අධ්‍යාපනය හා කෘෂිකර්මය ආශ්‍රයෙන් ලංකාව තේරුම් ගැනීම

වික්ටර් අයිවන්

ලංකාව බොහෝවිට දේවල් දකින හා කල්පනා කරන විධියේ ලොකු පසුගාමී භාවයක් සේ ම අවුල්සහගතභාවයක්ද පවතී. පිළිගත් ප්‍රතිපත්ති බවට පත්ව ඇති දේවල්වලද එම පසුගාමීභාවය හා අවුල්සහගතභාවය දැකිය හැකිය. එය රටේ හැම අංශයකම දක්නට තිබෙන පොදු ලක්ෂණයක් වන අතර එය ලංකාවේ අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එම ප්‍රවණතාව ලංකාවේ ප්‍රමාණවත් තරමින් සාකච්ඡාවකට ලක්වී නැත. මේ ලිපියෙන් අපේක්ෂා කරන්නේ අධ්‍යාපනය හා කෘෂිකර්මය යන අංශ දෙකේ පරිහානිය කෙරෙහි එම සාධක දෙක බලපා තිබෙන ආකාරය සලකා බැලීමය. මෙම ලිපිය එම අංශ දෙකේ පවතින අවුල්සහගත තත්ත්වය කෙරෙහි බලධාරීන්ගේ සේ ම මහජනයාගේද අවධානය යොමු කිරීම පිණිස තෝරාගත් නිදර්ශන කීපයක් ගෙන කරන සාමාන්‍ය විචාරයක් ලෙස සැලකිය යුතුය.

ගණිතයේ ඇතිවී තිබෙන දියුණුව

කිසියම් කාලයක් තිස්සේ සා. පෙළ විභාගයේදී ගණිතයෙන් අසමත් වන ශිෂ්‍යයන්ගේ අනුපාතිකය තිබුණේ සියයට 65ක් තරම් ඉහළ මට්ටමකය. දැන් එම අංශයේදී ලබාගෙන තිබෙන දියුණුව අසමසම මට්ටමක පවතී. එය ක්‍රමානුකූලව ලබාගත් දියුණුවක් නොව වහාම ලබාගත් දියුණුවකි. දැන් අසමත්වන්නන්ගේ අනුපාතිකය සියයට 35 දක්වා අඩුවී, සමත්වන්නන්ගේ අනුපාතිකය සියයට 65 දක්වා වර්ධනය වී තිබේ. මෙම වේගවත් වර්ධනය ගණිත විෂය ශිෂ්‍යයන්ට උගන්වන ක්‍රමයේ ඇති කරගත් දියුණුවක් නිසා ලබා ගත්තත් නොව සාමාන්‍ය සාමාර්ථයක් සඳහා ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 29 දක්වා අඩු කිරීම නිසා හිමි කරගත් වර්ධනයකි. එම ප්‍රතිපත්තිය ගණිතය ඉගෙන ගන්නා සිසු දරුවන්ගේ විනාශයට මිස යහපතට හේතුවන ප්‍රතිපත්තියක් ලෙස සැලකිය නොහැකිය.
ඉතාමත් පුදුමසහගත දේ ලෙස සැලකිය හැක්කේ විභාගය සඳහා යොදා ගත් කඩුල්ලේ උස අඩු කිරීම ලංකාවේ අධ්‍යාපනඥයන්ගේ හෝ උගතුන්ගේ හෝ උගත් මාපියන්ගේ බලවත් විරෝධයට හෝ කම්පනයට හේතු නොවීමය. එය ඒ සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවී තිබෙන දෙයක් බවට පත්ව තිබෙන්නේය. එය ලංකාව තමන්ගේ වැරදි හදාගන්නා ක්‍රමය ලෙසද සැලකිය හැකිය.
දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ සාපෙළ විභාගය ආරම්භ කෙරුණේ සඳුදා දිනයකිනි. හිටපු විභාග කොමසාරිස්වරයා ඒ දිනය වෙනස් කොට විභාගය අඟහරුවාදා දිනයකින් ආරම්භ කරන සම්ප්‍රදායක් ඇති කළේය. ඒ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විභාග කොමසාරිස්වරයාට කතා කොට කරුණු පැහැදිලි කරගැනීමෙන් පසුව විභාග දිනය වෙනස් කිරීමට බලපා තිබෙන හේතුව එම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළේ විභාග කොමසාරිස්වරයා කෙරෙහි ප්‍රාසාදාත්මක හැඟීමක්ද ඇති කෙරෙන ආකාරයටය.

