අර්බුදය උග්‍ර කරන  ජාතික ආණ්ඩුව

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

රටේ මූලික නිතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම නැතහොත් නීතියේ පාලනය පැවතීම, රටක සදාචාර සම්පන්නභාවයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයටද අත්‍යවශ්‍ය කාරණයකි. එහෙත් නීතිය, දූෂණය හා විනාශය උදෙසා මෙවලමක් සේ භාවිත කරන්නේ නම් එය අනුමත කළ හැක්කක් නොවේ. විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සිය තාවකාලික දේශපාලන අරමුණු ඉටු කර ගැනීම උදෙසා භාවිත කරන්නේ නම් එය කිසිසේත්ම යහපත් ලක්ෂණයක් වන්නේ නැත. සාමාන්‍යයෙන් ව්‍යවස්ථාව අවභාවිත කරනු ලබන්නේ පොදු ජනතාව විසින් නොවන අතර ඒ අප්‍රසන්න ක්‍රියාදාමයට සෑම විටම ප්‍රධාන වශයෙන්ම මැදිහත් වන්නේ ඒ ඒ අවස්ථාවලදී රට පාලනය කරන ආණ්ඩුය. මහින්ද රාජපක්ෂ විසින් දෙවරක් පමණක් විධායක ජනාධිපති ධුරයට පත්වීම එක් පුද්ගලයකුට පැවතී සීමාව, 18 වන  සංශෝධනය හරහා ඉවත් කර ගැනීම මෙන්ම සිරිසේන- වික්‍රමසිංහ හවුල් ආණ්ඩුව විසින් එය නැවත දෙවරකට සීමා කරනු ලැබීම සහ ද්විත්ව පුරවැසිභාවය ඇති අයකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව 19 වන සංශෝධනය හරහා ඉවත් කිරීමද සැලකිය හැක්කේ, රටේ සංවර්ධනය උදෙසා ගත් දීර්ඝ කාලීන පියවරක් ලෙස නොවාසිය දේශපාලක බල ව්‍යාප්තීන් උදෙසා ගත් කෙටිකාලීන පියවරක් ලෙසය.

නොමඟ ගිය ව්‍යවස්ථා හැදීම

මහාධිකරණයේ කටයුතු කළ විනිසුරුවරයකු මා සමඟ කියා සිටියේ, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කළ සංශෝධන දහනවයම අධ්‍යයනය කරන්නේ නම්, ඒවා යම් නිශ්චිත කරුණක් උදෙසා, එම අවස්ථාව පිළිබඳ පමණක් සිතා තාවකාලික ලබා දුන් විසඳුම් බව පැහැදිලිව පෙනෙන බවය. රටක ස්ථාවරභාවය පිණිස සහ සමාජ සංවර්ධනය උදෙසා දීර්ඝ කාලීන විසඳුම් ලබාදීමේ ක්‍රමවේදයක් ව්‍යවස්ථා සංශෝධනවල දී ක්‍රියාත්මක නොකිරීම නිසා ඒවා එම අවස්ථාවේ බාධාවක්ව පවතින කඩුල්ල පැනීම උදෙසා පමණක් වන පැලැස්තර විසඳුම් බවට පත්ව ඇතැයි ඔහුගේ මැනීම විය. එමෙන්ම මෙරට ව්‍යවස්ථා සංශෝධන වලදී අනුගමනය කරන්නේ ද පුළුල් – පැහැදිලි ක්‍රියාදාමයක් වෙනුවට පටු- අපැහැදිලි ක්‍රියාදාමයකි. කිසිදු විටෙක, අධිකරණ ක්‍රියාවලියේ, නැතහොත් නීතිය අර්ථ නිරූපණය කරන ක්‍රියාවලියේ ප්‍රායෝගිකව යෙදී සිටින අධිකරණ විනිසුරුවරුන්ගේ හෝ එම විනිසුරුවරුන්ගේ සංගම් වලින් ඒ පිළිබඳ නිල විමසීමක් නොකරනවා පමණක් නොව, ඔවුන්ව වක්‍රව හෝ ඒ උදෙසා හවුල් කර ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ මහජනතාව සම්බන්ධ කරගෙන ඔවුන්ගේ අදහස්ද සලකා බලා, රට ගොඩනැගීම වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සැකසීමට කිසිදු ආණ්ඩුවක් උනන්දු වේ යැයි සිතිය නොහැක.

