ලෝක පිළිකා දිනයට යෙදෙන ශ්‍රී ලංකාවේ නිදහස

මහින්ද හත්තක

පෙබරවාරි හතර ලෝක පිළිකා දිනය වශයෙන් නම් කිරීමේ දී එම දිනය වරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ ශ්‍රී ලංකාවේ නිදහස සමරණ දිනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සැලකිල්ලට නොගන්නට ඇත. එහෙත් ඒ දෙක අතර පවතින්නේ දෛවෝපගත සම්බන්ධයක් බව නිදහසේ හැත්තෑ එක් වැනි දිනය සමරණ ශ්‍රීලංකාවාසීන්ට සිතෙන බව නොඅනුමානය. නිදහස ලබා ගත් දිනයේ සිට දේශපාලන ආර්ථික හා සමාජයීය වශයෙන් අපට අත් වූ ඉරණම අද ජාතික දේහය වසා ගිය මාරාන්තික පිළිකාවක් බවට පත්ව ඇත. එය වඩාත් හොඳින් පැහැදිලි වූයේ ගාළුමුවදොර පැවති සමරු උත්සවයේ දී රාජ්‍ය නායකයා වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ දේශනයෙනි.

මීට මාස කීපයකට පෙර ජාතියේ පමණක් නොව ලෝකයේම පිළිකුලටත් අවඥාවටත් ලක්වන ආකාරයට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හැසිරුණු මෙම දේශපාලකයන්ට ජාතික නිදහස් දිනය සැමරීමට තරම් සංයමයක් තිබේ ද යන්න සැකයට ලක්ව තිබූ තත්ත්වයක් යටතේ ඔවුන් දෙපාර්ශ්වයම එකම වේදිකාවක් මත සිට ගෙන සන්නද්ධ හමුදා ආචාර පෙළපාළි නැරඹීම මද හෝ අස්වැසිල්ලකි. එහෙත් ජනාධිපති සිරිසේන මහතාගේ දේශනය තුළින් එය අස්වැසිල්ලට එහා දෙයක් නොවන බව මැනවින් ඔප්පු කෙළේය. පසුගිය වසර හතරක කාලයක් තුළ රටේ ජනතාවට ඊට පෙර පැවති සමයට වඩා ආරක්ෂාවක් ලැබුණු බව ඔහු සඳහන් කෙළේ වසර හතරකට පසු නිදහස් සමරු වේදිකාවට ගොඩ වී එහි ඉදිරි පෙළ අසුනක සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිහිගන්වමිනි. ඉන් පසුව උපරිම වශයෙන් මාස පහළොවක් වැනි කෙටි ආයු කාලයක් පවතින රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පිහිටුවීමට යන ජාතික රජයට තමා විරුද්ධ බව ප්‍රකාශ කෙළේ නැවත වරක් රට අරාජික තත්ත්වයට පත් කරන දේශපාලන අර්බුදයක අඳුරු වලාකුළු සිහිගන්වමිනි. එවන් ප්‍රකාශයක් පසුගිය වසර හැත්තෑවක කාලය තුළ නිදහස් දින වේදිකාවෙන් අසන්නට ලැබුණේ නැත.