ඒ අනුව කොමසාරිස්වරයා සඳුදා දිනය අඟහරුවාදා දිනයක් බවට වෙනස් කර තිබෙනුයේ රාහු කාලය සඳුදා දිනවල විභාගය ආරම්භ වන කාලය දක්වා බලපාන නිසා එම විසම තත්ත්වයෙන් විභාගයට පෙනී සිටින සිසු දරුවන් බේරා ගැනීම සඳහාය. එම උගත් විභාග කොමසාරිස්වරයා විභාග කොමසාරිස් තනතුරට පත් නොවී සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියා වී නම් එය රාහු කාලය හා මරුවා සිටින දිශාව සැලකිල්ලට ගෙන ගුවන් ගමන් මෙහෙයවන ලෝකයේ එකම ජ්‍යොතිෂ්‍ය ගුවන් තොටුපොළක් බවට පත්වන්නට ඉඩ තිබුණි. ලංකාවේ වැදගත් නිල තනතුරු දරන පුද්ගලයන්ට ඔවුන්ගේ ඔළුවල තිබෙන බහුභූත විශ්වාසයන් මත පිහිටා තමන් භාරයේ තිබෙන ආයතන එම විශ්වාසයන්ට අනුකූලව පවත්වාගෙන යෑමට ලැබී තිබෙන නිදහසේ තරම ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.

දැන් ප්‍රසිද්ධ විභාගවලට පෙනී සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම පාසල් විසින්ම බාර හාරවලට යොමු කරවන ක්‍රමයක් පාසල්වල ක්‍රියාත්මක වේ. විභාගවලදී සිදුකළ යුතු බාරහාර සඳහා තෝරා ගත් පල්ලි, පන්සල් හා දේවාලවලට විභාග අපේක්ෂකයන් කණ්ඩායම් වශයෙන් රැගෙන යන වැඩසටහන්වල භාරකරුවන් ලෙස ක්‍රියාකරන්නේද ගුරුවරුන්ය. එය පාසල් බලධාරීන්ගේ නිල අනුමැතිය ඇතිව කෙරෙන වැඩසටහනක් බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. ප්‍රසිද්ධ විභාගවලට පෙනී සිටින දරුවන්ට විභාගවලට ලිවීම සඳහා ජීවන් කළ පෑන් බෙදා දෙන ක්‍රමයක්ද සමහර ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන්නේද පාසල් බලධාරීන්ගේ අනුමැතිය හා අනුග්‍රහය ඇතිවය. ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය කුණුවී තිබෙන තරම ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. පාසල් අධ්‍යාපනයේ අරමුණ පාසල් ළමුන්ට මෙලොව ජීවිතය ඵලදායී කරගැනීමට හේතුවන ලෞකික අධ්‍යාපනයක් දීම මිස, ඔවුන්ගේ මෙලොව ජීවිතය කාලකණ්ණි කොට ඔවුන්ගේ පරලොව ජීවිතය සැපවත් කිරීමේ අරමුණින් විය නොහැකිය. එහෙත් ලංකාවේ පාසල් ක්‍රමය පාසල් සිසුන් අධි භෞතික විශ්වාසයන්ට යොමු කරවන ආයතන ක්‍රමයක් බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. ඉතාමත් වැදගත් දේ පාසල් දරුවන් ම්ලේච්ඡ තත්ත්වයෙහිලා සැලකිය හැකි මෙම මිථ්‍යා විශ්වාසයන්ට නැඹුරු කරන ක්‍රමය ජනමාධ්‍යවේදීන්ගේ හෝ උගතුන්ගේ හෝ උගත් මාපියන්ගේ බලවත් විරෝධයට හේතුවී නොතිබීමය.

