සබරිමාලා: ස්ත්‍රීන්ගේ (අ)ශුද්ධත්වය සහ නීති දෙවඟනගේ පාරිශුද්ධත්වය

මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි

wasanthimanik@yahoo.com    

පෙර‘පර දෙදිගම ඉතිහාසයේ විවිධ කාලවල පදනම් විරහිත විවිධ හේතු ඉදිරිපත් කරමින් ඍජු කර්කශ පරිභවයන්ට මෙන්ම ව්‍යංග අපහාස සහ උපහාසයන්ට අනාදිමත් කාලයක සිට ස්ත්‍රිය ලක්ව ඇති බව මුසාවක් හෝ අතිශයෝක්තියක් නොවේ. වෙනත් කරුණු කාරණා ගැන නම් දැරූ ප්ලේටෝ, ඬේකාට්ස්, තෝමස් ඇක්වයිනාස්, හේගල්, රූසෝ වැනි බටහිර වියතුන් පවා ස්ත්‍රිය ‘තාර්කික බුද්ධියක් නැති, ගැඹුරු දෑ ග්‍රහණය කළ නොහැකි, චපල තැනැත්තියකු ලෙස ගැරහුමට ලක්කොට ඇත. ආදී-ග්‍රීක සම්භාව්‍ය සාහිත්‍යය මෙන්ම සංස්ථාගත ආගමික කතිකාවද ස්ත්‍රිය පහත්, විශ්වාස කළ නොහැකි, බොළඳ තැනැත්තියක් ලෙස දක්වා ඇත. උදා: ආදී ග්‍රීක Hesoid හීත ප්ලේටෝගේ Apology හී සොක්‍රටීස්ගේ උසාවි ප්‍රකාශය-‘උසාවියකදී අභයදානයක් ඉල්ලා සිටින්නා ස්ත්‍රීන්ට දෙවැනි නැත.’) “ඔසප්වන ස්ත්‍රීන් වනාහී ලෞකිකත්වයේ පාපී ප්‍රකාශනයයි.” “ස්ත්‍රීන් වනාහී අපා දොරටුය“. (එදා පල්ලි පූජක ප්‍රජාවේ පොදු මතය) ඉස්ලාම් ආගමද ස්ත්‍රියව ජීවවිද්‍යා, සාමාජීය සහ ආගමික වශයෙන් කොන් කොට තැබීය. මෙකා පූජනීය ස්ථානයේ Kaaba සමීපයට ගොස් ‘පංච යාඥා’ (five prayers) හෙවත් ‘සලාත්’ වන්දනයෙන් දෙවියන් පිදීම 2006 දී සෞදි අරාබිය විසින් ස්ත්‍රියට තහනම් කිරීම. ‘දෙවියන් විසින් පළමුව ‘ඇඩම්’ නමැති පුරුෂයාව මවා දෙවනුව ඔහුගේ සමාගම සහ සහාය සඳහා මැව්වේ දෙවියන් විසින් ‘ඊව්’ නමැති ස්ත්‍රිය පුරුෂයාගේ උකුල් ඇටයකිනි.” (හීබෘ බයිබලය) මේ අනුව Simone de Beauvoir  ගේ සුප්‍රසිද්ධ පොතක ශීර්ෂයෙන් දැක්වුවහොත් ස්ත්‍රිය Second Sex  ලෙස බටහිර තිරව ස්ථාපිත වෙනුයේ ආගම හරහාය.

