අධ්‍යාපනය සහ නව පරපුර

ප්‍රභාස්වර

වයස අවුරුදු 40ට වැඩි ශ්‍රී ලාංකිකයකුගෙන්, ඔහුගේ/ ඇයගේ ළමා විය ගෙවුණු ආකාරය පිළිබඳ විමසුවහොත්, එම පුද්ගලයා විස්තර කරනු ලබන අත්දැකීම්, බොහෝ අය ඒ වයසේ පසුවන අනෙක් අය අත්විඳි දේවල් සමග සමපාත වන බැව් කිව හැකිය. චිත්‍රකතා පොත් හා පත්තර බෙදා හදාගෙන කියවීම, යහළුවන් සමග වෙල්යායේ දුවපැන නටා පසුව ඇලේ දොලේ ස්නානය කර විනෝද වීම, එක් යහළුවකුගේ නිවස ට ගොස් සැවොම ආහාර ගැනීම යනාදිය ඉන් සමහරකි. හැංගිමුත්තම්, හොරා පොලිස්, ටින් කැඩීම හා බට්ටා පැනීම, එකල ළමයින් අතරේ ජනප්‍රිය වූ ක්‍රීඩාය. 70 දශකය අග, අස්සැද්දුම කණිටු විදුහලේ පහ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉස්කෝලේ හවස පන්ති හැර වෙනත් ටියුෂන් පන්ති අපට නොතිබුණි. ශිෂ්‍යත්වය සමත් වී කොළඹ රාජකීය විදුහලට පැමිණි මට නවාතැන් ගැනීමට සිදු වූයේ දීපංගොඩ නොතාරිස් මහතකු සතු නිවසේය. විදුහල් නේවාසිකාගාරයේ මා නතර වීමට බිය වූයේ එහි රැඳී සිටි ශිෂ්‍ය නායකයන් ඉංග්‍රීසියෙන් කතාබහ කරනු දුටු හෙයිනි. විදුලිය රහිත දීපංගොඩ නිවසේ අප පාඩම් කළේ කුප්පි ලාම්පු එළියෙනි. සෑම සිකුරාදා රෑකම රූපවාහිනියේ පෙන්වන සිංහල චිත්‍රපට නැරඹීම සඳහා ගමේ සැලකිය යුතු පිරිසක් හුළු අතු රැගෙන දීපංගොඩ පන්සල බලා ගියේ අවට තිබූ එකම කළු සුදු රූපවාහිනියේ සාඩම්බර හිමිකරුවා විහාරාධිපති ස්ථවිරයන් වූ නිසාය. ළමයින්ගේ දින චර්යාව ගැන නිතර උකුසු ඇසින් බලා සිටීමට තරම් ඇම්මක් එකළ මව්පියන් සතුව නොතිබුණි. සොහොයුරන් දෙදෙනාට මෙන් පොල් ගස් නැගීමට නොහැකි වීම ගැන අම්මා නිතර සරදම් කළාය. ගස් නැගීම, වැවේ හා ඇළේ දොලේ පිහිනීම ජීවිත අනතුරකට අත වනන ක්‍රියාවක් ලෙස එදා වැඩිහිටියෝ නොසිතූහ.