1948 දී බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් වැඩි ආයාසයකින් තොරව නිදහස ලබා ගැනීමට හැකිවූයේ සිංහල බහුතරය සහ සෙසු ජන කොටස් අතර කිසියම් ආකාරයක එකඟතාවක් තිබුණු නිසාය. මුස්ලිම් ජන කොටස නියෝජනය කළ ටී බී ඡායා වැනි නායකයන් නිදහස ලබා ගැනීම සඳහා තම ජන කොටස අන් සියලු මතභේද ඉවතලා සිංහල බහුතරය සමග එක්වන බවට ප්‍රතිඥාවක් දුන්නේය. දෙමළ දේශපාලන නායකත්වයෙන් ද වෙනම රාජ්‍යයක් ලබාදිය යුතුයැයි ප්‍රබල ඉල්ලීමක් මතුවූයේ ද නැත. වඩාත් වැදගත් වන්නේ 1945 නොවැම්බර් මස රාජ්‍ය සභාවට ඩී ඇස් සේනානයක මහතා යොජනාවක් ඉදිරිපත් කරමින් වසර පහක පදිංචි කාලයක් තහවුරු කරන වතුකරයේ දෙමළ ජනතාවට ඡන්ද අයිතිය ලබාදෙන බවට සහතිකවීමය. ඉන් වතුකරයේ දෙමළ ජාතිකයන් තුළ තම පුරවැසිභාවය ගැන තිබූ සැකය දුරු විය.
එහෙත් එම සහතිකය පැවතුණේ නිදහස ලැබෙන තෙක් පමණි. ඉන් පසුව රැස්වූ ප්‍රථම පාර්ලිමේන්තුවේ දී එනම් 1948 අගෝස්තු මස සම්මත කළ පුරවැසි පනතින් වතුකරයේ දෙමළ ජනතාවට ලබා දුන් සහතිකය අවසන් කෙරිණ. 1948 දෙසැම්බර් 10 වැනි දින, එනම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් ජගත් මානව අයිතිවාසිකම් ප්‍රකාශනය සම්මත කළ දිනයේ ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත් දෙවන පුරවැසි පනත අනුව ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය. එහෙත් පුරවැසි භාවය ලබාගැනීම සඳහා ඉල්ලුම්පත් යොමු කිරීම පහසු කාර්යක් වූයේ නැත. 1963 වන තෙක් එසේ ඉල්ලුම් කොට පුරවැසිභාවය ලබාගත්තේ ඉන්දියානු සම්භවයක් ඇති අයගෙන් සියයට 11ක් පමණි. මෙම වංචාසහගත ක්‍රියා පටිපාටියෙන් පැහැදිලි වන්නේ ආරම්භයේ සිටම මෙම දේශය නිජබිම කර ගත් සියලු ජන කොටස්වලට සමානව සැලකීමේ සම්මතයක් අප දේශපාලන නායකත්වය තුළ නොතිබීමය. මෙම වෙනස් කොට සැලකීම ඊට වසර තිහක් ගතවන විට රටම අගාධයට පත් කළ තිස් අවුරුදු යුද්ධයකට හේතුවිය.

නිදහස් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් පුරවැසි පනත්වලින් සිදුවූයේ වතුකරයේ දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය අහිමිවීම පමණක් නොවේ. විවිධ වාර්ගික හා ආගමික පසුබිමක් ඇති ශ්‍රීලංකාවාසීන් සියලුදෙනාට සමානව සැලකීමට ඇති අකමැත්තයි. මෙය 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නැවත වරක් තහවුරු විය. ඒ සිංහල බෞද්ධයන්ගෙන් ප්‍රබල ඉල්ලීමක් නැතිවම බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්කිරීමේ වගන්තියක් ව්‍යවස්ථාවට එක් කිරීමෙනි. බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කිරීම අනෙකුත් ආගම්වලට අගතියක් නොවන බව අවධාරණය කළ ද කිසියම් ආගමකට ප්‍රමුඛස්ථානය ලබාදීමෙන් අදහස් වන්නේ අන් ආගම් ඊට වඩා පහතින් පවතින්නේය යන්නයි. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ පාලනයත් සමග අනෙකුත් ආගම්වලට දෙවැනි කොට සැලකීමේ උත්සාහය විවේචනයට ලක් කරන නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය අම්රිට්යා සෙන් පෙන්වා දෙන ආකාරයට කිසියම් ලෙසකින් එක් ආගමක් ප්‍රමුඛත්වයට පත් කිරීම අනෙක් ආගම් පහත් කොට සැලකීමකි. ඔහු අශෝක අධිරාජ්‍යයාගේ සිට අක්බාර් අධිරාජ්‍යයා දක්වා ඉන්දියානු ඉතිහාසය විශ්ලේෂණය කරමින් එය ඉන්දියාවේ ආගමික සම්ප්‍රදාය නොවන බව පෙන්වා දුන්නේය.