ස්ත්‍රිය පිළිබඳ පැරණි භාරතීය මූලග්‍රන්ථ ආකල්පය ව්‍යාකූලය. වරෙක හෝ තැනෙක ස්ත්‍රිය ගරුත්වයකින් සලකා ඇතිමුත් (උදා. රාමායනය, මහාභාරතය, භගවත්ගීතා.9.32) මේවායෙහිම ස්ත්‍රිය පුරුෂයාට පහළින් නිතරම නිරූපණය කර තිබීම මෙයට හේතුවයි. සමහර ප්‍රකාශයන් සහ සැලකීම් බටහිරට වඩා දෘඪ ලෙස ස්ත්‍රී විරෝධීය. හිංසකය. සාක්ෂීන් අපමණ ඇතද උදාහරණ කිහිපයක් කෙටියෙන්. වේදග්‍රන්ථ(යජූර්) බ්‍රාහ්මණ (ශතපත) උපනිෂද් (බෘහදාරණ්‍යයක-ගාගි බැමිණිය ඇසු ප්‍රශ්න වැල පුරුෂ දාර්ශනික යඥාවාලක්‍යය විසඳුවේ මෙසේය. “කට වහපන් ගෑනියේ. නැත්නම් තිගේ හිස කුඩු කරනවා” යන තර්ජනයෙනි). මනුනීතිය 9:2-3. භගවත්ගීතා 9.32. රාමායණය (අයෝධ්‍යා කාණ්ඩය.100.49) සහ මහාභාරතය (අනුශාසනාපාර්ව) යන මහා කාව්‍යයන්ගෙන්ද ස්ත්‍රී විරෝධී ප්‍රකාශ සහ සැමියාට වඩා පහත් භවයක් ඇත්තියක් ලෙසත් නිරූපණය වූ ස්ථාන රාශියක් සොයාගත හැකිය. “ස්ත්‍රීන්ට සැමියා තරම් වටිනා ආභරණයක් නැත.” (වාල්මිකී රාමායණය-16-26). ”ස්ත්‍රියට ඇය ජීවත්වෙන තාක් දෙවියා වෙනුයේ තම සැමියාය.’ (රාමායණය 24).

එහෙත් පසුකාලයකදී ස්ත්‍රිය පහත් ලෙස සැලකීමට භාරතීය ආගමික පුරුෂයා පාවිච්චි කරනු ලැබුවේ ඇයට ස්වාභාවික වූ ජීවවිද්‍යාත්මක ඔසප් ක්‍රියාවලියයි. අනාදිමත් කාලයක සිට ඇයට දෙවොල් දොරටු වැසනුයේද මේ කරුණ නිසාය. ඔසප් සමයේදී ඇය ස්පර්ශ කරන යමක් වෙත්නම් එය කිලිටිවන්නේයැයි සැලකීම. “ ස්වාමි පැරුෂයා වෙත ගොස් මාස්-ශුද්ධ පාපය සමාකර ගැනීම, එම කාල සීමා තුළ කුටිවල තනිකර තැබීම, ආදිය ස්ත්‍රීිය ගර්හාවට ලක්කළ කරුණුවලින් බිඳකි. ස්මෘති සාහිත්‍යයෙන්ද ස්ත්‍රීයගේ ඔසප්වීම ගර්හාවට ලක්කොට තිබිණ. “තරුණියක් ඔසප් චක්‍රය තුළ සිටින හෙයින් ඇයව පුරුෂයකුට අවාහ කරදෙන තුරු ඇය පහත් තැනැත්තියකි” (විෂ්ණුමෘති 24.4)

නොබෝදා සුවිසාල ආන්දෝලනයක් ඇතිකරමින් ස්ත්‍රී අශුද්ධත්වය කේරලයේ සබරිමාලා දේවාලය කේන්ද්‍රය කරගෙන නැවත මතුවූයේ ස්වාභාවිකව සහ ආකස්මිකව ස්ත්‍රී බව නිශ්චය කරන xx ක්‍රාමසෝමයන්ට එරෙහිව පුරුෂ බව තීරණය කරන xy පුරුෂ ක්‍රොමසෝමයන් ආචිර්ණකල්පික ස්ත්‍රී විරෝධී දෘෂ්ටිවාදය මත පිහිටා තම දේහවිද්‍යාත්මක සමානයා(counterpart) සමඟ ගැටුමකට යාම නිසාය. මෙම ගැටුම මුළු භාරතයම සෙලවූ අතර ඉන් ඇවිලුණු ගින්න තාමත් දැල්වේ.