වත්මන් ළමා පරපුර

අද බහුතරයක් ළමයින් සිය කාලයෙන් වැඩි කොටසක් ගෙවන්නේ නිවෙස් තුළය. ඔවුන් මිත්‍ර සබඳතා පැවැත්විය යුත්තේ කවුරුන් සමඟද යන්න තීරණය කරන්නෝ මව්පියෝය. මව්පියන් විසින් මැනවින් සංවිධානය කළ කාල සටහනක් තුළ ළමයින්ගේ ජීවිතය හිර වී ඇතැයි කීම අතිශයොක්තියක් නොවේ. මෙය ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම පොදු දෙයකි. අතමිට සරු පවුල් කුටුම්බවල හැම ළමයකු අතම ඩිජිටල් මෙවලම් තිබෙනු දැකිය හැකිය. ජර්මනියේ වයස අවුරුදු 10-11 අතර ළමයින්ගෙන් 67%ක් ස්මාර්ට් ෆෝන් හිමිකරුවන් වේ. වයස අවුරුදු 12-13 අතර අය හා අදාළව එම ප්‍රතිශතය 88%කි. එංගලන්තයෙහි වයස 13-14 වයස් පරාසයන්හි සිටින ළමුන්ගෙන් 96% ක්ම ස්මාර්ට් ෆෝන් භාවිත කරති. අප කුඩාකළ වෙල් යායේදී මුහුණට මුහුණ හමුවුණු මිතුරන්, මොවුන් ඇසුරු කරන්නේ ස්මාට් චැට්, ඉන්ස්ටග්‍රම් වැනි සමාජ මාධ්‍ය ඔස්සේය. OECD රටවල බොහෝමයක් ළමෝ දෛනිකව පැය පහක් පමණ අන්තර්ජාලය තුළ සැරිසරති. ළමා වෛiවේදය පිළිබඳ ඇමරිකානු ඇකඩමියට අනුව, වයස අවරුදු 02-05 අතර දරුවන් වුව වීඩියෝ ආධාරයෙන් අන් අය අය සමග කතා බහ කිරීම වරදක් නොවේ. එහෙත් ඇමරිකාවේ සැන් ඩියාගෝ සරසවියේ මනෝ වෛi මහාචාර්ය ජින් ට්වෙන්ජ් පවසන්නේ, දරුවන් සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය වෙත කුඩා කල පටන් ඇදී යාම ඔවුන්ගේ මානසික සෞඛ්‍යට හිතකර දෙයක් නොවන බවයි. 1995 සහ 2012 අතර ඉපැදුණු දරුවන්ගේ ජීවිත වලට ස්මාර්ට් ජංගම දුරකතන විසින් සිදු කළ බලපෑම සුළුපටු එකක් නොවන වග ජින් අවධාරණය කරයි. ඩිජිටල් මෙවලම් වලට ඇබ්බැහි වන ළමුන් අවසානයේ හුදෙකලා බවින් හා විශාදයෙන් පෙලීම නොවැලැක්විය හැකි වග ඇය කියයි.

නාගරික ජීවිතය

සංවර්ධිත රටවල ජනතාවගෙන් 80%ක්ම දිවි ගෙවන්නේ නාගරික ප්‍රදේශවලය. සීමිත ඉඩ කඩක් සහිත මහල් නිවාස වල මොවුහු සිරවී සිටිති. එකමුතු කමින් යුත් ග්‍රාමීය ප්‍රජාවක් වෙනුවට, මහල් නිවාස හිමියන්ට හමුවන්නේ එකිනෙකා ගැන කිසිදු තැකීමක් නොකරන අමුත්තන් රාශියකි. මෙවැනි වටපිටාවක් තුළ මව්පියන් සිය රාජකාරිය අවසන් කරන තෙක් දරුවන් රඳවා තබන්නේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලය. ඇමරිකාවේ සහ යුරෝපයේ බොහෝ තරුණ ජෝඩු විවාහ නොවී එකට දිවි ගෙවති. නීත්‍යානුකූල බැඳීමක් නොමැති හෙයින් බොහෝ පිරිමි දරුවන් වැදූ පසු සිය සහකාරිය අතැර යති. මෙවැනි අවස්ථාවලදී දරුවන් එක්තැන් කොට තැබීම පිණිස මව්වරු ඔවුනට ඩිජිටල් මෙවලම් ලබා දෙති. දරුවකුගේ ජීවිතයේ මුල්ම වසර පහ ගතවන ක්‍රමවේදය, ඔහුගේ/ ඇයගේ මස්තිෂ්ක වර්ධනය කෙරෙහි විශාල වශයෙන් බලපායි. කෙතරම් අවුල් ඇතත්, පවුලක් තුළ ජීවත් වීම දරුවකුට ඉතා වැදගත් යැයි මනෝ විiාඥයින් පවසන්නේ මේ නිසාය. ගමකදී නම් දරුවකු සමඟ කාන්තාවක් තනි වූ විටෙක ඇගේ සහයට සීයා, ආච්චි, හෝ කිසියම් ඥාතීන් කිහිප දෙනකු පෙරට එන නමුත් හුදෙකලා මහල් නිවාස සංකීර්ණයකදී එවැනි අත හිත දීමකට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත.