ඒ අප නිදහසින් පසු ජාතිය ගොඩ නැගීමට නොව විනාශයට ගෙන යෑමට ගත් තවත් උත්සාහයකි.
අනෙක් අතට ජාතික ආර්ථිකය ගොඩනැගීමට අප අනුගමනය කෙළේ ද එවැනිම අදූරදර්ශී පිළිවෙතකි. බි්‍රතාන්‍ය අධිරාජ්‍ය පාලනය යටතේ ගොඩනැගුනු වැවිලි ආර්ථිකය වෙනුවට රටේ බහුතරය වන ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක සැබෑ අවශ්‍යතාවක් තිබිණ. එහිදී වී ගොවිතැන වඩාත් ශක්තිමත් පදනමකින් ස්ථාපිත කළ යුතු විය. බි්‍රතාන්‍ය පාලනය යටතේ රටට අවශ්‍ය සහල් යටත්විජිතයේම වෙනත් රටවලින් ආනයනය කළ නිසා අපේ රටේ කෘෂිකර්මාන්තය නොසලකා හැරිණ. පුරාණ කාලයේ වී ගොවිතැන සාර්ථක කර ගැනීම සඳහා ඉදිකරන ලද වැව් සියල්ලම පාහේ නටබුන්ව තිබිණ. එම නිසා සහල්වලින් රට ස්වයංපෝෂිත කිරීමටත් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමටත් වැව් පදනම් කර ගත් කෘෂිකර්මාන්තයට පුනර්ජීවනයක් ලබාදීම ප්‍රමුඛ කටයුත්තක් විය. ඒ සඳහා යොදා ගත් උපාය මාර්ගය වූයේ වියළි කලාපයේ වැව් ප්‍රතිසංස්කරණය කොට ගොවි ජනපද පිහිටුවීමය. ඩී ඇස් සේනානයකගේ සිට පැවති සියලු රජයන්ගේ ප්‍රමුඛතාව වූයේ එයයි.

රටේ ජනතාවගෙන් සියයට හැත්තෑවකටත් වඩා කෘෂිකර්මයෙන් යැපෙන තත්ත්වයක් තිබු එම කාලසීමාවේ එය වලංගු ආර්ථික ප්‍රතිපත්තියකි. එහෙත් එම වැඩපිළිවෙළින් අමතක කළ වැදගත් කොටසක් වන්නේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට වී ගොවිතැන පුළුල් කිරීමට අමතරව ඒ හා බැඳුණු වෙනත් ආර්ථික ක්‍රියාවලීන් සංවර්ධනය කිරීමය. එහෙත් එවැනි ක්‍රියාමාර්ග ගැන අවධානයක් යොමුවූයේ නැත. එම නිසා ගොවි ජනපදවල පදිංචි කරන ලද ජනතාවගේ දෙවන, තෙවන පරම්පරාවලදී නැවත වරක් විරැකියාව සහ දරිද්‍රතාව ඉස්මතු විය. වරින් වර පැමිණෙන නියං සායෙන් ද ගොවි ආර්ථිකය වඩාත් දුර්වල කෙරිණ. එවැනි තත්ත්වයක් ඇතිවීමට මූලික හේතුව වූයේ වැව් ප්‍රතිසංස්කරණ කොට වී වගාව පුළුල් කිරීම පමණක් ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට ප්‍රමාණවත් නොවීම ය.

මීටත් වඩා හානිකර ලක්ෂණය වන්නේ එය කෘෂිකර්මාන්තයේ නගා සිටුවීමට වඩා දේශපාලන අරමුණක් ඇතිව සැලසුම් කිරීමය. වසර හැත්තෑවක් ගෙවී ඇති තත්ත්වයක් යටතේ ද මේ රටේ ආර්ථිකයට ඉමහත් දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ගේ දේශපාලන අයිතිය නැති කළ ආකාරයට උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිය අහිමි කිරීමේ අප්‍රකාශිත එහෙත් එළිපිටම ක්‍රියාත්මක වූ උත්සාහයක් ද තිබිණ. මහජන මුදලින් අලුතින් ඉදි කරන ලද ගොවි ජනපදවල ගොවීන් පදිංචි කිරීමේදී රටේ ජන සංයුතිය ගැන කිසිම අවධානයක් යොමු කෙළේ නැත. උතුරු නැගෙනහිර පළාත්වල පවා පිහිටුවන ලද ගොවි ජනපදවල වැඩි වශයෙන්ම පදිංචි කෙළේ සිංහල ජන කොටස පමණි. සිංහල (බෞද්ධ) ජනතාවගේ ව්‍යාප්තිය පුළුල් කිරීමෙන් ජාතික ගැටලුව විසඳීමට හැකිවන්නේයැයි මෙරට පාලනය කළ සියලු දේශපාලන පක්ෂ සිතූහ. එය මුලාවක් බව තිස් අවුරුදු යුද්ධයෙන් හෝ ඉගෙන ගත් බව නොපෙනේ.