කට පාඩම් කොට ලබන දැනුම ලංකාවේ පාසල් සිසු දරුවන් දැනුම ලබාදෙන ප්‍රධානම මාර්ගය බවට පත්කර තිබෙනු දැකිය හැකිය. සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රමයම ගොඩනගා තිබෙන්නේ එම ධර්මතාවට අනුකූලවය. භාෂාව ලේඛනගත කරන ක්‍රමයක් නොතිබුණු ඈත කාලයේදී රැස් කරගෙන තිබෙන දැනුම ඉදිරි පරම්පරාවට උරුම කර දුන්නේ ඒවා කටපාඩම් කරවීමෙනි. ඒ ක්‍රමය සලකන ලද්දේ වන පොත් කිරීම වශයෙනි. ලංකාවේ පාසල් ළමුන්ට දැනුම ලබාදෙන්නේද ඊට සමාන ක්‍රමයකටය. තොරතුරු සොයා යාම මගින් හෝ පොත් කියවීම මගින් දැනුම වර්ධනය කරගන්නා ක්‍රමයක් වෙනුවට ක්‍රියාත්මක වන්නේ ගුරුවරයා ලබාදෙන දැනුම කටපාඩමින් මතක තබා ගන්නා ක්‍රමයකි. ඒ ක්‍රමය පාසල් ළමුන්ගේ නිර්මාණාත්මක හැකියාවක් නැති භංග කොට ඔවුන් ගිරවුන් බවට පත් කරන දුෂ්ට ක්‍රමයක් ලෙස සැලකිය හැකි වුවත් එය මහජනයාගේ විරෝධයට හෝ සංවේගයට හේතුවී තිබෙන බවක් පෙනෙන්නට නැත.

පාසල් ක්‍රමය

ලංකාවේ පාසල් ක්‍රමය ලංකාව කල්පනා කරන ආකාරයේ අවුල්සහගතභාවය පෙන්වීම සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය. පාසල් ක්‍රමය ලොකු සංකීර්ණ අවුලක් බවට පත්කරගෙන තිබෙන්නේ එය පහසුවෙන් විසඳා ගැනීමට පුළුවන්කම තිබියදීය.
හොඳ පාසල් අධ්‍යාපන ක්‍රමයක් තිබෙන හැම රටකම පාහේ පාසල් ක්‍රමය බෙදා තිබෙන්නේ ප්‍රාථමික, ජ්‍යෙෂ්ඨ හා උසස් වශයෙනි. රජයේ පාසල් අධ්‍යාපනයට අලුතෙන් එකතු වන ළමයකුට තෝරා ගැනීමට ලැබෙන්නේ පදිංචි නිවසට ආසන්නයේම තිබෙන පාසල් දෙක තුනෙන් එකකි. හැම තැනකම තිබෙන ප්‍රාථමික පාසල්වල තත්ත්වය බොහෝ දුරකට එක සමානය. ප්‍රාථමික පාසල් සඳහා ඒවාට ඇතුළුවීම සඳහා තරගයක් ඇත්තේම නැති තරම්ය.

ලංකාවේ තත්ත්වය ඊට මුළුමනින් වෙනස්ය. සමහරවිට මවකගේ කුසේ දරුවකු පිළිසිඳ ගත්දා සිට උපදින්නට යන ළමයාට සුදුසු පාසලක් සොයා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරන්නට මවට හා පියාට සිදුවේ. සුදුසු පාසලක් තෝරා ගැනීමේ අරමුණ සපුරා ගැනීම සඳහා පදිංචිය සහතික කිරීම සඳහා ලොකු වියදමක් දරා බොරු සාක්ෂි ගොඩනගන්නට සිදුවේ. අවසානයේ ලොකු පගාවක්ද ගෙවූ පසු අපේක්ෂිත අරමුණ ඉටුකර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ තරගකරුවන් අතරින් ඉතාමත් සුළු පිරිසකට පමණය. මෙය අශීලාචාර ක්‍රමයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

ලංකාවේ පාසල් වර්ග කොට බෙදා තිබෙන අවිධිමත් ක්‍රමය දුප්පතුන්ට අධ්‍යාපනය හරහා ඉහළ නැගීමට තිබෙන ඉඩ සීමා කොට පාසල් ක්‍රමයට පන්ති ස්වරූපයක් ලබාදීමට හේතුවී තිබෙනවාට අතිරේකව පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලිය අන්ත දූෂිත කිරීමටද හේතුවී තිබේ.

ලංකාව පාසල් වර්ග කර තිබෙන විසම ක්‍රමය අහෝසි කොට විධිමත් සරල වර්ග ක්‍රමයක් ඇති කොට සියලු පාසල්වලට එක සමාන පිළිගැනීමක් ලබාදෙන ක්‍රමයක් ඇති කිරීමෙන් මෙම සංකීර්ණ අවුල පහසුවෙන් විසඳිය හැකිය. 1 වන වසරේ සිට 5 වන වසර දක්වා පන්ති පැවැත්වෙන ප්‍රාථමික පාසල් ක්‍රමයක්ද 6 වසරේ සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන ද්විතීයික පාසල් ක්‍රමයක්ද 12 වසරේ සිට 13 වැනි වසර දක්වා පන්ති පැවැත්වෙන උසස් පෙළ පාසල් ක්‍රමයක්ද ඇති කළ හැකිය.

