් වතු පාලනය පෞද්ගලික සමාගම් සතුවීම සමග වතු කම්කරු ජනයාගේ ජීවන තත්ත්වයන්ට වගකිවයුතු පාර්ශ්වය කුමක් ද යන්න පිළිබඳ ගැටලු රාශියක් මතුවේ. එතැන් සිට පාර්ශ්ව තුනක් විසින් දෙවසරකට වරක් අත්සන් කරන සාමූහික ගිවිසුම මගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය තීරණය වේ. වතු හාම්පුතුන්ගේ සංගමය සමග වෘත්තීය සමිති තුනක් (ලංකා කම්කරු කොංග්‍රසය, ලංකා ජාතික සේවක සංගමය, ඒකාබද්ධ වෘත්තීය සමිතිය) එක්ව එම ගිවිසුම අත්සන් කරයි. එම ගිවිසුමට අනුව වර්ධනය විය යුත්තේ වතු කම්කරු වැටුප පමණක් නොවන අතර කම්කරු සුභසාධනය, පහසුකම් ආදිය ද වර්ධනය විය යුතුය.