දෙවැනිව මෙම ගොවි ජනපද පිහිටුවීම ආයෝජනයක් නම් එහි ප්‍රතිලාභ ගැන කිසිදු තැකීමක් කෙළේ ද නැත. සමහරවිට දේශපාලන වුවමනාව නිසා ආර්ථික ගණන් බැලීමක් අනවශ්‍ය බව අපේ දේශපාලකයන් සිතන්නට ඇත. එහෙත් ඩොලර් බිලියන 50කට ආසන්න ණය කන්දරාවකට මුහුණ දී සිටින අපට ආයෝජනයේ ආර්ථික ප්‍රතිලාභ තවදුරටත් නොසලකා සිටිය නොහැක. මේ තත්ත්වය වඩාත් ඛේදජනක වන්නේ කීර්තිමත් කෘෂි ආර්ථික විද්‍යාඥයන් මේ බව පෙන්වා දුන් නමුත් අපේ දේශපාලකයන් එය නෑසු කන්ව සිටීමයි. කීර්තිමත් කෘෂි ආර්ථික විද්‍යඥයකු වන එල් සී අරුල්ප්‍රගාසම් මහතා 2012 දෙසැම්බර් මස දි අයිලන්ඞ් පුවත්පතට සැපයූ ලිපියකින් පැහැදිලි කරන ආකාරයට වසර 50කින් පසුව ද ගොවි ජනපද පිහිටුවීමට ආයෝජනය කරන ලද සෑම රුපියලකින්ම ආපසු ලැබී ඇත්තේ ශත පනහක් වැනි සොච්චමකි. ඔහු මෙම ගණන් බැලීම මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර එවකට සිටි අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට පෙන්වා දුන් නමුත් ඇයගේ කැබිනට් මණ්ඩලයේ සගයෝ එම මතය අවඥාවෙන් බැහැර කල නිසා ඇයට පියවරක් ගැනීම නොහැකි විය.

කලින් පිහිටුවන ලද ගොවි ජනපද පමණක් නොව ලෝක බැංකුවේ ණය ආධාර මත ක්‍රියාත්මක වූ මහවැලි ව්‍යාපෘතිය ගැන එම බැංකුව පසුකාලීනව කරන ලද සමීක්ෂණවලින් එම ආයෝජනය ආර්ථික වශයෙන් ප්‍රතිලාභ අත් නොවන බව සඳහන් කර ඇත.

ජාතිය ගොඩනැගීමේ දැවැන්ත ව්‍යාපාරයක් ලෙස හඳුන්වා දුන් මහවැලි ව්‍යාපාරයේ තවත් අඳුරු පැත්තක් ද ඇත ඒ මහවැලි ව්‍යාපාරයට අයත් ප්‍රදෙශයේ මෙතෙක් ප්‍රබලව නොපැවති වකුගඩු රෝගය වසංගතයක ආකාරයෙන් ව්‍යාප්තවීමයි. වකුගඩු රෝගයට නිශ්චිතවම බලපාන හේතු සාධක ගැන එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර පවා එකඟතාවක් තවම නැති නමුත් සංඛ්‍යා ලේඛනවලින් දැක්වෙන රටාවක් පවතී. 2011 දී ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ලද අධ්‍යයනයක් අනුව උතුරු මැද පළාතේ පමණක් වකුගඩු රෝගීන් දෙලක්ෂකට අධික සංඛ්‍යාවක් සිටිති. එය එම ප්‍රදේශයේ ජන සංඛ්‍යවෙන් සියයට 15කට වඩා වැඩිය. එම අධ්‍යයනයෙන් පෙන්වා දෙන ආකාරයට මෙම වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීම වාර්තා වන්නේ පසුගිය වසර විස්සක පමණ කාලය තුළය. පදවිය රෝහලට පැමිණෙන රෝගීන්ගෙන් සියයට පනහකට වඩා වකුගඩු රෝගී තත්ත්වයන්ට මුහුණ දී ඇති අයයි. වකුගඩු රෝගය සහ මහවැලි ව්‍යාපාරය අතර සම්බන්ධතාවක් නැති වුවත් මෙම රෝගයට ගොදුරු වන්නේ පිරිසිදු ජලය පානයට ගැනීමට අවස්ථාවක් නැතිවීම නිසා බව පැහැදිලිය.