මා 2010 වසරේදී කරන ලද ගණන් බැලීමක් අනුව ලංකාවේ රජයේ සියලු පාසල් ප්‍රාථමික, ද්විතීයික හා උසස් පෙළ පාසල් වශයෙන් ප්‍රධාන වර්ග තුනකට බෙදන ක්‍රමයක් ඇති කළහොත් මුළු පාසල් සංඛ්‍යාවෙන් පාසල් 7000ක් හෙවත් සියයට 72ක් අයත් වනු ඇත්තේ ප්‍රාථමික පාසල් ගණයටය. එවැනි එක් පාසලක සාමාන්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 233ක් වනු ඇති අතර පාසලකට වැටෙන ගුරුවරුන් සංඛ්‍යාව 9.65ක් වනු ඇත. 6-11 වසරේ ශිෂ්‍යයන් සඳහා ද්විතියීක පාසල් 2000ක් තිබෙනු ඇති අතර එය මුළු පාසල් සංඛ්‍යාවෙන් සියයට 23ක් වන විට එවැනි පාසලකට වැටෙන සාමාන්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව 945ක්ද පාසලකට වැටෙන ගුරුවරුන් සංඛ්‍යාව 68.64ක්ද වනු ඇත. උසස් පෙළ ගණයට වැටෙන පාසල් 662ක් තිබෙනු ඇති අතර එය මුළු පාසල් සංඛ්‍යාවෙන් සියයට 7ක් වනවිට ඒ වර්ගයේ එක පාසලකට වැටෙන ශිෂ්‍ය සංඛ්‍යාව 662ක්ද ගුරුවරුන් සංඛ්‍යාව 32.01ක්ද වනු ඇත.

පාසල් ක්‍රමයේ කරන එවැනි ප්‍රතිසංස්කරණයක් වර්තමානයේ පාසල් ක්‍රමයේ දක්නට තිබෙන උස් පහත් භේදය තුරන් කොට සියලු පාසල් බොහෝ දුරකට එක සමානව වටිනාකම් හා පෙනුමින් යුතු පාසල් බවට පත්කිරීමට හේතුවනු ඇත. තෝරාගත් පාසල්වලට ඇතුළුවීම සඳහා තිබෙන පොරය අවසන් කොට ඒ ආශ්‍රයෙන් ඇතිවී තිබෙන දූෂණයද මුළුමනින් නැති කිරීමට හේතුවනු ඇත.

එවැනි ක්‍රමයක් පාසල් කළමනාකරණය හා අධීක්ෂණය පහසු කරනු ඇත. ක්‍රමවත් ලෙස සම්පත් බෙදාහැරීම සේ ම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් බෙදාහැරීමද පහසු කරනු ඇත. විදුහල්පතිවරුන්ට පාසල් කළමනාකරණය සේ ම ගුරුවරුන්ට පන්ති කාමර කළමනාකරණයද පහසු කරයි. ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන කුඩා ළමුන්ට ලැබෙන්නේ නිවස ළඟම පාසල වන නිසා මාපියන් නැතිව වුවද ළමුන්ට පාසලට ඒමට හා යාමට පුළුවන්කමක් ලබාදෙයි. ඒ නිසා මාපියන්ට පාසල් අධ්‍යාපනයේදී දරුවන්ගේ ගමනාගමනය සඳහා කරන්නට සිදුවී තිබෙන වියදමද අඩු කිරීමට හේතුවනු ඇත. ඒ නිසා ළමුන්ට මහාමාර්ගවල බස්රථවල හා වෙනත් වාහනවල ගත කරන්නට සිදුවී තිබෙන කාලයද අඩු කරනු ඇත. මාර්ග තදබදයද ලිහිල් කිරීමට හේතුවනු ඇත. ගම්වල සිටින යමක් කමක් තිබෙන අය තම ළමුන්ගේ පාසල් අධ්‍යාපන අවශ්‍යතා සඳහා ගම්වල තිබෙන ඉඩකඩම් හා ගෙවල් දොරවල් විකුණා නගරවලට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවද දුර්වල කිරීමට හේතුවනු ඇත.