ජාතික ආණ්ඩුවේ නීතිය

‘ජාතික ආණ්ඩුවක්’ පිළිබඳ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් කළ කොටස, සැලකිය හැක්කේද ඒ මොහොතේ පැවති කඩුල්ලක් පැනීමට යොදාගත් පැලැස්තර විස`දුමක් ලෙසය. ඒ අවස්ථාවේදී සිරිසේන ජනාධිපතිවරයාට හා වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය වී තිබුණේ යැයි සිතිය හැක්කේ ජනතාවාදී මාවතක් පෙන්වා සිය දේශපාලන බල ව්‍යාපෘතිය මුදුන් පමුණුවා ගැනීමේ මාවතද විවර කර ගැනීමය. ඒ අනුව පළමු පියවර ලෙස ආණ්ඩුවක පැවතිය හැකි කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 ක් සහ කැබිනට් නොවන අමාත්‍ය ධුර (රාජ්‍ය, නියෝජ්‍ය ආදී) සංඛ්‍යාව 40ක් බව සංශෝධනයට ඇතුළත් කළේය. ව්‍යවස්ථාවේ 46(1)-අ- කොටසේ අමාත්‍ය මණ්ඩලයේ මුලු අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 නොයික්මවිය යුතුය යන්න ඇතුළත් වීම සහ -ආ- කොටසේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවේ එකතුව 40 නොඉක්මවිය යුතුය යන්න ඇතුළත් වීම, අසාමාන්‍ය ලෙස ඇමතිවරුන් වැඩිකරගෙන, ජනතා මුදල් ගසාකෑමේ මාර්ගය නීත්‍යානුකූලව විවර කරදීම වැළැක්වීමට ගත් හොඳ පියවරක් ලෙස ඉදිරිපත් වූවකි.

එහෙත් අත්‍යවශ්‍ය වන්නේ 46(4) සහ 46(5) යන ව්‍යවස්ථාවේ කොටස්ද ඒ සමගම කියවා ගැනීමය. සිය දේශපාලන බල ව්‍යාපෘතීන් උදෙසා අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩිකර ගන්නා ආකාරය පැහැදිලිව ඇතුළත් කර ගැනීමට එම අනු ව්‍යවස්ථාවන් හරහා ආණ්ඩුව ක්‍රියා කළේය.

46 (4) අනු ව්‍යවස්ථාව මෙසේය.
‘(1) වන අනු ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන් සංඛ්‍යාවද, නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාවද පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුත්තේය.’
46(5) අනු ව්‍යවස්ථාවද කියවන්න.
‘(4) වන අනු ව්‍යවස්ථාවේ කාර්යය සඳහා ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනිකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්, එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය.’

2015 විවාදය

මෙම ජාතික ආණ්ඩුව යන සංකල්පය මෙන්ම එහි අර්ථ දැක්වීම පිළිබ`දවද අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම පිළබඳවද වර්තමානයේ මෙන්ම, පළමු ජාතික ආණ්ඩුව පිහිට වූ 2015දී ද පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත බරපතල වාද විවාද ඇති වූයේය.