සබරිමාලා

සබරිමාලා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පතනම්තිත්ත දිස්ත්‍රික්කයේ ධම්මසස්ථා දෙවොල් සංකීර්ණයේ 12 වැනි සියවසේ ඉදිව පැවත ආ දේවාලයකි. සබරිමාලාහී තේරුම කඳුවැටිය යන්න වන අතර එහි විසූ රාම දෙවි ඇදහූ ෂබාරී නමැති ගෝත්‍රික සැදැහැවතකුගේ නමින් සබරිමාලා නාමය ජනිතවූයේ යැයි සැලකේ. අධිගෘහිත දෙවියා අයියප්ප ස්වාමි නොහොත් කුමර මනිකන්දන්ය. වාර්ෂිකව ලක්ෂ 350ක් පමණ වන්දනාකරුවන් ඒ කරා පැමිණෙති. එහෙත් ඉදිවූ දා සිට මාස් ශුද්ධි වයස් පරාසයට අයත් (10-50) කිසි ස්ත්‍රියක් දේවාල භුමියට පය තබා නැත. පය තබා නැත්තේ පය තැබීම තහනම් වීම නිසාය. 1965 දී කේරළ දේවාල ප්‍රවේශ අධිකාරය විසින් ස්ත්‍රීන්ට සාම්ප්‍රදායික දේවාල භූමි තහනම නැවත පිහිටුවීය. සබරිමාලාව මෙය අකුරටම පිළිපැදීය.

හේතුව දේවාල පුරාණ කතාවලට අනුව සබරිමාලාවට අධිපති අයියප්ප දෙවියන් බ්‍රහ්මචර්යා ධර්මය රකින්නකු වූයෙන් “ස්ත්‍රීන්ගේ ස්පර්ශයෙන් දෙවොල අපවිත්‍ර වේය” යන විශ්වාසය තුළ ඔහු දැඩිව එල්බ සිටීම නිසාය. ඔහුගේ දෙවොල ඓතිහාසිකවම ස්ත්‍රීන්ට තහනම් කලාපයක් වූයේ ඔසප්වීම නමැති ජීවවිද්‍යාත්මක කරුණ මත සහ අයියප්ප ස්ත්‍රී විරෝධී දෙවියකු වීම නිසාය (misogynic god). ස්ත්‍රී විරෝධය මොනතරම් තදින් ව්‍යුහගතව ඇද්ද යන්න පෙනෙනුයේ සම්භාව්‍ය හින්දු සම්ප්‍රදාය අයියප්ප ශිව සහ මෝහීණි දෙපොලගේ පුතා ලෙස හඳුන්වද්දී අයියප්පගේ උත්පත්තියට ස්ත්‍රියක් සම්බන්ධ කරගතහොත් ප්‍රතිරූපය අපවිත්‍රවේය යන චේතනාව උඩ ඔහුගේ උපත පුරුෂ දෙවියන් දෙදෙනකුගෙන්ය යන්න අයියප්ප-පුරාකථාව සමාජ ගතකොට ඇත. මෙයට හේතුව සමහරවිට ශිවගේ පතිනිය වූ මෝහිණී විෂ්ණු දෙවියන්ගේ ස්ත්‍රි අවතාරයවීම විය හැකිය. කෙසේ වුවද සමීකරණයෙන් ස්ත්‍රී අවධාරණය හැලී ඇත. ස්ත්‍රිය නිතරම පුරුෂයකුගේ අවතාරය මිස ඇයට කියා ස්වාධීන පැවැත්මක් තිබී නැත.
භාරතීය හින්දු ආගමික ඉතිහාසය තුළ ස්ත්‍රීන්ට දෙවොල්හි දොරවල් අගුළු වැටුණේ මෑතදී නොවේ. සිය ගණන් නැතිනම් දහස් ගණන් දෙවොල් ස්ත්‍රීන්ට වැසී තිබිණි. වැසුණේ ඒ ඒ දේවාලයන්හී පූජකවරුන්ගේ පෞද්ගලික තීරණය මතම නොව පරම්පරිකව ඔවුන් කරපින්නා ගෙන ආ පුරුෂෝත්තමවාදී ආගමික දෘෂ්ටිවාදය නිසාවෙනි. සබරිමාලාව තහංචිය පවත්වාගෙන ආ අතර 1991 දී උසාවි තීන්දුවකින් ද එය නීත්‍යනූකූල කර ගැනීමට හින්දු පූජක අධිකාරය සමත්විය.