දිවා සුරැකුම් නිවාස

පුරුෂයින් හැර ගිය හුදෙකලා මව්වරුන් දරුවන් හොඳින් බලාකියා ගැනීම පිණිස ඇමරිකාවේ හා යුරෝපයේ ආණ්ඩු, පසුගිය දශක කිහිපය තුළ ළමා සුරැකුම් නිවාස රජයේ වියදමින් ස්ථාපිත කරනු ලැබුවේ පවුල් කුටුම්භයෙන් අහිමි වන සමාජ සුරක්ෂිතභාවය එම ළමයින්ට පිරිනැමීමේ අභිලාෂයෙනි. නැගෙනහිර ලන්ඩනයේ පිහිටා ඇති සුවිසල් ළමා කෞතුකාගාරය, මහල් නිවාසවල හුදෙකලා වූ ළමයින් වෙනුවෙන් විවිධ සමූහ ක්‍රියාකාරකම් සතියේ දින වල හවස සහ සති අන්තයේදී මැනවින් සංවිධානය කරනුයේ ඒ අයගේ බුද්ධි වර්ධනය ඉලක්ක කොටගෙනය. කණ්ඩායම් වශයෙන් එක්ව වැලි සෙල්ලම්වල නියැලීම, ඇත්ත ගඩොල් බැඳ කුඩා නිවාස තැනීම, ගස් නැගීම සහ විනෝදාත්මක සමූහ ක්‍රීඩාවන්හි යෙදීම යනාදිය ඉන් සමහරකි. වොෂිංටන්හි පිහිටි ටර්නර් ළදරු පාසල, මහල් නිවාසවල පදිංචි තනි මව්වරුන්ගේ දරුවන් හට රැකවරණය හා අභිප්‍රේරණය සැලසීම පිණිස විශාල මුදලක් වාර්ෂිකව වැය කරයි. රාජ්‍ය අනුග්‍රහය සහිත මෙකී පාසැලේදී සාමූහික ගීත ගායනය, අනුන්ට පිහිටවීමේ වටිනාකම තේමාකරගත් නාට්‍ය රඟ දැක්වීම, කථික තරඟවලට සහභාගී වීම, සහ චෙස් ඇදීම වැනි ක්‍රියාවන්හි ළමුන්ව යොදවන්නේ අදාළ ක්ෂේත්‍රවලට සම්බන්ධ විශිෂ්ටයින් විසිනි. ජීවිතයට අරුතක් සපයන ලෝක පූජිත ළමා චිත්‍රපට පෙන්වීමද මෙහිදී සිදු කෙරේ. මව්පිය රැකවරණය නිසියාකාරයෙන් නොලබන කුඩා දරුවන් සොයාගෙන ඒ අයට රාජ්‍ය මැදිහත්වීම් ඔස්සේ මෙවැනි සේවා සැපයීම මගින් මතුදා අපරාධකරුවන් විය හැකි ළමයින් අනිවාර්යයෙන්ම යහමගට යොමු කිරීම කළ හැකි යැයි නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු ආර්ථික විiාඥ ජෙම්ස් හෙක්මන් පවසයි. මාස 6ක් වයසැති කුඩා දරුවන් පවා හොඳින් රැකබලා ගන්නා උතුරු ලන්ඩනයේ පිහිටි කේට් ග්‍රීන්වේ ළදරු පාලස, අනර්ඝ පුහුණුවක් ලැබූ වෘත්තීය හෙදියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් සමන්විත හෙයින් බොහෝ මව්වරු තම ළමයින් ඊට ඇතුළත් කිරීම සඳහා දැඩි තරඟයක නියැලෙති. නිසි හවුහරණක් නොමැති දරුවන් හට රැකවරණය සැළසීම අද බොහෝ ආණ්ඩු දකින්නේ වියදමක් සේ නොව ඵලදායි ආයෝජනයක් ලෙසිනි.

ආසියානු අත්දැකීම

‘සමාජ මාධ්‍ය වසා දමා ජීවිත විවර කරන්න’ යන තේමාවෙන් යුත් කෙටි විඩීයෝ චිත්‍රපටිය, දකුණු කොරියානු ළමයින් ඉලක්ක කොට ගෙන නිර්මාණය කරන ලද්දේ එරට පෞද්ගලික අංශයේ හා රජයේ හවුලක් ලෙස ක්‍රියාත්මක වන නෝරි මාධ්‍ය මධ්‍යස්ථානය විසිනි. කොකේන් වලට ඇබ්බැහි වූවන්ගේ මස්තිෂ්ක සෛලවල ක්‍රියාකාරීත්වය හා පරිගණක ක්‍රීඩාවන්හි දවස පුරාම නියැලෙන දරුවන්ගේ මොළය වැඩ කරන ආකාරය එක සමාන වග 2015 දී දකුණු කොරියාවේ සෝල් ජාතික සරසවිය මගින් සිදු කළ පරීක්ෂණයකදී අනාවරණය විය. කිසිදු අවහිරතාවක් නොමැති අධිවේගී ඉන්ටර්නෙට් ජාලයක් සහිත දකුණු කොරියාව තූළ වෙසෙන ළමුන්ගේන් බහුතරයක් දෛනිකව පැය 08 කට ආසන්න කාලයක් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය තුළ ගත කරන නිසා භෞතික ජීවිතය යනු කුමක්දැයි නොහැඟෙන තරමට සයිබර් අවකාශය විසින් ඔවුන්ව ගිලගෙන ඇත. වයස අවුරුදු 14-16 අතර දකුණු කොරියානුවන් මෙම ඩිජිටල් ඇබ්බැහියෙන් මුදා ගැනීම පිණිස සුවිශේෂි නේවාසික කඳවුරු ස්ථාපිත කිරීමට එරට සෞඛ්‍ය අමාත්‍යාංයට සිදු විය. ඩිජිටල් මෙවලම් රහිතව දින 12ක් පුරා මේ ළමයින්ව සාමහික එළිමහන් හා ගෘහස්ත ක්‍රීඩාවල (විශාල කණ්ඩායම් වලට බෙදා) යෙදවීම හරහා ඔවුන්ව මෙකී ඩිජිටල් ඇබ්බැහියෙන් පූර්ණ ලෙස මුදවා ගත හැකි යැයි කඳවුරු මෙහෙයුම් නිලධාරී හොන් දුන් ජූ පවසයි. දවසකට පැය හයක් ඉක්මවමින් යමකු සයිබර් අවකාශය තුළ සැරිසරයි නම් හෙතෙම ඊට ඇබ්බැහි වූවකු සේ සැලකේ. එහෙත් ‘ජාලගත යෞවනයන්ගේ සමාජ ජීවීතය’ නම් ග්‍රන්ථයේ කතුවරිය වන ඩානා බොයිඞ් පවසන්නේ, අධ්‍යාපනික කාල සටහන් අතර හිර වී අවට භෞතික ලෝකය අහිමි වුණු යෞවන යෞවනියන් හට සමාජ මාධ්‍ය හරහා මිතුරු මිතුරියන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීම මහත් මානසික අස්වැසිල්ලක් ගෙන දෙන බවයි.