අප පැහැදිලි කිරීමට උත්සාහ කෙළේ නිදහසින් පසු රට කළ සියලුම ආණ්ඩු ජාතික ආර්ථිකය සහ ගොවි ජනතාව නගා සිටුවීමට ගත් උත්සාහය ආර්ථික වශයෙන් හේතු යුක්ති කළ නොහැකි අතර ජනතාවට අලුත්ම සෞඛ්‍ය ගැටලු මතු කළ ව්‍යසනයක් වූ ආකාරය පෙන්වා දීමටය. මෙම ව්‍යාපාර සඳහා රාජ්‍ය ආයෝජනවලින් විශාලම ප්‍රමාණයක් වැය වුවද එම ප්‍රදේශවල ගොවි ජන ජිවිතයේ කැපී පෙනෙන වෙනසක් සිදුව නැත. වී ගොවිතැන නගා සිටුවීමට තවමත් උත්සාහ කරන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ සමයේ සිදුවූ ආකාරයට ය. නූතන ලෝකයේ නවීන කෘෂි විද්‍යාත්මක ක්‍රම හඳුන්වා දී කෘෂිකර්මය ආර්ථික වශයෙන් ඵලදායී, පාරිසරික වශයෙන් තිරසාර බවක් ඇති ව්‍යාපාරයක් බවට පත් කිරීමට දැනුවත් උත්සාහයක් ගෙන නැත. මොරගහකන්ද ව්‍යාපාරය ද පරාක්‍රමබාහු යුගයට ආපසු යෑමේ තවත් උත්සාහයකි.
කෘෂිකර්මයට අමතරව ආර්ථිකයේ අනෙක් ක්ෂේත්‍රවල ද දක්නට ඇත්තේ එවැනිම ඛේදනීය තත්ත්වයකි. දැනුම පදනම් ආර්ථිකයක් ගොඩනැගීම තම ඉලක්කය බව දේශපාලකයන් පැවසුව ද නිදහසින් පසුව අධ්‍යාපනයට දක්වා ඇත්තේ කුඩම්මාගේ සැලකිලි ය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්ය සේනක බිබිලේ ගේ සිහිනය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ කන්නන්ගරගේ උරුමය ද සම්පූර්ණයෙන්ම අකාමකා දමා ජාත්‍යන්තර පාසල් පෙරමුණට පැමිණ ඇත. කලාපයේ රටවල් අධ්‍යාපනය තම ප්‍රමුඛතාවක් ලෙස සැලකුව ද ශ්‍රී ලංකාවේ එසේ නැත. ලංකාවේ රාජ්‍ය වියදමෙන් සියයට 5.2ක් අධ්‍යාපකය සඳහා වැය කරන අතර කේරළයේ එම අනුපාතය සියයට 14.6කි. මැලේසියාවේ සියයට 21.6ක් වන අතර සිංගප්පූරුවේ සියයට 18.6කි. වාර්ගික යුද්ධය නිමවී දශකයකට ආසන්න කාලයක් ගත වුවද ආරක්ෂක වියදම්වල කිසිම අඩුවීමක් දක්නට නැත. ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට වෙර දරන මෙම දේශපාලකයන් එම රටවලින් උගත් පාඩමක් දක්නට නැත.

මෙවැනි පසුබිමක දශත හතක් ගත වුවද ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි ආර්ථික දියුණුවක් හෝ මුහුකුරා ගිය දේශපාලනයක් දක්නට නැත. අහස උසට ගොඩනැගිලි ඉදිවුවද පැයට කිලෝමීටර් සියය ඉක්මවා වේගයෙන් යා හැකි අධිවේගී මාර්ග ඉදි වුවද අප තවමත් සිටින්නේ ආර්ථික මෙන්ම දේශපාලන ගිනි කන්දක් මත ය. දරා ගත නොහැකි තරමට ණය බරින් පෙළෙන, ජාතීන් අතර සමගියට වඩා වෛරය උපදවන රටක ජනාධිපතිවරයකුට නිදහස් සමරු උත්සවයේ දී අනෙකුත් දේශපාලකයන්ට ඇඟිල්ල දිගු කිරීම හැර කළ හැක්කේ කුමක් ද?