පාසල් ක්‍රමයේ එවැනි ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව ජාතික අධ්‍යාපන කොමිසමද නිර්දේශ කර ඇතත් එවැනි වෙනසක් ඇතිවනවා දකින්නට දේශපාලන බලඅධිකාරිය හෝ සුපිරි පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් කැමති නැත. ඔවුන් අකමැතිවන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම අපහසු නැත.

කෘෂිකර්මය හා වන සතුන්

ලංකාව කල්පනා කරන ආකාරයේ තිබෙන අවුල්සහගතබවේ තරම පෙන්නුම් කිරීම සඳහා කෘෂිකර්මයෙන්ද දැක්විය හැකි නිදර්ශන රාශියක් තිබේ. එහෙත් මා මෙහිදී කතා කරන්නේ කෘෂිකර්මයේ වන සතුන් පිළිබඳ ප්‍රශ්නය ගැන පමණය.

දැන් ලංකාවේ කෘෂිකර්මයේ ප්‍රධාන කතාව බවට පත්වී තිබෙන්නේ සේනා දළඹුවාය. දැනටමත් එම දළඹුවා බඩ ඉරිඟු වගාවට ලොකු විනාශයක් කර තිබෙන බව පැහැදිලිය. ඌ වී හා එළවළු වගාවටද තර්ජනයක් විය හැකිය. සේනා දළඹුවා පිළිබඳ ප්‍රශ්නය කඩිනමින් විසඳා ගත යුතුව තිබෙන ලොකු ප්‍රශ්නයක් වුවද කෘෂිකර්මයට හානි කරන එකම සතා සේනා දළඹුවා නොවන බවද අපි අමතක නොකළ යුතුය. ලංකාවේ කෘෂිකර්මයට වන සතුන් කරන හානිය සියයට 40ක් තරම් විශාල බව රජයේද නිල පිළිගැනීම වී තිබේ. ලංකාවේ කෘෂිකර්මයට හානි කරන වන සතුන් අතර ප්‍රධාන වෙන්නේ වඳුරන්, රිලවුන්, වල් ඌරන්, මොනරුන්, ඉත්තෑවන් හා අලින්ය. රටක වන සතුන් සිටිය යුතුය. උන් ආරක්ෂා කරන පිළිවෙතක්ද තිබිය යුතුය. එහෙත් වන සතුන් අතර කිසියම් වර්ගයක හෝ කිහිපයක ගහණයේ අධික වර්ධනයක් ඇතිවෙමින් තිබෙන බව පෙනේ නම් උන්ගේ වර්ධනය පාලනය කිරීමේ වගකීමක් රජයට තිබෙන්නේය. බොහෝ රටවල් ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය වන්නේ ගහණයේ අධික වර්ධනයක් ඇති සතුන් දඩයම් කිරීමේ අයිතිය මහජනයාට ලබාදීමය. නැතිනම් උන්ගේ අතිරික්ත ගහණය විනාශ කිරීම ආණ්ඩුවේ වගකීමක් බවට පත්කර ගනී. ඕස්ටේ්‍රලියාවේ ජාතික සංකේතය ලෙස සැලකෙන්නේ කැන්ගරුය. කැන්ගරු ගහණයේ ඇතිවී තිබෙන සිය වර්ධනය පාලනය කිරීම සඳහා කැන්ගරුන් වෙඩි තබා උන්ගේ මස් මහජන පරිභෝජනය සඳහා විකුණන හා අතිරික්ත මස් සත්ව ආහාර සඳහා යොදා ගන්නා වැඩසටහනක් වර්තමානයේ ඕස්ටේ්‍රලියාවේ ක්‍රියාත්මක වේ.

අපි මස් කෑවද නොකෑවද සත්ව මස්වලට ලොකු ආර්ථික වටිනාකමක් තිබෙන්නේය. එම ආර්ථික වටිනාකම නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා රටවල් සැලකිය හැක්කේ අඥාන රටවල් ලෙසය. ඉන්දියාව බොහෝ දුරට හින්දු රටක් ලෙස සැලකිය හැකිය. හින්දුන් හරක් මස් කන්නේ නැත. එහෙත් ඉන්දියාව තමන් නොකන හරක් මස් ප්‍රයෝජනයට නොගෙන විනාශ වන්නට ඉඩ හරින්නේ නැත. හරක් මස් අපනයනයේදී ඉන්දියාව ලෝකයේ පළමුවැනි ස්ථානය හිමිකර ගෙන සිටී. 2014දී ඉන්දියාව අපනයනය කර තිබෙන හරක් මස් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 2089000කි. උපයා තිබෙන ආදායම ඩොලර් මිලියන 4781.18කි.