ගණිත කඳවුර

විනෝදාත්මක ක්‍රීඩා 70ක් හරහා ගණන් බැරි, අවවරප්‍රසාදිත පාසල්වල දරුවන්ට ගණිතය උගන්වන ධර්මසිරි මහතා සමඟ එක්ව දින 03ක් පුරා දිවා/ රෑ පැවැත්වෙන ගණිත කඳවුරු 20ක් පමණ සම්පූර්ණ කරන්නට පසුගිය වසර දෙක ඇතුළතදී මේ ලියුම්කරුට හැකියාව ලැබුණි. මේවායින් ගණන් හා ජීවිතය උගත් දරු දැරියන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවීය. සෑම කඳවුරකින්ම පසු රුපියල් ලක්ෂ 02ක් වටිනා උපකරණ සහිත ගණිතාගාරයක් අදාළ පාසල තුළ ස්ථාපිත කෙරෙන හෙයින් ළමුන්ට හා ගුරුවරුන්ට දිගින් දිලටම සිය තාර්කික බුද්ධිය වර්ධනය කර ගැනීමේ මහඟු අවස්ථාව ඉන් විවර වෙයි. විවිධ කුසලතාවන්ගෙන් හෙබි පුහුණු ගුරුභවතුන් 10කගේ කණ්ඩායමක් සහ මනා කැපවීමෙන් යුත් ස්වේච්ඡා සරසවි සිසුන් පිරිසක් මේ සද්කාර්ය ඉටු කිරීම පිණිස අප සමඟ අත්වැල් බැඳගෙන තිබේ. ක්‍රීඩා හරහා මූලික ගණිත සිද්ධාන්තය අවිඥානිකව ළමුන්ගේ මනසට කිදා බසින හෙයින් ගණිතාගාර දුන් පාසල්වල ළමුන් ගණිත විෂය හා අදාළ ලකුණු ලබා ගැනීමේ ප්‍රතිශතය පසුගිය වසර දෙක තුළ 80%කින් ඉහළ ගියේය. 2018 දෙසැම්බර් 14 වැනි බමුණුගම මලියදේව කණිටු විදුහලේ පැවති ගණිත කඳවුරට මා සහභාගී වූයේ ජනප්‍රිය රංගධර පාලිත සිල්වාද කැටුවය. කඳවුර ආරම්භ කිරීමට පෙර, පැය 02ක පමණ කාලයක් පාලිත විසින් දරුදැරියන් විවිධ රංගන අභ්‍යාසවල යොදවමින් සුවිශේෂි අභිපේරණයක් ඔවුන් වෙත තිළිණ කරයි. ඈලි මෑලි, ඕතෑනි ළමයින් පැය 02ක් ඇතුළත ජවසම්පන්න ක්‍රියාකාරීන් බවට පරිවර්තනය කිරීමේ විශ්මකර්ම හැකියාව පාලිත සතුව තිබේ. නව පරම්පරාවෙන් ගිලිහී යන තාර්කිත බුද්ධිය හා ප්‍රඥාව, යළි අවධි කිරීම ‘ගණිතාගාර සංකල්පය’ හරහා සිදු කරමින් සිටින්නෙමු.