2015 සැප්තැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී ජවිපෙ නායක අනුර දිසානායක තර්ක කළේ, “පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් දේශපාලන පක්ෂ යන්නෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් සියලූම පක්ෂ ජාතික ආණ්ඩුවකට අයත් වන බව” පවසමිනි. ජවිපෙ, ටී එන් ඒ සහ ඊපීඩීපී ද පාර්ලිමේන්තුව නියෝජනය කරන මොහොතක එජාපය, එජනිස සහ මුස්ලිම් කොන්ග්‍රසය පමණක් එක්වන ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇමති ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීම ව්‍යවස්ථා විරෝධී බව ඔහුගේ නිගමනය විය. මේ පිළිබඳ ජනාධිපතිවරයා ලවා, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ලබා ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

අනුර දිසානායක මෙන්ම විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් මෙම තර්කය ඉදිරිපත් කළද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එය පිළිගත්තේ නැත. ඔහු කීවේ, ඒ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 6න් ජාතික ආණ්ඩුවකට සම්බන්ධ විය හැකි පක්ෂ මොනවාද යන්න, තීරණය කිරීමේ ව්‍යවස්ථානුකූල හැකියාවක් පවතින බවය. එය පාර්ලිමේන්තුවෙන් මිස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කළ යුත්තක් නොවන බව ඔහුගේ තර්කය විය.

එහෙත් ඒ වන විට එජාපය සහ පාර්ලිමේන්තුව පිළිගන්නා පක්ෂයක් නොවන ශ්‍රීලනිපය අතර සභාග ආණ්ඩුවක් සඳහා ප්‍රසිද්ධියේ ගිවිසුමක් අත්සන් කර තිබුණ ද එජාපය සහ එජනිස අතර එවැනි ගිවිසුමක් ප්‍රසිද්ධියේ අත්සන් කර තිබුණේ නැත. විපක්ෂයේ සිටින එජනිස මන්ත්‍රීවරුන් හරහා එම ප්‍රශ්නය පැන නැගුණු විට, අගමැතිවරයා එවැනි ලිඛිත ගිවිසුමක් ඇති බවත් අවශ්‍ය නම් එය කතානායකවරයාට ඉදිරිපක් කළ හැකි බවත් කීවා මිස, එය ජනතාවට හෝ පාර්ලිමේන්තුවට බලාගත හැකි පොදු ලියවිල්ලක් බවට පක් කළේ නැත. එජනිස සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාද එවැනි ලියවිල්ලක් ඉදිරිපත් කළේ නැත.
මෙම විවාදයේදී දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ප්‍රකාශ කළේ, මේ පිළිබඳ කරු ජයසූරිය කතානායකවරයා විසින් දෙනු ලබන තීරණය, ලංකා පාර්ලිමේන්තුවේ අනාගතයට බලපාන බවය. විවාදය උණුසුම් වීමත් සමග මිනිත්තු 10 කට පාර්ලිමේන්තු තාවකාලිකව අත්හිටවු කතානායකවරයා පසුව සභාව රැස් කරවා ලබා දුන් තීරණය මෙසේය.

“ගරු මන්ත්‍රීවරුනි, ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (5) අනු ව්‍යවස්ථාව පිළිබ`ද මතු කරන ලද රීති ප්‍රශ්නය ගැන, මම ගැඹුරින් අවධානය යොමු කළෙමි. ඒ පිළිබඳ දෙපාර්ශ්වයේ ගරු මන්ත්‍රීතුමන්ලා විසින් ඉදිරිපත් කරන ලද කරුණු හා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ව්‍යවස්ථාදායකය විසින් අරමුණු කළ කරුණු පිළිබඳව මම සලකා බැලීමි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(5) අනු ව්‍යවස්ථාවේ ප්‍රකාරව ජාතික ආණ්ඩුවක් සංස්ථාපනය කිරීමේදී පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා ලද පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ ඕනෑම පිළිගත හැකි දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් සමඟ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට හැකියාව ඇති බව නිගමනය කරමි.”