මේ අතර ඒ දක්වා ස්ත්‍රීන්ට වැසී තිබූ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ශානි ෂින්ග්නපූර් දේවස්ථානය 2016දී නඩු තීන්දුවකින් ස්ත්‍රීන්ට විවෘත විය. (ශානිද ස්ත්‍රී විරෝධී දෙවියෙකි). මෙය ආගමික නිදහස ලබාගැනීම වෙනුවෙන් කරන ලද ස්ත්‍රී අරගලයේ මුල් ජයග්‍රහණය විය. මහාලක්ෂ්මී දේවාලයද මෙසේම ස්ත්‍රීන්ට විවෘත වේ යැයි මෙම සටනේ පිටුපස සිටි භූමාතා ස්ත්‍රී ව්‍යාපාරයේ නායිකා තෘප්ති දේසායි පැවසීමෙන් ගම්‍ය වනුයේ ඉන්දියාවේ දේවස්ථානයන් බොහෝමයක් අද වුවද ස්ත්‍රීන්ගේ ආගමික අයිතිය නිෂ්ප්‍රභ කර ඇති බවය. (භූමාතා ස්ත්‍රීවාදි ව්‍යාපාරයද පුරුෂාධිපතිවාදය මෙන්ම ප්‍රතිගාමීය). කෙසේවුවද ‘පොදු ජන යහපත වෙනුවෙන් නඩුපැවරීමේ ප්‍රතිපාදනය’ යටතේ (public interest litigation) “පූජනීය ස්ථාන ස්ත්‍රීීන්ට වසා තැබීම ව්‍යවස්ථා විරෝධීය” සහ ඉන් ”මිනිස් අයිතිවාසිකම් කඩවේය” යන කරුණු දෙක මුල් කරගෙන සබරිමාලා දෙවොල ස්ත්‍රීන්ට විවෘත කරගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කළේය. ඉන්දියානු තරුණ නීතිවේදීන්ගේ සංගමය ඩි කේරළ රාජ්‍යය –WC ( No.373: 2006 )  දීර්ඝ විභාගයකින් පසුව 2018 ඔක්තොබර් 23 වෙනි දින 4 ට 1ක් ලෙස තීන්දුව ප්‍රකාශයට පත්විය. උත්ප්‍රාසය වූයේ එකම ස්ත්‍රී විනිසුරුවරිය වූ ඉන්දු මල්හෝත්‍රා පමණක් නීතියට ඉහළින් සම්ප්‍රදාය තබමින් තීන්දුවට විරුද්ධ විමය.