ලංකාවේ කෘෂිකර්මයට වන සතුන්ගෙන් වන හානියේ අතිවිශාල වර්ධනයක් ඇතිවී තිබෙන්නේ වන සතුන්ගේ ගහණයේ සිදුවන වර්ධනය පාලනය කිරීමට විධිමත් ප්‍රතිපත්තියක් ආණ්ඩුවට නැති නිසාය. කැරලි ගසන මිනිසුන් මරන්නට ආණ්ඩුව සූදානම්ය. එහෙත් කෘෂිකර්මයට බලවත් ලෙස හානි කරන අධි ගහණයක් සහිත වන සතුන් මරන්න ආණ්ඩුව සූදානම් නැත. එවැනි සතුන් දඩයම් කිරීමේ අයිතිය මහජනයාට දෙන්නටද ආණ්ඩුව සූදානම් නැත. මේ විෂයට අදාළව ආණ්ඩුව පවත්වාගෙන යන ප්‍රතිපත්ති අඥාන වනවා පමණක් නොව හාස්‍යජනක වන බවද කිව යුතුය. නීතිය අනුව වල් ඌරන් මරන්න තහනම් නැත. එහෙත් උන්ගේ මස් ළඟ තබා ගැනීම, විකිණීම හෝ ප්‍රවාහනය තහනම්ය. පුනරුදය කරන ලද කෑගැසීම් නිසා ආණ්ඩුවට වල් ඌරු මස් ළඟ තබා ගැනීමට, ප්‍රවාහනයට හා විකිණීමට අයිතිය ලබාදෙන ප්‍රතිපත්තියක් ඇතිකර ගනිමින් ඒ බව ප්‍රකාශයටද පත් කළේය. ඒ සමග වල් ඌරු මස් මිල කිලෝව රුපියල් 300 දක්වා පහත වැටුණු අතර සමහර ප්‍රදේශවල මස් වෙළෙඳාමද ප්‍රසිද්ධියේ කෙරෙන දෙයක් බවට පත්විය. ආණ්ඩු වෙනස්වීමෙන් ඇතිවූ අර්බුදය නිසා ඊට අදාළ ගැසට් නිවේදනය පළ නොකෙරුණු අතර එය අවස්ථාවක් කරගත් වන නිලධාරීන් දඩයම්කරුවන්ට හා මස් විකුණන්නන්ට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන තැනකට තල්ලු විය. ලංකාවේ නිලධාරීන්ගේ නියම ස්වභාවය ඉන් තේරුම් ගත හැකිය.

වල් ඌරන් මැරීම තහනම් නොවේ නම් මස් ළඟ තබා ගැනීම, ප්‍රවාහනය හෝ විකිණීම තහනම් විය හැක්කේ කෙසේද? ඉන් අදහස්වන්නේ වල් ඌරකු දඩයම් කළ පුද්ගලයකු උගේ මස්වලින් කොටසක් නොකා හා මස් නොවිකුණා ඌ වැළලිය යුතු බවය.