ඒ අනුව කැබිනට් අමාත්‍ය ධුර 48ක් සහ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 45ක් ලබාදීමේ “ජාතික ආණ්ඩු යෝජනාවට” පක්ෂව ඡන්ද 143ක්ද විරුද්ධව ඡන්ද 16ක්ද ලැබී, එය පාර්ලිමේන්තුවේ සම්මත විය.
එදින විවාදයේදී වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තවත් වැදගත් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවෙන් ඇසුවේය. “ජනාධිපති, එජනිස සභාපති, අගමැති, එජාප නායකයා. මේක ජාතික ආණ්ඩුවක් නොවෙයි නම් මොකක්ද?”
එදා ඒ මොහොතේ ඉදිරිපත් කළ එම තර්කයද මේ වන විට වලංගු නොමැති බව අපහැදිලි නැත. ජනාධිපතිවරයා, සභාපති ධුරය දරන පක්ෂය සභාගයෙන් ඉවත්ව ගොස් තිබේ.
කාරක සභා අවස්ථාව හා මු. කො. අනෙක් කාරණය වන්නේ අර්ථ නිරූපනය කළ යුතුව තිබෙන්නේ අවසානයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු මිස, විවාද හෝ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු නොවන බවය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ මුල් කෙටුම්පතේ ඇතුළත් කරුණු සහ පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ මේ සඳහා ඉදිරිපත් වූ ඇතැම් කරුණුද අවසානයේ සම්මත වූ සංශෝධනයට පටහැනි වනවා පමණක් නොව, ඒවා මූලික නීතියට ඇතුළත් වන්නේද නැත.

ආණ්ඩුව ඉදිරිපත් කළ මුල් කෙටුම්පතේ අන්තර්ගතව තිබුණේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂය හා දෙවන වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂය එකතු වුවහොත් එය ජාතික ආණ්ඩුවක් ලෙස සැලකිය හැකි බවය. කාරක සභා අවස්ථාවේදී “සභාග ආණ්ඩුව” මිස “ජාතික ආණ්ඩුව” යන පදයට තමන් එරෙහි වූ බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විවාදයේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු විවාදවලදී හෝ කාරක සභා අවස්ථාවේදී “පාර්ලිමේන්තුවේ අභිමතාර්ථය” වූයේ පුළුල් අර්ථ කථනයක් බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ආදීන් හරහා ආණ්ඩුව පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ තර්කයද “ව්‍යවස්ථාදායකය අරමුණු කළ කරුණු” ලෙස කතානායකවරයා ප්‍රකාශ කළ කරුණුද එකිනෙකට පරස්පර නොවනවා මෙන්ම අවසාන අරමුණ උදෙසා සමපාතද වූයේය. කතානායකවරයාගේ එම තීරණය නිසා 19 වන සංශෝධනය අනුව 2015 දී පමණක් නොව 2019 දී හෝ වෙනත් ඕනෑම අවස්ථාවක එවැනි ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ හැකියාව උදා වී ඇත්තේය. කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 කට වඩා ඉහළ නංවා ගැනීමට මෙන්ම අනෙකුත් අමාත්‍ය ධුර සංඛ්‍යාව 40කට වඩා ඉහළ නංවා ගැනීමට අව්‍යශ වන්නා වූ ඕනෑම අවස්ථාවක එක් මන්ත්‍රීවරයකු හෝ සිටින පක්ෂයක් එක් කරගෙන එවැනි පියවරකට යා හැකිය.

වර්තමාන පාර්ලිමේන්තුවේ මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරුන් 7 දෙනකු සිටින අතර ඉන් 6ක් දෙනකුම එජාපයේ අලියා ලකුණින් පාර්ලිමේන්තුවට තේරී පත් වූහ. අලි සහීර් මවුලානා පමණක් මුස්ලිම් කොන්ග්‍රසයේ ගස ලකුණින් පත්ව සිටී. එපමණක්ද නොව ඔහු මේ වන විට රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද දරයි. ඒ එක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව පිළිගත් වෙනත් පකෂයක් වන නිසා එම පක්ෂය සමඟ එක් වී ජාතික ආණ්ඩුවක් පිහිටුවා අමාත්‍ය ධුර ගණන තමන්ට අවශ්‍ය තරමට ඉහළ නංවා ගැනීම, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව සහ ඊට කතානායකවරයා ලබාදුන් අර්ථකථනය අනුව හැකියාව තිබුණද එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රසන්න ක්‍රියාවක් සේ සැලකිය හැකිද?

ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරනවා යැයි කියූ එජාපය එවැනි යෝජනාවක් ගෙන ඒම තරමටම, දෙමළ ජාතික සන්ධානය එයට සහයෝගය දුන්නොත් එයද අප්‍රසන්න ක්‍රියාවක් වන්නේය. ඇමතිවරු සංඛ්‍යාව ඉහළ නන්වා ගැනීමේ ප්‍රධාන පරමාර්ථයෙන් ගෙන එන ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂ වීම සහ විපක්ෂ වීම තෝරා ගන්නා ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිස මන්ත්‍රීවරුන්ද සැලකිය හැක්කේ අවස්ථාවාදී දේශපාලන ව්‍යාපෘතීන් උදෙසා ජනතා පරමාධිපත්‍ය අවභාවිතයේ යොදවන පිරිසක් ලෙසය. එහෙත් ඉතා වැදගත් වන්නේ ව්‍යවස්ථාව ආවරණයක් සේ යොදා ගනිමින් සිදු කරන්නා වූ මෙම කැත සහ නිර්ලජ්ජිත ක්‍රියාවට ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා එජාපෙ වටා සිටින සංවිධාන හෝ පුද්ගලයන් නිහඬව අනුමැතිය දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. එයින් ලබාගත හැකි අනුමාන කීපයකි. එවැන්නන් ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අර්ථගන්වා ගන්නේ තමන් කැමකි පක්ෂය හෝ කඳවුර බලයට  කිරීම සහ තමන් අකැමැති පක්ෂය හෝ කඳවුර බලයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය විය හැකිය. එමෙන්ම තමන් කැමති කඳවුර, අනතුරේ වැටෙන විට එය වළක්වා ඔවුන් නිරුපද්‍රිත කිරීමද ප්‍රජාතන්ත්‍රවාදය යැයි ඔවුන් සලකනවා විය හැක. මෙහි ප්‍රධාන පරමාර්ථය තමන්ට වාසිදායක දේශපාලන, ආර්ථීක හා සමාජ පසුබිමක් දිගටම පවත්වා ගැනීම පමණක් නම් එයද කිසිසේත්ම රට ගොඩනැගීමේ අවංක මැදිහත් වීමක් නොවනවා සේම රටට සිදුව ඇති විනාශය අඩියක් හෝ ආපස්සට හැරවීමට ද එවැනි ව්‍යාපාරයන්ට කිසිදු හැකියාවක් ඇතැයි සිටිය නොහැක.

මීට අමතරව අවශ්‍යයෙන්ම විය හැකි යැයි අනුමාන කළ හැක්කේ එළිපිටම පවත්නා දේශපාලන ගැටුම් තව තවත් උග්‍ර අතට හැරීමය. සිරිසේන ජනාධිපතිවරයා, වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා සමඟ පමණක් නොව, ජයසූරිය කතානායකවරයා සමඟ ද දේශපාලන හොඳ හිතක් ඇතැයි සිතිය නොහැකිය. එවැනි තත්ත්වයකදී පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත කෙසේ හෝ ලබාගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවුවද, එයින් ඉහළ යන අමාත්‍යධුර ලබාදීමේ සහ ආයතන මෙන්ම විෂයයන් ඛෙදීමේදී ජනාධිපතිවරයා සිය අභිමතය පරිදි ක්‍රියා කිරීමට ඇති ඉඩකඩ වැඩිය. එහිදීද රට තුළ උදාවනු ඇත්තේ ව්‍යවස්ථා අර්බුදයක් පමණක් නොව, නිමා නොවන දේශපාලන වියවුලක් වන්නේය. එවැන්නක් කිසිසේත්ම රටේ පැවැත්ම හෝ ඉදිරි ගමනට හිතකර වන්නේ යැයි විශ්වාස කළ නොහැක.