නඩු තීන්දුව

අගවිනිසුරු දීපක් මිස්රා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග වුණු නඩුව 2018 සැප්තැම්බර් 28 වැනි දින 4ට 1ක් ලෙස තීන්දු විය. සබරිමාලා දෙවොල ස්ත්‍රීන්ට ද විවෘත විණි. සබරිමාලා පාලන අධිකාරිය විසින් එක අතකින් ඉන්දියානු (1949) ව්‍යවස්ථාවේ 14 වගන්තිය සහ 15වේ (3) උප වගන්තිය උල්ලංඝනය කරමින්ද අනික් අතින් ආගමික නිදහස සුරකින 25 වගන්තිය නොසලකා හරිමින්ද ස්ත්‍රීන්ගේ මානව අයිතිය උදුරා ගෙන ඇති බව තීන්දුවෙන් නිගමනය විය. ශ්‍රේෂ්ඨාධිකරණයක් තම තීන්දුව ප්‍රකාශයට පත්කරනවා මිස ඉන් ඔබ්බට ගොස් ප්‍රස්තුත කරුණට හේතු සොයා දැක්වීම දුර්ලභව සිදුවන්නකි. එහෙත් එය මෙම නඩු විභාගයේදී සිදුවීමෙන් පැහැදිලි වනුයේ ඉන්දියානු සමාජය මෙම හේතුවට සුවිශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවය. “ස්ත්‍රීන්ට මෙම අසාධාරණය සිදුව ඇත්තේ වෙනත් හේතුවක් නිසා නොව අධිපති-පුරුෂෝත්තමවාදය (hegemonic patriarchy) නිසාය” යන්න තීන්දුව තුළ ලියැවී නොව අවධාරණය වී තිබිණ. ඉතාමත් සංවේදනීය විය හැකි වුවද මෙම අසාධාරණයේ මුල සොයාගෙන එයද තීන්දුවට ඇතුළු කිරීමට තරම් විනිසුරුවන් මෙම කරුණ බරපතළ ලෙස සැලකුවා පමණක් නොව එය ලියා තැබීමටද ඔවුහු බිය නොවූහ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ශාන් ෂින්ග්පූර් දෙවොල පිදීමට ස්ත්‍රීන්ට නීතිමය අවසරය දුන් 2016 තීන්දුවේ මෙවන් අවධාරණයක් නොතිබිණි. එහෙත් සබරිමාලා තීන්දුව එකවරම නිතීය, සදාචාරය සහ මානව විරෝධී සංකල්පයක් සහස්‍ර ගණනක් අඛණ්ඩව පවත්වාගෙනයාම පිටුදැකි තීන්දුවක් විය.

මෙය තවදුරටත් කැපීපෙනුණේ විනිසුරු කන්විල්කා තීන්දු ප්‍රකාශනයේදී ඉන්දියානු සමාජයේ පරස්පරය ද හුවා දැක්වීම නිසාය.
“එක අතකින් අප ස්ත්‍රී දේවතාවියන් පුදනවා. අනික් අතින් එක්තරා වයස් කාණ්ඩයක සිටින ස්ත්‍රීන් අශුද්ධ ලෙස සලකනවා. මෙම පරස්පරය මතුව ඇත්තේ අන් කිසිවක් නිසා නොව, ආගම තුළ පුරුෂෝත්තමවාදය තදින්ම ක්‍රියාත්මකවීම නිසාය. “(සබරිමාලා තීන්දුවෙන්)

උසාවි තීන්දුව අවධාරණය කළේ ඔසප්වීම නමැති තමන් තෝරා නොගත් ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක් මත පදනම්ව ස්ත්‍රියව ආගමික පරිශ්‍රයන්ගෙන් ඉවත්කිරීම අතාර්කික සහ සදාචාර විරෝධී බවත් ඊට අමතරව හින්දු මූල ග්‍රන්ථවල ‘උඩින් පල්ලෙන්’ සහ ඉඳ-හිට දැක්වූ ‘පුරුෂ-ස්ත්‍රී සමානතාව’ පිළිබඳ සංකල්පයේ ප්‍රතික්ෂේපයක් බවත්ය. එබැවින් “එවන් භාවිතයක් ස්ත්‍රියගේ ගරුත්වය කෙළසීමක්ය” යන්න තීන්දුව තුළ ගම්‍යයක් ලෙස නොව ඍජු අවධාරණයක් ලෙස මතුව තිබිණ. මෙම තීන්දුව ඓතිහාසික තීන්දුවක් වනුයේ පුරුෂෝත්තමවාදී මතවාදයන් මත ස්ත්‍රියගේ අශුද්ධකමට චිරාත් කාලයක් ගැරහූ ආගමට ඉහළින් නීතියේ දෙවඟනගේ පාරිශුද්ධත්වය අභිෂේක කළ තීන්දුවක් වු හෙයිනි. පූජනීයත්වය පරයා ලෞකිකත්වය හිස එසවූ තීන්දුවක් වූ හෙයිනි.