මස් ළඟ තබාගැනීම්, ප්‍රවාහනය කිරීම් හා විකිණීමේ අයිතිය මහජනයාට ලබාදිය හැකිය. එවිට දඩයම ජීවන මාර්ගය බවට පත්කරගත් දඩයම්කරුවන් පිරිසක් ඇතිවනු ඇති අතර එම ජීවන මාර්ගය ඔවුන්ට හොඳ ආදායම් උපයා දෙන මාර්ගයක් බවට පත්වනු ඇත. ඊනියා ජනතාවගේ මස් පරිභෝජනය ඉහළ යන අතර ප්‍රෝටීන් මන්දපෝෂණයට හොඳ පිළියමක් වනු ඇත.
මේ සාකච්ඡාවේදී ලංකාව මන්දපෝෂණයේදී ඉහළම වර්ධනයක් පෙන්නුම් කරන රටක් බවට පත්ව තිබෙන බවද අපි අමතක නොකළ යුතුය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. සමරසිංහ පුවත්පතකට දෙන ලද සම්මුඛ සාකච්ඡාවකදී ලංකාවේ ප්‍රෝටීන් මන්දපෝෂණයේ අනුපාතිකය සියයට 30ක් බව කියා තිබුණි. ලංකාවේ මාංශජනක ආහාර පරිභෝජනය තිබෙන්නේ ඉතාමත් පහළ තත්ත්වයකය. කුඩා ළමුන්ගේ මොළයේ වර්ධනය සඳහා සත්ව ප්‍රෝටීන් අත්‍යවශ්‍ය කොන්දේසියකි. බෞද්ධ රටවල් අතරින් මස් කෑම පාපයක් ලෙස සලකන එකම රට ලංකාව ලෙසද සැලකිය හැකිය. ලංකාවේ ඒක පුද්ගල මස් පරිභෝජනය වසරකට කිලෝ 6.3ක් වන විට බෞද්ධ රටවල් ලෙස සැලකිය හැකි කාම්භෝජයේ කිලෝ 16.6කි. තායිලන්තයේ කිලෝ 25.8කි. මියන්මාරයේ කිලෝ 28.3කි. ජපානයේ කිලෝ 45.9ක් වන අතර වියට්නාමයේ කිලෝ 49.9කි. ජාත්‍යන්තර ප්‍රමිති අනුව ගත් විට ලංකාවේ පෙනෙන්නට තිබෙන බුද්ධිහීනභාවය කෙරෙහි මස් නොකෑම හා අඩු පරිභෝජනයද බලපා තිබෙනවා විය යුතුය.
ලංකාවට අවශ්‍ය නම් ප්‍රෝටීන් මන්දපෝෂණය ජයගැනීම සඳහා මෙම වන සතුන් අතිරික්තය ප්‍රයෝජනයට ගත හැකිය. අලි, ඇතුන් හැර කෘෂිකර්මයට හානි කරන ගම්වල වන සතුන් දඩයම් කිරීමේ, උන්ගේ මස් ළඟ තබා ගැනීමේ, ප්‍රවාහනය කිරීමේ, විකිණීමේ අයිතිය ලබාදිය යුතුය. ඒ අතර අප නොකන මස් වර්ග තිබේ නම් හා ඒ මස් කන ජාතීන් සිටින්නේ නම් ඒ මස් එම රටවලට විකුණන හෝ එවැනි මස් සත්ව ආහාර සඳහා සත්ව ආහාර නිපදවන සමාගම්වලට විකුණන තැනකට යා හැකිය. එවැනි ප්‍රතිපත්තියක් මගින් ආර්ථික වශයෙන් බංකොළොත් තත්ත්වයක තිබෙන ලංකාවට අතිරික්ත වන සතුන් ආදායම් උපයන මාර්ගයක් බවට පත් කරගත හැකි අතර, ඒ මගින් සමහර වන සතුන්ගේ වර්ධනය ඇති කර තිබෙන අධිගහණ ප්‍රශ්නයද විසඳාගත හැකිය.

වනාන්තරවල සිටින සතුන් මැරීම වළකන තහනම් නීති තිබීම අවශ්‍යය. එහෙත් ගම්වල ඉඳිමින් කෘෂිකර්මයට හානිකරන සතුන් සම්බන්ධයෙන් එවැනි ප්‍රතිපත්තියක් ගැළපෙන්නේ නැත. අනතුරකින් මැරෙන හෝ මරා දමන ලද සතකුගේ මස් ආහාරයට ගන්නට ඉඩ නොදී ඒ මස් වැළලීම අපරාධයකි. ගෝනුන්, මුවන් සම්බන්ධයෙන් පවා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යහපත් නැත. ඒ සත්ව වර්ග දෙකම වාණිජමය වශයෙන් වුවත් ඇති කිරීමට ඉඩදිය හැකි සත්ව වර්ග දෙකකි. කොළඹ තරුපහේ සුපිරි හෝටල්වල ආනයනය කළ මුවමස් ආහාරයට ගන්නේ නම් මුවන් වාණිජ වශයෙන් ඇති කරන්නට ඉඩදී උන්ගේ මස් ආහාරයට ගැනීම අයහපතක් වන්නේ කෙසේද? අද රටේ වසංගතයක් මෙන් පැතිර තිබෙන මොනරුන් වුවද දඩයම් කරන්නට ඉඩ දිය යුතුය. ඒ මගින් මොනරුන් බෝග වගාවන්ට කරන හානිය අවම කළ හැකිය.