තමා කරන ක්‍රියා වලට තමන් වගකිවයුතුයැයි ආගම් සලකන නිසා පින්-පව් අනුව නම් මිනිසුන් වර්ග කළ හැකිමුත් ස්ත්‍රී-පුරුෂ ජීවවිද්‍යාත්මක ප්‍රභේදය මත පිහිටා මිනිසුන් වර්ග කළ නොහැකිය. ස්ත්‍රී-පුරුෂ යනු මානව වර්ගයේ (homo-sapiens) ජීවවිද්‍යානුකූල ප්‍රභේදයක් මිස ආගමික වර්ගීකරණයක් නොවේ. ජීව විද්‍යාවෙන් ඔබ්බට ගොස් ස්ත්‍රීන් පිළිබඳව ආගමක් හෝ පුද්ගලයෙක් හෝ ගනු ලබන සෑම නිගමනයක්ම බාල, සැහැසි, අමානුෂික නිගමනයන් වෙනුයේ එම නිගමන පුරුෂෝත්තමවාදී දෘෂ්ටිවාදයෙන් ව්‍යුත්පන්න වන නිගමනයන්ට වඩා වැඩි යමක් නොවන හෙයිනි. ස්ත්‍රී ප්‍රේමයට (philogyny) හෝ ස්ත්‍රීන් කෙරෙහි දක්වන කරුණාවට වඩා ඉහත සඳහන් කළ භාරතීය මූලපාඨවලින් දැකිය හැක්කේ ස්ත්‍රී විරෝධයයි (misogyny) ගැරහීමයි. උපහාසයයි. ඔවුනට කරන අපහාසයයි.

අපේ අවධානය යොමුවිය යුතු සහ එක අතකින් උත්ප්‍රාසයක්ද මතුකරන කරුණ නම් නීතිය පෙර‘පර දෙදිගම පුරුෂ කතෘත්වයකින් බිහිවුණා පමණක් නොව ඉතිහාසය පුරාම නීතියේ ආධිපත්‍යය පුරුෂයින් සතු වූහ සහ එහි බලපරාක්‍රමයෙන් ඔවුන් තුටු වූහ. එහෙත් නීතියේ සාධාරණත්වයට රූපමය සංකේත අර්ථයක් දීමේදී සහස්‍ර ගණනාවක සිට යොදාගෙන ඇත්තේ Maat, Isis, Themis, Dike, Eumonia,  සහ Justiciaa යන විවිධ නම්වලින් හැඳින්වූ ස්ත්‍රී දෙවඟනන් මිස Thoth, Ares, Appolo  හෝ Zues හෝ ඉන්දීය  Waruna  Indra, Shiva,  හෝ  Vishnu  වැනි පුරුෂ දෙවිවරුන් නොවේ. මෙයින් සංක්තාත්මකව කියවෙනුයේ නීතියේ සහ සාධාරණයේ සංකේතය එදාත් මෙදාත් හැමදාත් ස්ත්‍රිය වූ බවය. ස්ත්‍රිය චපල නොව නිසල බවය. විශ්වාස කළ නොහැකි බව නොව ඇය කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවය. නීතියේ දෙවඟනව අයුතු විදිහට පාවිච්චි කළේ නම් ඒ ද පුරුෂ පාලකයින් විසිනි. පුරුෂයාට තමාම සාදාගත් පුහු ‘පුරුෂාධිපත්‍යමය භාවයන්” නිසා සාධාරණයේ සංකේත භූමිකාව ඔහුට කළ නොහැකියයි සිතා එය ස්ත්‍රියකට කව්රු හෝ පැවරුවේ නම් එය ද සාධාරණ විනිශ්චයකි.

නීති දෙවඟනගේ පාරිශුද්ධත්වය සංකේතවත් කරමින් සබරිමාලාව පිළිබඳ එදා ඉහත තීන්දුව ලබාදෙන දිනයේ දැවැන්ත සංස්කෘතියක්, ඉතිහාසයක් හා පූජක සහ ගිහි ප්‍රභූ බලවේගයක් සක්‍රීයව තිබූමුත් දෑස් බැඳගෙන සාධාරණයේ තුලාව එක අතකිනුත් අනික් අතින් අසිපතකුත් දරමින් නීතියේ දෙවඟන වුවද ස්ත්‍රියක් නිසා ඇයද ඔසප් චක්‍රය තුළ සිටියා හෝ නොසිටියා හෝ ඔසප් වයස් පරාසය තුළ සිටින ස්ත්‍රීන්ගේ අශුද්ධත්වයට වඩා නීතියේ පාරිශුද්ධත්වය රැකීම නීති දෙවඟනගේ එකම වගකීම ලෙස සලකමිනි. ආගම සහ ජීවවිද්‍යාව හෝ නැතිනම් ආගමික දෘෂ්ටිවාදය සහ ස්ත්‍රී ශරීරය යනු දෙකක්ය යන්න තේරුම් ගැනීමට නොහැකිව සම්ප්‍රදාය අභිෂේක කරමින් නීතියට පිටුපෑ විනිසුරු මඬුල්ලේ සිටි එකම ස්ත්‍රීයවූ ඉන්දු මල්හෝත්‍රා ගැන සිය තීන්දුව දුන් දිනයේ නීතියේ දෙවඟනට කුමක් සිතන්නට ඇද්ද?

“ස්ත්‍රියගේ ශුද්ධ-අශුද්ධබාවය පිළිබඳව හින්දු ආගම තරම් දෘඪ ලෙස චිත්තාරූඪ (obsessed) සහ අර්චනකාමී (fetish) පෙන්වන වෙනත් ආගමක් නැති තරම්ය”(උමා චක්‍රවර්ති). ආධ්‍යාත්මික ශුද්ධත්වය යන්න වෙනම සංකල්පයකි. එය ස්ත්‍රී පුරුෂ දෙකටම පොදුය. එවැන්නක් අවධාරණය කිරීමේ වැරුද්දක් නැත. සෑම ආගමක්ම එය අවධාරණය කර ඇත. අවධාරණය කළ යුතුය. නමුත් ජීවවිද්‍යාත්මක ශුද්ධ-අශුද්ධබාවය කුමක්ද? එය දෙවියන් සමඟ ඇති සම්බන්ධය කුමක්ද? කිසිම සම්බන්ධයක් නැත. ස්ත්‍රී දේවතාවියන් ලෞකික ස්ත්‍රීන්ගේ ජීවවිද්‍යා චක්‍රයෙන් බාහිරද? එසේනම් සබරිමාලා දෙවි අයියප්ප තෙමේම ස්ත්‍රී-විරෝධී වූයේ කෙසේද? ඇරත් හින්දු ආගමේ නීති නිඝණ්ඩුව ලෙස සැලකෙන මනු නීතියට අයියප්ප පිටුපෑවේ ඇයි? මනුනීතිය පිරිමින්ට අවවාද කරමින් කීවේ ‘ස්ත්‍රීන්ට ගරුත්වය දුනහොත් දෙවියනුත් සතුටු වන බවය.” එසේනම් අයියප්ප තෙමේම දෙවියෙකු වීත් ස්ත්‍රී විරෝධී වීමෙන් නොනැවතී එය සමාජගත කොට ස්ත්‍රියට අගෞරව කිරීම නිසා කෙසේවත් කෘෂ්ණ හෝ ශිව අයියප්පට කැමැති විය නොහැකිය. හින්දු ආගමේ මෙවන් පරස්පරයන් නිසා අසරණවී ඇත්තේ දෙවියන් නොව ස්ත්‍රීන්ය. එහෙත් ආගමික කෙසේවෙතත් ස්ත්‍රියගේ පෞද්ගලික සහ සමාජ විමුක්තිය ඇයට ළඟාකර ගතහැක්කේ ප්‍රගතිශීලි දේශපාලනික මැදිහත්වීමකින් පමණි. අයියප්ප හෝ පූජක ‘තන්ත්‍රී’ ප්‍රතිවාදියා ලෙස ගැනීමෙන් නොවේ.

ආගම් මානව විරෝධී නිසා ඕනෑම ආගමකින් ස්ත්‍රීන් පමණක් නොව පුරුෂයින් පවා ගලවා ගැනීම දේශපාලන වැඩපිළිවෙළකින් විය යුත්තකි. ඒ මිස ස්ත්‍රීන් අශුද්ධය යන පුරුෂාධිපත්‍යය මත පදනම්වූ බොළඳ පහළ බාලාංශ තර්ක මඟින් එය කළ නොහැකිය. ස්ත්‍රී අශුද්ධත්වය ඉදිරියට ගෙන ස්ත්‍රීන්ගේ ආගමික සහ වෙනත් අයිතීන් ශතවර්ෂ ගණනාවක් පුරා නිෂ්ප්‍රභ කළ පුරුෂෝත්තමවාදය සබරිමාලා නඩු තීන්දුව ප්‍රකාශ කළ දිනයේදී ඉස්මතුවූ නීති දෙවඟනගේ පාරිශුද්ධත්වය ඉදිරියේ මැළවී යාම නැතිනම් සරල තේරෙන භාෂාවෙන් කිවහොත් “නන්නන්තාරවීම’ මොනතරම් ඓතිහාසිකද? මොනතරම් ප්‍රගතිශීලීද? මොනතරම් මානුෂිකද? මොනතරම් විප්ලවකාරීද? ඉහත තීන්දුව ගැන අප සතුටුවිය යුත්තේ ස්ත්‍රීන්ට සබරිමාලාවට ගොස් ස්ත්‍රී විරෝධී (misogynic)

අයියප්පව වැඳීමට දැන් ඔවුන්ට හැකිවීම නිසා නොවේ. ඇරත් ඔවුන් අයියප්ප වැඳීමට යනුයේ අයියප්පගේ බ්‍රහ්මචාරීත්වය අගයකිරීමේ සංකේත ආගමික අභිචාරයක් ලෙසද නොවේ. සබරිමාලාවේ සහ සමස්ත භාරතය පුරා දැනටද සක්‍රීය පුරුෂාධිපත්‍යය ආක්‍රමණය කිරීමටය. ස්ත්‍රීන් සහස්‍ර දෙකක පමණ සිට මෙම අසාධාරණය හෙළාදැක්කේත් ඊට විරුද්ධවූයේත් පසුගිය ජනවාරි 1වෙනි දින කි.මී. 650ක භුමි වපසරියක් වට කොට ලක්ෂ 50ක ‘ස්ත්‍රී බැම්ම්ක්’ ඉදිකළේ අයියප්ප වටා නොව අයියප්පගෙන් ගැලවීමටය. පුරුෂාධිපත්‍යය ආගමික පීඩනයෙන් ගැලවීමටය. එහෙත් ස්ථීර විමුක්තිය ඇත්තේ ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයම බැටකන සෑම ආකාරයේම ආධිපත්‍යයකටම කරනු ලබන දේශපාලන මැදිහත්වීම තුළ මිස ආගමට එරෙහිව පෙළගැසෙන විරෝධය තුළ නොවේ. ආගම එම අධිපති භූමිකාවේ එක් රූපයක් පමණි. කේරළයේ සහ මහාරාෂ්ට්‍රයේ ස්ත්‍රීන් පමණක් නොව ශ්‍රී ලංකවේ මෙන්ම ලෝකයේ සෑම ස්ත්‍රියක්ම සහ පුරුෂයෙකුම තේරුම් ගත යුතු එකම සත්‍යය මෙයයි. එනම් ස්ත්‍රීවාදී හෝ පුරුෂවාදී නොවී පොදු දේශපාලන ක්‍රියා මාර්ගයකට පිවිස දෙපාර්ශ්වයේම විමුක්තිය ළඟා කරගත යුතු බවය.